30 December 2011

මෛත්‍රිය වැඩිම 5


සසර ගැන සිතීම

ඉදින් මෙසේත් නොසංසිදේ නම් ඊළඟට අග මුල් නොපෙනෙන්නා වූ මේ සසර ස්වභාවය ගැන කල්පනා කට යුතු ය. එ මෙසේ ය: එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, අප බුදුරජාණන් වහන්සේ විසින් සසර ස්වභාවය දේශනා කරන තන්හි දී මහණෙනි, මේ අග මුල් නොපෙනෙන්නා වූ සසර දී තමන්ට මව් නුවූ හෝ පියා නුවූ හෝ සහෝදර නුවූ හෝ සහෝදරී නුවූ හෝ දූ දරු නුවූ හෝ සත්වයකු සොයා ගැනීම දුර්ලභ ය යි දේශනා කරන ලද්දේ නො වේ ද? එසේ බලන විට මේ මගේ හතුරා සසරදී නොයෙක් විට මට මව් වෙන්නටත් ඇත. ඒ මව් වූ කාලවලදී දසමසක් මුළුල්ලේහි මා කුසින් දරාගෙන දුක් විඳ ඉන් පසු මාගේ මල මුත්‍ර සම් සොටු ආදියකට කිසිසේත් කැතක් නොසිතා මා කෙරෙහි මහත් වූ මෛත්‍රියකින් මේ සියලු කැත කුණු සුවඳ සඳුන් කල්ක සේ සිතා අත පත ගාමින් මට පැමිණි ලෙඩ දුක් වලදි හඬමින් වැලපෙමින් නිදිවරමින් හිරිහැර වෙමින් මා නිසා නොයෙක් දුක් විඳිමින් මා හදා වඩා ගන්නට ඇත. පිය ව උපන් නොයෙක් කාලවල දී මට කවා පොවා මා වඩනා කැමැත්තෙන් වස්තුව සැපයීමට නොයෙක් දුක් ගන්නට ඇත. නොයෙක් අන්දමේ ගොවිතැන් කිරීම් ද, දුර කතර ගෙවා ‍ගොස් වෙළඳම් කිරීම් ද, මා නිසා දිවි යතත් එය ‍නොසලකා යුද්ධවලට පැමිණීම ද කරන්නට ඇත. සහෝදර සහෝදරියන් වූ කාලවලත් නොයෙක් නොයෙක් උපකාර කරන්නට ඇත. ඉදින් මේ ජාතියෙහි යම්කිසි ප්‍රමාදයකින් මා සමග නොසතුටු ව පෙර නොයෙක් ජාතිවලදී මෙසේ මට උපකාරීව සිටින්නට ම ඇත. ඒ නිසා ඔහුට ක්‍රෝධ කිරීම කි‍සිසේත් යුතු නැතැයි සිතා ක්‍රෝධය සංසිඳවා ගත යුතු යි.

මෛත්‍රියෙහි අනුසස් සිතීම

ඉදින් මෙසේත් නො සංසිදේ නම් ඊළඟට මෛත්‍රි කිරීමෙහි අනුසස් කල්පනා කට යුතු ය. ඒ මෙසේ ය:
එම්බල ක්‍රෝධ කරන තැනැත්ත, අපර්ණාවට පැමිණියා වූ මෛත්‍රී ධ්‍යානයාගේ අනුසස් එකොළසක් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදී. එනම් 1. සැපසේ නිදා ගත හැකි බව ද, 2. සැපසේ නින්දෙන් නැගිටිය හැකි බව ද, 3. පවිටු සිහින නොපෙනෙන බව ද, 4. මිනිසුන්ට ප්‍රිය මනාප වන බව ද, 5. අමුනුෂ්‍යයන්ටත් ප්‍රිය මනාප බව ද, 6. දෙවිවරුන් විසින් ආදරයෙන් රක්‍ෂා කරන බව ද, 7. ගිනි ය, විෂ ය, ආයුධ ය යන මේවායින් උපද්‍රවයක් නොපැමිණෙන බව ද, 8. වහා සිත එකඟ වන බව ද, 9. මුහුණේ පැහැය ඉතා ප්‍රසන්න වන බව ද, 10. සිහි මුළාවකට නො පැමිණ මැරෙන්නට ලැබෙන බව ද, 11. මේ ආත්මයේදී රහත් වීමට නොහැකි වී නම් නොවරදවා ම බ්‍රහ්ම ලෝකයෙහි උපදනා බව ද යනුයි. මෙසේ අපර්ණා සමාධියට පැමිණ වූ මෛත්‍රියහි පමණක් නොව එයට නොපැමිණි මෛත්‍රියෙහි ද අනුසස් රැසක් දේශනා කර තිබේ.
ඉන් සමහරක් නම්:
තමාගේ ගෙදරින් පිටත ගිය විට නොයෙක් තැන්වල දී බොහෝ ආහාර පානාදිය ලැබීම, ඔහු නිසා (ඒ මෛත්‍රී කරන තැනැත්තා ආශ්‍රය කරගෙන) බොහෝ දෙනා ජීවත් වන බව, ගිය ගිය ගම් රටවලදී පූජා සත්කාර ලැබීම, ඔහු කරා සොරුන් ළං නොවීම, රජුගෙනුත් අවමන් නොලැබීම, කිසි සතුරෙකු නැති වීම, සභාවකට පැමිණි විට ඔවුනොවුන් විසින් සතුටු කරනු ලැබීම, සියලු නෑයන් අතුරෙන් උතුමකු වීම, ගුණ කීර්ති උසුලන්නකු වීම, ඓශ්වර්යයෙන් බබළන්නකු වීම, සැපතින් පහ නොවීම, ගවයන් බෝවීම, කුඹුරු සරු වීම, දරුවන්ගෙන් සැප විඳින්නට ලැබීම, පිහිට නැති තැන්වල දී පවා පිහිට ලැබීම, සතුරන්ට මැඩ පැවැත්විය නොහැකි කෙනෙකු වීම ආදියයි.
මෙපමණකුත් නොව මෛත්‍රී කරන්නා වූ භික්‍ෂූන් වහන්සේලාට යම් කෙනෙකු සිවුරු ආදී ප්‍රත්‍යය හතරෙන් උපකාර කළේ නම් ඒ දායකයාගේ කුශලානිසංශය ප්‍රමාණ කළ නොහැකි තරම් මහත් වන බව ද,
යම් සේ ලෝකයෙහි ඇත්තා වූ තාරකාවල එළිය සඳ එළියෙන් දහසයෙන් කොටසක් පමණවත් වටින්නේ නො වේ ද? එසේ ම සසර සැපත ගෙන දෙන්නා වූ අනෙක් දන්දීම ආදී පින්කම් මෛත්‍රී භාවනා නම් වූ පින්කමෙන් දහසයෙන් කොටසක් පමණක් නොවටිනා බව ද යනාදී නොයෙක් අනුසස් දේශනා කර තිබේ.
තව ද උන්වහන්සේ භික්‍ෂූන්ට කථා කොට “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙකු අසුරු සැණක් (අහුර ගසන්නට යන කාලය තරම් වූ තත්පරයක් පමණ වූ සුළු කාලයක්) පමණවත් මෛත්‍රී සිත ආශ්‍රය කෙරේ නම් ඒ මහණ තෙමේ (අපර්ණා උපචාරධ්‍යාන නැත්තකු වුවත්) ධ්‍යානයෙන් පහ නොවූවකුව ම වාසය කෙරේ යයි බුද්ධාදී උතුමන් විසින් කියනු ලැබේ යයි ද, එපමණකින් ම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ලෙස පිළිපදින්නෙක් වේ යයි ද නොසිස් වූ කෙනෙකු ව සිට ගෙන රටුන් විසින් දෙනු ලබන්නා වූ සිවුපසය ප්‍රයෝජන ගන්නෙක් වේ හෙවත් ඒ සුළු කාලයෙහි මෛත්‍රී කළ පමණින් රටුන් විසින් පුදනු ලබන්නා වූ සිවුපසය ප්‍රයෝජන ගැනීමට සුදුස්සෙක් වේ යයි වඳාළ සේක.
තව ද බුදුරජාණන් වහන්සේ මාරයන් පරාජය කළේත්, ධනපාල ඇතා ආදී රෞද්‍ර යකුන් හික්මෙව්වේත් මෛත්‍රියෙන් ම ය. වෙනත් සාමාවති, මඝමාණවක ආදී නොයෙක් දෙනාත් නොයෙක් උපද්‍රවවලින් මිදුණේ මෛත්‍රියෙන් ම බව පෙනේ.
තව ද මෛත්‍රී කරන තාපසයන් වාසය කරන්නා වූ කැලයේ රෞද්‍ර වූ මෘගයෝ පවා ඒ මෛත්‍රියට අනුව ක්‍රියා කෙරෙති. ඉදින් මෙසේ බොහෝ අනුසස් ඇත්තා වූ මෛත්‍රිය නො වඩා නුඹේ සතුරාට නුඹ එරෙහි නම් මේ අනුසස් එකක්වත් නුඹට ලැබෙන්නේ නැත. එබැවින් නුඹේ ක්‍රෝධය හැර දමා පන්න. මෛත්‍රිය වඩා මේ අනුසස් ලබාගන්න. කියා නිතර නිතර කල්පනා කොට ක්‍රෝධය සංසිඳවා ගත යුතුයි.

ධාතු වශයෙන් සිතීම

ඉදින් මෙසේත් නො සංසිදේ නම් ඊළඟට ධාතු විනිර්භෝගය හෙවත් ධාතු වශයෙන් වෙන් කොට සිතීමකට යා යුතු වේ. ඒ මෙසේ ය:
එම්බල ක්‍රෝධ කරන තැනැත්ත, කිමෙක් ද? නුඹේ සතුරාට කිපෙන්නා වූ නුඹ ඔහු ගේ හිසකෙස්වලට කිපෙන්නෙහි ද? ඔහුගේ ලොම්වලට ද? නියපොතුවලට ද? දත්වලට ද? සමට ද? මස්වලට ද? නහරවලට ද? ඇටවලට ද? මේ ශරීරයෙහි ඇත්තා වූ තිස්දෙකක් පමණ කුණු කොටස් අතුරින් වෙනත් මොන මොන කුණු කොටසකට කිපෙන්නෙහි ද? ආපෝධාතුවට, තේජෝධාතුවට, වායෝධාතුවට කිපෙන්නෙහි ද? එසේ නැත්නම් රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට, සංස්කාරස්කන්ධයට, විඥානස්කන්ධයට කිපෙන්නෙහි ද? ඒත් නැත්නම් මනායතනයට කිපෙන්නෙහි ද? ධර්මායතනයට කිපෙන්නෙහි ද? චක්ඛායතනයට කිපෙන්නෙහි ද? රූපායතනයට කිපෙන්නෙහි ද? චක්‍ෂුධාතුවට කිපෙන්නෙහි ද? රූප ධාතුවට කිපෙන්නෙහි ද? . . . . . මනෝ ධාතුවට කිපෙන්නෙහි ද? ධර්ම ධාතුවට කිපෙන්නෙහි ද? යන ආදී වශයෙන් මෙසේ ධාතුන් වෙන් වෙන් කොට සිතාගෙන යන කල ක්‍රෝධයට පවත්නට ඉඩක් නොලැබේ. ඉදි කටු අග අබ ඇටයක් නොනවත්නා සේ ඔහුගේ ක්‍රෝධය පෙරළී අහක් ව යන්නේ ය.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි