12 September 2012

කඨින චීවර පූජාව

                                       සුපටිපන්නතාදී ගුණයන්ගෙන් පින් කෙතක් වූ අපේ මහා සංඝරත්නය වස්කාලය තුළ තමනට සිව්පසයෙන් ඇප කැපව උපස්ථාන කරන අනුගාමිකයන්ගේ චිත්ත සන්තානය ශුද්ධාදී උතුම් චේතනාවලින් පුරවා දෙලොව අභිවෘද්ධිය ඇති කරලීමට උනන්දුවන්නේ නම් එය ගිහි පැවිදි දෙපක්‍ෂයටම අපමණ ශාන්තියකි. බණ දහමට පුරුදු කරවීම පන්සල් ආරාම පවිත්‍ර කිරීම පුරාණයේ පැවති ග්‍රන්ථධූර විදර්ශනා ධූර පුරුදු පුහුණු කිරීම යනාදී ආගමික, ජාතික , කාර්යයන්ට වස් කාලය අපතේ නොයවා කාලය, ශ්‍රමය, බුද්ධිය , වීර්ය පිළිවෙත් වෙනුවෙන් ආයෝජනය කරන්නේ නම් ලාංකික සමාජය තුළින් මෙයට වඩා දහස් ගුණයෙන් කුශලතා වර්ධනය වේ.
                                  වසරේ අවසාන භාගයේ ඉල්මාසය තුළ සිදු කරන කඨින චීවර පූජා පින්කම ගම් නියම්ගම් නගර රාජධානි වල වෙහෙර විහාර, ආරාම , පිරිවෙණ්, විද්‍යායතනයන්හි සිදු කරන්නේ ආගමික , ජාතික , සංස්කෘතික පුණ්‍ය මහෝත්සවයක් වශයෙනි. බෞද්ධ අබෞද්ධ ජනයාගේ සිත් සතන් ප්‍රබෝධවත් කරන ශ්‍රද්ධාව පෝෂණය වන ජාතික අභිමානය, සමගිය වර්ධනය කරන මෙම කාලය තුළ ගිහි පැවිදි සම්බන්ධය තහවුරුවීමෙන් සම්බුද්ධ ශාසනය පිළිබඳ ඉමහත් අපේක්ෂා රාශියක් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේ භාග්‍යය උදාවේ.

කඨින චීවර පූජා පින්කමක් අර්ථාන්විත කර ගැනීමට ප්‍රධාන කාරණා කීපයක් අවශ්‍යවේ.
01. උපසපන් භික්ෂුවක් වස් කාලය තුළ එය ආරක්ෂා කරගෙන සංඝයා මැද පවාරණය කිරීම
02. දායකයන් විසින් ධාර්මික කඨින වස්ත්‍රයක් සපයා ගෙන සංඝයාට පැවරීම
03. කඨින චීවරයක් වශයෙන් මසා පඬුපොවා මහා සංඝරත්නයට පූජා කිරීම
04. මහා සංඝ රත්නය විසින් විනයනය ලෙස භික්‍ෂුවකට පැවරීම
05. ධර්ම විනය විශාරද භික්‍ෂුවක් විසින් කඨින චීවර පූජාවේ ආනිසංස පිළිබඳ ධර්ම දේශනාව
                                                          කෙනෙත්‍ථන කඨිනං ? ථිරෙත්‍ථන කඨිනං සංගණත්ථෙන කඨිනං “ යනාදී නයින් අනාමන්තචාරාදී ආනිසංස ස්ථිර වශයෙන්ම විපාක දෙන බැවින්ද වෙනත් සාමාන්‍ය අකුසල ධර්ම අභිබවා විපාක දෙන බැවින් ද තවද වෙනත් කුසල ධර්මවලට වඩා හැකි ඉක්මනින් තිර වශයෙන්ම ප්‍රතිවිපාක දෙන නිසාද එමෙන්ම ධර්ම විනය වශයෙන් මෙම චීවර පූජාව කරගැනීමේ දුර්ලභ කම වශයෙන්ද ‘කඨින’ යැයි ව්‍යවහාරවේ.
                                සම්බුද්ධ ශාසනයේ දැක්වෙන අට මහා කුසල් වලින් කඨින චීවර පූජාව ප්‍රධානතම කුසලය වන අතර එය භික්‍ෂු, සාමණේර, භික්‍ෂුණී, සාමණේර , ශික්‍ෂමානා යන අයට යෝග්‍ය කාලයෙහි පූජා කළ හැකි බව කඨිනානිසංසයේ දැක්වේ.
                                         වස්ත්‍රය කඩකැපීම, මැසීම, පඬුපෙවීම, කප්බිංදු තැබීම යන කාර්ය සම්පූර්ණ කොට මහා සංඝරත්නයට පූජා කළ පසු කඨින චීවරය ලැබූ භික්‍ෂුව විසින් අධිෂ්ඨානකොට එය පරිහරණය කරනු ලැබේ.
                                              අප බුදුරජාණන් වහන්සේ විසින් පසස්නා ලද කඨින චීවර පූජාවේ ආනිසංස අප්‍රමාණ වේ. අඳනය, තනිපට සිවුර , දෙපට සිවුර , සකසා ගැනීම , පූජා කිරීම , අධාරදීම , අනුමෝදනය , ධර්මවිනායනුගතව පරිහරණය අතිශ්‍රේෂ්ඨ කුසල් ලබා ගැනීමේ මහාපින්කම් වන අතර එයින් සසර සැරිසරන භවයක් පාසා දුගති නිවාරණය දේව මානුෂිකාදී සැප සම්පත් ආදිය ලබමින් මතු මත්තෙහිද දානමානාදී කුසල් කිරීමේ භාග්‍යය ධ්‍යාන, විදර්ශනා මාර්ගඵලාදී උතුම් මිනිස් දහම් ලැබීම, අවසන නිවනින් සැනසීම යනාදී සම්පත් ලැබීමේ වාසනාව උදා වේ.
                          අප ගෞතම සර්වඥයන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහ වෙහෙර වැඩ වසන සමයෙහි බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන් නාගිත නම් කුමාරයෙක් සියලු සැපතින්, පිරිපුන් සුවයෙන්, දෙමවුපිය සෙනෙහස ලබමින් වැඩෙන්නේ පෙරභවයන්හි කරන ලද චීවර පිරිකර පූජාදී මහාකුසල බල මහිමයෙන් ඤාතීන් පිරිවරා දෙව්රම් වෙහෙර වෙත ගොස් උතුම් බුදු ගුණ අසා ශ්‍රද්ධාදී කුසල චේතනාවෙන් පැවිදිව අර්ථ, ධර්ම , නිරුක්ති, ප්‍රතිභාන යන සිව් පිළිසිඹියා පත් රහත් බව ලැබූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අතර විරාජමාන වූ සේක.
දිනෙක සර්වඥයන් වහන්සේ නාගිත බුද්ධ පුත්‍රයන් වහන්සේගේ විශේෂ කුසල කර්මය ප්‍රකට කරනුවස් ආනන්ද තෙරුන් කැඳවා “ අද අනෝතත්තවිලට යාම සඳහා එහි භික්‍ෂු භාවයෙන් පැවිදි වූ පන්සීයක් රහතන් රැස් කරවයි” වදාළ සේක. ක්‍ෂණයකින් බුදුරජාණන් වහන්සේ ඇතුළු පන්සීයක් මහරහතන් වහන්සේ හිමාල වනය හාත්පස හා අනෝතත්ත විල්තෙර එක පැහැර බබුළුවමින් වැඩ උන්හ.
                                     බුදුරජාණන් වහන්සේද “මහණෙනි” තොප අතුරෙන් පෙර ජාතියෙහි බුදු පසේ බුදු මහරහතන් උදෙසා කළ විශේෂ කුසලයක් ඇත්නම් ප්‍රකාශ කරවයි වදාළ සේක. මේ අසා වැඩ හුන් රහතන් වහන්සේ අතරින් නාගිත මහ රහතන් වහන්සේ පූර්ව ජන්මය ආවර්ජනා කරමින් මාගේ මේ ආශ්චර්යවත් කුසල බල මහිමය ප්‍රකාශ කිරීම මතු සම්බුද්ධ ශාසනයේ පැවැත්මට හේතුවන බවත් ජනයාගේ ශ්‍රද්ධාව ප්‍රවර්ධනය වන බවත් දිවැසින් බලා, හුනස්නෙන් නැගී බුදුන් වැඳ අවසර ගෙන තමන් කළ පින්කම් ගෙනහැර දක්වා වදාළසේක.
මෙකපට ඒකානුවන කපින් යට විපස්සී නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළව දහම් අමා වැසි වස්වා කෙලෙස් ගිනි නිවාලන සමයෙහි බන්ධුමතී නම් නුවර කුල පුත්‍රයකුව බුදුරදුන් වෙත පැමිණ බණ අසා පැහැද බුදු පාමොක් මහ සඟනට දන් දුන්නෙමි. තවද වස් විසූ ශ්‍රාවකයන් වහන්සේට සියලු පිරිකර සහිත කඨින චීවරයක් පූජාකොට මවිසින් කළ මේ කුසලය මතු අර්හත් ඵලයෙන් ලබන නිවන් සුවයට උපනිශ්‍රය වේවායිද ප‍්‍රාර්ථනා කළෙමි.
                         මේ මහා කුසලයේ බලයෙන් නරකාදී සතර අපායේ නොඉපිද , දෙව් මිනිස් සැප විඳිමින් මහා කල්ප තිහක් සසර සැරිසරා යන්නේ , අටළොස් කල්පයක් දිව සැපත් වින්දෙමි. සිව් තිස් වරක් සක් දෙව් රජව දිව්‍යරාජ්‍ය සම්පත් ලබා ගත්තේද මේ කඨින දානයේ අනුසස් වශයෙනි. දෙව් මිනිස් දෙගතියෙහි රාජ්‍ය සම්පත් භුක්ති විඳිමින් ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ උසස් කුලවල ඉපිද යථාපරිදි සියලු සැප සම්පත් ලබමින් සියලුදෙනා අතර ශ්‍රේෂ්ඨව පි‍්‍රයමනාපව දීර්ඝ කාලයක් සසර සැරිසරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උතුම් පැවිදි බව ලබා රහත් බව ලැබ ඉර හඳ සේ සසුනඹර ප්‍රකට වූයේ ඒ මේ කඨින චීවර දාන මහා කුසලයේ ප්‍රති විපාක වශයෙනි. යනුවෙන් නාගිත රහතන් වහන්සේ , තම අතීත කුසල කර්ම හා විපාක ගෙනහැර දක්වා වදාළ සේක.
                       බක්කුල මහරහතන් වහන්සේ මෙන් නීරෝගී සුව ලැබීමට, සීවලී, නිග්‍රෝධාදී රහතන් වහන්සේට මෙන් ප්‍රත්‍යලාභීවීමට සැරියුත් , නාගසේන ආදී රහතන් වහන්සේ සෙයින් තීක්‍ෂණ ප්‍රඥාව ලැබීමට , මුගලන් , පිණ්ඩෝල භාරද්වාජ ආදී රහතන් වහන්සේ සෙයින් ඍධි බල මහිමයෙන් දුටුවන් වශී කිරීමේ වාසනා භාගී වීමට මහා මන්දාතු ආදී රජවරුන් සෙයින් මහායුෂ, මහාබල ලැබීමට උපනුපන් ආත්මවලදී සතර මහා නිධාන ලැබීමට ආදී මේ උතුම් පැතුමක් සමෘද්ධ කරගැනීමට කඨින චීවර පූජාව ප‍්‍රබල අනුබලයක් විය හැකිය.

                                               කඨින පින්කම ගමේ පළාතේ දක්‍ෂ නිර්මාණ කරුවන්ගේ නිර්මාණ කෞශල්‍ය ප්‍රකට කිරීමටද උපයෝගී කර ගනු ලැබේ. වස් කාලය තුළ සූවිසි විවරණ පූජා සත් සති පූජා ආලවක දමන , යුගාසන ධර්ම දේශනා, ආදී පූජා , සංදර්ශන නර්තන, කවිබණ , විරිදු බණ, පන්සාළිස් බණ , සල්පිල් , මල්වට්ටි වෙන්දේසි , පෙරහර යන සියල්ල ක්‍රියාත්මක කරන විට පන්සල හා ගම අතර ඇති සම්බන්ධය , ආගමික අවබෝධය බෞද්ධ කලාවේ උන්නතිය , ආර්ථික , සාමාජික , අභිවෘද්ධිය ඇතිවේ. මේ නිසා වස්සාවසානයේ සිදු කරන කඨින මහා පින්කම බෞද්ධ ජනතාවට කැමැති කැමැති සම්පත් ලබාදෙන කප්රුකක් හා සමානවේ.

 උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි. 

2 comments:

Tiraj Adikari said...

කථිනය ගැන ලිවීමට බොහෝ දේ ඇත. මතක් කල එක හොඳා.
හොඳ ලිපියක්. ස්තුතියි සොයුර :)

Unknown said...

නියමෙට ලියල තියනවා

මාසය තුල සිත්ගත් ලිපි