දාන සංවිභාගය
ඉදින් මෙසේ ධාතු වශයෙන් වෙන් කොට සිතා ගන්නට අසමර්ථ වූ කෙනෙකු විසින් නම් දානසංවිභාගය හෙවත් තමාගේ යම්කිසි දෙයක් සතුරාට දීම ද සතුරාගෙන් යම්කිසිවක් තමා ලබාගැනිම ද කටයුතු වේ. එසේ කිරීමෙන් දෙදෙනාගේම ක්‍රෝධය සංසිඳේ ම ය. දීමෙන් නොකට හැකි දෙයක් නම් නැත. කොපමණ තරහ වී සිටින කෙනෙකු නමුත් යමක් දීමෙන් සතුටු කළ හැකි වේ. එබැවින් දානය නම් නොහික්මුණු අය හික්මවන්නා වූ මාර්ගයකැ යි ද තමන්ගේ හා අනුන්ගේ සියලු අභිවෘද්ධිය සිදු කර දෙන්නා වූ ගුණ ධර්මයකැ යි ද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ය.
මෙසේ මේ දැක් වූ දස ආකාරයන් අතුරෙන් යම්කිසි ආකාරයකින් සතුරා කෙරෙහි පැවති ක්‍රෝධය සංසිඳුණාට පසු “ප්‍රිය තැනැත්තේ ය, ඉතා ප්‍රිය යහළුවා ය, මධ්‍යස්ථ තැනැත්තා ය” යන මොවුන් කෙරෙහි මෙන් ම සතුරා කෙරෙහි ද මෛත්‍රිය උපදී. ඉදින් නැවත නැවත මෛත්‍රිය වඩන්නා වූ ඔහු විසින් තමා ය - ප්‍රියයා ය - මධ්‍යස්ථයා ය - සතුරා ය යන සතර දෙනා කෙරෙහි ම එකසේ මෛත්‍රිය වැඩිය යුතු ය. එසේ මේ සතර දෙනාගේ වෙනසක් නොසිතා සමසේ මෛත්‍රිය වැඩූවිට “සීමාසම්භේදය” කළාවේ. “සීමාසම්භේදය” නම් තමා ය -ප්‍රියයා ය යන සීමාවන් බිඳ දමා සියල්ලන් එකසේ සීතීම ය. එහි කොපමණ දුරට සමසේ සිතිය යුතු ද කීවොත්, ඉදින් “තමා ය - ප්‍රියයා ය - මධ්‍යස්ථයා ය - සතුරා ය” යන සතර දෙනා එක තැනක ඉන්නා විට මිනී මරන හොරුන් ඇවිත් තමුන්නාන්සේලා සතර දෙනාගෙන් එක්කෙනෙකු මරා ලේ ගෙන යාගයක් කිරීමට අපට දෙවයි ඉල්ලුවොත් එවිට “මගේ සතුරා ගෙන ගියොත් හොඳ ය, නැත්නම් ඒ තුන්දෙනා ම ඉන්දදී මා අල්වාගෙන ගියොත් හොඳ ය” යනාදීන් සිතුවොත් සීමාසම්භේදය කළා නො වේ. එසේ සීමාසම්භේදය කළ කල්හි හෙවත් කවුරුන් කෙරෙහිත් සමසේ මෛත්‍රිය වැඩූ කල්හි මේ මෛත්‍රිය උපචාරධ්‍යානයට පැමිණේ. ඉදින් ක්‍රමයෙන් මෙසේ මෛත්‍රී වැඩීමෙන් කාමාවචර සිත් ඉක්මවා රූපාවචරාදී ප්‍රථම ධ්‍යානාදී ධ්‍යානයට පැමිණේ. මෙසේ පැමිණි මෛත්‍රිය අපර්ණාවට පැමිණි මෛත්‍රිය නම් වේ. ඒ අපර්ණාවට පැමිණි මෛත්‍රිය ප්‍රභේද වශයෙන් පන්සිය විසි අට වැදෑරුම් වේ. ඒ විස්තරය කිරීමට මෙය කාලය නොවන බැවින් නො කියමි.
ඉදින් මෙසේ මෛත්‍රිය වඩන තැනැත්තා විසින් පිළිවළින් ඒ මෛත්‍රිය මුළු ලෝකයා කෙරෙහි ම පැතිරවිය යුතු ය.
පළමු කොට එක ආවාසයක් හෝ ගෙදරක් සිතින් නියම කරගෙන “මේ ආවාසයෙහි හෝ මේ ගෙදර වැසි සියළු සත්වයෝ සුවපත් වේවා” යානාදීන් මෛත්‍රිය වඩා ඒ ගෙයි වැසියන් කෙරෙහි සිත මෘදුව අපර්ණාධ්‍යානයට සුදුසු වූ පසු එසේ ම ගෙවල් දෙකක සත්වයන් කෙරෙහි ද ඊළඟට පිළිවෙළින් තුනක, හතරක, පහක, හයක, හතක, අටක, නමයක, දහයක සත්වයන් කෙරෙහි ද ඊළඟට එක වීථියක ගමකින් කොටසක, මුළු ගමක, මුළු රටක, මුළු රාජ්‍යයක, මුළු සක්වළින් එක් දිසාවක සත්වයන් කෙරෙහි දැයි යන පිළිවෙළින් මුළු ලෝකය දක්වා ක්‍රමයෙන් මෛත්‍රිය වැඩිය යුතු වේ.
මෙත් සිතට සතුරෝ
තව ද මේ මෛත්‍රිය වඩන්නා වූ තැනැත්තහු විසින් මෛත්‍රියගේ සතුරෝ කවුරු දැයි දැනගත යුත්තාහ. මේ මෛත්‍රියට වූ කලී ළඟ සිටින සතුරා ය, දුර සිටින සතුරා යයි සතුරෝ දෙදෙනෙක් වෙති. එයින් ළඟ සිටිනා සතුරා නම් රාගය වේ. දුර සිටිනා සතුරා නම් ව්‍යාපාදය හෙවත් ක්‍රෝධය වේ. යම්සේ නිතර ළඟ හැසිරෙන්නා වූ මිතුරකුට සමාන මුහුණුවර ඇති සතුරාගෙන් විපතක් පැමිණවීම ඉතා ලෙහෙසි වේ ද? එසේ ම සත්වයන් කෙරෙහි ප්‍රේම කරන ස්වභාවය ඇති මෛත්‍රියට ගේහසිතපේම නම් වූ සමාන හතුරකු වැනි වූ රාගයෙන් විපතක් පැමිණීම ඉතා පහසු වේ. එබැවින් මෛත්‍රී කරන්නහු විසින් නිතර ම තමාගේ සිත රාගයෙන් පරෙස්සම් කර ගැනීමට උත්සාහ දැරිය යුතු ය. යම්සේ කඳු කැලෑ ආදියෙහි සැඟවී සිදුරක් සොයමින් දුර සිටිනා සතුරාගෙන් විපතක් පැමිණීම අමාරු වේ ද? කලාතුරකින් ම වේ ද? එසේ ම මේ පරිද්දෙන් මෛත්‍රිය කරන්නාහුට ව්‍යාපාදයෙන් හෙවත් ක්‍රෝධයෙන් විපතක් පැමිණීම අමාරුවෙන් කලාතුරකින් ම වේ. එබැවින් මේ ව්‍යාපාදය නැමති සතුරාට භය නොවී නිතර නිතර ම රාග නමැති සතුරාගෙන් පරිස්සම් වන්නට සිතට ගත යුතු ය. (මෙහි රාගයත් මෛත්‍රියත් දෙක එක අතකින් මදක් සමාන ගති ඇති බැවින් රාගය මිතුරෙකුට සමාන මුහුණුවර ඇති සතුරෙක් යැයි ද මෛත්‍රිය කරන කල ඒ මෛත්‍රිය ලබන්නා වූ තැනැත්තාගේ ගුණ සිහි කරමින් ඔහු කෙරෙහි ප්‍රේමය ඇතිකරමින් ම එය වඩන බැවින් එකල්හි නොයෙක් විට රාගයක් ඇති විය හැති බැවින් ළඟ හැසිරෙන හතුරෙකැයි ද කියන ලදී.)
මෙසේ ද්වේෂයෙහි දොස් ද ඉවසීමේ ගුණ ද පළමු කොට මෛත්‍රිය වැඩිය යුතු තැනැත්තා ද සතුරා කෙරෙහි පැවති ක්‍රෝධය සංසිඳුවා ගන්නා දස ආකාරය ද, ඊළඟට සීමාසම්භේදය කරන පරිදි ද ඒ මෛත්‍රිය ක්‍රමයෙන් මුළු ලෝකයෙහි පතුරුවන අන්දම ද එය සතුරන්ගෙන් රැක ගත යුතු අන්දම ද දැන මෛත්‍රිය වඩන ක්‍රමය ඉගෙන ගත යුතු වේ. මේදෙවන ප්‍රශ්නයට පිළිතුරු යි.
මෛත්‍රියේ ප‍්‍රභේද
ඉදින් “වෙනත් මේ මෛත්‍රියගේ ප්‍රභේද මොනවා ද?” යන ප්‍රශ්නයට පිළිතුරු ඉතා කෙටියෙන් කියනු ලැබේ.
මේ මෛත්‍රිය වූ කලී සතර බ්‍රහ්ම විහාරයන් අතුරෙන් පළමු වන බ්‍රහ්ම විහාරය වේ. මෙහි “බ්‍රහ්ම” යනු උතුම් වූ හෝ නිර්දෝෂ වූ යන තේරුම් ද පවතී. එබැවින් උතුම් වූ හෝ නිර්දෝෂ ඉරියව් පැවැත්වීම ය යනු මෙහි තේරුම වේ.
සත්වයන් කෙරෙහි අභිවෘද්ධියක් කරන ආකාරයෙන් ම පැවැත්ම මේ මෛත්‍රියගේ ස්වභාවය හෝ ඇඳින ගන්නා ලකුණ වේ. අනුන්ට අභිවෘද්ධියක් පැමිණවීම මේ මෛත්‍රිය කරන්නා වූ වැඩය වේ. ක්‍රෝධය ඇති වීමට හේතු වන්නා වූ අදහස් නැති කිරීම මෙහි ඵලය හෙවත් ප්‍රයෝජනය වේ. (මේ ක්‍රෝධය ඇති වීමට හේතුවන්නා වූ අදහස් නවයකි) එනම් 1. මොහු මට අනර්ථයක් කළේ ය. 2. දැනුදු කෙරෙයි. 3. මත්තට ද කරන්නේ ය. 4. මොහු මගේ ප්‍රියයාට අනර්ථයක් කළේ ය. 5. දැනුදු කෙරෙයි. 6. මත්තට ද කරන්නේ ය. 7. මොහු මගේ අප්‍රියාට (සතුරාට) අභිවෘද්ධියක් කළේ ය. 8. දැනුදු කෙරෙයි. 9. මත්තට ද කරන්නේ යයි ඇතිවෙන්නා වූ නපුරු අදහස් ය. මේ මෛත්‍රිය ඇතිවීමට ඉතා කිට්ටුව තිබෙන හේතුව නම් සත්වයන්ගේ මනාප බව දැකීම යි. මේ මෛත්‍රියගේ යහපත් වූ සිද්ධිය නම් ව්‍යාපාදය යටපත් කර දැමීම් වශයෙන් සංසිඳීම වේ. මේ මෛත්‍රියගේ විපත්තිය හෙවත් විනාශයට හේතුව නම් තෘෂ්ණාව හා එකට යෙදුණා වූ ස්නේහය වේ.
මේ මෛත්‍රියගේ මුල (පටන් ගැන්ම) නම් සත්වයන් කෙරෙහි යහපතක් කැමති බව වූ ඡන්දිද්ධිපාදය වේ. ව්‍යාපාදයත් ඒ සමඟ යෙදුණු වෙනත් අකුශල ස්වභාවයනුත් යටපත් කිරීම් වශයෙන් සංසිඳවීම මධ්‍යය (මැද්ද) වේ. මෛත්‍රී ධ්‍යාන හෙවත් අපර්ණාවට පැමිණීම මෛත්‍රිය කෙළවර වේ.
මේ මෛත්‍රී භාවනාව ව්‍යාපාදය බොහෝ කොට ඇත්තා වූ ද්වේෂ චරිත ඇති තැනැත්තාගේ නිවන් දැකීමට මාර්ගය වේ.
තව ද මෛත්‍රී භාවනාව පළමුවන අප්පමඤ්ඤ යයි ද හෙවත් අප්‍රමාණ වූ සත්වයන් කෙරෙහි පැවැත්විය යුතු සතර භාවනාවන් අතුරෙන් පළමුවන එක යයි ද කියනු ලැබ්. ඒ එසේ මැ යි. මේ මෛත්‍රිය අප්‍රමාණ වූ සියළු සත්වයන් කෙරෙහි වැඩූ කල්හි ම මෛත්‍රී බ්‍රහ්ම විහාරයෙන් යුක්ත වූයේ වේ.
ඉදින් පින්වත්නි, නුඹලා මේ මෛත්‍රි ධර්ම ශාලාවෙහි බණ අසන්නාහු නම් මේ උතුම් වූ මෛත්‍රිය වඩන්නට සිතට ගත යුතු ය. එසේ නොව නුඹලා එකිනෙකා ක්‍රෝධ කරතොත් මේ ශාලාවේ නම “කපුරුහාමිගේ නම” වැනි වේ ය. කපුරුහාමි නම් තැනැත්තී නමින් කපුරු වුවත් ඇගේ කට බොහෝ ම ගඳලු. එසේ ම නුඹලාගේ ධර්ම ශාලාව නමින් පමණක් මෛත්‍රී කරන්නන්ගේ ධර්ම ශාලාව වී නම් නුඹලා මෛත්‍රී නොකරන්නහු නම් ඇත්තට ම මේ නම වෙනස් කරන්නට ඕනෑ. නුඹලා මේ අහන්නා වූ බණ හිතට නොගනිතොත් ඒ පරිද්දෙන් නොපිළිපදිතොත් නුඹලාගේ බණ ඇසීමත් හැන්දේ රසවිඳීමත් දෙක ම එක සමාන ය. හැන්ද නිතර නිතර රස කෑම ඇති භාජනවල ම කල් යවතත් මේ කෑම ලුණු රස ය, මේ කෑම පැණි රස ය ආදී විශේෂ විභාගයක් නො දනී. එසේ ම නුඹලාත් මේ යහපත් වූ බණ අස අසා ඒවායේ රස නොවිඳින්නාහු නම් ඇති ඵලය කුමක් ද? නුඹලා මේ ධර්මය වූ පරිද්දේන් නොපිළිපදින්නාහු නම් මේ බිත්ති වලට බණ කීම නුඹලාට බණ කීමට වඩා හොඳයි. මක් නිසා ද කීවොත්, මේ බිත්ති නිශ්චලව අසා සිටීමවත් කරන නිසා ය. මා මෙසේ කියන්නේ නුඹලා නරක නිසා නොවේ. යම් නරක ගතියක් ඇති වුණි නම් එය නැතිකර ගැනීමට කලින් අවවාද කිරීම් වශයෙන් ම ය.
අපි කවුරුත් තවම පෘථග්ජන ය. සෝවාන් ආදී මාර්ග ඵල වලට නොපැමිණියෝ ය. එබැවින් අපගේ සිත් පවට ඉතා ඇදීම පහසු ය. ඒ නිසා අප විසින් නිතර පරෙස්සම් විය යුතු ය. ඉදින් පින්වත්නි, නුඹලා ගෙදර ගොස් මෙතැන් පටන් මෛත්‍රිය කරන්නට පටන් ගත යුතු ය. වැඩකාරයන් අතින් හෝ වෙන යමෙකු අතින් ප්‍රමාද දෝෂයක් වූ විට ඒ ගැන නො කිපිය යුතු ය. කා අතිනුත් වැරදි විය හැකි බව කල්පනා කරන්න. මා කලින් කියා දුන් දස ආකාරයෙන් සිතා බලා නුඹලාගේ ක්‍රෝධය සංසිඳුවා ගත යුතු ය. ඉදින් මෙහි පැමිණ සිටින තරුණ මහත්වරුනි, විගහට නාකි වෙන්නට කැමති නැත්නම් තරහ වීම හොඳ නැත. තරහ වුණොත් විගහට නාකිවෙන බව නිතර හිතේ තබාගෙන ක්‍රියා කටයුතු ය. මෙසේ ම මෛත්‍රී කිරීමෙන් ඉබේ ම සිල් රැකේ. සිල් රැකීමෙන් භාවනා කළ හැකි වේ. භාවනා කිරීමෙන් සියලු කෙලෙසුන් නසා උතුම් නිර්වාණ සම්පත් ලබා ගත හැකි වේ.
කයිනුත් සුවැත්තෝ
කිසිත් උවදුරු නැත්තෝ
වෙත් වා සියලු සත්හු ම
සුවපත් වූ සිතැත්තෝ
කිසිත් උවදුරු නැත්තෝ
වෙත් වා සියලු සත්හු ම
සුවපත් වූ සිතැත්තෝ
අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් පලකරන ලද ලක්මිණි පහනේ මේ ලිපිය දුටුවිට තංගල්ලේ දේවානන්ද මහාස්ථවිරයන් වහන්සේට පහළ වූ අදහස, මේ ධර්මදේශනාව පොතක් හැටියට මුද්‍රණය කරවා මහජනයා අතරට පත් කළ යුතු ය යනු යි. මේ ධර්ම දානමය පිනෙන් කාටත් නිවන් සුව අත් වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි. සියලු දෙනාට තෙරුවන් සරණයි....!
No comments:
Post a Comment