01 February 2013

පැවිදිකමේ වටිනාකම

                             ම්බුඛාදක සංයුක්තයෙහි අකීකරු සූත්‍රාගත ධර්ම පාඨයකින් ධර්ම කරුණු ගෙන මෙම ලිපිය ඉදිරිපත් කරමි. සම්බුදු සසුනහි අති දුෂ්කර කාර්ය හතරක් ගැන එහි සඳහන් වෙයි. අන්න ඒ දුෂ්කර කාර්ය හතර පිළිබඳ සැරියුත් මහ රහතන් වහන්සේ එදා කරන ලද සාකච්ඡාවකුයි මෙහි දී විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ.එක් කලෙක සැරියුත් තෙරුන් මගධ දනව්වේ නාලගම වැඩ සිටින විට ජම්බුඛාදක පිරිවැජියා උන්වහන්සේ වෙත එළඹ වැඳ මෙසේ අසන ලදී.
“කින්නු ඛො ආවුසො සාරිපුත්ත ඉමස්මිං ධම්ම විනයෙ දුක්කරන්ති.”
“සැරියුත් හිමියනි, මේ ධර්ම විනයෙහි (සසුනෙහි) දුෂ්කර කාර්ය මොනවාද?”
මේ ප්‍රශ්නයට සැරියුත් තෙරුන් පිළිතුරු සපයන්නේ මෙසේය.
“පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්සිං ධම්ම විනයේ දුක්කරන්ති.”
මේ සම්බුදු සසුනෙහි පළමු දුෂ්කර කාර්යය වන්නේ පැවිදිවීමයි.
                        ගිහි ගෙය අත්හැර දමා සසුනෙහි පැවිදිවීම ඉතාම දුෂ්කර කාර්යයකි. කුඩා කල මවුපිය සෙනෙහස අත්හැර දැමීම, කෙළිලොල් ජීවිතය අමතක කිරීම, සම වයස යහළුවන්ගෙන් ඈත්වීම කෙතරම් අපහසුද? ඊටත් වඩා සුපුරුදු සමාජය අතහැර අලුත්ම සමාජයකට බැස ගැනීම කෙතරම් අසීරුද? ගිහි බැඳීම් අත්හැර දැමීම, පැවිදිවීමත් සමග සිදු වෙයි. ගිහි අය සමහර විට මේ බව එතරම් සිතන්නේ නැතිව ඇති. ඇතැම් අය ඉතා පහසු සරල දෙයක් ලෙස මෙය සළකති. එහෙත් එවන් අත්දැකීමක් ලදහොත් ගිහි ඔබ පුදුම විය හැකිය. අද සසුන්ගතවීම සඳහා ඉදිරිපත් වන දරුවන් ඉතා අල්පයි. අපේ බෞද්ධ මවුපියන් දරුවන් පූජා කිරීමට අද ඉදිරිපත් වන්නේ නැත. මේ නිසා සසුන භික්ෂූන් වහන්සේගෙන් හිස් වෙමින් පවතියි. මෙය ශාසනික වශයෙන් විශාල පරිහානියකි. බෞද්ධ කුළ නිවෙස්වල දරුවන් අඩුයි. සසුන රකින්නට දෙන්න දරුවන් නැත. සමහර විට දරුවන් සිටිතත් මේ දුෂ්කර පැවිද්දට අකැමැති වෙති.
                             මේ අති දුෂ්කර කාර්යයට බැස ගන්නා ඉතා සුළු පිරිස දෙස බෞද්ධ මහජනතාව විශාල බලාපොරොත්තු තබා ඇත. කුඩා කල පැවිදි වන සාමණේර නමකගෙන් එදා රහතන් වහන්සේ ළඟ තිබුණු වීතරාගී ගුණ අපේක්ෂා කරති. සර්වතෝභද්‍ර පුද්ගලයකු එමගින් ඔවුහු අපේක්ෂා කරති. මේ නිසා කුඩා සාමණේර නමකගෙන් සිදුවන වරද විශාල වරදක් කොට විවේචනය කරති. භික්ෂුවකගේ වරද පමණක් දකිමින් රෝෂාරෝපණය කරති. බොහෝ අය භික්ෂුවගෙන් සිදුවන ඉමහත් පරාර්ථ සේවාව ගැන ඇගැයීම් නොකරති. මේ නිසාම සමහර භික්ෂූහු කළකිරී අවතීර්ණ වූ දුෂ්කර කාර්යය පසෙක ලා නැවත ගිහි සමාජයට සංක්‍රමණය කරති. එම නිසා බෞද්ධ ඔබ දුටු වරද පුන පුනා විවේචනය නොකොට, පැවිද්ද ලැබීමේ දී ගිහි බැඳීම් වලින් ඈත්වීමට සිදුවීම, මවුපිය ඤාති සෙනෙහස අහිමිවීම ආදිය ගැන අවධානය යොමු කොට එම දුෂ්කර කාර්යය අගය කරන්නේ නම්, භික්ෂුවගෙන් සිදුවන කුඩා වරද පිළිබඳ උපේක්ෂා සහගත වනවාට කිසිම සැකයක් නැත. එසේ වූ විට පමණකි, භික්ෂුව රැක ගැනීමට උත්සුක විය හැකි වන්නේ. එය සම්බුදු සසුන රැකීමයි.ඊළඟට ජම්බුඛාදක සැරියුත් තෙරුන්ගෙන් මෙසේ අසයි. “පබ්බජි තෙන ඛො ආවුසො ඉමස්මිං ධම්ම විනයෙ කිං දුක්ඛරන්ති.”
පැවිදිවීමෙන් පසු තිබෙන දුෂ්කර කාර්ය කුමක්ද? මේ පැනයට සැරියුත් හිමියෝ මෙසේ පිළිතුරු සපයති.
“පබ්බජිතෙන ඛො ආවුසො අභිරති දුක්කරාති” පැවිදිවීමෙන් පසුව මුහුණ දෙන දුෂ්කරතාව මෙම සසුනෙහි ඇලීීමයි. ආශාව ඇතිකර ගැනීමයි.

                         අද බොහෝ අය පැවිදි වන්නේ ඒ පිළිබඳ අවබෝධයකින් නොවෙයි. මවුපිය පෙළඹවිම, කුඩා සිතට දැනෙන ආශාව හෝ පවුලේ අසරණ භාවය සමහර විට මේ සඳහා මුල් වෙයි. තවත් සමහර අය සසුන පිළිබඳ ඇල්මක්, ආශාවක්, ශ්‍රද්ධාවක් මුල් වීමෙන් සසුන් ගත වන බව කිව යුතු ය. එවැනි අය ගිහි ගෙය කළකිරී දිවියේ ඇති තතු මනාව වටහා ගෙන සසුන්ගත වෙති. ඒ අය සසුනෙහි ඇලෙති. සසුන ආරක්ෂා කර ගැනීමට උත්සුක වෙති. කුඩා කල පැවිදි වූ අය තුළ සසුනෙහි වටිනාකම ගැන අවබෝධයක්, ශ්‍රද්ධාවක් ඇති කළ යුතු ය. ඒ සඳහා ගැළැපෙන ශාසනික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ශාසනික අභිරතිය ඇති වන ලෙස ආරාමික පරිසරය හා විහාරස්ථාන කළමනාකාරිත්වය සැකැසිය යුතුයි. විහාරවාසී භික්ෂූන්ගේ මෙන්ම දායක පිරිසගේ කාරුණික අවධානය ඒ සඳහා තිබිය යුතුයි. එසේ වුවහොත් මෙම ශාසනික ඇල්ම ඇති කළ හැකිය. එවැනි ශාසනික හැඟීම් නොමැති වුවහොත්, අභිරතිය ඇති නො වුවහොත් විශාල ශාසනික පරිහානියක් සිදු වෙයි. භික්ෂූ ශාසනය පිරිහීමට පත් වෙයි. එම නිසා ශාසනාවතීර්ණ භික්ෂුවගේ ශාසනිකාභිරතිය ඇතිකරලීමට එම භික්ෂූවක් සසුනෙහි වගකිවයුතු මහා නායක අනු නායක ආදී ශාසන භාරධාරී තෙරුන් වහන්සේලාත්, සියලු බෞද්ධ මහජනතාවත් වගකීමෙන් සහ අවදියෙන් යුතුව කටයුතු කළ යුතු කාලය උදා වී ඇත.
ඊළඟ ප්‍රශ්නය ජම්බුඛාදක පිරිවැජියා මෙසේ අසයි.
                                       “අභිහරතෙන පන ආවුසො කිං දුක්කරන්ති” සසුනෙහි ඇලීම් ඇති භික්ෂුවට ඊළඟ අභියෝගය කුමක්ද? මේ සඳහා සැරියුත් හිමියෝ මෙසේ පිළිතුරු සපයති. “අභිරතේන ඛො ආවුසො ධම්මානුධම්ම පටිපත්ති දුක්කරානි,” එසේ ශාසනික ඇලීම් ඇති භික්ෂුවට ඊළඟට ඇති දුෂ්කර කාර්යය වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති පිරීමයි.සසුන්ගත වූ භික්ෂුව ගේ මූලික අරමුණ, “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය” යනුවෙන් පෙන්වා දී ඇත. සියලු සසර දුක් නැති කොට නිවන් දැකීමයි එයින් අදහස් වන්නේ. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පිරිය යුතු වත් පිළිවෙත් රැසක් සඳහන් වෙයි. එය ස්වාර්ථය පිණිසම හේතු වන අතර, පරාර්ථය සඳහා ද භික්ෂුව කටයුතු කළ යුතුව ඇත. මේ උභයාර්ථ සාධනය සඳහා විශාල කාර්ය භාරයක් භික්ෂුව විසින් ඉටු කළ යුතුව ඇත. භික්ෂුව සසුන්ගතවීමත් සමගම මෙම දුෂ්කර කාර්යයට අවතීර්ණ වෙයි. පොදු උත්තම ගණයේ වස්තුවක් වන භික්ෂුව ග්‍රාමවාසීවීම තුළින් අභියෝ රැසකට මුහුණ දෙමින් අභීතව ඉදිරියට යයි. ඉගෙනුම, ශාසනික වත් පිළිවෙත්, විහාරාරාම පවිත්‍රතා කටයුතු දායක කාරකාදීන්ගේ කුදු මහත් ආගමික කාර්ය, ආචාර්ය උපාධ්‍යාය ආගන්තුක සද්ධිවිහාරිකාදී යුතුකම් යන මේ සියල්ල සපුරාලිය යුතු ය. මෙවැනි විශාල කාර්ය භාරයක් ඉටු කරන බෞද්ධ භික්ෂූව “චරථ භිකඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය” යන අනුශාසනාවට අනුව පරාර්ථයේ ප්‍රතිමුර්තියකි.
                                   එහෙත් සමහර බෞද්ධයෝ භික්ෂුව සැහැල්ලුවට ගණන් ගෙන ඇත. බෞද්ධයාගේ දානයට, බණට, මරණයට පමණක් සීමා වූ කෙනකු ලෙස සළකති. කිසි රාජකාරියක් නොමැති පූජකවරයකු ලෙස පිළිගනිති. ඒ සියල්ල ඇතැම් බෞද්ධයන්ගේ වැරැදි තක්සේරු වෙයි.අතීතයේ සිට අද දක්වාම භික්ෂූන් වහන්සේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ය. මේ බව මනාව වටහා ගත් භික්ෂුව තම ජාතිය ආගම වෙනුවෙන් කැප වෙමින් බෞද්ධ ජනතාවගේ විමුක්තිකාමියා වෙමින් තම ආත්ම විමුක්තිය සඳහා ද කැප වී කටයුතු කරයි.ඊළඟට අපේ අවධානය යොමු වන්නේ මෙම සූත්‍රාගත හතර වන (අවසාන) ප්‍රශ්නය ගැනයි.

“කිව චිරං පනාවුසො ධම්මානුධම්ම පටිපන්නො
භික්ඛු අරහං අස්සාති”
ඒ ධර්මානුධම්ම පටිපන්න භික්ෂුව කොපමණ කලකින් රහත් වන්නේද?
   “න චිරං ආවුසො’ති” ඉතාම කෙටි කලකින් මේ තත්ත්වයට පත්වන බව සැරියුත් හිමියෝ පැහැදිලි කරති.
මේ අනුව ඉහත සඳහන් කළ පරිදි සසුන් ගත භික්ෂුවගේ අරමුණ නිවන් දැකීමයි. නිවන ලැබීමට ධම්මානු ධර්ම ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. ශීල ප්‍රතිපත්ති භාවනා මාර්ග අනුගමනය කිරීමෙන් නිවන් මඟ පාදා ගත හැකිය.අද මේ අරමුණ අමතක වී ඇති බව පෙනෙයි. “අඤ්ඤාහි ලාභප්‍රතිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ උපයන මඟත්, නිවන් මඟත් දෙකක් බව බුදුරජුන් විසින් දක්වා ඇත. ඒ අනුව භික්ෂුව ගිහි සමාජය සමග ජීවත් වුණත් ඔවුන් සමඟ නොගැටී, ඒ මඟ නොගොස් නිවන් ලබන මඟ දැන ගමන් කළ යුතුය. එවිට භික්ෂූ ජීවිතයේ ප්‍රධාන අරමුණ ඉටු කර ගත හැකිය.

                        මෙම ලිපිය කියවන කල අප භික්ෂු ශාසනය ගැන නොයෙක් සිතිවිලි වලින් පිරුණ ඇයි මෙහෙම කියනා තැනට ඇවිත් නතර උනා.. මගතකරන ජීවිතය තුල හමුවූ මිනිසුන්ගෙන් බහුතරයක් කතාවනුයේ සුළුතරයක් හිමිවරුන් කරනා වූ යම්යම් අකටයුතුකම්ය, අප දායකයන් ලෙස සිව් පසයෙන් ඇප උපස්ථාන කරන්නෙ නම් මෙවැනි ගැටළු පැන නගින්නෙ නැත,තව දෙයක් අපි ගරුතර භික්ෂුන් වෙත ඇගිල්ල දිගුකරන්නට ම පෙළ ගැසී සිටීම කිසිසේත් ම හොද කාරණයක් නොව,ඔබට ඔබ පවුලහි සාමාජිකයකු වැරද්දක් කල කළ එයට පියවර ගත හැකිය නමුත් භික්ෂුවක්ගෙ වැරදි හික්මීමක් තුළ ගිහියන් ලෙස කෑකොගසමින් විලාප තැබීම සිදුකිරීම නොකලයුතුය මන්ද එය භික්ෂු ශාසනය තුලින් එය පාලනය වන නිසාවෙනි, එලෙස දඩුවම් ලද හිමිවරු ප්‍රකටය ඔබට සිහියට නැගෙනු ඇත..හිමිනමකට බැනවැදීම නොකළ යුතු යයි ම පවසනුයේ මෙවැනි කරන නිසාවෙනි එනම් දාහකුත් සිල්  ආරක්ස කරමින් භික්ෂු ශාසනය තුල සිටින නිසා මොකද ගිහියන් වන අපට පංච සීලයවත් ආරක්ස කරගන්නට බැරිව පොය දිනකටවත් පන්සලකටවත් නොයා මෙලෝ පිනක් නොකර අපි වැරදි කරන්නෙය් නෑ කියන්නේ ම පෙර කිවූ බහුතරයක් මිනිසුන්ය..මිනිසුන් පවට බරය..පවට පින්දිය නොහැකිය ලෙස කියනුයේ නිකමට නොවේ,ඉහත ලිපිය බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී, ගා/ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය, බද්දේගම ශාසනාක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති, බලගොඩ සිරිනිවාස හිමියන් විසින් ලියන ලද ලිපිය අද දින මෙසේ මහසෝන් පත්ඉවුරට උපුටා ගැනුනි                                        

1 comment:

samarasekara sithuvili said...

හරිම වටිනා අදහස් ගොන්නක්. ඔබේ ලිපියේ පහලින් තිබු link එක පාවිච්චි කරලා ඔබේ අවසරය මත මගේ බ්ලොග් එකට ඒක දැම්මා. මම කොම්පුටර් තාක්ෂනය ඉගෙන ගන්නේ කොම්පුටර් එකෙන්ම (විධිමත් පරිගණක අධ්‍යාපනයකින් තොරව) බැවින් ඉඩක් තිබේ නම් මගේ blog එක බලල එය වැඩි දියුණු කිරීමට උපදෙස් ටිකක් දෙනවා නම් මම ඒකට කැමතියි.

සමරසේකර

karunadasa68.blog sport.com

මාසය තුල සිත්ගත් ලිපි