03 April 2014

බුද්ධගයා අරගලයේ අප්‍රකට තොරතුරු



                           අනගාරික ධර්මපාල මහත්මයා අපට මතක් වනුයේ ජන්ම දිනයට නිදහස ගැන කතා කරනා කොට පමණි,එතුමා නිදහස් කල ජුජනිය ස්ථානයක් ගැන අප්‍රකට තොරතුරු බිදක් රොහාන් එල්. ජයතිලක මහත්මා බුදුසරණ පුවත් පතට සපයාතිබුන මෙය ඉන් උපුටා ගැනීමකි,
                     
                         භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලද භාරතයේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ පිහිටි බුද්ධගයා මහා විහාරය අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේ සහ සැදැහැවතුන් ගේ වන්දනාවට පාත්‍ර විය. සංඝමිත්තා තෙරණිය , ක්‍රි.පූ. 3 වැනි සියවස දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහි සිය සොහොයුරු මිහිඳු මහ රහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි බුද්ධ ගයාවෙන් ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාවක් වැඩම කරවූහ.බෝධීන් වහන්සේ අනුරාධපුර මහාමේඝ මහ පූජා භූමියේ රෝපණය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේ ට සහ සැදැහැවතුනට ගයාවේ ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට අභිලාෂයක් ඇති වූහ.
                      එසේ වන්දනාව සඳහා ගමන් කළ මාර්ගය ක්‍රි.ව. 14 වැනි සියවස අනුරාධපුර වේදේහ නම් භික්‍ෂූන් වහන්සේ අනුරාධපුර මහා විහාරවාසී ගුත්තක පිරිවෙනෙහි වැඩ විසූ රට්ඨපාල නමැති හිමිනමක් පාළියට පරිවර්තනයක් සැකසූ සහස්සවත්‍ථුපප්කරණය අනුසාරයෙන් සිංහලයෙන් සැකසූ රසවාහිනියේ (2 වැනි පුස්තකය , පිටු 124 - 128 ) මෙසේ සඳහන් වේ.අනුරාධපුර සිට කොට්ටපත්තන (වර්තමාන යාපනයේ සම්බල්තුරෙයි ) දක්වා සද්ධර්මලංකාරයට අනුව එම තොටුපොල පාමතු- පටුන්ගම දක්වා පියවි ගමනින් මාස සතරක්ද එතැන් සිට මුහුදු යාත්‍රාවකින් පරතිර දක්වා (එනම් එකල කාලිංග දේශයේ, වර්තමාන ඔරිස්සාවේ තොටුපොල වන භුවනේෂ්වර දක්වා මාස දෙකක් ද එතැන් සිට පියවි ගමනින් බුද්ධගයාව දක්වා මාස සතරක් ද ලෙස දළ වශයෙන් එම වන්දනා ගමනට මාස දහයක් හෝ එකොලහක් පමණ ගත වන්නට ඇත.
                           එම ගමන් මාර්ගයේ අනුරාධපුර සිට බුද්ධගයාවට (කීර්ති ශ්‍රී මේඝවර්ණ රජදවස ) වැඩම කළ භික්‍ෂූන් වහන්සේ පිරිසකට එකල බුද්ධගයාවේ වැඩ විසීමට එහි තිබූ ආරාමයන්හි අවකාශ නොලැබිණි.නැවත දිවයිනට වැඩි එම හිමිවරු ශ්‍රී මේඝවර්ණ රජුට තමන්ට සිදු වූ එම හිරිහැරය සැළකරණ ලදී.රජතුමා තෑගි බෝග සමඟ දූත පිරිසක් භාරතයේ සමුද්‍ර ගුප්ත රජු වෙත (ක්‍රි.ව. 335- 376 ) යවා අවසරය ලබාගෙන බුද්ධගයාවේ සිව්මහල් සිංහල සංඝාරාමයක් තනවන ලදී. චීන ලේඛනයක එම සිද්ධිය සදහන් වන අතර, බුද්ධගයා මහා විහාරයේ ගල් වැටේ එම විහාරය තැනීම ගැන ගුප්ත සමයේ බ්‍රාහ්මී අක්ෂරයෙන් සඳහන් කර ඇත.එමෙන්ම එම ගල්වැටේ ශ්‍රී ලංකාවෙන් බුද්ධගයාවට පැමිණි භික්‍ෂූන් වහන්සේලාගේ නාම ලේඛණ තුනක ගුප්ත යුගයට අයත් බ්‍රාහ්මි අක්‍ෂරයෙන් සටහන් කර ඇත.
                                        එම සෙල් ලිපි පවසනුයේ වන්දනාවෙ වැඩි හිමිවරු ශ්‍රී ලංකාවේ උපන් සිංහල භික්‍ෂූන් වහන්සේලා යනුවෙනි. තවද අනුරාධපුර යුගයේ (ක්‍රි.ව. 412 - 434 ) සපැමිණි භදංතාචාරය බුද්ධ ගෝෂි හිමියන් ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහා විහාරයට වැඩම කර එහිදී මහා විහාරයේ බුද්ධදත්ත හිමියන්ගෙන් සිංහලයෙන් රචිත මහා අත්‍ථකථා මහා පච්චාරි සහ කුරුන්දි, අධ්‍යයන කර පසුව සිංහල භාෂාමය අත්‍ථකථා විශාල සංඛ්‍යාවක් පාලියට නගන ලද අතර, විසුද්ධිමග්ග නමැති ග්‍රන්ථය සකසන ලදී.
මේ අනුව ක්‍රි.පූ. තෙවැනි සියවස සිට ශ්‍රී ලංකාව සහ බුද්ධගයාව අතර සුවිශේෂි සම්බන්ධතාවයක් තිබුණි. එනමුත් ක්‍රි.ව. 12 වැනි සියවස පමණ හින්දු ධර්මය , බොදු දහම අභිබවා රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රචලිතවූ බැවින් බුද්ධගයාවද මහන්තානමැති හින්දු පූජක පරපුරක පාලනයට යටත්ව , මහා විහාරය අසල හින්දු දෙවොලද තනා (දැනුදු ඇත) මහා විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපස ශිව ලිංගයක්ද තැන්පත් කර බුද්ධගයා විහාරය හින්දු පුද බිමක් බවට පත් කර ගන්නා ලදී.ශ්‍රීමත් එඩ්වින් ආර්නල්ඩ් තුමා (1832 - 1904) ඉන්දියාවට පැමිණ අවුරුදු 12 ක් , (1848 - 1860) දක්වා පුනාවේ රාජ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළහ.එම කාලය තුළ ඔහු සංස්කෘත භාෂාව ගැන හසළ දැනුමක් ලබාගෙන පසුව එංගලන්තයේඩේලි ටෙලිග්‍රාප් පුවත්පතේ කර්තෘ තනතුර ලැබ නැවත එංගලන්තයට යන ලදී.

                                      ආර්නෝල්ඩ් තුමා එංගලන්තයේදී 1861 , ඉන්දියානු සංස්කෘත ග්‍රන්ථයක් වූ හිතෝපදේශය (රජෙකුට තිබිය යුතු දැනුම) ඉංගී‍්‍රසියටම පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන ලදී. ඉක්බිතිව ශාසනාලංකාර කවිධජ විනයාචාර්ය වැලිගම ශ්‍රී සුමංගල නාහිමියන් (1825 - 1905) 1878 දී හිතෝපදේශය සිංහලයට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන ලදී.උන්වහන්සේ ආර්නෝල්ඩ් තුමා ඉංගී‍්‍රසියෙන් රචිත ආසියාවේ ආලෝකය ගැන අතිමහත් සතුටට පත්ව තමා රචිත සිංහල පිටපත සහිතව සංස්කෘත කවිපෙළක්ද සමඟ ලිපියක් ආර්නෝල්ඩ් තුමා වෙත යවන ලදී.
එම ලිපියට ප්‍රතිචාර දැක්වූ ආර්නෝල්ඩ් ඉංගී‍්‍රසි බසින් 1881 මැයි මස 30 වැනි දින පිළිතුරක් එවමින් තමා සහ ඒ හිමියන් අතර සම අභිලාෂයක් ඇති බැව්ද තමාට ශ්‍රී ලංකාවේ බෞද්ධ තත්වය ගැනද දන්වා එවන ලෙසද දැන්වීය. මේ අනුව කුළුපග මිත්‍රත්වයක් දෙදෙනා අතර සිදු වූ අතර ලිපි හුවමාරුවක්ද සිදු කැරිණි.
ශ්‍රීමත් ආර්නෝල්ඩ් ඉන්දියාවට නැවත පැමිණ මදුරාසියේ සිට 1886 ජනවාරි මස 23 වැනි දින ශ්‍රී සුමංගල නා හිමියන්ට තමා සාරනාත් බුද්ධගයාව හා අනිකුත් බොදු බිම්, දැක බලාගත් බවත්, තමා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය පසුව දන්වන බවත් ලිපියකින් දන්වන ලදී.පසුව එතුමා ශ්‍රී ලංකාවට සැපත්ව කොළඹ ගාළුමුවදොර හෝටලයේ සිට 1886 ජනවාරි 30 වැනි දින උන්වහන්සේට ලිපියක් යවමින් තමා පානදුරයට සඳුදා පෙරවරු 8.46 ට ලගාවෙන දුම්රියෙන් එහි පැමිණෙන බැව් දන්වන ලදී.

                                     වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණෝ යුහුසුළුව පානදුර නගරයේ ඇති රන්කොත් විහාර ධර්ම ශාලාවේ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා පිළිගැනීමට උත්සවයක් සූදානම් කළහ.එම උත්සවයට එවකට විසි දෙවැනි වියේ වූ අනගාරික ධර්මපාලතුමාටද ආරාධනය කරණ ලදී. ගිහි ජීවිතයේ දොන් ඩේවිඩ් හේවා විතාරණ නම් වූ එතුමා මාතර හිත්තැටියේ ජන්ම ලාභය ලත් කොළඹ තම ව්‍යාපාරය පවත්වා ගෙන ගිය හේවාවිතාරණ දොන් කරෝලිස්තුමාගේ හා මල්ලිකා විජයගුණරත්න මැතිණියගේ පුත්‍රයා ලෙස උපත ලැබූහ. කොළඹ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයේද කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේද අධ්‍යාපනය ලබා කලක් ලිපිකරුවෙකු වශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව අනගාරික ජීවිතයක් ඇරඹීමේදී ඔහු තෝරාගත් නාමය වූ ධර්මපාල නාමය උචිතයැයි අනුමත කළේ වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණෝය. එබැවින් කිට්ටු ඇසුරක්ද පැවතුණි.එම උත්සව සභාව ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා අමතමින්, “ බුද්ධගයාව හා සාරානාත් හින්දු ග්‍රහණයෙන් මුදවාගෙන බෞද්ධ පාලනයට නතුකර ගැනීමට කල් යල් උදාවී ඇති බැව්ද, මෙහිලා ශ්‍රී ලංකා බෞද්ධයින් පෙරමුණ ගත යුතු බැව්ද අවධාරණය කළේය.තවද පානදුරේදී ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීම පිළිබඳ ශ්‍රීමත් ආර්නෝල්ඩ් තුමා එංගලන්තයට නැවත පැමිණීමෙන් පසු දීර්ඝ ලිපියක් සිය ඩේලි ටෙලිග්‍රාප් පුවත්පතේ පළ කරන ලදී.
පානදුරදී එතුමා කළ දේශනය අනගාරික ධර්මපාල තුමාට සිය ජීවිතය බුද්ධගයා අරගලය සඳහා කැප කිරීමට අදිටන් කර ගැනීමට අවස්ථාව විය.
                                         ආර්නෝල්ඩ් තුමා කළ දේශනය ඇතුළත් අනගාරික ධර්මපාල තුමා පළ කළ ඉංගී‍්‍රසි භාෂාමය සිය ග්‍රන්ථයක් වූ ‘’ The History of the Maha - Bodhi Temple at Buddha Gaya’’හි එකතු කිරීමක් ලෙස පළ කළ ලිපියේ සිංහල අනුවාදය මෙසේය.
ශ්‍රීමත් ආර්නෝල්ඩ් මැතිතුමා මෙසේ ප්‍රකාශ කරන ලදී.එදින හිරු රැසින් වෙළීගත් එම පානදුර විහාර අංගනයේදී මා ඉදිරිපත් කළ අදහස සුළගේ සැලෙන තල්ගස් මධ්‍යයේ මුල් බැසගෙන අතුපත් විසිරීගිය අවස්ථාවක් මෙයට පෙර නොවු බැව් මා සිතමි.
                                      එම ඝර්මකලාපීය නිතරම වැවෙන සුළු හා එම වැවීම ද දුර්ෂියමාන වන රුක්‍ෂ හා පැලෑටිමෙන් යෝජනාව ඉතා ඉක්මණින් විශ්ව ප්‍රබෝධයක් විය. පළමුව ශ්‍රී ලංකාවේ ඉන් ඉක්බිතිව වෙනත් බෞද්ධ ඉඉදේශවල බෞද්ධ ලෝකය නිතැතින්ම තමන්ගේ ආගමේ අති පූජනීය වූ මෙම ස්ථානය අමතක කර ඇත. මෙම ස්ථාන මක්කම , ජෙරුසලම නැගෙනහිර ලෝකයේ ආගමික ජනතාවගේ පූජනීය වූ ස්ථානයන් වන්නේමය.
                                            අවුරුදු කිහිපයකට පෙරාතුව මා බුද්ධගයාවට පැමිණි අවස්ථාවේ මහාරාස්ඨයේ ගොවිජනතාව මෙහි මෙවැනි අති පුජනීය ස්ථානයක ශද්සත්ව බිලි පූජාව) සිදු කිරීම දැක අතිමහත් චිත්ත පීඩනයකට පත්වීමි. තවද ඓතිහාසික දෑද සංස්කෘත සෙල්ලිපි සහිත ගල්ද ස්ථානය පුරා දහස් ගණනින් විසිරී පැතිරී තිබුණි. මම එහි සිටි හින්දු පූජකයාගෙන් (මහන්තා) මෙම අති පූජනීය බෝධි වෘක්‍ෂයෙන් පත්‍රයක් කඩා ගන්නදැයි විමසූ විට ඔහු කීවේ සභිවේ (මහත්මයා) ඔබට ඕනෑ තරම් කඩා ගන්න , අපට එවා කිසිම වැදගැම්මක් නැත යනුවෙනි. මෙම නොසැලකිලිමත් කම ගැන ලජ්ජාවට පත්වූවා . ඔහු විසින් පැත්තට අදින ලද අත්තකින් තද හරිත වර්ණයෙන් දීප්තිමත් පත්‍ර දෙක තුනක් කඩාගතිමි. එම පත්‍රවල සංස්කෘත පූජනීය වාක්‍ය කණ්ඩය වන ඕබ් මුනි පද්මේ හුම් “ (මුනිවරයාගේ පාදය වන්දනා කරමි) එම පත්‍ර වල මම ලියා එම පත්‍ර ශ්‍රී ලංකාවට ගෙන ගියෙමි. ශ්‍රී ලංකාවේ දී එම බෝධි පත්‍ර සිංහල බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පත්විය.
තවද මවිසින් මහනුවර ශ්‍රී දළදා මාලිගයට පූජා කළ බෝධි පත්‍රය අගනා ලෝහ කරඬුවක තැන්පත් කළ අතර, එය සතිපතා පැවැත්වෙන පූජාවල ප්‍රමුඛ ස්ථානයක් ගත් බැව්, විශේෂයෙන් පානදුර භික්‍ෂූන්ටද, විශේෂයෙන් මාගේ මිත්‍ර වැලිගම් නා හිමියන් හා කළ සාකච්ඡාවලදී දැන ගතිමි.
මම එහිදී යෝජනා කළේ බුද්ධගයා විහාරයද එයට අයත් අනිකුත් දේපොල ද හින්දු බලධාරින් සමග මිත්‍රÀවයෙන් සාකච්ඡා කර රැජිනගේ රජයේ අනුග්‍රහයෙන්, බෞද්ධ ජනතාවගේ නියෝජිතයන් සහිත කමිටුවකට බුද්ධගයා පාලනය පැවරීම පිළිබඳවය.මේ අනුව ශ්‍රීමත් එඩ්වින් අර්නෝල්ඩ් තුමාගේ යෝජනාව ගැන පානදුර රන්කොත් විහාර භූමියේ පැවැති එම උත්සවයට සහභාගිව අනගාරික ධර්මපාල තුමා ආර්නෝල්ඩ් තුමා සමග ක්‍ෂණිකව සාකච්ඡා කර එම භාරදූර කාර්යය තමා භාරගන්නා බැව් පවසන ලදී.ආර්නෝල්ඩ් තුමා එංගලන්තයට නැවත යෑමෙන් පසුව සිය පුවත් පතෙහි බුද්ධගයාව බෞද්ධ පාලනයට නතු කළ යුතු බවට දීර්ඝ වශයෙන් ලිපි පළකරණ ලදී.තවද ඔහු අනගාරික ධර්මපාලතුමාට බුද්ධගයාවට යනමෙන්ද දැඩිව ඉල්ලා සිටින ලදී. අනගාරික ධර්මපාල තුමා තායිලන්තයේ පුවත්පතේ ලිපියක් පළකරමින් මෙසේ පවසන ලදී.බෞද්ධයින්ගේ ජෙරුසලම වූ බුද්ධගයාව බෞද්ධ පාලනයට නැවත පැවරීමේ අදහස ඉදිරිපත් කළේ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමාය. එම ස්ථානය 1886 දී ඔහු එහි ගිය පසු ඔහු මෙම පුදබිමට මා යෑමට උත්සුක කළේ ඒ අනුව 1892 සිට මා මට හැකි සියලු දෙයක්ම කරමි.අනගාරික ධර්මපාලතුමා යුහුසුළුව 1891 දී කොළඹ විද්‍යෝදය පිරිවෙන මූලස්ථානය කරගෙන පරිවේණාධිපති අතිපූජ්‍ය ත්‍රිපිටක වාගීස්වරාචාර්ය උපාධ්‍යාය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ (1826 - 1911 ) සභාපති වශයෙන්ද තමා ලේකම් වශයෙන්ද මහාබෝධි සමිතිය අරඹන ලදී.
මෙහිදී හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ඇසුරට අනගාරික ධර්මපාලතුමා පත් වූයේ ලදරු කාලයේදීමය.
                                           ශ්‍රී සුමංගල හිමියන්ගේ සභාපතිත්වයෙන් විද්‍යාධාර සභාව නමින් සංවිධානයක් විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමට අරඹා 1864 දී එම කාර්ය සඳහා ප්‍රධාන දායකයන් වුයේ අනගාරික ධර්මපාල තුමාගේ පියාවන එච්.දොන් කරෝලිස් තුමාද, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි සහ දොන් මේලන් වික්‍රමතිලක අප්පුහාමි වෙති. විද්‍යෝදය පිරිවෙන හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන්ගේ ආධිපත්‍ය යටතේ පිහිටුවන ලදී. අනගාරික ධර්මපාල තුමා හමුවීමට ශ්‍රී සුමංගල නා හිමිපාණන් බෞද්ධ කටයුතු වලට අවශ්‍ය මුදල් ආධාර ගැන සාකච්ඡා කිරීමට නිවසට වැඩම කළ බැවින් ළදරු සමයේ සිට අනගාරික ධර්මපාලතුමා (දොන් ඩේවිඩ් හේවාවිතාරණ) හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් ගේ ඇසුරට හා මග පෙන්වීමට යොමු විය.ධර්මපාල තුමා 1891 දී බුද්ධගයාවට ගොස් ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා විස්තර කළ ශෝචනීය තත්ත්වය සියසින් දැක, ශ්‍රී මහා බෝධි පාමුල නලළ තබා, සිය ජීවිතය බුද්ධගයාව බේරා ගැනීමට පුදන බවට අධිෂ්ඨාන කළේය.පසුව මහාබෝධි සමිතියේ කාර්යයන් පහසු ලෙස ක්‍රීයාත්මක කිරීමට සමිතියේ මූලස්ථානය කල්කටා නගරයට ගෙනයන ලද අතර එහිදී එහි සභාපති වශයෙන් කල්කටා විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රීමත් අශුමෝස් මුකර්ජි තුමා සභාපති වශයෙන්ද එතුමා ලේකම් වශයෙන් ද ක්‍රියාකාරී විය. පසුව 1891 දී අනගාරික ධර්මපාලතුමාට ආරාධනයක් ලැබී ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර පැවැති ආගම් පාර්ලිමේන්තු සැසියට සහභාගි වී බුදු දහම අළලා බුද්ධ ගයාව පත්ව ඇති ශෝචනීය තත්ත්වය පැහැදිලි කරමින් දේශන දෙකක් ධර්මපාලතුමා විසින් පවත්වන ලදී. එතුමාගේ ඉංගී‍්‍රසි භාෂාමය කථිකත්වය, කරුණු ඉදිරිපත් කිරීම සහ දේහ විලාශය, ඇඳුම් විලාශය ගැන සෙසු සාමාජික පිරිස් අති මහත් පී‍්‍රතියට පත් වූහ.
                                                         බොදු දහම ගැන පළමු වරට ඇමරිකාවේ හඬක් නැගීමේ ගෞරවය ධර්මපාලතුමාට පිරිනැමුණු අතර, පසු කාලීනව ඇමරිකාවේ බෞද්ධ කටයුතු සඳහා අමරිකානු මහාචාර්ය පෝල් කාරුස්,බොනී, ඊ.සීහෙග්ලර් යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි ධර්මපාල තුමා දෙවැනි වරට ඇමරිකාවට ගියේ ය. ඔහු මුද්‍රණාලයක් ආරම්භ කළ අයෙකි. 1891 අගෝස්තු මාසයේ ඇමරිකාවේ සිට නැවත ඉන්දියාවට ධර්මපාලතුමා පැසිපික් සමුද්‍රය ඔස්සේ තරණය කරන විට නෞකාව දින කිහිපයකට හවායි දූපත්වල හොනලුලු වරායේ නවත්වන ලදී. අනගාරික ධර්මපාලතුමා චිකාගෝ නුවර ආගම් පාර්ලිමේන්තුවේ කළ දේශන විශාල වශයෙන් අගයමින් පුවත් පත් වල පළ වූ අතර එම පුවත්පත් වාර්තා කියවූ හවායි රජ පවුලේ මේරි එළිසබත් පොස්ටර් මැතිණිය, ධර්මපාල තුමා බැහැ දැකීමට නෞකාවට සැපත්ව මෙසේ පැවසුවා ය. මා දරුණු රෝගයකින් පසුවෙමි. එම රෝගය නම් නිතර කිපෙන බවය.
මෙය ඔබතුමාට සනීප කර දිය හැකිද?” ඔව් ඔව් මට කළ හැකි ය. මා මේ ලියා දෙන වාක්‍ය දෙක නිතරම මුමුනමින් සිට දෙවැනි ප්‍රතිකර්මය සඳහා නැවත පැමිණෙන්න. ධර්මපාලතුමා ඉංගී‍්‍රසියෙන් ලියා දෙන ලදී. (මා තරහ නොගනිමි, මම සාමකාමී පුද්ගලයෙක් වෙමි)ඒ අනුව ක්‍රියාකළ පොස්ටර් මැතිණිය නැවත දින තුනකට පසු අනගාරික ධර්මපාලතුමා වෙත පැමිණ තමා රෝගයෙන් දැන් සම්පූර්ණ සුවය ලබා ඇතැයි පැවසුවා ය. පසුව එතුමිය බරණැස සාරානාත්හි නව මූලගන්ධකුටි විහාරය, බුද්ධගයාවේ මහාබෝධි සමිති ශාලාව හා වෙනත් බෞද්ධ ආයතන, එනම් බුද්ධගයාවේ සහ බුද්ධ ගයාවේ නිදහස් ඉංගී‍්‍රසි පාසල් ආරම්භ කිරීමට ඩොලර් මිලියන ගණනින් එතුමිය නිතර ධර්මපාලතුමාට ආධාර කරන ලදී. එතුමියගේ ධන පරිත්‍යාගයකින් කොළඹ මරදානේ පොස්ටර් පටු මඟේ නිදහස් ‍ෙබහෙත් ශාලාවක් විවෘත කළේය.
1893 අගෝස්තු මස ධර්මපාල තුමා එම චිකාගෝ සිට ආපසු ඉන්දියාවට පැමිණෙන විට ලාඕසයට ළඟා විය. එහිදී ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා ඔහු හමු වී ඔහු කැටුව ඉන්දීය රාජ්‍ය ලේකම් කිම්බර්ලි සාමි වරයා (Eart) වෙත ගොස් බුද්ධ ගයාවේ ප්‍රශ්නය ගැන කරුණු ඉදිරිපත් කරන ලදී. මෙහිදී ලැබුණු ප්‍රතිචාරය ආර්නෝල්ඩ් සිය දින පොතෙහි සටහන් කරන ලදී.
                                                       අනගාරික ධර්මපාලතුමාට එම ගමනේ දී ජපාන බෞද්ධයින් බුදු පිළිමයක් පූජා කරන ලදී. එය රැගෙනවිත් බුද්ධගයාවේ මහා විහාරයේ දෙවැනි මහලේ තැන්පත් කිරීමට ධර්මපාලතුමා ක්‍රියා කළ අවස්ථාවේ මහන්තාදාමරිකයන් ලවා ධර්මපාලතුමාට ලේ වැගිරෙනු ලෙස පහරදී පිළිම වහන්සේ විසිකර දමන ලදී. ධර්මපාලතුමා පිළිමය රැගෙන බුරුම විහාරයේ තැන්පත් කරන ලදී.අනගාරික ධර්මපාලතුමා දියත් කළ මෙම දුෂ්කර ක්‍රියාවලියට අත හිත දීමට දුනුවිල චන්දජෝති, මාතලේ සුමංගල, අනුරාධපුර පේමානන්ද සහ ගාල්ලේ සුදස්සන යන හිමිවරු ජීවිතය පරදුවට තබා බුද්ධගයාවට 1891 ජූලි මස වැඩම කර බුරුම විහාරයේ වැඩ සිටිමින් ධර්මපාලතුමාට උපකාර කරන ලදී. එවිට මහන්තාදාමරිකයන් යොදා ලේ හැලෙනතෙක් ගාල්ලේ සුදස්සන සහ අනුරාධපුර පේමානන්ද හිමිවරුන්ට පහර දෙන ලදී. මෙය සිදු වූයේ 1893 පෙබරවාරි මසදී අතර, ධර්මපාලතුමාට පහර දුන්නේ 1895 දී ය.
                            තවද හින්දු සංවිධානයක් වූ මහන්තාද ධර්මපාලතුමා බුද්ධගයාවෙන් නෙරපා දැමීමට ක්‍රියා කළේ ය.එනමුත් අභීත රුහුණු පුත්‍රයකු වූ අනගාරික ධර්මපාලතුමා ඉදිරියටම තම කටයුතු ගෙන ගියේ ය. දූරදර්ශී ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය රජයෙන් බුද්ධගයා මහා විහාරය අසල මංසන්ධිය ඉදිරි පස ඉඩමක් මිලයට ගෙන එහි බුද්ධගයා මහා බෝධි සමිතියේ මූලස්ථානය ඉදි කළහ. මෙම ගොඩනැඟිල්ල හින්දුන්ගේ ප්‍රහාරවලින් වලකා ගැනීමට ගෘහ නිර්මාණය අලංකාරය සඳහා විශාල ශාලාවක් ද ශාලාව දෙපස විවෘත ආලින්දද සහිතව, බිත්තිවල ගඩොලින්ම ආලෝකය හා වාතාශ්‍රයට විවර සහිතව, තනන ලදී. මෙසේ කළේ එවිට බ්‍රිතාන්‍ය පාලකයන් එම ගොඩනැගිල්ල ආරක්‍ෂා කිරීමට ක්‍රියාකරන බවත්, හින්දුන්ට එවිට ගොඩනැගිල්ලට අලාභහානි කිරීමට නොහැකි බැව් ද පසක් කර ගනිමිනි.එහි ධර්මපාලතුමා නිදහස් ඉංගී‍්‍රසි, හින්දු, භාෂා විදුහලක් ද ආරම්භ කරන ලදී. මෙම ගෘහ නිර්මාණ ශිල්පය අදද දැකිය හැකි ය. පසුගිය වර්ෂයේ (2007) ඉන්දීය මහා බෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ආචාර්ය දොඩන්ගොඩ රේවත හිමිපාණෝ තායිලන්ත බොදුනුවන් ගේ සහාය ලබාගෙන විදුහල බුද්ධගයාවේ ජපන් විහාරය අසල පිහිටුවා, ධර්මපාලතුමා ඉදිකළ ගොඩනැගිල්ල බෞද්ධ විහාරයකට පරිවර්තනය කර බුද්ධගයා මහාබෝධි සමිතියේ මූලස්ථානය භාර පැල්වත්තේ සිවලී හිමියන්ගේද සහාය ඇතුව දැනට පවත්වා ගෙන එනු ලැබේ. මහන්තා 1906 දී ධර්මපාලතුමා බුද්ධගයාවෙන් ඉවත් කිරීමට ගයා අධිකරණයේ නඩුවක් පැවරූ අතර ධර්මපාලතුමාද ප්‍රතිවිරුද්ධ නඩුවක් පවරණ ලදී. මෙය හින්දු, බෞද්ධ ආගම් අරගලයකට තුඩුදෙන බැවින් අධිකරණය මහන්තාට පක්‍ෂව තීන්දුවක් දෙන ලදී. ධර්මපාලතුමාගේ අභියාචනා නඩුව ගැන අධිකරණය කිසිදු තීරණයක් නොදුන්හ.
                                     අනගාරික ධර්මපාලතුමා මිලයට ගත් බරණැස සාරානාත් පුදබිම උතුරු කොටසේ භූමියේ නව මූලගන්ධකුටි විහාරය තනා, එහි බිත්තිවල බුද්ධ චරිත චිත්‍ර එකල සිටි ජපානයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී කොඑට්සූ නෝසි (Koetsu Nosi) ලවා චිත්‍ර සකස් කරවා විහාරය 1931 නොවැම්බර් මස 11 වැනි දින එකල ඉන්දියානු කොන්ග්‍රසයේ Indian Congress ලේඛකාධිකාරී ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා (පසුව නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය) ලවා විවෘත කරන ලදී. මෙම උත්සවයට නේරුතුමාගේ භාර්යාව වූ කමලා මැතිණියද, ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වූ විජය ලක්‍ෂමිපණඩිට් හු සුබාරු සහභාගි වූවා ය. නේරුතුමා උත්සවයෙන් පසු සාරානාත් කෞතුකාගාරයට ගොස් එහි තැන් පත් කර තිබූ සරානාත් අශෝක තුමාණෝ ධම්මචක්ක්‍රය ඉන්දීය ජාතික කොඩිය මැදට යෙදීමටද සිංහ රූප සතරක් ද රහිත සිංහ මූර්තියද ඉන්දීය ජාතික ලාංඡනය වශයෙන් යෙදීමට 1947 ජූලි මස 22 වැනි දින ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් (පසුව පළමු ජනාධිපති) තුමාගේ සභාපතිත්වයෙන් නවදිල්ලි ව්‍යවස්ථාදායක ශාලාවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාවට දීර්ඝ දේශනයක් කරමින් ඒකඡන්දයෙන් මෙම ජාතික සළකුණු පිළිගන්නා ලදී. පසුව 1932 දී තක්‍ෂිලා සහ මිර්පුර, කාස් සින්ඩි හි කැනීම් වලින් ලැබුණු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලා ධර්මපාලතුමාට පුරාවිද්‍යා අධිකාරිය භාරදෙන ලද අතර එම ධාතූන් වහන්සේලා ද නව මූලගන්ධකුටි විහාරයේ වඩා හිදුවන ලදී.බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 69 වියට පත්ව පසුව ශ්‍රී දේවමිත්ත වශයෙන් පැවිදිව ඉන්පසු උපසම්පදාවද ලබා 1931 අප්‍රේල් මස 29 දින අපවත් වී වදාළ සේක.ආදාහනය සාරානාත්හි සිදු කරන ලදී. බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිත කාලයේ දී නොවිසඳුනි.
                                      1947 ඉන්දීයාව නිදහස් රාජ්‍යයක් වූ අතර බිහාර් ප්‍රාන්ත රාජ්‍යය බුද්ධගයා පාලන ආඥා පනත් සම්මත කර එමගින් හින්දුන් සතර දෙනෙක් ද, බෞද්ධයන් සතර දෙනෙක් ද සහිත ගයා දිස්ත්‍රික්කයේ ආදායම් පාලක (Gaya Collector)  සභාපති වශයෙන් නිර්මාණය කර එම ආඥා පනත 1948 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි