26 October 2013

සැපත නසන පිළිවෙත

ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝ නරො
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං
සේහි දාරේහි සන්තුට්ඨෝ
වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු
තං පරාභවතෝ මුඛං
අතීත යොබ්බනෝ පෝසෝ
ආනේති තිම්බරුක්‍ඛනිං
තස්සා ඉස්සා න සුපති
තං පරාභවතෝ මුඛං ති



ශ‍්‍රද්ධා ගුණෝපේත කාරුණික පින්වත්නි.
   ධර්ම ශ‍්‍රවණය කිරීම හා දහම් පත පොත පරිශීලනය කිරීම මිනිසාගේ දෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන්නකි. තථාගත දහමට සම කළ හැක්කේ ධර්මයම පමණි. “සුනන්තු සග්ග මොක්ඛදං” යනුවෙන් දේවතාරාධනයෙහි සඳහන් වන පරිදි ලෞකික ඉහළම සැපත වන දිව්‍යලෝක සැපයත්, ලෝකෝත්තර අවේදයිත අග‍්‍ර වූ නිර්වාණ සම්පත්තියත් ලැබිය හැකි පුණ්‍ය කර්මය ධර්ම ශ‍්‍රවණය කිරීමයි. එනිසා ධර්මය අසමින් දරමින් ඒ අනුව කි‍්‍රයා කළ යුතු ය. “සුනාථ ධාරේථ චරාථ ධම්මේ”
ධර්මය කියන්නේ පුද්ගලයාගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට ඉවහල්වන බුද්ධ වචනයයි. සම්බුද්ධ දේශනය මුල මැද අග පිරිසුදුවූත් නිරවුල් වූත් සැමතින්ම පරිපූර්ණවූ අර්ථව්‍යංජනයන්ගෙන් පරිපූර්ණ වූවන් ලෙසයි ධර්මයේ විග‍්‍රහ කොට දක්වා තිබෙන්නේ. ආදි කල්‍යාණය මජ්ෙඣ කල්‍යාණං පරියෝසාන කල්‍යාණ කේවල පරිපුණ්නං සාත්ථං සබ්බ්‍යංජනං යන්නෙන් පැහැදිලි වන්නේ එයයි. මෙකී ධර්මය අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ ඉතාම සංසුන්ව කාය වාග් මනඞ යන ති‍්‍රවිධද්වාරයෙන් සංවරව සිහිනුවණින් යුක්තවයි. කියවිය යුත්තේ ද තිදොර සංවරයෙන් විවේක බුද්ධියෙන් යුතුවයි. “ධම්මකාමෝ භවංහෝති ධම්ම දෙස්සී පරාභවෝ” යනුවෙන් ධර්මයට කැමැති වන්නා දියුණු වන බවත් ද්වේශ කරන්නා පිරිහෙන බවත් දේශනා කොට වදාළහ.
ඉහත සඳහන් ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේවතාවකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද්දක්. පරාභවයට හෙවත් පිරිහීමට හේතුවන කරුණු කවරේද යන්න මෙයින් අවධාරණය කළා. වත්මන් සමාජයට ඉතා වැදගත් දේශණයක් හැටියට මෙය අගය කළ හැකියි. දියුණුවට වඩා පිරිහීමට පත්වන කරුණු පිළිබඳ වේගයෙන් හඹායන නූතන ලෝකයේ ජනතාවට එකී කනගාටුදායක අනර්ථකාරී ජීවන රටාවෙන් මිදී යහපත් ජීවන දර්ශනයක් ගොඩ නගා ගැනීම උදෙසා මෙම කරුණු වෙසෙසින් උපකාරී වන බව සඳහන් කළ යුතු ය.
පරාභව සූත‍්‍රයේ අටවැනි නවවැනි දසවැනි ගාථාවන් අද දහම් දේශනයේ මාතෘකාව වෙනවා. “ඉත්ථි ධුත්තෝ සුරාධුත්තො” යනාදී ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනුයේ යමෙක් ස්තී‍්‍රන් කෙරේ ලොල්වේද, සුරාවට ලොල් වේද? ලැබෙන ලැබෙන ධනය නිකරුණේ, විනාශ කරයිද? එය පිරිහීමට හේතුවන කරුණක් බවයි.
බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පන්සිල්හි මෙම අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප වින්දනය හෙවත් කාමභෝගී ජීවිතයක් ගත කිරීමද මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජු වීමද උපයන මුදල් නොමනා දේ සඳහා යෙදවීමද පරිහානියේ ලක්‍ෂණයන් ය. සාමකාමී සෙනෙහෙබර ලෙන්ගතු ජීවන පැවැත්මක් ගොඩ නඟා ගැනීම කෙතරම් සුන්දරද? කෙතරම් ආදර්ශ සම්පන්න වන්නේද? එබඳු පවුල් සංස්ථාවක් තුළ සාමය සමඟිය දියුණුව අභිවෘද්ධිය නිරතුරුවම ගොඩනැගෙනු ඇත. නැතහොත් සැකයේ බිජුවට වපුල කෙතක් වෛරයේ ගිනිදැල්වලින් විනාශවන්නා සේ පවුල් සංස්ථාව තුළ අඩ දබර කල කෝලාහල නිර්මාණය වී ජීවිත වලින් වන්දි ගෙවීමට පවා සිදුවන්නේ ය. අහිංසක දූ දරුවන් කාත්කවුරුත් නොමැතිව හුදෙකලාවනු ඇත.
ප‍්‍රකෘති බව විකෘති කරන විවිධ මත් ද්‍රව්‍ය භාවිතයට ගිජුවීම කායික හා මානසික සෞඛ්‍යයට බරපතල හානියක් වන්නාසේම ආර්ථික පරිහානියට ද හේතු වන්නේ ය. ගෙදරදොර අසමඟිය ගොඩනැගෙන්නාසේම ආදරය දයාව, කරුණාව වැනි ගුණදම් ජීවිත යහනාවෙන් පලායනු ඇත. අන්‍යොන්‍ය යුතුකම් ද විනාශ වන්නේ ය. සමාජ අවමානයටද හේතු වේ. විවිධ කායික හා මානසික විසඥතාවයන්ට ලක් වෙයි. තවද සම්පූර්ණයෙන් පිරිහුණු සෞඛ්‍යයක් ඇති පුද්ගලයෙකු බවට පත්වේ.
ලද දෙයින් සතුටු නොවී අධික තෘෂ්ණාවෙන් හා ඇස, කණ, නාසය, දිව, ශරීරය හා පසිඳුරන් පිනවීම කෙරේ දැඩි කැමැත්ත ඇති තැනැත්තාට ද දියුණු විය නොහැකි ය. මේ සියල්ල කෙරෙහි උපේක්‍ෂාවෙන් මැදහත් සිතින් කි‍්‍රයාත්මක කිරීමෙන් කායික මානසික සතුට සැනසීම සළසාගත හැකි ය. නැතහොත් උමතුවූවන් රෝගීන් පිරි අයහපත් සමාජයක් නිර්මාණය වන්නාක් මෙන්ම සාමය සමඟිය සහෝදරත්වය එකමුතු බව අහිමි ක්‍රෝධයෙන් වෛරයෙන් කෝපයෙන් දැවෙන විෂ සහිත හදවත් ඇති අතෘප්තිකර සමාජයක් ගොඩනැගෙනු ඇත. මෙකී තත්ත්වයන් බැහැර කිරීමෙන් ස්වාර්ථය හා පරාර්ථය සලසා ගන්නා මිනිසුන් පිරි යහපත් වූ සුන්දර හෙට දිනක් උදා කරගත හැකි වන්නේ ය. පරිහානියේ නව වැන්න, ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ සේහි දාරේහි සන්තුට්ඨෝ වෙසියාසු පදිස්සති, දිස්සති, පරදාරේසු, යන්නයි. නෛතික උරුමයන් ඇති තම බිරින්දෑගෙන් සතුටට පත් නොවූවෙක් පරඹුවන් වෙත යාද, ඔහු පිරිහීමට පත්වන බවයි. බහුතර බෞද්ධයන් ගහන අප වැනි රටක සමාජ සංස්ථාව ගොඩනැඟී ඇත්තේ බෞද්ධ සංස්කෘතියට අනුවයි. මෙසේ තිබියදී යමෙකු පස්කම් ගිජුව වෛශ්‍යාවන් හා පරස්තී‍්‍රන් කරා යාද එය නීතියට සදාචාරයට හා අපේ සංස්කෘතියට පටහැනි ය.
              මෙබඳු සමාජ විරෝධී කි‍්‍රයාකලාපයන්ට යොමු වීමෙන් ආර්ථිකය සමාජමය තත්ත්වය, ගෞරවය, කීර්තිය පිරිහෙන්නාසේම, දඬුවම් හා තාඩන පීඩන වලට ද ලක්වීමට සිදු වේ. තවද විවිධ සමාජ රෝගයන්ටද ගොදුරු වේ. අකාලයේ වටිනා ජීවිත මිලින වී යනු ඇත. අවසානයේ මෙලොව පරලොව සතුටක් සැපතක් නොලැබ ඉතා දුක්ඛදායකව ජීවන යාත‍්‍රාව පදවන්නට සිදු වේ. තාරුණ්‍ය ඉක්ම වූ යම් පුරුෂයෙක් භද්‍ර යෞවන වියේ පසුවන තරුණියක හා විවාහ වීම පිරිහීමට හේතුවක් වන බව මෙම සූත‍්‍රයේ දසවැනි කරුණ ලෙස සඳහන් වේ. තම දරුවන් සුදුසු කළ ආවාහ විවාහ කරවීම අවශ්‍ය බව සිඟාලෝවාද සූත‍්‍රයේ දී අනුදත් බුදුරදුන් එය මව්පිය දෙපළගේ යුතුකම හා වගකීම ලෙසද පෙන්වා වදාළා.වියපත් වන විට තරුණ ශක්තිය පිරිහීම ස්වාභාවිකය. එබඳු කාලයක විවාහවීම නුසුදුසු ය. මන්ද? සමහර විට බිරිඳ කෙරෙහි සැකය අවිශ්වාසය මතු වී ඊර්ෂ්‍යාව හා වෛරය ද ඇතිව ඈට විවිධ තහංචි පනවයි. රැකවල් යොදයි. මෙයින් අසහනයට පීඩනය කලකිරීමට පත් බිරිඳ තමන්ගේ නිදහස සීමා වූයේ යැයි පෙරළා ඔහුට වෛර කරයි. ඇතැම් විට මෙනිසා ජීවිත කාලයම උනුන් වෙත වෛර කරමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ කරමින් අකුසල් ද රැස් කරගනිමින් ජීවත් වන්නට සිදු වේ. ලෞකික වූ කායික මානසික සතුට ද ලෝකෝත්තර ශාන්තිය සුගතියද දුරස් වන්නේ ය.
අවිඳු අදුරෙන් වෙලී ගැලී සිටින නිරතුරුව ජාති ජරාදී එකොළොස් ගින්නෙන් ගිනි ගෙන දැවෙන ඔබ අප නගන්නේ කවර සිනාවක්ද? ලබනුයේ කිනම් සැපතක්ද? ධර්මය පිළිසරණ කොට ධර්මය අනුව ජීවිත දෙස බැලිය හැකි උදාර සත්පුරුෂයන් වීමට උත්සාහ ගනිමු. ඒ උතුම් සත්පුරුෂ ගුණ දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුළ සත්‍යාවබෝධය කිරීමට සැමට භාග්‍යය උදාවේවා!

තැඹිලිපොල රජ මහා විහාරය, කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය, ඊතණවත්ත මැද්දේගොඩ පුරාණ ටැම්පිට විහාරය, රුක්අත්තනේ පුරාණ විහාරය යන සිවු මහා විහාරාධිපති නාමල්වත්තේ ආනන්ද හිමියන් විසින් ලියන ලද ලිපිය මහසෝන් පත් ඉවුරට බුදුසරණ දහම් ලිපියෙන් උපුටා ගැණුනි

Post a Comment

මාසය තුල සිත්ගත් ලිපි