09 November 2011

ඔබ නොදන්නා අකාලික


                                                 චනාර්‍ථ වශයෙන් ගත් කලැ, න කාලො = කාලයක් නැත්තේ අකාල යි, අකාලොයෙව අකාලිකො = අකාලය ම අකාලික යි. ස්වාර්‍ථයෙහි ණික ප්‍රත්‍යය යි. ධර්‍මාර්‍ථ වශයෙන් ගත් කලැ, න කාලන්තරෙන ඵලදායකො = කල් නො යවා පල දෙනුයේ අකාලික යි. මග්ගානන්තරං ඵලූප්පත්තිතො = මඟසිතට අනතුරු වැ පලසිත ලැ‍බනු‍යේ අකාලික යි. මේ අර්‍ථකථා විග්‍රහය යි.
                                          ධර්‍මයෙහි ගුණ විස්තර කරන බුදුරජාණන් වහන්සේ, ස්වාක්ඛාතො හගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි යී එහි ගුණ සයක් දැක්වූ හ[1]. බුදුරජාණන් වහන්සේ විසින් ධර්‍මය මැනැවින් දෙසන ලද බැවින් ස්වාක්ඛාත යැ, තම නුවණැසින් දැකගත යුතු බැවින් සන්දිට්ඨික යැ, කල් නො යවා පල- විපාක දෙන බැවින් අකාලික යැ, එව බලව කියනට නිසි බැවින් එහිපස්සික යැ, සිය සිත්සතන්හි පිළිවිදීම් වශයෙන් එළවාගත යුතු බැවින් ඔපනයික යැ, නුවණැත්තන් විසින් වෙන වෙන ම පිළිවිදිය යුතු බැවින් පව්චත්තං වෙදි තබ්බො විඤ්ඤුහි යැ යි ප්‍රකාශ කළ හ.
                    දහම් ගුණයන් අතරැ අකාලික යනු එක් ගුණයකි. ත්‍රිපිටකයෙහි අකාලික වචනය සඳහන් වන තැන් රාශියෙකි. විශුඬිමාර්ගය ආදි අටුවා නයින් අකාලික වචනය විස්තර කැරැදෙන්නට පෙරැ චිත්ත = සිත පිළිබඳ හැඳින්වීමක් කිරිම තේරුම් ගැනීම පහසු වනු ඇත.
                                                             චිත්තාංගයෝ හෙවත් චෛතසිකයෝ චිත්ත = මනස පෙරදැරි කොට යන්නාහු යැ, මනස ශ්‍රෙෂ්ඨ කොට ඇත්තාහු යැ, මනසින් නිපන්නාහු යැ යි[2] කළ ප්‍රකාශයන් ගෙන සිත මුල් බව සෙට බව පැහැදිළි වේ. ඒ චිත්තයෝ කාමාවචර - රූපාචර - අරූපාවචර - ලොකුත්තර යි භූමි වශ‍යෙන් සතර ආකාර වන අත කුශල - විපාක - ක්‍රියා වශයෙන් තුන් වෑදැරුම් වෙති. කුශල හා විපාක සිත් සිවු භූමීන්හි ම පහළ වන අතර ක්‍රියා සිත් පහළ වන්නේ ලොකොත්තර භූමියෙහි හැරැ ඉතිරි භූමියෙහි ය. හෙද රහතන් වහන්සේට පමණි.
                        කුශල හා විපාක චිත්තයෝ ලෞකික ලොකොත්තර වශයෙන් දෙකට බෙදෙති. ලෞකික කුසල් සිත් විපාක දීමට පැය ගණන් දින ගණන් මාස - වර්ෂ ගණන් ජාති හා කල්ප ගණන් ගත විය හැකි වේ. ලොකොන්තර කුසල් සිත් විපාක දීමට එ බඳු කාලයක් ගත නො වේ. එ හෙයින් අකාලික . ලෞකික කුශල හා විපාක සිත් එ නමින් ම හදුන්වන අතර ලොකොත්තර කුසල් සිත් මග්ග = මාර්ග= මග නමින් ද විපාක සිත් ඵල = පල නමින් ද හඳුන්වනු ලැබේ. එ හෙයින් සොතාපත්ති - සකදාගාමි- අනාගාමි - අරහත්ත යන මාර්ග සිත් සතර ලොකොත්තර කුසල් සිත් ලෙසත් සොතාපත්ති ආදි ඵල සිත් සතර ලොකොත්තර විපාක සිත් ලෙසත් සැලැකේ.

අකාලික - අරුත් විවරණ

     අකාලික යන දහම් ගුණ පදය විශුද්ධිමාර්ගය ආදි අටුවාවන්හි විග්‍රහ වන්නේ මෙ සේ ය: අත්තනො ඵලදානං සන්‍ධාය නාස්ස කාලොති අකාලො, අකාලොයෙව අකාලිකො. න පඤ්චාහසත්තාහාදිහෙදං කාලං ඛෙපෙත්වා ඵලං දෙති, අත්තනො පන පවත්තිසමනන්තරමෙව ඵලං දෙති - තමන් ගේ හෙවත් තමන් විසින් කරන ලද කුශල කර්‍මයාගේ ඵලදානය හෙවත් විපාක දීම සහා බැලිය යුතු කාලයක් නැත්තේ නු යි අකාල නම් වේ. අකාලය ම අකාලික යි. ලෞකික කුශලයනට මෙන් විපාක දීමට පස් දින සත් දින ආදි හෙද ඇති කාලය ගෙවා පල නො දේ. තමන් ගේ හෙවත් ලොකොන්තර කුශල කර්‍මයාගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ.[3]
අකාලිකං = මග්ගානන්තරං ඵලූප්පත්තිතො න කාලන්තරෙ පත්තබ්බ ඵලං - මඟසිතට අනතුරු වැ පලසිත ලැබෙනුයෙන් කාලාන්තරයෙකින් පත් විය යුතු පලයක් නො වන්නේ අකාලික යි.[4] යො එත්‍ථ අරියමග්ග ධම්මො සො අත්තනො සමනන්තරමෙව ඵලං දෙතීති අත්‍ථො- මෙහි යම් ආර්යමාර්‍ග ධර්‍මයෙක් වේ ද ඒ ආර්යමාර්‍ගධර්‍මය තමන් ගේ පැවැත්මට අනතුරු වැ ම පල දේ යනු අර්ථ යි.[5] මඟසිතට අනතුරු වැ ම පලසිත ලැබේ කී සේ යි, ඉදං මග්ගමෙව සන්‍ධාය වුත්තං- මේ අකාලික පදය මාර්‍ගය ම සඳහා කියන ලදී.[6] මෙ තෙක් කළ විස්තරයෙන් ප්‍රකාශ වන්නේ අකාලික යනු සෝවාන් ආදි ලොකොත්තර මාර්‍ගචිත්තයෝ ම ය.
යම්බුද්‍ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තෙන සමො න විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු
බුද්‍ධ ශ්‍රෙෂ්ඨ තෙම අත්‍යන්තරිශුද්ධ වූ යම් මාර්‍ගසමාධියක් වර්‍ණනා කෙළේ ද බුද්‍ධාදීහු ආනන්තරික (අනතුරු ව ම පල දෙන) සමාධිය යැ යි යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්යමාර්ගධර්‍මය උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේ වා. [7]
     මෙහි ප්‍රකාශ වුණු ආනන්තරික සමාධියද අර්‍ථකථාචාර්යයන් වහන්සේ, යං ව අත්තනො පවත්තිසමනන්තරං නියමෙනෙව ඵලප්පදානතො ආනන්තරිකසමාධීති ආහු - තමන් ගේ හෙවත් මාර්‍ගචිත්තායා ගේ පැවැත්මට අනතුරු වැ නියමයෙන් ම පල දෙන හෙයින් ආනන්තරික සමාධි යැ යි කියති [8] යි මගසිතට අනතුරු වැ ම පලසිත ලැබෙන බව පැහැදිළි කළ හ. පට්ඨානප්පකරණයෙහි ප්‍රත්‍යයන් විස්තර කරන තැන මාර්‍ග ඵලයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ යනුවෙන් මගසිතට අනතුරු වැ ම පලසිත ලැබිම ප්‍රකාශ කළ හ.
     මෙ තෙක් පළ වුනු කරුණු අනු වැ අකාලික නම්, කල් නො යවා පල දෙන හෙවත් මගසිතට අනතුරු වැ (චිත්තක්‍ෂණ මාත්‍රයෙකින් වත් අතර නැති වැ) පල දෙන හෙයින් ලොකොත්තර මාර්‍ගචිත්තයෝ ය. මෙය අටුවා ඇදුරුපාණන් ගේ කාලයේ පටන් අද දක්වා සිටින ධර්‍මාචාර්ය වරුන් ගෙන් සියයට අනූනවයක පිළිගත් මතය යි.
     මේ අතරැ බම්බලපිටියේ වජිරාරාමවාසී සොම හා ඛෙමින්‍ද තෙරුන් වහන්සේ දෙ නම අකාලික වචනය ගැන පරීක්‍ෂණයක් කළ හ. ඛෙමින්‍ද තෙරුන් වහන්සේ බුද්‍ධවචනය අනුවැ මගසිතට අනතුරු වැ පලසිත ලැබිය හැක්කාක් මෙන් ම මාර්ගය ලැබී පැය ගණන් දිග ගණන් මාස ගණන් අවුරුදු ගණන් පසු වීත් ඵලය ලැබිය හැකි බව පෙන්වා දෙති. මෙ බඳු කරුණුවල දී එක වර පිළිගන්නේත් නැති වැ එක වර ප්‍රතික්‍ෂෙප කරන්නේත් නැති වැ බුද්ධොපදෙශය අනුවැ සුපරීක්‍ෂ්‍යකාරීවැ සොයා බැලිය යුතු වේ.
     බුද්ධාගම ප්‍රඥාවට මුල් තැන දෙනවා විනා අන්‍ධවිශ්වාසයට තැනක් දෙන්නේ නැත. එ හෙයින් අන්‍ධවිශ්වාසයට ලොකු තැනක් දී තුබුණු කාලයෙකැ පහළ වූ බුදුරජාණන් වහන්සේ, නාචින්තයන්තො පුරිසො විසෙසමධිගච්ඡති - නො සිතන තැනැත්තේ විශෙෂ දියුණුවකට නො පැමිණේ යි වදාරමින් ශ්‍රාවකයන් සිතන්නට පුරුදු පුහුණු කළ හ.
     මානව නිදහසක් නැති වැ නොයෙක් ආගමික නීතිවලින් මිනිසා තිරිසනකු මෙන් බැඳතුබුණු කාලයෙකැ උපන් බුදුරජණන් වහන්සේ අන් කිසි ම ශාස්තෘවරයකු නො දුන් තරමේ මානව නිදහසක් කාලාම සූත්‍රයෙන් දී වදාළ හ.
     කාලාමයෙනි, එව, 1. අනුශ්‍රව‍‍යෙන් වත් හෙවත් මුඛ පරම්පරාවෙන් අසාගෙනැ එන ආරංචි මාත්‍රයෙන් වත්, 2. පරම්පරාගත කථාවෙන් වත් හෙවත් මෙය අපේ පිය මුතුන් මිත්තන් ගේ උපදෙශ පරම්පරාවෙන් ගෙනැ එන ලද්දෙකැ යි කියා වත් 3. යමකු කී පමණින් මෙය මෙ සේ විය යුතු යැ යි පිළිගැනීමෙන් වත්, 4. පිටක සම්ප්‍රදායෙන් වත් හෙවත් තමා උගත් පොතට එකඟ යැ යි කියාවත් 5. තර්‍කානුකුල යැ යි ගැනීමෙන් වත් හෙවත්, සෑහෙන කරුණු නැති ශුෂ්ක තර්‍ක මාත්‍රයෙන් වත්, 6. න්‍යායානු කුල යැ යි සෑහෙන හේතු නැති වැ අනුමානයෙන් ගැනීමෙන් වත්, 7. ආකාර පරිවිතර්‍කයෙන් වත් හෙවත් මෙය මේ ආකාරයෙන් විය යුතු යැ යි තමා ම හදාගත් විතර්‍කයන් ගෙන් වත්, 8. තමා ම සිතා ඇතුළෙහි රඳවාගත් දෘෂ්ටිය හා සැසැඳේ ය කියා වත්, 9 යමක් කියන තැනැත්තා ගේ උසස් බව සැලැකීමෙන් වත්, 10. මෙය කියන ශ්‍රමණයා උත්තමයෙකැ ගුරුවරයෙකැ යි කියා වත් යමක් පිළිගත යුතු නො වේ. මේ දහම්හු කුසල් හ, මේ දහම්හු නිවැරදි ය, මේ දහම්හු නුවණැත්තන් විසින් පසස්නා ලද්දාහු ය, මේ දහම්හු සම්පූර්‍ණ කොට ගන්නා ලද්දාහු පිළිපදිනු ලබන්නාහු සුව පිණිස පවතින්නා හ යි තෙමේ ම දැනගන්නේ නම් පිළිගත යුතු වේ.[9]

මහාපදෙස ධර්‍මන්‍යාය

     මෙ සේ ශ්‍රාවකයන් හිතන්නට උන්නදු කළ, පුරුදු පුහුණු කළ, චින්තන ශක්තිය දියුණු කළ බුදුරජණන් වහන්සේ සිතීමේ කලාවත්, අක්‍රමවත් වැ සිතීමෙන් වන විනාශයත්, ක්‍රමවත් වැ සිතීමෙන් වන ශාන්තියත් දේශනා කළ හ. සිතීමෙ පලවත් හා ක්‍රමවත් කිරීමට මහාපදෙස ධ‍ර්‍මොපදෙශය දුන් හ.
     ඉධ භික්ඛවෙ හික්බු ඵවං වදෙය්‍ය, සම්මුඛාමෙතං ආවුසො භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො අයං සත්‍ථුසාසනන්ති. තස්ස භික්ඛවෙ භික්බුනො භාසිතං නෙව අභිනන්‍දිතබ්බං න පටික්කොසිතබ්බං, අනහිනන්‍දිත්‍වා අප්පටික්කොසිත්‍වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්‍වා සුතෙන ඔතාරෙතබ්‍බානි විනය සන්‍දස‍්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔතාරියමානානි විනයෙ සන්‍දස්සියමානානි න චෙව සුත්තෙ ඔතරත්ති න විනයෙ සන්‍දිස්සන්ති නිට්ඨමෙතං ගන්තබ්බං: අද්ධා ඉදං න චෙව තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඉමස්ස ච භික්බුනො දුග්ගහීතන්ති ඉති ඉදං භික්ඛවෙ ඡඩ්ඩෙය්‍යාථ... තානි චෙ සුත්තෙ ඔතරියමානානි විනයෙ සන්‍දස්සියමානානි සුත්තෙ චෙව ඔතරන්ති විනයෙ ච සන්‍දිස්සන්ති නිට්ඨමෙතං ගන්තබ්බං: අද්ධා ඉදං තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්‍ධස්ස. ඉමස්ස ච භික්බුනො සුග්ගහීතන්ති ඉමං භික්ඛවෙ පඨමං මහාපදෙසං ධාරෙය්‍යාථ.
     මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක්, ඇවැත්නි මේ ධර්‍මය යි, මේ විනය යි, මේ ශාස්තෘශාසනය යි මා විසින් බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී අසන ලද, පිළිගන්නා ලද යැයි කියයි. මහණෙනි, ඒ භික්ෂුව ගේ කියමන සතුටින් නො පිළිගත යුතුය, ප්‍රතික්‍ෂෙප ද නො කළ යුතු ය. සතුටින් නො පිළිගෙන ප්‍රතික්‍ෂෙප ද නො කොට ඒ පදව්‍යඤ්ජනයන් මනා කොට ඉගෙන සූත්‍රයෙහි බහාලිය යුතුය, විනයෙහි ලා සැසැඳිය යුතුය. ඉදින් ඒ ධර්‍ම විනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි ලා සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි නො ම බසිත් ද, විනයෙහි ලා නො සැසැ‍ඳෙත් ද, ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ගේ වචනය නො වේ යැ යි නිෂ්ඨාවට යා යුතු ය, නිගමනයට පත් විය යුතු ය. මහණෙනි, මෙය ඒ භික්‍ෂුව විසින් වරදවා වටහාගන්නා ලද්දෙකැ යි හළ යුතු ය. ඉදින් ඒ ධර්‍ම විනයයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු විනයෙහි ලා සසදනු ලබන්නාහු සූත්‍රයෙහි ලා බසිත් ද, විනයෙහි ලා සැසැඳෙත් ද, ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචනය යි. මෙය ඒ භික්‍ෂුව විසින් මනා කොට ගන්නා ලද්දෙකැයි නිෂ්ඨාවට යා යුතු ය, නිගමනයට පත් විය යුතු ය. මහණෙනි මෙ සේ මේ පළමු මහාපදෙසය සිත් හි ලා දරවු.[10]
මෙ සේ වදාළ ධර්‍මන්‍යාය හෙවත් සිතීමේ කලාව අනුවැ දහම් පදයක් එකවර පිළිගත යුතු ද නො වේ, හළ යුතු ද නො වේ. එය ධර්‍මයෙහි ලා විනයෙහි ලා සසඳා බලා ම පිළිගත යුතුවේ, හළ යුතු ද වේ. අකාලික = කල් නො යවා විපාක දෙයි. එ නම් මඟසිතට අනතුරු වැ පලසිත සැබේ යන පිළිගත් මතයට අතිරෙක වැ මඟසිත ලැබී පැය - දින - සති - මාස - අවුරුදු ගණන් ගත වීත් පලසිත ලැබේ යන මතය සලකා බැලිමට ත්‍රිපිටක පාලි යෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබේ.



[1] අංගුත්තර නිකාය i. (බුද්ධජයන්ති මු.) 279 පි.
[2] ධම්මපද (බුද්ධජයන්ති මු.) 26 පි.
[3] විසුද්ධිමග්ග (හේවාවිතාරණ මු.) 159 පි.
[4] සුත්තනිපාතට්ඨකථා (හේවාවිතාරණ මු.) 375 පි.
[5] චුල්ලනිද්දේසට්ඨකථා (හේවාවිතාරණ මු.) 64 පි, සංයුත්තනිකායට්ඨකථා I (එම) 34 පි.
[6] විසුද්ධිමග්ග (හේවාවිතාරණ මු.) 160 පි.
[7] ඛුද්දකනිකාය (බුද්ධජයන්ති මු.) 8 පි.
[8] එහි අටුවාව (හේවාවිතාරණ මු.) 119 පි.
[9] අංගුත්‍තරනිකාය (බුද්ධජයන්ති මු.) 340 පි.
[10] දීඝනිකාය ii. (බුද්ධජයන්ති මු.) 192 පි.
[11] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 268 පි.
[12] අංගුත්තරනිකාය v. (බුද්ධජයන්ති මු.) 254 පි.
Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි