30 December 2011

මෛත්‍රිය වැඩිම 2


ක්‍රෝධය සන්සිඳවීම

                        ඒත් ක්‍රෝධය නො සංසි‍‍‍‍දේ නම් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් සිහි කිරීමෙන් එය නැති කර ගැනීමට උත්සාහ දැරිය යුතු ය. ඒ සිහි කරන්නේ මෙසේ ය. එම්බල ක්‍රෝධකරණ ස්වභාව ඇති තැනැත්ත, බුදුරජාණන් වහන්සේ විසින් ම “මහණෙනි, දෙකොනෙහි මිටි ඇති පොළු කියතකින් නපුරුව හොරු අත් පා ආදී අවයවයන් කපත් නම් ඒ අවයවයන් කපන්නා වු සොරුන් කෙරෙහි වත් යමෙක් සිත නරක් කර ගන්නේ වී නම් එබඳු තැනැත්තේ මගේ අනුශාසනාව පිළිපැද්දේ නම් නොවේ” යයි දේශනාකරන ලද්දේ නො වේ ද?
                   තව ද යමෙක් තමා වෙත කිපී සිටින තැනැත්තාට තෙමේත් කිපේ නම් ඒ පසුව කිපුණා වු තැනැත්තාම මුලින් කිපුණු තැනැත්තාට වඩා ඉතා ම අධම වෙයි. තමා කෙරෙහි ක්‍රෝධ කළා වූ තනැත්තාට ක්‍රෝධ නො කොට සිටින්නා වූ තැනැත්තේ නො දිනිය හැකි යුද්ධවලින් ජයගන්නේ ය. අනුන් කිපුණු බව (තරහ වූ බව) දැන යමෙක් සංසි‍‍ඳේ ද, එසේ වූ සිහි ඇත්තා වූ තැනැත්තේ තමාට ද අනුන්ට ද දෙලොවම ශුභ සිද්ධිය කරන්නේ යයි දේශනා කරන ලද්දේ නො වේ ද? ක්‍රෝධ කරන්නා වු ස්ත්‍රිය හෝ පුරුෂයා කරා තමන්ගේ සතුරන් විසින් කැමති වනු ලබන්නා වූ කාරණා සතකි එනම්:

1. දුර්වර්ණ විම 2. දුකසේ කල් යවන්නට වීම 3. ධනවතකු නොවීම 4. ඇඳ පුටු ආදී බඩු හා කන බොන දෑ ආදියත් නැති කෙනෙකු වීම 5. කීර්ති නැති කෙනෙකු වීම 6. මිත්‍රයන් නැති කෙනෙකු වීම 7. මරණින් මතු දෙව්ලොව නොඉපදීම යන මේ සත පැමිනෙන බව දේශනා කරන ලද්දේ නො වේ ද? තවද යම් කෙනෙක් ක්‍රෝධ කරන්නේ සණ්ඩුකරන්නේ නම් ඒ තැනැත්තා නොලැබූ ධ්‍යානාදී ගුණ නොලබන බව ද ලැබූ ගුණයෙන් පිරිහෙන පහළ බහින, අඩුවෙන බව ද අයස අපකීර්තිය දශදිසාවෙහි පැතිරෙන බව ද සිහි මුළාවට පැමිණ මැරෙන්නට සිදුවන බව ද එසේ මළායින් පසු අපායෙහි උපදින බව ද දේශනා කරන ලද්දේ නො වේ ද?
තවද යම්සේ කෙළ, සොටු ආදී අසුචි තැවරුණු තැන් එබඳු වූ අසූචිවලින් සෝදා කිසිසේත් පිරිසිදු කළ නොහැකි වේ ද? එසේ කිරීමෙන් වැඩියෙන් අපිරිසිදු ම වේ ද? දුර්ගන්ධය ම වේ ද? එසේ ම ගැහූ තැනැත්තාට ගැහීමෙක් ද, බැන්නා වූ තැනැත්තාට බැනීමෙන් ද, ක්‍රෝධයෙන් ක්‍රෝධය සංසිඳවීම කිසිසේත් නොහැකි වේ. එසේ කිරීමෙන් ක්‍රෝධය වැඩියත් දියුණු වේ ම ය. ඉදින් අර අසුචි තැවරුණු තැන් පිරිසිදු වතුරෙන් සේදු කළ සිරිසිදු වන්නාක් මෙන් අවෛරයෙන් හෙවත් මෛත්‍රි කිරීමෙන් ක්‍රෝධය සංසි‍දේ. මෙසේ මෛත්‍රියෙන් ක්‍රෝධය සංසිඳුවීම නම් සියලු ම බුදු පසේබුදු මහරහතන් පුරුදු කළා වු මඟ යයි දේශනා කරන ලද්දේ නො වේ ද?
                 තවද “යම්සේ ලි දෙකක් එකට ගෑමෙන් ගිනි උපදී ද? ඒ ගින්නෙන් ඒ ලී ම දා විනාශ වේ. එසේම මෝඩ වූ බණ දහම් නොදන්නා වු තැනැත්තාට එකට එක කිරීමෙන් ක්‍රෝධය උපදී. එසේ උපන්නා වු ක්‍රෝධයෙන් ඔහු ම ද, විනාශයට පැමිණෙයි” යනුවෙන් දේශනා කරන ලද්දේ නො වේ ද?
තවද “ගිනිහුලක් මෙන් යමකු කෙරෙහි ක්‍රෝධය දියුනු වේ නම් ඔහුගේ යසස කළුවර පක්‍ෂයෙහි සඳ මෙන් ක්‍රමයෙන් පිරිහේ” යයි දේශනා කරන ලද්දේ නො වේ ද?
                 තවද යම්සේ අසුචි වළක් කැට කැබිලිති ආදියකින් ඇවිස්සූ කල්හි වඩාමත් දුර්ගන්ධය හමන්නේ වේ ද, එසේ ම යම්කිසි ක්‍රෝධ කරන්නා වු කෙනෙක් යම්කිසි අමනාප වන සුලු දෙයක් කළ විට කිපේ නම් තරහ ඇවිස්සේ නම් එබඳු වූ තරහ ඇවිස්සෙන තැනැත්තා ආශ්‍රය කරන්නට ‍නුසුදුසු යයි, අසූචි වලක් සමාන යයි දේශනා කරන ලද්දේ නො වේ ද?
                   තවද “මහණෙනි, දෙකොන ගින්නෙන් ඇවිළුණා වූ මැද අසූචි තැවරුණා වු සොහොන්, පෙනෙල්ලට යම් කෙනෙක් සමාන යයි මම කියමි” යයි දේශනා කරන ලද්දේ නො වේ ද? ඉදින් එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, දැන් නුඹ මෙසේ සතුරා කෙරෙහි කිපෙන්නෙහි වී නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා ලෙස පිළිපදින්නෙක් නොවෙහි යයි මෙසේ බුද්ධාවවාදයන් මෙනෙහි කරමින් තමා ම තමාට අවවාද කිරීමෙන් ඒ ක්‍රෝධය සංසිඳවාගත යුතු ය.

සතුරාගේ හොඳ මෙනෙහි කිරීම

                       ඉදින් ඒත් නොසංසිඳේ නම් ඒ තම සතුරාගේ කය පිළිබඳව වූ හෝ සිත පිළිබඳ වූ හෝ වචනය පිළිබඳ වූ හෝ සමාචාරයන් සිහි කොට ක්‍රෝධය නැති කර ගත යුතු ය. සමහරුන්ගේ කාය සමාචාරය පමණක් යහපත් වේ. සිහිපත් කරන කල හිතට සතුටු උපදී. වචන පිළිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ සමාචාරයෝ එසේ නොවෙති. එබඳු සතුරකුගේ වී නම් ඒ නරක වූ සිත හා වචනය පිළිබඳ සමාචාරයන් සිහි නොකොට කය පිළිබඳ සමාචාරයන් පමණක් සිහිකට යුතු ය. මෙසේ ඒ සතුරාගේ යම් යම් සමාචාරයක් යහපත් නම් ඒ ඒ යහපත් සමාචාරයම සිහි කළ යුතු ය. අයහපත් සමාචාර සිහි නොකට යුතු ය.
එයින් කය පිළිබඳ හොඳ හැසිරීම් සිහි කරන්නේ මෙසේ ය:
                                               එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹ ඔහුගේ යම් කිසි රළු වචනයක් නිසා හෝ වෙන යමක් නිසා ඔහුට කිපු‍ණෙහි වී නමුත් ඔහුගේ කාය කර්ම කොපමන හොඳ ද? ඔහු සතුන් නොමරන කෙනෙකු නොවේ ද? නරක හැසිරීම් නැති කෙනෙක් නොවේ ද? මත්පැන් නොබොන කෙනෙක් නොවේ ද? වෙනත් නොයෙක් හොඳ ගතිගුණ ඇති කෙනෙක් නොවේ ද? මේ තරම් හොඳ ගති ඇති ඔහුගේ ඒ එකම ගුණයක් වත් ගැන නොසිතා ක්‍රෝධ කරන්නේ ඇයි? නරක ගැන සිතා බලනවා වගේම ඔහුගේ හොඳ ගැනත් සිතා බලාපන්න කියා ය.
                                           සිත පිළිබඳ හොඳ හැසිරීම් දැන ගන්නේත් ක්‍රියාවෙන් ම ය. හිත හොඳ කෙනෙක් නම් බුදුන් වැඳීම් ආදී පින් කරන විට ඉතා ශ්‍රද්ධා වෙනුත් ඕනෑකමිනුත් කරනවා ඇත. ඒ මේ අන්දම් වලින් ඔහුගේ හිත හොඳ බව සලකා නරක ගති ගැන ඇති වූ තරහ තුනී කර ගන්න.
වචනය පිළිබඳ හොඳ හැසිරීම් සිහි කරන්නේ එම්බල ක්‍රෝධ කරන තැනැත්ත, ඔහුගේ යම් යම් නරක ගති ඇතත් ඔහුගේ කථාව කොපමණ හොඳ ද? ඔහු හොඳ මෘදු වචන කථා කරන්නෙක් නො වේ ද? ඔහුගේ කථාව කාටත් ප්‍රිය නො වේ ද? අනෙක ඔහුගේ නරක ක්‍රියා ගැන සිත සිතා නුඹ ඔහුට කිපෙනවා සමග ම ඔහුගේ මේ යහපත් කථාවේ ගුණ නොසිතන්නේ ඇයි කියා ය.
                                                      යම් සතුරකුගේ මේ සමාචාර තුන ම යහපත් නම් හෙවත් කායා දී තුන්දොරෙහි ම යහපත් හැසිරීම් ඇත්තේ නම් එයින් තමන් කැමති යමක් ගැන කල්පනා කිරීමෙන් ක්‍රෝධය සංසිඳවා ගත යුතු ය. ඉදින් හතුරකුගේ මේ සමාචාර තුන ම නරක නම් හෙවත් තුන්දොරින් ම නරකක් ම කරන්නෙක් නම් ඔහු ගැන මෙසේ සිතිය යුතු යි. “මේ තැනැත්තා මිනිස්ලොව හැසිරෙන්නේ වී නමුත් තව ටික කලකින් නිරයෙහි වැටෙන්නේ ය. එසේ නිරයේ වැටෙන්නට සිටිනා මේ තැනැත්තාට කරුණා කරන්නට වටී යයි සිතා මෙසේ ඔහු කෙරෙහි කරුණාව ඉපදවිය යුතු යි. එසේ කරුණාව උපන් කල්හි ක්‍රෝධය සංසිදේ මැ යි. (මෙතැනදී මෛත්‍රිය වැඩීමට කරුණාව හේතුවන බව කී බැවින් කරුණා, මෛත්‍රී වචන දෙකේ තේරුම කියා දිය යුතු ය.) නො දන්නා අය මේ දෙක එකක් ලෙස සලකතත් එකට එක ඉතා වෙනස් වු දෙකක් බව කියමි. කරුණාව නම් දුකට පැමිණ සිටින්නාවූ කෙනෙක් ඒ දුකින් මුදවීම පිණිස හිතේ ඇතිවන්නාවූ අනුකම්පාව යි. මෛත්‍රිය නම් දුකට පැමිණියා වූ හෝ නිදුක් වූ හෝ සියළු ම සත්වයන් කෙරෙහි නපුරක් නොසිතන්නා වූ යහපතක් ම වේවා යයි පතන්නා වූ රාගයට විරුද්ධ වූ ප්‍රේමය වේ. (මෙසේ කරුණා මෛත්‍රී දෙක දෙකක් බවත් ඉන් කරුණාව උපදවා ගැනීම මෛත්‍රිය ඉපදීමට හේතුවන බව සිතට ගත යුතු ය.)

මෛත්‍රිය වැඩිම 1


                                              ඉදින් පළමුකොට ම මෛත්‍රිය වැඩිය යුත්තේ කවුරුන් කෙරෙහි ද යතහොත්, තමා කෙරෙහි ම ය. “මම නිදුක් වෙම්වා! සුවපත් වෙම්වා! යි අවුරුදු සියයක් දහසක් මුළුල්ලේ වුවත් තමන් කෙරෙහි ම මෛත්‍රිය වැඩීමෙන් කිසිසේත් මෛත්‍රිය අපර්ණාවට නොපැමිනෙතත් එසේ වඩන තැනැත්තාට “යම් සේ මම සැප විඳිනු කැමැත්තෙම් ද? දුකට ‍නොකැමැත්තෙම් ද? අනෙකුත් සියලු ම සත්වයෝ ද තම තමන් ගැන එසේ ම වෙත්” යයි තමා ම සාක්‍ෂියක් කොට තබාගෙන අනුන් කෙරෙහි ද හිත කැමති බව ඇතිවේ. එබැවින් සාක්‍ෂියක් වශයෙන් තබා ගැනීම පිණිස පළමු කොට තමන් කෙරෙහි ම මෛත්‍රිය පතුරුවා ඊළඟට තමාට ප්‍රිය වූ තම ගුරුවරයෙක් හෝ වෙන උතුමෙක් හෝ ඇත්නම් ඒ ප්‍රියයාගේ දන්දීම්, ප්‍රියවචන කීම් ආදී ප්‍රිය ඉපදීමට හේතු වු කාරණයන් ද, ශීලාදී ගුණාංගයන් ද, මෙනෙහි කොට “මේ මාගේ ප්‍රියයා මා සේ ම නිදුක්‍ වේවා යි” යනාදී වශයෙන් මෛත්‍රී වැඩිය යුතු ය. එසේ වැඩීමෙන් “අපර්ණා සමාධිය” ඇතිවිය හැක. නමුත් එපමණකින් නොනැවතී ඊලඟට ඉතා ප්‍රිය වූ යහළුවා කෙරෙහි ද, ඊලඟට මැදහත් තැනැත්තා කෙරෙහි ද, ඊලඟට සතුරා කෙරෙහි ද මෛත්‍රිය වැඩිය යුතු ය. මෙසේ වඩන්නහු විසිනුත් මෙකී එක එක තැනැත්තාගේ කොටසෙහි සිත මොළාක් කොටගෙන “අර්පණාසමාධියට” සුදුසු වුවාට පසුව ඒ ඒ ළඟ කොටස්වල තැනැත්තන් කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු ය. යම් කෙනෙකුට සතුරන් නැත්නම් හෝ හතුරු කරන්නන් කෙරෙහි “හතුරු ය” යන හැඟීමක් නැත්නම් හෝ එසේ වු හතුරන් නැති තැනැත්තා විසින් මැදහත් තැනැත්තා කෙරෙහි මෛත්‍රි සිත මොළොක් කොට ගෙන “ඉදින් මේ ළඟ ම හතුරා කෙරෙහි මෛත්‍රිය වඩම්හ” යි උත්සාහ නොකට යුතු ය. මැදහත් තැනැත්තා කෙරෙහි මෛත්‍රිය වඩා ඊළඟට සතුරා කෙරෙහි මෛත්‍රිය වඩන්න යයි කීවේ සතුරන් ඇති තැනැත්තා සඳහා ම පමණකි.
                                                          ඉදින් මෙසේ සතුරන් ඇති කෙනෙක් නම් පිළිවෙලින් තමාය, ප්‍රියයා ය, ඉතා ප්‍රිය යහළුවා ය, මැදහත් තැනැත්තා ය යන කවුරුත් කෙරෙහිත් මෛත්‍රිය වඩා ඊළඟට හතුරාට මෛත්‍රිය කරන්නට පටන් ගත් විට ඒ හතුරා විසින් තමාට කරපු අපරාධය (වැරදි නපුරු) මතක් වීමෙන් මෛත්‍රිය වෙනුවට ක්‍රෝධය ම උපදී නම් නැවත නැවතත් මෛත්‍රිය වඩා පුරුදු වූ යටකී ප්‍රියයා ආදීන් අතුරින් යම් කෙනෙකුට මෛත්‍රි කොට සිත මොළොක් වූ පසු නැවත නැවතත් සතුරාට මෛත්‍රී කරන්නට උත්සාහ කරමින් ඒ ක්‍රෝධය නැති කර ගත යුතු ය.

29 December 2011

බෞද්ධයා සතු විය යුතු ගුණාංග


-->
-->      
උපතින් බෞද්ධයන් වන සියල්ලන්ගෙන් බහුතරයක් කරන්නන් වලෙය් කරන්නකි අවබෝදය තුලින් යමක් කරන්නෙ නම් එහි ප්‍රතිපල ඉහලය,සරල ලෙසින් බෞද්ධයා සතු විය යුතු ගුණාංග දහයකි,යමෙකු බුදුන් දහම් සඟුන් සරණ ගිය පමණින් බෞද්ධයා අදාල ගුණදහමින් පොෂිත වු කළ බෞද්ධ උපාසක බවට පත්වනුලබයි එසෙ නම්  ගුණාංග දහය මෙසේය, 


01.      උපාසකො සංඝෙන සමානසුඛදුක්ඛො හොති.
                                                              බෞද්ධයා සංඝයා හා සමාන සුවදුක් ඇත්තෝ වේ. එසේ වීමට සංඝයාගේ සුවදුක් නිතර සෙවිය යුතුය. පෙර විසූ ‍අනේපිඬු, විශාකා, සුප්පියා ආදී උපාසක උපාසිකාවන් දින පතාම‍ ආරාමයට ගොස් කාම‍රයක් පාසා පැමිණ සංඝයාගේ සුවදුක් සෙවූ බව ධර්ම ග්‍රන්ථයන්හි සදහන් වේ. මේ වැදගත් චාරිත්‍රය නිසි ලෙස සිදු නොවීම සංඝයාගේ මෙන්ම ශාසනයාගේ ද පිරිහීමට හේතුවක් වී තිබේ. මෙකල භික්ෂූන්ගේ සුව දුක් සොයන්නෝ දුර්ලභය. බොහෝ දෙනා ආරාමයට ය‍න්නේ තමන්ගේ කටයුත්තක් පිරිමසා ගන්නට විනා සංඝයා ගැන සෙවීමට නොවේ. ‍එ‍ෙහයින් ‍ෙබා‍‍ෙහා් ‍භික්‍ෂූන් වහන්‍ෙස්ලාට තමන්ගේ කටයුතු තමන්ටම පිරිමසා ගැනීමට සිදුවී තිබේ. කෙසේ තමන්ගේ කටයුතු පිරිමසා ගැනීමට යන වි‍ට ධර්ම නීති හා විනය නීති අමතක වීම පුදුමයක් නොවේ. එහෙයින් භික්‍ෂු ගුණ දහමින් පිරිහෙති. ඒ හේතුවෙන් ශාසනය ද පිරිහෙයි.
                          බෞද්ධයන් භික්ෂූන්ගේ සුව දුක් නිතර ‍ෙසායා බලනවානම් භික්ෂූනට අනියම් මගින් කටයුතු පිරිමසා ගැනීමට ‍සිදු නොවන්නාක් මෙන්ම ගුණදම් දියුණු කැර ගැනීමට ද ලොකු උපකාරයක් වෙයි. භික්ෂූනට වුවමනා සිවුපසය ඒ ඒ ‍වෙලාවට නිසි සේ ලැබීම නිසා කයට මෙන්ම සිතට ද සුව ලැබීමෙන් භාවනාවට පහසු වූ බවත් එයින්ම මාර්ගඵල ලැබූ බවත් මාතික මාත‍ාවන්ගේ කථාවකින් පැහැදිළිව පෙනෙයි. එසේම ශ්‍රද්ධාවන්තයන්ගේ කාරුණික සැලකිළි නිසා “ අනේ, මට මේ තරම් සලකන්නේ ගුණවන්ත කම නිසා නොවේ ද? ඉතින් මම තව තවත් ගුණවත් වියයුතු නො වේදැ යි” සිතා භාවනා කොට රහත් වූවන්ගේ සංඛ්‍යාව ද සුළු නෙ‍ාවන බව බොහෝ චරිත කථාවන්ගෙන් ඔප්පු වෙයි. මේ කරුණු හොදින් සිතා බලා සංඝයාගේ සුව දුක් සොයා බලා උපස්ථාන කරන්නට සිතටගත ‍යුතු ය. එය තමන්ගේ යුතු කමක් මෙන්ම පින්කමක් ද වන අතර ශාසන‍ෙය් දියුණුවට ද ආධාරයක් වෙයි.
02.      ධම්මාධිපතෙය්යො හොති
බෞද්ධයා ධර්මය අධිපති කොට ඇත්තේ වේ.
“ධම්මං විනා න‍ත්ථි පිතා ච මාතා
තමෙව තාණං සරණං පතිට්ඨා
තස්මාහි භො කිච්චමඤ්ඤං පහාය
සුණාථ! ධාරේථ! චරාථ! ධ‍ම්මේ
”

“දහම් විනා අන් පියෙකුත් මවක්වත්
නැති ය හේ වේ පිහි‍ටත් රැකීමත්
එයින් ම පින්වත්නි තබා අනෙක් කිස්
අසව්! දරව්! දම් හැසිරෙව්! !! එ දම්හී
”
                                         මේ ලෙසින් සලකා බලා ධර්මය ඉගෙන ගන්නටත් ඒ අනුව පිළපදින්නටත් හැම කටයුත්තක්ම ධර්මානුකූලව කරන්නටත් බෞද්ධයන් විසින්ම ඉටා ගත යුතුය.
03.      යථා බලං සංවිභාගරතො හොති
                                     ශක්තිය ඇති පරිදි දන් දී බෙදාගෙන අනුභව කරන්නෙක් වේ. දීම කොපමණ හොඳ උනත් අතිදානය හෙවත් තමාගේ පමණ ඉක්මවා දීම ආගමෙහි වර්ණනා කර නැත. එහෙයින් පින්කම් සදහා වුවද තමාගේ ප්‍රමාණයට වඩා වියදම් කොට පසුව කණගාටු වන්නට ඉඩ නො තබා තමා‍ෙග් ශක්තියේ වත්කමේ පමණට දනුත් දී බෙදාගෙන අනුභව කිරීම බෞද්ධයන් තුළ තිබිය යුතු යහපත් ගුණයකි.
04.      ජින සාසන පරිහානිං දිස්වා අභිවුද්ධියා වායමති
                           බුදු සසුනෙහි පිරිහීම දැක එය නගා සිටුවීමට වෑයම් කෙරෙයි. ලොවට  අනන්ත ශාන්තියක් ගෙන දුන්, දැනුත් ගෙන දෙන  මතු ද ගෙන දිය හැකි බුද්ධශාසනය රැක ගැනීම හැම බෞද්ධ‍යකුගේ ම යුතු කමෙකි. එය කළ හැක්කේ නොයෙක් තැන හ‍ඬ නඟා කීමෙන් නොව බුද්ධ ධර්මය හොඳින් ඉගෙන ඒ අනුව පිළි‍පැදීමෙන් ය. එක් එක් පුද්ගලයා තමනට අයත් ධර්මය ඉගෙන තමනට අයත් ගුණ දහමින් යුක්ත වූ වි‍ට ශාසනයෙහි දියුණුවක් මිස පිරිහීමක් ඇති නොවෙයි. එසේම ශාසනයේ යම්කිසි පිරිහීමේ ලකුණක් දුටහොත් එය නොදන්නා අ‍යට දැන ගන්නට මොරගා කීම නොව එයට පිළියම් කිරීම ම නියම බෞද්ධ ලක්‍ෂණය වේ.
05.      සම්මාදිට්ඨිකො හොති අපගතකොතුහල මංගලිකො
                           පහ වූ කුතුහල මංගල ඇති සම්‍යග් දෘෂ්ටිකයෙක් වේ. නක්ෂත්‍රය හා නිමිති ශාස්ත්‍රාදියෙහි යම්කිසි සත්‍යයක් ඇතත් සුභ නැකතම සුභ නිමිත්තම හැම යහපතට හේතුවේයැ යි විශ්වාස කරතොත් එය මහ මුළාවෙකි. වැරැදි දැකුමෙකි. එබඳු වැරැදි දැකුමෙන් තොරව කර්මය හා කර්මඵලය අදහමින් සම්‍යග්දෘශ්ඨිකව විසිම ද නියම බෞද්ධ ගුණයෙකි.
06.      ජීවිතහෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති
                   ජීවිතය නිසා වත් අන් ශාස්තෘවරයකු විශ්වාස නොකරයි. නියම බෞද්ධ ගුණය මෙසේ වුවද මෙකල ඇතැම් පිරිමි, ගැහැණුන් නිසාත්  ගැහැණු, පිරිමින් නිසාත් තමන්ගේ ආගම වෙනස් කෙරෙති. එය බෞද්ධ කමට පමණක් නොව මනුෂ්‍ය කමට ද කරන බලවත් නින්දාවකි. මෙබදු මිනිසුන් ලොව නූපන්නා නම් වඩා හොද ය යනු ඔවුනට කටයුතු හොදම මෙත් වැඩුම යි. කවර කරුණක් නිසා හෝ සත්‍ය වූ ධර්මයක් නො අත්හැරීම ද නියම බෞද්ධ ගුණයෙකි.
07.      කායිකං වාචසිකං චස්ස රක්ඛිතං හොති
                      කාය ද්වාරය හා වාග් ද්වාරය ආරක්ෂා කරන ලද්දේ වේ. සංවර කරන ලද්දේ වේ. තමන්ගේ කථා හා ක්‍රියා අන්‍යයනට කරදර නොවන සේ පැවැත්වීම හොද බෞද්ධයකුගේ ලක්ෂණ‍යක් මෙන්ම ජන සමාජයට ‍කරන ලොකුම සංග්‍රහයෙකි.
08.      සමග්ගාරාමො හොති සමග්ගරතො
                         සමගියට කැමති වේ. සමගියට ඇලුනේ වේ. සමගිය බුද්ධාගමෙහි උසස් ඉගැන්වීමෙකි. වාද භේද හදාගැනීමේ ආදීනවත්, සමගියෙහි ආනිසංසත් නොයෙක් සූත්‍රවලත් ජාතක කථාවලත් මැනැවින් ප්‍රකාශවී ඇත්තේය. අප අතර පවත්නා නොයෙක් අසමගිකම්වලට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ බණ ‍නොදැනීමත් දන්නා බණ අමතක කිරීමත් ය. තව ද ඔවුනොවුන් කෙරෙහි සැක කිරීම හා නොඉවසීමත් අසමගියට හේතුවක්වී තිබේ. මෙසේ අසමගියට ඇති හේතු හොදින් දැනගෙන ඒවා නැති කොට සමගියෙන් කටයුතු කිරීම නියම බෞද්ධ‍යාගේ ලක්ෂණයෙකි.
09.      අනුසූයතො හොති න ච කුහනවසෙන සාසනෙ චරති
                             ඊර්ෂ්‍යා නො කරන්නේ කුහක සිතින් ශාසනයෙහි නො හැසිරෙන්නේ වේ. කැත අදහස් ඇති මිනිසුන්ගෙන් ලොව හිස් නො වේ. එහෙයින් ඇතැම්හු යම් යම් කටයුතු වලදී තම ප්‍රධානත්වය පතුරුවා ගන්නට සිතා එය කරන අ‍යට පවා ඊර්ෂ්‍යා කරති. ගුණයෙන් හා නුවණින්, ධනයෙන් හා පොහොසත් වන්නවුන් දුටු විට ඊර්ෂ්‍යා කරති. හෙළා දකිති. තවත් සමහරු ශාසනික කටයුතු පවා රට රවටන කුහක අදහසින් කරති. එළිපිට කථා කරන විට ක්‍රියා කරන විට බෝසත්වරු ය. එහෙත් ඇතුළතින් නම් පුහු සත්තු ය. හැම ක්‍රියාවකම හැම කථාවකම පෙන්නීමට නොව සැබෑවට ම විය‍ යුතු ය. ඊර්ෂ්‍යා පරවශ නො වීමත් අවංක ප්‍රතිපත්තියත් නියම බෞද්ධයාගේ ප්‍රධාන ම ගුණ වේ.
10.      බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සංඝං සරණං ගතො හොති.

-->
“උපාසකයෙක්- බෞද්ධයෙක් වන්නේ කෙසේදැ” යි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
“යමෙක් බුදුන් සරණ ගියේ ද, දහම් සරණ ගියේ ද, සඟුන් සරණ ගියේ ද මෙපමණෙකින් හෙතෙම උපාසක, බෞද්ධ නම් වේ”. (මහානාම සූත්‍රය)

බුදුන් දහම් සඟුන් සරණ ගියේ වේ. මෙය නියම බුදුනුවකු තුළ තිබිය යුතු දස වැනි ගුණය සේ දක්වා ඇත.



රසවාහිනී 1965 පොසොන්

මාසය තුල සිත්ගත් ලිපි