19 October 2011

පිරිතේ බල මහිමය 1



පිරිතේ ඇති ගුණ

මහා තෙජවන්‍තතාය සමන්‍තතො සත්‍තානං භයං උපද්‍දවං උපසග්‍ගං ච තායති රක්‍ඛතීති පරිත්‍තං යනු මහා සද්‍දනීති විවරණ පාඨ හෙයින් මහා තේජස් ඇති බැවින් සත්ත්වයන් හට පැමිණෙන භය උපද්‍රවාදිය හාත්පසින් ම හැම ‍ෙලසින් ම වළකා ආරක්‍ෂා කෙරේනු යි, පරිත්ත - පිරිත් නම් ‍ෙව්.
විපත්‍ති පටිබාහාය          - සබ්‍බසම්‍පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසාය       - පරිත්තං බ්‍ර‍ෑථ මංගලං
විපත්ති වැළැකීම පිණිසත්, සියලු සම්පත් සිද්ධ කරදීම පිණිසත්, සියලු දුක් වැනැසීම පිණිසත් හේතුවන්නා වූ මංගල සම්මත පිරිත දේශනා කරන්නේ මැනැවි. දෙ වැනි වාරයන්හි සබ්බ දුක්ඛ විනාසය වෙනුවට පිළිවෙළින්, සබ්බ භය විනාසාය සියලු භය වැනැසීම පිණිසත් සබ්බ රෙ‍ා‍්ග විනාසාය සියලු රෝග වැනැසීම පිණිසත් කියා යොදන්නේ නම් මැනවි.
මෙය පිරිත් දේශනාවට වැඩමකර සිටින මහාසංඝයා වහන්සේට දායක පින්වතුන් විසින් චාරිත්‍රානුකූල ව ආරාධනා කරනු ලබන පිළිවෙළ යි. මෙහි පිරිතකින් බලාපෙ‍ාරොත්තු වන ගුණය ද ඇතුළත් වී තිබේ. සියලු විපත්ති වළක්වා සියලු දුක් - භය - රෝගයන් විනාශ කොට, දීර්‍ඝ‍ායුෂ සම්පත් නිරෝග සම්පත් ආදිය ලබා ගැනීම, පිරිත් දේශනා කරවා ගැනීමෙහි පරමාර්ථය හෙවත් ඉහළ ම බලාපො‍ෙරාත්තුව වේ. පිරිතකින් යට කී බලාපොරොත්තුව සම්පූර්ණ කරගැනීමට පිටතින් ලැ‍ෙබන උපකාරක ධර්ම සහ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්ම වශයෙන් උපකාරක ධර්ම සමූහයක ගේ එක්වීමේ බලය ආධාර වේ.

බාහිර උපකාරක ධර්ම

 මෙකල සම්මත කරගෙන තිබෙන පරිදි පිරිත් යැයි වෙන ම සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ් නැත. උන් වහන්සේ දෙසූ සූවාසූදහසක් ධර්මස්කන්‍ධයන් අතුරෙන් යම් යම් ලෙඩ දුක් ආදී විපත් පැමිණ අවස්ථාවන්හි දී ඒවා දුරුකරනු සඳහා මහා කරුණාවෙන් ප්‍රකාශ කළ සූත්‍රයන් එක්කොට පිරිත් යයි සම්මත කර තැබීම පූර්වාචාර්යවරුන් ගේ ක‍්‍රියාවකි.
මහා කරුණා සමාපත්තියෙන් නැඟිට ලොව බලා වදාරා සත්ත්වයනට පැමිණි දුක් නැති කරනු සඳහා වදාළ සූත්‍ර ධර්‍මයන් නිසා මෙහි වචනයක් පාසා උන් වහන්සේ ගේ මහා කරුණාව කා වැදී තිබේ. ඒ මහා කරුණාවෙහි එදා මෙන් ම අද ද සත්ත්වයන් ගේ දුක් දුරු කොට සම්පත් ළඟා කර දීමේ බලය රඳා පවතින්නේ ය.
මේ පිරිත් සූත්‍රයන්හි ඇතුළත් වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ධර්මයයි. මනුෂ්‍යයන් ගේ දෙලෝ යහපතට හේතුවන ධර්මයන්ගෙන් මෙන් ම කිසි කලෙක වෙනස් නෙ‍ා වන සත්‍යයන් වන චතුරාය්‍ය‍‍ර්‍ සත්‍යය ආදී උසස් ධර්මයන් ගෙන් ද යුක්ත ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් ම දේශනා කළ රත්නත්‍රයේ ගුණ ද ඇතුළත් ය.
අවුරුදු දෙදහස් පන්සීයකටත් වැඩි කාලයක් මුළුල්ලෙහි මේ නිර්මල ධර්මය නිසා ලොවට සැලැසුණ ශාන්තිය අති විශාල ය. සියලු දුක් නැතිකොට පරම සුවය ලැබූවන් ගේ සංඛ්‍ය‍‍ාව නො කිය හැකි තරම් ය. මේ නිර්මල ධර්මයෙහි ඒ බලය අද ද නො අඩු ව පවතී. සියලු දුක් නැවැත නූපදනා ලෙසට ම නැසිය හැකි ය. එසේ නම් සාමාන්‍ය දුක් කරදර විපත් නැසීම ගැන කවර කතා ද? එහෙයින් මේ පිරිතෙහි සත්‍ය වූ ධර්ම බලය ද රඳා පවත්නේ ය.
අප්පමාණො බුද්ධො අප්පමාණො ධම්මො අප්පමාණො සංඝො යි වදාළ පරිදි බුද්ධ - ධම්ම - සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්ත ය. අප්‍රමාණ ය. මේ බුදුගුණ ඇසීම් මාත්‍රයෙන් පවා සසර දුක් නැති කළවුන් ගේ සංඛ්‍යයාව ද විශාල ය. ඇතැම්හු ඍද්ධි විශේෂයක් නැති ව ද මේ බුදුගුණ බලයෙන් අහසින් පවා ගියහ. ඒ බුදුගුණ බලය අද ද නො අඩු ව පවතී. දහම් ගුණ හා සඟ ගුණ ද එසේ ම ය. මේ පිරිතෙහි ඒ අති පරිශුද්ධ රත්නත්‍රයෙහි ගුණ බලය ද රඳා පවත්නේ ය.

කරුණා මෛත්‍රී සහගත සිත

භික්‍ෂූන් වහන්සේලාට පිරිත් දේශනා කරන්නට නියම කර ඇත්තේ ද කරුණා මෛත්‍රී සහගත සිතිනි. පෙර විශාලා මහනුවර දුර්භික්‍ෂ - රෝග - අමනුෂ්‍ය යන ත්‍රිවිධ මහා විපත්තියෙන් රටත් වැසියාත් බේරාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේ වැඩම කොට පිරිත් දේශනා කිරීමෙනි. එහි පිරිත් දේශනා කළෝ බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි අනඳ මාහිමියන් වහන්සේ ය. මුළු නගරයෙහි ඇවිදිමින් පිරිත් පැන් ඉසිමින් මුළු රාත්‍රිය ම පිරිත් දේශනා කළ අනඳ මා හිමියන් වහන්සේ එය කොතරම් කරුණාවෙකින් කරන්නට ඇත්දැයි වැටැහෙන්නේ එදා එහි පැවැති තත්වය මෙනෙහි කරන විට ය. කවර කලෙක  වුව ද පිරිත් දේශනා කරන භික්‍ෂූන් වහන්සේලාට නියම කර තිබෙන්නේ වේසාලියා තීසු පාකාරන්තරෙසු තියාමරත්තිං පරිත්තං කරොන්තො ආයස්මා ආනන්දත්‍ථෙරො විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා යි කියූ පරිදි එදා විශාලා  මහ නුවර පිරිත් දේශනා කළ අනඳ මාහිමියන් වහන්සේ මෙන් කරුණා මෛත්‍රී සිත් උපදවාගෙන පිරිත් දේශනා කළ යුතු බවයි. කරුණු මෙසේ හෙයින් මේ පිරිතෙහි සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා ගේ කරුණා මෛත්‍රී බලය ද රඳා පවතින්නේ ය. කරුණාවෙන් හා මෛත්‍රියෙන් පිරිත් දේශනා කරන භික්‍ෂූන් වහන්සේලා හැම සූත්‍රයක් පාසා ම එ‍්තෙන සච්ච වජ්ජෙන සොත්ථි තෙ හොතු සබ්බදා - මේ සත්‍ය වචනයෙන් ඔබට සැමදා ම සෙතක් ‍ෙව්වා යි සත්‍ය ක්‍රියා කෙරෙති. සත්‍ය ක්‍රියාවෙහි පුදුම බලයක් පවත්නේ ය.
සච්චෙන වාචෙනුදකං හි            ගාධති
විසම්පි සච්චෙන හායන්ති පණ්ඩිතා
සච්චෙන දෙවො ථනයං            පවස්සති
සච්චෙ ඨිතා නිබ්බුතිං පත්‍ථයන්ති

සත්‍ය ක්‍රියා බලයෙන් ගැඹුරු දියෙහි ද බැසගනී. මහා කප්පින රජතුමා පැවිදිවන්නට එන විට හමු වූ මහා ගංගාවන්හි බැස පොළොවෙහි මෙන් ගමන් කොට පැමිණියේ සත්‍ය ක්‍රියා බලයෙනි.
සත්‍ය වචනයෙන් ඝෝර විෂ ද නැසිය හැකි ය. රජු විසින් විෂ පෙවූ ඊයෙන් විදිනු ලැබූ සාම කුමාරයා සිහිසන් නැති ව ඇද වැටුණේ ය. මරණාසන්න ව සිටි කුමරු වෙතට පැමිණි ගුණවත් අඳ දෙමාපියන්ගේ සත්‍ය ක්‍රියා බලයෙන් විෂ මුළුමනින් ම බැස ගොස් කුමරු ප්‍රකෘති සිහිය ලැබුවේ ය.
සත්‍ය වචනයෙන් වැසි වැස්සවිය හැකි ද වේ. සිරිසඟබෝ ආදී ගුණවත් රජවරු සත්‍ය ක්‍රියා බලයෙන් වැසි වැස්සවූ සැටි ඉතිහාසය දන්නවුනට මතක ඇත.
සත්‍යයෙහි පිහිටියාහු නිර්වාණය ප්‍රාර්ථනා කෙරෙති. පුහුදුන් කම නිසා යම් යම් සුළු දෝෂ ඇතත් දැන දැන බොරු නො කීම නියත විවරණ ලැබූ බෝධිසත්ත්වවරුන්ගේ ධර්‍මතාවෙකි. සත්‍යයෙහි පිහිටා කරන ප්‍රාර්ථනාවෙන් සියලු සසර දුක් ගෙවා පරම සුවය වන නිවන පවා ලැබිය හැකි නම් සාමාන්‍ය ලෙඩදුක් නැතිකොට සුවපත් වීම එතරම් අසීරු දෙයක් ද?
සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා ද කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත ව මහා කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත ව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ  ගේ සත්‍ය ධර්මය ප්‍රකාශ කොට මේ සත්‍යයේ බලයෙන් සෙතක් ශාන්තියක් සැලසේවා! ලෙඩ දුක් දුරු ‍ෙව්වා! දිගාසිරි නිරෝගී සම්පත් ලැබේවා! කියා සත්‍ය ක්‍රියා කරන විට නො සැලැසෙන යහපතක් නැතැයි කිව යුතු ය. මෙසේ පිරිතෙහි සත්‍ය ක්‍රියා බලය ද නො අඩු ව ම රඳා පවත්නේ ය.

දෙවිවරු

ගෙවල් හා මහා වෘක්ෂ ආශ්‍රය කරගෙන සාමාන්‍ය දෙවිවරුන් වාසය කරන බව බුද්ධ ධර්මයෙහි සඳහන් වේ. පිරිත් දේශනාව පටන්ගන්නට පෙර දෙවියන්ට ද පිරිත් අසන්නට පැමිණෙන්නට යයි ආරාධනා කිරීම සිරිත ය. සම්‍යග්දෘෂ්ටික දෙවිවරු පිරිත් අසන්නට ඉතා කැමති ය. එහෙයින් තමන්ගේ හිත මිත්‍ර මහේශාක්‍ය දෙවියනට ද දන්වා ඔවුනුදු කැඳවාගෙන පිරිත් අසන්නට පැමිණීම භූමාටු දෙවියන්ගේ සිරිතෙකි. ඔවුන්ගේ පැමිණීම නිසා අල්පේශාක්‍ය ප්‍රේතාදීහු වෙතොත් එතැනින් බැහැර වී යති. එහෙයින් ප්‍රේතාදී අමනුෂ්‍යයන් නිසා ඇති විය හැකි කරදර තිබුණා නම් එය නැති වී යයි. එසේ ම පිරිත් ඇසීමෙන් සතුටට පැමිණෙන දෙවියෝ ද තමහට පිරිත් ඇසීමට උපකාර වූ පින්වතුනට විපත් දුරුකිරීම් සම්පත් ළඟා කර දීම් ආදී සුළු සුළු උපකාර නො කෙරන්නාහු නො වෙති.
මෙසේ පිරිතෙන් ගුණ ලබාදීමට පිටතින් ලැබෙන උපකාරක ධර්ම සමූහයක් එක්වෙයි. මෙකී කරුණු ටිකෙන් වුව ද විපත් දුරුකොට සම්පත් ළගා කර දීම කළ හැකි බව නුවණින් කල්පනා කරන කා හට වුව ද වැටහේ ම ය.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි