Showing posts with label බෞද්ධයා. Show all posts
Showing posts with label බෞද්ධයා. Show all posts

23 November 2013

බුදු දහම තුල රැදෙන්න කාටද ?



                        අද මගේ ධර්ම දානයට මාතෘකාව අනුරුද්ධ සූත්‍රය යි.මෙයට හේතුව නම් අප ගත කරනා ජීවිතය තුල බුදු දහම වැඩියෙන් පිහිටා සිටිනුයේ කාසමගද,ලෝකය මිනිසා තාක්ෂනය හා මිල මුදල් බලය ආදිය සමග තරග වදින කොට මිනිස් සිත තුල පහන් සිතිවිලි සියල්ල පහත් සිතිවිලි බවට පත්වෙනවා, ඇයි එම වෙන්නේ කියල බැලුවොත් අප ගොඩක් දෑ එකතුකරන් සීමිත පරමනයක් බුක්ති විදිනවා, අසාවන් පොඩි බදින්න බදින්න අප ජීවිතය තව තව බර එකතු කර ගන්නවා, මේ ගැන ලිපියක් රත්මලාන, අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති සූරියගොඩ සිරිධම්ම නා හිමි විසින් ලියල තියනවා මම 1 උපුටා ගත්තා, 
                           බුදුරජාණන් වහන්සේසුංසුමාරගිරිකියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම් වනයෙහි වැඩවෙසෙන කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ ප්‍රාචීනවංශ අභය භූ®මියෙහි වැඩ සිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව වැඩවසන්න මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා පුදුම විදිහේ අදහස් කීපයක් පහළ වුණා.
අප්පිච්ඡායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස
                                           මේ ධර්මය අල්පේච්ඡ අයට යි. මහා බලාපොරොත්තු ගොන්නක් ඇති අයට නොවෙයි. බොහෝ ආශා ඇති අයට නොවෙයි යනු අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවුණා අදහසක්.බුදුදහම ප්‍රායෝගික යි. අල්පේච්ඡ ජීවිත ගතකරන ඕනෑ ම කෙනෙකුට මේ දහම පිළිගන්න පුළුවන්. නූතන සමාජය මෙවැනි මානසික ධර්මතාවයන් නොමැති නිසා ප්‍රශ්නවලට මැදිවී සිටිනවා. බුදුදහමේ නිසිඵල නෙලාගැනීමට හැකිවන්නේ අල්පේච්ඡ බව අගය කරන අයට යි. ගිහි පැවිදි කාටත් සතර අකාරයකින් අලේපේච්ඡ වීම වැදගත් බව පෙන්වා දෙනවා. අප කාටත් අවශ්‍ය කරන ප්‍රත්‍යය සතරක් තිබෙනවා.ඇදුම් පැළඳුම් ආහාර නිවාස සහ බෙහෙත් යන මූලික අවශ්‍යතාවන්. මේ මූලික අවශ්‍යතා පිළිබඳව සරල බවත්, චාම් බවත් තිබෙන්නට ඕනේ. අවුරුද්ද කිට්ටුවෙන කොට සමහර අය ඇඳුම් ගන්න පෝලිමේ බොහෝ දෙනෙක් ප්‍රමාණයට වඩා ඇඳුම් එකතු කරගෙන ඇඳුම් වලින් අල්පේච්ඡ වෙලා නැහැ.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට නියම කළේ තුන් සිවුරයි. පාත්තරය යි. එය කොතරම් සරල ද චාම් ද කියා සිතා බලන්න. ගිහි ජනතාව මංගල උත්සවයෙන් උත්සවයට අලුත් ඇඳුම් ගන්නවා. මේ ආකාරයට ජීවත්වෙන්න ගියාම ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා ඇඳුම් පැළඳුම්වලින් අල්පේච්ඡ වීම වාසිදායක යි.
දෙවනුව කෑම් බීම් වලින් අල්පේච්ඡ වීම වැදගත්. අද විවිධ ආකාරයේ ආහාර. බොහෝ දෙනෙක් කැමැති ක්ෂණික නිෂ්පාදන කෑම වලට. නමුත් ඒවා රසකාරක වලින් බහුල යි. අපව ඉක්මනින් රෝගී තත්ත්වයට පත්කරනවා. ආයුෂය, බලය අඩු කරනවා. කෑම වලින් අල්පේච්ඡ වෙනවා කියන්නේ නොකා නොබී සිටීම නොවෙයි. දුටු දුටු බොහෝ දේවල් අනුභව කරනවාට වඩා ශරීර සෞඛ්‍යයට හිතකර දේ පමණක් ගැනීම වැදගත් වෙනවා.
තෙවනුව සෙනසුන්වලින් අල්පේච්ඡ වීම, අපේ සමහර අය මේ අංශයෙන් ද අල්පේච්ඡ වී නැති බව පෙනෙනවා. කුරුල්ලකුට වුණත් ඉන්න කූඩුවක් අවශ්‍ය කරනවා. ගිහි සැමටත් ඉන්න නිවසක් අවශ්‍ය යි. එය අල්පේච්ඡ වුණ තරමට සිතට සැනසීමක් ලැබෙනවා.
තෙවන කරුණ සෞඛ්‍ය ය. සමහර අයට මේ රටේ ඉහළ ම රෝහල්වලට ගොසින් ප්‍රතිකාර ලබන තුරු රෝගය සුව වන්නේ නැහැ
තවත් කෙනෙකුට කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම සුවපත් භාවය ලැබෙනවා. ඒ නිසා මේ අංශයෙන් ද අල්පේච්ඡ වුණ තරමට හොඳයි. මේ කියන ඇඳුම්, ආහාර, සෙනසුන්් සෞඛ්‍යය යන අංශවලින් අල්පේච්ඡ ජීවිත ගතකරන අයටයි බුදුදහම.
                              පරියත්ති අල්පේච්ඡතාවයක් ඇති අයටයි බුදුදහම. සමහර අය නැති ගුණ පෙන්වන්න යනවා. නො ලබා ඇති මාර්ග ඵල පිළිබඳ පෙන්වන්න උත්සහ කරනවා. සෝවාන්ඵල ලාභී අසවලාගේ පොත කියවන්න කියල පුවත්පත්වල දැන්වීම් පවා පළ කරනවා. තමන් ධර්මය දන්න කෙනෙක් බව අමුතුවෙන් ලෝකයාට ප්‍රසිද්ධ කරන්නේ නැහැ නියම බෞද්ධයා. මෙන්න මේ කාරණාවලින් අල්පේච්ඡ ඕනෑම කෙනකුට බුදුදහම පිළිපදින්න පුළුවන් බව සිතට ගන්න.
                                         බුදුදහම කා සඳහා ද? යන ප්‍රශ්නයට අදාළ දෙ වන පිළිතුර ඊළඟට පහදා දෙන්න අපේක්ෂා කරනවා. අප ප්‍රශ්න කළොත් වැඩිහිටියකුගෙන් හරි තරුණ කෙනකුගෙන් හරි බුදුදහම කා සඳහා ද? කියල පිළිතුරු ලැබේවි කළකිරුණු අයට යි. නැත්නම් වයසක උදවියටයි එසේත් නැත්නම් බෞද්ධයන්ට යි කියලා. නමුත් ධර්මානුකූ®ලව කල්පනා කරන විට ඊට වඩා හාත්පසින්ම විරුද්ධ පිළිතුරක් ඇතුළත් වෙලා තිබෙනවා ධර්මයේ. ඒ තමා, සන්තුට්ඨායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්සමේ දහම සතුටෙන්, සන්තෝෂයෙන් ඉන්න අයට යි. අසතුටෙන් අසන්තෝෂයෙන් අමනාපයෙන් ඉන්න අයට නො වෙයි. මේ සන්තෝෂය සතුට ජීවිතයට ඉතා වැදගත්. මනස සැහැල්ලු තරමට කය සැහැල්ලු තරමට අප නිරෝගිමත් වෙනවා.
                                      බුදුහාමුදුරුවන්ගේ් දේශනාවට අනුව උත්සාහයෙන් වීර්යයෙන් ධාර්මිකව හරිහම්බ කරන්න තහනමක් නෑ. බාධාවක් නෑ. වෙර වීරියෙන් හම්බකරල හුඟක් ලැබුණත්, ටිකක් ලැබුණත් ඒ ලැබෙන ප්‍රමාණයට සතුටට පත්වෙන්න, සෑහීමට පත්වෙන්න හැකියාව තිබෙනවා නම් එය ඉතා උසස් ගුණාංගයක්. එය ධර්මයේ උගන්වන්නේ යථාලාභ සන්තෝෂය කියලයි. සමහර අයට කොපමණ ලැබුණත් මදි. අතෘප්තිකරයි. බොහෝ ය සතුටින් නො වෙයි ඉන්නේ. ඒ නිසා පින්වතුනි බුදුදහම එබඳු අයට නොවෙයි. අපි කවුරුත් කැමති නැහැ කාගෙවත් වැඩකාරයො වෙන්න. එනමුත් අපි දන්නෙම නැතුව එක අයකුගෙ වැඩකාරයො වෙලයි ඉන්නේ. ඒ තමයි තෘෂ්ණාවේ වැඩකාරයෝ අපි. අපේ ආශාවන්ට ඕන විධියටයි අපි කවුරුත් හැසිරෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනෙ. නැතිනම් අපේ සතුට පලා යනවා. අසහනය ළඟා වෙනවා. එතකොට ප්‍රශ්න වැඩිවෙනවා.
                                         මොකක්ද? මේ අසහනය. අද සමාජයේ නිතර නිතර ඇසෙන වචනයක් මෙය. අපෙ බලාපොරොත්තු වැඩියි. ප්‍රාර්ථනා එමට යි. නමුත් හිතන තරමට ලැබෙන්නේ් නැහැ. ලැබෙන ප්‍රමාණය යි බලාපොරොත්තුª ප්‍රමණය යි අතර විශාල පරතරයක් තියෙනවා. මේ හිඩැස තමයි අසහනය. අන්න ඒ නිසා වුවමනාවට වඩා බලාපොරොත්තු ඇතිකර ගත්තහම ඒවා ඉෂ්ට කරගන්න බැරිවන විට සිතට කිසිම සතුටක් නැහැ. සහනයක් නෑ. එනිසා තම තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ආශාවන් පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක තමයි අප ජීවත් වන්නේ. අපේ හිතේ් තිබෙන ප්‍රශ්න අඩුකරගෙන සිත සැහැල්ලු කරගෙන ජීවත්වීම තමයි වටින්නේ. එතකොට ඒ ජීවිතය තමන්ටත් බරක් නෑ. අනුන්ටත් බරක් නෑ. සමාජයටත් බරක් නෑ. සැහැල්ලු ජීවිතය තමන්ට ම සතුට ගෙන දෙනවා. සතුට පවතින්නේ් භෞතික භාණ්ඩ මත නොවෙයි. සමහර අය සිතන්නේ ගෙවල් දොරවල්. මිල මුදල් යාන වාහන තිබුණම සියල්ල සම්පූර්ණයි කියලා.
                                        සතුට අධ්‍යාත්මය හා සම්බන්ධ යි. සමහර අයට යාන වාහන රැකී රක්ෂා තිබෙනවා. නමුත් ජීවත්වන්නේ සතුටෙන් නොවෙයි. සමහරු බොහොම දැන උගත් නමුත් සතුට නැහැ. සමහර අය බොහොම ලස්සන යි.නමුත් සතුට නැහැ. ඒත් පාරේ ඉන්න අහිංසක මනුෂ්‍යයෙක් ළඟ අර බොහෝ දේවල් තිබෙන අය ළඟ නැති සතුට තිබෙනවා. ජීවිතයේ සැඳෑ සමයේ ආපසු හැරී බලනවිට සතුටු වියහැකි ජීවිතයක් ගතකර තිබෙනවා නම් එය වටිනවා. මගෙන් සමාජයට ආගම දහමට දරුවන්ට නෑදෑයන්ට රටට සේවයක් සිදුවී ඇතැයි අවංකව ම සතුටුවිය හැකි නම් ඒ ජීවිතය වටිනවා. එබඳු සතුටක් භුක්ති විඳින අයට බුදුදහම අර්ථවත් ලෙසට පිළිපදින්න පුළුවනි. පින්වතුනි තුන් වෙනුව
පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංසරිකාරාමස්සබුදුදහම විවේක ඇති අයට යි. රංචු ගැසී කාලය කා දමන අයට නො වෙයි.
කාලය රන් හා සමාන යයි අතීතයේ කීවා. අද කියන්න වෙලා තිබෙන්නේ කාලය මිල කළ නො හැකියි. කාලය සීමා සහිතයි. ඒ සීමා සහිත කාලයෙන් අසීමිත කාර්ය භාරයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව හැමදෙනාම සිතට ගැනීම වැදගත්. කාර්ය බහුලව සමූහ වශයෙන් ඉන්න අයට බුදුදහම පිළිපදින්න අපහසු යි. පිළිපදින්නට හැකිවන්නේ විවේකය පි‍්‍රය කරන අයට යි.විවේකය කියන්නේ වැඩ පල නොකර පැත්තකට වෙලා ඉන්න එක නො වෙයි. ධර්මානුකූ®ලව විවේකය කායික විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියා කොටස් තුනකට බෙදා තිබෙනවා. කාය විවේකය කියන්නේ ශරීරයට විවේක දීම.
             දෙ වන කරුණ චිත්ත විවේකය යි. එයින් අදහස් කරන්නේ සිතට විවේක දීම. වත්මන් සමාජය හරිම සංකීර්ණයි. හැම තැන ම විවිධ ප්‍රශ්න ගැටලු. මේ අභියෝගවලට මුහුණ දීල ජයගන්න නම් මානසික විවේකය අවශ්‍ය යි. මානසික විවේකය ලබාගෙන මොහොතක් බුදුගුණ, දහම් ගුණ, පරිත්‍යාගය, මරණය ගැන මෙනෙහි කරන්න. එසේ කිරීමෙන් නිතිපතා අපිරිසුදු වන ඔබේ සිත මොහොතකට හෝ පහන් වේවි. පිවිතුරු මනස සැප එළවනවා.
           තුන් වන කාරණය තමා උපධි විවේකය. ජීවිතයක් සාර්ථක කරගන්න කෙලෙසුන්ගෙන් විවේක ගැනීම අවශ්‍ය යි. නමුත් සමහර අය කෙලෙස් වැඩිකර ගන්නවා. මුළු දවසෙම හම්බ කරනවා. හැන්දෑවට බීල ඇවිත් වටේම ඉන්න අයටයි අම්මටයි තාත්තටයි බැනල නිදා ගන්නවා. එහෙම නැතුව කෙලෙස් අඩුකර ගන්න අයත් ඉන්නවා.
           හතරවන කාරණය තමා මේ බුදුදහම වීර්යවන්ත අයට යි කියන එක. එසේ නැතුව කුසීතව කම්මැලිව ඉන්න අයට නොවෙයි. සෑම මිනිසකු තුළ ම අනිවාර්යයෙන් ම තිබිය යුතු ගුණංගයක් තමයි වීර්ය ය. ඒ තත්ත්වය තමා ළඟ නැත්නම් තම චරිතයට ජීවිතයට සමීප කරගත යුතුම ය. අකුසල් දුරුකර ගැනීමටත් කුසල් දියුණු කර ගැනීමටත් වීර්යය අවශ්‍ය ම ය. වීර්යය යන ගුණ ධර්මය ප්‍රගුණ කළ නිසා පුරුදු පුහුණු කළ නිසා සියල්ල දත් බුදුහාමුරුවන් වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් නමක් ගැන අපට ඉගෙන ගන්න ලැබුණා. ඒ චරිතයෙන් අප අපගේ ජීවිතයට උපරිම ලෙස චරිතාදර්ශ එකතු කරගන්න උත්සාහ කරමු. ජීවිතයට අභියෝග ආ විට අඬ අඬා ඉන්නේ නැතිව පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ නැතුව අභියෝගය ජයගන්න උත්සාහ කිරීමයි අවශ්‍ය වන්නේ. එබඳු උත්සාහය වීර්යය ඇති අයට තමයි මේ බුදුදහම.
පින්වතුනි, උපට්ඨිත සතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මට්ඨස්සතිස්සබුදුදහම එළඹ සිටි සතියෙන් යුක්ත අයට යි. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරන අයට නොවෙයි. මතක ශක්තිය දුර්වල වුණාම බොහෝ අවැඩ සිද්ධ වෙනවා. අතපය කඩන්නේ නැතුව දුක් මහන්සි වෙලා හදා වඩා ඇතිදැඩි කළ දෙමව්පියන් සමහර දරුවන්ට අමතක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සතිය හැම තැන ම අවශ්‍ය දෙයක් බව. හිතන කියන දේවලට පමණක්් නොවෙයි ඉන්ද්‍රිය මගින් සිදුකරන සෑම ක්‍රියාදාමයකට ම සිහිය නැත්නම් සතිය අවශ්‍ය යි. ඒ එක්කම භාවනාවකින් සිත එකඟ කරගන්නත් සතිය හොඳට පුරුදු පුහුණු කරල තිබීම අවශ්‍ය කරනවා.
විවේකීව වැඩ සිටින අනුරුද්ධ හාමුදුරුවන්ට මෙහෙම අදහසක් පහළ වෙනවා.සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්සමේ දහම තැන්පත් සිතක් ඇති අයට යි. සිත විසිරිලා විකෂිප්ත වෙලා ඉන්න උදවියට නොවෙයි. කාරණා පහක් සිතේ් බලවත්වන විට සිත හරිම වික්ෂිප්ත යි. කලබලයි. ඒ තමා පංචනීවරණ ධර්ම. ඉඳුරන් පිනවීමට යාමෙන් සිත වික්ෂිප්ත වෙනවා. ඒවා හැකිතාක් පාලනය කර ගත්තොත් ආර්ථික වශයෙන් ද සෞඛ්‍යමය වශයෙන් ද වැදගත් වෙනවා. දෙ වන කරුණ තමා තරහව. මේ තරහව අපේ සිත වසා ගත්තම ඇතිවන තත්ත්වය විස්තර කළ හැකියි. සිතේ තරහව ඇති වුණාම හොඳ නරක තේරුම් ගත නො හැකියි. කරන කියන දේ ගැන ඉන්න තැන ගැන අවබෝධයක් නැහැ.
තුන්වන බලවේගය තමයි ථීනමිද්ධ ය. සිතේ සහ කයේ ඇතිවන මැලි ගතිය තමයි ථීනමිද්ධ කියන්නේ, සිතේ් නිදිමත ගතිය අලසකම ඇති නොවීමට වැඩ සැලසුම් කර ගැනීම දියුණුවේ ලක්ෂණයක් බව සිතට ගන්න. සිත නො සන්සුන් කරන අනෙක් කාරණය තමයි උද්දච්ච කුක්කුච්ඡ ය. එයින් කියන්නේ සිතේ නොසන්සුන්කම යි. සමහර අය හරි කලබල යි. කලබලයට වැඩ කරන්න ගිහින් විවිධ විපත්වලට මුහුණ පානවා. සිත කැලඹුණ විට නො සන්සුන් වූ විට මතකය අවදිවන්නේ නැහැ. එනිසා කලබල වන්නේ නැතුව වැඩ කරන්න කල්පනාකාරී වන්න.
අනෙක් කරුණ තමයි විචිකිච්ඡාව. සෑම දෙයක් ගැනම සැක කරනව. ප්‍රධාන වශයෙන් තුණුරුවන් ගැන සැක කරනවා ඉපදීම ගැන. දෙමව්පියන් ගැන සැක කරනවා. සැකය දියුණුවට බාධාවක්. ඉක්මණින් ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් සංවර වූ සිතක් ඇති අයට මිස අසංවර වූ සිතක් ඇති අයට නො වෙයි.
අවසාන වශයෙන් පින්වතුනි, මේ බුදුදහම බුද්ධිමත් අය සඳහා ඳස මෝඩ අයට නො වන බව බුදුපියාණෝ මෙහෙම දේශනා කරල තියෙනවා. මේ දහම ප්‍රඥාවන්ත අයට මිස මෝඩ අයට නො වේ. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවට මුල් තැනක් දෙන දර්ශනයක්. එය භක්ති මාර්ගයක් නොවෙයි. බුද්ධි මාර්ගයක්. ප්‍රඥාව මිනිසකු සතු උසස් ම වස්තුවක්. යම් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක වන්නනම් ඒ පුද්ගලයා ගුණයෙන් පිරුණු කෙනෙක් වෙන්නත් ඕන. ප්‍රඥාවෙන් යුක්ත වෙන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා. ඔහු සිල්වතෙක්, ගුණවතෙක් කියලා. ඒ නිසා සීලය යි. ප්‍රඥාව යි ලෝකයෙ අග්‍රයි කියලා දක්වලා තිබෙනවා. එහෙම නම් අප ඕනෑ ම කෙනකු ළඟ තිබිය යුතු වැදගත් ම ගුණාංග දෙකක් තමයි සීලය යි. ප්‍රඥාව යි.
                  නැත්නම් ගුණය යි. නුවණ යි. ගුණවත් නො වී නැණවත් නොවී මොන තරම් දේ කළත් අර්ථයක් නැහැ.බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කරල තිබෙන්නේ අධික තෘෂ්ණාවෙන්, වැරැදි අදහස්වලින්, අධික මානයෙන් ඉන්න අයට නොවෙයි. ඒවා අවම කරගන්න උත්සාහ දරන නිවන් සොයන, නිවනට ඇළුණු අයට යි. අපගේ ජීවිතය කෙටියි. ඒ කෙටි කාලය තුළ ගුණදම් පුරන්නට යුතුකම් ඉටුකර ලන්නට, හැකිතාක් නුවණ වැඩෙන ක්‍රියා කරන්නට කටයුතු කිරීම වැදගත්. අපේ සිත්වලට ගලා එන පවිටු චේතනා පවිටු අදහස් බැහැර කරමු. සෝදා හරිමු. සිත් සතන් පිරිසුදු කර ගනිමු.

01 February 2013

පැවිදිකමේ වටිනාකම

                             ම්බුඛාදක සංයුක්තයෙහි අකීකරු සූත්‍රාගත ධර්ම පාඨයකින් ධර්ම කරුණු ගෙන මෙම ලිපිය ඉදිරිපත් කරමි. සම්බුදු සසුනහි අති දුෂ්කර කාර්ය හතරක් ගැන එහි සඳහන් වෙයි. අන්න ඒ දුෂ්කර කාර්ය හතර පිළිබඳ සැරියුත් මහ රහතන් වහන්සේ එදා කරන ලද සාකච්ඡාවකුයි මෙහි දී විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ.එක් කලෙක සැරියුත් තෙරුන් මගධ දනව්වේ නාලගම වැඩ සිටින විට ජම්බුඛාදක පිරිවැජියා උන්වහන්සේ වෙත එළඹ වැඳ මෙසේ අසන ලදී.
“කින්නු ඛො ආවුසො සාරිපුත්ත ඉමස්මිං ධම්ම විනයෙ දුක්කරන්ති.”
“සැරියුත් හිමියනි, මේ ධර්ම විනයෙහි (සසුනෙහි) දුෂ්කර කාර්ය මොනවාද?”
මේ ප්‍රශ්නයට සැරියුත් තෙරුන් පිළිතුරු සපයන්නේ මෙසේය.
“පබ්බජ්ජා ඛො ආවුසො ඉමස්සිං ධම්ම විනයේ දුක්කරන්ති.”
මේ සම්බුදු සසුනෙහි පළමු දුෂ්කර කාර්යය වන්නේ පැවිදිවීමයි.
                        ගිහි ගෙය අත්හැර දමා සසුනෙහි පැවිදිවීම ඉතාම දුෂ්කර කාර්යයකි. කුඩා කල මවුපිය සෙනෙහස අත්හැර දැමීම, කෙළිලොල් ජීවිතය අමතක කිරීම, සම වයස යහළුවන්ගෙන් ඈත්වීම කෙතරම් අපහසුද? ඊටත් වඩා සුපුරුදු සමාජය අතහැර අලුත්ම සමාජයකට බැස ගැනීම කෙතරම් අසීරුද? ගිහි බැඳීම් අත්හැර දැමීම, පැවිදිවීමත් සමග සිදු වෙයි. ගිහි අය සමහර විට මේ බව එතරම් සිතන්නේ නැතිව ඇති. ඇතැම් අය ඉතා පහසු සරල දෙයක් ලෙස මෙය සළකති. එහෙත් එවන් අත්දැකීමක් ලදහොත් ගිහි ඔබ පුදුම විය හැකිය. අද සසුන්ගතවීම සඳහා ඉදිරිපත් වන දරුවන් ඉතා අල්පයි. අපේ බෞද්ධ මවුපියන් දරුවන් පූජා කිරීමට අද ඉදිරිපත් වන්නේ නැත. මේ නිසා සසුන භික්ෂූන් වහන්සේගෙන් හිස් වෙමින් පවතියි. මෙය ශාසනික වශයෙන් විශාල පරිහානියකි. බෞද්ධ කුළ නිවෙස්වල දරුවන් අඩුයි. සසුන රකින්නට දෙන්න දරුවන් නැත. සමහර විට දරුවන් සිටිතත් මේ දුෂ්කර පැවිද්දට අකැමැති වෙති.
                             මේ අති දුෂ්කර කාර්යයට බැස ගන්නා ඉතා සුළු පිරිස දෙස බෞද්ධ මහජනතාව විශාල බලාපොරොත්තු තබා ඇත. කුඩා කල පැවිදි වන සාමණේර නමකගෙන් එදා රහතන් වහන්සේ ළඟ තිබුණු වීතරාගී ගුණ අපේක්ෂා කරති. සර්වතෝභද්‍ර පුද්ගලයකු එමගින් ඔවුහු අපේක්ෂා කරති. මේ නිසා කුඩා සාමණේර නමකගෙන් සිදුවන වරද විශාල වරදක් කොට විවේචනය කරති. භික්ෂුවකගේ වරද පමණක් දකිමින් රෝෂාරෝපණය කරති. බොහෝ අය භික්ෂුවගෙන් සිදුවන ඉමහත් පරාර්ථ සේවාව ගැන ඇගැයීම් නොකරති. මේ නිසාම සමහර භික්ෂූහු කළකිරී අවතීර්ණ වූ දුෂ්කර කාර්යය පසෙක ලා නැවත ගිහි සමාජයට සංක්‍රමණය කරති. එම නිසා බෞද්ධ ඔබ දුටු වරද පුන පුනා විවේචනය නොකොට, පැවිද්ද ලැබීමේ දී ගිහි බැඳීම් වලින් ඈත්වීමට සිදුවීම, මවුපිය ඤාති සෙනෙහස අහිමිවීම ආදිය ගැන අවධානය යොමු කොට එම දුෂ්කර කාර්යය අගය කරන්නේ නම්, භික්ෂුවගෙන් සිදුවන කුඩා වරද පිළිබඳ උපේක්ෂා සහගත වනවාට කිසිම සැකයක් නැත. එසේ වූ විට පමණකි, භික්ෂුව රැක ගැනීමට උත්සුක විය හැකි වන්නේ. එය සම්බුදු සසුන රැකීමයි.ඊළඟට ජම්බුඛාදක සැරියුත් තෙරුන්ගෙන් මෙසේ අසයි. “පබ්බජි තෙන ඛො ආවුසො ඉමස්මිං ධම්ම විනයෙ කිං දුක්ඛරන්ති.”
පැවිදිවීමෙන් පසු තිබෙන දුෂ්කර කාර්ය කුමක්ද? මේ පැනයට සැරියුත් හිමියෝ මෙසේ පිළිතුරු සපයති.
“පබ්බජිතෙන ඛො ආවුසො අභිරති දුක්කරාති” පැවිදිවීමෙන් පසුව මුහුණ දෙන දුෂ්කරතාව මෙම සසුනෙහි ඇලීීමයි. ආශාව ඇතිකර ගැනීමයි.

                         අද බොහෝ අය පැවිදි වන්නේ ඒ පිළිබඳ අවබෝධයකින් නොවෙයි. මවුපිය පෙළඹවිම, කුඩා සිතට දැනෙන ආශාව හෝ පවුලේ අසරණ භාවය සමහර විට මේ සඳහා මුල් වෙයි. තවත් සමහර අය සසුන පිළිබඳ ඇල්මක්, ආශාවක්, ශ්‍රද්ධාවක් මුල් වීමෙන් සසුන් ගත වන බව කිව යුතු ය. එවැනි අය ගිහි ගෙය කළකිරී දිවියේ ඇති තතු මනාව වටහා ගෙන සසුන්ගත වෙති. ඒ අය සසුනෙහි ඇලෙති. සසුන ආරක්ෂා කර ගැනීමට උත්සුක වෙති. කුඩා කල පැවිදි වූ අය තුළ සසුනෙහි වටිනාකම ගැන අවබෝධයක්, ශ්‍රද්ධාවක් ඇති කළ යුතු ය. ඒ සඳහා ගැළැපෙන ශාසනික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ශාසනික අභිරතිය ඇති වන ලෙස ආරාමික පරිසරය හා විහාරස්ථාන කළමනාකාරිත්වය සැකැසිය යුතුයි. විහාරවාසී භික්ෂූන්ගේ මෙන්ම දායක පිරිසගේ කාරුණික අවධානය ඒ සඳහා තිබිය යුතුයි. එසේ වුවහොත් මෙම ශාසනික ඇල්ම ඇති කළ හැකිය. එවැනි ශාසනික හැඟීම් නොමැති වුවහොත්, අභිරතිය ඇති නො වුවහොත් විශාල ශාසනික පරිහානියක් සිදු වෙයි. භික්ෂූ ශාසනය පිරිහීමට පත් වෙයි. එම නිසා ශාසනාවතීර්ණ භික්ෂුවගේ ශාසනිකාභිරතිය ඇතිකරලීමට එම භික්ෂූවක් සසුනෙහි වගකිවයුතු මහා නායක අනු නායක ආදී ශාසන භාරධාරී තෙරුන් වහන්සේලාත්, සියලු බෞද්ධ මහජනතාවත් වගකීමෙන් සහ අවදියෙන් යුතුව කටයුතු කළ යුතු කාලය උදා වී ඇත.
ඊළඟ ප්‍රශ්නය ජම්බුඛාදක පිරිවැජියා මෙසේ අසයි.
                                       “අභිහරතෙන පන ආවුසො කිං දුක්කරන්ති” සසුනෙහි ඇලීම් ඇති භික්ෂුවට ඊළඟ අභියෝගය කුමක්ද? මේ සඳහා සැරියුත් හිමියෝ මෙසේ පිළිතුරු සපයති. “අභිරතේන ඛො ආවුසො ධම්මානුධම්ම පටිපත්ති දුක්කරානි,” එසේ ශාසනික ඇලීම් ඇති භික්ෂුවට ඊළඟට ඇති දුෂ්කර කාර්යය වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්ති පිරීමයි.සසුන්ගත වූ භික්ෂුව ගේ මූලික අරමුණ, “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය” යනුවෙන් පෙන්වා දී ඇත. සියලු සසර දුක් නැති කොට නිවන් දැකීමයි එයින් අදහස් වන්නේ. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පිරිය යුතු වත් පිළිවෙත් රැසක් සඳහන් වෙයි. එය ස්වාර්ථය පිණිසම හේතු වන අතර, පරාර්ථය සඳහා ද භික්ෂුව කටයුතු කළ යුතුව ඇත. මේ උභයාර්ථ සාධනය සඳහා විශාල කාර්ය භාරයක් භික්ෂුව විසින් ඉටු කළ යුතුව ඇත. භික්ෂුව සසුන්ගතවීමත් සමගම මෙම දුෂ්කර කාර්යයට අවතීර්ණ වෙයි. පොදු උත්තම ගණයේ වස්තුවක් වන භික්ෂුව ග්‍රාමවාසීවීම තුළින් අභියෝ රැසකට මුහුණ දෙමින් අභීතව ඉදිරියට යයි. ඉගෙනුම, ශාසනික වත් පිළිවෙත්, විහාරාරාම පවිත්‍රතා කටයුතු දායක කාරකාදීන්ගේ කුදු මහත් ආගමික කාර්ය, ආචාර්ය උපාධ්‍යාය ආගන්තුක සද්ධිවිහාරිකාදී යුතුකම් යන මේ සියල්ල සපුරාලිය යුතු ය. මෙවැනි විශාල කාර්ය භාරයක් ඉටු කරන බෞද්ධ භික්ෂූව “චරථ භිකඛවේ චාරිකං, බහුජන හිතාය, බහුජන සුඛාය” යන අනුශාසනාවට අනුව පරාර්ථයේ ප්‍රතිමුර්තියකි.
                                   එහෙත් සමහර බෞද්ධයෝ භික්ෂුව සැහැල්ලුවට ගණන් ගෙන ඇත. බෞද්ධයාගේ දානයට, බණට, මරණයට පමණක් සීමා වූ කෙනකු ලෙස සළකති. කිසි රාජකාරියක් නොමැති පූජකවරයකු ලෙස පිළිගනිති. ඒ සියල්ල ඇතැම් බෞද්ධයන්ගේ වැරැදි තක්සේරු වෙයි.අතීතයේ සිට අද දක්වාම භික්ෂූන් වහන්සේ ජාතියේ මුර දේවතාවුන් වහන්සේ ය. මේ බව මනාව වටහා ගත් භික්ෂුව තම ජාතිය ආගම වෙනුවෙන් කැප වෙමින් බෞද්ධ ජනතාවගේ විමුක්තිකාමියා වෙමින් තම ආත්ම විමුක්තිය සඳහා ද කැප වී කටයුතු කරයි.ඊළඟට අපේ අවධානය යොමු වන්නේ මෙම සූත්‍රාගත හතර වන (අවසාන) ප්‍රශ්නය ගැනයි.

“කිව චිරං පනාවුසො ධම්මානුධම්ම පටිපන්නො
භික්ඛු අරහං අස්සාති”
ඒ ධර්මානුධම්ම පටිපන්න භික්ෂුව කොපමණ කලකින් රහත් වන්නේද?
   “න චිරං ආවුසො’ති” ඉතාම කෙටි කලකින් මේ තත්ත්වයට පත්වන බව සැරියුත් හිමියෝ පැහැදිලි කරති.
මේ අනුව ඉහත සඳහන් කළ පරිදි සසුන් ගත භික්ෂුවගේ අරමුණ නිවන් දැකීමයි. නිවන ලැබීමට ධම්මානු ධර්ම ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. ශීල ප්‍රතිපත්ති භාවනා මාර්ග අනුගමනය කිරීමෙන් නිවන් මඟ පාදා ගත හැකිය.අද මේ අරමුණ අමතක වී ඇති බව පෙනෙයි. “අඤ්ඤාහි ලාභප්‍රතිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ලාභ උපයන මඟත්, නිවන් මඟත් දෙකක් බව බුදුරජුන් විසින් දක්වා ඇත. ඒ අනුව භික්ෂුව ගිහි සමාජය සමග ජීවත් වුණත් ඔවුන් සමඟ නොගැටී, ඒ මඟ නොගොස් නිවන් ලබන මඟ දැන ගමන් කළ යුතුය. එවිට භික්ෂූ ජීවිතයේ ප්‍රධාන අරමුණ ඉටු කර ගත හැකිය.

                        මෙම ලිපිය කියවන කල අප භික්ෂු ශාසනය ගැන නොයෙක් සිතිවිලි වලින් පිරුණ ඇයි මෙහෙම කියනා තැනට ඇවිත් නතර උනා.. මගතකරන ජීවිතය තුල හමුවූ මිනිසුන්ගෙන් බහුතරයක් කතාවනුයේ සුළුතරයක් හිමිවරුන් කරනා වූ යම්යම් අකටයුතුකම්ය, අප දායකයන් ලෙස සිව් පසයෙන් ඇප උපස්ථාන කරන්නෙ නම් මෙවැනි ගැටළු පැන නගින්නෙ නැත,තව දෙයක් අපි ගරුතර භික්ෂුන් වෙත ඇගිල්ල දිගුකරන්නට ම පෙළ ගැසී සිටීම කිසිසේත් ම හොද කාරණයක් නොව,ඔබට ඔබ පවුලහි සාමාජිකයකු වැරද්දක් කල කළ එයට පියවර ගත හැකිය නමුත් භික්ෂුවක්ගෙ වැරදි හික්මීමක් තුළ ගිහියන් ලෙස කෑකොගසමින් විලාප තැබීම සිදුකිරීම නොකලයුතුය මන්ද එය භික්ෂු ශාසනය තුලින් එය පාලනය වන නිසාවෙනි, එලෙස දඩුවම් ලද හිමිවරු ප්‍රකටය ඔබට සිහියට නැගෙනු ඇත..හිමිනමකට බැනවැදීම නොකළ යුතු යයි ම පවසනුයේ මෙවැනි කරන නිසාවෙනි එනම් දාහකුත් සිල්  ආරක්ස කරමින් භික්ෂු ශාසනය තුල සිටින නිසා මොකද ගිහියන් වන අපට පංච සීලයවත් ආරක්ස කරගන්නට බැරිව පොය දිනකටවත් පන්සලකටවත් නොයා මෙලෝ පිනක් නොකර අපි වැරදි කරන්නෙය් නෑ කියන්නේ ම පෙර කිවූ බහුතරයක් මිනිසුන්ය..මිනිසුන් පවට බරය..පවට පින්දිය නොහැකිය ලෙස කියනුයේ නිකමට නොවේ,ඉහත ලිපිය බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී, ගා/ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය, බද්දේගම ශාසනාක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි, ශාස්ත්‍රපති, බලගොඩ සිරිනිවාස හිමියන් විසින් ලියන ලද ලිපිය අද දින මෙසේ මහසෝන් පත්ඉවුරට උපුටා ගැනුනි                                        

29 December 2011

බෞද්ධයා සතු විය යුතු ගුණාංග


-->
-->      
පතින් බෞද්ධයන් වන සියල්ලන්ගෙන් බහුතරයක් කරන්නන් වලෙය් කරන්නකි අවබෝදය තුලින් යමක් කරන්නෙ නම් එහි ප්‍රතිපල ඉහලය,සරල ලෙසින් බෞද්ධයා සතු විය යුතු ගුණාංග දහයකි,යමෙකු බුදුන් දහම් සඟුන් සරණ ගිය පමණින් බෞද්ධයා අදාල ගුණදහමින් පොෂිත වු කළ බෞද්ධ උපාසක බවට පත්වනුලබයි එසෙ නම්  ගුණාංග දහය මෙසේය, 


01.      උපාසකො සංඝෙන සමානසුඛදුක්ඛො හොති.
                                                              බෞද්ධයා සංඝයා හා සමාන සුවදුක් ඇත්තෝ වේ. එසේ වීමට සංඝයාගේ සුවදුක් නිතර සෙවිය යුතුය. පෙර විසූ ‍අනේපිඬු, විශාකා, සුප්පියා ආදී උපාසක උපාසිකාවන් දින පතාම‍ ආරාමයට ගොස් කාම‍රයක් පාසා පැමිණ සංඝයාගේ සුවදුක් සෙවූ බව ධර්ම ග්‍රන්ථයන්හි සදහන් වේ. මේ වැදගත් චාරිත්‍රය නිසි ලෙස සිදු නොවීම සංඝයාගේ මෙන්ම ශාසනයාගේ ද පිරිහීමට හේතුවක් වී තිබේ. මෙකල භික්ෂූන්ගේ සුව දුක් සොයන්නෝ දුර්ලභය. බොහෝ දෙනා ආරාමයට ය‍න්නේ තමන්ගේ කටයුත්තක් පිරිමසා ගන්නට විනා සංඝයා ගැන සෙවීමට නොවේ. ‍එ‍ෙහයින් ‍ෙබා‍‍ෙහා් ‍භික්‍ෂූන් වහන්‍ෙස්ලාට තමන්ගේ කටයුතු තමන්ටම පිරිමසා ගැනීමට සිදුවී තිබේ. කෙසේ තමන්ගේ කටයුතු පිරිමසා ගැනීමට යන වි‍ට ධර්ම නීති හා විනය නීති අමතක වීම පුදුමයක් නොවේ. එහෙයින් භික්‍ෂු ගුණ දහමින් පිරිහෙති. ඒ හේතුවෙන් ශාසනය ද පිරිහෙයි.
                          බෞද්ධයන් භික්ෂූන්ගේ සුව දුක් නිතර ‍ෙසායා බලනවානම් භික්ෂූනට අනියම් මගින් කටයුතු පිරිමසා ගැනීමට ‍සිදු නොවන්නාක් මෙන්ම ගුණදම් දියුණු කැර ගැනීමට ද ලොකු උපකාරයක් වෙයි. භික්ෂූනට වුවමනා සිවුපසය ඒ ඒ ‍වෙලාවට නිසි සේ ලැබීම නිසා කයට මෙන්ම සිතට ද සුව ලැබීමෙන් භාවනාවට පහසු වූ බවත් එයින්ම මාර්ගඵල ලැබූ බවත් මාතික මාත‍ාවන්ගේ කථාවකින් පැහැදිළිව පෙනෙයි. එසේම ශ්‍රද්ධාවන්තයන්ගේ කාරුණික සැලකිළි නිසා අනේ, මට මේ තරම් සලකන්නේ ගුණවන්ත කම නිසා නොවේ ද? ඉතින් මම තව තවත් ගුණවත් වියයුතු නො වේදැ යි සිතා භාවනා කොට රහත් වූවන්ගේ සංඛ්‍යාව ද සුළු නෙ‍ාවන බව බොහෝ චරිත කථාවන්ගෙන් ඔප්පු වෙයි. මේ කරුණු හොදින් සිතා බලා සංඝයාගේ සුව දුක් සොයා බලා උපස්ථාන කරන්නට සිතටගත ‍යුතු ය. එය තමන්ගේ යුතු කමක් මෙන්ම පින්කමක් ද වන අතර ශාසන‍ෙය් දියුණුවට ද ආධාරයක් වෙයි.
02.      ධම්මාධිපතේයො හොති
බෞද්ධයා ධර්මය අධිපති කොට ඇත්තේ වේ.
ධම්මං විනා න‍ත්ථි පිතා ච මාතා
තමෙව තාණං සරණං පතිට්ඨා
තස්මාහි භො කිච්චමඤ්ඤං පහාය
සුණාථ! ධාරේථ! චරාථ! ධ‍ම්මේ

දහම් විනා අන් පියෙකුත් මවක්වත්
නැති ය හේ වේ පිහි‍ටත් රැකීමත්
එයින් ම පින්වත්නි තබා අනෙක් කිස්
අසව්! දරව්! දම් හැසිරෙව්! !! එ දම්හී
                                         මේ ලෙසින් සලකා බලා ධර්මය ඉගෙන ගන්නටත් ඒ අනුව පිළපදින්නටත් හැම කටයුත්තක්ම ධර්මානුකූලව කරන්නටත් බෞද්ධයන් විසින්ම ඉටා ගත යුතුය.
03.      යථා බලං සංවිභාගරතො හොති
                                     ශක්තිය ඇති පරිදි දන් දී බෙදාගෙන අනුභව කරන්නෙක් වේ. දීම කොපමණ හොඳ උනත් අතිදානය හෙවත් තමාගේ පමණ ඉක්මවා දීම ආගමෙහි වර්ණනා කර නැත. එහෙයින් පින්කම් සදහා වුවද තමාගේ ප්‍රමාණයට වඩා වියදම් කොට පසුව කණගාටු වන්නට ඉඩ නො තබා තමා‍ෙග් ශක්තියේ වත්කමේ පමණට දනුත් දී බෙදාගෙන අනුභව කිරීම බෞද්ධයන් තුළ තිබිය යුතු යහපත් ගුණයකි.
04.      ජින සාසන පරිහානිං දිස්වා අභිවුද්ධියා වායමති
                           බුදු සසුනෙහි පිරිහීම දැක එය නගා සිටුවීමට වෑයම් කෙරෙයි. ලොවට  අනන්ත ශාන්තියක් ගෙන දුන්, දැනුත් ගෙන දෙන  මතු ද ගෙන දිය හැකි බුද්ධශාසනය රැක ගැනීම හැම බෞද්ධ‍යකුගේ ම යුතු කමෙකි. එය කළ හැක්කේ නොයෙක් තැන හ‍ඬ නඟා කීමෙන් නොව බුද්ධ ධර්මය හොඳින් ඉගෙන ඒ අනුව පිළි‍පැදීමෙන් ය. එක් එක් පුද්ගලයා තමනට අයත් ධර්මය ඉගෙන තමනට අයත් ගුණ දහමින් යුක්ත වූ වි‍ට ශාසනයෙහි දියුණුවක් මිස පිරිහීමක් ඇති නොවෙයි. එසේම ශාසනයේ යම්කිසි පිරිහීමේ ලකුණක් දුටහොත් එය නොදන්නා අ‍යට දැන ගන්නට මොරගා කීම නොව එයට පිළියම් කිරීම ම නියම බෞද්ධ ලක්‍ෂණය වේ.
05.      සම්මාදිට්ඨිකො හොති අපගතකොතුහල මංගලිකො
                           පහ වූ කුතුහල මංගල ඇති සම්‍යග් දෘෂ්ටිකයෙක් වේ. නක්ෂත්‍රය හා නිමිති ශාස්ත්‍රාදියෙහි යම්කිසි සත්‍යයක් ඇතත් සුභ නැකතම සුභ නිමිත්තම හැම යහපතට හේතුවේයැ යි විශ්වාස කරතොත් එය මහ මුළාවෙකි. වැරැදි දැකුමෙකි. එබඳු වැරැදි දැකුමෙන් තොරව කර්මය හා කර්මඵලය අදහමින් සම්‍යග්දෘශ්ඨිකව විසිම ද නියම බෞද්ධ ගුණයෙකි.
06.      ජීවිතහෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති
                   ජීවිතය නිසා වත් අන් ශාස්තෘවරයකු විශ්වාස නොකරයි. නියම බෞද්ධ ගුණය මෙසේ වුවද මෙකල ඇතැම් පිරිමි, ගැහැණුන් නිසාත්  ගැහැණු, පිරිමින් නිසාත් තමන්ගේ ආගම වෙනස් කෙරෙති. එය බෞද්ධ කමට පමණක් නොව මනුෂ්‍ය කමට ද කරන බලවත් නින්දාවකි. මෙබදු මිනිසුන් ලොව නූපන්නා නම් වඩා හොද ය යනු ඔවුනට කටයුතු හොදම මෙත් වැඩුම යි. කවර කරුණක් නිසා හෝ සත්‍ය වූ ධර්මයක් නො අත්හැරීම ද නියම බෞද්ධ ගුණයෙකි.
07.      කායිකං වාචසිකං චස්ස රක්ඛිතං හොති
                      කාය ද්වාරය හා වාග් ද්වාරය ආරක්ෂා කරන ලද්දේ වේ. සංවර කරන ලද්දේ වේ. තමන්ගේ කථා හා ක්‍රියා අන්‍යයනට කරදර නොවන සේ පැවැත්වීම හොද බෞද්ධයකුගේ ලක්ෂණ‍යක් මෙන්ම ජන සමාජයට ‍කරන ලොකුම සංග්‍රහයෙකි.
08.      සමග්ගාරාමො හොති සමග්ගරතො
                         සමගියට කැමති වේ. සමගියට ඇලුනේ වේ. සමගිය බුද්ධාගමෙහි උසස් ඉගැන්වීමෙකි. වාද භේද හදාගැනීමේ ආදීනවත්, සමගියෙහි ආනිසංසත් නොයෙක් සූත්‍රවලත් ජාතක කථාවලත් මැනැවින් ප්‍රකාශවී ඇත්තේය. අප අතර පවත්නා නොයෙක් අසමගිකම්වලට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ බණ ‍නොදැනීමත් දන්නා බණ අමතක කිරීමත් ය. තව ද ඔවුනොවුන් කෙරෙහි සැක කිරීම හා නොඉවසීමත් අසමගියට හේතුවක්වී තිබේ. මෙසේ අසමගියට ඇති හේතු හොදින් දැනගෙන ඒවා නැති කොට සමගියෙන් කටයුතු කිරීම නියම බෞද්ධ‍යාගේ ලක්ෂණයෙකි.
09.      අනුසූයතො හොති න ච කුහනවසෙන සාසනෙ චරති
                             ඊර්ෂ්‍යා නො කරන්නේ කුහක සිතින් ශාසනයෙහි නො හැසිරෙන්නේ වේ. කැත අදහස් ඇති මිනිසුන්ගෙන් ලොව හිස් නො වේ. එහෙයින් ඇතැම්හු යම් යම් කටයුතු වලදී තම ප්‍රධානත්වය පතුරුවා ගන්නට සිතා එය කරන අ‍යට පවා ඊර්ෂ්‍යා කරති. ගුණයෙන් හා නුවණින්, ධනයෙන් හා පොහොසත් වන්නවුන් දුටු විට ඊර්ෂ්‍යා කරති. හෙළා දකිති. තවත් සමහරු ශාසනික කටයුතු පවා රට රවටන කුහක අදහසින් කරති. එළිපිට කථා කරන විට ක්‍රියා කරන විට බෝසත්වරු ය. එහෙත් ඇතුළතින් නම් පුහු සත්තු ය. හැම ක්‍රියාවකම හැම කථාවකම පෙන්නීමට නොව සැබෑවට ම විය‍ යුතු ය. ඊර්ෂ්‍යා පරවශ නො වීමත් අවංක ප්‍රතිපත්තියත් නියම බෞද්ධයාගේ ප්‍රධාන ම ගුණ වේ.
10.      බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති.

-->
උපාසකයෙක්- බෞද්ධයෙක් වන්නේ කෙසේදැ යි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
යමෙක් බුදුන් සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟුන් සරණ ගියේ ද මෙපමණෙකින් හෙතෙම උපාසක, බෞද්ධ නම් වේ. (මහානාම සූත්‍රය)

බුදුන් දහම් සඟුන් සරණ ගියේ වේ. මෙය නියම බුදුනුවකු තුළ තිබිය යුතු දස වැනි ගුණය සේ දක්වා ඇත.



රසවාහිනී 1965 පොසොන්

මාසය තුල සිත්ගත් ලිපි