19 October 2011

පිරිතේ බල මහිමය 2


පිරිතේ හාස්කම් හා කර්ම වේගය

ශ්‍රද්ධාව හා පඤ්ඤාව ද යොනිසෝ මනසිකාරය හා උපට්‍ඨිත සතිය ද යන මේ ධර්මයන් නිසා තමන්ගේ සන්තානයෙහි පහළ වන කුසල චිත්තයෝ ඇතුළතින් ලැබෙන උපකාරක ධර්මයෝ නම් වෙති.
චිත්ත වේගය අතිශීඝ්‍ර ය. ප්‍රමාණය දැක්වීමට උපමාවක් ද නැත්තේ ය. සාමාන්‍ය ඇසට පෙනෙන දෙයින් ඉතා වේගයෙන් ක්‍රියා කැරෙන්නේ විදුලි කෙටීම ය. චිත්ත වේගය ඊට වඩා කොතරම් බලවත් දැයි කිවහොත් විදුලියක් කොටන ක්‍ෂණයෙක දී සිත් සිය ගණනක් ඇති විය හැකි ය. ඒ සිත් නිකම් උපදිනවා නොව ලැබුණු අරමුණු අනුව වීථි ප්‍රතිපන්න ව වේගයෙන් දුවත්. එය එසේ නම් පැයකදී දවසක දී ජීවිත කාලයක දී කොපමණ සිත් පහළ විය හැකි ද?
මෙසේ පහළ වන්නා වූ හැම චිත්ත වීථියක ම කුසල් හෝ අකුසල් හෝ ජවන් නමින් සිත් සතක් උපදී. කුසලාකුසල කර්ම  යයි කියන්නේ මේ සිත් හතට ය. මේ ජවන් සිත් වලට පෙර උපදින්නේ වොත්‍ථපන හෙවත් මනොද්වාරාවජ්ජන නමින් ක්‍රියා සිතෙකි. ඒ අවස්ථාවෙහි යොනිසෝ මනසිකාරයත් එළඹ සිටි සිහියත් තිබුණා නම් නිසි මඟට හැරවීම නිසා කුසල් ජවන් පහළ වෙයි. අයොනිසෝ මනසිකාරයත් මුට්ඨස්සතියත් තිබුණා නම් අකුසල් ජවන් සිත් පහළ වෙයි‍. මේ හත අතුරෙන් පළමු ජවන් සිත අ‍ාසෙවන ප්‍රතයයක් නැති හෙයින් ඉතා දුර්වල ය. විපාක දෙතොත් දිට්ඨධම්මවෙදනීය විපාක වශයෙන් මේ ජාතියෙහිම පමණක් විපාක දෙයි. හත් වැනි ජවන් සිත මුල් හයෙන් ලැබෙණු ආසේවන ප්‍රත්‍යය නිසා ඉතා ප්‍රබල ය. උපපජ්ජ වේදනීය විපාක වශයෙන් ලබන ජාතියෙහි ම විපාක දීමට ශක්තිය ඇත්තේ ය. මේ ජවන් සිත් දෙකේ විපාක මේ ජාතියෙහි හා මීළඟ ජාතියෙහි විපාක දිය නො හැකි වුවොත් අහෝසි වෙයි. ඉදිරියෙහි විපාක දිය නො හැකි වෙයි.
මෙකී දෙ සිත හැරුණු විට ඉතිරි ජවන් සිත් පහේ ම අපරාපරිය වේදනීය විපාක වශයෙන් නිවන් අවබෝධ කොට පිරිනිවන් පානා තුරු විපාක දීමට ශක්තිය අ‍ැත්තේ ය. එක ජීවිතයක දී රැස් කරන මෙබඳු කර්මයන්ගේ සංඛ්‍යාව නො කිය හැකි තරම් වේ. එය එසේ නම් මේ සංසාරයෙහි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි සැරි සරනා අය කොපමණ කර්ම රැස්කර ඇද්ද? එහෙයින් සෑම රජකු තුළ ම මහ හිඟන්නකු වීමේ කර්ම ශක්තිය මෙන් ම, සෑම හිඟන්නෙකු තුළ මහරජකු වීමේ කර්ම ශක්තියක් ද ඇත්තේ ය. එසේ ම මන්‍දායුෂ්ක වීමේ හා රෝග බහුල වීමේ ද කර්ම මෙන් ම දීරඝායුෂ්ක වීමේ හා සුවපත් වීමේ කර්ම ද නො කිය හැකි තරම් රැස්කර ඇත.
නිල මැස්සා අසුචියට හා මී මැස්සා සුවඳට ඇදී යන්නාක් මෙන්, මේ ජාතියෙහි අකුසල කර්ම කරන්නා වෙතට පෙර ජාති වල කරන ලද අපරාපරිය වේදනීය අකුසල් කර්ම ද, කුසල කර්ම කරන්නා වෙතට අපරාපරිය වේදනීය කුසල් කර්ම ද විපාක දීමට ඇදී එයි.
ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත ව පිරිත් අසන විට කෙනෙකු තුළ පහළ වන්නේ ‍සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත සිත් ය. ඒ සමඟ ම ඒ තැනැත්තා තුළ බල පවත්වන්නේ මේ පිරිතෙහි බලයෙන් විපත්ති දුරුවී දීර්‍ඝායු සම්පත් හා නීරෝග සම්පත් වැඩි දියුණු වේවා යන බලාපොරෙත්තුව යි. චිත්තවේගය අතිශීඝ්‍ර බැවින් පැයක් පමණ කල් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් ද පිරිත් අසා සිටින විට කොතරම් කුසල් සිත් පහළවෙනුවා ඇත්ද? සතළොස් චිත්තක්‍ෂණයන්ගේ කාලයක් ඇති චිත්ත වීථි වශයෙන් බැලුවත් ගිණිය නො හැකි තරම් වේ. අනුමාන වශයෙන් චිත්ත වීථි දසදහසක් යයි සිතා බලමු. ඒ හැම චිත්ත වීථියක ම මෙලොව දී විපාක දීමේ ශක්තිය ඇති පළමු ජවන් සිත් ද දසදහසකි. පළමු ජවන් සිත් දුර්වල ය. තනියම විපාක දිය නො හැකි තරම්  වේ. එහෙත් දුර්වලයන් දස දහසක් එක් වූ විට මහා බලයක් ලබන බව නො රහසකි. මේ පළමු ජවන් සිත් සමූහය විසින් පෙර කරන ලද අපරාපරිය වේදනීය කර්මයනට විපාක දීම සඳහා ඉදිරියට ඒමට මඟ පාදා දෙනු ලැබේ.
සසර සැරි සරන කාලවල දී රැස්කරන ලද විපත්ති දුරුකොට සම්පත් ලබා දීමට ශක්තිය ඇති කුසල කර්මයන්ගේ ප්‍රමාණය සීමාතික්‍රාන්ත ය. එහෙයින් මේ අවස්ථාවේ තමන්ගේ සිතෙහි බල පවත්වන ලෙඩ දුක් ආදිය දුරු කොට ආයුරාරෝග්‍යාදී සම්පත් ලබාගැනීමේ බලාපොරාත්තුව අනුව සසර දී කරන ලද එබඳු විපාක ශක්තියක් ඇති කර්ම ඉදිරියට පැමිණීමෙන් දුක් දුරුවී සම්පත් සැලැසෙයි.
පිරිතෙහි කොතරම් බලයක් ඇතත් අසන්නා තුළ කිසි විශ්වාසයක් නැත්නම් නියම ගුණය නො ලැ‍ෙබ‍යි. එසේ ම විශ්වාසය ඇතත් පිරිත් දේශනා කරන විට කෙලෙස් වසඟ ව හෝ නො සැලැකිල්ලේ හෝ අසා සිටීමෙන් ද නියම ගුණය නො ලැබෙයි. විශ්වාසය ඇතත් ශ්‍රද්ධාවෙන් අසා සිටියත් විපාක දීමට බලවත් අකුසල කර්මයක් ඉදිරිපත් වූවොත් පිරිතෙහි නියම ගුණය නො ලැබිය හැකි වෙයි.

පිරිත ඇසීමට ප්‍රියවී තිබෙන්නෙ‍් කුමක් නිසා ද?

මේ ලෝකවාසීන් අතර ප්‍රිය යැයි මිහිරි යැයි සම්මත වූ ශබ්දයෝ බොහෝ වෙති. කෙනෙකුට ප්‍රිය වූ ශබ්දය කෙනෙකුට ප්‍රියතර නො වේ. තවත් ‍ෙකනෙකුට ප්‍රියතම වේ. අන් කෙනෙකුට අප්‍රිය වේ. එහෙත් පිරිත් ශබ්දය හැම දෙනාට ම එක හා සමාන ව ම ප්‍රිය යැයි කිව හැකි ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක සූත්‍රයක් මාතෘකා කොට සත් දවසක් ධර්‍ම දේශනා කරනුවා යැයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි අතිවිශාල ජනකායක් පැමිණෙනවා ඇත. දෙවන දිනයෙහි පිරිස අඩු වෙයි. තෙ වැනි දිනයෙහි ඊටත් අඩු වෙයි. හත් වැනි දිනය වන විට දායක මහතාත් දේශකයන් වහන්සේත් පමණක් විය හැකි ය. දේශකයන් වහන්සේ ඉතා විචිත්‍ර ලෙස දේශනාව කරති. ඉතා මැනැවින් කරුණු පැහැදිලි කර දෙති. එහෙත් දින හතේ ම එක ම ධර්මය නම් මහජනයාගේ ප්‍රිය භාවය දිනෙන් දින ම අඩුවීම නො වැළැක්විය හැක්කකි.
හත් වැනි දවසෙක පිරිත් දේශනාවක් යයි ප්‍රසිද්ධ කළොත් මුල් දිනයෙහි ද විශාල පිරිසක් පැමිණෙනුවා ඇත. දෙවැනි දිනයෙහි පිරිස වැඩිවෙයි. හත්වැනි දිනය වන විට පසු වී ආ කෙනෙකුට සමීප විය නො හැකි කරම් අතිවිශාල ජනකායක් පැමිණෙනුවා ම ය. දේශකයන් වහන්සේලා එක පදයක්වත් තෝරා දුන්නේ නැත. අසා සිටියවුන් හට තේරෙන්නේත් නැත. එහෙත් අසා සිටිනවුන්ගේ ප්‍රීතිය නම් නො කිය හැකි තරම් වේ.
පිරිත මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුන් හට ද ඉතා ප්‍රිය බව නොයෙක් කථාවලින් පෙනෙන්නට තිබේ. කවර රටෙක වුව ද බෙ‍ෟද්ධයනට පමණක් නොව අබෞද්ධයනට ද ඉතා ප්‍රිය ය. පිරිත මෙතරම් ප්‍රිය වීමට ප්‍රධ‍ාන හේතුව එය බුද්ධ භාෂිතයක් වීමයි. ධර්‍ම ‍ෙද්ශනා කරන විට ද ප්‍රකාශ කරන්නේ බුද්ධ භාෂිතයන් වුව ද එය දේශකයන්ගේ වචනවලිනි. පිරිත් දේශනා කරන විට එය දේශනා කරන්නෝ ඉස්පිල්ලක් පාපිල්ලක් වත් නො වෙනස් ව බුද්ධ වචනය ම කියති.
අකුරු නිසි ලෙස යෙදීමෙන් අ‍ැතිවන වචන ශක්තිය ද ඉතා බලවත් ය. හෝඩියේ අකුරු එක් අකාරයකින් යොදා කී විට අසන්නවුන්ගේ ඇස් රතු වන තරම් දරුණු විය හැකි ය. අප්‍රිය විය හැකි ය. තවත් ආකාරයකින් කී විට අසන්නවුන්ගේ ඇස්වලින් සතුටු කඳුළු වගුරුවන්නට පිළිවන. මෙකළ ඇතමුන් විශ්වාස නො කරතත් සෙත්කවි, වස්කවි ආදියෙහි තිබෙන්නේ ද අකුරු පිහිටුවීමේ බලය හා ගණ පිහිටවීමේ බලය යි. සාමාන්‍ය මනුෂ්‍යයාගේ හිත සතුටු කිරීමට දෙවියන් ඉදිරියෙහි ඒවා කීම සිරිතක් වුවත් නියම ලෙස තැනූ සෙත් කවියෙහි වස්කවියෙහි බලය එය තනනුවාත් සමග ම ප්‍රකට වෙයි.

පිරිතෙන් ආයුෂ වැඩෙන්නේ කෙසේ ද?

පිරිතෙන් ආයුෂ වැඩෙනුවා නම් වරින්වර පිරිත් කියවා ගැනීමෙන් අවුරුදු සියගණනක් ජීවත්විය හැකි නො වේ දැයි කෙනෙකුට තර්ක කරන්නට පිළිවන. මෙහි ආයුෂ වැඩෙනුවා යයි කියන්නේ අමුතුවෙන් ආයුෂ දික්වීමක් නොව උප්පත්තියෙන් ලැබූ ආයුෂ අතරමඟ සිඳීමක් නැති ව සම්පූර්ණයෙන් විඳින්නට පිළිවන් වීම ය.
සත්ත්වයාගේ උප්පත්තිය ලබාදෙන කර්මයට ජනක කර්මය යයි කියනු ලැබේ. සෑම දෙනා ම උප්පත්තියත් සමඟ මරණයත් ගෙන එති. ඔවුනට ජීවත්විය හැකි කාල පරිච්ඡේදය හෙවත් ආයුෂ ද එහි ම ඇතුළත් වී ඇත්තේ ය. යමකු අවුරුදු හැටක් හෝ හැත්තෑවක් හෝ අසූවක් හෝ ජීවත් වන්නට පිළිවන් කර්ම ශක්තියකින් උපන්නා නම් නියමිත කාලයට වඩා දවසක් වත් ජීවත්විය නො හැකි ය. එහෙත් ඊට කලින් මරණය නම් සිදුවිය හැකි වේ. යමකු අවුරුදු අසූවක් ජීවත්වන්නට පිළිවන් කර්මයකින් උපන්නත් එ‍් අවුරුදු අසූව ම ජීවත් වන්නට ඉඩ නොදී උපපීඩකාදී කර්ම බලයෙන් නොයෙක් බාධා පමුණුවා මරණය සිදු කරන්නට ඉඩ තිබේ. ඉදින් යමකු මේ මේ දෙයින් විපත්ති - ලෙඩදුක් හා මරණය ද සැලසෙන්නේ ය, මේ මේ දෙයින් සම්පත් - නීරෝග භාවය හා දීර්ඝායුෂ සැලැසෙන්නේ යයි දැනගෙන සිහියෙන් නුවණින් හා සැලැකිල්ලෙන් ක්‍රියා කළොත් ඔහුට උපතින් ලැබූ සම්පූර්ණ ආයුෂ ප්‍රමාණය ම භුක්ති විඳින්නට පිළිවන් වෙයි.
යමෙක් මයිල් අසූවක් යන්නට ප්‍රමාණවත් පැට්‍රල් හා එංජින් තෙල් දමා ගත් හොඳ මෝටර් රථයක් ගෙන මඟට බසී. ඔහුගේ රථයෙහි මයිල අසූවක් දුවන්නට හැම ශක්තියක් ම සම්පූර්ණ ව ඇතත් ඒ ගමන වළක්වා දැමිය හැකි බාධා අතරමඟ දී කොපමණ පැමිණේවි ද?  මඟ අවුරා සිටින ජනයා - පාර හරහා දුවන පනින ළමයින් - මඟ ගමන් කරන තිරිසනුන් - ඉදිරියට එන රථවාහන - කඳු පල්ලම් වංගු මාර්ග බාධක ආදී බාහිර බාධා රාශියකුත් තමන්ගේ නො සැලැකිල්ල, නිදිමත, වෙරිමත, ආදී ඇතුළතින් පැන නඟින බාධාවනුත් නිසා  - මයිලෙන් - දෙකෙන් - විස්සෙන් - තිහෙන් ගමන වැළැකී යන්නට පිළිවන. එසේ ම නිදිමත ආදී නො සැලකිලිත් නැතුව පිටතින් පැමිණෙන නොයෙක් බාධාත් මඟ හරවා ගෙන සිහියෙන් හා නුවණින් රථය පැදෙව්වොත් මයිල් අසූව ම යන්නට පිළිවන. කොතෙක් සැලැකිල්ලෙන් රථය පදවාගෙන ගියත් මයිල් අසූවකට වඩා නම් යා නොහැකි ය. ඊට වඩා යාමට එහි ද්‍රව්‍ය ශක්තිය නැති හෙයිනි. එසේ යමෙක් අවුරුදු අසූවක් ජීවත් වන්නට කර්ම ශක්තිය ඇති ව උපන්නත් එය නියම කාලයට ප්‍රථම සිදී යන්නට හේතුවන නොයෙක් බාධා පැමිණෙයි. ඉදින් ඒ තැනැත්තා ආහාර - විහරණ - සෘතු - පුද්ගලාදී සප්පායයන් නිසිසේ පවත්වමින් සිහිනුවණින් ක්‍රියා කළොත් සියලු බාධා මැඩගෙන අවුරුදු අසූවම ජීවත් වෙයි. කොතෙක් සිහි නුවණින් ක්‍රියා කළත් ඔහුට නම් අවුරුදු 80 ට වඩා ජීවත්විය නොහැකි ය. ඊට වඩා ඉඳීමට කර්ම ශක්තිය නැති හෙයිනි.
පිරිත් කියවා ගැනීමෙන් මුලින් සඳහන් කළ පරිදි බාහිර උපකාරක ධර්මය, ආභ්‍යන්තරික උපකාරක ධර්මය යන උපකාරක ධර්මයන්ගේ බලයෙන් තමන් විසින් සසර දී රැස් කරන ලද ආයුෂ වර්ධනය කළ හැකි කර්ම ඉදිරියට පැමිණීමෙන් උපතින් ලැබූ ආයුෂ අතරමඟ නො සිඳ සම්පූර්ණයෙන් ගෙවන්නට පිළිවන් වෙයි.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි