කර්මය ඇසුරින් සිතීම
ඉදින් මෙසේත් නොසංසිදේ නම් ඊළඟට තමාගේ සහ තම සතුරාගේත් කර්මය අයිති කොට පවත්නා බව කල්පනාකට යුතු ය. එයින් තමා කර්මය අයිති කොට පවත්නා බව සිතා බලන්නේ මෙසේ ය:
එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹ ඔහුට කිපී කුමක් කරන්නෙහි ද? නුඹ ඔහුට ක්‍රෝධ කරන්නෙහි නම් ඒ අකුශල කර්මය නුඹට අවැඩ පිණිස පවත්නේ ය. නුඹ කළා වූ අකුශල කර්මයෙහි විපාකය පරලොව දී නුඹට ම විඳින්නට වන්නේ ය. නුඹේ මේ අනුන්ට ක්‍රෝධ කිරීම වූ අකුශල කර්මය බුදු බවක් ලැබීම පිණිස වත් පසේ බුදු බවක් ලැබීම පිණිස වත් රහත් බවක් ලැබීම පිණිස වත් හේතුවන්නේ නැත. එපමණකුත් නොව ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සම්පත් රාජ සම්පත් ලැබීමක් ආදිය පිණිස ද හේතුවන්නේ නැත. මෙලොව වශයෙන් ම නොයෙක් දුක් ලැබීමට ද පරලොව වශයෙන් නරකාදී සතර අපායෙහි දුක් ලැබීමට ද හේතුවන්නේ ය. මේ ක්‍රෝධ කිරීම නම් වූ අකුශල කර්මය කරන්නා වූ නුඹ දෝතින් ගිනි ගෙන දිලිහෙන අඟුරු රැසක් ගෙන හෝ අසූචි හෝ ගෙන අනුන්ට ගහන්නට හිතෙන කෙනෙකුට සමාන ය. මක් නිසා ද කීවොත් එසේ ගහන තැනැත්තා පළමු කොට තමා ගේ අත්දෙක පුළුස්සාගෙන හෝ ගඳ ගසා ගෙන අනුන්ටත් එබන්දක් පමුණුවන්නා සේ නුඹත් පළමුකොට නුඹේ ම ක්‍රෝධයෙන් දා විනාශ වී අපකීර්ති නැමැති ගඳ ගස්සාගෙන අනුන්ට ද එබන්දක් කරන නිසා ය. මේ ළඟට තමන් ගේ සතුරා කර්මය අයිති කොට පවත්නා බව කල්පනා කරන්නේ කෙසේ ද යත්, එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹේ සතුරා නුඹට කිපී කුමක් කරන්නේ ද? ඔහු නුඹට ක්‍රෝධ කරන්නේ නම් ඒ අකුශල කර්මයාගේ විපාකය පරලොව දී ඔහුට ම විඳින්නට වන්නේ නො වේ ද? ඔහුගේ මේ අනුන්ට ක්‍රෝධ කිරීම වූ අකුශල කර්මය බුදුබව ආදී ලොවුතුරා සැපතක් වත් ශක්‍ර සම්පත් ආදී ලෞකික සැපතක් වත් ලැබීමට හේතු වන්නේ නැත. මෙලොවත් පරලොවත් දෙකෙහි ම නොයෙක් දුක් ලැබීමට හේතු වන්නේ ය. ඒ සතුරු තැනැත්තා යටි සුළඟෙහි සිට උඩු සුළඟෙහි සිටින්නා වූ අනුන්ට දූවිලිවලින් ගහනු කැමති කෙනෙකු හා සමාන ය. මක් නිසා ද කිවහොත්, එසේ ගැහූ දූවිලි තමාගේ ම ඇඟේ අවිත් වැටෙන්නා සේ ඔහු අනුන්ට කරන ක්‍රෝධ නමැති දූවිලිවලින් තමා ම කෙලෙසෙන නිසා ය. ඒ පාපය ක්‍රෝධ කරන අඥානයා කරා ම ආපසු පැමිණෙන්නේ ය කියා යි.
බෝසත් සිරිත් මෙනෙහි කිරීම
ඉදින් මෙසේත් නොසංසිදේ නම් ඊළඟට අප බෝසතාණන් වහන්සේගේ පූර්ව චරිතයන් හෙවත් බුදුවූ ජාතියට පෙර ජාතිවල ජීවිත කථාවන් සිහි කිරීමෙන් වත් ක්‍රෝධය සංසිඳවාගත යුතු ය. ඒ මෙසේ ය:
එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්නට පෙර බෝධිසත්ත්ව කාලයේ දී ම බොහෝ කාලයක් මුළුල්ලෙහි පාරමිතා පුරමින් ඒ ඒ ජාතිවලදී තමන් වහන්සේට අවැඩ අපරාධ කළා වූ සත්වයන් කෙරෙහි ක්‍රෝධ නූපදවා මෛත්‍රිය ම කළ සේක් නො වේ ද? උන් වහන්සේ, සීලව රජව උපන් කාලයෙහි තමන් වහන්සේගේ රාජ්‍යයත් පැහැරගෙන අමුසොහොනෙහි කරවටක් පමණ බිම වළ හාරා වළ දැමූවත් හතුරු රජ කෙරෙහි පවා හිත කළඹවා ගැනීම් පමණක්වත් කර නොගත් සේක් නො වේ ද? පසුව ඒ හතුරු රජු පවා මිත්‍රයකු සේ හිතූ සේක් නො වේ ද? ශාන්තිවාදී, තාපසව උපන් කාලයෙහි අඥාන වූ කලාබු නම් කසී රට රජු කටු කසයෙන් තළවද්දීත් අත පය කප්පවද්දීත් ඉවසමින් ඔහුට මෛත්‍රිය ම කළ සේක් නො වේ ද? චුල්ලධම්මපාල ජාතකයෙහි කිරි බොන ළදරුව සිටත් තමන් වහන්සේගේ අත පය කැප්ප වූ පිය මහ රජ්ජුරුවන් කෙරෙහිත් ඒ කැපු වධකයා කෙරෙහිත් අඬමින් සිටි මව් බිසව කෙරෙහිත් තමන් වහන්සේ කෙරෙහිත් එක සේ ම මෛත්‍රිය කළ සේක් නො වේ ද? වෙනත් ‘ඡද්දන්ත ජාතක’ ‘මහා කපි ජාතක’ ‘භූරිදත්ත ජාතකා’ දී තිරිසන්ව උපන් ජාතිවල දැයි නොයෙක් දහස් ගණන් ජාති වල දී තමන් වහන්සේට අවැඩ කළා වූ දුක් දුන්නා වූ නොයෙක් සත්වයන්ට මෛත්‍රිය ම කළ සේක් නො වේ ද? දැන් මේ බුදු වුණා වූ ජාතියෙහි ද ඉවසන්නා වූ මෛත්‍රිය කරන්නා වූ තැනැත්තන් අතුරෙන් උන් වහන්සේ අග තැන්පත් කෙනෙක් නො වේ ද්ද? ඉදින් මෙබඳු වූ මෛත්‍රියෙන් අග තැන්පත් වූ උතුමෙක් ‘මගේ ශාස්තෲන් වහන්සේ’ යි අදහන්නා වූ නුඹට අනුන් කෙරෙහි ක්‍රෝධ සිතක් ඉපදීම නම් කිසිසේත් යුතු නො වේ යයි සිතා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ක්‍රෝධය සංසිඳවා ගත යුතු ය.
No comments:
Post a Comment