27 October 2011

ශ්‍රද්ධා


           ශ්‍රද්ධා කුමක්ද? කරන්නම්වාලෙ කරන්නක්ද? මෙය පලයක් තිබෙන්නක් ද? මට ඇති වාසිය ? ශ්‍රද්ධාව ඇතිවන්නෙ කෙසේද?  මෙවැනිවූ ගැටළු පවතින සංකිර්න වූ සමාජයක යමෙකුට හැගෙනවා විය හැක,තම ජීවිතය යහපත් කරගන්න හැම තප්පරයක් යොදවනුයේ රුපියල් වලට ඉව ඇල්ලීමය  මොහොතකට ඔබලාව ශ්‍රද්ධාව යන්න කුමක්ද හා එහි ආදීනව ගැන මට ලැබුන හොද පැහැදිලි කිරීමක් සහිත ලිපියක් ලොක්කන් පොඩ්ඩන් කාටත් හොද දෙයක් වන නිසාවෙන් ඔබ අතරට ගෙන එන්නට සිත්විය  මෙය අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින්කරවුවකි.
                     ශ්‍රද්ධා යනු හොඳ හැටි තැබීම යි. කවරක් තැබීම ද? සිත් සතන් හොඳ හැටි තැබීම යි. කොහි හොඳ හැටි තැබීම ද? බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්‍මය, ආර්ය සංඝයා, ත්‍රිවිධ ශික්‍ෂා, පෙර ජාතිය, මතු ජාතිය, පෙර මතු දෙ ජාතිය හා ප්‍රතීත්‍ය සමුත්පාදය යන අට තැන්හි හොඳ හැටි තැබීම යි. ඒ අට තැන්හි කෙසේ තැබීම ද? අඤ්ඤාණ = බුද්ධාදි වස්තු අට කවරේ දැ යි නොදැනීම ය, සංසය = යට කී අෂ්ට වස්තූහු වූහු ද, නො වූහු ද, නො වෙත් ද යන ආදි වශයෙන් ඇති වන සැකය, මිච්ඡාඤාණ = බුද්ධාදීන් ගැන වරදවා සිතීම ය යන කිලිටිවලින් තොර ව තමා ගේ සිත්සතන් නිසි සේ තැබීම යි.
                           ශ්‍රද්ධා ශබ්දය අර්ථ වශයෙන් මෙ සේ හෙයින් බුද්ධාදි අට තැන්හි, අඤ්ඤාණ - සංසය - මිච්ඡාඤාණ යන කෙලෙසිලිවලින් තොර ව භක්තියවිශ්වාසය තැබීම, පිහිටුවීම ශ්‍රද්ධා නම් වේ. පරමාර්ථ වශයෙන් කියත් හොත් සියලු යහපත් සිත්හි ඒකාන්තයෙන් ම යෙදෙන්නා වූ සිතෙහි ප්‍රසන්නභාවය ඇතිකිරීම් වශයෙන් පහළ වන ශොභන චෛතසිකයෙකි.
ශ්‍රද්ධා ශබ්දයාගේ පළල් වූ අර්ථයක් ඇත ද සාමාන්‍යයෙන් බෞද්ධයන් අතර තුනුරුවන් කෙරෙහි අවංක විශ්වාසය ම ගණන් ගනු ලැබේ. සියලු සසර දුක් නැති කොට අමා මහ නිවන් ලබනු සඳහා බුදුරුවන් අසහාය අනුශාසකයන් ලෙස ද, දමුරුවන් සංසාර මුක්තිය ලබන උපදෙශය ලෙස ද, ඒ බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනය පරිදි ධර්‍මෞෂධය පානය කිරීමෙන් සියලු කෙලෙසුන් නසා සුවපත් වූ සඟුරුවන් සර්‍ව දුක්ඛයන් විනාශ කිරීමෙහි ආදර්‍ශ දායකයන් ලෙස ද සසරින් මිදීම පිණිස නොවරදින පිහිට යැ යි නොකෙලෙසුණු සිතින් විශ්වාසය තැබීම ම ශ්‍රද්ධා නම් වේ.

ශ්‍රද්ධා වස්තුව

වස්තූහු නානාවිධ වෙති. එයින් ශ්‍රද්ධාවස්තුව හැමට උසස් වේ. කවර වස්තුවකින් වුව ද ලැබෙන පලය බොහෝ විට ම එක සමාන වෙයි. “හිරඤ්ඤ සුවණ්ණාදි චිත්තං උපභොග පරිභොග සුඛං ආවහති, ඛුප්පිපාසාදි දුක්ඛං පටිබාහති, දාළිද්දියං වුපසමෙති, මුත්තාදිරතන පටිලාභහෙතු හොති, ලොකසන්ථුතිං ච ආවහති” - රනි රිදී ආදි වස්තුව උපභොග පරිභොග සුව ගෙන දෙයි, සා පිපාසාදි දුක් නැති කරයි, දිළිඳුකම සංසිඳුවයි. මුතු මැණික් ආදි රත්න ලැබීමට හේතු වෙයි. ලෝකයා ගේ ගරුබුහුමන් ද ලැබෙයි, ශ්‍රද්ධා වස්තුවෙහි ද යට කී පලයෝ සියල්ලක් ම නොඅඩු ව ලැබෙති.
“ලොකියලොකුත්තර විපාකසුඛං ආවහති” - ශ්‍රද්ධාව ලෞකික සුව ද ලොකුත්තර සුව ද ගෙන දෙයි. “සද්ධා ධුරෙන පටිපන්නානං ජාති ජරාදි දුක්ඛං පටිබාහති” - ශ්‍රද්ධාවෙහි පිහිටි තැනැත්තා ජාති ජරාදි දුක් නැති කරයි. “ගුණදාළිද්දියං වුපසමෙති” - ශ්‍රද්ධාව ගුණ දිළිඳුකම නැති කරයි, හෙවත් ගුණවත්කම ඇති කරයි. “සතිසම්බොජ්ඣඞ්ගාදි රතන පටිලාභහෙතු හොති” - සතිසම්බොජ්ඣඞ්ගාදි බුදුබව ලැබීමට හේතු වන සිහිය ආදි ගුණරත්නයන් ලැබීමට හේතු වෙයි.
“සද්ධො සීලෙන සම්පන්නො
යසො භොග සමප්පිතො
යං යං පදෙසං භජති
තත්‍ථ තත්‍ථෙව පූජිතො”
ශ්‍රද්ධාවෙන් හා සීලයෙන් සම්පූර්‍ණ වූ යසසින් හා භොග සම්පත්තියෙන් යුක්ත වූ තැනැත්තා යම් තැනකට එළැඹේ ද ඒ ඒ තැන දී ඔහු පුදනු ලැබේ ය යි වදාළ පරිදි ශ්‍රද්ධාව නිසා ලොකයා ගේ ගරුබුහුමන් ද ලැබෙයි.
ධන ධාන්‍යාදි වස්තුවෙන් ලැබෙන ප්‍රයෝජනය මෙ ලොවට පමණ ය. ශ්‍රද්ධා වස්තුවෙන් මෙ ලොව පමණක් නො ව පරලොව සුව හා නිවන් සුව ද ලැබෙයි. එ හෙයින් මනුෂ්‍යයාට ඇති උතුම් ම වස්තුව කවරේ දැයි ආලවක යක්‍ෂයා ඇසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ, “සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං” - මනුෂ්‍යයනට ඇති ඉහළ ම වස්තුව ශ්‍රද්ධාව ය යි වදාළහ.

ශ්‍රද්ධා බීජය

මූල බීජ - ඛන්ධ බීජ - ඵල බීජ - අග්ග බීජ ආදි වශයෙන් බීජ ජාතීහු නානාවිධ වෙති. මේ සියල්ල යම් තැනෙක්හි රොපණය කළ විට වැඩෙන අර්ථයෙන් බීජ නම් වෙයි. ශ්‍රද්ධාව ද සියලු කුශලයන් ගේ ගුණයන් ගේ, කුශල බීජය, ගුණ බීජය වන බැවින් “සද්ධා බීජං” - ශ්‍රද්ධාව බිජුවටැ යි කසීභාරද්වාජ බමුණාට දෙශනා කළ සේක. ඇල් වී බීජයක් බිමට රොපණය කළ විට යටට මුල් බැසැ අංකුරයක් නැඟී යට මුලින් පඨවි රසය හා ආපො රසය ඇද ගෙන නළයෙන් ඉහළට ගොස් කොළ හැදී පඳුරු ගැසී මහත් බවට පැමිණ ඇට සිය ගණනින් යුත් වී කරලක් ඇති වෙයි.
ශ්‍රද්ධා බීජය ද යම්කිසි සන්තානයෙක රොපණය වූ විට සීල නමැති මුලක් බැස ශමථ විදර්‍ශනා නමැති රස ආර්යමාර්ග නමැති නළයෙන් ගෙන ගොස් සීල - චිත්ත - දිට්ඨි - කංඛාවිතරණ - මග්ගාමග්ගඤාණදස්සන - පටිපදාඤාණදස්සන - ඤාණදස්සන යන විශුද්ධිවලින් මහත් බවට පැමිණ අරහත් ඵලය නමැති මහඟු පලය නිපදවයි. මෙ සේ ලෞකික ලොකොත්තර දියුණුවේ මූලාවස්ථාව වන බැවින් ශ්‍රද්ධාව බීජයක් හා සමාන යැ යි වදාළහ.

ශ්‍රද්ධා හස්තය

ශරීරයෙක කවර අවයවයක් වුව ද නැති වූ විට පාඩුව දැනෙතත් අත් දෙක නැති වූ විට දැනෙන පාඩුව යට කී හැමට වඩා අධික යයි කිව යුතු ය. රන් රිදී මුතු මැණික් ආදි මහඟු දේ ඇස් ඇති බැවින් දැක්ක හැකි වුවත්, කට ඇති හෙයින් එහි වටිනාකම වැනිය හැකි වුවත් අත් නැත හොත් නොගත හැකි වෙයි. මැණික් ආදිය දුටුවත්, එහි ගුණ වැණුවත් අතින් නොගත හොත් තමනට ඉන් නියම ප්‍රයෝජනය නම් නො ලැබෙයි.
මේ බුද්ධශාසනය ද දාන ශීල ශ්‍රැත ත්‍යාගාදියෙන් පටන් ගෙන අර්හත්වය අවසන් කොට ඇති අනන්ත අනර්ඝ ගුණයන් ගෙන් පිරී ඇත්තේ ය. යමකුට වීර්ය ප්‍රඥාදි අනෙක් ගුණ තමන් තුළ තුබු‍ණත් ශ්‍රද්ධාව නැතොත් ප්‍රඥාවෙන් ඒ ගුණය වැනිය හැකි වුව ද තමන් ගේ සන්තානයෙහි ඇති කර ගත නොහැකි වෙයි. ආහාරයෙහි ගුණ වනා වෙන කෙනකු කෑ විට තමන් ගේ බඩ නොපිරෙන්නාක් මෙන් ඒ ගුණ වැණුම් අසා වෙන අය ගුණවත් වීමෙන් තමන් ගුණවත් නොවන බව සැලැකිය යුතු ය.
මෙ සේ බුද්ධ ශාසනයෙහි ඇති වටිනා රත්න තමන් සන්තාන යෙහි ඇති කර ගැනීමට ශ්‍රද්ධාව අත්‍යන්තොපකාරී ගුණයක් වන බැවින් “සද්ධා හත්‍ථො ඛො මහානාග” - මහානාගය, ශ්‍රද්ධාව අතෙකැ යි වදාළහ.
මෙ සේ ශ්‍රද්ධාව අතක් - වස්තුවක් - බීජයක් ලෙස වදාළ බුදුරජාණන් වහන්සේ වෙනත් නොයෙක් සූත්‍රයන්හි දී “සද්ධාය තරති ඔඝං” ශ්‍රද්ධාවෙන් චතුර්විධ ඔඝය = සංසාර සාගරය තරණය කරයි, “සද්ධා බන්‍ධති පාථෙය්‍යං” - ශ්‍රද්ධාව, සංසාර නමැති දික් ගමනට පින් නමැති මාර්‍ගොපකරණ බඳියි, පිළියෙළ කරයි, “සද්ධා දුතියා පුරිසස්ස හොති” - ශ්‍රද්ධාව පුරුෂයාට දෙවැන්නිය (සහචාරිණිය) වෙයි, “සද්ධා සාධු පතිට්ඨිතා” - සිතෙහි ශ්‍රද්ධාව ස්ථිර පිහිටීම මැනැවි, “සද්ධා ධනං” - ශ්‍රද්ධාව ආර්ය ධනයෙකි. තවත් නොයෙක් තැන නොයෙක් අයුරින් ද වර්‍ණනා කොට වදාළහ.

ශ්‍රද්ධාව හා ප්‍රඥාව

කා තුළත් සම ව තිබිය යුතු ගුණ අතුරෙන් ශ්‍රද්ධා ප්‍රඥා දෙක ද එක ගුණ යුවළකි. ශ්‍රද්ධාව වැඩි වී ප්‍රඥාව අඩු වුවොත් මුග්ධප්‍රසන්නයෙන් = මූඪ ලෙස පැහැදුණෙක් වෙයි. ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩි වුවොත් කෛරාටිකයෙක්, අති පණ්ඩිතයෙක් වෙයි.
“බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටික පක්ඛං භජති, භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති, චිත්තුප්පාද මත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති, උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති.”
ප්‍රඥාව අධික ව ශ්‍රද්ධාව අඩු වූ තැනැත්තේ කෛරාටික පක්‍ෂය භජනය කෙරෙයි, බෙහෙත් කෑමෙන් හටගත් රෝගයක් මෙන් පිළියම් නොකට හැකි වෙයි. දන් පින් ගැන හිතීම් පමණින් ම කුසල් සිදු වේ ය යි අතිධාවනය කර සිතා අතිපණ්ඩිතකමට පින් නො කර නිරයෙහි උපදී. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සම ව පිහිටි කල බුද්ධාදි පැහැදිය යුතු වස්තුවෙහි පහදී යනු භාව යි.
“යො වා ඤාණ විරහිතාය සද්ධාය අතිසද්ධො හොති මුද්ධප්පසන්නො, සොපි බුද්ධො නාම සබ්බලොකුත්තරො, සබ්බෙ තස්ස කෙසාදයො ද්වත්තිංස කොට්ඨාසා ලොකුත්තරා යෙවාති ආදිනා නයෙන දුග්ගහීතං ගණ්හිත්‍වා තථාගතං අබ්භාචික්ඛති.”
යමකුට නුවණ මඳ වූයේ, ශ්‍රද්ධාව වැඩි වූයේ ද හෙතෙමෙ අති ශ්‍රද්ධාව හා මූඪ පැහැදීම නිසා තථාගතයන් වහන්සේ ගේ කෙස් ලොම් ආදිය ද ලොකොත්තරය යි වරදවා සිතා ගැනීමෙන් බුදුරජාණන් වහන්සේට අපවාද ගෙන දෙයි යනු භාව යි.
ශ්‍රද්ධාව හා ප්‍රඥාව සම ව තිබිය යුතු බව මෙයින් ඉතා හොඳින් ම පැහැදිලි වේ. එ හෙයින් මේ ගුණ යුවළ තමන් තුළ සම ව තබා ගන්නට සිතන අතර ම ප්‍රඥාවට වඩා ශ්‍රද්ධාව බහුල වීමට වඩා ශ්‍රද්ධාවට වඩා ප්‍රඥාව බහුල වීම, අතිපණ්ඩිතකම දෙ ලොවින් ම ඉතා අනර්ථකර බව තරයේ ම සිත තබා ගත යුතු ය.
ශ්‍රද්ධාවෙහි නන් වැදෑරුම් බෙදිලි ඇතත් මෙහි ප්‍රධාන බෙදුම් කීපයක් පමණක් සඳහන් කරනු ලැබේ.
  1. ආගමන ශ්‍රද්ධා, අධිගම ශ්‍රද්ධා
ආගමන ශ්‍රද්ධාව නම් බුදුවන බෝසත්වරුන් ගේ මුල් පැතුමෙහි පටන් ජාතියෙන් ජාතියට නො කඩවා ක්‍රමයෙන් දියුණු වෙමින් එන ශ්‍රද්ධාව යි. අධිගම ශ්‍රද්ධාව නම් සෝවාන් මාර්ග ඵලයන්හි පිහිටි උතුමන් ගේ සිත්වල යෙදුණා වූ ලොකොත්තර ශ්‍රද්ධාව යි.
  1. චල ශ්‍රද්ධා, අචල ශ්‍රද්ධා
පෘථග්ජන සන්තානයන්හි කෙණෙහි කෙණෙහි ඇති වී බිඳී යන තෙරුවන් විෂයෙහි පහළ වන ක්‍ෂණික වූ කාමාවචර වූ ශ්‍රද්ධා මාත්‍රය චල ශ්‍රද්ධා නම් වේ. මේ ශ්‍රද්ධාව යම් යම් හේතූන් නිසා ඇති වෙතත් වහා ම නැති වන සුලු ද වේ. අචල ශ්‍රදධාව නම් සෝවාන් ආදි ආර්යයන් ගේ සන්තානයන්හි පහළ වන ලොකොත්තර ශ්‍රද්ධාව යි. එය නම් කිසි විටෙකත් නොසෙල්වෙන කා විසිනුත් නො සෙල්විය හැකි ශ්‍රද්ධාව යි.
  1. සද්දහන ලක්ඛණ සද්ධා, සම්පසාදන ලක්ඛණ සද්ධා, සම්පක්ඛන්‍ධන ලක්ඛණ සද්ධා, ඔකප්පන ලක්ඛණ සද්ධා
සද්දහන ලක්ඛණ සද්ධා නම් තෙ රුවන් කෙරෙහි අඥාන -සංශය - දුර්ඥාන යන කෙලෙසිලිවලින් තොර ව යට කී රත්නයන් ගේ තතු දැන භක්තිය - විශ්වාසය තැබීම යි. පිහිටුවීම යි.
සම්පසාදන ලක්ඛණ සද්ධා නම් හැම අතින් ම සිත් සතන්හි ලොභාදි කෙලෙස්මඩ යට බස්සා හිත පැහැදවීම ස්වභාවය කොට ඇති ශ්‍රද්ධාව යි.
සම්පක්ඛන්‍ධන ලක්ඛන සද්ධා නම් දාන ශීලාදි පින් කිරීමෙහි කොතරම් බාධා පැමුණුණත් ඒ කිසිත් ගැන නො සලකා සියලු බාධා මැඩ ගෙන ඉදිරියට යන විශෙෂ ස්වභාවය ඇති ශ්‍රද්ධාව යි.
ඔකප්පන ලක්ඛණ සද්ධා නම් බුද්ධාදි පැහැදිය යුතු වස්තූන්හි ඇති ගුණ තතු ලෙස දැන කිසිවකුටත් වෙනස් නොකළ හැකි පරිදි ඒ ගුණයන්හි පත්ලට ම බැස ගත්තා වැනි ස්වභාවය ඇති ශ්‍රද්ධාව යි.

ශ්‍රද්ධාවන්තයා ගේ ලක්‍ෂණ

ශ්‍රද්ධාව චෛතසිකයෙකි, සිතේ ඇති වන එක්තරා ශොභන ගතියෙකි. ඒ නිසා යමකු තුළ ශ්‍රද්ධාව ඇති නැති බව කෙළින් ම කීම දිවැස් නැත්තකුට කළ නොහැකි ය. එහෙත් අනුමානයෙන් තේරුම් ගැනීමට උපකාර වන ලක්‍ෂණත්‍රයයක් බුදුරජාණන් වහන්සේ වදාළහ.
“දස්සනකාමො සීලවතං
සද්ධම්මං සොතුමිච්ඡති
විනෙය්‍ය මච්ඡෙරමලං
සවෙ සද්ධොති වුච්චති”
යමෙක් සිල්වතුන් දක්නට කැමැති වේ ද, බණ අසනට රිසි වේ ද, මසුරු මල හැර දන් පින් කෙරේ ද හෙතෙම ශ්‍රද්ධාවන්තයා යැ යි කියනු ලැබේ.

ශ්‍රද්ධාවෙහි අනුසස්

ශ්‍රද්ධාවෙහි - මුඛ්‍ය - ප්‍රධාන ඵලය නම් නිවන් දැකීම යි. “සද්ධා ජාතො උපසඞ්කමති” යන ආදි වශයෙන් කීටාගිරි සූත්‍රයෙහි ශ්‍රද්ධා ඇත්තේ බණ අසන්නට එළඹෙයි, බණ අසයි, සිතේ දරා ගනියි, ඒ අනුව පිළිපදියි, එයින් නිවන් දකී යන ආදි වශයෙන් වදාළහ. අමුඛ්‍ය ඵල වශයෙන් ලොවී ලොවුතුරා සුව ලැබෙයි.
“සද්ධා දුතියා පුරිසස්ස හොති
නො චෙ අස්සද්ධියං අවතිට්ඨති
යසො ච කිත්තී ච තත්‍වස්ස හොති
සග්ගං ච සො ගච්ඡති සරීරං පහාය”
ලොවී ලොවුතුරා සැප කැමැති පුරුෂයාට ශුද්ධාව සහායයා වෙයි. ඉදින් ඔහු අශ්‍රද්ධාවෙහි බැස ගත්තේ නැත් නම් මෙ ලොව දී පිරිවර හා කීර්තිය ද මරණින් මතු ස්වර්ග සම්පත් ද ලබයි.

1960 “බෞද්‍ධ ළමයා” 24 වැනි කාණ්ඩයේ 6 වැනි කලාපයෙනි.
Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි