31 May 2012

තිලෝගුරු බුදුරජාණන් වහන්සේට විපාක දුන් කර්ම 12

                   තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුර්වයේ කරනලද කර්ම 12ක් බුදුවූ පසුද විපාක දුන් බව,එක්තරා දිනක හිමාලයේ අනෝතත විල අසලදී 500ක් හික්ෂුන් හමුවෙ වදාළ සේක.පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේය,

1.සුන්දරී පරිබ්බාජිකාව විහාරයට එනයන ගමන හේතුවන් විශාල අපවාදයක් ගොඩනැගින, මීට හේතුව නම් පෙර මුනලීදුර්තකව සිටියදී සරබූ නම් පසෙ බුදුරජුන්ට            කල දෝෂාරෝපණය විය

2.පෙර ලොවපහල වූ සබ්බාබිබු නම් බුදුරජුන්ගෙය් නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමබෝගියා ලෙසින් දොස්නැගීම තුලින් සරාසංකෙය්ය කල්පලක්ෂයට පෙරකළ කර්මය බුදුවූ පසු මෙසෙ විපාක දුනි,බඩදරු අම්ම කෙනෙකු ලෙසින් පැමිණි චිංචිමානවිකාව හේතුකොට මහත්  අපවදයකට ලක්විය,

3. පසු කලෙක සුන්දරී පරිබ්බාජිකාව මරා මල් අසුන ලග වලලා බුදුරජුන් ඇයව දුෂණය කොට මරා සගවන ලද්දෙය් යයි දැඩි දෝෂාරෝපණයක් පැන නැංවීය,එය සති 7 වනතුරු පැවති පසුව සත්‍යය එළිවිය,පෙර බවයේ භීම නම් සෘෂින් වහන්සේට බැණ වැදීම හේතු විය,

4.වස්තු තණ්හාවෙන් බෝසතාණන් වහන්සේ තම සොහොයුරා කන්දකින් පහලට තල්ලුකර ගලක් ද පෙරලා මරා දැමුවේය,මීට සසරෙය් බොහෝ දුක්විද අවසනයෙ
බුදුවූ පසු දෙව්දත්තෙර ගල්පෙරළු පසු ගල් පොත්තක් වැදී තුවාල විය,

5.බෝසතුන් දිනක් කුඩා ලමයකුව සිටියදී පසේ බුදු කෙනෙකු දැක ගලකින් ගැසිය,මෙයට විපාකය බුදුවූ පසුවත් බුදුරජාණන් වහන්සේගෙ ජීවිතය නැසීමට දෙව්දත්තෙර දුනුවායන් යෙදවිය බව දත යුතුය,

6.පෙර බවයක බෝසතුන් ඇත්ගොව්වකු ලෙස සිටියදී පසේ බුදු කෙනෙකු දැක දුෂිත සිතින් මැරීම සදහා ඇතා මෙහෙය වීය එය සාර්ථක නොවිය,පහත් සිතින්
කල කර්මය නිසා බුදුවූ පසු මත් වූ නාලාගිරි ඇතුන් පැමිණෙන්නට හේතුවිය,

7.දෙව්දත්තෙර පෙරළු ගල් තුලින් ගල්පතුරක් විත් ස්රිපතුලෙ වැදී මාපටගිල්ල තැලී ලේ කැටිගැසින පසුව ජීවක තුමා එය සුවපත් කළේය,මෙසෙ ශ්‍රීපතුල පලන්නට සිදුවුයේ,පෙරබවයේ ප්රුතුවිශ්වර රජාව සිටියදී මිනිසකු මරවන ලද පවිනි,  

8.තිලෝගුරු බුදුරජාණන් වහන්සේට තිබු සුව නොවන හිසරදයට හේතුවනම් පෙර කෙවුල් පවුලක ඉපිද තම ඥාතින් බොහෝ මාළුන් ගොඩ දා තිබෙන දැක සතුටු සිනා පල කෙරීම නිසා විය,

9. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට දොළොස්වන වස්කාලයේ දී දානය නොලැබී ගොස් අශ්වයන්ට දෙන යවහාල් වලද ජීවත් වන්නට සිදුවිය, හේතුව නම්  පුස්ස බුදුරජාණන් වහන්සේට " ඔබවහන්සෙ මෙය ප්‍රනීත ඇල්හාල් වලදනාවට වඩා යවහාල් වැලදුවනම්" ලෙස දොස් නැගීමෙ විපාකය විය,

10.තථාගතයන් වහන්සේට සුවනොවන කොන්දේ හි අබාදයක් තිබිණි මෙය දර්ම දේශනා කරන අතරතුර පැන නැංවුන විට දී සැරියුත් හිමිට එය පවරා විවේක ගන්නට වඩින බව සදහන්වෙ,හේතුවනම් පෙර බවයේ මල්ලව පොර යොදයකුව සිටි අවදියේ විරුද්දවාදීන්ව පැමිණි විට ඔවුන් ගෙය් කොන්ද කැඩුව නිසාවෙනි,

11.බුදුරජුනට වැළදුන "ලොබිත පක්කන්දිකා" ( ලේ අතීසාරය) රෝගය හේතුවනම් පෙර බවයේ වෙදමහතකුව සිටියදී සිටුවරයකුට බෙහෙත් කර නියමිත මුදල් නොගෙවූ නිසා විරේක බෙහෙත් දී පසුව නියමිත මුදල් ලැබුපසු සුව කළේය,

12.බුදු වීමට සය අවුරුද්දක් දුක්විදීමට සිදුවුයේ පෙර ආත්මයේ ජෝතිපාල නම් මානවකය ලෙස සිටියදී ගටිකර බමුණා සමගින් කාශ්‍යප බුදුන්ට දොස්කීමෙ විපාකය විය,

                            පින්වත් ඔබලා පසුතැවිලි වන්නට සිදුවන දැ කිරීමෙන් වලකින්න,කල කීදේවල් මරණින්පසුවත් බුදුවූ පසු විපාක දෙන ආකාරය මෙසේ නම්,ඔබ අප මෙය ලැබූ ජීවිතය කෙසෙය් ජීවත් විය යුතු වන්නෙද? බුදුන් සැමබලයකින් ඉහල තලයේ සිටිවිට මෙසෙ වුනි නම් පෘතග්ජන අප ගැන කවර කතා ද.. එය එසෙය් වුවත් යහපත් ජීවිතයක් ගත කරන්න සියලු දෙනාට තුනුරුවන් සරණයි...!                                                                                           

16 May 2012

සගුන් සරණ යන්නට පෙර



                      බුද්ධ පුත්‍ර මහාසංඝයා වහන්සේ ආර්යසංඝයා ය, සම්මුති සංඝයා යැයි කොටස් දෙකකට බෙදෙති. ආර්ය සංඝයා නම් සතරමඟ සතරඵල පත් භික්‍ෂූන් වහන්සේ ය. සම්මුති සංඝයා නම් උපසම්පදා විනය කර්මයෙන් සංඝ ගණයට ඇතුළත් වූ භික්‍ෂූන් වහන්සේ ය.
                        
                            ආර්යසංඝයා සෝතාපන්න මාර්ග ඵල - සකෘදාගාමී මාර්ග ඵල - අනාගාමි මාර්ග ඵල - ලාභීහු අට දෙනා ය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙනුයෙන් අකාලික යැ යි විග්‍රහ කරතත් එය එසේ ම නො විය යුතුය. මාර්ග සිතට අනතුරු වැ ඵල සිත ලැබෙන්නත් පිළිවන්. එසේ ම මඟ සිත ලැබී පැය ගණන් ගත වී ඵල සිත ලැබෙන්නත් පිළිවන්. මුල් මතය වන මඟ සිතට අනතුරු වැ ඵල සිත ලැබීම පමණක් පිළිගත්තොත් අට්ඨ අරිය පුද්ගලයන් ලැබෙන්නේ නැත.
                     
                                  ආර්යයෝ සේඛ අසේඛ වශයෙන් ද දෙකකට බෙදෙති. සේඛයෝ සෝතාපන්න මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, සකෘදාගාමී මාර්ගස්ථ ඵලස්ථ යන දෙදෙනා ය, අනාගාමි මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනා ය, අරහත් මාර්ගස්ථ යන මේ සත් දෙනා ය. අසේඛ නම් අර්හත් ඵලස්ථයා ය. මඟසිතට අනතුරු වැ ම ඵල සිත ලැබෙයි යන මතය පිළිගත්තොත් සේඛයන් හත් දෙනා ලැබෙන්නේ නැත.
සෝවාන් ඵලස්ථයෝ ඒකබීජී ය. කෝලංකො‍්ල ය. සත්තක්ඛත්තු පරම යැ යි තුනකට බෙදෙති. ඒකබීජී නම් එම භවයෙහි දී ම ඉතිරි මාර්ගඵලයන් ලබා පිරිනිවන් පාන්නා ය. කෝලංකෝල නම් කුලයෙන් කුලයට හෙවත් භවයෙන් භවයට යන්නා ය. එනම් මේ භවයෙන් චුත වැ දෙ තුන් භවයක් හෝ වැඩි ම වුණොත් භව සයක් හෝ ඉපිද රහත් වන්නා ය. සත්තක්ඛත්තුපරම නම් සත්වන වරට ඉපිද රහත් වන්නා ය.
සකෘද‍ාගාමී ඵලස්ථයෝ කාමභව - රූපභව - අරූපබව යන තුන් ලෙව්හි දී ඉතිරි මාර්ග ඵල අධිගම පත්වන්නන් වශයෙන් තුන්වැදෑරුම් වෙති.
                         
මේ සෝතාපන්න සකෘදාගාමී සදෙන ම දුක්ඛාපටිපදා ආදී වශයෙන් සතර ප්‍රතිපදාවන් ගේ වශයෙන් සූවිසි වැදෑරුම් වෙති. එ‍් ප්‍රතිපදා සතර මෙසේ ය: 1. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා, 2. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා 3. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා 4. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. මෙහි පටිපදා නම් පූර්ව භාග විදර්ශනා මාර්ගය යි. අභිඤ්ඤා ලොවුතුරා මඟපල නුවණ යි.

1. දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා - ඉතා අමාරුවෙන් කෙලෙසුන් යටපත් කොට බොහෝ කල්ගත වී මාර්ගඵල ලබා ගැනීම යි. 2‍. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා - ආමාරුවෙන් කෙලෙසුන් යටපත් කොට නොබෝ කලෙකින් මාර්ගඵල ලබා ගැනීමයි. 3.සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා -පහසුවෙන් කෙලෙසුන් යටපත් කොට බොහෝ කල් ගත වී මාර්ගඵල ලබා ගැනීම යි. 4. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා - පහසුවෙන් කෙලෙසුන් යටපත් කොට නොබෝ කලෙකින් මාර්ගඵල ලබා ගැනීම යි. යට කී සෝවාන් තිදෙන‍ා හා සෙදගැමි තිදෙනා ද යන ස දෙනා මේ පිළිවෙත් සතරෙන් වැඩි කළ සූවිසි දෙනෙක් වෙති.
අනාගාමි ඵලස්ථයෝ ද සූවිසි දෙනෙක් වෙති. ඒ මෙසේ ය: පඤ්ච සුද්ධාවාසයන් ගෙන් 1. අවිහතලයෙහි අන්තරාපරිනිබ්බායී හෙවත් එහි උපන් ක්‍ෂණයෙහි ම හෝ මඳ කලක් ඉක්ම ගොස් හෝ නියම ආයුෂයෙන් මධ්‍යයෙහි හෝ රහත් වැ පිරිනිවෙන්නෝ ය. 2. උපහච්චපරිනිබ්බායී හෙවත් ඒ බඹතලෙහි ආයුෂයාගේ මධ්‍යය ඉක්මවා රහත් වැ පිරිනිවෙන්නෝ ය. 3. සසංකාරපරිනිබ්බායී හෙවත් ආනායාසයෙන් - පහසුවෙන් විදර්ශනා වඩා රහත් වැ පිරිනිවෙන්නෝ ය. 5. උද්ධංසෝත අකනිට්ඨගාමී හෙවත් තමන් උපන් බඹ ලොවෙහි දී රහත් විය නොහැකි වුවොත් එයට ඉහළින් තිබෙන බඹලොවෙකැ ඉපිද විදර්ශනා වඩා රහත් වැ පිරිනිවෙන්නෝ ය. මෙසේ අවිහ - අතප්ප - සුදස්ස - සුදස්සී යන බඹ ලෙව්හි මුලින් සඳහන් කළ පස් ආකාරයෙන් ම විදර්ශනා වඩා රහත් වැ පිරිනිවෙන්නෝ වෙති. අකනිටාබඹලොවට වඩා ඉහළ බඹ ලොවක් නැති නිසා ඉතිරි සිවු ආකාරයෙන් රහත් වැ පිරිනිවෙන්නෝ වෙති. මෙසේ අනාගාමීඵලස්ථයෝ සූවිසි දෙනෙකි.

              රහතන් වහන්සේ සිවුපිළිසැඹියා පත් රහත්හු ය, සිවුපිළිසැඹියා නොපත් රහත්හු යැ යි කොටස් දෙකක‍ට බෙදෙති. චතුපටිසම්භිදා නම්, ධර්මය අවබෝධ කැර ගැනීමේ දී පහළ වන විශේෂඥාන සතරෙකි. එනම් ධම්ම - ත්‍රිපිටක ධර්මය දැනීම අත්ථ - ධර්මයෙහි වචනාර්ථ දැනීම, නිරුක්ති දහම් පද විග්‍රහ කොට දැනීම, පටිහාන - මනා අවබෝධය. වෙනත් වචනවලින් කියනවා නම් අභිඤ්ඤා හා චතුපටිසම්භිදා ඤාණය ඇති නැති රහතන් වහන්සේ ය. මෙසේ ආර්ය සංඝයා වහන්සේ හඳුනා ගන්නේ මැනවි.
සම්මුති සංඝයා වහන්සේ කවරහු ද යත්, බුදුරජාණන් වහන්සේගේ කාලයෙහිත් පසුවත් මාර්ගඵල නොලැබූ එහෙත් ඒ මඟට බැස ගත් භික්‍ෂූන් වහන්සේ සම්මුති සංඝයා වහන්සේ නම් වෙති.ආර්ය මහා සංඝයා වහන්සේ ලෝක ශාසනයට වචනයෙන් කියන්නට නොහැකි තරම් උසස් සේවයක් කළහ. මලියදේව මහ රහතන් වහන්සේගේ කාලයෙන් පසු ආර්ය සංඝයා ගැන සඳහන් නැත. එහෙත් සම්මුති මහා සංඝයා වහන්සේ බුද්ධ කාලයෙහි පටන් අද දක්වා ම ශාසනයටත් සමාජයටත් සේවය කෙරෙමින් වැඩ සිටිති.
බුදුරජාණන් වහන්සේ ආර්ය මහා සංඝයා වහන්සේ පිළිබඳ වැ දේශනා කළ ගුණ සමුදාය එදා වැඩසිටි සම්මුති මහා සංඝයා වහන්සේ ද අනුගමනය කළහ. මෙදා ආර්ය මහා සංඝයා වහන්සේ නැතත් මෙකල වැඩ සිටින සම්මුති මහාසංඝයා වහන්සේ ද අනුගමනය කළ යුතු ම යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආර්ය සංඝ ගුණ මෙසේ ය:
                 භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකසංඝයා වහන්සේ සුපටිපන්නයහ, උජුපටිපන්නයහ, ඤායපටිපන්නයහ, සාමීචිපටිපන්නයහ, ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ අහුනෙය්‍යහ, පාහුනෙය්‍යහ, දක්ඛිණෙය්‍යහ, අඤ්ජලිකරණීයහ, ලෝකයාගේ අනුත්තරපුණ්‍යක්‍ෂෙත්‍රයහ.
භගවතො ඔවාදානුසාසනිං සක්කච්චං සුණන්තීති සාවකා - භාග්‍යවතුන් වහන්සේගේ අවවාදානුශාසනා සකසා අසන්නෝ ශ්‍රාවකයෝ වෙති. ඒ ශ්‍රාවකයන් ගේ සමූහ ශ්‍රාවකසංඝ නම් වේ.

සුපටිපන්නො

සුපටිපන්නොති - සුට්ඨුපටිපන්නො, සම්මාපදං - අනිවත්තිපටිපදං - අනුලොම පටිපදං - අපච්චනීකපටිපදං - ධම්මානුධම්මපටිපදං පටිපන්නො - සුපටිපන්න නම් මනාව පිළිපන් බැවිනුත් මනා පිළිවෙත ය, නො නැමෙන පිළිවෙත ය, නිවනට අනුලොම් වැ යන පිළවෙත ය, අවිරුද්ධ ප්‍රතිපදාව ය, ධර්මානුධර්මප්‍රතිපදාව යන ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස ගත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ වෙයි.

උජුපටිපන්නො

යස්මා පන සා සබ්බා පටිපදා උජු අවංකා අකුටිලා අජිම්හා අරියො ච ඤායොතිපි වුච්චති, අනුච්ඡවිකත්තා ච සාමීචිතිපි සංඛංගතා. තස්මා තං පටිපන්නො අරියසංඝො උජුපටිපන්නො ඤායපටිපන්නො සාමීචිපටිපන්නොතිපි වුත්තො.
කායවංක, වාක්වංක, මනෝවංකයන් නසනු පිණිස සෘජු වූ ආර්ය මාර්ගයට පිළිපන් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ උජුපටිපන්න නම් වන්නේ ය.

ඤායපටිපන්නො

ආර්යභාවයෙන් න්‍යාය නම් වූ නිවන් මඟට බැසගත් බැවින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඤායපටිපන්න නම් වන්නේ ය.

සාමීචිපටිපන්නො

සාමීචි නම් වූ සුදුසු මඟට පිළිපන් බැවිනුත් සමචන ක්‍රියා කරන්නට සුදුසු මඟට පිළිපන් බැවිනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝ තෙමේ සාමීචිපටිපන්න නම් වන්නේ ය.

යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සමූහයා නම් සෝවාන් මාර්ගස්ථ ඵලස්ථ වශයෙන් පුරිස යුග හතරෙකි. සෝවාන් මාර්ගස්ථයා යැ, ඵලස්ථයා යැ යි පුරිස පුද්ගල වශයෙන් ගත් කලැ පුරිස පුද්ගලයෝ අට දෙනෙකි.

භගවතො සාවකසංඝෙ‍ා ආහුනෙ‍ෙය්‍යා

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඉතා දුර සිටත් ගෙනවුත් පුදන සිවුපසය පිළිගන්නට සුදුසු හෙයිනුත්, හැම සැපත් ගෙනවුත් පුදන්නට නිසි තැන් වන හෙයිනුත් ආහුනෙය්‍ය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො පාහුනෙ‍ෙය්‍යා

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නොයෙක් දෙසින් පැමිණි ඥාති මිත්‍රාදීන්ට පිළියෙළ සංග්‍රහ නම් වූ පාහුනය ද ලබන්නට සුදුසු හෙයිනුත් හැම අයුරින් පිදිය යුතු හෙයිනුත් පාහුනෙය්‍ය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො දක්ඛිණෙ‍ෙය්‍යා

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා පරලොව අදහා දිය යුතු දක්‍ෂිණාව ලබා ගන්නට සුදුසු වන හෙයින් ද, දෙන දානය මහත්ඵල මහානිසංස කිරීමට සුදුසු හෙයින් ද දක්ඛිණෙය්‍ය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො අඤ්ජලිකරණීයො

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයා සංඝයා දොහොත් මුදුනේ තබා ගත් ලෝ වැස්සන් විසින් මහත් භක්තියෙන් කැරෙන ඇඳිලි බැදීම් ලබන්නට සුදුසු හෙයින් අඤ්ජලිකරණීය නම් වන්නේ ය.

භගවතො සාවකසංඝො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස

භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මුළු ලෝවැස්සනට එයට වැඩි පින් කෙතක් නැති හෙයින් හා ඉතා උසස් පින් පල උපදනා තැන වන හෙයින් ද අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත නම් වන්නේ ය.

බුදුසරණ 1991.05.27
ප්‍රඥාප්‍රභා 5
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් කරවන ලද ලිපියකි..

හතුරු මිතුරු හදුනාගනිමු

        මෙතෙක් කලක් ජීවත්වීමේදී අපට නානාකාරයේ පුද්ගලයන් මුණගැසෙ ඉන් කිහිපයක් මිතුරන් වන අතර අතලොස්සක් පමණ යහපත් මිතරන් ලෙස දක්වන්නට සිත්වන අවස්ථා ඇත,එසෙය් හමුවන මිතුරා ගැන දැනගන්නට කලක් ගත්වෙ කෙසෙය් වුවත් මිතුරන් නැතිව බැරිය මිතුරන් සම්බන්දව අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ  විසින් රචිත මෙම මනාව දක්වා ඇත,බලන්න අනිකාට ඔබ යහපත් මිතුරෙක් වුවද යනවග   


මිජ්ජති තායති චාති  -  මිත්තෝ: හිතජ්ඣාසයතාය සිනිය්හති අහිතාපගමතෝ රක්ඛති චාති අත්ථෝ - යනු විවරණ පාඨ හෙයින් හිත වැඩ සැලැසීමේ අදහසින් ස්නේහ කරන්නා වූ ද, අහිතයෙන් - අවැඩින් - නපුරෙන් වැළැකීම වශයෙන් ආරක්‍ෂා කරන්නා වූ ද තැනැත්තා මිත්‍රයා නම් වේ.

සහ සමානං සද්ධිං වා, සුඛ දුක්ඛෙසු, කිච්චේසු ච අයති ගච්ඡති - පවත්තන්තී සහායෝ - සුව දුක් දෙක්හි ද, අනෙක් කුදු මහත් කටයුත්තේහි ද එකට යන ක්‍රියා කරන හිතවතා ම යහළුවා බව ප්‍රකාශ වේ. මේ නිර්‍වචානාර්‍ථයන් ගැන සලකා බලන විට නියම මිත්‍රයන් ඉතා දුලබ බවත්, ලොව බහුලව සිටිනුයේ මිත්‍ර ප්‍රතිරූපකයන් - මිත්‍ර රූපයෙන් - මිත්‍රාකාරයෙන් පෙනී සිටින්නන් බවත් හොඳ හැටි පැහැදිලි වෙයි.

මිත්‍රයා අවශ්‍ය බව

මේ ලෝකයෙහි ඇති නොයෙක් දුක් කරදර හිරිහැර යටපත් කර ගැනීමටත්, චරිතය දූෂණය නොවන පරිදි නිවැරදි විනෝදයක් ලබා ගැනීමටත්, අයහපතෙන් මිදී යහපතෙහි යෙදීමටත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමටත් නියම මිත්‍රයා අවශ්‍ය ම ය.
බුදුරජාණන් වහන්සේ ද ආශ්‍රයට සුදුසු කෙනෙකු සිටිය යුතු බව, නියම මිත්‍රයා අවශ්‍ය බව නොයෙක් සූත්‍රයන්හි දී ප්‍රකාශ කළහ. ඉන් කීපයක් මෙසේ ය.
දුක්ඛං ඛෝ අගාරවෝ විහරති - ආශ්‍රයට හොඳ කල්‍යාණ මිත්‍ර ගුරුවරයකු නැතිව වාසය ඉතා දුකෙකි.
දිනක් අනඳ මහ තෙරුන් වහන්සේට මෙබඳු අදහසක් පහළ වී ය. මේ ශාසන සම්පත්තියෙන් අඩක් ම කල්‍යාණ මිත්‍රයා නිසා සැලැසේ. එය එසේ නොවන බව පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මා හේවං ආනන්‍ද, මා හේවං ආනන්‍ද, සකල මෙව හිදං ආනන්‍ද බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණමිත්තතා - ආනන්‍දය, එසේ නොකියව, ආනන්‍දය, එසේ නොකියව, මේ ශාසනයෙහි සියලු සම්පත් සැලැසෙන්නේ කල්‍යාණමිත්‍රයා නිසාම යැයි වදාළහ.
මිත්ත සම්පදමාගම්ම - යෝනිසෝ චෙ පයුඤ්ජතෝ
විජ්ජා විමුත්ති වසීභාවෝ - සබ්බමේතේන ලබ්භති
-නිධිඛණ්ඩ සූත්‍රය
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නුවණින් විදර්‍ශනායෙහි යෙදෙන තැනැත්තාහට ත්‍රිවිද්‍යා අෂ්ට සමාපත්ති නිර්‍වාණ යන සියල්ල ම ලැබෙන බව ද ප්‍රකාශ කළහ.
යස්ස ගාමේ සඛා නත්ථි යථාරඤ්ඤං තථෙවං තං - යමකුට ගමෙහි යහළුවකු නැත්තේ නම් ඒ ගම මහවනයක් කැලයක් බඳු යැයි ද, එවං මිත්තවතං අත්ථි සබ්බේ හොන්ති පදක්ඛණා - යහපත් මිත්‍රයන් ඇතියවුනට සියලු යහපත දියුණුව සිදු වේ යන ආදි නොයෙක් තන්හී දී ලෞකික ලෝකෝත්තර දෙවැදෑරුම් දියුණුවට  මිත්‍රයකු අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ වදාළහ.‍
“ශොකාරාති භයත්‍රාණං - ප්‍රීති විශ්‍රම්භ භාජනම්
කෙන රත්නමිදං ඍෂ්ටං - මිත්‍ර මිත්‍යක්‍ෂරද්වයම්”
ප්‍රිය විප්‍රයෝගාදී නන් වැදෑරුම් ශෝකය ය, සතුරන් ගෙන් පැමිණෙන උවදුරු ය, භය ය, යන මේ කරදරවලින් වළක්වා ආරක්‍ෂා කරන්නා වුද, ප්‍රීති හා විශ්වාස යන ගුණ යුවළට භාජන - කාරණා වූද මිත්‍ර යන මේ අකුරු දෙක කවරකු විසින් මවාලූ මිණිරුවනක් ද?
“ව්‍යා‍‍‍ධිතස්‍යාර්‍ථහීනස්ස - දෙශාන්තරගතස්ස ච
නරස්‍ය ශෝක දග්ධස්සු - සහෘද් දර්‍ශන මෞෂධම්”
ලෙඩින් පෙළෙනුවන් හට ද ධන හානියට පැමිණ සිටිනුවන් හට ද ස්වකීය දේශය අත්හැරැ වෙන පළාතකට ගියවුන් හට ද ශෝකයෙන් දැවෙමින් තැවෙමින් සිටිනුවන් හට ද හොඳ හිතවත් මිත්‍රයාගේ දර්‍ශනය හොඳ ම බෙහෙතෙකි.
“යස්‍ය මිත්‍රෙණ සම්භාෂා - යස්‍ය මිත්‍රෙණ සංස්ථිතිඃ
මිත්‍රෙණ සහයෝ භුඞ්තෙ - තළතා නාස්ත්‍රිහ පුණ්‍යවාන්”
යමකුට හොඳ මිත්‍රයකු හා පැවැත්තෙන හොඳ කථා ඇත්තේ ද හොඳ මිත්‍රයකු හා එකට ආහාරානුභවයෙක් ඇත්තේ ද, ඔහුට වඩා පිනැත්තකු මේ ලෝකයෙහි ම නැත්තේය. මේ ආදී බැහැරි පඬුවන්ගේ කියුම්වලින් ද මිත්‍රයා අවශ්‍ය බව පැහැදිලි වේ.

මිත්‍රයා තෝරා ගැනීම

“ධාතුසෝ භික්ඛවෙ සත්තා සංසන්‍දෙන්ති සමෙන්ති”
අදහස් වශයෙන් සත්ත්වයෝ එකතු වෙති යන කීමෙන් ඔවුනොවුන්ගේ එක්වීම ස්වාභාවික බව පෙනෙයි. හීන අදහස් ඇත්තා එබන්දකු සමග හා උතුම් අදහස් ඇත්තා එබඳු උතුමකු සමග ම එක් වෙයි. මිත්‍ර වෙයි,
“යා දෙක නොරත රත
සමග පෑසීමෙක් නැත”
අලගියවන්න මුකවෙටිතුමා කීවාක් මෙන් රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත. එමෙන් හීන අදහස් ඇත්තා උතුම් අදහස් ඇත්තකු සමඟ ද, උතුම් අදහස් ඇත්තා හීන අදහස් ඇත්තකු සමඟ ද එක්වීම නොවන දෙයකි. යකඩ දෙකම රත් වූ කැල එකක් ලෙසට පෑස්සෙන්නාක් මෙන් අදහස් සම වූ විට එක්කෙනා මෙන් සම්බන්‍ධ වෙයි. මිත්‍ර වෙයි. එහෙත් මේ සම්බන්‍ධය උතුමන් අතර නම් මැනවි. හීනයන්ගේ හීන සමාගමය නම් ඉතා අනර්‍ථකර ය. එයින් කුඩා කලැ දෙමවුපියන් ගුරුවරයන් විසින්හොඳ මිතුරන් තෝරා දිය යුතුය. තරුණ කාලයෙහි තමන් විසින් ම හොඳ මිතුරන් තෝරා ගැනීම කටයුතු වේ.
මනුෂ්‍යයා උපතින් පිරිසිදුය, යහපත් ය. ලැබෙන ආශ්‍රය අනුව වෙනස් වෙයි. ස්වභාවයෙන් පිරිසිදු වතුරට සායම් කෑලි දැමූවිට එක්වුණු සායම් කෑල්ලේ පාට ඇතිවන්නාක් මෙනි. නරක මිතුරන්ගේ ආශ්‍රය නිසා හොඳ අය පවා ඉතා නරක් වන සැටි, නොමග ගිය අයුරු අජාතශත්‍ර ආදීන් ගේ පුවත්වලින් හා ඉතා නරක අය පවා හොඳ ආශ්‍රය නිසා හොඳ සත්පුරුෂයන් වූ සැටි අංගුලිමාල ආදීන්ගේ පුවත්වලින්  ද වටහා ගත හැකිය. ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට මිත්‍රයකු අවශ්‍ය වන්නාක් මෙන් ම හොඳ මිත්‍රයකු තෝරා ගැනීම ද ඉතා අවශ්‍ය ය. මඳ දැකුමෙකින් වත් සුළු ආශ්‍රයෙකින් වත් කෙනෙකුගේ හොඳ නරක තේරුම් ගත නොහැකිය. තඹ පිත්තල ආදී බඩුවල පිටතින් රත්‍රං ගා රන් බඩු ලෙස පෙන්වන්නාක් මෙන් ඇතුළත නරක ගති ඇතිව පිටතින් යහපත් ස්වභාවයක් පෙන්වන්නා වූ මිනිස්සු ද බහුල ය. එහෙයින් වදාළ හ.
“න වණ්ණ රූපෙන නරෝ සුජානෝ
න විස්සසේ ඉස්සරදස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමි මං චරන්ති”
-කෝසල සංයුත්තය
පැහැයෙන් සටහනින් - මිනිසා නො දතැ හැක්කෙ යැ
මඳ දැක්මෙකින් පමණක් - නො විස්වස්නෙ යැ නො විමසැ
මොනවට දැමුණුවන් - ලකුණෙන් පිටත පෙනෙනා
නොදැමුණුවෝ ද හැසිරෙත් - බෙහෙවින් මෙ සත්ලෙව්හි
-බෞධ ළමයා
යම් කිසිවකු කෙරෙහි විශ්වාසයක් තැබීමට, කෙනෙකු මිතුරකු ලෙස ගැනීමට කරුණු හතරක් හොඳින් පරීක්‍ෂා කළ යුතු බව බුදු රජාණන් වහන්සේ කොසොල් රජහට ප්‍රකාශ කළහ.
1.      සංවාසේන ඛො මහාරජ සීලං වෙදිතබ්බං
මහරජ, එක්ව වාසය කිරීමෙන් ශීලය - ශීලාචාරකම දත යුතුය. යම් කිසිවකු සමඟ එකට වාසය කරන නුවණැත්තාට කතාව - හිනාව - ගමනබිමන - ඉඳීම - සිටීම - කෑම - බීම - ආදිය පවත්වන ආකාරයෙන් ඔහුගේ ශීලාචාරකම වටහා ගත හැකි‍ වෙයි. එය ද දවසක් දෙකක් නොව දිගු කලක් හොඳින් පරීක්‍ෂා කට යුතුය.
2.      සංවෝහාරෙන ඛො මහාරාජ සොචෙය්‍යං වෙදිතබ්බං”
මහරජ, කථා ව්‍යවහාරයෙන් ඔහුගේ පිරිසිදුකම දත යුතු ය. ඇතැම් අය පිටතින් හොඳ බවක් පෙන්නන්නේ වී නමුත් ඇතුළතින් ඉතා නරක ය, අදහස් ඉතා නපුරුය.කෙනෙකුගේ අදහස් එළියට එන්නේ කථාවෙනි. කථාවෙන් අදහස් දත හැකි වුනත් එය දවසෙකින් දෙකෙකින් කළ නො හැකිය. දිගු කලක් පරීක්‍ෂාවෙන් කථා කරන්නකුට ඔහුගේ අදහස් අනුව පිරිසුදුකම හෝ අපිරිසිදුකම  දැන ගත හැකි වේ.
3.      “ආපදාසු ඛො මහරාජ ථාමෝ වෙදිතබ්බෝ”
මහරජ, විපත්තීන්හි පවතින ආකාරයෙන් ඥාන ශක්තිය ධෛර්යය දත යුතු ය. බොහෝ දෙනා විපත්තීන්හි දී තැවෙති, ළතැවෙති, සුසුම් හෙළෙති. “චපලේන සහ ස්නෙහඃ සර්‍වථා න කර්‍තව්‍යඃ  යී කී පරිදි ඉතා සුළු දෙයිනු දු වෙනස් වන චපලයකු සමග සෙනෙහසක් නම් කිසි විටෙකත් නොකට යුතු ය. ධීරයකු ම සොයා ආශ්‍රයට මිතුරුකමට ගත යුතු ය.
4.      සාකච්ඡාය ඛො මහාරාජ පඤ්ඤා වෙදිතබ්බා”
මහරජ, සාකච්ඡාවෙන් ප්‍රඥාව දැන ගත යුතු ය. “සෙය්‍යො අමිත්තො මතියා උපේතො නතෙව මිත්තෝ මතිවිප්පහීනෝ” - නුවණ නැති මිතුරාට වඩා නුවණැති හතුරා හොඳ යැයි වදාළ හෙයින් නුවණ ඇති මිතුරකු ම ආශ්‍රයට ගත යුතු ය. නුවණැත්තා නිසරු බස් නො දොඩයි. දෙලොවට ම වැඩ ඇති සත්‍ය වූ ද මිහිරි වූද අර්‍ථවත් වූ ද වචන ම කතා කරයි‍. එහෙයින් සාකච්ඡා කිරීමෙහි දී ඔහුට නුවණ ඇති නැති බව දත හැකිය.
“නිහීයති පුරිසෝ නිහීනසෙවී
න ච හායෙථ කදාචි තුල්‍යසෙවී
සෙට්ඨමුපනමං උදේති ඛිප්පං
තස්මා අත්තනෝ උත්තරිං භජෙථ”
-අංගුත්තර තික නිපාතය
“ත ම හට පහත් අය සෙවුනේ පිරිහෙන්නේ
  ම අය සෙවුනේ එම තතුයෙන් නො නම හෙන්නේ
සැ ම තින් වැඩේ උතුමකු සෙවුනට යන්නේ
  ම හට වැඩියකු ම බජනේ එ බැවින්නේ”
මෙසේ හොඳින් පරීක්‍ෂා කර බලා තමාට වඩා ගුණ නුවණින් උස්වූවකු නැත්නම් සමානයකු වත් ආශ්‍රයට ගන්නේ මැනවි. එසේත් නො ලැබෙතොත් එකචර්‍යාව තනියම හැසිරීම - හුදෙකලා වාසය උතුමයි බුදුරජාණන් වහන්සේ ද වදාළහ.
“නෝ වේ ලභෙථ නිපකං සහායං
සද්ධිං චරංසාධු විහාරි ධීරං
රාජා ව රට්ඨං විජිතං පහාය
එකෝ චරේ මාතඞ්ග රඤ්ඤේව නාගෝ”
-කෝසම්බි ජාතකය
නුවණැති මනා පැවතුම් ඇති - ධෛර්‍යයෙන් යුක්ත - එකට හැසිරෙන මිතුරකු නොලැබේ නම් තම රාජ්‍යය අත් හැරැ හැසිරෙන රජකු මෙන් ද, ඇත්මුළ අත් හැරැ තනියෙම හැසිරෙන ඇතකු මෙන් ද තනියම හැසිරෙන්නේ ය.
“චරං චෙ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිසමත්තනො
එකචරියං දළ්හං කයිරා - නත්‍ථි බාලේ සහායතා”
-ධම්මපද බාලවග්ග
මිතුරකු වශයෙන් තමාට වඩා උසස් වූවකු හෝ තමා හා සම වූවකු හෝ නොලැබේ නම් එකචර්‍යාව ස්ථිරව ම කරන්නේය, හුදෙකලාව වාසය කරන්නේය. බාලයන් සමග එක්වීමෙහි ඵලක් නැත.
“භජන්ති සේවන්ති ච කාරණත්‍ථා
නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා
අත්තට්ඨ පඤ්ඤා අසුචිමනුස්සා
එකෝ චරෙ ඛග්ගවිසාණ කප්පෝ”
-ඛග්ග විසාණ සූත්‍රය
බොහෝ දෙනා යම් කිසිවක් බලාපොරොත්තතුවෙන් ම සේවනය බජනය කෙරෙති. නිකරුණේ මිත්‍ර ධර්‍මය සම්පූර්‍ණ කිරීමක් වශයෙන් සේවනය කරන මිතුරෝ මෙකලැ දුලබ වෙති. වැඩිදෙනා තමාගේ වැඩේ ම බලනා මහ කැත මිනිස්සු ය. ඒ නිසා කඟවේණාගේ තනි අඟ වගේ තනියෙම වාසය කරන්නේය. මේ කරුණු වලින් නරක මිතුරන් ආශ්‍රය කිරීමට වඩා එකචර්‍යාව හෙවත් තනියම වාසය උතුම් බව පැහැදිලි වෙයි. මිත්‍ර ප්‍රභේද හා දුමිත්‍ර සුමිත්‍ර ලක්‍ෂණ ද බොහෝ ය. ඒ සියල්ල මෙහි දැක්විය නොහැකි හෙයින් අත්‍යාවශ්‍යක කරුනු ස්වල්පයක් මතු දක්වනු ලැබේ.

ආත්ම මිත්‍රයා

තමහට සිටින හොඳම මිත්‍රයා තෙමේ ය. අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝ සියා - තමහට පිහිට තෙමේ ම ය, අන් කවරෙක් පිහිට වේද? අත්තනාථා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා - තමහට තෙමේ ම පිහිට කොට වසවු, අනුන්ගේ පිහිට නොපතවු යන ආදී දෙසුම් වලින් හැම මිතුරාට ම වඩා ආත්ම මිත්‍රයා හොඳ බව ඔප්පු වෙයි. තම හිත හොඳ හැටි පිහිටුවා ගත හොත් එයින් තමනට ලැබෙන පිහිට අන් කවරකුට වත් ලබාදිය නො හැකිය.
න තං මාතා පිතා කයිරා - අඤ්ඤෙ වා පි ච ඤාතකා
සම්මා පණිහිතං චිත්තං - සෙය්‍යසෝ නං තතෝ ක‍‍රේ
-ධම්මපද චිත්තවග්ග
මනා කොට පිහිටුවන ලද සිත ඒ තැනැත්තා අතිශයෙන් උත්තම කරන්නේ ද එය දෙමව්පියන්ට හෝ අන් නෑ කෙනෙකුනට හෝ කළ නො හැකිය.
එසේ ම තමහට තමා ම මිතුරා ද විය හැකි ය. චරන්ති බාලා දුම්මේධා අමිත්තෙනෙ ව අත්තනා- බොහෝ මූඪයෝ තුමූ ම තමහට හතුරුව වාසය කෙරෙති යි වදාළේ එහෙයිනි.
“දිසෝ දිසං යං තං කයිරා - වේරී වා පන වේරිනං
මිච්ඡා පණිහිතං විත්තං - පාපියෝ නං තතෝ කරෙ”
-ධම්මපද චිත්තවග්ග
වරදවා පිහිටු  වන ලද සිතින් ඒ තැනැත්තා අතිශයින් ලාමක පාපක කරන්නේ ද එය වෙන හොරකුට හෝ හතුරකුට හෝ නොකළ හැකිය.
තමාට සිටින හොඳම මිතුරා මනා කොට පිහිටු වන ලද තමාගේ ම හිත බවත් තමාට සිටින ලොකුම හතුරා වරදවා පිහිවු වන ලද තමාගේම හිත බවත් මෙයින් වටහා ගත හැකිය.
ලොව සිටිනතාක් අනෙක් මිතුරන් වයසින් වයසට කලින් කලට ප්‍රස්ථාවයෙන් වෙනස් වෙතත් ආත්ම මිත්‍රයා නම් කිසි කලෙකත් වෙනස් නොවේ. හැම වයසට හා කාලයට සිටිය යුතු එක ම මිතුරාත් ආත්ම මිත්‍රයා ම ය. 

ප්‍රාණසම මිත්‍රයා

භරියා ව පරමො සඛා භාර්‍ය්‍යාව හැමට වඩා උසස් මිතුරා යහළුවා යැයි වදාළ හෙයින් ස්වාමිපුරුෂයාගේ ප්‍රාණසම මිත්‍රයා නම් භාර්‍ය්‍යාව ය. සඛී භරියා - යෙහෙළි බිරිය හොඳ භාර්‍ය්‍යාව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළ හෙයින් හොඳ අඹු සැමියන් යහළුවකු හා යෙහෙළියක මෙන් වාසය කට යුතු ය. කෙනෙක් ජීවත්ව සිටින තුරු ප්‍රාණය වෙන් නොවන්නාක් මෙන් බෞද්ධ ශිෂ්ටාචාරය අනුව ජීවත්ව සිටින තුරු අඹුසැමියන් ගේ වෙන් වීමක් නැත. එ‍හෙයින් අඹු සැමියෝ ඔවුනොවුනට ප්‍රාණසම මිත්‍රයෝ වෙති.

ගෘහ මිත්‍රයෝ

මාතා මිත්තං සකේ ඝරෙ ගෙදර මිතුරා නම් අම්මා යැයි වදාළ බුද්‍ධ වචනය අනුව ගෙදර සිටින හොඳම මිතුරෝ දෙමව්පියෝ වෙති. කුඩා කල හැදෙනු වැඩෙනුයේ දෙමව්පියන්ගේ ආශ්‍රයෙනි. දරුවන් හොඳ වීම හෝ නරක් වීම හෝ මව්පියන්ගෙන් ලැබෙන ආදර්‍ශ හා උපදේශ අනුව සිදුවන්නකි. එහෙයින් මිත්‍ර ශබ්දාර්‍ථය අනුව තම දරුවන් හිත වැඩ සැලැසීම වශයෙන් ස්නේහයත් කෙරෙමින් ඇවැඩෙන් නපුරෙන් මුදවා ලීම් වශයෙන් ආරක්‍ෂාත් කෙරෙමින් තනා නම් ඒ දෙමව්පියෝ හොඳ ම මිතුරෝ වෙති.
එසේ නොව ගුණ ධර්‍ම ගැන හැඟීමක් වත් නැතිව හුදෙක් කඳ බඩ මහත් කොට ශිල්ප ශාස්ත්‍රඤාණය පමණක් ලබා දෙමින් දරුවන් තනා නම් මාතා ශත්‍රැඃ පිතා වෛරී යි කියූ පරිදි එබදු දෙමව්පියෝ ගෙදර ම සිටින සතුරෝ වෙති. දරුවන් නිසි ලෙස නොහැදීමෙන් ඒ දෙමව්පියන් දරුවාට පමණක් නොව මුළු ජන සමාජයට ම අපරාධයක් කරදරයක් කරන හෙයිනි.

මිත්‍ර රූපයෙන් සිටින අමිත්‍රයෝ

“අඤ්ඤදත්ථුහරෝ මිත්තෝ - යෝ ච මිත්තෝ වචීපරෝ
අනුප්පියං ච යෝ ආහ - අපායේසු චයෝ සඛා”
මිත්‍රයාගෙන් යමක් ගැනීමට ම බාලාපොරොත්තු වන අඤ්ඤදත්ථුහර මිත්‍රයා ය. වචනයෙන් පමණක් සංග්‍රහ කරන වචීපරම මිත්‍රයා ය. මිත්‍රයාට පසුව වන හොඳක් හෝ නරකක් හෝ නොසලකා ඒ ඒ වෙලාවට පමණක් සතුටු කිරීමට කතා කරන අනුප්පියභාණි මිත්‍රයා ය. හැම පිරිහීමකට ම හවුල් වන අපායසහාය මිත්‍රයා ය යන සතර දෙනා මිත්‍ර ප්‍රතිරූපකයෝ ය, මිත්‍රරූපයෙන් පෙනී සිටින අමිත්‍රයෝ ය, හතුරෝ ය.
මෙබඳු මිත්‍රයෝ කවර කාලවලත් දුර්ලභ නොවෙති. මෙකල ද සිටිති. මෙබඳු අය හඳුනා ගත් පසු සොර සතුරන් සිටින මගක් අත්හරින්නාක් මෙන් ආශ්‍රයෙන් දුරු කළ යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

කුමිත්‍රයා

කුමිත්‍රයා නම් පහත් අයහපත් ගති ඇති මිත්‍රයා ය. ඔහුගේ කථා ක්‍රියා සිතිවිලි ගොරෝසු ය. අනුන්ගේ කේලාම් ආදිය අසයි, විශවාස කරයි. සුළු කරුණුවල දී පවා මිත්‍ර ධර්‍මය බිඳියි, අමනාප වෙයි, වෛර වෙයි.
කුමිත්‍රයෝ මැටි කල වැන්නාහ. මැටි කල ඉතා ලෙහෙසියෙන් බින්ද හැකිය. නිය පිටින් තට්ටු කිරීම් වැනි සුළු පහරකිනු දු බින්ද හැකිය. නැවත පෑස්සීම ද ඉතා අපහසු ය. අමාරුවෙන් පෑස්සුව ද වර පෙනෙයි, කැලල පෙනෙයි.
කුමිත්‍රයා ද ඉතා සුළු කරුණෙහි දී භේද වෙයි. නැවත සමගි කිරීම ඉතා අපහසු ය. ඉදින් අමාරුවෙන් සමගි කළත් හිතේ කැලල කහට තබා ගනියි. 
“ප්‍රාක් පාදයෝඃ පතති ඛාදති පෘෂ්ඨ මාංසං
කර්ණේ නලං කිම පි රෞති ශනෛර් විචිත්‍රම්
ජිදාං නිරූප්‍ය සහසා ප්‍රවිශත්‍ය ශඞ්කඃ
සර්‍වං ඛලස්‍ය චරිතං මශකඃ කරොති”
යනුයෙන් හිතෝපදේශයෙහි සඳහන් වන පරිදි කුමිත්‍රයා මැලේරියා මදුරුවකු හා සමානය. මදුරුවා පළමුව පාමුල අවට හැසිරෙමින් සිටියි. අනතුරුව කනට ද කොඳුරමින් පිටිපසින් ලේ ද උරා බොයි. එපමණකිනුදු නො නැවතී විෂ බීජ දමා යයි. දුර්ජනයා - කුමිත්‍රයා ද පළමුව අවුත් වටින් පිටින් හැසිරෙමින් සිට ඉතා මිහිරි ලෙස කේලාම් ආදිය කනට කොඳුර කොඳුරා කියයි. ඒ අතර ම මිත්‍රයා ගෙන් ගත හැකි කොටස ගනියි. එපමණකිනුදු නො නැවතී මිත්‍රයා ගේ ජීවිතය පවා නැති විය හැකි මහා භේද කර විෂ බීජ ද දමා යයි.

කුමිත්‍ර ලක්‍ෂණ

“න තං උම්භයතේ දිස්වා - න ච නිං පටිනන්දති
චක්ඛුනිස්ස න දදාති - පටිලොමං ච වත්තති.
අමිත්තෙ තස්ස භජති - මිත්තෙ තස්ස න සේවති
වණ්ණකාමෙ නිවාරෙති - අක්කොසන්තේ පසංසති.
ගුය්හං ච තස්ස නක්ඛාති - තස්ස ගුය්හං න ගූහති
කම්මං තස්ස න වණ්නේති - පඤ්ඤස්ස නප්පසංසති.
අභවෙ නන්‍දති තස්ස - භවේ තස්ස නනන්‍දතී
අච්ඡරියං භෝජනං ලද්ධා - තස්ස නුප්පජ්ජතෙ සති
ගතෝ නං නානු කම්පති - අහෝ සොපි ලභෙය්‍යතෝ
ඉච්චතෙ සොළසාකාරා - අමිත්තස්මිං පතිට්ඨිතා
යෙහි අමිත්තං ජානෙය්‍ය - දිස්වා සුත්වා ච පණ්ඩි‍තෝ”
-මිත්තාමිත්ත ජාතකය
මිත්‍රයා දැක සතුටු නොවීම, කතා නොකීරීම, මිත්‍රයා තමන් දෙස බැලු කලැ නොබැලීම, විරුද්ධව කතා කිරීම, මිතුරාගේ හතුරන් ආශ්‍රය කිරීම, මිතුරන් ආශ්‍රය නොකිරීම, මිතුරාගේ ගුණ කියනු කැමතියවුන් වළකා දැමීම, අගුණ කියනවුනට ප්‍රශංසා කිරීම, තමාගේ රහස් නොකීම, මිතුරාගේ රහස් එලිදරව් කිරීම, මිතුරාගේ කටයුතු වර්‍ණනා නොකිරීම, නුවණ ගැන ප්‍රශංසා නොකිරීම, පිරිහීම ගැන කැමති වීම, දියුණුව ගැන නොකැමැති වීම, රසවත් කෑමක් ලැබුණ විට මිත්‍රයා අමතක කිරීම, රසවත් දෙයක් මිතුරාටත් දෙන අනුකම්පාවක් නැතිවීම යන මේ කරුණු සොළොස (16) කුමිත්‍රයාගේ ලක්‍ෂණයෝ ය. මේ කී ලක්‍ෂණයන් දකින අසන නුවණැත්තා විසින් කුමිත්‍රයා බජනය නොකළ යුතුයි. දුරු කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සන්මිත්‍රයා

සන්මිත්‍රයා නම් යහපත් ගති ඇත්තා ය. නිවැරදි කථා ක්‍රියා හා සිතිවිලි ඇත්තා ය. කවර කරුණකදී වත් ‍භේද නොවී, මිත්‍රයා අයහපතින් මුදවමින් යහපතෙහි යොදවමින් ආශ්‍රය කරන තැනැත්තා ය.
සන් මිත්‍රයෝ රං කල වැන්නාහ. රං කල ලෙහෙසියෙන් බින්ද නො හැකිය. ඉතා අමාරුවෙන් බින්දත් ඉතා ලෙහෙසියෙන් පෑස්සිය හැකිය. එසේ පෑස්සු පසු කිසිදු කැලලක් ඇති නොවෙයි. මුල් කලය මෙන් ම වෙයි. ඇතැම් විට මුල් කලයට වඩා ඔපමට්ටම් වෙයි.
සන් මිත්‍රයා ද ලෙහෙසියෙන් භේද කළ නො හැකිය. ඉතා අමාරුවෙන් භේද කළත් නැවත සමගි කිරීම ඉතා පහසු ය. සමගි වූ පසු හිතේ කහටක් තබා නො ගනියි. ඇතැම් විට මුල් වරටත් වඩා මිතුරුකම තහවුරු වෙයි. එබඳු සන් මිත්‍රයන් හතර දෙනකු ගැන බුදුරජාණන් වහන්සේ වදාළ වදාළහ.
“උපකාරෝ ච යෝ මිත්තො - යෝ ච මිත්තො සුඛෙ දුඛෙ
අත්‍ථක්ඛායි ච යෝ මිත්තො - යෝ ච මිත්තානුකම්පකො
(සිඟාලෝවාද සුත්‍රය)
සුදුසු තැන දී නොමසුරුව මිතුරාට උපකාර කරන උපකාරක මිත්‍රයා ද, සැපතෙහි මෙන් ම විප‍තෙහි ද අත් නොහරනා සුඛදුක්ඛ මිත්‍රයා ද, මෙලොව පරලොව දියුණුවට මග කියා දෙන අත්‍ථක්ඛායී මිත්‍රයා ද මිත්‍රයාගේ ප්‍රමාද දෝෂ ඇති වුවත් ඒවා ගැන නොසලකා නිතරම අනුකම්පාවෙන් ක්‍රියා කරන අනුකම්පක මිත්‍රයා දැයි යන මොවුහු සන් මිත්‍රයෝය.

සන් මිත්‍ර ලක්‍ෂණ

දුද්දදං දදතී විත්තං - දුක්කරං වා පි කුබ්බති
අථො පිස්ස දුරුත්තානි - ඛමති දුක්ඛමානිපි.
ගුය්හං චස්ස අක්ඛාති - ගුය්හස්ස පරිගුහති
ආපදාසු න ජහති - ඛීණෙන නාති මඤ්ඤති.
යස්මිං එතාති ඨානානි - සංවිජ්ජන්තීධ පුග්ගලේ
සො මිත්තෝ මිත්තකාමෙහි - භජිතබ්බො තථාවිධෝ.
-අංගුත්තර සත්තක නිපාතය
යමෙක් දීමට අමාරු වටිනා දේ තම මිතුරාට දේ ද, දුෂ්කර දෑ කෙරේ ද, වැරදීමෙන් හෝ කිපීමෙන් හෝ මිතුරා විසින් කියැවුණු රළු පරොස් බස් පවා ඉවසා ද, තමාගේ රහස් මිතුරාට කියා ද, මිතුරාගේ රහස් තමන්ගේ රහස් මෙන් ප්‍රකට නොකෙරේ ද, විපත්තීන්හී දී අත් නොහරී ද, ධනය නැතිවීම් ආදී අවස්ථාවන්හිදී මිතුරා පහත් කොට නොසලකා ද යන මේ සුමිතුරු ලකුණු යමකු කෙරෙහි වෙත් ද එබඳු සන් මිත්‍රයා බජනය කට යුතුය.
මහා කාරුණික බුදු රජාණන් වහන්සේ ගේ දේශනාවට ගැලපෙන සේ බැහැරි පඬුවන් ද සන්මිත්‍ර ලක්‍ෂණ ප්‍රකාශ කළේ මෙසේ ය.
“පාපන් නිවාරයති යොජයතේ හිතාය
ගුහ්‍යං ච ගූහති ගුණාන් ප්‍රකටී කරෝති
ආපද්ගතං ච න ජහාති දදාති කාලෝ
සන් මිත්‍ර ලක්‍ෂණමිදං ප්‍රවදන්ති ශන්තඃ”
තම මිත්‍රයා පාපයෙන් - අපරාධයෙන් - නපුරෙන් වළකා ගැනීමත්, යහපතෙහි - ගුණ දහමෙහි යෙදවීමත් මිත්‍රයාගේ ගුණයක් ප්‍රකාශ කටයුතු අවස්ථාවක් පැමිණිය හොත් මඳකුදු නොසඟවා හෙළි කොට කීමත්, අන්‍යයන් අතර හෙළි නො කටයුතු යයි කතිකා කර ගත් යම් රහසක් වෙතොත් කවර කරුණක් නිසාවත් එය හෙළි නොකිරීමත්, සම්පත්තියෙහි මෙන්ම විපත්තියෙහි ද තම මිතුරා අත් නොහැරීමත්, මිතුරාට කවර ආකාරයෙක හෝ දියයුතු උවමනාවක් ඇති වූ විට මඳකුදු මසුරු නොවී තමාගේ කටයුත්තක් මෙන් සිතා ඒ උවමනා දේ දීමත් යන මේවා යහපත් කල්‍යාණ මිත්‍රයාගේ ලක්‍ෂණයෝ වෙති.
“නපුරෙනි වැළැකීමත් - යාපතේහී යෙදීමත්
ගුණ හෙළිකොට කීමත් - නෙක් රහස් දොස් නො පෑමත්
විපතෙහි නො හැරීමත් - කල්හී දීමත් රිසී දෑ
සුමිතුරු ලකුණු වෙත් - යී කියත් සත් ගුණැත්තෝ”

නොහළ යුතු මිතුරා

පියො ච ගරු භාවනීයෝ - වත්තා ච වචනක්ඛමො
ගම්භීරං ච කථං කත්තා - නො චට්ඨානේ නියොජයෙ
යස්මිං එතානි ඨානානි - සංවිජ්ජන්තීධ පුග්ගලෙ
සො මිත්තො මිත්තකාමෙන - අත්‍ථකාමානුකම්පකො
අපි නාසියමානේන - භජිතබ්බො තථාවිධො
-අඞ් ගුත්තර නිකාය
යම් මිත්‍රයකු දකින්න - කතා කරන්න හා ආශ්‍රයට ප්‍රිය වේ ද, ගරු කිරීමට සුදුසු වේ ද, ප්‍රශංසා කටයුතු වේ ද, කටයුතු නොකටයුතු හොඳ නොහොඳ කියා දීමට සමර්‍ථ වේ ද?
තමාගේ අඩු පාඩු වැරදි පෙන්වා දුන් කල සතුටින් පිළිගනීද, හමු වූ විට නිස්සාර කතා නොකොට ගැඹුරු අර්‍ථවත් කතා කෙරේ ද, ආශ්‍රය කරන්නවුන් නුසුදුසු ක්‍රියාවන්හී හෝ නුසුදුසු ස්ථානයන්හී නො යොදා ද යන මේ ගුණයන් ඇති මිතුරා දියුණුව කැමැත්තන් විසින් නෙරෙපනු ලබන කල්හි ද අත් නොහැර ම බජනය කටයුතු ය. මෙබඳු මිතුරාගේ ආශ්‍රය කෙසේ වත් නො හළ යුතු ය.
න භජේ පාපකෙ මිත්තෙ - න භජේ පුරිසාධමෙ
භජෙථ මිත්තෙ කල්‍යාණෙ - භජෙථ පුරිසුත්තමෙ
-ධම්මපද පණ්ඩිත වග්ග
දුශ්චරිතාදියෙන් ඇලුණු පාප මිත්‍රයන් සේවනය නොකරන්නේ මැනැවි. පහත් ගති ඇති අධම පුරුෂයන් සේවනය නොකරන්නේ මැනවි. කල්‍යාණ මිත්‍රයන් සේවනය කරන්නේ නම් මැනැවි. උසස් ගති පැවතුම් ඇති උත්තම පුරුෂයන් සේවනය කරන්නේ මැනැවි. මෙය බුදුරජාණන් වහන්සේ ගේ කාරුණික අවවාදය යි.


1967 වසරේ දී පළ කැරුණෙකි
ප්‍රඥාප්‍රභා 8

මාසය තුල සිත්ගත් ලිපි