(පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කරවූ ලිපියකි, උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.)
ඛුද්දක නිකාය
විමාන වස්තු සහ ප්‍රේත වස්තු පාළි
”පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ඛුද්දක නිකාය
විමාන වස්තු සහ ප්‍රේත වස්තු පාළි
ප‍්‍රස්ථාවනාව
නමෝ බුද්ධාය!
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා””පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”
(නිබ්බේධික සූත‍්‍රය- අං.නි. 6 නිපාතය)
කර්මය යනු සකල ලෝකවාසී බොහෝ දෙවි මිනිසුන් හට තවමත් විසඳාගත නොහැකි වූ අද්භූත ප‍්‍රහේලිකාවකි. එනමුදු අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙකී කර්මයේ ස්වභාවයත් එය ලෝක සත්වයා විෂයෙහි බලපවත්වන ආකාරයත් එයින් නිදහස් වන ආකාරයත් අතැඹුලක් සේ සාක්ෂාත් කොට වදාළ සේක. මානව වංශකථාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කොට වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ කර්මය කොතරම් මැනැවින් අවබෝධ කොට වදාළ සේක්දැයි කර්මය පිළිබඳව ඉහතින් කරන ලද නිර්වචනය තුළින් මැනැවින් දිස් වේ.
කර්මය හෙවත් චේතනාව හටගන්නේ ස්පර්ශය ප‍්‍රත්‍යයෙනි. ස්පර්ශය යනු අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් සමඟ විඤ්ඤාණයේ කි‍්‍රයාකාරිත්වය තුළින් එක්වීමයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ඇසත් රූපත් නිසා චක්ඛු විඤ්ඤාණය හටගනී. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයෙන් හටගන්නේ රූප සංචේතනාවයි. එනම් ඇසින් දුටු රූපය මුල් කොට චේතනාව කි‍්‍රයාත්මක වීමයි. එවිට සිතින් කයින් වචනයෙන් කර්ම කරයි. සෑම කර්මයක්ම සිදුවන්නේ ඔවැනි පසුබිමක් තුළය.
ලෝක සත්වයා ජීවත් වන්නේ කර්මයෙහි දාසයන් පරිද්දෙනි. කර්මයෙන් නිදහස් විය නොහැකි ලෙස ඔවුන් කර්මයටම සිරවී සිටින්නේ කරත්තයේ රෝදය කඩ ඇණයකින් සිර වී පවතින ලෙසිනි. එය කොතරම් බලසම්පන්නද යත් ලෝකයෙහි සැප දුක් තීරණය කිරීමේ ප‍්‍රධානතම බලවේගය වශයෙන් කර්මය ගැන කතා කිරීම වරදක් නැතැයි හඟිමි.
”පින්වත් මහණෙනි, මේ සත්වයෝ කර්මයම තමා අයත් දේ කොට සිටිති. කර්මය දායාද කොට සිටිති. කර්මය උත්පත්ති ස්ථානය කොට සිටිති. කර්මය ඥාතියා කොට සිටිති. කර්මය පිළිසරණ කොට සිටිති. කළ්‍යාණ වූ හෝ පාපී වූ හෝ යම් කර්මයක් කරයි නම් ඔහුගේ දායාදය බවට පත් වන්නේ එම කර්මයයි.”
(සංසප්පනී පරියාය සූත‍්‍රය – අං.නි. 10 නිපාතය)
මේ අයුරින් බලපත්වන කර්මය විසින් ලෝක සත්වයාව සැපවත් වූ ලෝකවලත් දුක්ඛිත වූ ලෝකවලත් උපදවමින් කර්මානුරූප විඳීම් ලබාදෙන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාරණ ලද්දේ මේ අයුරින්ය.
”පින්වත් මහාරාජ, එය මෙවැනි දෙයකි. සිවු මංසලක මහල් සහිත ප‍්‍රසාදයක් තිබේ යැයි සිතමු. එම ප‍්‍රාසාදයෙහි උඩුමහලෙහි සිටින දෑස් පෙනෙන පුද්ගලයෙක් පහළ බලයි. එවිට නිවසට ඇතුළුවන්නා වූ මිනිසුන්ද, නිවසෙන් නික්මෙන්නා වූ මිනිසුන්ද දකී. එමෙන්ම මංමාවත්හි ඔබ මොබ ඇවිදයන්නා වූ මිනිසුන්ද දකී. ඒ සිව්මංසල මැද වාඩි වී සිටින්නා වූ මිනිසුන්ද දකී. එවිට ඔහුට මේ අදහස ඇති වේ. ‘මේ මිනිස්සු නිවසට පිවිසෙති. නිවසෙන් නික්මෙති. මේ මිනිස්සු මං මාවත්හි ඇවිද යති. මේ මිනිස්සු සිව්මංසල මැද වාඩි වී සිටිති’ යනුවෙනි.
පින්වත් මහාරාජ, මේ සසුනෙහි භික්ෂුව ඔය ආකාරයෙන්ම සිත සමාහිත වූ විට, පිරිසිදු වූ විට, දීප්තිමත් වූ විට, බාධක කරුණු නැති වූ විට, උපක්ලේශ නැති වූ විට, මෘදු වූ විට, කි‍්‍රයාවට යෝග්‍ය වූ විට, නොවෙනස්ව පවතින විට සත්වයන්ගේ චුතියත් උපතත් පිළිබඳව අවබෝධ කරගැනීම පිණිස, සිත යොමු කරයි. සිත නැඹුරු කරයි.
එවිට ඒ භික්ෂුව පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන් දකී. චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකී. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරායන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී. ‘අහෝ මේ භවත් සත්තවයෝ වනාහි කාය දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. වචී දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. මනෝ දුෂ්චරිතයෙන් සමන්විත වූවාහුය. ආර්යයන් වහන්සේලාට උපවාද කළාහුය. මිසදිටු වූවාහුය. මිසදිටු මත සමාදන්ව සිටියාහුය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි ඉපිද සිටිති.
එනමුදු මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් සමන්විත වූවාහුය. වචී සුචරිතයෙන් සමන්විත වූවාහුය. මනෝ සුචරිතයෙන් සමන්විත වූවාහුය. ආර්යයන් වහන්සේලාට උපවාද නොකළාහුය. සම්දිටු වූවාහුය. සම්දිටු මත සමාදන්ව සිටියාහුය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව ඉපිද සිටිති’ යනුවෙන් පියවි මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විසුද්ධ වූ දිවැසින් සත්වයන් දකී. චුතවන්නා වූද උපදින්නා වූද සත්වයන් දකී. හීන වූද උසස් වූද වර්ණවත් වූද දුර්වර්ණ වූද සුගතියේ උපදින්නා වූද දුගතියෙහි උපදින්නා වූද ඒ ඒ කර්මානුරූපව උපත කරායන්නා වූ සත්වයන් පිළිබඳව දැනගනී.”
(සාමඤ්ඤඵල සූත‍්‍රය – දීඝ නිකාය)
මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ සුගති දුගති ලෝකවල උපත ලබා සැප දුක් විඳීමට මුළුමනින්ම කර්මය බලපාන ආකාරයයි. මෙය සිත දියුණු කළ උතුමන්ට පමණක් අදාළ විෂයක් බව පෙනේ. හතරවන ධ්‍යානයට සමාධිය දියුණු කොට සිත මෙහෙයවා චුතූපපාත ඥානය උපදවා ගත් බුද්ධ කාලීන භික්ෂූන් වහන්සේලා පවා තම තමන්ගේ ප‍්‍රත්‍යක්ෂ ඥානයක් බවට එය පත්කර ගෙන සිටියහ. බෙහෝ දෙනෙකු සිතා සිටින්නේ තම තමා හට සිත් වූ පරිද්දෙන් කර්මයෙන් මගහැර යා හැකි බවයි. එහෙත් අනාවරණ ප‍්‍රඥා ඇති සමන්ත භද්‍ර වූ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කරන මෙම විග‍්‍රහය දෙස බලන්න.
”පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නොකියමි. එම විපාක වනාහී මෙලොවදී පල දෙන්නට පුළුවනි. එසේත් නැතහොත් ඊළඟ ජීවිතයේදී පල දෙන්නට පුළුවනි. නැතහොත් භවයේ උපදිනා තාක් කිසියම් තැනකදී පල දෙන්නට පුළුවනි. එම නිසාම ‘පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නො කියමි.’
මෙකරුණෙහි ලා පින්වත් මහණෙනි, දොස් සහිත වූ වැරදි සහිත වූ අකුසල සංචේතනාවන්ගෙන් යුතු කායික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇති කර දෙයි. දොස් සහිත වූත් වැරදි සහිත වුත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු වාචසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද සතරකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇති කර දෙයි. දොස් සහිත වූත් වැරදි සහිත වූත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු මානසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇති කර දෙයි.
(පඨම සංචේතනික සූත‍්‍රය – අං.නි. 6)
ප‍්‍රාණඝාත කිරීමත්, සොරකම් කිරීමත්, වැරදි කාම සේවනයත් අයත් වන්නේ කායික අකුසල කි‍්‍රයාවන්ටය. බොරුකීමත්, කේලාම් කීමත්, ඵරුෂ වචන කීමත්, හිස් වචන කීමත් අයත් වන්නේ වාචසික අකුසල කි‍්‍රයාවන්ටය. අනුන් අයත් දෙය තමා සතු කරගන්නට ඇති ආශාවත්, ව්‍යාපාදයත්, මිත්‍යා දෘෂ්ටියත් අයත් වන්නේ මානසික අකුසල කි‍්‍රයාවන්ටය.
එමෙන්ම එම දේශනාවේදීම බුදුරජාණන් වහන්සේ කායික වාචසික මානසික කි‍්‍රයාවන්හි ඇති අකුසල් පක්ෂය පිළිබඳව මෙසේ පෙන්වා දෙන සේක.
”මෙකරුණෙහිලා පින්වත් මහණෙනි, සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන් ගෙන් යුතු කායික කි‍්‍රයාවන් හි ප‍්‍රභේද තුනකි. මේවායින් සැප උපදවයි. සැප විපාක ඇති කර දෙයි. සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන් ගෙන් යුතු වාචසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද සතරකි. මේවායින් සැප උපදවයි. සැප විපාක ඇති කර දෙයි. සම්පත් සහිත වූත් කුසල සංචේතනාවන් ගෙන් යුතු මානසික කි‍්‍රයාවන්හි ප‍්‍රභේද තුනකි. මේවායින් සැප උපදවයි. සැප විපාක ඇති කර දෙයි.
(පඨම සංචේතනික සූත‍්‍රය- අං. නි. 6)
එනම් සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, වැරදි කාම සේවනයෙහි නොයෙදීම කායික කුසල ක‍්‍රියා වේ. බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම වාචසික කුසල කි‍්‍රයා වේ. අනුන්ගේ සම්පත් තමා අයත් කරගැනීමට නොසිතීම, ව්‍යාපාද නැතිව සිටීම, සම්මා දිට්ඨියෙන් යුතුව සිටීම මානසික කුසල කි‍්‍රයා වේ.
එය ජීවිතය සමඟ පවතින්නේ පෙළොවෙහි සිටුවන ලද බීජයක් පරිද්දෙනි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ දැක වදාළේ මෙසේය.
”පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය තිබෙන පුරුෂ පුද්ගලයාගේ ඒ දැක්මට අනුරූප වූ යම් කිසි කායික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම් කිසි වාචසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම් කිසි මානසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි චේතනාක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි පැතුමක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි අදිටනක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි සංස්කාර ඇත්නම් ඒ සියල්ලම ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතකර වූ සැපවත් වූ දෙයක් බවට පත්වන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඒ දැක්ම වනාහී සුන්දරය. පින්වත් මහණෙනි, එය මෙවැනි වූ දෙයකි. උක් බීජයක් හෝ ඇල් වී බීජයක් හෝ මිදි බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු. එවිට යම් ම වූ පෘථුවි රසයත් ඇදගනිමින්, යම් ම වූ තෙත් රසයත් ඇදගනිමින් ඒ බීජය වැඩෙයිද, ඒ සියල්ල ම මධුර බව පිණිස මිහිරි බව පිණිස අතිශයින්ම රසවත් බව පිණිස පවතින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, එය සුන්දර වූ බීජයක් බැවිනි.”
(අං. නි. 3 නිපාතය)
මිසදිටු මත ගත් කෙනෙක් ඒ මතයෙහි පිහිටා යම් කර්මයක් කරන විට මෙහි පවතින්නේ පවිටු බීජයක කි‍්‍රයා කාරීත්වයයි. මේ දෙසුම දෙස බලන්න.
”පින්වත් මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය තිබෙන පුරුෂ පුද්ගලයාගේ දැක්මට අනුරූප වූ යම් කායික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි වාචසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි මානසික කි‍්‍රයාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි චේතනාවක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි පැතුමක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි අදිටනක් ඇත්නම්, ඒ දැක්මට අනුරූප වූ යම්කිසි සංස්කාර ඇත්නම් ඒ සියල්ලම අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අහිතකර වූ දුක් වූ දෙයක් බවට පත්වන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඒ දැක්ම වනාහි පවිටුය. පින්වත් මහණෙනි, එය මෙවැනි වූ දෙයකි. කොහොඹ බීජයක් හෝ තිත්ත ලබු බීජයක් හෝ තෙත පොළොවක සිටුවන ලද්දේ යැයි සිතමු. එවිට යම් ම වූ පෘථවි රසයත් ඇදගනිමින්, යම් ම වූ තෙත් රසයත් ඇදගනිමින් ඒ බීජය වැඩෙයිද ඒ සියල්ලම තිත්ත බව පිණිස කටුක බව පිණිස අමිහිරි බව පිණිස පවතින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, එය පවිටු බීජයක් බැවිනි.”
(අං. නි. 3 නිපාතය)
මෙවන් ස්වභාව ඇති කර්මයේ විපාක වශයෙන් උපතක් කරා යන විට තම තමන්ගේ යහපත් කි‍්‍රයා කොතරම් උපකාර වන්නේ දැයි අපට සිතාගත හැකිය. මේ දෙසුම දෙස බලන්න.
”පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා ඇතැම් කෙනෙක් ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් හට දන් දෙයි. ආහාර පාන වස්ත‍්‍ර ආසන මල් සුවඳ විලවුන් නිවාස පහන් ආදී දෑ දෙයි. ඔහු යමක් දෙයි නම් එය යළි ලබනු කැමති වෙයි. ඔහුට මෙවැනි දෙයක්ද අසන්නට ලැබේ. චාතුම්මහාරාජික දෙවිවරු වනාහි දිගාසිරි ඇත්තෝය. පැහැපත් වූවෝය. සැප බහුලයෝය වශයෙනි. එවිට ඔහුට මේ හැඟීම ඇතිවෙයි. ‘අහෝ, මමද කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් ගේ ස්වභාවයට පත්වන්නෙම් නම් ඉතා මැනවි’යි කියා, ඔහු ඒ සිත තබයි. ඒ සිත එහි පිහිටුවයි. ඒ සිත වඩයි. ඔහුගේ ඒ සිත හීන වූ කාම ලෝකයෙහි පිහිටුවාලූ හෙයින්ද මත්තෙහි නොවැඩූ හෙයින්ද එහි ඉපදීම පිණිස හේතු වේ. කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදී. එයද වනාහි සීලවන්තයාහට යැයි කියමි. දුස්සීලයාට නම් නොවේ. පින්වත් මහණෙනි, සිල්වත් තැනැත්තාගේ සිතින් කරන ලද අදිටන ඉටු වන්නේ පිරිසිදු බව නිසාය.”
(දානුපපත්ති සූත‍්‍රය- අං. නි. 6)
උපතක් පිණිස කෙනෙකුගේ සිතේ ස්වභාවය මුළුමණින්ම බලපාන බව මෙයින් පැහැදිලි වන කරුණයි. ඒ සිත දූෂිත සිතක් වුවහොත් ඔහුට නවතින්නට සිදුවන්නේ නිරයේය.
”පින්වත් මහණෙනි, මම මෙහි ඇතැම් දූෂිත සිත් ඇති පුද්ලයෙකුව මගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකිමි. මොහු වනාහි මේ වෙලාවේ කලූරිය කරන්නේ නම් ඔසවාගෙන එන ලද බරක් බිමින් තබන්නේ යම් අයුරින්ද එලෙසින්ම මොහු නිරයේ උපදින්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඔහුගේ සිත දූෂිත වී තිබීමයි. පින්වත් මහණෙනි, සිත දූෂිත වීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදින්නාහුය.
පින්වත් මහණෙනි, මම මෙහි ඇතැම් ප‍්‍රසන්න සිත් ඇති පුද්ගලයෙකුව මගේ සිතින් ඔහු ගේ සිත පිරිසිඳ දකිමි. මොහු වනාහි මේ වෙලාවේ කලූරිය කරන්නේ නම් ඔසවාගෙන එන ලද බරක් බිමින් තබන්නේ යම් අයුරින්ද එලෙසින්ම ඔහු සුගතියේ උපදන්නේය. එයට හේතුව කිම? පින්වත් මහණෙනි, ඔහුගේ සිත ප‍්‍රසන්න වී තිබීමයි. පින්වත් මහණෙනි, සිත ප‍්‍රසන්න වීම හේතුවෙන් මෙහි ඇතැම් සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදින්නාහුය.
(අං. නි. 1 නිපාතය)
කෙනෙක් උපතක් ලබන විට ඔහුට ලැබෙන්නේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ආයතන හයයි. එය තනිකරම කර්ම විපාකයකි. ඒ තුළින් ඔහුට සිදුවන්නේ තම තමන්ගේ කර්මානුරූපව සැප දුක් වේදනා විඳීමටය. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව වදාළ මෙකරුණ දෙස බලන්න.
”පින්වත් මහණෙනි, පුරාණ කර්මය යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. කණ පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. නාසය පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. දිව පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. කය පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා වූ දෙයකි. මනස පුරාණ කර්මයකි. විශේෂයෙන් සකස් වූ දෙයකි. චේතනාත්මකව සකස් වූ දෙයකි. විඳීම තුළින් දැනගන්නා දෙයකි. පින්වත් මහණෙනි, මේ වනාහි පුරාණ කර්මයයි කියනු ලැබේ.”(කම්ම සූත‍්‍රය-සං.නි. 4)
මෙම කර්මයෙන් අපට නිදහස් විය නොහැකිද? කර්මය යනු නිත්‍ය වූ දෙයක්ද? නැත, සැබැවින්ම අපට කර්මයෙන් නිදහස් විය හැකිය. කර්මය වනාහී අනිත්‍ය වූ දෙයකි. නිරුද්ධ වන දෙයකි. බුදු ජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
”පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම යනු කුමක්ද? පින්වත් මහණෙනි, කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම, යන කර්ම නිරුද්ධ වීමෙන් විමුක්තිය ස්පර්ශ කරයිද, පින්වත් මහණෙනි, මෙය වනාහී කර්ම නිරුද්ධ වීම යැයි කියනු ලැබේ.
පින්වත් මහණෙනි, කර්මය නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව කුමක්ද? එය වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, පින්වත් මහණෙනි, මෙය වනාහී කර්ම නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව යැයි කියනු ලැබේ.”
(කම්ම සූත‍්‍රය- සං. නි 4)
කම්ම විපාක යනු ලෝකයෙහි අචින්තනීය වූ දෙයකි. එය විෂය වන්නේ බුදුවරයන් වහන්සේලාට පමණි. ඒ පිළිබඳව යාන්තමින් හෝ දැනගත හැකි වන්නේද බුද්ධ කාලයකදී පමණි. කර්මයෙන් නිදහස් විය හැකි වන්නේද බුද්ධ කාලයකදී පමණක් ලැබෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ප‍්‍රගුණ කිරීමෙන් පමණි.
බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. එහි ඇතුළත් ගාථා නම් වූ ශාසනයට අයත් විමාන වත්ථු පේ‍්‍රත වත්ථු දැන් ඔබට කියවිය හැකිය. මෙම විමාන වස්තු පාළි හා පේ‍්‍රත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශී‍්‍ර සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. මෙහි විමාන වස්තුවේ තිබෙන්නේ මිනිස් ලොවෙහිදී පින්කම් කොට දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන පිරිස ගැනයි. පේ‍්‍රත වස්තුවෙහි තිබෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිත ගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැනයි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපවය.
විමාන වස්තු කියැවීමේදී ඒ ඒ කර්මානුරූපව දිව්‍ය විමාන පහළ වී ඇති ආකාරය ගැන පුදුම සහගත තොරතුරු ඔබට ඉගෙන ගත හැකිය. ඔවුහු මිනිස් ලොවෙහිදී යහපත් කර්මයන් කොට ඒ ප‍්‍රතිවිපාක විඳිමින් සුව සේ කල්ගෙවති.
පේ‍්‍රත වස්තුවෙන් කියැවෙන්නේ පේ‍්‍රත ලෝකයෙහි තොරතුරුය. මනුෂ්‍යයන් විසින් දූෂිත සිතින් යුතුව සිත කය වචනයෙන් පව් කරන ලදුව එකී පාපයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු රැසක් ඔබට ඉගෙන ගත හැකිය. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම් සොටු ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සාපිපාසා නිවාගන්නට වෙහෙසෙන අයුරු හද කම්පා කරවන සුළුය. එමෙන්ම අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇති වීම නිතැතින්ම සිදු වේ.
ලෝකයෙහි කර්ම හා කර්ම විපාක පිළිබඳව සටහන් වී ඇති අනේකවිධ තොරතුරුවලට මෙම විමාන වස්තු පේ‍්‍රත වස්තු දෙකෙන් ඉස්මතු වෙන කථා ප‍්‍රවෘත්තින්ගෙන් ලැබෙන්නේ බලවත් එළියකි. අචින්තනීය වූ විෂයක් පිළිබඳව මේ අංශු තොරතුරු ස්වල්පය පවා, අපගේ ජීවිතවලට ඉතා මැනවින් යා යුතු මගත් නොයා යුතු මගත් පෙන්වා දෙයි.
මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට පොදු ජනතාව වෙනුවෙන් පළමුවෙන්ම දේශනා කොට වදාළේ විමාන වස්තුව හා පේ‍්‍රත වස්තුවයි. ඒ තුළින් කර්මයෙහි ඇති සැබෑ ස්වභාවය පෙන්වා දුන් උන්වහන්සේ අනතුරුව වදාළේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ඉතා වැදගත් දේශනා රාශියක් අන්තර්ගත වූ සංයුක්ත නිකායෙහි සච්ච සංයුක්තයයි. ප‍්‍රථම ධර්ම සංගායනාවේදී ඛුද්දක නිකායෙහිලා සංග‍්‍රහ ලද විමාන වස්තු පේ‍්‍රත වස්තු පිළිබඳ දැනීමක් තෙරුවන් සරණ ගිය කා තුළත් තිබිය යුතුමය.
මේ පරිවර්තනය සඳහා උපකාරී කරගත්තේ බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවට අයත් ඛුද්දක නිකායේ පෙළ පොතත්, බුරුම ඡුට්ඨ සංගායනාවට අයත් පෙළ පොත හා අටුවාවත් ඒ වගේම එංගලන්ත පාළි පොත් සමාගමේ මුද්‍රිත පාළි ඉංග‍්‍රීසි ශබ්ද කෝෂයත්ය. එම ග‍්‍රන්ථ පිළියෙල කළ සෑම උතුමෙකුටම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය වේවා!
මෙම පරිවර්තනයෙහිලා පරිගණක අකුරු සැකසීමේදී මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේලාගෙන් ලද සහයෝගය වෙනුවෙන් මා මහත් සොම්නසින් පුණ්‍යානුමෝදනා කරන අතර උන්වහන්සේලාටද ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!
මේ උතුම් පොත් වහන්සේ මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීම පිණිස ඉතාමත් ශ‍්‍රද්ධාවෙන් අපට උපකාර කරන සියලූ දෙනාට ද වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා!
ඉතාමත් ශ‍්‍රද්ධා ගෞරවයෙන් යුතුව මෙම පොත් වහන්සේ යළි යළිත් කියවුව මැනැව. එම කරුණු මතකයේ රඳවා ගත මැනව. එහි අරුත් වැටහෙන පරිද්දෙන් නුවණින් මෙනෙහි කළ මැනව. අවබෝධ කර ගැනීම පිණිස සිහි නුවණ පිහිටුවා ගත මැනැව. යළි යළි ඉපදෙන ලෝකයේ ස්වභාවය හඳුනාගෙන එහි ඇති භයානකකම තේරුම් ගත මැනැව. සසරින් නිදහස් විය හැකි එකම මාර්ගය නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පමණි. එම නිසා ඔබටත් අපටත් මේ උතුම් ශ‍්‍රී සද්ධර්මය පිළිසරණ කරගනිමින් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට උතුම් ශ‍්‍රී සද්ධර්මය පරිවර්තනය කිරීමෙන් ලත් මේ කුසල ධර්මය ඒකාන්තයෙන් ම හේතු වාසනා වේවා!
සාදු! සාදු!! සාදු!!!පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
No comments:
Post a Comment