23 November 2013

බුදු දහම තුල රැදෙන්න කාටද ?



                        අද මගේ ධර්ම දානයට මාතෘකාව අනුරුද්ධ සූත්‍රය යි.මෙයට හේතුව නම් අප ගත කරනා ජීවිතය තුල බුදු දහම වැඩියෙන් පිහිටා සිටිනුයේ කාසමගද,ලෝකය මිනිසා තාක්ෂනය හා මිල මුදල් බලය ආදිය සමග තරග වදින කොට මිනිස් සිත තුල පහන් සිතිවිලි සියල්ල පහත් සිතිවිලි බවට පත්වෙනවා, ඇයි එම වෙන්නේ කියල බැලුවොත් අප ගොඩක් දෑ එකතුකරන් සීමිත පරමනයක් බුක්ති විදිනවා, අසාවන් පොඩි බදින්න බදින්න අප ජීවිතය තව තව බර එකතු කර ගන්නවා, මේ ගැන ලිපියක් රත්මලාන, අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාමාධිපති සූරියගොඩ සිරිධම්ම නා හිමි විසින් ලියල තියනවා මම 1 උපුටා ගත්තා, 
                           බුදුරජාණන් වහන්සේසුංසුමාරගිරිකියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම් වනයෙහි වැඩවෙසෙන කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ ප්‍රාචීනවංශ අභය භූ®මියෙහි වැඩ සිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව වැඩවසන්න මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා පුදුම විදිහේ අදහස් කීපයක් පහළ වුණා.
අප්පිච්ඡායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස
                                           මේ ධර්මය අල්පේච්ඡ අයට යි. මහා බලාපොරොත්තු ගොන්නක් ඇති අයට නොවෙයි. බොහෝ ආශා ඇති අයට නොවෙයි යනු අනුරුද්ධ හාමුදුරුවන්ට ඇතිවුණා අදහසක්.බුදුදහම ප්‍රායෝගික යි. අල්පේච්ඡ ජීවිත ගතකරන ඕනෑ ම කෙනෙකුට මේ දහම පිළිගන්න පුළුවන්. නූතන සමාජය මෙවැනි මානසික ධර්මතාවයන් නොමැති නිසා ප්‍රශ්නවලට මැදිවී සිටිනවා. බුදුදහමේ නිසිඵල නෙලාගැනීමට හැකිවන්නේ අල්පේච්ඡ බව අගය කරන අයට යි. ගිහි පැවිදි කාටත් සතර අකාරයකින් අලේපේච්ඡ වීම වැදගත් බව පෙන්වා දෙනවා. අප කාටත් අවශ්‍ය කරන ප්‍රත්‍යය සතරක් තිබෙනවා.ඇදුම් පැළඳුම් ආහාර නිවාස සහ බෙහෙත් යන මූලික අවශ්‍යතාවන්. මේ මූලික අවශ්‍යතා පිළිබඳව සරල බවත්, චාම් බවත් තිබෙන්නට ඕනේ. අවුරුද්ද කිට්ටුවෙන කොට සමහර අය ඇඳුම් ගන්න පෝලිමේ බොහෝ දෙනෙක් ප්‍රමාණයට වඩා ඇඳුම් එකතු කරගෙන ඇඳුම් වලින් අල්පේච්ඡ වෙලා නැහැ.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට නියම කළේ තුන් සිවුරයි. පාත්තරය යි. එය කොතරම් සරල ද චාම් ද කියා සිතා බලන්න. ගිහි ජනතාව මංගල උත්සවයෙන් උත්සවයට අලුත් ඇඳුම් ගන්නවා. මේ ආකාරයට ජීවත්වෙන්න ගියාම ආර්ථික ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා ඇඳුම් පැළඳුම්වලින් අල්පේච්ඡ වීම වාසිදායක යි.
දෙවනුව කෑම් බීම් වලින් අල්පේච්ඡ වීම වැදගත්. අද විවිධ ආකාරයේ ආහාර. බොහෝ දෙනෙක් කැමැති ක්ෂණික නිෂ්පාදන කෑම වලට. නමුත් ඒවා රසකාරක වලින් බහුල යි. අපව ඉක්මනින් රෝගී තත්ත්වයට පත්කරනවා. ආයුෂය, බලය අඩු කරනවා. කෑම වලින් අල්පේච්ඡ වෙනවා කියන්නේ නොකා නොබී සිටීම නොවෙයි. දුටු දුටු බොහෝ දේවල් අනුභව කරනවාට වඩා ශරීර සෞඛ්‍යයට හිතකර දේ පමණක් ගැනීම වැදගත් වෙනවා.
තෙවනුව සෙනසුන්වලින් අල්පේච්ඡ වීම, අපේ සමහර අය මේ අංශයෙන් ද අල්පේච්ඡ වී නැති බව පෙනෙනවා. කුරුල්ලකුට වුණත් ඉන්න කූඩුවක් අවශ්‍ය කරනවා. ගිහි සැමටත් ඉන්න නිවසක් අවශ්‍ය යි. එය අල්පේච්ඡ වුණ තරමට සිතට සැනසීමක් ලැබෙනවා.
තෙවන කරුණ සෞඛ්‍ය ය. සමහර අයට මේ රටේ ඉහළ ම රෝහල්වලට ගොසින් ප්‍රතිකාර ලබන තුරු රෝගය සුව වන්නේ නැහැ
තවත් කෙනෙකුට කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම සුවපත් භාවය ලැබෙනවා. ඒ නිසා මේ අංශයෙන් ද අල්පේච්ඡ වුණ තරමට හොඳයි. මේ කියන ඇඳුම්, ආහාර, සෙනසුන්් සෞඛ්‍යය යන අංශවලින් අල්පේච්ඡ ජීවිත ගතකරන අයටයි බුදුදහම.
                              පරියත්ති අල්පේච්ඡතාවයක් ඇති අයටයි බුදුදහම. සමහර අය නැති ගුණ පෙන්වන්න යනවා. නො ලබා ඇති මාර්ග ඵල පිළිබඳ පෙන්වන්න උත්සහ කරනවා. සෝවාන්ඵල ලාභී අසවලාගේ පොත කියවන්න කියල පුවත්පත්වල දැන්වීම් පවා පළ කරනවා. තමන් ධර්මය දන්න කෙනෙක් බව අමුතුවෙන් ලෝකයාට ප්‍රසිද්ධ කරන්නේ නැහැ නියම බෞද්ධයා. මෙන්න මේ කාරණාවලින් අල්පේච්ඡ ඕනෑම කෙනකුට බුදුදහම පිළිපදින්න පුළුවන් බව සිතට ගන්න.
                                         බුදුදහම කා සඳහා ද? යන ප්‍රශ්නයට අදාළ දෙ වන පිළිතුර ඊළඟට පහදා දෙන්න අපේක්ෂා කරනවා. අප ප්‍රශ්න කළොත් වැඩිහිටියකුගෙන් හරි තරුණ කෙනකුගෙන් හරි බුදුදහම කා සඳහා ද? කියල පිළිතුරු ලැබේවි කළකිරුණු අයට යි. නැත්නම් වයසක උදවියටයි එසේත් නැත්නම් බෞද්ධයන්ට යි කියලා. නමුත් ධර්මානුකූ®ලව කල්පනා කරන විට ඊට වඩා හාත්පසින්ම විරුද්ධ පිළිතුරක් ඇතුළත් වෙලා තිබෙනවා ධර්මයේ. ඒ තමා, සන්තුට්ඨායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්සමේ දහම සතුටෙන්, සන්තෝෂයෙන් ඉන්න අයට යි. අසතුටෙන් අසන්තෝෂයෙන් අමනාපයෙන් ඉන්න අයට නො වෙයි. මේ සන්තෝෂය සතුට ජීවිතයට ඉතා වැදගත්. මනස සැහැල්ලු තරමට කය සැහැල්ලු තරමට අප නිරෝගිමත් වෙනවා.
                                      බුදුහාමුදුරුවන්ගේ් දේශනාවට අනුව උත්සාහයෙන් වීර්යයෙන් ධාර්මිකව හරිහම්බ කරන්න තහනමක් නෑ. බාධාවක් නෑ. වෙර වීරියෙන් හම්බකරල හුඟක් ලැබුණත්, ටිකක් ලැබුණත් ඒ ලැබෙන ප්‍රමාණයට සතුටට පත්වෙන්න, සෑහීමට පත්වෙන්න හැකියාව තිබෙනවා නම් එය ඉතා උසස් ගුණාංගයක්. එය ධර්මයේ උගන්වන්නේ යථාලාභ සන්තෝෂය කියලයි. සමහර අයට කොපමණ ලැබුණත් මදි. අතෘප්තිකරයි. බොහෝ ය සතුටින් නො වෙයි ඉන්නේ. ඒ නිසා පින්වතුනි බුදුදහම එබඳු අයට නොවෙයි. අපි කවුරුත් කැමති නැහැ කාගෙවත් වැඩකාරයො වෙන්න. එනමුත් අපි දන්නෙම නැතුව එක අයකුගෙ වැඩකාරයො වෙලයි ඉන්නේ. ඒ තමයි තෘෂ්ණාවේ වැඩකාරයෝ අපි. අපේ ආශාවන්ට ඕන විධියටයි අපි කවුරුත් හැසිරෙන්නේ. මේ තත්ත්වය වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕනෙ. නැතිනම් අපේ සතුට පලා යනවා. අසහනය ළඟා වෙනවා. එතකොට ප්‍රශ්න වැඩිවෙනවා.
                                         මොකක්ද? මේ අසහනය. අද සමාජයේ නිතර නිතර ඇසෙන වචනයක් මෙය. අපෙ බලාපොරොත්තු වැඩියි. ප්‍රාර්ථනා එමට යි. නමුත් හිතන තරමට ලැබෙන්නේ් නැහැ. ලැබෙන ප්‍රමාණය යි බලාපොරොත්තුª ප්‍රමණය යි අතර විශාල පරතරයක් තියෙනවා. මේ හිඩැස තමයි අසහනය. අන්න ඒ නිසා වුවමනාවට වඩා බලාපොරොත්තු ඇතිකර ගත්තහම ඒවා ඉෂ්ට කරගන්න බැරිවන විට සිතට කිසිම සතුටක් නැහැ. සහනයක් නෑ. එනිසා තම තමන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ආශාවන් පාලනය කරගෙන කටයුතු කළ යුතු කාලයක තමයි අප ජීවත් වන්නේ. අපේ හිතේ් තිබෙන ප්‍රශ්න අඩුකරගෙන සිත සැහැල්ලු කරගෙන ජීවත්වීම තමයි වටින්නේ. එතකොට ඒ ජීවිතය තමන්ටත් බරක් නෑ. අනුන්ටත් බරක් නෑ. සමාජයටත් බරක් නෑ. සැහැල්ලු ජීවිතය තමන්ට ම සතුට ගෙන දෙනවා. සතුට පවතින්නේ් භෞතික භාණ්ඩ මත නොවෙයි. සමහර අය සිතන්නේ ගෙවල් දොරවල්. මිල මුදල් යාන වාහන තිබුණම සියල්ල සම්පූර්ණයි කියලා.
                                        සතුට අධ්‍යාත්මය හා සම්බන්ධ යි. සමහර අයට යාන වාහන රැකී රක්ෂා තිබෙනවා. නමුත් ජීවත්වන්නේ සතුටෙන් නොවෙයි. සමහරු බොහොම දැන උගත් නමුත් සතුට නැහැ. සමහර අය බොහොම ලස්සන යි.නමුත් සතුට නැහැ. ඒත් පාරේ ඉන්න අහිංසක මනුෂ්‍යයෙක් ළඟ අර බොහෝ දේවල් තිබෙන අය ළඟ නැති සතුට තිබෙනවා. ජීවිතයේ සැඳෑ සමයේ ආපසු හැරී බලනවිට සතුටු වියහැකි ජීවිතයක් ගතකර තිබෙනවා නම් එය වටිනවා. මගෙන් සමාජයට ආගම දහමට දරුවන්ට නෑදෑයන්ට රටට සේවයක් සිදුවී ඇතැයි අවංකව ම සතුටුවිය හැකි නම් ඒ ජීවිතය වටිනවා. එබඳු සතුටක් භුක්ති විඳින අයට බුදුදහම අර්ථවත් ලෙසට පිළිපදින්න පුළුවනි. පින්වතුනි තුන් වෙනුව
පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංසරිකාරාමස්සබුදුදහම විවේක ඇති අයට යි. රංචු ගැසී කාලය කා දමන අයට නො වෙයි.
කාලය රන් හා සමාන යයි අතීතයේ කීවා. අද කියන්න වෙලා තිබෙන්නේ කාලය මිල කළ නො හැකියි. කාලය සීමා සහිතයි. ඒ සීමා සහිත කාලයෙන් අසීමිත කාර්ය භාරයක් සිදුකර ගැනීමට අවශ්‍ය බව හැමදෙනාම සිතට ගැනීම වැදගත්. කාර්ය බහුලව සමූහ වශයෙන් ඉන්න අයට බුදුදහම පිළිපදින්න අපහසු යි. පිළිපදින්නට හැකිවන්නේ විවේකය පි‍්‍රය කරන අයට යි.විවේකය කියන්නේ වැඩ පල නොකර පැත්තකට වෙලා ඉන්න එක නො වෙයි. ධර්මානුකූ®ලව විවේකය කායික විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය කියා කොටස් තුනකට බෙදා තිබෙනවා. කාය විවේකය කියන්නේ ශරීරයට විවේක දීම.
             දෙ වන කරුණ චිත්ත විවේකය යි. එයින් අදහස් කරන්නේ සිතට විවේක දීම. වත්මන් සමාජය හරිම සංකීර්ණයි. හැම තැන ම විවිධ ප්‍රශ්න ගැටලු. මේ අභියෝගවලට මුහුණ දීල ජයගන්න නම් මානසික විවේකය අවශ්‍ය යි. මානසික විවේකය ලබාගෙන මොහොතක් බුදුගුණ, දහම් ගුණ, පරිත්‍යාගය, මරණය ගැන මෙනෙහි කරන්න. එසේ කිරීමෙන් නිතිපතා අපිරිසුදු වන ඔබේ සිත මොහොතකට හෝ පහන් වේවි. පිවිතුරු මනස සැප එළවනවා.
           තුන් වන කාරණය තමා උපධි විවේකය. ජීවිතයක් සාර්ථක කරගන්න කෙලෙසුන්ගෙන් විවේක ගැනීම අවශ්‍ය යි. නමුත් සමහර අය කෙලෙස් වැඩිකර ගන්නවා. මුළු දවසෙම හම්බ කරනවා. හැන්දෑවට බීල ඇවිත් වටේම ඉන්න අයටයි අම්මටයි තාත්තටයි බැනල නිදා ගන්නවා. එහෙම නැතුව කෙලෙස් අඩුකර ගන්න අයත් ඉන්නවා.
           හතරවන කාරණය තමා මේ බුදුදහම වීර්යවන්ත අයට යි කියන එක. එසේ නැතුව කුසීතව කම්මැලිව ඉන්න අයට නොවෙයි. සෑම මිනිසකු තුළ ම අනිවාර්යයෙන් ම තිබිය යුතු ගුණංගයක් තමයි වීර්ය ය. ඒ තත්ත්වය තමා ළඟ නැත්නම් තම චරිතයට ජීවිතයට සමීප කරගත යුතුම ය. අකුසල් දුරුකර ගැනීමටත් කුසල් දියුණු කර ගැනීමටත් වීර්යය අවශ්‍ය ම ය. වීර්යය යන ගුණ ධර්මය ප්‍රගුණ කළ නිසා පුරුදු පුහුණු කළ නිසා සියල්ල දත් බුදුහාමුරුවන් වැනි ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයාණන් නමක් ගැන අපට ඉගෙන ගන්න ලැබුණා. ඒ චරිතයෙන් අප අපගේ ජීවිතයට උපරිම ලෙස චරිතාදර්ශ එකතු කරගන්න උත්සාහ කරමු. ජීවිතයට අභියෝග ආ විට අඬ අඬා ඉන්නේ නැතිව පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නේ නැතුව අභියෝගය ජයගන්න උත්සාහ කිරීමයි අවශ්‍ය වන්නේ. එබඳු උත්සාහය වීර්යය ඇති අයට තමයි මේ බුදුදහම.
පින්වතුනි, උපට්ඨිත සතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මට්ඨස්සතිස්සබුදුදහම එළඹ සිටි සතියෙන් යුක්ත අයට යි. සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරන අයට නොවෙයි. මතක ශක්තිය දුර්වල වුණාම බොහෝ අවැඩ සිද්ධ වෙනවා. අතපය කඩන්නේ නැතුව දුක් මහන්සි වෙලා හදා වඩා ඇතිදැඩි කළ දෙමව්පියන් සමහර දරුවන්ට අමතක වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ සතිය හැම තැන ම අවශ්‍ය දෙයක් බව. හිතන කියන දේවලට පමණක්් නොවෙයි ඉන්ද්‍රිය මගින් සිදුකරන සෑම ක්‍රියාදාමයකට ම සිහිය නැත්නම් සතිය අවශ්‍ය යි. ඒ එක්කම භාවනාවකින් සිත එකඟ කරගන්නත් සතිය හොඳට පුරුදු පුහුණු කරල තිබීම අවශ්‍ය කරනවා.
විවේකීව වැඩ සිටින අනුරුද්ධ හාමුදුරුවන්ට මෙහෙම අදහසක් පහළ වෙනවා.සමාහිතස්සායං ධම්මො නායං ධම්මො අසමාහිතස්සමේ දහම තැන්පත් සිතක් ඇති අයට යි. සිත විසිරිලා විකෂිප්ත වෙලා ඉන්න උදවියට නොවෙයි. කාරණා පහක් සිතේ් බලවත්වන විට සිත හරිම වික්ෂිප්ත යි. කලබලයි. ඒ තමා පංචනීවරණ ධර්ම. ඉඳුරන් පිනවීමට යාමෙන් සිත වික්ෂිප්ත වෙනවා. ඒවා හැකිතාක් පාලනය කර ගත්තොත් ආර්ථික වශයෙන් ද සෞඛ්‍යමය වශයෙන් ද වැදගත් වෙනවා. දෙ වන කරුණ තමා තරහව. මේ තරහව අපේ සිත වසා ගත්තම ඇතිවන තත්ත්වය විස්තර කළ හැකියි. සිතේ තරහව ඇති වුණාම හොඳ නරක තේරුම් ගත නො හැකියි. කරන කියන දේ ගැන ඉන්න තැන ගැන අවබෝධයක් නැහැ.
තුන්වන බලවේගය තමයි ථීනමිද්ධ ය. සිතේ සහ කයේ ඇතිවන මැලි ගතිය තමයි ථීනමිද්ධ කියන්නේ, සිතේ් නිදිමත ගතිය අලසකම ඇති නොවීමට වැඩ සැලසුම් කර ගැනීම දියුණුවේ ලක්ෂණයක් බව සිතට ගන්න. සිත නො සන්සුන් කරන අනෙක් කාරණය තමයි උද්දච්ච කුක්කුච්ඡ ය. එයින් කියන්නේ සිතේ නොසන්සුන්කම යි. සමහර අය හරි කලබල යි. කලබලයට වැඩ කරන්න ගිහින් විවිධ විපත්වලට මුහුණ පානවා. සිත කැලඹුණ විට නො සන්සුන් වූ විට මතකය අවදිවන්නේ නැහැ. එනිසා කලබල වන්නේ නැතුව වැඩ කරන්න කල්පනාකාරී වන්න.
අනෙක් කරුණ තමයි විචිකිච්ඡාව. සෑම දෙයක් ගැනම සැක කරනව. ප්‍රධාන වශයෙන් තුණුරුවන් ගැන සැක කරනවා ඉපදීම ගැන. දෙමව්පියන් ගැන සැක කරනවා. සැකය දියුණුවට බාධාවක්. ඉක්මණින් ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් සංවර වූ සිතක් ඇති අයට මිස අසංවර වූ සිතක් ඇති අයට නො වෙයි.
අවසාන වශයෙන් පින්වතුනි, මේ බුදුදහම බුද්ධිමත් අය සඳහා ඳස මෝඩ අයට නො වන බව බුදුපියාණෝ මෙහෙම දේශනා කරල තියෙනවා. මේ දහම ප්‍රඥාවන්ත අයට මිස මෝඩ අයට නො වේ. බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රඥාවට මුල් තැනක් දෙන දර්ශනයක්. එය භක්ති මාර්ගයක් නොවෙයි. බුද්ධි මාර්ගයක්. ප්‍රඥාව මිනිසකු සතු උසස් ම වස්තුවක්. යම් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක වන්නනම් ඒ පුද්ගලයා ගුණයෙන් පිරුණු කෙනෙක් වෙන්නත් ඕන. ප්‍රඥාවෙන් යුක්ත වෙන්නත් ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළා. ඔහු සිල්වතෙක්, ගුණවතෙක් කියලා. ඒ නිසා සීලය යි. ප්‍රඥාව යි ලෝකයෙ අග්‍රයි කියලා දක්වලා තිබෙනවා. එහෙම නම් අප ඕනෑ ම කෙනකු ළඟ තිබිය යුතු වැදගත් ම ගුණාංග දෙකක් තමයි සීලය යි. ප්‍රඥාව යි.
                  නැත්නම් ගුණය යි. නුවණ යි. ගුණවත් නො වී නැණවත් නොවී මොන තරම් දේ කළත් අර්ථයක් නැහැ.බුදුහාමුදුරුවෝ මේ ධර්මය දේශනා කරල තිබෙන්නේ අධික තෘෂ්ණාවෙන්, වැරැදි අදහස්වලින්, අධික මානයෙන් ඉන්න අයට නොවෙයි. ඒවා අවම කරගන්න උත්සාහ දරන නිවන් සොයන, නිවනට ඇළුණු අයට යි. අපගේ ජීවිතය කෙටියි. ඒ කෙටි කාලය තුළ ගුණදම් පුරන්නට යුතුකම් ඉටුකර ලන්නට, හැකිතාක් නුවණ වැඩෙන ක්‍රියා කරන්නට කටයුතු කිරීම වැදගත්. අපේ සිත්වලට ගලා එන පවිටු චේතනා පවිටු අදහස් බැහැර කරමු. සෝදා හරිමු. සිත් සතන් පිරිසුදු කර ගනිමු.

16 November 2013

එන අකුසලය දුරලන්න උපායක්

                     අද ලිපිය සිතට එන සිත හා ගැටෙන දහසක් සිතිවිලි තුලින් අකුසල් සිත්ඉවත් කරන්නට උදව් කරනා සරල වැඩක්,හිතනවා පින්වත් ඔබට උදව්වක් වෙයි කියල,
                              බුදුන් වහන්සේ මගපෙන්වන්නේ සිත පවින් ඉවත් කරවාගෙන කුසලයට ම යොමුකර තබාගැනීමට පුරුදු පුහුණූ කරවීමට ය. මෙය එතරම් පහසු දෙයක් නොවන බව, ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනකුට පැහැදිළි කරගත හැකිය. අපේ සිත්වල තිබෙන්නේ සිතට පුරුදු කළ දේ ය. ඒ මේ ජීවිතයේදී මෙන් ම, සසර පුරුදු ලෙස ගෙන එන ඒවා ද විය හැකි ය. මේ ජීවිතයට අවශ්‍ය ගතිගුණ පුරුදු කරවීම අරඹන්නේ මවුපියන් ප‍්‍රධාන පවුලේ සමීපතමයන් විසිනි” යන්නවේ භාජනේ ලග්නඞ, සංස්කාරෝ නාන්‍යතා භවේත්” යන විෂ්ණු ශර්මන් පඬිවරයාගේ වදනට අනුව මේවා අමු මැටි බඳුනක අඳින රේඛා සටහන් සේ කල්පාන්තරයක් ගත වුව ද මැකීනොයයි. ගුරුවරුන්, අසල්වැසියන් සහ නෑ හිතමිතුරු සියල්ලන් එක් ව සමහර විට අලුත් පුරුදු ඇතිකරවන අතර, ඇති වී තිබුණු පුරුදු වැඩිදියුණු කරවීම ද කරනු ලබයි. මෙහි ලා අපේ මූලික ස්වභාව විසින් ඉටුකරලන වැඩ කොටසක් ද තිබේ. එනම් හැමවිටම ගැලපෙන අය සමග එකතු කරවීම ය. අප කෙසේ හෝ හොයාගෙන ගොස් එකතුවන්නේ ද අප වටා කෙසේ හෝ එක් රැස්වන්නේ ද අපට ගැලපෙන අය ය. නොගැලපෙන්නන් කෙසේවත් එකතුකර තැබිය නොහැකි ය. ගැලපීම සිදුවන්නේ මූලික ස්වභාවයන්ට අනුව යැයි බුදුරජාණන් වහන්සේ දක්වති.
                                මූලික ස්වභාවයන් මේ ජීවිතයේදී ලැබූ දේ නොවන අතර, සසර පුරා අපේ සිත්වල ට පුරුදු කරගෙන තිබෙන දේය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේට සසර පුරුදු අතහැර ගැනීමට නොහැකිවීමෙන් කරදරයට පත්වූයේ, අසරණ ගොවියෙකි. මේ අයුරින් තම තමන් ගැන ම කල්පනා කර බලන ඔබට , ගැලපෙන මෙන් ම නොගැලපෙන ගති සිරිත් ද වශයෙන් කොතරම් ප‍්‍රමාණයක් නම් ඔබේ ජීවිතයට ඇබ්බැහි වී තිබේදැයි දැක ගත හැකි ය. ඔබට සැප හෝ දුක සකස් කර දෙන්නේ මෙම ගති සිරිත් මගින් වන නිසා ඒවා නොතකා හැරිය හැකි දේ නොවේ.සතුටු වන හැම විටම කල්ලි ගැසී පිරිස පිරිවරා ගැනීමට අපි පුරුදුව සිටිමු. මහගම සේකරයන් කී පරිදි ඔබ හිනැහෙන විට මුළු ලොව ඔබ සමග සිනාසෙන බවත් නමුත්, ඔබ හඬන විට ඒ ලොව ඔබ අතහැර සිනාසෙන ඒ කිසිවිටෙකත් ඔබට නොවැටහෙයි. බුදුරජාණන් වහන්සේ දක්වන පරිදි මේ සතුට හෝ දුක කවරක් වුව ද, එය සැකසෙන්නේ ඔබේ සිත පුරුදු කර තිබෙන පිළිවෙළ අනුව ය.
                         ඔබේ සිතෙහි තිබෙන්නේ කුමක්දැයි යන්න හරියටම දන්නේ ඔබ ය.ශාරීරික කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය රසායනික කොටස් සිරුර තුළ නිපදවෙන්නේ ඔබේ සිතිවිලිවලට අනුවය. ඒවායේ බලපෑම මත මුහුණේ සහ සිරුරෙහි ස්වභාවයත් ඇතැම් අසනීප ආදියත් සැකසෙන නිසා, ඔබ කවර අයුරකින් අන් අයට ඇගවීමට උත්සාහ කළ ද ඔබේ කල දවස ගතවන්නේ සැප සේ, සතුටෙන් නොවේ නම් ඒ බව ලෝකයාට හෙළිදරව්වීම කෙසේවත් වැළැක්විය නොහැකි ය. මෙනිසාම සකසා ගත් සිතින් ලැබෙන ආශිර්වාදය අන් කවර ආශිර්වාද පූජාවකිනුදු ලැබිය නොහැකිය. බුදුරජාණන් වහන්සේ පෙන්වන පරිදි කිසිවෙකුටත් උදුරාගත නොහැකි පර ම ධනය, එය ය. සාමාන්‍ය මිනිස් සිත කිසිම වගාවකට යොදා නොගත්, සරුසාර බිම්කඩක් වැනි ය. එය ඉතාමත් ඵලදායි ලෙස දියුණු කළ හැකි ශක්ති බීජයන්ගෙන් පිරුණකි. එහෙත්, ඔබේ අවධානය නොයෙදෙන්නේ නම් එහි වැවෙන්නේ කිසිදු පලක් නොමැති වල් පැළෑටි ය.
පිරිස් පිරිවරාගෙන සතුටුවන සමහර මෝඩයන් , තම සරුසාර ඉඩමෙහි වල්පැළෑටි වැවෙන්නට හැර, එයිනුදු ආස්වාදයක් ලබන්නට පුරුදුව සිටිනු දැකිය හැකිය. රැස් පිරිවර සමග සතුටු වන මේ අය, මැටියෙන් තනා, පිටතින් රන් ආලේප කිරීමෙන් දිළිසෙන කර්ණාභරණ වැනි යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.සිත පිරිසිදු කිරීම වල් අලියකු හීලෑ කිරීමක් වැනි යැයි කියති. පළමුවෙන් ම කළ යුත්තේ අලියාගේ ප‍්‍රමාද දෝෂයක් බලා සිට , උපක‍්‍රමශීලිව ඌ අල්ලාගැනීම ය.
                                   ඉන්පසු පහසුවෙන් උදුරා දැමිය නොහැකි ගසකට තබා ශක්තිමත් කඹයකින් බැද දැමිය යුතුය. තුන්වන පියවරෙහි දී උගේ සුපුරුදු ආහාරපාන, පාලනය කර කායිකව ද දුර්වල කළ යුතු ය. මුලදි දඟලමින් , කෑගසමින්, කිට්ටුවන්නට බැරිතරම් සැඩපරුෂ ලෙස හැසිරෙන සතා ටිකෙන් ටික දමනය වී, සන්සුන් වෙයි. පසුව අවශ්‍ය කටයුත්තකට මෙහෙයවිය හැකි පරිදි පුහුණු කරවිය හැකි ය. සිත පුහුණු කිරීම ද මෙසේ පියවරින් පියවර කළ යුතු අතර, නොකළ යුතු එකම දෙය වන්නේ සිත අල්ලා ගැනීමට එය දුර්වල වන අවස්ථාවක් එළඹෙන තුරු බලා නොසිටීමය.මජ්ඣිම නිකාය ද්වේධාවිතක්ක සූත‍්‍රයෙන් පැහැදිලි කැරෙන පිළිවෙළ පුරුදු පුහුණු වීම ඉතා පහසුය. දිනක් බෝසතණාන් වහන්සේ, තැන්පත්ව තම සිතෙන් ඒ සිත ම , පරීක්‍ෂා කරමින් වැඩ සිටින විට , එහි නිමක් නොමැති ව මතුවන, අනේකවිධ සිතිවිලි දුටහ.
                                            ඒ දෙස හොඳින් පරීක්‍ෂාකාරීව බැලීමෙන් හොඳ සිතිවිලි මෙන් ම නරක සිතිවිලි ද විටින් විට මතුවන බව දුටු උන්වහන්සේ, මේවා එකිනෙක නම් කරන්නට පුරුදු වූහ. ලෝභ සහගත සිතිවිල්ල ලෝභ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර, පසෙකට කළහ. ද්වේශ සහගත සිතිවිල්ල, ද්වේශ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර පසෙකට කළහ. කරුණාව ඇතිවී නම් එය කරුණාවන්ත සිතිවිලි ගොඩට දැමූහ. මේ අයුරින් සිතෙහි ඇතිවන විවිධ සිතිවිලි නම් කර, හොඳ සහ නරක වශයෙන් ගොඩවල් දෙකකට ඒවා වෙන්කර තැබීමට පුරුදු වූහ. නැවත ඇතිවන අවස්ථාවල දී එම සිතිවිලි ඉතා ඉක්මනින් හඳුනාගන්නට පහසුවක් වන මේ පළපුරුද්ද යහපත් සිතිවිලි ගොඩෙහි තිබෙන ඒවා නැවත නැවත ඇතිකර ගැනීමේදීත්, අයහපත් ගොඩෙහි තිබෙන ඒවා ඇති වන විට ඒවා කෙරෙහි නොසැළකිලිමත් වෙමින් ඇතිවූ තැන ම ලොප්කර දැමීමේදීත් ,ඉක්මනින් කි‍්‍රයාත්මකවීම සඳහා මහත් පිටුවහලකි. මේ ක‍්‍රම අනුගමනය කරමින් නොබෝ කලෙකින් යහපත් සිතිවිලි සිතෙහි තහවුරු කරගන්නටත් අයහපත් සිතිවිලි සිතෙන් බැහැර කරවන්නටත් සමත් වූ උන්වහන්සේ එය ම ආදර්ශයට ගන්නා ලෙස මජ්ම නිකායෙහි ම විතක්ක සණ්ඨාන සූත‍්‍රයෙහි දී පෙන්වා දෙති.බුදුවරු, බෝසත්වරු අනුගමනය කළ තවත් පිළිවෙළ කිහිපයක් සහිත එම ආදර්ශය කවරකුට වුව ද අනුගමනය කිරීම එතරම් අපහසු නොවේ. අනුන්ගේ වගතුග සොයමින්, කන බොන ලද දේ ආ ගිය තැන් ගැන පුරසාරම් දෙඩීමට ගතකරන කාලය මෙවන් පුහුණුවකට යොමු කරගත හැකි නම්, එයින් අත්කර ගත හැකි යහපත, මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.
                  තැන්පත් සිතක් පවත්වාගැනීමට වෑයම් කරන විට, ආශාව, තරහ හෝ මුළාව මුල්කරගත් සිතිවිලි ඇතිවන්නේ නම්, ඒවා ඔබේ සිත, කය , වචනය අසංවර කරවා, ඔබව සීලයෙන් පිරිහීමට පත්කරවයි. සිත නොසන්සුන් වී, සමාධිය සිතින් දුරුකරවයි. මුළාව ඉස්මතු වී යමක් නිවැරැදිව තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රඥාව යටපත් කරවයි. එම නිසා ම මෙබඳු සිතිවිලි පාප සහගත ය. නරක යනුවෙන් වටහගෙන ඒවා ඇතිවුවහොත් එවිගස ම තමාට ගැලපෙන, යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනිමින් එම පාප සහගත සිතිවිල්ල යටපත් කරගැනීමට තරම් තමන් ඤාණවන්ත විය යුතුය. බොහෝ විට දක්නට ලැබෙන්නේ තමාගේ සිතෙහි පව්කාර සිතිවිලි ඇතිකරගෙන , ඒවා දියුණුවන්නට හැර , එසේ වූයේ මවුපියන් නිසාය. ගුරුවරුන් හෝ වෙනත් පරිබාහිර කිසිවකු නිසා යැයි චෝදනා කරමින් අලසව සිටීමට මාන බලන අය ය. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ, තමාට තමන් මිස අන් කිසිවකුත් නැති, නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිමින්, මරණයෙන් කෙළවර වන, යළිත් කිසියම් තැනක නැවත උපදින ජීවිතයක් ගත කරන අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට ගත කරන අප අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට පත්වීමේ දී සිදුවන හානිය , වෙනත් ක‍්‍රමයකින් ආවරණය කළ නොහැකි බවය.
                                                        සිතක අයහපත් සිතිවිල්ලක් ඇතිවන්නේ නම්, වහා ම ආවරණය කළ නොහැකි බවය. යහපත් සිතිවිල්ලක් ඇතිකරගනිමින් ඒ අයහපත් සිතිවිල්ල යටපත් කරදැමීමට සැළකිළිමත් වීමය. මෙහිදී උපකාර කරගතහැකි වටිනා ලක්‍ෂණයක් ස්වභාව ධර්මය අපට පෙන්වාදෙයි. ඒ හැම දෙයකටම ප‍්‍රතිවිරුද්ධ දෙයක් ද තිබෙන බව දකින්නට සලස්වා තිබීමයි. අඳුරට අකමැති අය කළ යුත්තේ ආලෝකය ඇති කර ගැනීමය. එමෙන්ම ලෝභකම පරිත්‍යාගයෙන් ද, තරහ මෛති‍්‍රයෙන්ද, මුලාව නුවණින්ද යටපත් කරවන්නට උත්සුක විය හැකිය. ඕනෑම සිතිවිල්ලක් ඊට ප‍්‍රතිවිරුද්ධ සිතිවිල්ල ඇති කරගෙන යටපත් කරවිය හැකිය.සාමාන්‍ය ලෝකය තුළ වුව ද පාපයට විශාල පිළිගැනීමක් තිබෙන බවක් පෙනේ. පාපය ලස්සන ය. බොහෝ දෙනෙක් එයට කැමතිය. පව්කිරීම ඉතා පහසුය. ඒවා කරන අයට පිරිස් ඕනෑතරම් සිටිති. එහෙත් ඒ බොහෝ කලකට නම් නොවේ. ඒ නිසා පාප සහගත සිතිවිල්ලක් ඇති වූවිට, එහි පාප සහගත බව සිහිපත් කරමින් එය සිතෙන් බැහැර කරවිය හැකිය. එය නරක බව සිතට ඒත්තු ගන්වා, එය අනුගමනය කිරීමෙන් ඇතැම්විට සතුටු විය හැකි නමුත් පාපය දුකට මුල් වන බව දැක, එය වැරැදි ය යන බව ම සිතට ඒත්තු ගැන්වීම ය. මෙහි දී කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ගෙලෙහි බැඳි බලු කුණක් හා සමානකොට සලකා පාපය බැහැර කළ යුතු බවයි.
                                   තවත් සමහර විටක දී අනුගමනය කළ හැකි පිළිවෙළකි පාපය සිහිපත් නොකර සිටීම . එය හරියටම අකැමැති දෙයක් දකින්නට සැලසුණු විට , ඇස් පියාගෙන එය මඟහැර යෑම වැනිය. ඕනෑම සිතිවිල්ලක් නැවත නැවත මෙනෙහි කිරීම නිසා සිතෙහි වඩවඩාත් තහවුරුවන බව වඩ වඩාත් ශක්තිමත්ව මුල්බැස ගන්නා බව, අත්දැකීමෙන් ම දන්නා ඔබට, මේ පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත.නැවත සිහිපත් නොකර සිටීමෙන් ද යටපත් නොවන තරම් බලසම්පන්න පාප සිතිවිල්ලක් නම් එය මතුවන්නේ කවර කාරණයක් මුල් කර ගෙන දැයි සිතා බලා, එහි නිශ්ඵල බව සිතට පෙන්වාදී, එය යටපත් කර දැමීමේ ක‍්‍රමයක් ද තිබේ. එය තමන්ට කරන්නට සිතෙන කිසියම් නිශ්ඵල දෙයක් එසේ කරන්නට සිතන්නේ ඇයි දැයි තමා විසින් ම දිගින් දිගටම ප‍්‍රශ්න කරමින් , විමසමින් අවලංගු කර දැමීම වැනිය.අවසන් වශයෙන්, තවදුරටත් පාපය බලවත් ව තිබේ නම් දත් සපාගෙන, දිව උඩුතල්ලට තදකරගෙන අධිෂ්ඨානශීලිව උත්සාහකිරීමෙන් එය යටපත් කර දැමිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.පාපය කෙසේ හෝ යටපත් කළ යුතුම දෙයක් වන බැවින්, මේ කවර උපක‍්‍රමයක් හෝ යොදාගෙන කළ යුතුව ඇත්තේ තම සිතෙන් පාපය බැහැර කර ගැනීමය. කුසල් දහම්වලට දියුණුවීමට අවශ්‍ය පරිසරය නිරායාසයෙන්ම එවිට ගොඩනැගෙනු ඇත.

උතුරු ඇමරිකාවේ චිකාගෝ බෞද්ධ විහාරවාසී කුඩගම්මන සීලරතන හිමියන් බුදුසරණ කලාපයට ලියවූ ලිපියක් තුලින් උපුටා ගැනීමක් 

31 October 2013

ජීවිතය බබළවන

                                  මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අගය කළ වටිනා සම්පත් පහක් ගැන සඳහන් වෙනවා. මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් සිතා බැලීම අපකාගේත් හිතසුව සඳහාම හේතු වන අයුරු සලකා බලන්න. ආයුෂය, ශරීරවර්ණය, ශරීර සුවය, යසස, සමගිසම්පත, යන මේ කරුණු සෑම දෙනාගේම පැතුමයි. නිකම්ම ප‍්‍රාර්ථනා කළ පමණින්ම මේ එකක්වත් හිමි නොවන බව බුදුදහමේ ඉගැන්වීමයි. දාන, ශීල, භාවනා පින්කම්වල නිරතවන ආකාර අනුව හිතේ පහල වන පින් සිතිවිලි ඇසුරින් හිතේ ගොඩනැගෙන පුණ්‍ය බලවේග මේ සම්පත් හිමි කර දෙන ආකාරය හඳුනාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේටයි. අදෘෂ්‍යමාන දෙවිකෙනෙකුගේ මාර්ගයෙන් ඉල්ලා ලබාගත නොහැකි මෙම සම්පත් ව්‍යායාම් වල නිරතවීමකින්ද හිමිකර ගත හැකි යයි සිතන්නේ නම් එයද නිසරු සිතිවිල්ලකි.

                                             මිනිසත්බවම අතිවිශාල පින්රැසක ප‍්‍රතිඵලයකි. එම මිනිසත්බව බබලවන ආර්ථාන්විත බවට පත්වීමට ඉඩසලසන මෙම කරුණුවලට හිමිකරුවෙක් වීමට ප‍්‍රායෝගික වශයෙන් කි‍්‍රයාත්මක කළ යුතු පුණ්‍යකි‍්‍රයා වෙන වෙනම හඳුනාගෙනම කටයුතු කිරීම මිනිසත් බව බැබලීමට උපකාරවන බව වටහා ගන්න. ඒ බව බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී අනාථ පිණ්ඩික සිටුතුමාට මැනවින් පහදා දුන්සේක. එදා මහත් යස ඉසුරෙන් බැබළුන එතුමා මෙම සම්පත් සියල්ලටම හිමිකරුවෙක්ව මිනිස් සමාජයේම ධර්ම මාර්ගයට අවනත කිරීමට කි‍්‍රයාකළ උතුමෙකි. බුදුරදුන්ගේ ප‍්‍රධාන දාකයාවීමම එතුමා සසර පින්කරමින් කළ ප‍්‍රාර්ථනාවල අග‍්‍රඵලයයි. දෙවි දේවතාවන් අදහමින් දැඩි අන්‍ය ආගමික විශ්වාසයන්ගෙන් පිරී ඉතිරී සිටි එදා දඹදිව වැසියෝ තම සියලු සිතුම් පැතුම්, අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් ලබාගත හැකිය යනුවෙන් විවිධ තපස්ක‍්‍රම අනුගමනය කළහ. විශාල පර්වත වනාන්තර ගස්ගල් සරණගිය ආදිකාලීන මිනිස්සු බියෙන් සැකයෙන් දවස් ගෙවූ ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේම දක්නට ලැබේ.

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චෙත්‍යානි
                                                 මනුස්සා භය තජ්ජිතා. යනුවෙන් ධම්ම පද දේශනාවේ සඳහන්වන පරිදි එදා දඹදිව සමාජය පිළිබඳ සමාජ පසුබිම සිතාගත හැකියි. එම නිසරු පිළිවෙත් අතර තපස්රැකීම, ජටාධරවීම, දත්නොමැද සිටීම, ඇඟ පුරාමඩගාගෙන සිටීම, ආහාර නොගෙන දින ගණන් ගත කිරීම, අජවුත, ගෝවුත, උක්කුටිකව සිටීම, වැනි ලාමක කි‍්‍රයාවලින් සැනසීමක් බලාපොරොත්තු වූහ. මෙවැනි සිදුවීම් දුටු හැමවිටකදීම ඒවායේ නිසරු බව නොබියව පහදා දුන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. දිගු කලක් ජීවත්වීම, සිත් ගන්නා සිරුරකට හිමිකරුවකු වීම වැනි අද සමාජයද උනන්දු වන කරුණු කිසියම් දෙවියකුට යාඥාකර ඉල්ලා ගත නොහැකි බව අනාථපිණ්ඩික සිටුවරයාට පහදා දීම මෙම දේශනාවේ අරමුණයි. සසර කළ පින් ඇතිව සිටි එතුමා, මෙම සියලු සම්පත්වල උරුමකරුවකුව සිටින බව දත් බුදුපියාණන් වහන්සේ දාන, ශීල, භාවනාදී පින්කම්වල නිරත වීමෙන්ම මෙම ප‍්‍රතිලාභ අත්වන ආකාරය පහදා දුන්හ. ආයුෂ වැඩීමට ආයුසංවත්තිනික පටිපදා, පටිපජ්ජිතබ්බා, ශරීරයේ වර්ණ සම්පන්න බව පිහිටීමට වර්ණ සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, සැපපහසුකම්වලට හිමිකරුවෙක් වීමට නම් සුඛසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, යසස් ලැබීමට යසසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, ස්වර්ග සම්පත් කැමැති වන්නේ නම් සග්ග සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා යනුවෙන් ඒ ඒ සම්පත් ලැබීම සඳහා අවශ්‍ය පිළිවෙත් පහදා දුන් සේක. ආයුෂ වැඩිදියුණුවන පින්කම් අතර අභයදානය විශේෂයි. දාන ආනිසංස දේශනා කළ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ භෝජන සූත‍්‍රයේ මෙසේ වදාළ සේක.

                                   භොජනං භික්‍ඛවෙ දදමානොදායකො පටිගගාහකානං පඤ්චධානානි දෙති, කතාමානි පඤච, ආයුං දෙති, වණ්ණං දෙති, සුඛංදෙති, බලං දෙති, පටිභාහනං දෙති, දන්දීමේ දී ත්‍යාගශීලී හිත මෙන්ම එම දානය ලබන ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ නිදුක් නිරෝගී චිරජීවනය හදපත්ලෙන්ම පැතිය යුතුයි. මැනවින් සැකසූ ආහාරපාන ගැනීම ආයුෂය ප‍්‍රධාන සිරුරේ සංවර්ධනය සමඟම දායකයාට එම සම්පත් හිමිවන කුශලශක්තියක් තමාවටා ගොඩනැංවෙන බව පිළිගත යුතුයි. ප‍්‍රාණඝාතය, සතුන්ට වධදීම, වැනි පාපකි‍්‍රයා ආයුෂ නිරෝගීකම අහිමිකරන දරුණු අකුසල් බව හඳුනා ගන්න. අභයදාන ආමිස දානය සතුටු සිතින් කළ තරමට දීර්ඝායුෂයට හිමිකරුවෙක් වෙනවා ඇත. තුණුරුවන්ට අවනතව කටයුතු කිරීම හිත සැහැල්ලු ආකාරයට තබාගැනීම එදිනෙදා ජීවිතය සුවදායක කරගැනීමට උපකාර වන බව හොඳින් මතකයේ තබා ගන්න. මිනිසෙක් වශයෙන් ඉතා සාර්ථක ජීවිතයක් ගත කළ අනාථපිණ්ඩිත සිටුතුමාට එතුමාගේ පිණින් පිරීගිය ජීවිතය මිනිස් සමාජයටම හඳුනාගත හැකි ආකාරයට අගේ කරමින් මෙම දේශනාව දේශනා කළේ මිනිස් සමාජයටම ආදර්ශයක් වනු පිණිසයි. නුවණින් කටයුතු කිරීම තම තමාගේ වගකීමයි. පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං. තෙරුවන් සරණයි.


 බත්තරමුල්ල පූර්වාරාමාධිපති, ශාස්ත‍්‍රපති නාගොඩ නන්දපාල හිමියන් විසින් අංගුත්තර නිකායේ එන ඉට්ඨධම්ම සූත‍්‍රයයි පදනම් කරගත් ලිපිය බුදුසරණ උපුටා මහසෝන් පත් ඉවූර තුල  සටනනක් තැබුවා... කියවූ සියලුදෙනාට සම්මා සම්බුදු සරණයි....! 

26 October 2013

සැපත නසන පිළිවෙත

ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝ නරො
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං
සේහි දාරේහි සන්තුට්ඨෝ
වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු
තං පරාභවතෝ මුඛං
අතීත යොබ්බනෝ පෝසෝ
ආනේති තිම්බරුක්‍ඛනිං
තස්සා ඉස්සා න සුපති
තං පරාභවතෝ මුඛං ති



ශ‍්‍රද්ධා ගුණෝපේත කාරුණික පින්වත්නි.
   ධර්ම ශ‍්‍රවණය කිරීම හා දහම් පත පොත පරිශීලනය කිරීම මිනිසාගේ දෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන්නකි. තථාගත දහමට සම කළ හැක්කේ ධර්මයම පමණි. “සුනන්තු සග්ග මොක්ඛදං” යනුවෙන් දේවතාරාධනයෙහි සඳහන් වන පරිදි ලෞකික ඉහළම සැපත වන දිව්‍යලෝක සැපයත්, ලෝකෝත්තර අවේදයිත අග‍්‍ර වූ නිර්වාණ සම්පත්තියත් ලැබිය හැකි පුණ්‍ය කර්මය ධර්ම ශ‍්‍රවණය කිරීමයි. එනිසා ධර්මය අසමින් දරමින් ඒ අනුව කි‍්‍රයා කළ යුතු ය. “සුනාථ ධාරේථ චරාථ ධම්මේ”
ධර්මය කියන්නේ පුද්ගලයාගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට ඉවහල්වන බුද්ධ වචනයයි. සම්බුද්ධ දේශනය මුල මැද අග පිරිසුදුවූත් නිරවුල් වූත් සැමතින්ම පරිපූර්ණවූ අර්ථව්‍යංජනයන්ගෙන් පරිපූර්ණ වූවන් ලෙසයි ධර්මයේ විග‍්‍රහ කොට දක්වා තිබෙන්නේ. ආදි කල්‍යාණය මජ්ෙඣ කල්‍යාණං පරියෝසාන කල්‍යාණ කේවල පරිපුණ්නං සාත්ථං සබ්බ්‍යංජනං යන්නෙන් පැහැදිලි වන්නේ එයයි. මෙකී ධර්මය අපේ ජීවිතයට එකතු කරගත යුත්තේ ඉතාම සංසුන්ව කාය වාග් මනඞ යන ති‍්‍රවිධද්වාරයෙන් සංවරව සිහිනුවණින් යුක්තවයි. කියවිය යුත්තේ ද තිදොර සංවරයෙන් විවේක බුද්ධියෙන් යුතුවයි. “ධම්මකාමෝ භවංහෝති ධම්ම දෙස්සී පරාභවෝ” යනුවෙන් ධර්මයට කැමැති වන්නා දියුණු වන බවත් ද්වේශ කරන්නා පිරිහෙන බවත් දේශනා කොට වදාළහ.
ඉහත සඳහන් ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේවතාවකු ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් දේශනා කරන ලද්දක්. පරාභවයට හෙවත් පිරිහීමට හේතුවන කරුණු කවරේද යන්න මෙයින් අවධාරණය කළා. වත්මන් සමාජයට ඉතා වැදගත් දේශණයක් හැටියට මෙය අගය කළ හැකියි. දියුණුවට වඩා පිරිහීමට පත්වන කරුණු පිළිබඳ වේගයෙන් හඹායන නූතන ලෝකයේ ජනතාවට එකී කනගාටුදායක අනර්ථකාරී ජීවන රටාවෙන් මිදී යහපත් ජීවන දර්ශනයක් ගොඩ නගා ගැනීම උදෙසා මෙම කරුණු වෙසෙසින් උපකාරී වන බව සඳහන් කළ යුතු ය.
පරාභව සූත‍්‍රයේ අටවැනි නවවැනි දසවැනි ගාථාවන් අද දහම් දේශනයේ මාතෘකාව වෙනවා. “ඉත්ථි ධුත්තෝ සුරාධුත්තො” යනාදී ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනුයේ යමෙක් ස්තී‍්‍රන් කෙරේ ලොල්වේද, සුරාවට ලොල් වේද? ලැබෙන ලැබෙන ධනය නිකරුණේ, විනාශ කරයිද? එය පිරිහීමට හේතුවන කරුණක් බවයි.
බෞද්ධයාගේ නිත්‍ය ශීලය වූ පන්සිල්හි මෙම අදහස මනාව ගැබ් වී තිබේ. වැරැදි ලෙස කම් සැප වින්දනය හෙවත් කාමභෝගී ජීවිතයක් ගත කිරීමද මත්ද්‍රව්‍ය කෙරෙහි ගිජු වීමද උපයන මුදල් නොමනා දේ සඳහා යෙදවීමද පරිහානියේ ලක්‍ෂණයන් ය. සාමකාමී සෙනෙහෙබර ලෙන්ගතු ජීවන පැවැත්මක් ගොඩ නඟා ගැනීම කෙතරම් සුන්දරද? කෙතරම් ආදර්ශ සම්පන්න වන්නේද? එබඳු පවුල් සංස්ථාවක් තුළ සාමය සමඟිය දියුණුව අභිවෘද්ධිය නිරතුරුවම ගොඩනැගෙනු ඇත. නැතහොත් සැකයේ බිජුවට වපුල කෙතක් වෛරයේ ගිනිදැල්වලින් විනාශවන්නා සේ පවුල් සංස්ථාව තුළ අඩ දබර කල කෝලාහල නිර්මාණය වී ජීවිත වලින් වන්දි ගෙවීමට පවා සිදුවන්නේ ය. අහිංසක දූ දරුවන් කාත්කවුරුත් නොමැතිව හුදෙකලාවනු ඇත.
ප‍්‍රකෘති බව විකෘති කරන විවිධ මත් ද්‍රව්‍ය භාවිතයට ගිජුවීම කායික හා මානසික සෞඛ්‍යයට බරපතල හානියක් වන්නාසේම ආර්ථික පරිහානියට ද හේතු වන්නේ ය. ගෙදරදොර අසමඟිය ගොඩනැගෙන්නාසේම ආදරය දයාව, කරුණාව වැනි ගුණදම් ජීවිත යහනාවෙන් පලායනු ඇත. අන්‍යොන්‍ය යුතුකම් ද විනාශ වන්නේ ය. සමාජ අවමානයටද හේතු වේ. විවිධ කායික හා මානසික විසඥතාවයන්ට ලක් වෙයි. තවද සම්පූර්ණයෙන් පිරිහුණු සෞඛ්‍යයක් ඇති පුද්ගලයෙකු බවට පත්වේ.
ලද දෙයින් සතුටු නොවී අධික තෘෂ්ණාවෙන් හා ඇස, කණ, නාසය, දිව, ශරීරය හා පසිඳුරන් පිනවීම කෙරේ දැඩි කැමැත්ත ඇති තැනැත්තාට ද දියුණු විය නොහැකි ය. මේ සියල්ල කෙරෙහි උපේක්‍ෂාවෙන් මැදහත් සිතින් කි‍්‍රයාත්මක කිරීමෙන් කායික මානසික සතුට සැනසීම සළසාගත හැකි ය. නැතහොත් උමතුවූවන් රෝගීන් පිරි අයහපත් සමාජයක් නිර්මාණය වන්නාක් මෙන්ම සාමය සමඟිය සහෝදරත්වය එකමුතු බව අහිමි ක්‍රෝධයෙන් වෛරයෙන් කෝපයෙන් දැවෙන විෂ සහිත හදවත් ඇති අතෘප්තිකර සමාජයක් ගොඩනැගෙනු ඇත. මෙකී තත්ත්වයන් බැහැර කිරීමෙන් ස්වාර්ථය හා පරාර්ථය සලසා ගන්නා මිනිසුන් පිරි යහපත් වූ සුන්දර හෙට දිනක් උදා කරගත හැකි වන්නේ ය. පරිහානියේ නව වැන්න, ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ සේහි දාරේහි සන්තුට්ඨෝ වෙසියාසු පදිස්සති, දිස්සති, පරදාරේසු, යන්නයි. නෛතික උරුමයන් ඇති තම බිරින්දෑගෙන් සතුටට පත් නොවූවෙක් පරඹුවන් වෙත යාද, ඔහු පිරිහීමට පත්වන බවයි. බහුතර බෞද්ධයන් ගහන අප වැනි රටක සමාජ සංස්ථාව ගොඩනැඟී ඇත්තේ බෞද්ධ සංස්කෘතියට අනුවයි. මෙසේ තිබියදී යමෙකු පස්කම් ගිජුව වෛශ්‍යාවන් හා පරස්තී‍්‍රන් කරා යාද එය නීතියට සදාචාරයට හා අපේ සංස්කෘතියට පටහැනි ය.
              මෙබඳු සමාජ විරෝධී කි‍්‍රයාකලාපයන්ට යොමු වීමෙන් ආර්ථිකය සමාජමය තත්ත්වය, ගෞරවය, කීර්තිය පිරිහෙන්නාසේම, දඬුවම් හා තාඩන පීඩන වලට ද ලක්වීමට සිදු වේ. තවද විවිධ සමාජ රෝගයන්ටද ගොදුරු වේ. අකාලයේ වටිනා ජීවිත මිලින වී යනු ඇත. අවසානයේ මෙලොව පරලොව සතුටක් සැපතක් නොලැබ ඉතා දුක්ඛදායකව ජීවන යාත‍්‍රාව පදවන්නට සිදු වේ. තාරුණ්‍ය ඉක්ම වූ යම් පුරුෂයෙක් භද්‍ර යෞවන වියේ පසුවන තරුණියක හා විවාහ වීම පිරිහීමට හේතුවක් වන බව මෙම සූත‍්‍රයේ දසවැනි කරුණ ලෙස සඳහන් වේ. තම දරුවන් සුදුසු කළ ආවාහ විවාහ කරවීම අවශ්‍ය බව සිඟාලෝවාද සූත‍්‍රයේ දී අනුදත් බුදුරදුන් එය මව්පිය දෙපළගේ යුතුකම හා වගකීම ලෙසද පෙන්වා වදාළා.වියපත් වන විට තරුණ ශක්තිය පිරිහීම ස්වාභාවිකය. එබඳු කාලයක විවාහවීම නුසුදුසු ය. මන්ද? සමහර විට බිරිඳ කෙරෙහි සැකය අවිශ්වාසය මතු වී ඊර්ෂ්‍යාව හා වෛරය ද ඇතිව ඈට විවිධ තහංචි පනවයි. රැකවල් යොදයි. මෙයින් අසහනයට පීඩනය කලකිරීමට පත් බිරිඳ තමන්ගේ නිදහස සීමා වූයේ යැයි පෙරළා ඔහුට වෛර කරයි. ඇතැම් විට මෙනිසා ජීවිත කාලයම උනුන් වෙත වෛර කරමින් ඊර්ෂ්‍යා ක්‍රෝධ කරමින් අකුසල් ද රැස් කරගනිමින් ජීවත් වන්නට සිදු වේ. ලෞකික වූ කායික මානසික සතුට ද ලෝකෝත්තර ශාන්තිය සුගතියද දුරස් වන්නේ ය.
අවිඳු අදුරෙන් වෙලී ගැලී සිටින නිරතුරුව ජාති ජරාදී එකොළොස් ගින්නෙන් ගිනි ගෙන දැවෙන ඔබ අප නගන්නේ කවර සිනාවක්ද? ලබනුයේ කිනම් සැපතක්ද? ධර්මය පිළිසරණ කොට ධර්මය අනුව ජීවිත දෙස බැලිය හැකි උදාර සත්පුරුෂයන් වීමට උත්සාහ ගනිමු. ඒ උතුම් සත්පුරුෂ ගුණ දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුළ සත්‍යාවබෝධය කිරීමට සැමට භාග්‍යය උදාවේවා!

තැඹිලිපොල රජ මහා විහාරය, කෝන්මිටියන පුරාණ මල්ගල විහාරය, ඊතණවත්ත මැද්දේගොඩ පුරාණ ටැම්පිට විහාරය, රුක්අත්තනේ පුරාණ විහාරය යන සිවු මහා විහාරාධිපති නාමල්වත්තේ ආනන්ද හිමියන් විසින් ලියන ලද ලිපිය මහසෝන් පත් ඉවුරට බුදුසරණ දහම් ලිපියෙන් උපුටා ගැණුනි

19 August 2013

මහසොනගෙ පත්ඉරුව: පන්සල් කොයි බටද?

පන්සල් කොයි බටද?:                                 සිං හල අප බුද්දගමිකයන් වන අතර එවකට ග්‍රාමීය සිංහල මිනිසා හා පන්සල අතර මහත් බැදීමක් තිබිණි,ප්‍රසිද්ද කරනා ...

29 May 2013

මරණින් මතු II



                    මරණින් මතු ජීවිතය ගැන පුරාණ ඉන්දියානු ඇදහිලි පෙර දක්වන ලද ඇදහිලිවලට වඩා තරමක් ඉදිරියට ගිය බවක් පෙනේ. ඍග්වේදයේ දැක්වෙන පරිදි හොඳ අය මරණින් මතු ස්වර්ගයට හෙවත් දෙව්ලොවට ද අනේ අය අපායට ද යති. ඍග්වේද යුගයෙන් ඇරැඹී බ්‍රාහ්මණ යුගය දක්වා පැවැති මෙම සංකල්පය උපනිෂද් යුගයේදී සංවර්ධනය විය. හෝම පූජා පවත්වා දන් දී තපස් ධර්මවල යෙදුණු අය ටික කලක් සසර සැරිසරා යම රජුගේ පීතෘ ලෝකයට ඇතුළත් වෙති. එහි කලක් සැප විඳ චන්ද්‍ර විමානයට ගොස් අභ්‍යවකාශයේදී වායුව හා මුසු වී වර්ෂාව සමඟ පොළාවට පතිත වෙති. ඉන් අනතුරුව පුරුෂයා නමැති පූජා ගින්න තුළින් පිදීමට ලක් වී ස්ත්‍රිය කෙරෙන් නැවැත උපදී. මෙයව ප්‍රතිවිරුද්ධ වූ අධර්මිෂ්ටයන් පණුවන්, කුරුල්ලන් වැනි තිරිසන් සතුන් ලෙස උපදී.

                                    මෙම යුගයේ වැදගත් ලක්ෂණය වන්නේ පුනරුත්පත්ති සංකල්පයත් සමඟ ආත්මවාදයක් වැඩි යෑමයි. උපනිෂද් දක්වන ආකාරයට මරණ මංචකයේදී මිනිසාගේ ආත්මය ශරීරයෙන් බැහැර වේ. මෙම ආත්මන්හා බ්‍රහ්මන්අවබෝධකර ගැනීම විමුක්තිය සඳහා ඇති ඒකායන මාර්ගය යි. ශරීරයෙන් බැහැර වූ ජීවාත්මය පරමාත්මන් සමඟ ඒකීභූත වීම විමුක්තිය වශයෙන් දැක්වේ. ඉන් අනතුරුව කිසිදු ලොවක නූපදින අතර එය උපතින් ද මරණින් ද තොර වූ අවස්ථාවක් වේ.යුදෙව් ආගමේ පැරැණි තෙස්තමේන්තුවේ සඳහන් වන පරිදි ආදම් හා ඒව දෙදෙනා තහනම් ගසේ ගෙඩිකෑම නිසා එම අකීකරුකමට දඬුවම් නියම කරමින් දූහුවිල්ලෙන් උපන් නුඹ දූවිල්ල කරාම යන්නේය. යනුවෙන් මරණය නමැති සංකල්පය ඉස්මතුකර ඇත. මිනිසාට මරණයෙන් පසුව සිදුවන දේ පිළිබද පැරැණි යුදෙව් ආගමේ නිශ්චිත නිගමනයක් දැකිය නොහැකිය. එහෙත් යුදෙව් සංස්කෘතිය පරිණාමයට පත්වීමත් සමඟම වෙනත් සංස්කෘතීන් සමඟ සම්මිශ්‍රණය වීමේන් මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබේ. මිනිසා මනෝකායික සත්වයෙක් වන අතර ඔහුට ආත්මයක් ඇත. යුදෙව් දහමේ ආත්මය යනුවෙන් හඳුන්වන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ නාසය තුළට ඇතුළුකරන ලද ජීවන හුස්මයි. මිනිස් සිරුරත් ආත්මයත් එකට පවතින අතර පැරැණි යුදෙව් මතය වන්නේ සිරුරේ විනාශයත් සමඟම ආත්මය ද විනාශ වන බවයි. මරණින් පසුව යක්ෂ භූත වැනි ආත්ම ලබන බවක්ද මොවුන් තරමක් හෝ දුරට පිළිගෙන තිබුණි.
                                   ෂෙඕල් නමින් හඳුන්වන මරණින් පසු පවතින ලෝකයක් පිළිබඳ ද ඔවුහු විශ්වාස කළහ. මුල්කාලීන යුදෙව් මතයට අනුව නම් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අවධානයට ලක් නොවේ. එය දුබලතාව නියෝජනය කරන තැනකි. එතැනින් නැවැත නැඟී සිටීමක් ද සිදුනොවේ. එහෙත් කල්ගත වන විට යුදෙව්වන් බැබිලෝනියාවට සංක්‍රමණය වීමත් සමඟම මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් බොහෝ දුරට වෙනස් විය. ෂෙඕල්හෙවත් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අධිපතිත්වයට යටත් වීම, මරණයෙන් පසු උත්තානය වීම දෙවියන් වහන්සේගේ අවසාන විනිශ්චය, ස්වර්ගය හා නිරය පිළිබඳ විනිශ්චය.අවසාන ගැලවීම හෙවත් යුදෙව්වන්ගේ ගැලවුම්කරුවා වශයෙන් මෙසායාහ් හේ පහළවීම යන කරුණු මරණය හා සම්බන්ධයෙන් යුදෙව් ආගම තුළ දැකගත හැකිය. අපාගතවීම සම්බන්ධයෙන් යුදෙව්වන් තුළ පවතින්නේ පරස්පර විරෝධී අදහසකි. අතැම් තැනක දක්වන පරිදි අපාගත වන්නේ සදාකාලිකව එහිම සිටිති. එහෙත් තවත් අවස්ථාවකදී කාලයක් ගතවීමෙන් අනතුරුව දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලබා නිරාගත ජීවිතයෙන් අත්මිදීමේ හැකියාව ලබති.
                               ක්‍රිස්තියානි ආගමික මතය අනුව භෞතික සිරුරත් ආත්මයත් යන දෙකේම සුසංයෝගයක් වශයෙන් මිනිසා පවතී. මරණය යනු ආත්මය භෞතික සිරුර අත්හැර දැමීම නිසා එය අක්‍රිය තත්ත්වයට පත්වීමයි. ස්වභාවික මරණයත් අවසාන විනිශ්චයත් අතර කාල පරාසය තුළ සිරුරෙන් වෙන්ව යන ආත්මය පුද්ගල විනිශ්චය හා විශ්වීය විනිශ්චය යන අවස්ථා දෙකට මුහුණ දෙයි. පුද්ගල විනිශ්චය යනු දෙවියන් වහන්සේ වෙතින් ඒ ඒ පුද්ගලයා ලබන පෞද්ගලික විනිශ්චයයි. විශ්වීය විනිශ්චය යනු ස්වර්ගය හා නිරය ඇතුළුව සියලු දෙනා වෙත පොදුවේ ලබාදෙන විනිශ්චයයි. පුද්ගල විනිශ්චයේදී තුන් ආකාරයකට එය වර්ග කරනු ලබයි.
1.දෙවියන් වහන්සේතේ අන්‍ය සත්වයනුත් වෙත ආදරයෙන් මියගිය තැනැත්තාගේ ආත්මය කිලිටි වී නැති බැවින් ඍජුවම සවර්ගය කරා කැඳවා ගනී.
2. පාපී ජීවිත ගතකළවුන් ඍජුවම අපාගත වේ.
3. පව්කමින් පළමුව ජීවත් වී කරුණු අවබෝධකර ගැනීමෙන් පසුව පශ්චාත්තාප වූ අය ස්වර්ගයට යෑමට පළමුව දුක්විඳිය යුතු ස්ථානයක ඉපදී අනතුරුව ස්වර්ගස්ථ වෙති.
යෙසුස් වහන්සේගේ ඉගැන්වීමට අනුව ජීවත් වූවන් ස්වර්ගයටත් අනෙක් අය නිරයටත් පමුණුවන බව එහි සඳහන් වේ. නිරය යනු සදාකාලික දණ්ඩනයේ ස්ථානයක් වන අතර ස්වර්ගය යනු දෙවියන් වහන්සේ සමඟ සමගාමී වීමකි.

       ඉස්ලාම් මතය අනුව මිනිසාගේ ජීවිතය භෞතික සිරුරේ විනාශයෙන් කෙළවර වී ආත්මීය කොටස අල්ලාහ් ගේ අවසාන විනිශ්චය දිනය දක්වා පවතී. මරණයේ සිට අවසාන විනිශ්චය දක්වා කාලය අල්බර්ෂාන් නමින් හැඳින්වෙන ස්ථානයේ පවතින බව සැලකේ. අවසාන විනිශ්චය දිනය දෙවියන් වහන්සේ විසින් තීරණය කරනු ලබන්නකි. මෙම දිනයට කලින් සියල්ලෝම මරණයෙන් උත්තානය වෙති. සියලු ආත්මයෝ මරණයෙන් උත්තානය වූ භෞතික සිරුරු සමඟම දේව දූතයන්ගේ මඟ පෙන්වීමෙන්, අල්ලාහ් අභිමුඛයට යති. සියලු ආත්මයන් කෙරෙහි දෙවියන්ගේ අවසන් විනිශ්චය ලැබෙන අතර, අනතුරුව ඒ සියල්ලන් ම අල්ෂිරාන් නම් වූ පාලම අසලට පැමිණේ. එහිදී පාපීන් එතෙර වන විට පාලම අසිපත් තුඩක් තරමට සිහින් වී ඔවුන් නිරයට හෙළන අතර අල්ලාහ්ට අනුකූල වූවන් එතෙර වන විට එය පුළුල් වී ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ. එහිදී සිදුවන වැදගත් දෙයක් නම් තම භෞතික සිරුර පසෙක දමා ආධ්‍යාත්මික සිරුරුවලින් යුක්තව දෙවියන් වහන්සේ සහ දේවදූතයකු සමඟ සදා සංතෘප්තිකව ස්වර්ගයේ කොටස්කරුවකු බවට පත්වීමයි.
සරථුස්ත්‍ර ආගම තුළත් ඉදිරිපත් කර ඇති මරණින් මතු පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් කිතුනු හා ඉස්ලාම් මතයට සමාන වේ. සදාතනික ස්වර්ගය, නිරය හා අන්තරාභවය යනුවෙන් කොටස් තුනකින් මරණින් මතු පැවැත්ම ගැන ඔවුහු කතා කරති. එහිදී වින්වන් පාලමනම් වු පාපින් හා ධාර්මිකයන් එතෙර කිරීමට උපකාරීවන ස්ථානයක් පිළිබඳ සඳහන් වේ. ඉස්ලාම් දහමෙන් මෙය වෙනස් වන්නේ මෙම පාලමෙන් එතෙර වීමේදී වොහුමාන් නමැති දේවදූතයකුගේ උපකාරය ලැබෙන හෙයිනි. සරථුස්ත්‍ර ආගමට අනුව ද නිරාගත ජීවිතය සදාකාලික වුවක් නොවන අතර වසර දොළොස් දහසක් ගතවූ පසුව නිරාගත වූවකුට ස්වර්ගය කරා ගමන් කිරීමට හැකියාව ලැබේ.
මරණය සම්බන්ධයෙන් බෞද්ධ මතය මේ සියල්ලට ම වඩා වෙනස් වූවකි. පුද්ගලයාගෙ සිතෙහි අනුසය පවතී. (අනුසය යනු සිත තුළ යටපත්ව, සැඟව ඇති කුසලාකුසල බීජ සමූහයයි) තම තමා විසින් කරන ලද ක්‍රියාවේ බරපතළකම අනුව ඒවා සිත තුළ නිද්‍රෝපගතව පවතී. සිත නිතරම ක්‍රියාත්මකව පවතින්නකි. එය නවතා තැබීම දුෂ්කරය. එහි වේගය භෞතික රූප වෙනස්වීම් වේගයට වඩා දහහත් ගුණයකින් වැඩිය. සිතින් කරන කාර්යය දාහතරකි. මෙයින් පළමු වැන්න වන්නේ ප්‍රතිසන්ධි කෘත්‍යයයි. එනම්, මරණයෙන් ජීවිතය කෙළවර වන්නට ඉඩ නොදී නැවත උපතක් ඇති කිරීමයි. අවසන් කාර්යය නම් චුති කෘත්‍යයයි. එනම් එක් එක් භවය (ජීවිතය) කෙළවර කිරීමයි. මෙයින් උපත හා මරණය යන දෙකෙහි ස්වභාව පැහැදිලි කර තිබේ.පුබ්බේනිවාසානුස්සති ඤාණය හා චුතූපපාත ඤාණය මගින්, මරණයට පත් වූ පුද්ගලයාගේ පෙර භවයන් හා පසු භවයන් පිළිබඳ අදහස දක්වා තිබේ. මරණය හා මරණයෙන් පසු තත්ත්ව පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමේදී මෙයද වැදගත් සාධකයකි.
                   දස සංයෝජන (දස සංයෝජන යනු පුද්ගලයාග් නිදහස් චින්තනයට බාධා පමුණුවන සිතේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන කෙලෙස් දහයකි) සිඳලූ අයගේ මරණයෙන් මතු තත්ත්වයට කුමක් වුයේද යන්න විග්‍රහකර වචනාර්ථයෙන් දැක්වීම අපහසුය. පහන් දැල්ල නිවී යෑමෙන් අනතුරුව එය ගිය දිසාව සෙවිය නොහැකිවාත් මෙන්ම එයද සෙවිය නොහැකිය. එසේ නොවූ අය කරන කුසල,අකුසල කර්ම අනුව උත්පත්තිය ලබන බව තේවිජ්ජ , දේවදූත, චුල්ලකම්ම, මහාවිභංග ආදි සූත්‍රවලදී පැහැදිලි කර ඇත.
                      අධර්ම චර්යා, විසම චර්යා හේතුවෙන් ඇතැම් සත්වයෝ දුගතියේ උපදිති. ධර්ම චර්යා, සම චර්යා හේතුවෙන් ඇතැම් පුද්ගලයෝ සුගතිගාමි වෙති(මජ්ඣිම නිකාය වේරඤ්ජ සූත්‍රය) මිනිස් කයක් දරමින් සිටියදී ම කෙනකු සුනඛ හැසිරීම් අනුව ජිවත් වන්නේද මරණින් මතු ඔහු සුනඛයින් අතර ඉපදීමට බොහෝ ඉඩකඩ ඇත. (මජ්ඣිම නිකාය කුක්කුරවතිය සූත්‍රය) යම් පුද්ගලයකු මෙත්තා, කරුණා,මුදිතා, උපෙක්ෂා ආදී බඹ විහරණ පුරුදු කරන්නන් ද ඔහු බ්‍රහ්මයන් අතර උපදී (තේවිජ්ජ සූත්‍රය) කුසල අකුසල කර්මවලට අනුරූපව විපාක ලැබේ. ඒ අනුව පුද්ගලයකු මරණයෙන් පසුව තමා සිදුකර ඇති කර්ම ශක්තීන් අනුව නිරය, තිරිසන් යෝනිය, පේ‍්‍රත ලෝකය , මනුෂ්‍ය ලෝකය හා දිව්‍යලෝකය ආදි වූ උප්පත්ති ස්ථානයන්හි උපත ලැබිය හැකිය.



 මහසොනගෙ පත්ඉරුව සමග එක්ව සිටි ඔබට තුනුරුවන් සරණයි ...........!

මාසය තුල සිත්ගත් ලිපි