01 November 2011

භාවනා 4


භාවනාවට යෝග්‍ය ස්ථානය

මෙහි භාවනාවට යෝග්‍ය ස්ථාන වශයෙන් ආරණ්‍ය යැ, රුක්මුල හා ශූන්‍යාගාර යැයි තුන් තැනක් දක්වා ඇත්තේ ය. මේ ස්ථාන තුනක් දැක්වූයේ මෙයින් පිටත් ගෙදරත් පන්සලත් ආදී අන් තැනෙකැ සිට භාවනා කළ නොහැකි නිසා නො වැ එබඳු තැනෙකැ සිට භාවනා කරන විට ඉක්මනට ප්‍රතිඵල ලබා ගත හැකි වන හෙයිනි. ගිහිගෙවලැ වාසය කරන අය මෙ බඳු තැනකට මැ පැමිණ භාවනා කරන්නට සිතා සිටියහොත් මේ ජීවිතයෙහි නම් භාවනා කිරීමට අවස්ථාවක් නොලැබෙන්නට පිළිවන. එහෙයින් තමන් වාසය කරන ස්ථානයෙහි දී ම සුළු වශයෙන් හෝ භාවනා කිරීමේ පිළිවෙළක් යොදා ගත යුතු ය. එසේ ම ගිහි පැවිදි දෙපක්‍ෂය ම වරින්වර හෝ යටැ කී විවේක ස්ථානයකට ගොසින් භාවනා කිරීමට පිළිවෙළ යොදා ගත යුතු ය.
ශූන්‍යගාරය නම් එක්තරා ප්‍රමාණයෙකින් ගිහි ගෙදරක වුව ද ලබා ගත හැකි ය. රාත්‍රී කාලයෙහි තමන්ගේ කාමරය ද ගෙදර අනෙක් අය නොගැවසෙන අවස්ථාවන්හි දී ඉස්තෝප්පු ආදී තැන් ද ශූන්‍යාගාරයෝ වෙති. තමනට වෙන ම කාමරයක් නැතත් අනෙක් අය නිශ්ශබ්ද වැ නිදා ගන්නා විට ඒ කාමරය ම ශූන්‍යාගාරයක් බඳු වෙයි. ආනාපානසති භාවනාව සඳහා එළියක් උවමනා නැත. එ නිසා රෑ පහන් නිවා ගත් විට කීප දෙනකුට වුව ද එක කාමරය තුළැ භාවනා කළ හැකි වේ.

භාවනාවට යෝග්‍ය ආසනය

පල්ලඞ්කං ආභුජිත්වා - පලක් බැඳ යී භාවනාවට යෝග්‍ය ආසනය බුදුරජාණන් වහන්සේ ම ප්‍රකාශ කළහ. භාවනා කළ හැකි ඉරියවු සතරෙකි. එයින් සිටීම හා සක්මන ද නොසංසුන්කමට බර ය, වැදැ හෙවීම කුසීතකමට බර ය, එහෙයින් හොඳ ම ඉරියවුව හිඳීම ය. එහෙත් සක්මනෙන් ඇති වන සමාධිය බොහෝ කල් පවත්නා බව ද ප්‍රකාශිත ය. මේ ආනාපානසති භාවනාව සතර ඉරියවුවෙහි ම වැඩිය හැකි වුවත් හැමට වඩා පහසු ඉරියවුව සලකා “පල්ලඞ්කං ආභුජිත්වා” යී ප්‍රකාශ කළහ.
පුරුෂ පක්‍ෂයට බද්ධපර්‍ය්‍යඞ්කයත් (- එරමිණියා ගොතා ගෙනැ වාඩි වීමත්) ස්ත්‍රී පක්‍ෂයට අර්ධපර්‍ය්‍යඞ්කයත් (- කකුල් දෙක පස්සට නවා එක පසකට බරවන සේ වාඩියත්) භාවනාවට යෝග්‍ය ආසනයි. මේ ක්‍රමය මුල දී සමහරුනට අපහසු විය හැකි ය. එසේ අපහසු නම් පුරුදු වන තුරු පහසු ලෙසකින් හිඳැ ගත යුතු ය. ඒ අතර ම නියම ආසන ක්‍රමය ටිකෙන් ටික පුරුදු පුහුණු කැරැ ගත යුතු ය.

කය ඍජු වැ තබා

උජුං කායං පණිධාය - උඩුකය ඍජු වැ - කෙළින් තබා ගන්නැයි ප්‍රකාශ කළහ. කය ඍජු වැ තබා ගැනීමේ පහසුකම් කීපයෙකි. හැකිළී සිටින විට හම හා මස් පිඩු ද ඇදී තද වීම නිසා ඇතිවිය හැකි වේදනා අඩු වෙයි. නිදිමත ද අඩු වේ.
තවද හැකිළී වක ගැසී සිටින විට පිටතින් බලන කෙනකුට ද සතුටින් සුවසේ කරන ක්‍රියාවක් හැටියට ද නො වැටහෙයි. දුකින් පීඩිත වූවකු ලෙස මැ වැටහෙයි. ඒ නිසා වාඩිවී උඩුකය කෙළින් තබා ගත යුතු ය.
හිස හා ඇස ගැන ද දෙ අත තබා ගැනීම පිළිබඳ වැ ද විශේෂයෙන් සඳහන් කොට නැති හෙයින් එකී අවයව පහසු ලෙසකින් තබා ගත හැකි ය. එහෙත් දෙ අත නම් සමහර සමාධි පිළිමවලැ තිබෙන්නාක් මෙන් අත උඩ අත (- අල්ල උඩ අල්ල) තබා ගැනීම සුදුසු ය. හිස උවමනාවට වඩා නමන්නේත් නැති වැ ඔසවන්නේත් නැති වැ පහසුවෙන් තබා ගන්න. ඇස ඇර ගෙනැ හෝ වසා ගෙනැ හෝ සිටීම තමන් කැමැති පහසු පරිදි ය.

සිහිය අභිමුඛ කොට තබා

පරිමුඛං සතිං උපට්ඨපෙත්වා  - සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොට එළවා ගන්නැයි ප්‍රකාශ කළහ. තමාගේ කමටහනෙහි - වඩන භාවනාවෙහි සිහිය එළවා ගත යුතු ය. මෙහි විස්තර වන්නේ ආනාපානසතිය නිසා ආනාපාන නම් වූ අරමුණට සිහිය එළවා ගන්නේ කෙසේ දැ යි පැහැදිලි කැරැ දිය යුතු ය.
අයං සති උපට්ඨිතා හොති සූපට්ඨිතා නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ වා තෙන වුච්චති පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති.
- විභඞ්‍ගප්පකරණ
මේ සිහිය නැහැයෙහි කෙළවරැ හෝ උඩු තොලෙහි මැද පෙදෙසැ හෝ එළවා තැබූයේ මනා කොට එළවා තැබුවා වෙයි. එහෙයින් “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා“ යි කියයි. “මුඛසමීපෙ වා කත්‍වාති අත්‍ථො” යී අටුවාවෙහි විවරණ කැරැ තිබෙන හෙයින් යටැ කී දෙ පදයෙන් ම ප්‍රකාශ වන්නේ මුව සමීපයෙහි සිහිය එළවා ගත යුතු යනුයි.
ආශ්වාස ප්‍රශ්වාස කරන විට එම වාතය සමහරුන්ගේ නැහැයෙහි කෙළවරැ හැපෙයි, සමහරුන්ගේ උඩු තොලෙහි මැද පියෙසැ හැපෙයි. තමාගේ ආශ්වාස ප්‍රශ්වාස වාතය හැපෙන තැන පළමු වැ දැනැ එහි සිහිය එළවා ගත යුතු ය.
     කායානුපස්සනාව වඩන කෙනෙකුට කයෙහි කවර තැනක් හෝ අරමුණු කැරැ ගත හැකි යයි සමහරු සිතති, කියති. කායෙ කායානුපස්සී විහරති යන්න පමණක් ප්‍රකාශ කොට දේශනාව අවසන් කළා නම් කයෙහි තමන් කැමැති කවර තැනක් හෝ අරමුණු කැරැ ගෙනැ භාවනා කරන්නට ඉඩ තිබුණි. බුදුරජාණන් වහන්සේ මැ කායානුපස්සනාව තුදුස් ක්‍රමයෙකින් විස්තර කොට තිබෙන නිසා එයින් එක් ක්‍රමයක් තෝරා ගෙනැ කායානුපස්සනා  භාවනා කළ යුතු ය. යම් කිසිවකු කැමති නම් පාදයෙහි සුළැඟිල්ලෙහි හෝ අරමුණු කැරැගෙනැ කායානුපස්සනාව වැඩිය හැකි ය. එහෙත් එය බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමයක් නො වෙනුවා ඇත. එමෙන් ම කායානුපස්සනාවට ඇතුළත් ආනාපානසතිය පිළිබඳ වැ ද, “පරිමුඛං සතිං උපට්ඨපෙත්වා” යන්න පමණක් ප්‍රකාශ කළා නම් තමන් කැමැති තැනෙකැ සිහිය එළවා ගෙනැ භාවනා කළ හැකි වෙයි. බුදුරජාණන් වහන්සේ මැ එය අන් තැනෙක දී හෝ “නාසිකග්ගෙ වා මුඛ නිමිත්තෙ වා” යි විවරණය කළ හෙයින් ආනාපානසතිය වඩන්නහු විසින් මුව සමීපයෙහි මැ සිහිය එළවා ගත යුතු ය. යම් කිසිවකුට පහසු නිසා හෝ ලෙහෙසියෙන් වැටහෙන නිසා හෝ අන් තැනෙකැ සිහිය එළවා ගෙනැ ආනාපානසතිය වැඩීමට බාධාවක් නැත. එහෙත් එය බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමයක් නොවෙනුවා ඇත.

පළමු අවස්ථාව

මේ භාවනාව ක්‍රමයෙන් උසස් වී යන ලෙසින් සොළොස් (16) ආකාරයකට ප්‍රකාශ වී ඇත්තේ ය. එයින් මෙහි සඳහන් කැරෙන්නේ ගිහිගෙදර දී වුව ද වැඩිය හැකි මුල් ආකාර හෙවත් අවස්ථා සතර පමණ ය.
මේ අවස්ථා සතරින් පළමු වැන්න හා දෙවැන්න පොත්හි සඳහන් වන ක්‍රමයට වඩා මඳක් වෙනස් වී ඇත. ආධුනිකයන්ගේ පහසුව සඳහා කළ ඒ වෙනසෙහි අවස්ථා භේදය විනා භාවනා ක්‍රමයෙහි වෙනසක් නැත.
මෙහි සඳහන් වන පළමු, දෙ වැනි ආදී අවස්ථා භාවනාව දියුණු වීමෙන් ඉබේ පැමිණෙන තත්ත්වයක් විනා උවමනාවෙන් පමුණුවන තත්ත්වයක් නොවෙයි. ඉගෙන ගන්නා විෂයක් නම් මුල් සතියට පාඩම් මෙපමණ යැ, දෙ වැනි සතියට මෙපමණ යැ, තෙ වැනි සතියට මෙපමණ යැ, සිවු වැනි සතියේ පාඩම් පෙළෙන් අවසන් වේ යැ යි පාඩම් මාලාවක් ලෙස සකස් කළ හැකි ය. එලෙසින් ඉගැන්වීමත් ඉගෙනීමත් කළ හැකි වෙයි. එහෙත් භාවනාව එසේ නො කළ හැකි ය. මේ සතියේ මෙපමණ දුරට භාවනා කළ යුතු ය. මෙපමණ ප්‍රතිඵල ලැබිය යුතු ය. මෙපමණ කලෙකින් භාවනාව අවසන් කළ යුතු ය ආදී වශයෙන් නියමයක් නො කළ හැකි වෙයි. ඒ ඒ තැනැත්තා විසින් පුරන ලද පාරමී ධර්‍මයන්ගේ ද ඥානයේ හා උත්සාහයේ ද ප්‍රමාණයට මැ භාවනාවේ දියුණුව ඇති වෙයි. එහෙයින් මෙහි සඳහන් අවස්ථා භාවනාව ක්‍රමයෙන් දියුණු වී ඉබේ පැමිණෙන අවස්ථාවෝ ය. එයට කාලයක් නියම කළ නො හැකි වෙයි. පළමු අවස්ථාව ඉක්මවා දෙ වැනි අවස්ථාවට පැමිණීම සමහරුනට පැය ගණනෙකින් හෝ කරන්නට පිළිවන් වෙනුවා ඇත. එසේ මැ සමහරුනට අවුරුදු ගණන් ගතවන්නටත් පිළිවන.
සතොව අස්සසති සතො පස්සසති - සිහියෙන් මැ ආශ්වාස කෙරෙයි, සිහියෙන් ප්‍රශ්වාස කෙරෙයි. පළමු වැ ආශ්වාස ප්‍රශ්වාස කරන විට වාතය ස්පර්‍ශ වන තැන දැනැගෙනැ එහි සිහිය එළවා තැබිය යුතු ය. එතැන් පටන් හුස්ම නැහැයේ කෙළවරැ හෝ උඩුතොලේ මැද පියෙසැ හෝ හැපී ඇතුළු වන විට “හුස්ම ඇතුළු වේ” යි සිහිය පිහිටුවා ගත යුතු ය. හුස්ම පිටවන විට “හුස්ම පිට වේ” යි සිහිය පිහිටුවා ගත යුතු ය.
සමහර අර්‍ථකථාචාර්‍යවරු මෙය පහසුවෙන් කිරීම සඳහා යයි ගණන් ක්‍රමයක් ද ප්‍රකාශ කොට තිබේ. එකයි සිතමින් හෝ කියමින් හෝ හුස්ම ඇතුළට ගැනීම, දෙකයි සිතමින් හෝ කියමින් හෝ හුස්ම පිට කිරීම, මෙලෙසින් දහය දක්වා ගණන් කල යුතු ය. දහයෙන් ඉහළ ගණන් තරමක් ආකුල හෙයින් ඉන් ඉහළට ගණන් කරන්නට ගියොත් සිහිය ඒ සඳහා යෙදිය යුතු බැවින් දහයෙන් නවත්වා නැවැත එකේ සිට යා යුතු ය. මෙය බුදුරජාණන් වහන්සේගේ නියමයක් නොවන බැවින් අවශ්‍ය මැ නැත. එහෙත් සමෙකුට සිත එකඟ කර ගැනීමට එය පහසු නම් එසේ කිරීම ද වරදක් නො වේ.
මේ භාවනාව වඩන සමහරු විශේෂ උවමනාවෙකින් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙති. එය නො මැනවි. එසේ කිරීමෙන් කයට පීඩාවක් ලැබෙනවා පමණක් නො වැ හෘදයවස්තුව ද දුර්‍වල විය හැකි ය. එසේ ම එයින් ආශ්වාස ප්‍රශ්වාස වාර වැඩි වීමෙන් අම්ලකර වායුව ද වැඩිවෙයි. එයින් නොයෙක් කායික පීඩා හා වේදනා ද ඇතිවෙයි. සමහර විට වරින් වරැ ක්‍ෂණික මූර්ජාවීම් ද ඇතිවිය හැකි ය. නොයෙක් දේ පෙනෙන්නට ද පිළිවන. සමහරවිට ඉබේ මැ වශී වී කිසිවක් නොදන්නෙකු මෙන් ද සිටින්නට පිළිවන. ඒ නිසා විශේෂ උවමනාවෙකින් එක වරකුදු ආශ්වාස ප්‍රශවාස කිරීම අනර්‍ථකර ය. සතොව අස්සසති සතො පස්සසති යි වදාළ පරිදි ස්වහාවයෙන් හුස්ම ඇතුළු වන පිටවන විට හුස්ම ඇතුළු වෙයි. හුස්ම පිටවෙයි යන සිහියෙන් යුක්ත වීම මැ ප්‍රමාණවත් වේ.
මේ ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන් කෙරෙමින් හෝ නැති වැ හෝ කරන විට සිතේ ඇති නොසංසුන් කම නිසා බොහෝ ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන් ගත නො හැකි වෙනුවා ඇත. එයින් පසුබට නොවී නැවැත නැවැතත් පුරුදු කිරීමෙන් දියුණුවක් ලබාගත හැකි ය. යමකුට එක ආශ්වාස ප්‍රශ්වාස වාරයක් වත් සිහියෙන් තොර වැ නොපවත්නා ලෙස හෙවත් හැම ආශ්වාස ප්‍රශ්වාසයක් මැ සිහියෙන් යුතු වැ පවත්වා ගෙන මිනිත්තු දහයක් වත් මේ භාවනාව වැඩිය හැකි වුවහොත් එය උසස් දියුණුවෙකි. එසේ බොහෝ වේලාවක් භාවනා කළ හැකි වන පරිදි එය දියුණු කැරැ ගත යුතු ය. එලෙසින් සිහියේ පුහුණුවක් නැති වැ මෙහි දෙවැනි අවස්ථාවට යෑමෙන් නියම ප්‍රයෝජනයක් නො ලැබෙයි.

දෙ වැනි අවස්ථාව

දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති  පජානාති රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති - දීර්‍ඝ වැ ආශ්වාස කරනුයේ දීර්‍ඝ වැ ආශ්වාස කෙරෙමි යි දනී, දීර්‍ඝ වැ ප්‍රශ්වාස කරනුයේ දීර්‍ඝ වැ ප්‍රශ්වාස කෙරෙමි යි දනී, හ්‍රස්ව වැ ආශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ආශ්වාස කෙරෙමි යි දනී, හ්‍රස්ව වැ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ප්‍රශ්වාස කෙරෙමි යි දනී.
සෑම දෙනාගේ මැ ඇතැම් ආශ්වාස ප්‍රශ්වාස දිග යැ, ඇතැම් ආශ්වාස ප්‍රශ්වාස කොට යැ. මෙසේ දිග කොට දෙකින් මිශ්‍ර වැ පවතී. පළමු අවස්ථාවෙහි සඳහන් වූ පරිදි ආනාපාන සතිය වඩා ප්‍රගුණ වූ විට මේ දෙවැනි අවස්ථාවට ඉබේ මැ පැමිණෙයි. එනම් බොහෝ කාලයක් සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් සිත සංසුන් නිසාත් එක් මැ අරමුණ ගෙනැ සිටීමට සිහිය පුරුදු වැ සිටීම නිසාත් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ දිග කොට භේදය දැනෙන්නට පටන් ගනී.
මේ භාවනාව වඩන යෝගාවචරයා හුස්ම දීර්‍ඝ වැ ඇතුළු වන විට එය දිග බව දැනැ ගනී, හුස්ම දීර්‍ඝ වැ පිට වන විට එය ද දිග බව දැනැ ගනී, හුස්ම හ්‍රස්ව වැ ඇතුළු වන විට එය ද කොට බව දැනැ ගනී, හුස්ම හ්‍රස්ව වැ පිට වන විට එය ද කොට බව දැනැ ගනී. පෙරැ මෙන් මැ මේ සඳහා එක වරකුදු උවමනාවෙන් හුස්ම ඇතුළු කිරීම හෝ පිට කිරීම හෝ නොකළ යුතු ය. මෙය පළමු අවස්ථාවට වඩා දියුණු තත්ත්වයෙකි. එහෙයින් මේ තත්ත්වයට පැමිණි යෝගාවචරයා ඉතා ප්‍රීති විය යුතු ය. තව තවත් උනන්දු විය යුතු ය. මෙසේ දිග කොට වෙනස දනිමින් භාවනා කිරීම හොඳට මැ දියුණුකළ යුතු ය. මතු සඳහන් වන තුන් වැනි අවස්ථාවට නිරායාශයෙන් මැ පැමිණෙන තුරු මෙලෙසින් භාවනා කළ යුතු ය.

තෙ වැනි අවස්ථාව

සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති - සියලු ආශ්වාස කය පැහැදිලි වැ දන්නා සුලුවූයේ ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. සියලු ප්‍රශ්වාස කය පැහැදිලි වැ දන්නා සුලුවූයේ ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.
ආශ්වාසකායයාගේ මුල නාසිකාග්‍රය යි, මැද හෘදය යි, අග නාහිය යි. ප්‍රශ්වාසකායයාගේ මුල නාභිය යි, මැද හෘදය යි, අග නාසිකාග්‍රය යි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාසයන් ගේ මුල මැද අග දනිමින් භාවනා කිරීමක් ද පෙරැ පැවැති බව පුරාණ සන්නවලින් පෙනෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ එලෙසින් දේශනා කොට නැත. එසේ මැ ශරීර විද්‍යාව පිළිබඳ වර්‍තමාන විද්‍යාඥයෝ ද ආශ්වාසයන් නාභිය තෙක් යෑමට මාර්‍ගයක් නැති බවත් ආශ්වාස ප්‍රශ්වාස කරන අවස්ථාවෙහි නාභි ප්‍රදේශයෙහි ක්‍රියාකාරිත්වයක් දැනෙතොත් එය මාංසපේශීන්ගේ ක්‍රියාකාරී මාත්‍රයක් බවත් ප්‍රකාශ කෙරෙති.
විශුද්ධිමාර්‍ගය පාළියට පරිවර්‍තනය කරන කාලයෙහි ද යටැ කී ක්‍රමය තුබුණේ වී නමුදු එය සිත කැලැඹීමට හේතු වන හෙයින් නුසුදුසු යයි බුද්ධඝෝෂාචාර්‍ය පාදයන් වහන්සේ විසින් බැහැර කරන ලදී. එය නුසුදුසු බව පැහැදිලි කිරීමට දෝවාරිකෝපමාදි උපමා කීපයක් දක්වා ඇත. දොරටුපාලයාගේ ක්‍රියාව දොර ළඟ සිට ඇතුළට යන්නවුන් හා පිටත යන්නවුන් ද දැනැ ගැනීම විනා ඇතුළට හා පිටතට ද ගියවුන් සොයා බැලීම නො වෙයි. එමෙන් මැ මේ භාවනාව කරන යෝගාවචරයා විසින් ද කළ යුත්තේ මුව සමීපයෙහි සිහිය රඳවා ස්පර්‍ශස්ථානයෙහි දී මැ සම්පූර්‍ණ ආශ්වාස ප්‍රශ්වාස කායයන් දැනැ ගැනීම විනා ඇතුළට හා පිටතට ද ගිය ආශ්වාස ප්‍රශ්වාසයන් සොයා බැලීම නො වේ.
එහෙයින් සබ්බකාය පටිසංවෙදී නම් ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්‍ශ වන තැනැ දී මැ මුල මැද අග වශයෙන් දැනැ ගැනීම යි. ආශ්වාස කරන විට නාසිකාග්‍රයෙහි හෝ උඩුතොලෙහි හෝ ස්පර්‍ශාරම්භය මුල හැටියටත් ස්පර්‍ශාවසානය අග හැටියටත් මෙදෑතුර මැද හැටියටත් ගැනීම යි. ප්‍රශ්වාස කරන විටත් එසේ මැ ය.
අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්‍ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතෙන චිත්තෙන කායොපි චිත්තංපි සාරද්ධා ච හොන්ති ඉඤ්ජිතා ච ඵන්දිතා ච.
- පටිසම්භිදාමග්ග
ආශ්වාසයාගේ මුල මැද අග සිහියෙන් අනුවැ යන්නහුගේ ඇතුළත විකේෂප වූ සිත කරණ කොට ගෙනැ කය ද සිත ද දැඩි වෙයි. කම්පා ද වෙයි. සැලෙයි.
“නාහං භික්ඛවෙ මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානාසති භාවනං වදාමි - මහනෙනි, මම නුවණ නැති මුළා වූ සිහිය ඇත්තහුට ආනාපානසතිය නො වදාරමි” යි බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපානසතියෙහි දියුණු අවස්ථා සලකා ගෙනැ යි. මුල් අවස්ථා දෙකෙහි නුවණ එතරම් නො යෙදුව ද සිහිය වැඩීම් මාත්‍රයෙන් එය පුහුණු කළ හැකි ය. එහෙත් තෙ වැනි අවස්ථාවෙහි සිට ඉහළට මේ භාවනාව කිරීම සඳහා නුවණ ද ඉතා අවශ්‍ය යැ.
යම් යෝගාවචරයකුට ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ මුල මැද අග යන තුන් තැන ම පැහැදිලි ව දනිමින් දීර්‍ඝ කාලයක් භාවනා කළ හැකි වුවොත් එය ඉතා උසස් දියුණුවෙකි. ඒ කාලය තුළ යෝගාවචරයාගේ හිත මොහොතකට හෝ අරමුණෙන් බැහැර නොයන තරම් විය හැකි ය. ධ්‍යානයක් ලබන තරමට ආසන්න යයි කිව යුතු ය. ඒ නිසා එබන්දහු විසින් තවතවත් උනන්දුවෙන් භාවනා කළ යුතු ය.

සතර වැනි අවස්ථාව

පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති - ආශ්වාස යයි කියන ලද කායසංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි. ප්‍රශ්වාස යයි කියන ලද කායසංස්කාරය සංසිඳවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.
පෘථග්ජනයන්ගේ සිත අශාන්ත යැ, ඖදාරික යැ. ඒ නිසා කය ද අශාන්ත යැ, ඖදාරික යැ. එවිට ආශ්වාස ප්‍රශ්වාසයෝ ද ඖදාරික වෙති. නාස්පුඩුව ප්‍රමාණවත් නොවීමෙන් කට ද උපකාර කැරැ ගත යුතු වෙයි. තදින් වෙහෙසට පත් වූ අවස්ථාවක් ගැන සිතූ විට එය වටහා ගත හැකි ය. ඒ වෙහෙස සංසිඳී ගිය කලැ කය ද ශාන්ත වෙයි. සිත ද ශාන්ත වෙයි. එසඳැ ආශ්වාස ප්‍රශ්වාස ද සියුම් බවට හැරෙයි. මෙය කයෙහි වෙහෙස සංසිඳීම් මාත්‍රයෙකින් වන සංසුන් බවෙකි. සිත යහපත් අරමුණෙකැ යෙදීමෙන් ඇතිවන සංසුන් බව ඉතා විශිෂ්ට ය.
කථං පස්සම්භයං කායසඞ්‍ඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස ආනමනා විනමනා සන්තමනා පනමනා ඉඤ්ජනා ඵන්දනා චලනා කම්පනා පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, යථාරූපෙහි කායසඞ්ඛාරෙහි කායස්ස න ආනමනා න විනමනා න සන්තමනා න පනමනා අනිඤ්ජනා අඵන්දනා අචලන්තා අකම්පනා සන්තං සුඛුමං පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්ඛති.
-පටිසම්භිදාමග්ග
කායසංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාසයන් කෙරෙමින් හික්මේ යනු කෙසේ වේ ද යත්, යම් කායසංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් පස්සට නැමීම් දෙ පසට නැමීම් සැලීම් ආදී ක්‍රියා කොර් ද ඒ කාය සංස්කාරයෝ ඖදාරිකයහ. ඒ ඖදාරික කායසංස්කාරයන් සංසිඳුවම්න් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි. යම් කායසංස්කාරයෙකින් ශරීරය ඉදිරියට නැමීම් පස්සට නැමීම් දෙ පසට නැමීම් සැලීම් ආදී ක්‍රියා නො කෙරේ ද ඒ කාය සංස්කාරයෝ ශාන්තයහ, සුඛුමයහ. ඒ සියුම් කායසංස්කාරයන් සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.
මේ ඉතා සැලැකිල්ලෙන් තේරුම් ගත යුතු කොටසෙකි. 1958 වැන්නෙහි ජුලි මස 10 වැනිදා ගමනක් ගොසින් එන ගමන් කළුතර බෝධීන් වහන්සේ ළඟ වාහනය නවත්වා බුදුන් වැඳීමට ගියෙමි. එහි කෙනකු භාවනා කරන විලාසයෙන් හිඳැ ගෙනැ සිටිනු දිටිමි. තවත් පිරිසක් පිටු පසින් වාඩි වී බලා සිටිනු ද දිටිමි. මඳ වේලාවකින් භාවනා කෙරෙමින් යයි වාඩි වී සිටි තැනැත්තා වෙවුලන්නට පටන් ගති. දෙපසට වැනෙන්නට පටන් ගති. හිස තදින් මැ වැනෙන්නට ද විය. ඔහුගේ භාවනාව ක්‍රමයෙන් දියුණු වෙමින් ඒ යයි පුදුමයෙන් බලා සිටියවුන්ගෙන් කීප දෙනෙක් පැමිණ මේ කෙබඳු භාවනාවක් දැ යි ඇසූහ. ඔහුගේ භාවනාව කුමක් දැයි කිව නො හැකි බවත් බුද්ධධර්‍මයෙහි නම් ඔබඳු විකාර භාවනා නැති බවත් කියා පිටත් වැ ආවෙමි.
තව ද, මේ භාවනාව කරන සමහරු වෙවුලන්නේ නැමෙන්නේ කැරකෙන්නේ දඟලන්නේ භාවනාව දියුණු වූ විට දැයි යම් යම් දෙනා අසති.
මේ භාවනාව ක්‍රමයෙන් දියුණු වන විට හුස්ම ඉතා සංසුන් වෙයි. ආශ්වාස ප්‍රශ්වාස ඇද්දෝ නැද්දෝ යන තරමට මැ සංසුන් වෙයි. මෙසේ දියුණු වෙත් මැ කයෙහි සැලීම් මාත්‍රයකුදු නැති වේ.
දිනක් මහාකප්පින මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි නිසල වැ වැඩ සිටියහ. එසඳැ බුදුරජාණෝ “මහණෙනි, මහාකප්පින භික්‍ෂුවගේ කයෙහි සැලීමක් හෝ ස්ඵන්දනයක් හෝ පෙනේදැ” යි ඇසූහ. “ස්වාමීනි, නො පෙනේ” යි භික්‍ෂූහු කීහ. එවිට බුදුරජාණෝ “ආනාපාන සතිසමාධිස්ස භික්ඛවෙ භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා” - මහනෙනි, ආනාපානසතිසමාධිය වැඩූ බැවින් බහුල කොට වැඩූ බැවින් කායයාගේ ද චිත්තයාගේ ද සැලීමක් හෝ ස්ඵන්දනයක් හෝ නො වේ යි වදාළහ. අනතුරු වැ ආනාපානසතිය දියුණු කොට වඩන සැටි ද ප්‍රකාශ කළහ.
සමහර යෝගීහු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳවීම් හුදෙක් හුස්ම නවතා සිටීම් ආදී ක්‍රමවලින් කෙරෙති. එය ඉතා ඖදාරික ය. ගොරෝසු ය. ආරම්භයෙහි දී කයට ද පීඩාකර ය. සමහර විට නිරෝගභාවය නැතිවීමට ද හේතු වෙයි. මෙය බාහිරකයන්ගේ යෝග කුම‍යෙකි. බුද්ධ ධර්‍මයෙහි ආශ්වාස ප්‍රශ්වාසයන් සංසුන් කිරීම ඉතා මැ ක්‍රමවත් ය. සිත සංසුන් කිරීමෙන් ඇතිවන්නක් නිසා කයටත් කිසිදු පීඩාවක් නො ලැබෙයි.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි