29 May 2013

මරණින් මතු II



                    මරණින් මතු ජීවිතය ගැන පුරාණ ඉන්දියානු ඇදහිලි පෙර දක්වන ලද ඇදහිලිවලට වඩා තරමක් ඉදිරියට ගිය බවක් පෙනේ. ඍග්වේදයේ දැක්වෙන පරිදි හොඳ අය මරණින් මතු ස්වර්ගයට හෙවත් දෙව්ලොවට ද අනේ අය අපායට ද යති. ඍග්වේද යුගයෙන් ඇරැඹී බ්‍රාහ්මණ යුගය දක්වා පැවැති මෙම සංකල්පය උපනිෂද් යුගයේදී සංවර්ධනය විය. හෝම පූජා පවත්වා දන් දී තපස් ධර්මවල යෙදුණු අය ටික කලක් සසර සැරිසරා යම රජුගේ පීතෘ ලෝකයට ඇතුළත් වෙති. එහි කලක් සැප විඳ චන්ද්‍ර විමානයට ගොස් අභ්‍යවකාශයේදී වායුව හා මුසු වී වර්ෂාව සමඟ පොළාවට පතිත වෙති. ඉන් අනතුරුව පුරුෂයා නමැති පූජා ගින්න තුළින් පිදීමට ලක් වී ස්ත්‍රිය කෙරෙන් නැවැත උපදී. මෙයව ප්‍රතිවිරුද්ධ වූ අධර්මිෂ්ටයන් පණුවන්, කුරුල්ලන් වැනි තිරිසන් සතුන් ලෙස උපදී.

                                    මෙම යුගයේ වැදගත් ලක්ෂණය වන්නේ පුනරුත්පත්ති සංකල්පයත් සමඟ ආත්මවාදයක් වැඩි යෑමයි. උපනිෂද් දක්වන ආකාරයට මරණ මංචකයේදී මිනිසාගේ ආත්මය ශරීරයෙන් බැහැර වේ. මෙම ආත්මන්හා බ්‍රහ්මන්අවබෝධකර ගැනීම විමුක්තිය සඳහා ඇති ඒකායන මාර්ගය යි. ශරීරයෙන් බැහැර වූ ජීවාත්මය පරමාත්මන් සමඟ ඒකීභූත වීම විමුක්තිය වශයෙන් දැක්වේ. ඉන් අනතුරුව කිසිදු ලොවක නූපදින අතර එය උපතින් ද මරණින් ද තොර වූ අවස්ථාවක් වේ.යුදෙව් ආගමේ පැරැණි තෙස්තමේන්තුවේ සඳහන් වන පරිදි ආදම් හා ඒව දෙදෙනා තහනම් ගසේ ගෙඩිකෑම නිසා එම අකීකරුකමට දඬුවම් නියම කරමින් දූහුවිල්ලෙන් උපන් නුඹ දූවිල්ල කරාම යන්නේය. යනුවෙන් මරණය නමැති සංකල්පය ඉස්මතුකර ඇත. මිනිසාට මරණයෙන් පසුව සිදුවන දේ පිළිබද පැරැණි යුදෙව් ආගමේ නිශ්චිත නිගමනයක් දැකිය නොහැකිය. එහෙත් යුදෙව් සංස්කෘතිය පරිණාමයට පත්වීමත් සමඟම වෙනත් සංස්කෘතීන් සමඟ සම්මිශ්‍රණය වීමේන් මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබේ. මිනිසා මනෝකායික සත්වයෙක් වන අතර ඔහුට ආත්මයක් ඇත. යුදෙව් දහමේ ආත්මය යනුවෙන් හඳුන්වන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ නාසය තුළට ඇතුළුකරන ලද ජීවන හුස්මයි. මිනිස් සිරුරත් ආත්මයත් එකට පවතින අතර පැරැණි යුදෙව් මතය වන්නේ සිරුරේ විනාශයත් සමඟම ආත්මය ද විනාශ වන බවයි. මරණින් පසුව යක්ෂ භූත වැනි ආත්ම ලබන බවක්ද මොවුන් තරමක් හෝ දුරට පිළිගෙන තිබුණි.
                                   ෂෙඕල් නමින් හඳුන්වන මරණින් පසු පවතින ලෝකයක් පිළිබඳ ද ඔවුහු විශ්වාස කළහ. මුල්කාලීන යුදෙව් මතයට අනුව නම් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අවධානයට ලක් නොවේ. එය දුබලතාව නියෝජනය කරන තැනකි. එතැනින් නැවැත නැඟී සිටීමක් ද සිදුනොවේ. එහෙත් කල්ගත වන විට යුදෙව්වන් බැබිලෝනියාවට සංක්‍රමණය වීමත් සමඟම මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් බොහෝ දුරට වෙනස් විය. ෂෙඕල්හෙවත් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අධිපතිත්වයට යටත් වීම, මරණයෙන් පසු උත්තානය වීම දෙවියන් වහන්සේගේ අවසාන විනිශ්චය, ස්වර්ගය හා නිරය පිළිබඳ විනිශ්චය.අවසාන ගැලවීම හෙවත් යුදෙව්වන්ගේ ගැලවුම්කරුවා වශයෙන් මෙසායාහ් හේ පහළවීම යන කරුණු මරණය හා සම්බන්ධයෙන් යුදෙව් ආගම තුළ දැකගත හැකිය. අපාගතවීම සම්බන්ධයෙන් යුදෙව්වන් තුළ පවතින්නේ පරස්පර විරෝධී අදහසකි. අතැම් තැනක දක්වන පරිදි අපාගත වන්නේ සදාකාලිකව එහිම සිටිති. එහෙත් තවත් අවස්ථාවකදී කාලයක් ගතවීමෙන් අනතුරුව දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලබා නිරාගත ජීවිතයෙන් අත්මිදීමේ හැකියාව ලබති.
                               ක්‍රිස්තියානි ආගමික මතය අනුව භෞතික සිරුරත් ආත්මයත් යන දෙකේම සුසංයෝගයක් වශයෙන් මිනිසා පවතී. මරණය යනු ආත්මය භෞතික සිරුර අත්හැර දැමීම නිසා එය අක්‍රිය තත්ත්වයට පත්වීමයි. ස්වභාවික මරණයත් අවසාන විනිශ්චයත් අතර කාල පරාසය තුළ සිරුරෙන් වෙන්ව යන ආත්මය පුද්ගල විනිශ්චය හා විශ්වීය විනිශ්චය යන අවස්ථා දෙකට මුහුණ දෙයි. පුද්ගල විනිශ්චය යනු දෙවියන් වහන්සේ වෙතින් ඒ ඒ පුද්ගලයා ලබන පෞද්ගලික විනිශ්චයයි. විශ්වීය විනිශ්චය යනු ස්වර්ගය හා නිරය ඇතුළුව සියලු දෙනා වෙත පොදුවේ ලබාදෙන විනිශ්චයයි. පුද්ගල විනිශ්චයේදී තුන් ආකාරයකට එය වර්ග කරනු ලබයි.
1.දෙවියන් වහන්සේතේ අන්‍ය සත්වයනුත් වෙත ආදරයෙන් මියගිය තැනැත්තාගේ ආත්මය කිලිටි වී නැති බැවින් ඍජුවම සවර්ගය කරා කැඳවා ගනී.
2. පාපී ජීවිත ගතකළවුන් ඍජුවම අපාගත වේ.
3. පව්කමින් පළමුව ජීවත් වී කරුණු අවබෝධකර ගැනීමෙන් පසුව පශ්චාත්තාප වූ අය ස්වර්ගයට යෑමට පළමුව දුක්විඳිය යුතු ස්ථානයක ඉපදී අනතුරුව ස්වර්ගස්ථ වෙති.
යෙසුස් වහන්සේගේ ඉගැන්වීමට අනුව ජීවත් වූවන් ස්වර්ගයටත් අනෙක් අය නිරයටත් පමුණුවන බව එහි සඳහන් වේ. නිරය යනු සදාකාලික දණ්ඩනයේ ස්ථානයක් වන අතර ස්වර්ගය යනු දෙවියන් වහන්සේ සමඟ සමගාමී වීමකි.

       ඉස්ලාම් මතය අනුව මිනිසාගේ ජීවිතය භෞතික සිරුරේ විනාශයෙන් කෙළවර වී ආත්මීය කොටස අල්ලාහ් ගේ අවසාන විනිශ්චය දිනය දක්වා පවතී. මරණයේ සිට අවසාන විනිශ්චය දක්වා කාලය අල්බර්ෂාන් නමින් හැඳින්වෙන ස්ථානයේ පවතින බව සැලකේ. අවසාන විනිශ්චය දිනය දෙවියන් වහන්සේ විසින් තීරණය කරනු ලබන්නකි. මෙම දිනයට කලින් සියල්ලෝම මරණයෙන් උත්තානය වෙති. සියලු ආත්මයෝ මරණයෙන් උත්තානය වූ භෞතික සිරුරු සමඟම දේව දූතයන්ගේ මඟ පෙන්වීමෙන්, අල්ලාහ් අභිමුඛයට යති. සියලු ආත්මයන් කෙරෙහි දෙවියන්ගේ අවසන් විනිශ්චය ලැබෙන අතර, අනතුරුව ඒ සියල්ලන් ම අල්ෂිරාන් නම් වූ පාලම අසලට පැමිණේ. එහිදී පාපීන් එතෙර වන විට පාලම අසිපත් තුඩක් තරමට සිහින් වී ඔවුන් නිරයට හෙළන අතර අල්ලාහ්ට අනුකූල වූවන් එතෙර වන විට එය පුළුල් වී ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ. එහිදී සිදුවන වැදගත් දෙයක් නම් තම භෞතික සිරුර පසෙක දමා ආධ්‍යාත්මික සිරුරුවලින් යුක්තව දෙවියන් වහන්සේ සහ දේවදූතයකු සමඟ සදා සංතෘප්තිකව ස්වර්ගයේ කොටස්කරුවකු බවට පත්වීමයි.
සරථුස්ත්‍ර ආගම තුළත් ඉදිරිපත් කර ඇති මරණින් මතු පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් කිතුනු හා ඉස්ලාම් මතයට සමාන වේ. සදාතනික ස්වර්ගය, නිරය හා අන්තරාභවය යනුවෙන් කොටස් තුනකින් මරණින් මතු පැවැත්ම ගැන ඔවුහු කතා කරති. එහිදී වින්වන් පාලමනම් වු පාපින් හා ධාර්මිකයන් එතෙර කිරීමට උපකාරීවන ස්ථානයක් පිළිබඳ සඳහන් වේ. ඉස්ලාම් දහමෙන් මෙය වෙනස් වන්නේ මෙම පාලමෙන් එතෙර වීමේදී වොහුමාන් නමැති දේවදූතයකුගේ උපකාරය ලැබෙන හෙයිනි. සරථුස්ත්‍ර ආගමට අනුව ද නිරාගත ජීවිතය සදාකාලික වුවක් නොවන අතර වසර දොළොස් දහසක් ගතවූ පසුව නිරාගත වූවකුට ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.
මරණය සම්බන්ධයෙන් බෞද්ධ මතය මේ සියල්ලට ම වඩා වෙනස් වූවකි. පුද්ගලයාගෙ සිතෙහි අනුසය පවතී. (අනුසය යනු සිත තුළ යටපත්ව, සැඟව ඇති කුසලාකුසල බීජ සමූහයයි) තම තමා විසින් කරන ලද ක්‍රියාවේ බරපතළකම අනුව ඒවා සිත තුළ නිද්‍රෝපගතව පවතී. සිත නිතරම ක්‍රියාත්මකව පවතින්නකි. එය නවතා තැබීම දුෂ්කරය. එහි වේගය භෞතික රූප වෙනස්වීම් වේගයට වඩා දහහත් ගුණයකින් වැඩිය. සිතින් කරන කාර්යය දාහතරකි. මෙයින් පළමු වැන්න වන්නේ ප්‍රතිසන්ධි කෘත්‍යයයි. එනම්, මරණයෙන් ජීවිතය කෙළවර වන්නට ඉඩ නොදී නැවත උපතක් ඇති කිරීමයි. අවසන් කාර්යය නම් චුති කෘත්‍යයයි. එනම් එක් එක් භවය (ජීවිතය) කෙළවර කිරීමයි. මෙයින් උපත හා මරණය යන දෙකෙහි ස්වභාව පැහැදිලි කර තිබේ.පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතූපපාත ඤාණය මගින්, මරණයට පත් වූ පුද්ගලයාගේ පෙර භවයන් හා පසු භවයන් පිළිබඳ අදහස දක්වා තිබේ. මරණය හා මරණයෙන් පසු තත්ත්ව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී මෙයද වැදගත් සාධකයකි.
                   දස සංයෝජන (දස සංයෝජන යනු පුද්ගලයාග් නිදහස් චින්තනයට බාධා පමුණුවන සිතේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන කෙලෙස් දහයකි) සිඳලූ අයගේ මරණයෙන් මතු තත්ත්වයට කුමක් වුයේද යන්න විග්‍රහකර වචනාර්ථයෙන් දැක්වීම අපහසුය. පහන් දැල්ල නිවී යෑමෙන් අනතුරුව එය ගිය දිසාව සෙවිය නොහැකිවාත් මෙන්ම එයද සෙවිය නොහැකිය. එසේ නොවූ අය කරන කුසල,අකුසල කර්ම අනුව උත්පත්තිය ලබන බව තේවිජ්ජ , දේවදූත, චුල්ලකම්ම, මහාවිභංග ආදි සූත්‍රවලදී පැහැදිලි කර ඇත.
                      අධර්ම චර්යා, විසම චර්යා හේතුවෙන් ඇතැම් සත්වයෝ දුගතියේ උපදිති. ධර්ම චර්යා, සම චර්යා හේතුවෙන් ඇතැම් පුද්ගලයෝ සුගතිගාමි වෙති(මජ්ඣිම නිකාය වේරඤ්ජ සූත්‍රය) මිනිස් කයක් දරමින් සිටියදී ම කෙනකු සුනඛ හැසිරීම් අනුව ජිවත් වන්නේද මරණින් මතු ඔහු සුනඛයින් අතර ඉපදීමට බොහෝ ඉඩකඩ ඇත. (මජ්ඣිම නිකාය කුක්කුරවතිය සූත්‍රය) යම් පුද්ගලයකු මෙත්තා, කරුණා,මුදිතා, උපෙක්ෂා ආදී බඹ විහරණ පුරුදු කරන්නන් ද ඔහු බ්‍රහ්මයන් අතර උපදී (තේවිජ්ජ සූත්‍රය) කුසල අකුසල කර්මවලට අනුරූපව විපාක ලැබේ. ඒ අනුව පුද්ගලයකු මරණයෙන් පසුව තමා සිදුකර ඇති කර්ම ශක්තීන් අනුව නිරය, තිරිසන් යෝනිය, පේ‍්‍රත ලෝකය , මනුෂ්‍ය ලෝකය හා දිව්‍යලෝකය ආදි වූ උප්පත්ති ස්ථානයන්හි උපත ලැබිය හැකිය.



 මහසොනගෙ පත්ඉරුව සමග එක්ව සිටි ඔබට තුනුරුවන් සරණයි ...........!

මරණින්මතු I




                                 

                                         පදෙන හැම කෙනාම මරණයත් රැගෙන නේ එන්නේ මරණයට පසු මොකද වෙන්නේ මෙය ගැන හොද ලිපියක් මට ලැබුණා එය ශාස්ත්‍රපති ආර්.ඩී. ශි‍්‍රයානි හේමලතා මහත්මිය ලියු ලිපිය පින්වත් සොහොදරයන් සමග  බෙදාගන්නට අද දින මහසොනගෙ පත්ඉරුව තුළ  පල කර සිටිනවා 
මරණය හා එයින් අනතුරුව පුද්ගලයාට සිදුවන දේ ආගම මගින් පුළුල් ලෙස අර්ථකතනය කොට ඇත. ඒ හෙයින් එකී කරුණ පිළිබඳ ආගම වෙත වැඩි ඉඩක් වෙන්කොට දී ඇති බවද පෙනෙයි. එහෙත් ආගම් අතර පවතින මතවාදයන් සම්බන්ධයෙන් ද සමානතාවකට වඩා එකිනෙක වෙනස් මතවාදයන් දැකීම නිරීක්ෂණය කළ හැකිය.

                                පැරැණි ඊජිප්තු ඇදහිලි අතර මරණින් මතු ජීවිතය ගැන ක්‍රමානුකුලව දියුණු වූ නිගමන පැවැතිණි. මිනිසාගේ ආත්මය සිරුරින් පිටවී ලොවපුරා සැරිසරා නැවත සොහොන කරා එන බව විශ්වාස කළහ. මළගිය ඇත්තන්ගේ ආත්මය වසර දහස් ගණනක් පුරා විවිධ සතුන්ගේ ආත්මයන් සමඟ සම්බන්ධ වෙමින් පැවැතී, නැවැතත් මිනිස් සිරුරට ඇතුළු වන බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙසේ බොහෝ කලක් ගත වූ පසුත් ආත්මයට සිරුරට ඇතුළුවීම සඳහා මළ සිරුරු මමිගත කොට කල්තබා ගන්නා ලදී. මමිකරණයට සම්බන්ධ සියලු අවමංගල කටයුතු මියගිය තැනැත්තාට සිදුකරන ගෞරවයක් වශයෙන් සලකන ලදී. පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගැබ් තුළින් ඊජිප්තු මළගම්වලට අදාළ වැදගත් තොරතුරු හමු වේ. ඊජිප්තුවේ මළ සිරුරු මමිගත කිරිම සඳහා නීතියෙන් ම පත්කරන ලද විශේෂ පිරිසක් සිටි අතර අපරාධකරුවන්ගේ හා දඬුවම් ලැබූවන්ගේ මළ සිරුරු කිසි විටෙකත් මමිගත නොකරන ලදී.
                             
                                  මරණය හා සම්බන්ධ ගී‍්‍රකයන්ගේ තිබූ සිරිත් - විරිත් ඊජිප්තු සිරිත් - විරිත් තරම් උත්කර්ෂවත් නැත. ගී‍්‍රක දේශගුණය අනුව මරණයෙන් අනතුරුව සිරුර වැඩි දවසක් තබාගත නොහැකි වූ අතර ඔවුන්ගේ චාරිත්‍රයන් ද එයට අනුව ම සකස් විය. මිනී වැළලීමේ හා දැවීමේ සිරිත ඔවුන් අතර පැව තුණි. මළගිය තැනැත්තා විශේෂිත අයකු නම් ඔහු වෙනුවෙන් දුක්ගීත ගැයීම ද සිදු කරන ලදී. මළ සිරුර සමඟම යම් යම් වටිනා භාණ්ඩ භූ®මදානය කිරීමේ සිරිතක්ද, පැවැතුණි. මළවුන් සම්බන්ධයෙන් ගී‍්‍රකයන් අතර පැවැතියේ භය පක්ෂපාතී බවකි. හර්මේස් නමින් හැඳින්වෙන මළගිය ඇත්තන්ගේ දේවතාවා වශයෙන් සැලකෙන සංකල්පයක් ද හමු වේ.            

                        ඔහු මියගිය තැනැත්තාගේ සිරුරේ අරක්ෂකයා ය. මිය ගිය තැනැත්තාගේ අත්මයට ජීවත්ව ඉන්නවුන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාවක් ඇතැයි ගී‍්‍රකයෝ විශ්වාස කළහ. සොහොන් ගැබෙහි සිටින මියගිය තැනැත්තාට වතාවත් කළහොත් ඥාතීන්ට යහපත සැලසීමත් සතුරන්ට විපත් පැමිණවීමත් සිදුකළ හැකියැයි ඔවුන්ගේ විශ්වාස විය. ඇතැන්ස් අගනුවර මළවුන්ගේ දිනයක් උත්සවාකාරයෙන් පැවැත් වූ බවටද තොරතුරු හමු වේ. එහිදී සයනාසන හා කෑම බීම පිළියෙල කොට මළවුන්ට සංග්‍රහ කිරීමේ චාරිත්‍රයක්ද පැවැතුණි. මෙදින මියගියවුන් සිය නිවෙස්වලට පැමිණෙන බවත් මොවුහු විශ්වාස කළහ. (වර්තමාන ජපානයේ සෑම වසරකම ජූලි 13 වැනි දින මළවුන් වෙනුවෙන් පවත්වන උත්සවය ද මීට සමානය) සොහොන් ගැබ් තුළට බටයක් මගින් අහාර වත්කිරීමත්, සතකු බිලිදී සොහොන මත ඒ රුධීරය වැගිර වීමත් ඔවුන් අතර චාරිත්‍ර වශයෙන් පැවැතුණි.

                                                    රෝමන්වරු මළගිය තැනැත්තා භූමදානය කළහ. එසේ කළේ ඔහුට වරින් වර සොහොන් ගැබේ සිට පිටතට පැමිණීම සඳහායි. එම කටයුත්ත පහසු කිරීම සඳහා සොහොන් ගැබේ සිදුරක් තනා ඇත. භූමදාන කටයුතු නිසි පරිදි සිදුකිරීම මළගිය අය සඳහා සිදු කළ හැකි විශාලතම යහපත වශයෙන් සැලකේ. පරම්පරාවේ මිය ගිය අයගේ ප්‍රතිමා රැගත් පෙරහරකින් ගොස් නගරයෙන් පිටත සොහොන් බිමකදී මළ සිරුර භූ®මදාන කරන ලදී. වසරක් පාසා ඥාති මිත්‍රාදීන් සොහොන් ගැබට පුද පූජාවන් කිරීමද සිරිතක්ව පැවැතුණි. එහිදී ආහාර වර්ග ද මිය ගිය තැනැත්තා වෙනුවෙන් පුදන ලදී. මිය ගිය ඥාතීන් වෙනුවෙන් රෝමන්වරුන් ප්‍රධාන පූජා උත්සව දෙකක් සිදුකළ අතර පුජකවරුන් පවා එම කාලය තුළදී දෙව් මැදුරු ආදිය පවා වසා දමා මියගියවුන්ගේ පූජා උත්සව වෙනුවෙන් සම්බන්ධ වී තිබේ.
තම වංශ පරම්පරාවේ මිය ගිය අය වෙනුවෙන් වැඳුම් - පිදුම් කිරීම චීන ජනයාගේ සිරිතක් විය. මියයන තැනැත්තන් භූතයන් වන බවත් ඔවුන්ගේ සැබැ බලය ආරම්භ වන්නේ එයින් පසුව බවත් චීන ජනතාවගේ විශ්වාසය විය. මිය ගිය තැනැත්තන් ජීවත්ව ඉන්නවුන් විසින් සිදුකරනු ලබන පුද පූජා බලාපොරොත්තු වන බවද ඔවුහු විශ්වාස කළහ. ඉදිරියට සිදුවන්නට ඇති විපත් දැක ඒවා වැළැක්වීම ද යහපත උදාකරදී බලාපොරොත්තු ඉටුකරදීම ද භූතාත්මයේ කාර්යය යි. දඩයම, කෘෂිකර්මය හෝ යුද්ධය සාර්ථක හෝ අසාර්ථක කිරීමේ හැකියාව මිය ගිය අයට ඇත. දුර්භික්ෂය හෝ රෝග හා ජලගැලීම් ආදිය ද වැළැක්වීමේ හැකියාව ඔවුන් සතුව පවතී. භූතාත්මය සතුටු කිරිමෙන් යහපත ද අසතුටු කිරීමෙන් විපත් ද පැමිණේ. මළගියවුන් වෙනුවෙන් ස්වකැමැත්තෙන් වැළලී මියයෑම ද වැදගත් චාරිත්‍රයක් විය. මළගියවුන් පිදීම සඳහා පූජා චාරිත්‍ර සිදුකරන ස්ථානයක් සෑම නිවෙසකම තිබුණි. චීනයේ මළවුන්ගේ දෙවොල ප්‍රධාන ස්ථානයක් ගත් තැනකි.

                  

මාසය තුල සිත්ගත් ලිපි