27 December 2011

මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ මතය


බුද්ධ ධර්මය අවිහිංසාව පදනම් කොට ඇති වූවකි. රාෂ්ට්‍ර පාලනය අනෙකෙකි. බුද්ධ ධර්මය රාෂ්ට්‍ර පාලනයටත් රාෂ්ට්‍ර පාලනය බුද්ධ ධර්මයටත් උපකාර ය. එහෙත් ධර්මානුකූල ජීවිතයත් රාෂ්ට්‍ර පාලනයත් එකට කළ නොහැකි ය.
මරණීය දණ්ඩනය ගැන බෞද්ධ මතය ය යි විශේෂ මතයක් ප්‍රකාශ කරන්නට නැත. ජීවිතයට ජීවිතයක් ගැනීම වැනි ඉගැන්වීම් බුද්ධ ධර්මයෙහි නැති හෙයිනි. තමා ගේ ජීවිතය සඳහා වත් අන්‍යයනට හිංසාවක් පීඩාවක් කිරීම බුද්ධ ධර්මයෙහි නූගන්වයි. එසේ නම් කෙනෙකු මැරීම ගැන කවර කතා ද?
දිනක් ආරාමයට පැමිණි කේසී නම් අශ්වයන් හික්මවන්නකු හා බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක් ඇති විය. ඔබ අශ්වයන් හික්ම වන්නේ කෙසේ දැ යි බුදුරජාණන් වහන්සේ ඇසූ හ. ස්වාමීනි, මම සමහර අසුන් පරුෂභාවයෙන් හිකමවමි, සමහරුන් මෘදුභාවයෙන් හික්මවමි, සමහරුන් මෘදු පරුෂ දෙකින් හික්මවමි යි කී ය. එසේ හික්මවන්නට බැරි අසුන් හට කුමක් කරනුවා දැ යි බුදුරජාණන් වහන්සේ නැවැත ඇසූ හ. ඔවුන් මරා දමමි යි කේසි කී ය.
අනතුරු වැ කේසී, ඔබ වහන්සේ ශිෂ්‍යයන් හික්මවන්නේ කෙසේ දැ යි ඇසී ය. මමත් සමහරුන් නරකෙහි නරක විපාක පෙන්නා පරුෂ භාවයෙන් ද හික්මවමි. සමහරුන් හො‍‍ෙඳහි හොඳ විපාක පෙන්නා මෘදු භාවයෙන් ද හික්මවමි යි බුදුරජාණෝ කී හ. එසේ හික්මවන්නට බැරි අයට කුමක් කරනුවා දැයි කේසි ද ඇසී ය. ඔවුන් මරා දමමි යි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ. එවිට කේසී, ස්වාමීනි, ඔබ වහන්සේ ගේ ශාසනයෙහි මැරීම තහනම් නො වේ දැ යි ඇසී ය. එසේය, එහෙත් මා මරන්නේ ඔබ මරණ ලෙසට නො වේ. මාගේ මැරීම නම් වරද කළ තැනැත්තා ගණන් ගන්නේ නැති වැ කිසිවකට වැද්ද ගන්නේ නැති වැ වෙන් කැර කොන් කැර තැබීම යි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ.
මෙය බුද්ධ ධර්මයෙහි සඳහන් බ්‍රහ්ම දණ්ඩය යි, ඉහළ ම දඬුවම යි. මේ ඉහළ ම දඬුවම කරන්නේ ද වරද කළ තැනැත්තා හදන අදහසින් ම ය. ඉතා දැඩි වරද කළ තැනැත්තා ද කෙසේ හෝ හදාගන්නට උත්සහ දරනුවා විනා මරාදැමීමක් බුද්ධ ධර්මයෙහි නූගන්වෙයි. ගණනින් 999 ක් මිනිසුන් මැරූ අංගුලිමාල පවා වනසන්නට හෝ වැනැසෙන්නට හෝ ඉඩ නො තබා හදාගත් සැටි ධර්මයෙහි සඳහන් වෙයි. බුද්ධ ධර්මයෙහි නොහික්මුණවුන් හික්මවනු සඳහා මුලින් සඳහන් ක්‍රම තුන මෙන් ම සතර වැනි වැ කී ඉහළ දඬුවම ද පනවන්නේ වරද කළ තැනැත්තා හදා ගන්නා අදහසිනි. ඒ නිසා බුද්ධ ධර්මය අනුවැ කවර දඬුවමක් හෝ දිය යුත්තේ හැදීම, නැවැත නිසි මඟට පමුණුවාගැනීම පරමාර්ථ කැර ගෙන ය.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි ද රාෂ්ට්‍ර පාලනය කළ රජවරු වරද කළවුනට නොයෙක් දඬුවම් දුන් හ; දවස්හුල තැබූ හ. එකල වරද කළවුනට නියම කළ දෙතිස් වදය විඳිනු තබා දකින්නට අසන්නට බැරි තරම් තද ය.
දිනක් උත්තර සාමණේරයෝ උදෑසන ගමනක් යන්නාහු වැවක් අසල පාත්‍රය තබා දියට බැස මුව සේදූ හ. මේ අතර ආරක්‍ෂක පුරුෂයන් විසින් ලුහුබඳිනු ලැබූ සොරු පිරිසක් වැව අසලින් දුවන්නාහු අතේ තුබුණු රන් රුවන් පාත්‍රයෙහි දමා සැඟැවී ගත් හ. ආරක්‍ෂක පුරුෂයනට අසු වූවෝ නිරපරාධ වූ උත්තර සාමණේරයෝ ය. විනිශ්චය ස්ථානයෙහි දී සාමණේරයන් ගේ නිදහසට සාක්‍ෂ්‍ය නො වී ය. එහෙයින් හුල තබන්නට නියම විය. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ හුල තබා සිටින තැනට ගොස් ඉතා දැඬි වේදනාවෙන් සිටි සාමණේරයන් ‍ෙග් හිස මත දෑත තබා මෙය ඔබේ පෙර කර්ම විපාකයකැයි පවසා දහම් දෙසා රහත් කළ හ. මෙබඳු ඉතා දරුණු වධ බන්ධන සියැසින් දුටුවේ වී නමුත් රාෂ්ට්‍ර පාලන යෙහි ඇඟිලි ගසන්නට නො ගිය බුදුරජාණන් වහන්සේ එකී දඬුවම් වළක් වන්නට ද නො ගිය හ. එහෙත් රජකම රැකගැනීමට හෝ රට රැකගැනීමට හෝ අන්‍යයනට හිංසා පීඩා කිරීමේ භයානක කම ඉතා තදින් කා වැදී යන ලෙසින් ඒ රජවරුනට දහම් දෙසූ බව පබ්බතොපම සූත්‍රාදියෙන් මැනැවින් පැහැදිළි වෙයි.
පෙර පැවැති මේ දඬුවම් ඉතා කර්කශ ය, දරුණු ය යි බොහෝ දෙනා කියති. එය එසේ ය. එහෙත් ඒ දඬුවම් දෙන්නට සිදු වූයේ කලාතුරෙකිනි. එයින් සුළු දඬුවමක් වුව ද දුන් විට එය දුටුවන් පමණක් නො වැ ඇසුවෝ ද වරද කිරීමට බිය වූ හ. එයින් අපරාධ අඩු වී ය. මෙකල තිබෙන දඬුවම් කොතරම් ළිහිල් දැ යි කිව හොත් ඇසුවන් තබා දුටුවෝ ද බිය නො වෙති. අද දඬුවම්වල ඇති ළිහිල්කම නිසාත් සිරගෙවල තිබෙන පහසුකම් නිසාත් බොහෝ දෙනා අපරාධ කිරීමට බිය නො වෙති. මරණීය දණ්ඩය නතර කළ යුත්තේ බෞද්ධ රටකට නොගැළැපෙන නිසා නො වේ. බෞද්ධ රටකට නොගැළැපෙන දේ රජය මඟිනුත් මහජනයා විසිනුත් අප්‍රමාණ වැ සිදු කරද්දී මරණීය දණ්ඩනය පමණක් බෞද්ධ රටකට නො ගැළැපේ ය යි කීමේ තේරුමක් නැත. කවර රටෙක හෝ වර්තමාන මරණීය දණ්ඩනය නතර කළ යුත්තේ එය දඬුවමක් නොවන නිසා ය.
කවර දඬුවමක හෝ පරමාර්ථය විය යුත්තේ වරද කළ තැනැත්තාත් සමාජයත් හදා ඔහුටත් සමාජයටත් ශාන්තියක් සැලැසීම ය. වර්තමාන මරණීය දණ්ඩ වන එල්ලුම් ගහෙන් හෝ විදුලිය පුටුවෙන් හෝ එ කී පරමාර්ථය සිදු වන්නේ නැත. එපමණක් ද නො වැ නපුරු හිතින් මැරී මී ළඟ ජාතියෙහි දරුණු කෙනෙකු වී සමාජයට මඟ කරදරකාරයකු වන්නට ද ඉඩ තිබේ.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි විශාලා මහනුවර පැවැති ලිච්ඡවී රාජ්‍යය සමූහාණ්ඩුවෙකි. ඔවුහු බෞද්ධ වූවාට පසු රාජ්‍ය පාලන විධි ද මැනැවින් සකස් කැරගත් හ. ඔවුන් ගේ දණ්ඩ නීති ද සකස් කැරගන්න‍ා ලදි. එහි විනිශ්චයකරුවන් ගේ විශේෂ ලක්‍ෂණය වූයේ විත්තිකරු වරදට පෙළැඹුණේ කවර කවර හේතූන් නිසා දැ යි විමසා බලා නිදහස් කිරීමට යම්තම් හෝ කරුණු ඇතොත් ඔහු නිදහස් කොට වරදට පෙළැඹුණු හේතූන් නැති කොට හොඳ පුද්ගලයකු කිරීම යි. එසේ නිදහස් කොට හදන්නට බැරි තරම් වරද කළ කෙනෙකු වුව ද තද දඬුවම් දීමෙන් හෝ හදාගැනීමට උත්සාහ දැරීම යි. මේ ක්‍රමය මෙ කලට වුව ද ඉතා අවශ්‍ය ය.

දිනමිණ 1958.03.17
Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි