30 December 2011

මෛත්‍රිය වැඩිම 3


තමාට ම අවවාද කරගැනීම

            ඉදින් මෙසේත් නොසංසි‍ඳේ නම් නැවත තමන් විසින් ම තමාටම අවවාද කර ගත යුතු යි. ඒ මෙසේ ය: එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, තාගේ සතුරා විසින් ඔහුට විෂය වූ (හෙවත් ඔහුට දුක් දෙන්නට පුළුවන් හරිය වූ) තාගේ ශරීරයෙහි යම් කිසි දුකක් උපදවන්නට ඔහුට පුළුවන. එසේත් ඔහුට, දුක් උපදවන්නට නුපුළුවන් හරිය වූ තාගේ සිතෙහි තා විසින් ඒ සතුරා කෙරෙහි ක්‍රෝධයක් උපදවා ගත්තොත් එය තට මහත් දුකක් උපදවා ගත්තා වේ. ඉදින් එසේ තාගේ සතුරාට අවිෂය වූ (දුක් උපදවන්නට නුපුළුවන් හරිය වූ) තාගේ සිතෙහි කුමක් හෙයින් තෝ ම දුක් උපදවා ගන්නෙහි ද?
                   මේ ක්‍රෝධය නම් තාගේ ශීලාදී ගුණයන්ගේ මුල් වැනි වු ලැජ්ජා භය දෙක සිඳ බිඳ දමන්නා වු එකකි. නුඹ එබඳු වු ක්‍රෝධය නළවන්නෙහි ය. එබැවින් නුඹ හා සමාන වු මෝඩයෙක් ලෝකයෙහි කොයින් ද? සතුරා විසින් නොකොට යුතු වූ අයුත්තක් නුඔට කරන ලද්දේ යයි ඔහුට නුඹ කිපෙන්නේ මන් ද? එසේ කිපී නුඹත් ඔහුට එබඳු අයුත්තක් කරන්නට සිතන්නේ ඇයි?
සතුරා නුඹ තරහ කරවීමට නුඹ අමනාප වූ යමක් කලේ නම් නුඹ ඒ ගැන තරහ වුණොත් සතුරාගේ ම කැමැත්ත ඉෂ්ට වේ. ඉදින් එසේ සතුරාගේ අදහස සම්පූර්ණ කරන්නට සිතන්නේ ඇයි? 
නුඹ දැන් තරහෙන් කිපී සිටින්නෙකි. එසේ වු නුඹට නුඹේ සතුරා කෙරෙහි යම් දුකක් උපදවන්නට හැකි වෙතත් නොවෙතත් නුඹටම නුඹ දුක් උපදවා ගන්නෙහි ය. ඒ නුඹටම උපදවා ගන්නා දුක නම් නුඹේ ම ක්‍රෝධයෙන් නුඹේ ම සිත සහ කයත් දවා ගැනීම ය.
නුඹ ක්‍රෝධ කරන්නෙහි නම් නුඹේ සිත නරක් වන්නේ ය. එසේ සිත නරක් වූ විට ඒ සිතට ආධාරය වු සිත රඳා සිටින ඉඩම (හෘදය වස්තුව) ද නරක් වීමට රත් වීමට පැමිණෙන්නේ ය. එසේ වීමෙන් ඒ හෘදය වස්තුව ආශ්‍රය කරමින් පවත්නා වූ අනෙකුත් ශරීරයේ කොටස් ද ක්‍රමයෙන් නරක් වීමට රත් වීමට පැමිණෙති. මෙසේ ක්‍රෝධය නිසා මුළු ශරීරය ම නරක් ව රත් ගතියකට පැමිණේ. එසේ වීමෙන් ලේ නරක් වී ඇඟ කළු වන්නේ ය.
මේ කීමේ හරි වැරදි බලන්නට ඕනෑ නම් තරහ වූ කෙනෙකුගේ මූණ දෙස බලන්න. එවිට ඔහුගේ මූණ වෙනදා මෙන් නොව අප්‍රිය වූ අමනාප වූ රළු වූ රකුසු මූණක් මෙන් නුඹට හැඟෙනවා ඇත. ඉදින් නුඹ නිතර නිතර ක්‍රෝධ කරතොත් නුඹේ ශරීරය මෙසේ නිතර නිතර නරක්වීමෙන් රත්වීමෙන් ඉක්මනට දිරන්නේ ය. “තරහ වුණොත් විගහට නාකි වෙයි” යන කථාව නුඹ නොයෙක් විට සරදමක් වශයෙන් හිතුවත් දැන් එය ශාස්ත්‍රානුකූල වූ යහපත් ඇත්ත කීමක් බව තේරෙනවා නො වේ ද?
තව ද තරහ වීමෙන් නුඹේ සිත නරක් වූ විට ඒ සිතේ තිබෙන නුවණ ද නරක් වී අණුවන වන්නේ ය. එසේ මුළා වූ නුඹට නොකළ හැකි අපරාධයක් ඇත් ද? නැත් ම ය. තරහ වූ තැනැත්තන් ඒ ක්‍රෝධයෙන් මුළාව මවුපියන් මැරීම් ආදී මහ වැරදි කරපු බව නුඹ දන්නෙහි නො වේ ද?
මෙසේ තරහ ඇති වූ කල කිසිම හොඳ නොහොඳක් තෝරා බේරා ගන්නට තරම් නුවණත් ඉතිරි නොවන බව තරයේ ම හිතට ගන්න.
නුඹේ සතුරන් කිපීමෙන් නොමගට පැමිණි විට නුඹත් කිපෙහි නම් නුඹ ඔවුන්ගේ උපදෙස් (ගුරුකම්) ගන්නෙක් වෙහි ය. එසේ නුඹේ සතුරන්ට අනුව හික්මෙන්නේ ඇයි?
නුඹේ සතුරා නුඹට යම් අපරාධයක් කළේ නම් ඒ කළේත් ක්‍රෝධය නිසා ම ය. එබැවින් නුඹට සතුරු වූයේ ක්‍රෝධය ම ය. නුඹේ සතුරා වනාහි ඒ ක්‍රෝධයට යටත්ව ක්‍රියා කරන හෙයින් ක්‍රෝධයාගේ දාසයකු වැනි ය. එබැවින් නුඹේ එකට එක කිරීම ලැබීමට සුදුසු වන්නේ ඒ ක්‍රෝධය මිස සතුරා නො වේ. ඒ නිසා ක්‍රෝධය ම නැති කර දමන්නේ ය. ඉදින් නුඹට නුඹේ සතුරා පොල්ලකින් ගැසුවේ යයි තරහ වෙතොත් වැදුනේ පොල්ලෙන් නිසා පොල්ල එක්ක ම තරහ විය යුතුයි. එසේ නොව පොල්ල එවූ තැනැත්තා සමග නුඹ තරහ වෙතොත් ඒ තැනැත්තා සමග තරහ වන්නට මත්තෙන් ඒ සතුරා ඒ වැඩෙහි යෙදෙව්වේ කවුදැයි සෙවිය යුතු ය. එසේ සොයන විට ඒ යෙදවූ තැනැත්තා නම් ක්‍රෝධය ම බව නුඹට වැටහෙනවා ඇත. ඒ නිසා ක්‍රෝධය සමග ම ක්‍රෝධ කරන්නේ ය. සත්ත්වයකු සමග ක්‍රෝධ කිරීම මෝඩකමකි. නමුත් ලෝක සත්ත්වයන් නුඹේ සතුරන් ලෙස නුඹ‍ට හඟවන්නේ නුඹේ ම සිතේ ඇත්තා වූ ක්‍රෝධය වේ. එබැවින් එය නසාගත්තොත් සතුරෝත් නැසෙති. එබැවින් ලෝකයෙහි සිටින සියලු සතුරන් මරනු කැමති නම් නුඹේ ම ක්‍රෝධය මරාගන්න. පොරවකින් හඳුන් ගහක් කපන විට ඒ පොරව හඳුන් ගහේ හතුරා වෙතත් ඒ හඳුන් ගහ පොරවේ මුව අත සුවඳ කරවන්නා සේ සත් පුරුෂයෝ තමන්ට විපතක් කරද්දීත් ඒ තමන්ගේ හතුරන් කෙරෙහි යහපතක් ම කෙරෙති. එබැවින් නුඹ සත් පුරුෂයෙකැයි ප්‍රසිද්ධ වෙන්නට කැමති නම් සතුරන්ට ක්‍රෝධ නොකරන්න.
තවද සියලු සංස්කාරයන් (හේතුවකින් ඇතිව නැති වන දේවල්) මොහොතින් මොහොත නැති වී යන ස්වභාවය ඇති බැවින් නුඹේ ඒ සතුරා නුඹට යම් අපරාධයක් කළේ නම් ඒ නුඹට අපරාධ කළා වූ පඤ්චස්කන්ධයෝ දැන් ඔහු තුළ නැත්තාහ. දැන් ඔහු තුළ පවතින්නේ අමුතු ස්කන්ධ පරම්පරාවක් බැවින් නුඹ දැන් ඔහුට යම් විපතක් කළෙහි නම් නිරපරාධ වූ ස්කන්ධයන්ට අපරාධ කළ තැනැත්තෙක් වෙහි ය. මෙසේ නොයෙක් කරුණු වලින් තමා ම තමහට අවවාද කොට ඒ ක්‍රෝධය සංසිඳවා ගත යුතු ය.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි