19 November 2011

බුදුනු අයිතිවාසිකම් වළලනු එපා

පොහොය පාළි උපෝසථ යන්නෙන් බිඳුණු ශබ්දයෙකි. උපොසථ ශබ්දය අර්ථ පසෙක් හි වැටේ.
1.      තදහු පොසථෙ පණ්ණරසෙ යන ආදි තන්හි සාමාන්‍ය දවසට වඩා විශෙෂ ශීලාදි ගුණයන් ගෙන පේවී වාසය කරන දිනයෙහි ද,
2.      ආයාමාවුසො කප්පින, උපොසථං ගමිස්සාම යන ආදි තන්හි තුදුස්වක් පසළොස්වක් දිනයන්හි මහණ මෙහෙණන් ගේ පාමොක් උදෙසීමෙහි ද,
3.      එවං අට්ඨඞ්‍ගසමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උපවුත්‍ථො යන ආදි තන්හි පෝයදා රැක්ක යුතු අෂ්ටාඞ්ග ශීලයෙහි ද,
4.      සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා ආදි තන්හි උපවාසයෙහි හෙවත් මුළුමනින් මැ නිරාහාර වැ හෝ කිරි මී පැණි මිදි යුෂ ආදිය පමණක් හෝ ගෙනැ කල් යවන ව්‍රතයෙහි ද,
5.      උපොසථො නාම නාගරාජා යන ආදි තන්හි කුලයකට තැබූ නාමයෙක්හි දැ යි යන අර්ථ පසෙක්හි උපොසථ ශබ්දය යෙදෙයි.
මෙයින් පළමු අර්ථත්‍රයය අනු වැ බෞද්ධයන් විසින් පාළි උපොසථ ශබ්දයෙහි, සිංහල පොහො සදෙහි තේරුම් උගත යුතු ය. හතර වැනි අර්ථය බාහිරක තාපසවරුන් ගේ ව්‍රතයෙක්හි ද පස් වැනි අර්ථය නාමමාත්‍රයෙහි ද වැටෙන බව සැලැකිය යුතු ය.
මේ පෝය දවස බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වන්නටත් පෙර සම්මත වූවෙකි. ඉතා පෙර - ආදිකාලයෙහි වුසූ ධාර්මික මනුෂ්‍යයෝ සැමදා මැ මෙ ලොවැ කටයුතුවල පමණක් නො යෙදී සතියකට වරක් පරලොව සුභසිද්ධිය සඳහා ආගමික වතාවත්හි යෙදුණා හ. මෙ කලැ මෙන් දින දර්ශන හා ලිත් සුලභ නැති එ කල අහසෙහි සඳ දෙස බලා සතියෙහි ආගමික දිනය හෙවත් පොහොය දැනගත් බව කිව යුතු ය. බුදුජාණන් වහන්සේ ගේ කාලය වන විට බාහිරක තාපසවරු ද පොහොය ආගමික දින හැටියට යොදාගෙනැ තිබිණි
දිනක් බුදුරජාණන් වහන්සේ වෙතට ගිය බිම්බිසාර රජතුමා ස්වාමීනි, අන්‍ය තීර්ථායතනයන්හි පොහොදා ආගමික වතාවත්හි යෙදීම සිරිතක් වැ පවතී. එය ගිහි පැවිදි සම්බන්‍ධයටත් දෙ පක්‍ෂයේ මැ යහපතටත් උපකාර වී ඇත. එ හෙයින් බුදුරජාණන් වහන්සේ බෞද්ධයනට ද පෝහෝ දිනයන්හි ආගමි වතාවත් අනුදැනැ වදාළොත් මැනැවැ යි දැන්වී ය. නිවැරදි සම්මතලවලට හා චාරිත්‍රවලට විරුද්ධ නො වූ බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි ආරාමයන්හි රැස් වන්නට නියම කළ සේක. මේ පොහෝ දිනයන්හි පන්සල්වලැ ආගමික වතාවත් පටන්ගත් සැටි යි.
අන්‍ය තාපසවරුන් ගේ ආරාමයන්හි පොහෝ දිනවලැ ධර්‍මදේශනා කිරීම සිරිතක් වැ පැවතියේ වී නමුත් බෞද්ධ ආරාමවලැ එ බඳු වැඩ පිළිවෙලක් නො වී ය. පොහෝ දිනයන්හි ධර්‍මදේශනා කිරීමෙන් ගිහි පැවිදි සම්බන්‍ධයත් දෙ පක්‍ෂයට මැ සැලැසෙන යහපතත් ගැන සැලැකූ බෞද්ධයෝ බෞද්ධාරාමයන්හි ධර්‍මදේශනා නොපැවැත්වීම ගැන දොස් කියන්නට වූ හ. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි ධර්‍මදේශනා කරන්නට ය යි අනුදැන වදාළ හ. මේ පොහෝ දිනයන්හි  පන්සල්වලැ ධර්‍මදේශනා ආරම්හ වූ සැටි යි .
පොහෝ දිනයෙකැ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩ වෙසෙද්දී විශාඛා මහොපාසිකාවන් සාමාන්‍යයෙන් පැමිණෙන වෙලාවන්හි නො වැ මද්දහනෙහි ආරාමයට පැමිණියෙන් මේ මද්දහ‍නයෙහි කුමක් නිසා පැමිණියේ දැ යි බුදුරජාණන් වහන්සේ විශාඛාවන් ගෙන් ඇසූ හ. ස්වාමීනි, මම අද පෙහෙවස් සමාදන් වැ සිටිමි යි විශාඛාවෝ කීහ. එ විට බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි අෂ්ටාංග ශීලයෙන් පෙහෙවීම පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කළ හ. ත්‍රිවිධ උපෝෂථයන් පැහැදිළි කොට බෞද්ධයන් විසින් ආර්යුපොෂථයෙන් හෙවත් අෂ්ටාංගශීලයෙන් රහතන් වහන්සේ අනුගමනය කෙරෙමින් පෙහෙ වී ආරක්‍ෂා කළ යුතු සැටි ද ප්‍රකාශ කළ හ. සෝවාන් වූ විශාඛා මහෝපාසිකාදීන් ආවේණික ප්‍රතිපත්ති වශයෙන් මෙ සේ අටසිලෙන් පෙහෙ වී වුසුව ද සාමාන්‍ය බෞද්ධයන් අතර පොහොය දිනයන්හි සිල් සමාදන්වීම ගැන වැඩි උනන්දුවක් තුබුණු බවට ලකුණක් නැත. එහෙත් මේ දේශනාවෙන් පසු බෞද්ධ ජනතාව පොහෝ දිනයන්හි සිල් සමාදන් වැ විසීමට උනන්දු වී යැ යි කිව හැකි ය. මේ පොහෝ දිනයන්හි සිල් සමාදන් වීම ආරම්හ වූ සැටි යි.
තවද පොහෝ දිනයන්හි රැස් වන භික්‍ෂූන් වහන්සේ විසින් පාමොක් උදෙසීම කළ යුතු යයි පොහො පවුරුණු විනය කර්ම ද පොහො දිනයට මැ නියම කළ බුදුරජාණන් වහන්සේ මාසයකට යෙදෙන පොහොය හතරෙන් මෙ කලැ ව්‍යවහාරයට පැමිණ තිබෙන පුර පසළොස්වක්, මාසේ පොහොය යන ප්‍රධාන පෙ‍ාහොය පමණක් විනය කර්ම සඳහා වෙන් කළ හ. පසළොස්වක තුදුස්වක වශයෙන් එය ගණන් කොට ගන්නා සැටි ද දේශනා කළ හ. එයිනුදු වස් විසිම ද පවාරණය ද පුර පසළොස්වකට සම්බන්‍ධ කොට දේශනා කිරීම බෞද්ධයන් අතර පුර පසළොස්වක උසස් කොට සැලැකීමට හේතුවක් විය. මේ, බුදුරජාණන් වහන්සේ විසින් මැ පොහෝ දින විශේෂ ආගමික දින හැටියට සම්මත කරන ලද ආකාරය යි.
මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට ලංකාවාසීනට බුද්ධ ධර්මය මෙන් මැ බෞද්ධ චාරිත්‍ර ද ඉගැන්වූ හ. එ හෙයින් පොහොය දින ලංකාවේ ද ආගමික දින හැටියට සම්මත විය. සිංහල රජ දරුවන් ආදි බෞද්ධයන් පොහෝ දිනයන්හි අනෙක් කටයුතුවලින් බැහැර වැ ආගමික වතාවත්හි යෙදුණ බව ඉතිහාසයෙන් පෙනෙන්නට ඇත. පොහොය දින වෙලහෙළෙඳාම් කරනවුනට දඬුවම් පවා නියම කොට තුබුණු බව ශිලාලෙඛනයන් ගෙන් පෙනෙයි. බුදුරජාණන් වහන්සේ ගේ නියමයෙන් ආරම්භ වූ පොහෝ දිනයන්හි බාහිර කටයුතුවලින් නිවාඩු ගෙනැ ආගමික වතාවත්හි යෙදීම ලංකාවේ ද අවුරුදු දෙ දහසකටත් වැඩි කාලයක් නො කඩවා පැවැති බව කිව යුතු ය.
තව ද බුද්ධ ධර්මයෙහි නොයෙක් තන්හි පොහොය දින අන් කටයුතු හැරදමා ආගමික වතාවත්හි යෙදිය යුතු සැටි මනා වැ පැහැදිළි කොට ඇත. බෞද්ධයන් සිල් සමාදන් වී‍ම් ආදි ආගමික කටයුතුවලැ යෙදෙන සැටි දෙවියන් ඉතා සැලැකිල්ලෙන් බලාසිටින්නේ පොහො දිනයන්හි බව අඞ්ගුත්තර නිකායේ සූත්‍රයෙකැ සඳහන් වෙයි. මෙ සේ පොහෝ දින ආගමික දින හැටියටත් එ හෙයින් ම රැකීරක්‍ෂා වෙළෙඳාම් ආදි කටයුතු වලින් බැහැර වැ සිටින නිවාඩු දවස හැටියටත් බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි ම පැවැතෙන බව නුවණැති කාටත් වැටැහෙනුවා ඇත. මේ කරුණු නිසා යි බෞද්ධයනට පොහොය දවස වැදගත් වූයේත් ආගමික කටයුතුවල යෙදීමට නිවාඩු ඉල්ලන්නේත්. පෙහොය දින නිවාඩුවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති බව අබ මල් රේණුවක තරම් වත් මොළයක් ඇති කෙනෙකුට අවබෝධ කැරගැනීම අපහසු වෙතොත් ඔහු කොහේ නැවැත්විය යුත්තකු විය යුතු ද?
පොහොය දින නිවාඩුව පිළිබඳ මෙ තරම් පැහැදිළි වැ තිබිය දී අපේ රටෙහි ඇතැම් අතිපණ්ඩිතයන්, ඇතැම් මෝඩයන්, ඇතැම් ගැහැණුන් පවා බුදු  බණ තමනට වුවමනා පරිදි හරවාගන්නට සූදානම් වන බව පෙනේ. බුද්ධ ධර්මයෙහි දිනයෙන් උස් වන පින්කම් නැත. දිනයෙන් පිරිසුදු වන සිල් නැත. එහෙත් සිල් සමාදන් වීමට දින නියමයක් නැතැ යි සිතීම වැරදි ය. ඇතැම් අය වරද්දා අල්ලාගෙනැ තිබෙන බණ පදය මෙය යි. සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා (පිරිසුදු කතා ක්‍රියා ඇත්තාට සැමදා පුවපල් ගුණේ නැකත යි. පිරිසුදු කතා ක්‍රියා ඇත්තාට සැමදා ම පොහොය යි) යනු යි. මෙය දේශනා කළේ සුන්දරික පරිබ්‍රජකයාට ය. ඔහු පිරිසුදු වීම ගැන නෙ‍ායෙක් මිථ්‍යාදෘෂ්ටි ඇති වැ සිටි කෙනෙකි. ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි හරණය සදහා දේශනා කරන ලද ධර්‍මපාඨයක් අල්ලාගෙනැ සිල් සමාදන් වීමට පොහොය දවස අවශ්‍ය නැති හැටියට තර්ක කිරීම නුවණට සුදුසු නො වේ.
ලංකාවෙහි අවුරුදු දෙ දහසකටත් අධික කාලයක් තුබුණු පොහොය නිවාඩුව නැති කළේ 1770 වැන්නෙහි පෝක් නම් වූ ඕලන්ද ආණ්ඩුකාරයා විසිනි. මෙ සේ පොහොය නිවාඩුව වෙනස් කොට ඉරිදා නිවාඩුව ඇති කළේ වී නමුත් බොහෝ කාලයක් බෞද්ධයන් තුළ මුල් බැසගෙනැ තුබුණු නිවාඩුව ජනතාවගේ හිත්වලින් අස් කරන්නට ඉතා අපහසු විය. එහෙත් 1817 වැන්නෙහි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් තව ද පනතක් ඇති කොට දඬුවම් ද නියම කොට පෙහොය නිවාඩුව වෙනස් කරන ලදි.
බෞද්ධයන් ගේ සාධරණ ඉල්ලීම මෙය යි. නිදහස් රටක් වැ තුබුණු ලංකාව විදේශීන් විසින් බලයෙන් යටත් කැරගන්නා ලදි. එහෙත් ලංකාව දැන් නැවැතත් නිදහස් රාජ්‍යයෙකි. කලින් නිදහස් ලංකාවෙහි බෞද්ධයන් සතු වැ තුබුණු ඒ සාධාරණ අයිතිවාසිකම් නැවැත ලබාදෙන ලෙස ඉල්ලමු. ඒ අතර මැ පොහොය නිවාඩුව හින්දු භක්තිකයනට ද සාධාරණ බව කිව යුතු ය. එ සේ නම් ලංකාවේ ජනගණයෙන් සියයට අසූ හතරක් පමණ වූ හින්දු බෞද්ධ දෙ පක්‍ෂයට මැ මෙය සාධාරණ යි. බෞද්ධයන් ගේ මේ සාධාරණ ඉල්ලීමත් සමග මැ අන්‍ය ලබ්ධිකයන් ගේ සාධාරණ අයිතිවාසිකම්වලට බාධාවක් නොවන පරිදි කටයුතු කිරීමට කරුණු දැක්වීම බෞද්ධයන් ගේ තව ද සාධාරණ ලක්‍ෂණයෙකි.
පින්වත් අගමැතිනියෙනි, ඇමැතිවරුනි, දැන් නැඟීඑන බෞද්ධ ප්‍රබෝධය මහා බ්‍රහ්මයාට වත් නවත්වන්නට බැරි ය. පසළොස්වක් පොහොය පමණක් දී දැන් බෞද්ධයා රවටන්නත් බැරිය. මෙය ප්‍රමාද කිරීම අපට ඉවසා ඉන්නත් බැරි ය. එහෙයින් පොහොය නිවාඩු ඉල්ලා කරදර නොකරත් බැරිය. මෙය අපටත් මහ කරදරයෙකි. ඔබතුමන්ලාටත් මහ වදයෙකි. මෙය සිංහල බෞද්ධ රටක් බව ඔබතුමන්ලාටත් අමතක නොවෙනවා ඇත. මේ රටෙහි ජනගහණයෙන් සියයට හැත්තෑවක් පමණ බෞද්ධයන් බව ඔබතුමන්ලාට අමතක වන්නට ද ඉඩක් නැත. ඔබ තුමන්ලා පාලන බලයට පත් කිරීමට ඡන්දය දුන්නේත් ඉදිරියටත් දෙතොත් දෙන්නේත් සියයට අනූනමයක් පමණ සිංහල බෞද්ධයන් මැ බව අමතක කරන්න එපා . පොහොය නිවාඩු කිරීම පාර්ලිමේන්තුවේ දී සම්මත යෝජනාවවක් බව අමතක කන්නත් එපා.
පොහොය නිවාඩුව කිරීමේ යම් යම් අපහසුකම් ඇතොත් ඒවා නිරා කරණය කැරගන්නට හැම උපදේශයක් මැ දෙන්නට සූදානම් වැ සිටිමු. රජයට ආර්ථික පීඩාව තදින් මැ පවතින බව අපි දනිමු. රජයට සතයෙකිනුදු පාඩුවක් නොවන්න මාර්ගය කියාදෙන්නට පිළිවන. මේ අවස්ථාවෙහි දී මහදැනමුත්තා ගේ උපදෙශය වැනි උපදෙස් දෙන අය ඉන්නට පිළිවන. බෙල්ල කැඩී යා හැකි උපදෙස් දෙන බොරු හිතවතුන්ගෙන් පරිස්සම් වන්න. මේ වරත් මේ වැඩේ වැරැද්දුවොත් කාගෙන් බේරුණත් ශාසනාරක්‍ෂක දෙවියන් ගෙන් නම් බේරෙන්නට ලැබෙන්නේ නැති බව කරුණාවෙන් හිතට ගන්න.
දිනමිණ  1964.09.22
Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි