28 December 2011

බුදුරජාණන් වහන්සේ


නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බු‌ද්ධස්ස
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බු‍ද්ධොස්මි බ්‍රහ්මණ
                       -සෙලසූත්‍රය
         බ්‍රාහ්මණය, දුඃඛ සත්‍යය නම් වූ ජාතිජරාදි ධර්‍මසමූහය එකක් පාසා ගෙනැ මේ හේතුවෙන් අනිත්‍ය යැ, දුක් යැ, අනාත්ම යැ යි  විදර්‍ශනාඥානයෙන් පිරිසිඳැ - වෙන් වෙන් කොට - දන්නා ලද්දේ ය. සමුදයසත්‍යය නම් වූ තෘෂ්ණාව හෙවත් දුකට හේතුව චතුර්විධ ආර්යමාර්‍ගයෙන් මුල් සිඳැ නසන ලද්දේ ය. නිරොධසත්‍යය නම් වූ නිර්‍වාණය සතර මඟ නුවණින් පසක් කරන ලද්දේ ය. මාර්‍ගසත්‍යය නම් වූ ආර්යඅෂ්ටාඞ්‍ගිකමාර්‍ගය සිත්සතන්හි ඉපැදැවීම් වශයෙන් වඩනා ලද්දේ ය. එ හෙයින් මම බුදු නම් වෙමි.
බුද්ධ ශබ්දයෙහි නිර්‍වචනාර්ථ දක්වන්නෝ ද, “බුජ්ඣිතා සච්චානී’ති බුද්ධො” යනුවෙන් සතර ආර්යසත්‍යයන් අවබොධ කැරැ ගත් තැනැත්තේ බුද්ධ නම් වේ යි ප්‍රකාශ කළහ. යටැ සඳහන් බුදුරජාණන් වහන්සේ ගේ අදහසත් නිර්‍වචනාර්ථයත් අනුව, “චතුරාර්යසත්‍යය අවබොධ කැරැ ගත් උත්තමයාණන් වහන්සේ බුද්ධ නම් වෙති” යි කිව යුතු ය.
මේ චතුරාර්යසත්‍යය යන්නෙහි ‘චතු’ = සතර යන්නත් ‘සත්‍ය’ = සැබෑව යන්නත් කාටත් ඉතා පැහැදිලි ය. එහෙත් ‘ආර්ය’ = උතුම් යන්න මඳක් සැක උපදවන සුලු ය. සත්‍ය නම් උතුම් විය යුතු ම නො වේ දැයි තර්‍ක කිරීමට ඉඩ ඇති හෙයිනි. සත්‍ය නම් උතුම් බව සැබෑ ය. එහෙත් මෙහි වෙසෙසා දැක්වීමට කරුණු කීපයක් ඇත්තේ ය.
1.    ආර්යයන් වහන්සේ දෙශනා කළ හෙයිනුදු ආර්යසත්‍ය නම් වේ. සම්මාසම්බුදු - පසේබුදු - සෝවාන් ආදි සතර මඟ සතර පල පත්හු මැ ආර්යයෝ නම් වෙති. එයිනුදු සම්මාසම්බුදුහු මැ හැමට මුල් අරී නම් වෙති. අරී නම් වූ සම්මාසම්බුදුන් දෙසූ හෙයින් ද මෙ සතර අරී නම් වේ.
2.    ආර්යභාවය සිදු කැරැ දෙන හෙයිනුදු මේ සත්‍ය සතර ආර්ය නම් වේ. කෙනකු ආර්ය වනුයේ චතුරාර්යසත්‍යාවබොධයෙන් සෝවාන් ඈ සතර මඟ සතර පලයනට පැමිණීමෙනි. එ හෙයින් අරීබව් සාහනුයෙනුදු මෙ සතර අරී නම් වේ.
3.      මේ සත්‍ය සතර කිසි කලෙක්හි දු බොරු නොවන හෙයින් ද අන් ලෙසකට නොපෙරළෙන හෙයින් ද ආර්ය නම් වේ. අඟුරු කළුපාට යැ යි කීම සත්‍යයක් වුවත් එය විද්‍යාඥයකුට සුදුපාට නොකට හැක්කේ නො වේ. එහෙත් මෙහි සඳහන් වන ජාතිජරාදි ධර්‍මයන් පිළිබඳ අනිත්‍යාදි ස්වභාවයෝ නම් කිසිවකුටත් වෙනස් කළ නොහැකි වෙති. බුදු රජාණන් වහන්සේ යමක් දුකැ යි වදාළ සේක් නම් එය එදාත් දුක් මැ යැ. අදත් දුක් මැ යැ. අනෙක් සත්‍යයන් පිළිබඳ ව ද වෙනස් නොවන ස්වභාවයත් මෙ සේ මැ යැ. එ හෙයින් කිසි කලෙකැ වෙනස් නොවනුයෙන් ද අන් අතකට නොපෙරළෙනුයෙන් ද මෙ සතර අරි නම් වේ.
“අරී මුනි දෙසුයෙන්
අරීබව් සාහනුයෙන්
කිසි කලෙකැ නොවරදනෙන්
මෙ සතර අරී නම් වේ”

බුද්ධ - සම්බුද්ධ - සම්මාසම්බුද්ධ

මේ ආර්යසත්‍ය සතර දැනගත් උත්තමයෝ බුද්ධ - සම්බුද්ධ - සම්මාසම්බුද්ධ යැ යි තෙ කොටසකට බෙදෙති. 1. ආර්යසත්‍ය සතර අවබොධ කැරැගත් සියලු උතුමනට මැ බුද්ධ යැ යි කිව හැකි වුව ද මේ බෙදුමෙහි ලා රහතන් වහන්සේ මැ ගැනෙති. 2. සම්බුද්ධ යනු අනුන් ගේ උපදෙශයක් නැති වැ චතුරාර්යසත්‍ය තමන් මැ අවබොධ කැරැගත් හැම උතුමනට මැ යෙදිය හැකි වුව ද මෙහි දී පසේ බුදුන් වහන්සේ මැ ගැනෙති. 3. චතුරාර්යසත්‍ය පරොපදෙශ රහිත වැ අන්‍යයනටත් අවබොධ කරවනු හැකි සේ දැනගත් උත්තමයා මැ සම්මාසම්බුද්ධ නම් වේ.
රහතන් වහන්සේට අනුන් ගේ උපදෙස් නැති වැ සත්‍ය සතර අවබොධ කැරැ ගත නොහැකි ය. එහෙත් පරොපදෙශයෙන් වුව ද දැනැ ගත් දේ අන්‍යයනට අවබොධ කැරැවිය හැකි ය. මහනුවණැති සැරියුත් මාහිමියනට පවා අස්සජි රහතන් වහන්සේ ගේ උපදෙශය ලැබෙන තුරු සත්‍යාවබොධය කැරැ ගත නොහැකි විය. එහෙත් උන් වහන්සේ දහම් දෙසා සත්‍යාවබොධය කැරැවූවන් ගේ ගණන සුළු නො වී ය. පසේබුදු රජාණන් වහන්සේට සත්‍යාවබොධය සඳහා අනුන් ගේ උපදෙශයක් උවමනා නැත. එහෙත් තමන් දැනැ ගත් දේ ගොළුවා දුටු සිහිනය මෙන් අන්‍යයනට කියා දිය නොහැකි ය. එ හෙයින් පසේබුදුන් වහන්සේ සම්බුද්ධ නම් වතුදු සම්මාසම්බුද්ධ නම් නො වෙති. රහතන් වහන්සේ බුද්ධ නම් වතුදු සම්බුද්ධ නම් නො වෙති. එහෙත් අන්‍යයනට අවබොධ කැරැවිය හැකි හෙයින් සම්මාබුද්ධ යැ යි කිව හැකි ය. අන්‍යයනටත් අවබොධ කැරැවිය හැකි සේ චතුරාර්යසත්‍යය තමන් ම දැනගත් උත්තමයාණන් වහන්සේ ම සම්මාසම්බුද්ධ නම් වන සේක. මෙහි දී විස්තර වන්නාහු සම්මාසම්බුදු රජාණන් වහන්සේ මැ යැ.

ක්‍රමයෙන් වැඩුණු උතුමා

බුදුරජාණන් වහන්සේ අන් බොහෝ සමයයන්හි ඉෂ්ට දෙවතාවන් - මහදෙවියන් මෙන් එක වරට ලොවත් මවා ගෙනැ පහළ වූ කෙනකු නො වැ ක්‍රමයෙන් දියුණු වූ උත්තමයාණ කෙනෙකි.
නො ගිණිය හැකි තරම් දිගු කලකට පෙරැ ගුණනුවණින් සාමාන්‍ය මිනිසකු වැ ඉපිදැ මෑණියන් සමඟ නැවෙකින් යනුයේ මහසයුරැ මැද දී නැව බිඳී ගියේ ය. එයින් බිය පත් නො වූ මේ වීරපුරුෂයාණෝ තමන් දිවි දු නො තකා මෑණියන් පිට මතැ තබාගෙනැ පිහිනන්නට වන්හ. මේ උදාර ක්‍රියාවෙන් ඔද වැඩුණු පුරුෂයාණෝ, “මුළු ලොව ම සසර දුකින් මුදවනු සඳහා මතු බුදු වන්නෙමි ‘යි සිතූහ. මෙ අප මහසතාණන් ගේ මුල් පැතුම යැ. එ තැනැ සිට ක්‍රමයෙන් ගුණනුවණින් දියුණු වන්නට පටන් ගත්හ.

පළමු විවරණ ලැබීම

මින් සාරාසැකි කප් ලකකට පෙරැ වැඩ සිටි දීපඞ්‍කර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි අප බෝසතාණෝ (=බුදුබැව්හි ඇලුණු උතුමාණෝ) මහසැපත් ඇති පවුලෙකැ ඉපදැ සුමෙධ පණ්ඩිත නමින් ප්‍රසිද්ධ වැ සිට ගිහි සැපත්හි කලකිරී සියලු ධනධාන්‍ය මහාජනයාට දී තවුස් වෙස් ගෙනැ ධ්‍යානලාහී වැ වුසූහ. බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදු වීම පිළිබඳ වැ සිතමින් බසින් කියමින් ගුණදම් පුරමින් සිටි බෝසතාණෝ දීපඞ්කර බුදුරජාණන් ගේ පහළ වීම අසා සොම්නසින් උතුරා ගියහ. කාලයක් ගුණදම් පුරා සිටි බෝසතාණනට කැමැති නම් එ තැනැ දී ම සව් කෙලෙස් නසා රහත් වී නිවන් දැකීමට පිළිවන්කම තිබිණි. එහෙත් හැකි තාක් අන් සතුනුදු දුකින් මුදවා තමනුදු නිවන් සුව වළඳනුව ඉටා බුදුරදුන් පාමුලැ වැදැ හොත්හ.
දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ද ඔවුන් තතු දැනැ ගෙනැ, ඔවුන් අදහස් නොදන්නා ගිහි පැවිදි පිරිස් මැදැ “මේ තැනැත්තේ අසුවල් කාලයෙහි ගෞතම නමින් බුදුවන්නේ ය” යි විවරණ (=හෙළි කැරැ) වදාළ සේක. මෙය පළමු විවරණ ලැබීම යි.

බුද්ධකාරකධර්‍ම

බෝසතාණෝ විවරණ ලැබූ දා පටන් දාන - ශීල - නෛෂ්ක්‍රම්‍ය - ප්‍රඥා - වීර්ය - ක්‍ෂාන්ති - සත්‍ය - අධිෂ්ඨාන - මෛත්‍රී - උපෙක්‍ෂා යන මේ එක් එක් පාරමිතාවන් පාරමී - උපපාරමී - පරමත්පාරමී යි තුන් තුන් පරිද්දෙන් පුරමින් ද නෑයනට හිත වැඩ සැලැසීම නම් වූ ඥාත්‍යර්ථචර්යා යැ, ලෝකයාට හිත වැඩ සැලැසීම නම් වූ ලොකාර්ථචර්යා යැ, කරන කියන දැ තමන් ගේ දියුණුවට බාධා නොවන සේ නුවණින් පැවැත්වීම නම් වූ බුද්ධිචර්යා යැ යන තුන් හැසිරීමෙන් ද, සුදුසු තැන යුතු දේ දීම යැ, ප්‍රියවචන බිණීම යැ, ආශ්‍රය කරන්නවුන් ගේ දෙලෝ වැඩ සඳහා පැවැතීම යැ, සමානාත්මතා පැවැත්ම යැ යන හැම දෙනා කෙරෙහි පිරිනැමිය යුතු සතර සංග්‍රහයෙන් ද, උතුම් දරුවන් දීම යැ, මහඟු ධන දීම යැ, උතුම් භාර්යාවන් දීම යැ, ඇස් කන් ඈ තමන් ගේ ශරීරාවයවයන් දීම යැ, සියදිවි පිදීම යැ යන පස් මහ පිදීමෙන් දැයි බුදුබව සිදු කැර දෙන ගුණදහමින් ක්‍රමයෙන් දියුණු වෙමින් අවුත් වෙසතුරු අත්බැව්හි මහපොළෝ කම්පා කෙරෙමින් මහදන් දී ඉන් සැවැ දෙව්ලොවැ උපන්හ. එහි දී, “දැන් බුදු වන්නට කලැ” යි දෙව් බඹුන් ගේ අයදුම පිළිගෙනැ සුදුසු කාල යැ, රට යැ, දෙශ යැ, කුල යැ, මව යැ යන පස් මහ බැලුම් බලා මුළු ලොවැ අසිරිමත් පෙරනිමිති පහළ කෙරෙමින් ලුම්බිණී සල් උයන්හි දී සුදොවුන් රජුට දා වැ මහාමායා දේවී කුසින් බිහි වූහ.

ගෘහවාසය

පිනැති පුතකු ලැබීමෙන් අතිශයින් ප්‍රීතියට පත් සුද්ධොදන රජතුමාණෝ පුතාට නම් තබනු සඳහා සිය ගණනක් බමුණන් කැඳැවූහ. එයිනුදු ත්‍රිවේදයෙහි අගතැන් පත් බමුණන් අට දෙනකු තෝරාගත්හ. දෙතිසක් මහලකුණෙන් හා අසූවක් කුඩා ලකුණෙන් ද සැරැසුණු කුමරුගේ රූසපුව පිරික්සා බැලූ බමුණන් අතුරෙන් සත් දෙනෙක් ඇඟිලි දෙකක් ඔසවා “ඉදින් ගිහිගෙයි වුසූහු නම් සක්විති රජ වෙති. පැවිදි වූහු නම් බුදු වෙති” යි ප්‍රකාශ කළහ. ඔවුන’තරැ හැමට වඩා වයසින් අඩු වුව ද නුවණින් වැඩී සිටි කොණ්ඩඤ්ඤ බමුණාණෝ “මේ තෙමේ එකතින් ම බුදු වේ” යි පවසා සිද්ධාර්ථ යන නාමය තැබූහ.
ප්‍රිය පුත්‍රයා බුදු වනුවාට වඩා සක්විතිරජ වනු කැමැති වූ පිය මහරජාණෝ රජ කුමරකු වශයෙන් දැනැ ගත යුතු සිප්සතර මැනැවින් ඉගැන්වූහ. කුමරු ද ආචාර්යවරයන් පුදුම කරවමින් යුද්ධශිල්පාදිය හා භාෂාශාස්ත්‍ර ද මැනැවින් උගත්තේ ය. තුරුණු වියට පැමිණි සිදුහත් කුමරුවෝ ප්‍රසිද්ධියේ යුද්ධශිල්ප දක්වා නෑයන් ගේ හා රටවැසියා ගේ ද සිත් දිනා ගත්තෝ ය. එයින් සතුටට පත් පිය මහරජාණෝ සිදුහත් කුමරු ගිහිසැපත්හි ඇලුම් කරවනු සඳහා යශොධරා දේවීන් ආවාහ කැරැ දී රජකිස ද පවරා දුන්හ. බෝසතාණෝ හෙමන්ත - ගිම්හ - වස්සාන යන තුන් ඍතුවට ගැළැපෙන රම්‍ය - සුරම්‍ය - ශුභ යන තුන් පහයන්හි අපමණ රජසිරි විඳිමින් වුසූහ. සියලු බුද්ධකාරක ධර්‍මයන් සපුරා අන්තිම ආත්මභාවයෙහි සිටි මහසත්හු රජසැපත්හි ස්වල්ප වූ ද ඇල්මක් ඇති නො කළහ.
ඇමැතියකු සමඟ උයනට යන බෝසතාණෝ අතර මඟ දී ජරපත් තැනැත්තකු ද ලෙඩ වූවකු හා මළ කෙනෙකු ද දැකැ ලොවී සැපතට බලවත් ලෙස ම කලකිරුණාහ. අවසානයෙහි පැවිදි වෙශධාරියකු දැකැ පැහැදැ එ බඳු වෙසක් ගෙනැ මොක්‍ෂය සෙවීමේ අධිෂ්ඨානය ඇති කැරැ ගත්හ. ඒ අතර මැ යශොධරා දේවීන් කුසින් පුත් කුමරකු බිහි වූ බව අසන්නට ලැබිණ. දරුපෙමින් පිණා ගිය සිතැති බෝසතාණන් ගේ මුවින් නිකුත් වූයේ “රාහු ජාතො බන්‍ධනං ජාතං = රාහුවෙක් උපන්නේ ය. බන්‍ධනයෙක් ඇති වී ය.” යනු යි. පමා වීම සුදුසු නැතැ යි වටහාගත් මහසතාණෝ එ දින ම රෑ ප්‍රිය දේවියට ද නො කියා ඡන්නාමාත්‍යයා සහාය කැරැගෙනැ ගිහි ගෙයින් නික්ම ගොස් උරුවෙල් දනව්වට පැමිණ පැවිදි වූහ.

බුදුවීම

තවුස් පැවිද්දෙන් පැවිදි වූ බෝසතාණෝ රජගහ නුවරැ පිඬු සිඟා වැඩියහ. උන් වහන්සේ ගේ සංසුන් ගමනට මැ දුටුමතින් පැහැදුණු බිම්බිසාර රජතුමාණෝ “මහ රාජ්‍යයෙන් අඩක් බාර ගන්නැ” යි අයැද සිටියහ. එය ප්‍රතික්‍ෂෙප කළ බෝසතාණෝ උරුවෙල් දනව්වට මැ වැඩියහ. එහි දී තවත් තාපසවරු පස්දෙනෙක් උන් වහන්සේ කෙරෙහි පැහැදී එක් වූහ.
එ වකට තවුසන් අතරැ ඉතා උසස් තැනක් ගෙනැ වැඩ වුසූ ආලාරකාලාම හා උද්දකරාමපුත්‍ර යන මහපඬිවරුන් වෙතට ගිය බෝසතාණෝ ඔවුන් සමය ද මැනැවින් ඉගෙනැ පිළිවෙත් ද සපුරා උසස් ධ්‍යාන ද ලබාගත්හ. එ සේ මැ එය මොක්‍ෂය නොවන බව ද වටහා ගත්හ.
එ කල පැවැති හැඟීම් අනුව මොක්‍ෂය ලබන්නට නම් ශරීරයට පීඩා කිරීමෙහි යෙදිය යුතු ම ය. බෝසතාණෝ ද එය මැ අනුගමනය කෙරෙමින් සාවුරුද්දක් අපමණ දුෂ්කරක්‍රියා කොට ඉතා වෙහෙසට පත් වූහ. එහෙත් ඉන් කිසිදු පලක් නො වී ය. එය මොක්‍ෂමාර්ගය නොවන බව වටහාගත් මහසතාණෝ දුකරවත් (=දුෂ්කර ව්‍රත) අත්හැරැ මධ්‍යම ප්‍රතිපදාවට බැසැ ගත්හ.
කොණ්ඩඤ්ඤ - භද්දිය - වප්ප - මහානාම - අස්සජි යන පස්වග තපස්හු බොහෝ කාලයක් බෝසතාණනට උපස්ථාන කළාහු වෙති. මොක්‍ෂමාර්ගය නම් දුකරවත් පිරීම ය යන හැඟීම නිසා බෝසතාණන් ගේ දුෂ්කරක්‍රියා උග්‍ර වත් මැ පස්වග තවුසෝ වඩාත් සතුටු වූහ. ළඟ දී මැ බුදු වෙනුවා ඇතැයි ඔවුහු විශ්වාස කළහ. ඒ අතරැ බෝසතාණන් දුකරවත් අත්හැරීම පස්වග තවුසන් ගේ බලවත් කලකිරීමට හේතු විය. ඉතින් නම් සිද්ධාර්ථ තාපසයා බුදු වන්නේ නැතැ යි ඔව්හු තීරණය කර ගත්හ. කලකිරීම කොතරම් බලවත් වූවා දැයි කිවහොත් ඔව්හු බෝසතාණන් අතහැර ගියහ.
හුදෙකලා වූ බෝසතාණෝ, එයින් පසුබට නො වී පිඬු සිඟා වළඳා ශරීරය පිළිදැගුම් කොට සුවයෙන් කල් ගෙවන්නට වූහ. ලේ මස් වියළී ඇට සම් පමණට වැහැරී ගිය ශරීරය ක්‍රමයෙන් වැඩෙන්නට විය. නො පෙනී ගිය දෙතිසක් මහපුරිස් ලකුණු හා අසූවක් කුඩා ලකුණු ද පෙනෙන්නට විය. නෙරඤ්ජරා නදී තීරයෙහි උරුවෙල් දනව්වෙහි මහ නුගරුක් සෙවණෙහි  කල් ගෙවන බෝසතාණෝ “ආනාපාන සති” භාවනාවෙහි යෙදෙන්නට ද වූහ. ආහාරයෙන් බෝසතාණන් ගේ ගත ද භාවනාවෙන් සිත ද වැඩෙන අතරැ වෙසක් මාසයේ පුරපසළොස්වක එළැඹියේ ය.
නෙරඤ්ජරා නදී තීරයෙහි වූ සෙනානී නම් නියම් ගම්හි සුජාතා නම් සිටු දුවක් වූවා. ඕ තොමෝ සමීපයෙහි වූ මහ නුගරුක වෙතට ගොස් “සැමිකුලයට ගොස් පළමු වරට පුතෙක් ලදුයේ නම් රුක්දෙවියාට මහා පූජාවක් කරෙමි” යි බාරයක් වූවා. එය එ ලෙසින් සිදුවීම නිසා සිටුදූ වසරක් පාසා කරන මහා පූජාව ද වෙසක් පුරපසළොස්වක්දා උදේට යෙදී තුබුණේ ය. ඕ තොමෝ ඉතා මිහිරි කිරිබතක් පිළියෙළ කොට රන්පතෙක්හි බහා තව ද රන්පතෙකින් වසා හිස මතැ තබාගෙනැ දැස්සක සමඟ මහනුගරුක වෙත පැමිණියා ය. එ රුක් මුලැ වැඩසිටි බෝසතාණන් දුටු ඕ තොමෝ “අද රුක්දෙවියා මා ගේ ක්‍ෂීරපායාසය සිය’තින් මැ පිළිගන්නට ආයේ වනැ” යි මහත් සොම්නසින් කිරිබත් පාත්‍රය මහසතාණනට පිළිගැන්වූහ.
බෝසතාණෝ ද, “මාගේ බුදුවීම නියත බවට මෙය හොඳ පෙර නිමිත්තෙකැ” යි සොම්නස් වැ දිය නහා දන් වළඳා දිවා කාලය රුක් සෙවණෙහි මැ ගෙවූහ. හිරුරැස් අඩු වත් මැ ගඟින් එතෙර වැ එන්නට වූහ. අතරැ මඟැ දී සොත්‍ථිය නම් බමුණකු හමුවී තණමිටි අටක් ද ලදහ. බෝසතාණෝ ඇසතු රුක්මුලැ එය හළා අසුන පිළියෙළ කැරැ ගත්හ.
සිවුසැකි කප් ලකක් පැරුම් පුරා සියල් පින් සිරින් පරිපූර්‍ණ වැ සිටි බෝසතාණෝ “ඇට සම් ඉතිරි වැ ලේ මස් වියළී යතුදු බුදු නො වී නො නැඟිටිමි” යන චතුරඞ්‍ග වීර්යාධිෂ්ඨානයෙන් තණ අසුන්හි වැඩ හුන්හ. ඒ ඇසිල්ලෙහි මැ වසවත්ති මාරයා සහපිරිවරින් එ තැනට පැමිණියේ ය. බෝසතාණන් ගේ බුදුවීම වළක්වනු සඳහා හේ පිළිවන් හැම උස්සාහයක් ම දැරී ය. නා නා වෙස් ගෙනැ නා නා අවියෙන් දිමුත් සේනා සහිත මාරයා පරදා දැමූ බෝසතාණෝ කෙලෙස් නම් වූ දස මාරසේනාවන් සමඟ සටනට වන්හ. අනේවා සහස් කල් පිරූ පාරමී ආදි බුද්ධකාරක ධර්‍මයන් ගේ බලයෙන් සෝවාන් - සකෘදාගාමි - අනාගාමි - අර්හත් යන සතර ආර්යමාර්ගයෙන් සව් කෙලෙස් මුල් සිඳැ නසමින්, මුළු ලොවැ මොහාන්‍ධකාරය වනසමින් ප්‍රඥාලොකය පතුරුවමින් සම්මාසම්බුදු බව ලැබූ සේක.

පන්සාළිස් හවුරුදු සේවාව

බුදු වී සත් සති ගෙවා බරණැස ඉසිපතන්හි දම්සක් පවත්වා පස්වග මහණුන් නිවන් දැක්වූ තැන් පටන් අවුරුද්දකට නව මසක් හෝ අටමසක් හෝ සත් මසක් හෝ ගමින් ගමට ඇවිදිමින් ගිය ගිය තැනැ ඉංග්ලීසි පැයින් පැයකට වඩා විවේක නො ගෙනැ තමන් සුව නො තකා අනුන් සුව සඳහා වැඩ කළ සේක. ආගම් - රාෂ්ට්‍ර - ජාති - කුල ආදි කිසිදු භෙදයක් නො සැලැකූ බුදුරජාණන් වහන්සේ හැම දෙන හට එක සේ මෙත් සිතින් සෙත් කළ සේක.
මෙ සේ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ ස්වල්ප වූ ද ලාභයක්, පුදසත්කාරයක්, කීර්ති ප්‍රශංසාදියක් නො තකා ‘මේ සත්ත්වයන් දුකින් මුදවන්නෙමි’ යි යන කරුණා පෙරදැරි අදහසින් මැ ලොවට අපමණ සෙත් සුව සලසා ගණනින් මැ සූවිසි අඞ්‍ඛ්‍යයක් සත්ත්වයන් නිවන් දක්වා අවුරුදු දහස් ගණනක් යන තුරු උපදනා පින් ඇති සත්ත්වයනට යහපත සඳහා මෙ ලොව දියුණුව යැ, පරලොව දියුණුව යැ, ලෝකොත්තර දියුණුව යැ යන හැම සැපතක් මැ ලැබීමේ ශක්තිය ඇති අසූසාර දහසක් ධර්‍මස්කන්‍ධ දෙශනා කොට තබා, සව් බුදුකිස නිමවා, අන්තිම මොහොතෙහි දී පවා වෙතට පැමිණි සුභද්‍ර පරිව්‍රාජකයා ද නිවන් දක්වා සංස්කාර ධර්‍මයන් ගේ අනිත්‍ය භාවය ලොවට පළ කෙරෙමින් පිරිනිවන් පා වදාළ සේක.
උන් වහන්සේ පිරිනිවන් පෑයේ නමුදු එ බඳු උත්තමයකු සිටි බවට ඉතිහාස පුරාවිද්‍යාත්මක ග්‍රන්‍ථයෝ ද, ධාතු නමින් ප්‍රකට භස්මාවශෙෂයන් හා නොයෙක් නෂ්ටාවශේෂයෝ ද, සුවාසූ දහසක් ධර්‍මස්කන්ධයෝ ද සාක්‍ෂි දෙති.

අනුත්තරො සත්‍ථා සම්මාසම්බුද්ධො

බුදු රජාණන් වහන්සේ අහිතවතුන් වනසන, හිතවතුන් සනසන, හිතවත් සව්වනට මැ හිතවැඩ සලසන ඉටිදෙවි කෙනකුන් වත්, ලොවත් ලෝවැසියාත් මවන රකින පාලකයාණ කෙනකුන් වත් නො වැ, ස්වපක්‍ෂ විපක්‍ෂ මධ්‍යස්ථ යන හැම දෙනා කෙරෙහි මැ සම මෙත් සිතින් හැම දියුණුවක් මැ ලබා ගන්නා මාර්‍ගය දෙසූ අනුශාසකයන් වහන්සේ කෙනෙකි. එ හෙයින් බුදුරජාණන් වහන්සේ ම,
‘තුම්හෙහි කිච්චං ආතප්පං
අක්‍ඛාතාරො තථාගතා’
නුඹලා ගේ යහපත සඳහා නුඹලා මැ උත්සාහ වැඩිය යුතු ය. තථාගතවරයෝ හුදෙක් මඟ කියා දෙන්නෝ යැ යි වදාළහ.
ඒ අනුශාසනා ද ඒ ඒ සත්ත්වයන්  ගේ චරිතානුකූල වැ මැ කළ සේක. ශ්‍රාවකයන් ගෙන් පූජා බලාපොරොත්තු නො වූ සේක. ශ්‍රාවකයනට දඬුවම් ද නොකළ සේක. ඒ හැම අනුශාසනාවක් ම මෙ ලෝසුව පරලෝසුව හා නිවන්සුව ද ලැබෙන පරිදි මැ කරුණාවෙන් හා මෛත්‍රියෙන් ද කළ සේක. උන් වහන්සේ ගේ සියලු අනුශාසනා මුලැ ශීලයත් මැදැ සමාධියත් අගැ ප්‍රඥාවත් ප්‍රකාශ වන පරිදි ත්‍රිවිධ කල්‍යාණත්වයෙන් සපුරා මැ කළ සේක. උන් වහන්සේ ගේ තව ද විශෙෂ ලක්‍ෂණයක් නම් සර්‍වොත්කෘෂ්ට බුදු බව තමන් මැ හිමි කැරැගන්නේ නැති වැ කාටත් පොදු පදවියක් බව දෙසීම ය. උවමනා නම් බුද්ධකාරක ධර්‍මයන් සම්පූර්‍ණ කරන කවර කෙනකුට වුවත් බුදු විය හැකි බව දෙසූ සේක. ‘අහං සත්‍ථා අනුත්තරො = මම් අනුත්තර - හැමට වඩා උසස් - ශාස්තෘවරයා වෙමි. සත්‍ථා දෙවමනුස්සානං = දෙව්මිනිසුන් ගේ අනුශාසකයා වෙමි’ යි වදාළේ ද එ හෙයිනි.
මෙ ලෝ පරලෝ සුව - හා ලොවුතුරා සුව හා
සැලැසෙන සෙ දෙව්නරනට - මහ ඇඟි අනුසසුන් කළ
එක මැ මහසතරහු හට - මා ගේ වැඳුම වේ වා

මහාකාරුණිකො සම්මාසම්බුද්ධො

බුදුරජාණන් වහන්සේ මහාකාරු
ණික ද වූ සේක. දුඃඛිතයන් කෙරෙහි වඩාත් කරුණාව දැක්වූ සේක. දවසකට විසිසතර කෝටි ලක්‍ෂවාරයක් මහාකරුණා සමාපත්තියට සමවැදී,
‘මම අද කවරකු දුකින් මුදවම් දැ’ යි උදේ සවස ලෝකයා දෙස බැලූ සේක. එ සේ මැ දුකින් මිදැවිය හැකි එක සත්ත්වයකු සඳහා වුව ද යොදුන් සිය ගණන් මඟ ගෙවා වැඩම කළ සේක. ඒ සඳහා කවර කරදරයක් වුව ද විඳින්නට කැමැති වූ සේක.
සුමෙධ තාපස කලැ රහත් වී නිවන් අවබොධ කැරැගත හැකි වැ තිබිය දීත්, ‘මා වැනි වීරපුරුෂයකුට තනියම නිවන් දැකීම යුතු නො වේ යැ’ යි සිතා, ‘බුදු වී අනෙක් සත්ත්වයනුදු දුකින් මුදවමි’ යි සසරැ සැරි සරන්නට බැසැ ගත්තේ ද මහාකරුණාව නිසා ම ය.
බුදු වීමෙන් පසු ව ද දිනපතා මැ තමන් ගේ විවේකය සඳහා මඳ වේලාවක් මැ තබා ගෙනැ ඉතිරි සම්පූර්‍ණ කාලය අනුන් සුව සඳහා යොදා වදාළේත්, පූතිගත්තතිස්ස තෙරුන් වැනි කුණුගත් ලෙඩුන් කුලුණෙන් ළතෙත් මවක මෙන් සියතින් නහවා වදාළේත්, අසරණ තිරිසන් සතුන් ගේ බෙලි කපා පැවැත්වූ යාග හෝම තම ශ්‍රාවකයන් විසින් නොකට යුතු යැ යි තහනම් කොට වදාළේත් අන්‍යයනට හිංසා පීඩා පිණිස පවතින ආයුධ වෙළෙදාම් ආදි පස් වෙළෙදාම් බෞද්ධයනට තහනම් කොට වදාළේත් උන් වහන්සේ ගේ මහාකරුණාව නිසා ම ය.
එ දා හිවලුනට බත් කරනු සඳහා සුළුපියා විසින් හැර දමන ලද අසරණ සොපාක දරුවා දුකින් මුදවා ගැනීම සඳහා මහ රෑ අමුසොහොනට වැඩම කොට වදාළේත් මා ගේ බුදුරජාණන් වහන්සේ ගේ මහාකරුණාව නිසා ම ය. මා ගේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් පිරුණු හෘදයක් ඇති සේක. මෛත්‍රියෙන් පිරිණු හිතක් ඇති සේක. “කරුණාසීතලහදයං = කුලුණින් සිහිල් සිත් ඇති; නමො මහාකාරුණිකස්ස තස්ස = ඒ මහකාරුණිකයන් වහන්සේට මා ගේ වැඳුම වේ වා” යි පැවැසුවේ ද එ හෙයිනි.
“යම් ලෝතුමෙක් කෙළ ගණන් කපි’නුත් නොහිම් කල්
එක් වන්
ඉතා දුකර දෑ කෙරෙමින් බොහෝ දුක්
වින්දේ ද ලෝවැඩ තකා කුලුණෙන් මහත් වූ
ඒ සම්බුදුන් හට මගේ නැමැඳීම වේ වා!”

සබ්බඤ්ඤු සම්මාසම්බුද්ධො

බුදුරජාණන් වහන්සේ සර්‍වඥයහ. එ හෙයින් උන් වහන්සේ අතීතයෙහි වූ දෑ මෙන් මැ අනාගතයෙහි වන දෑ ද හොඳින් මැ දැනැ වදාළ සේක් නම් පරමාණු බෝම්බය වැනි දේ ගැනැ ප්‍රකාශ නොකෙළේ මන්දැ යි අසන්නට ඉඩක් ඇති ලෙසක් පෙනෙන්නාක් මෙන් ම බණ නොදතු දු “අපිත් උගතුම්හ” යි දැපෙන ඇතැම් අඥයෝ අසති.
සර්‍වඥ යැ යි කියන මහදෙවියනට නම් බැලුවත් නො බැලුවත් ලොවැ සිදුවන තාක් දේ එක විට පෙනේ ල. හැම දෙය මැ පෙනේ නම් සත්ත්වයන්ගේ සිරුරු කිස වැනි ඉතා පිළිකුල් කටයුතු ක්‍රියා ද පෙනෙනුවාට කිසි දු සැකයෙක් නැත. එ බඳු පිළිකුල් කටයුතු දේ නිතර මැ පෙනේ නම් අහෝ! මහදෙවි වුවත් මොන පව් පල දීමක් ද? ඇත්ත වශයෙන් ඒ මහදෙවියනට එ සේ ලොවැ වන තාක් දේ එකවිට පෙනේ නම් ඔවුනට අංගොඩ වැනි උම්මත්තකාරොග්‍යශාලාවලින් ප්‍රතිකාර ගන්නට සිදු වනු ඇතැයි සිතීම අපහසු නො වේ. එ බඳු මහදෙවියන් අතින් පරස්පර විරොධි නොවන දෙසුම් කැරුණා නම් එය කොපමණ පුදුමයක් ද?
බුදුරජාණන් වහන්සේට එ බඳු පෙනීමක් තුබුණේ නැත. එ සේ තුබුණා නම් උන් වහන්සේට ස්වල්පමාත්‍ර වූ ද සමාධියක් වත් පරස්පර විරොධි නොවන න්‍යායානුකූල වූ නිර්‍මල ධර්‍මයක් දෙශනා කිරීමේ ශක්තියක් වත් ලැබෙන්නේ නැත. බුදුන් වහන්සේ ගේ සර්‍වඥතාඥානය - සියල්ල දන්නා නුවණ - ආවර්ජනාප්‍රතිබද්ධ ය. යමක් බැලිය යුතු යැ ‍යි සිතා වදාරා බැලුව හොත් උවමනා දැ සියල්ල මැ පෙනෙයි. එ සේ බැලූ විට කිසි ද ඇවිරීමක් නැති වැ පෙනෙන හෙයින් අනාවරණඥාන යැ යි ද, හාත්පස මැ - හැම පැත්ත මැ - පෙනෙන හෙයින් සමන්තචක්ඛු යැ යි ද කියැවෙනු යේත් මේ සර්‍වඥතාඥානය මැ යි. එයින් කී ය පටිසම්භිදාමග්ග පාළියෙහි:
න තස්ස අද්දිට්ඨ’මිධත්‍ථි කිඤ්චි
අථො අවිඤ්ඤාත’මජානිතබ්බං
සබ්බං අභිඤ්ඤාසි යදත්‍ථි ඤෙය්‍යං
තථාගතො තෙන සමන්තචක්ඛු
මේ ලෝකයෙහි උන් වහන්සේ ගේ සර්‍වඥතාඥානයට නොපෙනුණු කිසි ද දෙයක් නැත. එ සේ මැ තතු විමසා නොදත්, තීරණය කොට නොදත හැකි කිසිවකුත් නැත. දතයුතු හැම දෙයක් මැ උන් වහන්සේ දැනැ වදාළහ. එ හෙයින් උන් වහන්සේ සමතැස් නම් වන සේක. මෙ සේ මා ගේ බුදුරජාණන් වහන්සේ බුදු කෙනකුන් විසින් දත යුතු හැම දෙයක් මැ දැනැ වදාළ හෙයින් සර්‍වඥ ද වන සේක.
සව්නේමඬල හා - සිව්පස් දොළොස් අයුරින්
අගමඟනැණින් පිළිවිදැ - මෙරමා ද පිළිවිදැවූ
බුදුරජතුමන් හට - මා ගේ වැඳුම වේ වා!

හෙතුවාදී සම්බුද්ධො

බුදුරජාණන් වහන්සේ හෙතුවාදී ද වන සේක. මේ ලෝකය පිළිබඳ සියල්ල මැ නිකම් ඉබේ හටගන්නවා නො වැ හේතූන් ගේ සමවායයෙන් හෙවත් එක්වීමෙන් හටගන්නා බව දෙසූ සේක. එහෙත් සියල්ල කර්‍මයෙන් මැ සිදු වේ යැ යි ශුද්ධකර්‍මවාදයක් හෝ එකහෙතුවාදයක් හෝ ප්‍රකාශ නො කළහ. බුද්ධාගමය නා නා හෙතුවාදයෙකි. එ හෙයින් කර්‍මය ද එයින් ප්‍රධාන හේතුවෙකි. ඒ නිසා බුද්ධ ධර්‍මය සම්පිණ්ඩනය කොට (= හකුළුවා) කියත් හොත් හෙතුඵල ධර්‍මයෙකැ යි කිව යුතු ය.
තව ද, බුදුරජාණන් වහන්සේ තමන් ගේ ඉන්ද්‍රියයනට ප්‍රත්‍යක්‍ෂ වූවක් මැ (= හමු වූවක් මැ) දෙසූ හෙයින් ප්‍රත්‍යක්‍ෂවාදි නමුදු වදාරන යම් දෙයක් ඒ දෙයෙහි ඇති තාක් විවිධ විශෙෂයන් වෙන් වෙන් කොට නිසි සේ බෙදා වදාළ හෙයින් විභාජ්‍යවාදි නමුදු, එකිනෙකට විරුද්ධ නොවන පරිදි ධර්‍මය දෙශනා කළ හෙයින් අ‍‍‍ද්‍වයවාදී නමුදු වෙති.

බුදුගුණ

බුදුගුණයෝ අනන්තයහ, අප්‍රමාණයහ, කියනු ලියනු තබා සිතා ද නො නිමිය හැක්කාහ. ඉතා ඉක්මනට කතා කරන සම්මාසම්බුදු කෙනකුන් විසිනුදු ජීවිතකාලය මුළුල්ලෙහි අන් කිසිවක් නො කියා බුදුගුණ මැ කීවත් ජීවිත කාලය ගෙවී යනුවා මිස බුදුගුණ නම් නිම නො වෙයි. එ හෙයින් කීහ.
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො
ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ
වණ්ණො න ඛීයෙථ තථාගතස්ස”
“මුළු කපකුදු දවස්
බුදුකෙනකුනුදු වැනුවත්
නොගෙවෙන මහගුණැතියෝ
වෙති අප ලොව’ග හමියෝ”
මෙහි සියලු බුදුගුණයෝ සාධාරණ ගුණයෝ යැ, ආසාධාරණ ගුණයෝ යැ යි දෙ කොටසකට බෙදෙති. එයින් සාධාරණ ගුණයෝ නම් වෙනත් සත්ත්වයන් තුළැ ද ඇති විය හැකි පොදු ගුණයෝ ය, පෘථග්ජන - ශෛක්ෂ අර්හත් -පච්චෙකබුද්ධාදීන් කෙරෙහි ද ඇති විය හැකි රූපසම්පත්‍යාදීහු ය. අසාධාරණ ගුණයෝ නම් සම්මාසම්බුදු කෙනකුන් ගේ සන්තානයෙහි හැරැ වෙන කවරකු තුළැ වත් ඇති විය නොහැකි ගුණයෝ ය. ෂට් අසාධාරණ ඥාන චතුර්වෛශ්‍යාරද්‍යාදීහු ය.
මෙ සේ ලොවට අපමණ සෙත් සුව සැලැසූ, අපමණ ගුණැති ලොකොත්තර වූ සර්‍වඥරාජොත්තමයාණන් වහන්සේට මා ගේ නමස්කාරය වේ වා!
“ඒ පිරිසිදු පසිඳු
මහගුණ මුහුදු බුදුරදු
සිරිපා පියුම් පිණිපා
කරමු සිහි කැරැ කැරැ ගුණ”
Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි