01 January 2013

තමන් කල දෑ විමසන්න කාලයයි

ඔං සියලුදෙනාට තවකෙක් තවකෙකුට වල නොකපන සහයෝගයෙන්
            එකමුතුව වැඩකරන  2013 සුබම සුබ නව වසරක් වේවා
අට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ…
නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…
දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ…
මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ…

                            
  අලුත් අවුරුද්දේ ඕන්න එනම් ධර්ම දානය සඳහා මාතෘකා කර ගන්න යෙදුණේ ධම්ම පදයේ භික්ඛු වර්ගයේ 20 වන ගාථාවයි.මෙය වේවැල්දෙණියේ මිල්ලවල ශ්‍රී බෝධිරාජාරාමාධිපති ශාස්ත්‍රපති කහවනුගොඩ විමලධම්ම හිමියන් විසින් කරවුවක් මහසෝන් පත්ඉවුරට මෙසේ සටහන් (උපුටා දක්වන)වන වගයි ,මෙය මා පින්වත් සහෝදරයන්ට යොමුකරනුයේ ගතකල කාලය තවදුරටත් වෙනස් කළයුතුද නැද්ද යන්න ඔබ සිතට දැන්වීමටය,     

අත්තනාවෝද යත්තානං - පඨිමාසෙ අත්තමත්ථනා
සො අත්තගුනෙනා සතීමා ගුතේතා -  සුඛං භික්ඛු විහාසසි”

හි අදහස තමන් තමන් කළ වැරැදි දෙස විමසා බලා එම වැරදි වලට චෝදනා කරගන්නා භික්ෂුව (තැනැත්තා) සැපසේ ජීවත් වෙනවා යන්නයි. පින්වතුනි, අප අප දෙසම බැලිය යුතු ක්‍රම දෙකක් තියෙනවා. එකක් කායික පැත්ත . අනික මානසික පැත්ත. කායික වශයෙන් ඇස, දත්, ලේ ආදී ශරීරයේ විවිධ කොටස් ගැන පරීක්‍ෂා කර බැලීම තුලින් එම කායික රෝගවලට පිළියම් යොදලා ලෙඩදුක් සුව කරගෙන සැපසේ ජීවත් වන්න පුළුවන්. ඒ අංශය පිළිබඳ අපේ සමාජයේ බොහෝ දෙනෙක් පරීක්‍ෂා කර බලනවා . රෝග ගැන බලනවා වගේම කයින් කෙරෙන වැරැදි මොනවාද? ඒවා මා තුලින් කොතරම් දුරට කෙරෙනවාද? වචනයෙන් කෙරෙන වැරැදි කොතරම් දුරට කරනවාද? කියලා පරික්‍ෂා කර බලා ඒ කෙරෙන වැරැදි අඩුකරගන්න ඕනෑ.
                                                       අපේ ඇතැම් දෙනෙක් මානසික පැත්ත ගැන එතරම් සැලකිලිමත් වන්නේ නැහැ. හිතේ ඇතිවන රෝග තමයි, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, පළිගැනීම , මානය. මෙවැනි රෝග සිත් තුළට ඇතුළු වුණාම සිත රෝගී වෙනවා. ක්‍රෝධය සිතට ඇතුළු වුණාම තමන් ඉන්නේ කොහේද ? කරන්නේ මොනවාද? ආදී සියල්ලක්ම අමතක වෙනවා. එම ක්‍රෝධයෙන් ක්‍රියාකිරීම නිසා නොසිතූ කරදර ගොඩාක් කරගෙන පසුතැවිලි වනවා. අර ඉස්සර එක බමුණෙක් තමන්ගේ කුඩා දරුවාත් සමඟ ගෙදර ඉන්න ගමන් සුරතලයට මුගටි පැටියෙක් හදාගෙන හිටියනෙ. එක දවසක් දරුවා තොටිල්ලේ නිදි කරවා බමුණා ගමනක් ගියා. මුගටියා දරුවා ඉන්න අසල පැත්තක බලාසිටියා. එක පාරටම නයෙක් ආවා. දරුවා ලඟට යන්න යනවා. මුගටියා පැනලා නයා කෑලිවලට කඩලා දැම්මා. කටේ ලේ පෙරාගෙන තමාකල හපන්කම කියන්න බමුණා එන පෙරමඟට ගියා. බමුණා දරුවාට කරදරයක් කරලා කියලා සැක සිතලා කෝපයට පත්වෙලා අතේ තිබු සැරයටියෙන් ගහලා මැරුවා. පසුව සිද්ධිය දැකලා අපරික්‍ෂාකාරී කමත් ක්‍රෝධයත් ගැන හිතලා පසුතැවිලි වුනා.
වෛරය සිතට ඇතුළු වුන නිසා එකිනෙකාගෙන් පළිගන්න හිතනවා. එම වෛරය මුල්කරගෙන කාලියක්‍ෂනීගේ කතාවේ දැක්වෙන විදියට භවයෙන් භවයට මැරී මැරී උපදින්න (ගමන් කරන්න ) සිදුවෙනවා. වෛර කිරීම නිසා තමන්ගේ සිතට නිතරම වේදනාව ගෙන දෙනවා. එම නිසා එය ඉවත් කලයුතු දෙයක්.
                                                              
                                 ඊර්ෂ්‍යාව මිනිසුන් අතර පමණක් නෙවෙයි. තිරිසන් සතුන් අතරත් පවතිනවා. ඔබේ ගෙදර බලු පැටියෙක් හදාගෙන ඌ ටිකක් ලොකු වුනාම ගෙදරට තව කුඩා පැටවෙක් ගෙන ආ විට බලන්න අර ලොකු සතාගේ හිතේ ඊර්ෂ්‍යාව ඇතිවනවා. එනිසා සමහර විට එයා ගේ අතඇරලා යනවා. නැතිනම් පැටියව හපනවා. චූටි දරුවෙක් ගෙදර ඉන්න විට එයාට තව නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ලැබූණම දෙමාපිය සෙනෙහස ඇල්ම බැල්ම කුඩා කෙනාට සමහර විට ටිකක් වැඩිපුර ගියාම ලොකු දරුවාට ඊර්ෂ්‍යාව ඇති වීමට ඉඩ තිබෙනවා. අල්ලපු ගෙදර දරුවා ටිකක් හොදට ඉගෙන ගන්නවා නම් ඒ ගෙදරට තව කෑල්ලක් එකතු කර ගත්තනම් බයිසිකලයක් වාහනයක් ගත්තනම් කුඩා දියුණුවක් පෙන්නුම් කලා නම් මෙහාගෙදර අයට එය බලා ඉන්න බැරිව විවිධ ඇතැම් විට අරියාදු කරන්නේ ඔය ඊර්ෂ්‍යාව නිසා තමයි. ඇයි අපට තව කෙනෙකුගෙ සතුට දිහා බලල සතුටු වෙන්න බැරි. මේ ගැන හිතන්න.
                                                              ලෝභ කමත් ඒ වගේම විනාශයට බලපාන දෙයක්. අධික ලෝභකම , මසුරුකම නිසා පුද්ගලයා අපකීර්තියට පත්වනවා. අදින්න පුබ්බක බමුණා අධික ලෝභයෙන් මසුරුකමින් කටයුතු කරලා ඔහු දැඩි ලෝභියෙක් මසුරෙක් ලෙසට අපකීර්තියට පත් වුනා. ඒ අධික ආශාව මුල්කරගෙන විවිධ සත්ව ආත්මවල උපදින බව ජාතක කථාවලින් පැහැදිලි වෙනවා.තවත් එවැනිම දුර්ගුණයක් මානය එය හරියට සෙම්ප්‍රතිශ්‍යාව වගේ. වැඩිපුර නෑවත් ටිකක් නෑවත් , දූවිලි ටිකක් ගියත්, පිනිබෑවත් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. ඒවගේ තමයි රැකියාවක් ලැබුණත් , හොඳට ඉගෙන ගන්න පුළුවන් වුනත්, රූපය ටිකක් ලස්සන වුනත් සල්ලි ටිකක් තිබුණත් හොඳ ගෙයක් දොරක් ඉඩකඩමක් තිබුනත් මේ හැම දෙයින්ම ඇතැම් විට කෙනකු මානයට පත්වෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ට කිසිම දෙයක් නැහැ කියලා කෙනෙක් හීනමානයට පත්වනවා. මානයෙත් කොටස් තුනක් තියෙනවානෙ. සෙය්‍යමාන , සදිසමාන, හීනමාන “ මම අනෙක් අයට වඩා උසස් කියා සිතා ඇතිකරගන්නා මානය සෙය්‍යමානය “ මම අනෙක් අය හා සමානයි කියා ඇතිකරගන්නා මානය සදිසමානය. මම අන්සියල්ලටම වඩා පහත් කියලා ඇතිකරගන්නා මානය හීනමානයයි. මේ කොයි එකෙකුන් පුද්ගලයා පිරිහෙනවා.
                                                පින්වතුනි , නව වසරක් උදාවුන මේ අවස්ථාවේ ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි නිදහස් තැනකට වෙලා තමන් පසුගිය වසරක කාලය තුළ තමන් කළ කී හොඳ නරක මොනවද කියලා විමසල බලන එක කොපමණ සත්තු මැරුවද ? කොපමණ මත්පැන්වලට මුදල් යට කළාද? දුම්වැටියට කොපමණ වැයකළාද? බොරුවෙන් අන් අය රවටන්න උත්සාහ කලාද, පරුෂ වචන, හිස්වචන , අනුන් බේදකිරීමට බලපාන කේළම් කෙතරම් දුරට ඔබේ මුවින් පිටවුනාද? කෙතරම් දුරට මම ඉගෙනීමට , මගේ රාජකාරි කටයුතු කරගෙන යාමට කම්මැලි වුනාද? මේවා ගැන විමසා බලා ඔබේ අඩුපාඩු වලට චෝදනා කරගන්න. ඔබට ගිය වසරේ පෝය දොලහෙන් කීයක සිල් ගන්න බැරි වුනාද? පන්සිල් වලින් කීයක් කඩකලාද? විමසලා බලා මේ වසර තුල අඩුපාඩු දුරුකර ගන්න. අඩුම තරමින් නව වසර තුල පංචශීලයෙන් එකක්වත් නොකඩවා රකින්න පුළුවන්. ඇතැම් අයකු සමාජයේ පුරුදුවෙලා තියෙන්නේ හැම වරදක්ම තවකෙනෙක් පිට පටවන්න . තමන් කරන වරද තමන්ටම පේන්නේ නෑ. පෙරහරේ ගමන් කරන කෙනාට පෙරහර පේන්නේ නෑනේ. එහි අඩුපාඩු පේන්නේ බලාඉන්න අයට පමණයි. ඒ වගේම තමයි තමන්ගේ වැරැදි අඩුපාඩු තමන්ට පේන්නේ නෑ . තව කෙනෙක් වරදක් පෙන්නුවාම උරන නොවී එම වරද පිළිගැනීමට තරම් නිහතමානි වන්න. දැඩි අධිෂ්ඨානයෙන් යුතුව සිල් ආරක්‍ෂා කරලා භාවනාවට සිත යොමුකරලා මේ වසර අවසානයේ තමන්ටම තමන් ගැන හිතලා සතුටු වන්න පුළුවන්. තමන්ටම ප්‍රශංසා කරගන්න පුළුවන් ස්වභාවයක් ඇතිකර ගැනීමට සිතට ගන්න .

සත්‍යය දකින්නට සිත්පහල වේවා... සියලු දෙනාට තුනුරුවන් සරණයි....!

1 comment:

CHINTHAKA TIKIRIBANDARA said...

නව වසරට සුබපැතුම්... දිගටම ලියපන්. හැකි හැම විටෙකම කියවන්නට එනවා... ජයවේවා,,,,.

මාසය තුල සිත්ගත් ලිපි