10 October 2011

දානමය කුසලය

දානමය කුසලය
දානය යන්නෙහි සම්මුති අදහස දීමයි. නමුත් පරමාර්ථ අදහස අත්හැරීම යන්නයි. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් තමාට අයත් දෙයක් කර්මපල සලකා දීම, දානය වේ. ලෝභය අවම කරගැනීමට ඇති එකම මාර්ගය දීමයි. ඒකාන්තයෙන් හැර යාමට සිදුවන ධනයෙන් ගත හැකි උසස්ම ප්‍රයෝජනය දීමයි. මෙහි දී මුළු සේසතම දීම නොව මුළු හදවතින්ම තමන්ට හැකි දෙයක් දීම ප්‍රමාණවත්ය. කර්මපල සලකා ශ්‍රද්ධාවෙන් දෙන සුළු දෙයකින් වුව ද මහා ආනිසංශ ලැබේ. දානයේ ප්‍රධාන ප්‍රබේද තුනකි.
01.ආමිස දානය
02.අභය දානය
03.ධර්ම දානය
ආමිස දානය ආහාර පාන, වස්ත්‍ර ආදී වශයෙන් බාහිර වස්තු ද,, ඇස්, ඉස්, මස්, ලේ ආදී වශයෙන් අභ්‍යන්තර වස්තු ද වශයෙන් දෙවැදෑරුම් වේ. සත්වයන්ට ජීවිත දානය දීම, සත්ත්වයන්ට පැමිණි බයක් හෝ අනාගත විපතකින් බේරීම ආදිය අභය දානය වේ. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදියෙන් තොරව ධර්මය කියා දීම, බණ කීම, දහම් පොතපත සකස්කර හෝ මිග දී ගෙන පරිත්‍යාග කිරීම,බණ පොත් ලියා ප්‍රසිද්ධ කිරීම, ඒ සඳහා ආධාර දීම, දහම් පොත පත ධර්ම දාන ලෙස බෙදා හැරීම ධර්ම දාන වේ.

බුද්්ධ සාශනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට පූජා වශයෙන් දෙන දානය (1) චීවර (2) පිණ්ඩපාත (3) සේනාසන (4) ගිලානපච්චය වශයෙන් චාතුර්විද වේ. උසස් පුද්ගලයනට තම ගෞරවය හා ප්‍රසාදය දැක්වීමට පුෂ්පාදිය පිරිනැමීම පූජා වේ. මේ අනුව පූරා හා දානය කියා ද පිංකම් දෙකකි. එහෙත් දාන, ශීල, භාවනාදී වශයෙන් දැක්වීමේ දී පූජා යන්න ද දානමය කුසලයට වැටේ.

සෑම ආගමකම උසස් කොට සලකන දානය සඳහා ඇති ලැදියාව අප රටේ ඉතා ඉහළ ය. සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ට දෙන දාන, ළමා නිවාසවලට, වැඩිහිටි නිවාසවලට දෙන දාන, දන්සැල්, සාංඝික දාන, ස්වාභාවික විපත්වල දී අවතැන් වූවන්ට ආගම් භේදයෙන් තොරව කරන සංග්‍රහ ආදිය දෙස බලන විට එය පැහැදිලි වේ. විදේශිකයින් පවා පුදුමයට පත් කරන තරමට දීම කැමති ජනතාවක් සිටින රටකි. අපේ රට.

එසේ වුව ද බෞද්ධයන් වශයෙන් මෙම පිංකම්වලින් මහත්ඵල මහානිසංස ලැබෙන ආකාරයටත්, සසර දුකින් මිදීම පිණිසත්, ඒවා සිදු කළ යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැතිව කෙරෙන අවස්ථා ද දක්නට ලැබේ.

රත්නත්‍රයේ පිහිටා, සිල්වත්ව, ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව, තුන් සිත පහදවා ගෙන අර්ථවත්ව පිංකම් ලෙස සිදු කෙරෙන අවස්ථා ඉතා විරලය. ලෝභ, ද්වේශ, මෝහ යන ප්‍රධාන කෙලෙස් මූල තුනෙන් ලෝභය අවම කර ගැනීමට සිතා දන් දෙන්නේ අතලොස්සකි. බොහෝ විට දන් දෙන්නේ මෙලොව පරලොව සැප සම්පත් පතාය. එවිට සිදුවනුයේ ලෝභය තවත් වර්ධනය වීමය. එවිට සසර ගමන තව තවත් දික් වේ. සුගතියක ඉපදුන ද එහි දී ලබනසැප සම්පත් අවසානයේ ඇත්තේ ද දුකමය. එම භවය අවසානයේ නැවත දුගතියට වැටීමට ඉඩ ඇත.එම නිසා දාන ශීලාදී පිංකම් කළ යුත්තේ නිර්වාණාවබෝධය පතාම ය. දානාදියෙන් ලැබෙන ආනිසංශ අප ප්‍රාර්ථනා නොකළ ද නිරායාසයෙන් ලැබෙන්නකි.
එසේම පූර්ව, මුඤ්වන, අපර යන චේතනා තුනම අපිරිසුදු කරගෙන දානයේ කුසල ශක්තිය හීන කරගන්නා අවස්ථා බොහෝ දක්නට ලැබේ. උදාහරණයක් ලෙස ප්‍රතිග්‍රාහකයාගේ සිල්වත්කම, ගුණ නුගුණ, සෙවීමට යාමෙන් හා දීමෙන් පසු විපරම් කිරීමට යාමෙන්, මෙසේ සිත අපිරිසුදු කර ගනී.
ඇතැමුන් තමන්ගේ උසස් බව, ගුණවත් බව, පොහොසත් බව, ලොවට ප්‍රදර්ශනය කිරීමේ අටියෙන් දානමය පිංකම් ඉතා ඉහළින් සිදු කරති. අනුන් දුන්නාට වඩා එය යටපත් කිරීමේ අරමුණින් ඊට වඩා දන් දෙති. ආධාර උපකාර කරති. එසේ නැතිනම් අන් අය දුන් නිසා දෙති. මෝහයෙන්, මානයෙන් කෙරෙන එවැනි පිංකම්වලින් නිවන් ලැබීම තබා දානමය ආනිසංස ලැබීමේ ශක්තිය ද හීන වන බව නොදනිති.
දීම, ලෝභයට විරුද්ධ ස්වභාවයයි. දීම සෑම දෙනාටම කළ හැකි පහසු දෙයක් නොවේ. නොවටිනා දෙයක් තමන්ට ප්‍රයෝජනයක් නැති දෙයක් දීමට හැකි වුවද උසස් දෙයක් වටිනා දෙයක් දීම පහසු නැත. ඊට සිත දියුණු විය යුතුය. එවැනි පුද්ගලයන් තම ශරීර අභ්‍යන්තර කොටස් ජීවත්ව සිටියදී ම පූජා කරති. වටිනා දේ උසස් දේ නොදී දාන පාරමිතාව සම්පූර්ණ කළ නොහැකිය.
දානය පාරමිතා වශයෙන් තුන් ආකාරයකට බෙදා ඇත.
එනම් (1) දාන පාරමිතාව, (2) දාන උප පාරමිතාව (3) දාන පාරමාර්ථ පාරමිතාව ඒ තුන් ආකාරයයි.

ලොව්තුරා බුදු බව පතන බෝසතුන් විසින් ඉහත පාරමිතා තුනම පිරිය යුතුය. පසේ බුදු බව පතන බෝසතුන් පළමු හා දෙවන පාරමිතා ද,, ශ්‍රාවක බෝධිය පතන බෝසතුන් විසින් පළමු පාරමිතාව ද, පිරිය යුතුය.

මේ අනුව දාන පාරමිතා තුනම පුරන, ලොව්තුරා බුදු බව පතන, බෝසතුන් පුත්‍රධාර, ධනාදී සියලුම දාන වස්තු ද ඇස්, ඉස්, මස්, ලේ, අත්පා ඇතුළු සියලුම ශරීර අභයන්තර හා බාහිර කොටස් ද, තම ජීවිතය ද පූජා කරති. දන්දෙති, මෙය සියලු දෙනාට කළ හැකි දෙයක් නොවේ. අප මහ බෝසතාණෝ වෙස්සන්තර රජු වශයෙන් කිසිමගුණයක් නැති ජූජක බමුණාට දුන් දානය මහ පොළොව ද සෙල වී ගිය මහා පිනක් විය.
පසේ බුදු බව පතන බෝසතුන් පුත්‍රධාර ධනාදී සියලු දාන වස්තු ද, තම ශරීර අවයව ද පූජා කරති. ශ්‍රාවක බෝධියෙන් සසරින් එතෙර වීමට පතන අය පුත්‍ර දාර ධනාදී සියලු දාන වස්තු පූජා කළ යුතුය. සම්බෝධියට පමුණුවන සියලු කුසලයෙන් පාරමිතා වේ. ඒ සඳහා දස පාරමිතාව පිරිය යුතුය.
ලෞකික සැප සම්පත් පතා කරන පිංකම්වලින් ඒවා ලබා දෙනු මිස නිවනට පමුණුවනු නොලැබේ. දස පාරමිතාව පුරමින්, විදර්ශනා වඩමින්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා, නිවන් මාර්ගයට නොපිවිසුන හොත් නිවන අප ප්‍රාර්ථනා කළ ද තවත් කල්ප කාලාන්තරයකට ලබා ගත නොහැකිය.
දීමෙන්, කීර්ති ප්‍රශංසා, ලාභ සත්කාර ලැබෙන අවස්ථා වලදීත්, දුන් දෙයට වඩා යමක් ලබා ගැනීම පිණිසත්, දෙන දීම ගැනීමට කරන තවත් උපක්‍රමයකි. එමගින් සිදු කර ගන්නේ ආත්මාර්ථකාමය මය. එවැනි චේතනාවලින් තොරව දීම වනාහි යුද්ධයක් කිරීම හා සමාන අමාරු වැඩක් බව දානංව යුද්ධංව සමාන මාහු යන්නෙන් කියැවේ.
දීමට ඇති බාධක
දන් දීමේ අපහසුකමට හේතුව දුප්පත්කම ම නොවේ. වස්තු සම්පත් බොහෝ ඇති ඇතැමුන් දීමට ඉතා මැලිය. ඊට හේතු වන බාධක හතරකි.
(01) පුරුද්දක් නොතිබීම.
(02) දුප්පත්කම
(03) වියදම අධික වීම.
(04) ධනය අඩුවේය යන බිය
මීට අමතරව කරුණාව, මෛත්‍රිය, ශ්‍රද්ධාව නොතිබීම හා පව්පින් විශ්වාස නොකිරීම ද ඊට හේතු වේ. දීම කොතරම් දුෂ්කර වුවත් සුගතියක ඉපදීමට, සසර ගමන කෙටි කර ගැනීම සඳහා, ලෝභය දුරු කිරීමට මෙය කළයුතුමය. පුරුද්දක් නොමැති වීමේ බාධකයෙන් ඉවත් වීමට මුලින්ම සුළු වශයෙන් හෝ දීම, ආරම්භ කළ යුතුය.
දුප්පත්කම නමැති බාධකයෙන් ඉවත් වීමට, තමා දිළිඳු වී ඇත්තේ පෙර නොදුන් නිසා යයි සිතා තමාට තිබෙන සැටියට තිබෙන දෙයින් සුළු දෙයක් හෝ දිය යුතුය.
දානය සඳහා යන වියදම අධික නිසා දීමට පසු බසින විට එය ඉවත් කර ගැනීමට මේ සියල්ල හැර දමා යාමට සිදුවේය යන්න සිතා, උසස් දෙයක් ලබා ගැනීමට උසස් දෙයක් දිය යුතුය යන්න සිතා, දීමට සිත නමා ගත යුතුය. එසේම ලෝභය දුරු කර ගැනීමට නම් දිය යුතුය යන්න සිහිපත් කර ගෙන ධර්මාවබෝධයෙන්ම දීමට සිත සකස් කර ගත යුතුය.
වස්තුව හීන වේ යයි සිතා දීමට මැලිකමක් ඇති වන විට වස්තුවේ ඇති අනිත්‍යභාවය සිතා, එසේම කෙදිනක හෝ මෙම වස්තුව හැර දා යන්නට සිදුවන බව මෙනෙහි කර, සියල්ල නොව සුළු වශයෙන් හෝ දීම මඟින්, මෙම බාධකය ඉවත් කර ගත හැකිය.
වස්තු සම්පත් තිබෙන ඇතැම් අයට මෙම බාධක ඉවත් කරගෙන දීමට පිං සිතක් පහළ නොවන්නේ පින නැති නිසා විය හැකිය. දන්දීමේ දී ඇති කරගන්නා චේතනාවම කුසල කර්මය වේ. පින ලබා දෙන්නේ දානය ගනු ලබන ප්‍රතිග්‍රාහකයා නොවේදීමට ඇතිවන චේතනාවමය.
ඒ අනුව මෙම චේචනාව පිරිසුදු විය යුතුය. දීමෙන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලැබේ. පිං කැමැත්තෙන් බලු කපුටු ආදී සතෙකුට කුස පුරා ආහාරයක් ලබා දීමෙන් ද මෙම ආනිසංශ ජාති සීයක දී ලැබෙන බව පොත පතේ සඳහන් වේ. එය කාම සුගතියක ඉපදීමට හේතුවේ.
එසේ වුවද නිවන පතාම ලෝභය දුරු කරගෙන දීම උතුම් ය. දීමේ ආනිසංශ මෙලොව දී ම ලැබේ. තමා දුන්නොත් පමණි. තමාට ද ලැබෙන්නේ කිසිවෙකුට කිසිවක් නොදෙන අයෙකුට කසිවෙකුගෙන් කිසිවක් නොලැබේ.

දීම, පුජා බුද්ධියෙන් ද, අනුග්‍රහ බුද්ධියෙන්, අනුකම්පා බුද්ධියෙන් කළ හැකිය. දීමේ දී පූර්ව, මුඤ්වන හා අපර යන චේතනා පිරිසුදු විය යුතුමය. එනම් දීම පෙර, දෙන අවස්ථාවේ හා දීමෙන් පසු යන චේතනා තුන් සිත නමින් හැඳින්වේ. ලබන්නාගේ සිල්වත්කම, ගුණ නුගුණ සෙවීමට නොයා යුතුය. දීමෙන් පසු පසු විපරම් නොකළ යුතුය.
අලෝභ , අදෝෂ, අමීහ සිතින්ම දානමය පිංකම් කිරීමෙන් දානය අංගසම්පූර්ණ පිංකමක් වේ.
යමෙක් ගෙදරට පැමිණි නිසාම දෙන්නේ නම්, අන් අය දී ඇති නිසා දෙන්නේ නම්, ලැජ්ජාව නිසා දෙන්නේ නම්, ඉන් ලැබෙන කුසලය හීන වේ. කරුණාවෙන්, මෛත්‍රියෙන්, නිර්ලෝභීව, කම්පළ ගැන සිතා, යහපත් චේතනාවෙන් ලබන්නාට ඉන් යහපතක්ම වේවායි සිතා දෙන්නේ නම් ලැබෙන කුසලය ප්‍රබලවේ. මේ අනුව දීමේ දී ඇතිවන චේතනාව ඉතා වැදගත්ය. ඒ අනුව කුසල ශක්තිය හීන හෝ ප්‍රබල වේ. දන් දීමේ දී මතු භවයේ දී තමන්ටත් ලැබේය යන ආශ්වාදය ඇතිවීම ස්වභාවයකි. එම නිසා ඒ සමඟම මෙම දන් දීමෙන් දාන පාරමී පුරා ගැනීමට එය උපකාරී වේවායි සිතුව හොත්, නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවායි සිතුවහොත්, ලැබෙන කුසලය ප්‍රබල වේ.
එසේම සිල්වත් ගුණවත් අයට දන් දීමේ දී උන්වහන්සේලා සුඛිතව, පිළිවෙත් පුරා අභිමතාර්ථය ඉටු කර ගනිත්වායි සිතා පහන් සිතින්, කරුණාවෙන්, පූජා කළ යුතුය.

දීම එකක් වුව ද ඇතිවන චේතනාව අනුව දානමය කුසලයේ ප්‍රභේද තුනකි.
(1) හීන (2) මධ්‍යම (3) ප්‍රනීත

ලෞකික සැප සම්පත් පතා තෘෂ්ණා සහගතව දීම හීන කුසල කර්මයකි. පරලොව සැප සම්පත් පතා දීම මධ්‍යම කුසල කර්මයකි. මාර්ග ඵළ, නිවන් පතා දීම, ප්‍රනීත කුසල කර්මයකි. එසේ සිතේ සතුටින්, නිර්ලෝභීව, සෝමනස්ස සහගත සිතින්, කර්මපල සලකා, ගුණ සම්ප්‍රයුක්තව නිවන් අරමුණින් දානමය පිංකම සිදුකරන විට දානමය මහා කුසල් සිතක් ඇති වේ.දන් දෙන දාන වස්තුව අනුව දන් දෙන පුද්ගලයන් තුන් දෙනෙකි.
(1) දාන දාස (2) දාන සහායක (3) දාන පති

මධුර වූ හොඳ දේ තමා තබාගෙන නීරස දේ නරක දේ අනුන්ට දෙන්නා දාන දාස වේ. තමා අනුභව කරන හොඳ හෝ නරක දේම දෙන්නා දාන සහායක වේ. රසවත් නැති දෙය තමා අනුභව කර හෝ තබා ගෙන අනුන්ට හොඳ දෙය, රසවත් දෙය දෙන්නා දාන පති වේ.

දානයේ තවත් ප්‍රභේද දෙකකි. එනම්,
(1) අසත්පුරුෂ දානය
(2) සත්පුරුෂ දානය

අසත්පුරෂ දානය :-
සකස් නොකර, පිළියෙල නොකර දෙන දානය අසත්පුරුෂ දානය වේ. ගෞරවයෙන් තොරව, ප්‍රයෝජනයට ගත නොහැකි දේ කර්මපල නොසලකා, ඕනෑවට එපාවට දෙන දානය ද මේ ගනයට අයත් වේ. එසේම අන් අය ලවා, වැඩකාරයන් ලවා දෙන දානය අසත්පුරුෂ දානයකි.

සත්පුරුෂ දානය :-
හොඳින් සකස් කර, ආදරයෙන් ගෞරවයෙන්, අවශ්‍යතාවය අනුව තමා අතින්ම සකස්කර , කර්මපල සලකා, මෙත් සිතින් නිවන් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් දෙන දානය සත්පුරුෂ දානය වේ.
සත්පුරුෂ දානය දුන් අයට ආනිසංශ වශයෙන් සකස් වූ දේම ලැබේ. දරුවන් ලැබීමේ දීවුව ද සකස් වූ පින්වත් දරුවන්ම ලැබේ.
එසේම අධාර්මික ධනයෙන් දන් දුනහොත් තමාට දීමේ කුසලය වශයෙන් යම් යම් දේ ලැබුන ද එය අහිමි වේ. විනාශ වේ. ධාර්මික වස්තුවෙක් දෙන දානය නිසා ලැබෙන දේ එසේ අහිමි නොවේ. සොර සතුරන්ගෙන් හෝ වෙනත් ක්‍රමයකින් විනාශ නොවේ. තම දරුවන් ද එම ධනය විනාශ නොකරයි.
පාරි ශුද්ධත්වයට පත්වන ආකාරය අනුව දාන විසුද්ධි හතරකි. ප්‍රභේද වශයෙන් එය තුනකට වර්ග කළ හැකිය.

(1) උත්තම දානය (2) මධ්‍යම දානය (3) අධම දානය
උත්තම දානය :
තමා ද සිල්වත් වී සිල්වතෙකුට දෙන දානය උත්තම දානය වේ. දෙදෙනාම සිල්වත්නිසා දානයෙන් මහත් ආනිසංශ ලැබේ.
මධ්‍යම දානය :-
දුෂ්ශීලයෙක් සිල්වතෙකුට දෙන දානය මධ්‍යම දානය වේ. ලබන්නාගේ ශීලය නිසා ඵලය හීන නොවේ. එසේම තමාසිල්වත්ව සිට දුස්ශීලයෙකුට දෙන දානයට ද මේගනයටම වැටේ. එහිදී ද දෙනු ලබන්නාගේ ශීල වැඩි නිසා කුසලයේ ඵලය වැඩිය. දුෂ්ශීලයන්ට දීම නිෂ්ඵල යයි කීම මුලාවකි.
Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි