29 June 2012

කෝ තොපේ බුද්ධා...


                                     අද ටිකක් පරණ කතාවක් මට ලැබුන හිතුන පින්වත් සහෝදරයන්ට දෙන්න,මෙය නිකම්ම පරණ කතාවක් නොවෙයි පරණ කතාවක් වුවත් සිදුවීම සත්‍යයි..මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.

                                            වකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ "චාමස්‌" මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර "ක්‌වීන්ස්‌" හෝටලයේය.එදා වෙසක්‌ පෝ දිනයකි. බෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව "චාමස්‌" උඩුමහලේ සිට දැක්‌කේය. බෞද්ධ ජනතාව තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ මෙබඳු භක්‌තිමත් ගෞරවයක්‌ පැවතීම ගැන අග්‍රාණ්‌ඩුකාරයාට ඉවසිය නොහැකි විය. ශ්‍රී දන්තධාතූන් වහන්සේ කෙරෙහි ඔහු තුළ කෝපයක්‌ සහ වෛරයක්‌ ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක්‌ සහ කුලුගෙඩියක්‌ සොයාගෙන එන ලෙස අග්‍රාණ්‌ඩුකාරයා සිය නිලධාරීන්ට නියෝග කළේය. කම්මල්කරු සහ එම ද්‍රව්‍ය ගෙන ඒමෙන් පසු ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුමබණ්‌ඩාර උයනට ගෙන එන ලෙස නිලධාරීන්ට නියම කොට මොවුන් ද එම ස්‌ථානයට ගෙන යන ලෙස නියෝග කෙරිණි.ටික වේලාවකින් අග්‍රාණ්‌ඩුකාරයා සිතූ පරිද්දෙන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුගෙඩිය සහ කම්මල්කරු මද්දුම බණ්‌ඩාර උයනේ එක්‌තැනක රඳවා මාළිගාවෙන් පිටතට ගත් දළදාවහන්සේ කිණිහිරය මත තැබීමට අග්‍රාණ්‌ඩුකාරයා නිsයම කෙරිණි.සිදුවන්නට යන දේ ගැන ඉවෙන් මෙන් දැනගත් ශ්‍රී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය බෞද්ධයෝ කඳුළු සලමින් බලා සිටියහ. අදට වයස 104 ක්‌ සපුරා සිටින මොරගොල්ලේ රංඑතනාද ඒ පිරිස අතර වූහ.

                             ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ කිණිහිරය මත තබා කුලුගෙඩියෙන් ගසා කුඩුකර දමන ලෙස අග්‍රාණ්‌aඩුකාරයා කම්මල්කරුට නියෝග කෙරිණි. රාජනියෝගය බුද්ධ නියෝගයට වඩා ලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුගෙඩිය ඔසවා වැරෙන් පහරක්‌ පහළට පාත් කළේය. නමුත් කුලුගෙඩිය ළංවන විට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එතැන නොවීය. අනේ සාදු..... අනේ සාදු... අනේ සාදු.... කවුරුත් හඬනගන්නට වූහ.අග්‍රාණ්‌ඩුකාරයාට යකා නැග්ගේය. අඩියට දෙකට පැමිණ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙන කෝ තොපේ බුද්ධා හොයාපිය..... ඉක්‌මනට හොයාපිය. නැත්තං තොටත් මරණය. සුද්දා ගෝලුගාන්නට විය. සුද්දාද ඔහුගේ නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්සේ සෙවූහ. කොතැනකවත් පෙනෙන්නට නොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය අතගා බැලූ නමුත් කිණිහිරයේ එවැනි කිසිදු ලකුණක්‌ නොවීය.

                               කෝ තොපේ බුද්ධා... හොයා පියව්..... නැත්තං තොපි ඔක්‌කොම මරණවා. සුද්දා දැඩි කෝපයෙන් තර්ජනය කරන්නට විය. මොහොතකට වඩා ගත වූයේ නැත. මොර සූරන වැස්‌ස පටන් ගත්තේය. දොඹගෙඩි තරම් ලොකු වැහි පොද හිටි හැටියේ කඩා වැටෙන්නට විය. "වැස්‌ස නවතීවි" යන බලාපොරොත්තුවෙන් ටික වෙලාවක්‌ සිටි නමුත් වැස්‌ස නැවතුනේම නැත. සුද්දා සහ ඔහුqගේ සහචරයෝ තෙම තෙමීම ක්‌වීන්ස්‌ හෝටලයට දුව ගියහ.එසේ පටන් ගත් වැස්‌ස නැවතුනේම නැත. රැස්‌ව සිටි බෞද්ධ ජනතාවද තෙමි තෙමී යාබද කඩපිල් ආදියට දිව ගියහ. වැස්‌ස නොනැවතීම වහින්නේය.එදා දවස පමණක්‌ නොව එදා රාත්‍රිය පමණක්‌ නොව ඊළඟ දවසේ පමණක්‌ නොව එක දිගට නොනැවතීම වහින්නට විය. මේ අන්දමට පුරා සති දෙකක්‌ ගෙවී යන තුරුත් වහින්නට විය.

                          මුළු මහනුවරම වැවක්‌ මෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද "නුවරවැව" බැමි පුපුරා කඩාගෙන යන්නට "ඔන්න මෙන්න" කියා තිබිණි.අග්‍රාණ්‌ඩුකාරයා කලබල විය. එහෙ මෙහෙ දුවන්නට විය. කරගත හැකි කිසිවක්‌ම නැත. වැව පුපුරා ගියොත් ක්‌වීන්ස්‌ හෝටලයද ඉවර වෙයි. අග්‍රාණ්‌ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.දැන් දැන්... මේ දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න බෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ වෙන්න කියල කියාපියව්. දුවපියව් දුවපියව් අග්‍රාණ්‌ඩුකාරයා අණ කළේය.ටික වේලාවකින් වැස්‌සේ තෙමී ගෙන අහල පහල බෞද්ධයෝ ටික දෙනෙක්‌ පැමිණියහ."පරයි...... දැන් පලයව්. දැන්ම පලයව්. තොපේ බුද්ධා කොහොන් හරි හොයාගෙන වරෙව්. බුද්ධා නැතුව මේ පැත්තට එන්න එපා. තොපි ඔක්‌කෝම මරල දානවා. දැන් පලයව්" අග්‍රාණ්‌ඩුකාරයා පැමිණ සිටි බෞද්ධයන්ට අණ කළේය.බෞaදධයෝ ශ්‍රී දළදා මැදුර අවට සහ මද්දුමබණ්‌ඩාර උයනේ තණ කොළ ගහක්‌ නෑර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සොයා බලන්නට වූහ. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටි කුටියට බියෙන් බියෙන් ඇතුළුවී උන්වහන්සේට වැඩ සිටි තැන බැලූහ.

කිසිදු අරෝවක්‌ ආපදාවක්‌ නැතිව ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩිසිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩ සිටින බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂ කළහ. අනේ සාදු සාදු.... ඔවුන්ට ඉබේටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක්‌ තිස්‌සේ අපේ දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතිව කුසගින්දරෙන් දැවෙනවා.

                            අපට අනුකම්පාකොට සහනයක්‌ ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුනාට අපේ මිනිස්‌සුන්ටයි පීඩාව. අපට අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්‌සෙන් පිටිපස්‌සට පැමිණ දළදා මැදුරෙන් එළියට බැස්‌සේය.වැස්‌ස මුළුමනින්ම නැවතී තිබිණි. එක පොදක්‌ වත් වැටෙන්නේ නැත. එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ. ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය."ශ්‍රී දළදා හිමිපාණන්...... ඉස්‌සුවොත්........ හෙල්ලුවොත් එළියට ගත්තොත් වහිනවා" යන ජනමතය අදත් බෞද්ධ සමාජයට කිදාබැස ඇත්තේ මේ සිද්ධිය මුල්කරගෙනය.අමාරුවෙන් තතන තතනා මේ පුවත හෙළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා.


එප්පාවල - රත්න බී. ඒකනායක
දහම් නදින් සිත් සනසන දහම් ගගන රේඩියෝව - උපුටා ගනීමකි...


2 comments:

Hasitha Gunasinghe said...

"මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි. එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ “චාමස්‌” මහතාය"

මේ කතාවේ පරස්පරතා කීපයක්ම තියෙනවා. මුල්ම කාරණය තමා ඒ කාලයේ ලංකාව පාලනය කළේ අග්‍රාණ්ඩුකාරයෙක් නෙමේ. 1948 ලංකාවට ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබීමත් එක්කයි ලංකාවේ අග්‍රාණ්ඩුකාර ධූරයක් ඇතිවුනේ. ඒ අග්‍රාණ්ඩුකාර ධූරය 1972 ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තෙක්ම පැවතුණා.

අනෙක් කාරණය තමා 1921 දී ලංකාවේ ආණ්ඩුකාරයා වෙලා හිටියේ චාමස් එහෙමත් නැත්නම් රොබට් චාමස් නොවෙන එක. චාමස් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළේ 1913 ඉදන් 1915 වෙනකම්. මේ සිද්ධිය සිදුවුණා කියන 1921 ආණ්ඩුකාරවරයා වුනේ ශ්‍රීමත් විලියම් එච්. මැනිං. ඔහු ආණ්ඩුකාරවරයා විදිහට 1918 ඉදන් 1925 වෙනකම් කටයුතු කරනවා.

අනෙක් අතට දළදා පුරාණය ගැන විමසද්දී මේ හා සමානම කතාවක් දඹදිවත් වුණු නිසා ඒ කතාවේ ආකෘතියක් දෝ කියලාත් සැක පහළ වෙනවා.

දළදා වහන්සේගේ ප්‍රාතිහාර්ය සම්බන්ධව මට ගැටළුවක් නැහැ... මොකද මමත් දළදා වහන්සේගේ පෙළහර සම්බන්ධව විශ්වාස කරන කෙනෙක් නිසා.

අනික් පරස්පරතාවය තියෙන කරුණ තමා මේක
"එසැණින්ම අග්‍රාණ්‌ඩුකාරයා වෙත ගොස්‌ ශ්‍රී දළදා වහන්සේ පෙර පරිද්දෙන්ම වැඩ සිටින බව දැන්වූහ.
ආණ්‌ඩුකාරයාට ඒ සිද්ධියෙන්ම මේ රටත් එපාවී මාරුවී පිටරට ගියේය"

මේ සිද්ධ්ය වුණේ 1921. ඒ කාලයේ හිටිය ආණ්ඩුකාරයා වුණු මැනිං විශ්‍රාම යන්නේ 1925. ඒ කියන්නේ මේ සිද්ධිය වෙලාත් අවුරුදු 4 ක් එයා සේවය කරලා තියෙනවා. මේ කතාවේ මුල සහ අග තැන් දෙකේම පරස්පරතාවයක් තියෙන නිසා කතාවේ මැද සම්බන්ධව ප්‍රශ්නාර්ථයක් තමා ඉතුරු වෙන්නේ.....

Tiraj Adikari said...

මමත් හසිතගේ අදහසට එකඟයි. දළදා වහන්සේ කිනිහිරක් මත තබා කුඩු කර දමන්නට උත්සාහ කරන්නේ දඹදිව ගුහසීව රජු විසින්. ලංකාවේ ආණ්ඩු කාරවරයෙකුට එවැනි ආඥාවක් කිරීමේ බලය සහ නිර්භීත කම කිසිසේත්ම තිබිය නොහැකි වන්නට හේතුව උඩරට පැවතුනු රදල සහ සංඝ බලය.

ප්‍රතුගිසින්ට තිබුණු ආගම් ප්‍රචාරය කිරීමේ පිස්සුව සහ අනිත් ආගම් වෙත ඇති ද්වේශය ඉංග්‍රීසින් වෙත එතරම් තිබුනේ නැහැ. ඔවුන්ගේ වෙළඳ සමාගම ආදායම් (profit ) මුල්කරගත් ආයතනයක් නිසා රට සාමකාමිව තබා ආදායම් ඉපදවීමේ පරමාර්ථයක් මිස කිසි හේතුවක් නැතිව ස්වදේශිකයන් කුලප්පු කොට ආගම සම්බන්ධ යුධයක් ඇතිකිරීමට ඔවුන්ට කිසිම හේතුවක් නැහැ .

දින වකවානු ගැන මට හසිතට තරම් දැනුමක් නැහැ. මෙය සම්පුර්ණයෙන් සත්‍ය ලෙස පෙනෙන ආකාරයට සත්‍ය පුද්ගලයන් හා ස්ථාන නාම යොදාගෙන නිර්මානය කරන ලද මනංකල්පිත කතාවක්. මෙවැනි කතා නිර්මාණය සහ ප්‍රසිද්ධිය කිරීම මගින් බුදුදහම සහ බෞධයන් අන්යාගමිකයන්ගේ අපහාසයට සහ උපහාසයට ලක්වීම නොවැලැක්විය හැකියි. එමෙන්ම මෙවැනි මනංකල්පිත කතා දෙස බලන කෝණයෙන් ම පන්සීය පනස් ජාතකය , සත්ධර්ම රත්නාවලිය වැනි බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ ගැනත් උපහාසාත්මකව බැලීමට අන්යාගමිකයන් සහ රැඩිකල් බෞධයන් පුරුදු වීම සාසනයේ චිරස්තිය පිණිස නම් කිසිසේත්ම හේතු වන්නේ නැහැ.

මාසය තුල සිත්ගත් ලිපි