සීල විසුද්ධිය
“සීලවිසුද්ධි නාම සුපරිසුද්ධං පාතිමොක්ඛසංවරාදී චතුබ්බිධං සීලං” - සුපිරිසිදු ප්‍රාතිමෝක්‍ෂසංවරාදී සිවු වැදෑරුම් ශීලය ශීලවිශුද්ධි නම් වේ.
1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ශික්‍ෂාපද ශීලය යි.
2. ඉන්ද්‍රිය සංවර ශීලය - ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ගේ මාර්‍ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්‍රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
3. ආජීව පාරිශුද්ධි ශීලය - ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්‍ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය - හීලෑකම - තැන්පත් කම නම් වූ ශීලය ය.
4. ප්‍රත්‍යයසන්නිඃශ්‍රිත ශීලය - සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි.
ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය. භාවනානට බලවත් කැමැත්තක් ඇති ගිහියනට වුව ද එක්තරා ප්‍රමාණයෙකින් හෝ චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්වීම අපහසු නොවනුවා ඇත. අන්තිම ජාතියෙහි වූ කෙනකු හැරැ පඤ්චශීල මාත්‍රයකුදු නැති සාමාන්‍ය අය භාවනාවට කියා ගොස් උසස් ප්‍රතිඵල ලබනුවා යයි කීම නුවණැතියන්ගේ පුදුමයට හේතුවක් වී තිබෙන්නේ මේ නිසා ය. ශීලවිශුද්ධියක් නැත්තකුට චිත්ත විශුද්ධියක් නො ලැබිය හැකි බව රථවිනීත උපමාවෙන් පැහැදිලි ය.
චිත්ත විශුද්ධිය
“චිත්තවිසුද්ධි නාම සඋපචාරා අට්ඨසමාපත්තියො” - උපචාර සහිත අට්ඨසමාපත්තීහු චිත්තවිශුද්ධි නම් වෙති.
උපචාර සමාධි යැ, අර්‍පණා සමාධි යැයි සමාධීහු දෙ වැදෑරුම් වෙති. උපචාර සමාධිය නම් අර්‍පණා සමාධියට පෙරැ පහළ වන කාමාවචර සමාධිය යි. අර්‍පණා සමාධිය නම් ප්‍රථම - ද්විතීය - තෘතීය - චතුර්‍ථ යන රූපාවචර ධ්‍යාන සතර හා ආකාසානඤ්චායතන යැ, විඤ්ඤාණඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ යන අරූපාවචර ධ්‍යාන සතර දැයි කියැවෙන අෂ්ටසමාපත්තීහු ය.
චිත්ත විශුද්ධිය සම්පූර්‍ණ වීමට අර්‍පණා සමාධියක් තිබිය යුතු ය. යම්තමින් හෝ චිත්ත විශුද්ධියක් ඇති වීමට අඩු මැ ගණනේ උපචාර සමාධියක් වත් තිබිය යුතු ය. උපචාර සමාධි මාත්‍රයක් හෝ ලැබීම එතරම් පහසු ක්‍රියාවක් නො වෙයි. අන්තිම ජාතියෙහි වූ කෙනෙකු හැරැ සාමාන්‍ය අයට නම් චිත්තවිශුද්ධියක් ලබා ගැනීමට ශීලවිශුද්ධියෙහි පිහිටා බොහෝ කාලයක් සමථ භාවනා කළ යුතු වෙයි. රහත් වන්නට පිනැතියවුනට පවා අවුරුදු ගණන් ගෙවාත් මඟපල තබා උපචාර සමාධියක් වත් ලබා ගැනීම දුෂ්කර වූ බව සමහර කථාවස්තුවලින් පෙනෙයි. කිසිදු තැන්පත් කමක් සංවරයක් නැති අය ද භාවනාවට ගොස් දවසෙන් දෙකෙන් දින කීපයෙන් සමාධි වෙනුවා යයි කීම නැණැතියන්ගේ හාස්‍යයට හේතු වී තිබෙන්නේ මේ නිසා ය. චිත්තවිශුද්ධියක් නැත්තකුට දෘෂ්ටි විශුද්ධියක් ලබා ගත නො හැකි වේ.
දිට්ඨිවිසුද්ධිය
“නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධි නාම” - නාමරූපයන් ඇති සැටියෙන් දැනීම, පිරිසිඳැ දැනීම දිට්ඨි විසුද්ධි නම් වේ.
සීලවිශුද්ධියෙන් හෙවත් තමාට අයත් උසස් ශීලයෙන් සිල්වත් වැ, චිත්ත විශුද්ධියෙන් හෙවත් සමථ භාවනාවෙකින් සමාහිත වැ සිටින යෝගාවචරයාගේ භාවනාව විදර්‍ශනාවට හරවන්නේ මේ දිට්ඨිවිසුද්ධියෙනි. තමා ලැබූ සමාධිය අනුවැ විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි වේ. එනම්: අරූපමුඛ රූපමුඛ යනු යි. චිත්තවිශුද්ධියෙහි දී තමා ලබා ගත් ධ්‍යානචිත්තයෙහි ධ්‍යානාංග සම්මර්‍ශනය කොට විදර්‍ශනාවට හරවන මාර්‍ගය අරූපමුඛ නම් වෙයි. ලබා ගත් ධ්‍යානචිත්තය පාදක නො කොට කෙළින් මැ ආශ්වාස ප්‍රශ්වාසකාය මැ ගෙනැ නාමරූප වශයෙන් වෙන් කොට බලා විදර්‍ශනාවට හරවන මාර්‍ගය රූපමුඛ නම් වේ.
තව ද ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා යැ, ධ්‍යානකාර්මිකයා යැයි විදර්‍ශනාවට හරවන ආකාර වශයෙන් යෝගීහු දෙදෙනෙක් වෙතියි සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් හික්මෙන්නා වූ ඔහුට වනාහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි සතර ධ්‍යානයෝ උපදිත්, හෙතෙම ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාසයන් හෝ ධ්‍යානාංගයන් හෝ පරිග්‍රහණය කෙරෙයි. ඔවුන් දෙදෙනා අතුරෙන් ආශ්වාස ප්‍රශ්වාසකාර්මික තෙම, ආශ්වාස ප්‍රශ්වාසයෝ කුමක් ඇසුරු කළහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, කරජකාය නම් සතර මහාභූතයන් හා උපාදායරූප දැයි මෙසේ රූප පරිග්‍රහණය කෙරෙයි. අනතුරුව ඒ ආශ්වාස ප්‍රශ්වාසාරම්මණයෙහි ඵස්සපඤ්චමක ධර්‍මයන් නාමයයි. (නාමය පරිග්‍රහණය කෙරෙයි) මෙසේ නාම රූප පරිග්‍රහණය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රතීත්‍යසමුත්පාදය දැකැ ඒ නාමරූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්නධර්‍මමාත්‍රයක් මැ යි. අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැයි තරණය කළ සැක ඇත්තේ ප්‍රත්‍යය සහිත නාම රූපයෙහි (අනිත්‍යාදී) ත්‍රිලක්ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ (මාර්‍ගඵල) පිළිවෙළින් රහත් බවට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ රහත් බව තෙක් නිර්‍වාණ මාර්‍ගය යි. (ධ්‍යානාංගයන් මෙනෙහි කරන) ධ්‍යානකාර්මික තෙමේ ද මේ ධ්‍යානාංගයෝ කුමක් ඇසුරු කළාහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, ධ්‍යානාංගයෝ නාමය යැ, කරජකාය රූපයැ යි නාමරූප නිශ්චය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රත්‍යයාකාරය දැක මේ නාමය හා රූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මමාත්‍රයෙක් මැ යැ, අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි වෙසෙසින් දුරුකළ (සොළොස් වැදෑරුම්) සැක ඇත්තෝ ප්‍රත්‍යය සහිත වූ නාමරූපයෙහි ත්‍රිලක්‍ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ අනුක්‍රමයෙන් අර්‍හත්වයට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ අර්‍හත්වය තෙක් නිර්‍වාණමාර්‍ගය යි.
- ප්‍රපඤ්චදීපිකා
මෙහි ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා නම් මුලින් සඳහන් කළ රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය, ධ්‍යානකාර්මිකයා නම් අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය.
මෙසේ අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් තමා ලැබූ ධ්‍යානයෙහි විතර්‍කාදී අංග හා තත්සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද ලක්‍ෂණාදී වශයෙන් වෙන් කොට බැලිය යුතු ය. එසේ බලත් මැ ඒ සියල්ල අරමුණට යොමු කොට නැමෙනුයෙන් නාමධර්‍මයන් යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ මේ නාමධර්‍මයන් කුමක් ඇසුරු කොට පවත්නේ දැයි විමසා බැලිය යුතු ය. එසේ විමසත් මැ නාමධර්‍මයන් පවත්නේ හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ සෙසු රූපයන් ද පිරිසිඳැ දකියි. ඒ සියල්ල නැසෙන අර්ථයෙන් රූපයයි නුවණින් දැනැ ගනියි. මෙසේ නාමරූපයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.
ආනාපානසති භාවනාවෙන් ලැබූ ධ්‍යානයන් පාදක නොකොට රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් ඒ ආනාපානය මැ මුල් කොට විදර්‍ශනාවට හැරැවිය යුතු ය. එයට කඹුරුහමේ උපමාව උපකාර කැරැ ගත යුතු ය. කම්මලේ තිබෙන කඹුරුහම ක්‍රියා කිරීමට කරුණු තුනක් එක් වී තිබේ. කඹුරුහමේ කටත් සිදුරත් කුහරයත් ලනුව අදිමින් උස් පහත් කරන්නාත් යන කරුණු තුන එක්වීමෙන් වරකට සුළං පිට වෙයි. වරකට සුළං ඇතුළු වෙයි. එමෙන් මැ ආනාපානය කැරෙන්නේ ශරීර කුහරයත් නාස්පුඩු දෙකත් හිතත් යන කරුණු එක්වීමෙනි. කයක් ඇතත් සිතක් නැතොත් ආනාපානයෙක් නැත. එහෙයින් සිත ප්‍රධාන ය. ඒ සිත නම් කුමක් ද? නාම ධර්‍මයෙකි. එය හා සම්ප්‍රයුක්ත වූ චෛතසිකයෝ ද නාම ධර්‍මයෝ වෙති. මේ නාමධර්‍මයන් පවත්නේ කවරක් ඇසුරු කොට ද? හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ ය. හෘදය රූපය ඇසුරු කොට සෙසු භූතරූපයන් හා උපාදාය රූපයෝ ද වෙති. මෙසේ ආනාපානය මැ ඇසුරු කැරැ ගෙනැ නාමරූප ධර්‍මයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.
නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දනිමින් භාවනා කරන්නා හට නාමරූප ධර්‍මයන් සත්ත්වයන් පුද්ගලයන් නොවන බවත් නාම රූප ධර්‍මයන්ගෙන් අන්‍ය වූ සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ නැති බවත් හොඳින් මැ වැටහෙනුවා ඇත. ඒ සමඟ මැ සත්ත්ව සංඥාව, ආත්ම සංඥාව ද දුරු වෙනවා ඇත. එයින් මෙතෙක් පැවැති සත්ත්වයා යැ පුද්ගලයා යැ යන මිථ්‍යාදර්‍ශනය - වැරදි දැක්ම දුරු වෙයි. සත්ත්වයා පුද්ගලයා නම් ස්කන්ධ - ධාතු - ආයතන යන ධර්‍මමාත්‍රයක යන සම්‍යක් දර්‍ශනය - හරි දැක්ම පහළ වෙයි. දෘෂ්ටිය පිරිසුදු වෙයි.
දිට්ඨිවිසුද්ධිය ලබා ගැනීම සීලවිසුද්ධි චිත්තවිසුද්ධි දෙක ලබා ගැනීමට වඩා අතිශයින් දුෂ්කර ක්‍රියාවෙකි. දිට්ඨිවිසුද්ධිය සම්පූර්‍ණවීමට උසස් ධර්‍මඥානයක් තිබිය යුතු ය. අඩු මැ ගණනේ නාමරූප ධර්‍මයන් පිරිසිඳැ ඇති සැටියෙන් දැනැ ගන්නට තරම් වත් ධර්‍මඥානයක් තිබිය යුතු ම ය. නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දැනැ ගැනීමට තරම් වත් ධර්‍මඥානයක් නැති අය විදර්‍ශනා භාවනාවට යෑමත්, එබඳු අයට ඉක්මනට ප්‍රතිඵල ලැබෙනුවා යැයි කීමත්, විදර්‍ශනා භාවනා කරන විට සමාධි නිමිති පෙනෙනුවා යැයි පැවසීමත් නැණැතියන්ගේ සිනාවට කරුණු වී තිබෙන්නේ මේ නිසා ය. දිට්ඨිවිසුද්ධියක් නැත්තකුට කංඛාවිතරණවිසුද්ධිය ලබාගත නො හැකි වේ.
කඞ්ඛාවිතරණ විසුද්ධිය
“එතස්සෙව පන නාමරූපස්ස පච්චයපරිග්ගහෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කංඛාවිතරණවිසුද්ධි නාම” - මේ නාමරූපයන්ගේ මැ පහළ වීමට හා පැවැත්මට ද ප්‍රත්‍යය හෙවත් හේතු වූ කරුණු පිරිසිඳීමෙන් තුන්කල්හි පැවැති සැකය දුරු කැරැ සිටි ඥානය කංඛාවිතරණ විසුද්ධි නම් වේ.
දක්ෂ වෛද්‍යවරයා රෝගයක් දැකැ එහි නිදානය සොයන්නා සේ විදර්‍ශනාවට බැසැගත් යෝගාවචරයා ද නාමරූප ධර්‍මයන්ගේ හේතු - ප්‍රත්‍යය සෙවීමෙහි යෙදිය යුතු ය. මේ නාම රූප නම් වූ පඤ්චස්කන්ධය සියලු තන්හි සෑම කල්හි මැ සියල්ලනට සම වැ නො පැමිණෙන හෙයින් අහේතුක නොවෙයි. ඊශ්වරාදී මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදී හේතුවකිනිදු හට නො ගැනේ. එහෙයින් මැ මේ නාමරූපයනට හේතුප්‍රත්‍යයන් ඇතැයි සලකා ඒ හේතු ප්‍රත්‍යයන් පරීක්‍ෂා කැරැ බැලිය යුතු ය.
ප්‍රතිසන්ධියෙහි දී අවිද්‍යා යැ, තෘෂ්ණා යැ, උපාදාන යැ, කර්‍ම යැ, යන මොවුහු නාමරූප ධර්‍මයන් උපදවන හේතූහු වෙති. ප්‍රවෘත්තියෙහි දී රූපය කර්‍ම යැ, චිත්ත යැ, සෘතු යැ, ආහාර යැ යන මොවුන්ගේ ප්‍රත්‍යයෙන් උපදනේ වෙයි. චක්‍ෂුඃප්‍රසාදය ද රූපාලම්බනය ද නිසා චක්ඛුවිඤ්ඤාණය උපදනේ වෙයි. මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාමරූපයන්ගේ පැවැත්ම දැකැ මේ නාමරූපයන් දැන් සේ මැ අතීතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා පැවැත්තේ ය. අනාගතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා මැ පවත්නේ යයි ද දකී.
මෙසේ බලන්නා වූ යෝගාවචරයාට අතීත ස්කන්ධ පඤ්චකය අරබයා, ‘මම අතීත කාලයෙහි සිටියෙම් ද, නො සිටියෙම් ද, කවරකු වැ සිටියෙම් ද, කෙබන්දකු වැ සිටියෙම් ද, කවරකු වැ සිට කෙබන්දෙක් වූයෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, අනාගත ස්කන්ධ පඤ්චකය අරබයා ද, ‘මම අනාගත කාලයෙහි වන්නෙම් ද, නො වන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද, කෙබන්දෙක් වන්නෙම් ද, කවරෙකු වැ කෙබන්දෙක් වන්නෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, වර්‍තමාන ස්කන්ධ පඤ්චකය අරබයා ද, මම වෙම් ද, නො වෙම් ද, කවරෙක් වෙම් ද, කෙසේ වෙම් ද, මේ සත්ත්ව තෙමේ කොහි සිට මෙහි ආවේ ද, නැවැත කොහි යන්නේ දැ’ යි සයාකාරයෙකින් කියන ලද සැකය දැයි කාලත්‍රයයට අයත් ස්කන්ධ පඤ්චකය පිළිබඳ සොළොස් ආකාර සැකය ප්‍රහීණ වේ.
තවද, පටිච්ච සමුප්පාදයෙහි සඳහන් වන පරිදි සත්ත්වයාගේ පැවැත්ම හා නැවැත්ම ද පිළිබඳ හේතුඵලයන් සලකා බැලිය යුතු ය.
“අතීතෙ හෙතුවො පඤ්ච
ඉදානි ඵලපඤ්චකං
ඉදානි හෙතුවො පඤ්ච
ආයතිං ඵලපඤ්චකං”
ඉදානි ඵලපඤ්චකං
ඉදානි හෙතුවො පඤ්ච
ආයතිං ඵලපඤ්චකං”
සත්ත්වයාගේ පැවැත්ම නම් වූ භවචක්‍රයෙහි අතීත හේතු පසෙක් ද වර්‍තමාන ඵල පසෙක් ද වර්‍තමාන හේතු පසෙක් ද අනාගත ඵල පසෙක් දැයි හේතු පල විස්සෙක් වේ.
මෙසේ සලකා බලත් මැ අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද, කිසිදු ධර්‍මයෙක් සංක්‍රමණය නො වෙයි. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් මේ භවයෙහි ස්කන්ධ ධාතු ආයතන ද, මේ භාවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් පුනර්‍භවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයෝ ද උපදින්නාහු වෙති යි හරි දැකීම පහළ වේ.
“නයිදං අත්තකතං බිම්බං
නයිදං පරකතං අඝං
හෙතුං පටිච්ච සම්භූතං
හෙතුභඞ්ගා නිරුජ්ඣති.”
නයිදං පරකතං අඝං
හෙතුං පටිච්ච සම්භූතං
හෙතුභඞ්ගා නිරුජ්ඣති.”
මේ ශරීරය තමා විසින් කැරැ ගන්නා ලද්දක් වත් අන්‍යයකු විසින් මවන ලද්දක් වත් නො වෙයි. හේතූන් නිසා හටගත්තකි. හේතූන්ගේ බිඳී යෑමෙන් මේ ශරීරය නිරෝධයට යේ.
කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්‍ණ විදර්‍ශක තෙමේ ලෞකික සීල සමාධි පඤ්ඤා සම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ගඵලාධිගමය නො කෙළේ ද සුගතිගමන නොවරදවා මැ සිදු කෙරේ යයි කියනු ලැබේ. ඔහුට චුල්ලසෝතාපන්නයා යයි ද කියනු ලැබේ. කංඛාවිතරණවිශුද්ධිය නො ලැබූවකුට මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය නො ලැබිය හැකි වේ.
මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය
“අයං මග්ගො අයං න මග්ගොති එවං මග්ගං ච අමග්ගං ච ඤත්වා ඨිතං ඤාණං පන මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නාම” - මේ මාර්‍ග යැ, මේ අමාර්‍ග යැයි මඟත් නොමඟත් පිරිසිඳැ දැනැ සිටි ඥානය මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි නම් වේ.
මේ අවස්ථාවෙහි භාවනා කරන යෝගාවචරයා අමාර්‍ගය ආර්‍ය මාර්‍ග යයි වැරදි ලෙස වැටහෙනුවා ඇත. ඒ නිසා දශවිධ උපක්ලේශයන් දැනැ සිටීම ඉතා අවශ්‍ය ය.
“ඔභාසො පීති පස්සදධි - අධිමොක්ඛො ච පග්ගහො
සුඛං ඤාණමුපට්ඨාන - මුපෙක්ඛා ච නිකන්ති ච”
සුඛං ඤාණමුපට්ඨාන - මුපෙක්ඛා ච නිකන්ති ච”
ඔභාස යැ, පීති යැ, පස්සද්ධි යැ, අධිමොක්ඛ යැ, පග්ගහ යැ, සුඛ යැ, ඤාණ යැ, උපට්ඨාන යැ, උපෙක්ඛා යැ, නිකන්ති යැ යන මොවුහු දශවිධ විදර්‍ශනෝපක්ලේශයෝ වෙති.
1. ඔභාස - විදර්‍ශනා චිත්තයෙන් හටගත් එක්තරා - ශරීරාලෝකයෙකි. මේ ආලෝකය උපන් කල්හි සමහරු මාර්‍ගඵලයනට පැමිණියෙමි යි අමාර්‍ගය මාර්‍ගය ලෙස ගෙනැ එයින් මැ සෑහීමට පත්වී විදර්‍ශනාව ද අත්හරී. මෙය උපක්ලේශයක් බව දැනැ සිටින්නා ආලෝකයට නො රැවටී භාවනා කැරැනු ලැබේ.
2. ඤාණ - නාමරූප ධර්‍මයන් විමසා බලන්නා වූ යෝගියා හට ඉතා තියුණු වූ විදර්‍ශනා ඥානය පහළ වෙයි. එය මාර්‍ග යයි ගත්තා හට නියම මාර්‍ගය වරදී. එහෙයින් එය ද උපක්ලේශයකි.
3. පීති - විදර්‍ශනා වඩන්නා හට මුළු ශරීරය මැ පුරවමින් ප්‍රීතිය උපදී. සමහරු එය මාර්‍ග යයි ගෙනැ මුළාවට පත් වෙති. එහෙයින් එය ද උපක්ලේශයෙකි.
4. පස්සද්ධි - විදර්‍ශනාවෙන් ඇතිවන කායචිත්තයන්ගේ සංසුන් බවයි, සැහැල්ලු බවයි. එය ද උපක්ලේශයකි.
5. සුඛ - විදර්‍ශනා වඩන්නා හට මුළු සිරුර පිණවමින් මීට පෙරැ නොවූ විරූ සුඛයක් උපදී. එය මාර්‍ග යයි ගත හොත් නියම මාර්‍ගය වළකින හෙයින් උපක්ලේශයෙකි.
6. අධිමොක්ඛ - බලවත් ශ්‍රද්ධාව යි. විදර්‍ශනා යෝගී හට චිත්ත චෛතසිකයන් අතිශයින් ප්‍රසන්න භාවයට පමුණුවන බලවත් ශ්‍රද්ධාව උපදී. එය ද නියම මාර්‍ගය මුවා කරන හෙයින් උපක්ලේශයෙකි.
7. පග්ගහ - වීර්‍යය යි. විදර්‍ශනාව දියුණු වෙත් මැ ළිහිල් නො වූ දැඩි ද නො වූ වීර්‍යය උපදී. එය ද උපක්ලේශයෙකි.
8. උපට්ඨාන - සිහිය යි. විදර්‍ශනා කරන්නා හට මනා වැ එළඹ සිටි සිහිය උපදී. ඉතා පැරණි කරුණු පවා සිහියට එයි. මේ විශේෂ ලක්‍ෂණය නිසා මාර්‍ගය ලදිමි යි මුළාවට පත් වෙයි. එහෙයින් එය ද උපක්ලේශයෙකි.
9. උපෙක්ඛා - විදර්‍ශනා යෝගීනට නාමරූප ධර්‍මයන් උදයව්‍යය වශයෙන් මනා වැ පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථාකාරයෙන් පවත්නා විදර්‍ශනා උපෙක්‍ෂාව උපදී. එය ද මාර්‍ග යයි වරදවා ගන්නා හෙයින් උපක්ලේශයෙකි.
10. නිකන්ති - ඉතා සියුම් තෘෂ්ණාව යි. “මින් පෙරැ මට ආලෝකයක් පහළ නො වී ය”. මම ආර්‍යමාර්‍ගයට පැමිණියෙමි යි එහි ආලය කෙරෙමින් පහළ වන සියුම් තෘෂ්ණාවයි. එය ද උපක්ලේශයෙකි.
මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ලබනු කැමැති යෝගාවචරයා අතීතාදී නොයෙක් කොටස් වශයෙන් කැඩුණු සියලු සංස්කාර ධර්‍මයන් කලාප වශයෙන් මෙනෙහි කළ යුතු ය.
අතීත - අනාගත - පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්මක බාහිර වූ හෝ ඕළාරික සුඛුම වූ හෝ හීන ප්‍රණීත වූ හෝ දූර සමීප වූ හෝ යම් රූපයක් වේ නම් ඒ සියලු රූප අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ, අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ. මේ ද සම්මර්‍ශනය කරන පිළිවෙළකි. වේදනාදී අනෙක් ස්කන්ධයන් පිළිබඳ වැ ද එසේ මැ ය.
තව ද රූපය ක්‍ෂය වන අර්‍ථයෙන් අනිත්‍ය යැ, භය වන අර්ථයෙන් දුක් යැ, අසාර වන අර්ථයෙන් අනාත්ම යැ යි ද සම්මර්‍ශනය කළ යුතු ය.
මෙසේ භාවනා කරත් මැ විදර්‍ශනා ඥානය දියුණු වෙයි. ඔහුට මාර්‍ගය කුමක් ද අමාර්‍ගය කුමක් දැයි වැටහෙයි. ආලෝකාදියට මුළා නො වෙයි. මේ අවස්ථාවට පැමිණි යෝගියා දුඃඛ - සමුදය - මාර්‍ග යන සත්‍ය තුන ලෞකික ඥානයෙන් මනා වැ දැනැ ගැනීමට තරම් දියුණු වෙයි. මෙසේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වන තුරු පටිපදාඤාණදස්සන විසුද්ධිය ලබා නො හැකි වේ.
පටිපදාඤාණදස්සන විසුද්ධිය
“අට්ඨන්නං පන ඤාණානං වසෙන සිඛප්පත්තා විපස්සනා නවමං ච සච්චානුලොමිකඤාණන්ති අයං පටිපදාඤාණදස්සන විසුද්ධි නාම” - අට වැදෑරුම් ඥානයන්ගේ වශයෙන් ශිඛාප්‍රාප්ත විදර්‍ශනාව ද නව වැනි සච්චානුලොමික ඥානය ද යන මේ නව මහාවිදර්‍ශනාඥානය පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ.
නව මහාවිදර්ශන ඥානයෝ
1. උදයබ්බයානුපස්සනාඤාණය - ස්කන්ධාදීන්ගේ උදයව්‍යය - ඇතිවීම නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
2. භංගානුපස්සනා ඤාණය - ස්කන්ධාදීන්ගේ භඞ්ගය විනාශය නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.
3. භයතුපට්ඨාන ඤාණය - සංස්කාරයන් භය වශයෙන් වැටහෙන්නා වූ නුවණ යි.
4. ආදීනවානුදස්සන ඤාණය - සංස්කාරයන්ගේ දෝෂ දක්නා නුවණ ය.
5. නිබ්බිදානුපස්සනා ඤාණය - සංස්කාරයන් හට කලකිරීම් වශයෙන් පහළ වන නුවණ යි.
6. මුඤ්චිතුකම්‍යතා ඤාණය - සංස්කාරධර්ම නමැති සංස්කාරයෙන් මිදෙනු කැමති වීම වශයෙන් පහළ වන නුවනයි.
7. පටිසංඛානුපස්සනා ඤාණය - සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විස්තර වශයෙන් දක්නා නුවණ යි.
8. සංඛාරුපෙක්ඛා ඤාණය - සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් දක්නා නුවණ යි.
9. සච්චානුලොම ඤාණය - මාර්‍ගචිත්තයනට අනුලෝම වූ නුවණ යි.
මේ නව මහාවිදර්‍ශනඥානයන් පිළිවෙළින් පහළ වීමෙන් පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වේ.
ඤාණදස්සන විසුද්ධිය
“සොතාපත්ති මග්ගො සකදාගාමි මග්ගො අනාගාමි මග්ගො අරහත්ත මග්ගොති ඉමෙසු පන චතුසු මග්ගෙසු ඤාණං ඤාණදස්සනවිසුද්ධි නාම” - ස්‍රෝතාපත්ති මාර්‍ග යැ, සකෘදාගාමි මාර්‍ග යැ, අනාගාමි මාර්‍ග යැ, අර්‍හත් මාර්‍ග යැ යන සතර මාර්‍ගයන්හි වූ ඥානය ඤාණදස්සන විසුද්ධි නම් වේ.
මෙහි දැක්වූයේ සප්ත විශුද්ධීන් පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමෙකි. මෙය විදර්‍ශනා භාවනාවට ප්‍රමාණවත් නො වේ. එහෙයින් විදර්‍ශනා භාවනා කරන්නවුන් විසින් සප්ත විශුද්ධීන් හොඳින් ඉගෙනැ අවබෝධ කැරැ ගත යුතු ය. පිළිවන් සෑම දෙනා මැ විශුද්ධි මාර්‍ගය හොඳින් ඉගෙනැ ගන්නේ මැනැවි. මේ සප්ත විශුද්ධීන් පිළිබඳ අවබොධයක් ඇති කැරැ ගැනීමට ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද “විදර්‍ශනා භාවනා ක්‍රමය” නමැති පොත ද කියවීම මැනැවි.
භාවනා කරන්නේ කෙසේ ද?
භාවනා කරන්නා ගිහි හෝ වේවා පැවදි හෝ වේවා හැමට පළමු චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් වන්න. විවේක ස්ථානයක් හා සුදුසු වේලාවක් ද සම්මත කැරැ ගන්න. සිතට හා කයට ද කරදර ඇතිවිය හැකි කුඩා වූ ද පළිබෝධයන් ගෙන් - අවහිරයන්ගෙන් නිදහස් වන්න. සිතත් කයත් ඇඳුමුත් පිරිසුදු කැර ගන්න.
පුරුෂ පක්‍ෂය නම් බද්ධපර්‍යංකයෙන් (- එරමිණියා ගොතා ගෙනැ) හිඳැ ගන්න. ස්ත්‍රී පක්‍ෂය නම් අර්‍ධපර්‍යංකයෙන් (- දෙ පය පස්සට දමා වාඩිවීමෙන්) හිඳැ ගන්න. උඩුකය කෙළින් තබා ගන්න. හිස වඩා ඔසවන්නේත් නැති වැ වඩා නමන්නේත් නැති වැ තබා ගන්න. ඇස් ඇරීම හෝ වසා ගැනීම හෝ තමන් හට පහසු පරිදි කරන්න.
තුනුරුවන් සිහි කැරැ ගන්න. එදා සිද්ධාර්‍ථ තාපසයන් වහන්සේට බුදු වීමට උපකාර වූයේ මේ ආනාපාන සතියයි. “මා ද දැන් කරන්නට සූදානම් වන්නේ ඒ උසස් භාවනාව ය. මෙසේ කරන භාවනාවෙන් මේ ආසනයේ දී නැතහොත් මේ ජාතියෙහි දී මාර්‍ගඵල නො ලැබිය හැකි වුවොත් මේ භාවනාව කවර දිනයෙකැ හෝ මාර්‍ගඵල ලැබීමට උපකාර වේවා” යන බලවත් ප්‍රාර්‍ථනාව ඇති කැරැ ගන්න.
දැන් බාහිර චින්තා නතර කරන්න. බාහිර අරමුණුවලින් සිත මුදා ගන්න. සිහිය කර්‍මස්ථානයට යොමු කොට තබන්න. දැන් කරන්නේ ආනාපානසති භාවනාව නිසා ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්‍ශ වන ස්ථානය දැනැ ගන්න. නාසයේ කෙළවර හෝ උඩුතොලේ මැද පියෙස හෝ යි බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සිහිය පිහිටුවා ගන්න.
සිහියෙන් ආශ්වාස කරන්න, සිහියෙන් ප්‍රශ්වාස කරන්න. උවමනාවෙන් එක වරකුදු ආශ්වාස ප්‍රශ්වාස නො කරන්න. ස්වභාව වශයෙන් හුස්ම ඇතුළු වන විට හුස්ම ඇතුළු වෙනවා යන සිහියත්, හුස්ම පිට වන විට හුස්ම පිට වෙනවා යන සිහියත් පුරුදු කරන්න. එකේ සිට දහය දක්වා හුස්ම වාර ගණන් කිරීමෙන් පහසුවක් ඇතොත් එසේ කරන්න. මෙලෙසින් භාවනා කිරීම බොහෝ දිනක් පුරුදු කරන්න, සිතේ නොසංසුන්කම නිසා සිහියෙන් තොර වැ හුස්ම ඇතුළු විය හැකි ය, පිට විය හැකි ය. එයින් පසුබට නොවන්න. මිනිත්තු දහයක් ඇතුළත හැම ආශ්වාස ප්‍රශ්වාස වාරයක් මැ දනිමින් පවත්වන්නට පිළිවන් වුවොත් එය භාවනාවේ උසස් දියුණුවෙකි. එහෙත් එයින් සෑහීමකට පත් නො වන්න. අඩු මැ ගණනේ පැයක් වත් සිහියෙන් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් කරන්නට පිළිවන් වන තුරු දෙ වැනි අවස්ථාවට නොයන්න.
දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් දැනැ ගැනීමට වෙහෙස නොවන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් බොහෝ වේලාවක් සිහියෙන් මැ පවත්වන්නට පිළිවන් වූ විට දිග කොට භේදය ඉබේට මැ වැටහෙනුවා ඇති. එවිට දිග හුස්මක් ඇතුළු වන විට දිග හුස්මක් ඇතුළු වෙනවා, කොට හුස්මක් ඇතුළුවන විට කොට හුස්මක් ඇතුළු වෙනවා ආදී වශයෙන් දිග කොට භේදය අනුවැ භාවනා කරන්න. එය ද දිගු කලක් කරන්න. දිග කොට භේදය හොඳට මැ පැහැදිලි වන තුරු එලෙසින් භාවනා කරන්න.
දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් ගේ පැවැත්ම බොහෝ කාලයක් පුරුදු පුහුණු කරන විට සිහිය දියුණු වීම නිසාත් සිත සමාහිත වීම නිසා සියලු ආශ්වාස ප්‍රශ්වාස කායයන් මැ වැටහෙන්නට වෙයි. එවිට එලෙසින් භාවනා කිරීමට පුහුණු වන්න. හුස්ම ඇතුළු වන විට තත්පර ගණනක් මැ නාසයෙහි කෙළවර හෝ උඩුතොලෙහි හැපී ගෙනැ ඇතුළුවෙනවා දැනෙන්නට පිළිවන, එලෙසින් සියලු ආශ්වාස ප්‍රශ්වාසකායයන් දනිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පවත්වන්නට උත්සාහ දරන්න.
අනෙක් කර්‍මස්ථානයක් වඩත් වඩත් මැ අරමුණ වඩ වඩාත් විභූත - ප්‍රකට වෙයි. ආනාපාන සතිය වඩත් වඩත් මැ අරමුණ ක්‍රමයෙන් සියුම් වෙයි. ඒ අතරැ මැ ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳැවීමේ අදහස් ද බලවත් වෙයි. මෙසේ භාවනා කරත් කරත් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් ඇතැයි නැතැයි කිවයුතු තරමට සියුම් වෙනුවා ඇත. ආශ්වාස ප්‍රශ්වාසයන් නැතැයි සිතා කලබල නොවන්න. තමාගේ වාඩිය වත් වෙනස් නොකරන්න. පෙරැ සේ මැ හුස්ම හැපෙන තැන සිහිය රඳවා ගෙනැ භාවනා කරන්න.
ආශ්වාස ප්‍රශ්වාසයන් නො වැටහෙන්නට වූ විට සංසුන් වැ හිඳැ ගෙනැ මෙසේ සිතන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් නැත්තේ කාට ද? මනුෂ්‍යයන් අතරැ දියේ ගිලුණවුනට ද මළවුනට ද චතුර්‍ථධ්‍යානයට සමවැදුණවුනට ද නිරෝධසමාපත්තියට සමවැදුණවුනට ද ආශ්වාස ප්‍රශ්වාස නැත. ඉතින් මම දියේ ගිලුණෙක් ද නො වෙමි. මළ කෙනෙක් ද නො වෙමි. චතුර්‍ථධ්‍යානයට හෝ නිරෝධසමාපත්තියට සමවැදුණෙක් ද නො වෙමි. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාසය නැත්තේ නො වේ. ඇත්තේ මැ ය. සියුම් නිසා නො වැටහේ ය, මෙසේ සිතා සංසුන් වැ හුස්ම හැපෙන තැන මැ සිහිය එළවා තබා භාවනා කරන විට ඉතා සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසයන් වැටහෙන්නට පටන් ගනී.
ඉතා සියුම් වූ ද ආශ්වාස ප්‍රශ්වාසයන් දනිමින් භාවනා කරන්න. මේ යෝගාවචරයා විසින් අතිශයින් සතුටු විය යුතු අවස්ථාවයි, ධ්‍යානයක් ලැබීමට තරම් ආසන්න ය. දැන් සමාධි නිමිති පහළ වන අවස්ථාව යි. එහෙත් නිමිති ගැන මඳකුදු නොසිතන්න. ආනාපාන අරමුණ මැ ගෙනැ භාවනා කරන්න.
දැන් යෝගාවචරයාගේ සිතත් කයත් ඉතා සංසුන් ය, ඉතා සැහැල්ලු ය, ප්‍රීති වන්න, ප්‍රීති වන්න, මෙසේ භාවනා කරත් කරත් මැ මුව පියසෙහි පුළුන් රොදක් මුතු ගුලියක් දුම් සිළක් වැනි යමක් වැටහෙනුවා ඇත. වඩ වඩාත් ප්‍රීති වන්න. එහෙත් ප්‍රීතියෙන් කලබල නොවන්න. ප්‍රීතිය නිසා හෝ කලබල වුවොත් නිමිත්ත අතුරුදන් වෙනුවා ඇත. නිමිත්ත හොඳින් රැක ගන්න.
මෙතෙක් කල් අරමුණු කැරැ ගෙනැ සිටි ආනාපානය තාවකාලික වැ අත්හැර අලුතෙන් ලැබුණ නිමිත්ත සිතට අරමුණු කැරැ ගන්න. ඒ අරමුණ මැ ගෙනැ භාවනා කරන්න. බොහෝ වේලාවක් බොහෝ දිනක් භාවනා කරන්න. සමහර විට ඒ නිමිත්ත අරමුණු කොට ද මාස ගණනක් භාවනා කරන්නට සිදුවෙනුවා ඇත. තමනට ලැබුණු නිමිත්ත යම් කිසි ලෙසකින් අතුරුදන් වුවොත් නැවැතත් ආනාපානය මැ අරමුණු කැරැ ගෙනැ භාවනා කරන්න.
තමනට ලැබුණු නිමිත්ත අරමුණු කැරැ ගෙනැ තව තවත් භාවනා කරන්න. එසේ කරන භාවනාව දියුණු වෙත් මැ ධ්‍යානයක් ලබන තරමට මැ සිත සමාහිත වෙනුවා ඇත. එයට උපචාර සමාධි යැයි කියනු ලැබේ. වඩ වඩාත් ප්‍රීති වන්න. තව තවත් භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ “විතක්ක විචාර පීති සුඛ එකග්ගතා” යන චිත්තාංගයන්ගෙන් යුක්ත ප්‍රථමධ්‍යාන චිත්තය පහළ වෙනුවා ඇත. එයට අර්‍පණා සමාධි යැයි කියනු ලැබේ.
තමන් ලැබූ අර්‍පණා සමාධිය රැකැ ගන්න. සමාධිය ආරක්‍ෂා කැරැ ගැනීමට උපකාර වන පරිසරයක් ඇති ස්ථානයෙකැ මැ වාසය කරන්න. තැන්පත් සත්පුරුෂයන් මැ ආශ්‍රය කරන්න. උසස් ගුණයන් හා සම කැරැ බලන විට ප්‍රථම ධ්‍යානය ඉතා සුළු ගුණයෙකි. ඒ නිසා එයින් සෑහීමකට පත් නොවන්න. නැවතත් පළමු පරිදි මැ භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ ද්විතීයධ්‍යාන - තෘතීයධ්‍යාන - චතුර්‍ථධ්‍යාන චිත්තයන් පහළ වෙනුවා ඇත.
මෙතෙක් කල් සමථ වශයෙන් කළ භාවනාව දැන් විදර්‍ශනාවනට හරවන්න. විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි ය. අරූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් පළමු වැ ධ්‍යාන චිත්තයෙහි තිබෙන චිත්තාංග - චෛතසික වෙන් කැර බලන්න. ඒ චෛතසික යෙදුණු චිත්තය ගැන සලකා බලන්න. මේ චිත්ත චෛතසිකයෝ අරමුණ කරා නැමෙනුයෙන් නාමයෝ ය. මේ චිත්තය කවරක් ආශ්‍රය කොට පවත්නේ ද? හෘදයවස්තු රූපයයි, සෙසු රූප ද ඒ සමග වෙයි. විකාරයට විනාශයට පැමිණෙන හෙයින් රූප නම් වෙයි. මෙසේ නාමරූප ධර්‍මයන් වෙන් කොට බලන්න.
රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් කඹුරුහමේ උපමාව අනුවැ නාමරූපයන් වෙන් කොට බලන්න. කඹුරුහමේ ලනුව අදිනා කල්හි හම ද පුරුෂෝත්සාහය ද නිසා සුළං ඇතුළු වීම පිට වීම සිදු වන්නාක් මෙන් කය හා සිත ද නිසා ආශ්වාස ප්‍රශ්වාස පවත්නේ යයි දැනැ ගන්න. කය හා ආශ්වාස ප්‍රශ්වාසයන් රූපයයි ද සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්‍ම නාම යයි ද නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට බලන්න. මේ නාමරූප ධර්‍මයෝ මැ ලොවැ පවත්නාහ. මේ ධර්‍මයෝ සත්ත්වයෝ නො වෙති, ප්‍රද්ගලයෝ නො වෙති. ආත්ම නො වෙති. මේ නාමරූප ධර්‍මයනට මැ සත්ත්ව පුද්ගල ව්‍යවහාරය කෙරෙති, ළදරු තරුණ මහලු ආදී ව්‍යවහාරය කෙරෙති. නාමය රූපයටත් රූපය නාමයටත් උපකාර ය. ඔවුනොවුන්ගේ උපකාරයෙන් නාමරූප ධර්‍මයන් මැ පවතිනුවා විනා ඇත්ත වශයෙන් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. මෙසේ නාමරූප ධර්‍මයන්ගේ ඇතිතතු නුවණින් සලකා බලන්න. මෙසේ සලකා බැලීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇතිවෙයි.
මෙසේ නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට ඒ නාමරූප ධර්‍මයන්ගේ ප්‍රත්‍යය සොයන්න. අතීත භවයෙහි වූ අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භවයන් නිසා මේ භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්ශ වේදනාත් නැවතත් මේ භාවයෙහි අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භව යන මොවුන් නිසා අනාගත භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්‍ශ වේදනා යන මොවුහුත් පහළ වෙති. මෙසේ නාමරූප ධර්‍මයන් හේතුඵල වශයෙන් සලකා බලන්න. එයින් මාර්‍ගඥානය ලබා ගැනීමට බලවත් බාධාවක් වන සැකය දුරු වෙයි. එසේ මැ මේ ලෝකයෙහි හේතුඵල ධර්‍ම සමූහය විනා සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැතැයි නාමරූප ධර්‍මයන් පිළිබඳ නිසැක අවබෝධයක් ඇතිවෙයි. මෙසේ නාමරූපයන්ගේ ඇති තතු අවබෝධ වෙත් මැ කංඛාවිතරණ විසුද්ධිය ඇති වේ.
නාමරූප ධර්‍මයන් තතු ලෙස දනිමින් විදර්‍ශනා භාවනා කරන විට මීට පෙරැ නොවූ විරූ ආලෝකයක් බලවත් ප්‍රීතියක් ඇතිවිය හැකි ය. සමහරු එබඳු නිමිතිවලට මුළා වී ලෝකෝත්තර මාර්‍ගඵල ලැබුණා යයි සිතයි. එසේ මුළා වුවොත් මාර්‍ගඵල වළකී. ඒ නිසා ඒවා උපක්ලේශයන් ලෙස සලකා අමතක කරන්න. ලෝකෝත්තර මාර්‍ගය කුමක් දැයි හොඳින් දැනැ ගන්න. නාමරූප ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් අනාත්ම වශයෙන් සලකා බලන්න. නැවැත නාමය ද වෙන් වෙන් කොට එකක් පාසා අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. රූපය ද එසේ මැ වෙන් වශයෙන් මෙනෙහි කරන්න. එයින් මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ඇති වේ.
දැන් ඉතින් අතිශයින් සතුටු වන්න. පාරමී සම්පූර්‍ණ වැ ඇතොත් මාර්‍ගඵල ලබන්නට ඉතා ආසන්න ය. දැන් ඉතිරි වැ ඇත්තේ නව මහාවිදර්‍ශනඥානයන් ලබා ගැනීම පමණ ය. අනිත්‍ය දුඃඛ අනාත්ම ලක්‍ෂණයන් තව තවත් පැහැදිලි වැ වැටහෙන සේ මෙනෙහි කරන්න, ත්‍රිලක්‍ෂණයන් මැනැවින් වැටහීමට උපකාර වන පරිදි සංස්කාරයන්ගේ උදයව්‍යය මෙනෙහි කරන්න. රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය
, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ඉපිදැ සිඳෙන්නේ ය. රූපස්කන්ධය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ඉපිදැ සිඳෙන්නේ ය. රූපස්කන්ධය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
නැවැත සංස්කාරයන්ගේ භංගය - විනාශය මෙනෙහි කරන්න. රූපස්කන්ධය නිතර නිතර මැ බිඳෙන්නේ ය. සිඳෙන්නේ ය. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද නිතර මැ බිඳෙන්නාහ, සිඳෙන්නා හ. රූපස්කන්ධය අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. මේ ලෝකයෙහි බිඳෙන ස්වභාවය ඇති සංස්කාර ගොඩක් හැරැ සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බියට කරුණු වශයෙන් වැටහෙන්නට පිළිවන. එය ද සංස්කාරයන්ගේ තත්ත්වාවබෝධයෙන් ඇති වන විදර්‍ශනා ඥානයෙකි. මේ ලෝකයෙහි සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. ඇත්තේ සංස්කාර ගොඩක් පමණ ය. ඒ සංස්කාර ගොඩ ම සිඳෙන්නාහ, බිඳෙන්නාහ. අහෝ! සංස්කාරයන්ගේ භයානකකම ආදී වශයෙන් මෙනෙහි කරන්න. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බොහෝ දෝෂ සහිත යයි වැටහෙනුවා ඇත. සංස්කාරයන්ගේ දෝෂ දකිමින් භාවනා කරන්න. එයින් සංස්කාරයන් පිළිබඳ ලොකු කලකිරීමක් ඇති වෙනුවා ඇත. ඒ නිසා සංස්කාරයන්ගෙන් මිදීමේ අදහස බලපවත්වන්නට පටන් ගනියි. අනතුරු වැ සංස්කාරයන්ගෙන් මිදීමට ක්‍රියා කළ යුතු ය. සක්කාය දිට්ඨි ආදී කෙලෙස් බැමි තිබෙන තුරු සංස්කාරයන්ගෙන් මිදීමක් නො වෙයි. ක්ලේශයන් උපදිනුයේත් නැවත නැවතත් මතු වනුයේත් සංස්කාරයන් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් සලකා බලන විට ය. ඒ නිසා නිතර මැ සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න.
සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් හොඳින් වැටහෙතොත් අතිශයින් සතුටුවන්න. දැන් සියලු සංස්කාරයන් ශූන්‍යතා වශයෙන් මෙනෙහි කිරීමට පුරුදු වන්න. යමක් අනිත්‍ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය. යමක් අනිත්‍ය දුඃඛ අනාත්ම නම් එය ශූන්‍ය ය, හිස් ය, රූපය පෙණ පිඬක් බඳු ය. වේදනාව දිය බුබුළක් බඳු ය, සංඥාව මිරිඟුවක් බඳු ය, සංස්කාරය කෙහෙල් කඳක් බඳු ය, විඥානය මායාවක් බඳු යයි නිතර නිතර මැ මෙනෙහි කරන්න.
දැන් නිර්‍වාණාවබෝධයට ඉතා ආසන්න ය. සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම භාවයන් තත්ත්වාකාරයෙන් වැටහෙත් මැ යෝගාවචරයාගේ සිත මාර්‍ගඥානදර්‍ශනයට මැ සුදුසු වෙයි. මේ ත්‍රිලක්‍ෂණයන්ගෙනුදු සමහරුනට අනිත්‍ය ලක්‍ෂණය, සමහරුනට දුඃඛ ලක්‍ෂණය, සමහරුනට අනාත්ම ලක්‍ෂණය මනා ව වැටහෙනුවා ඇත.
අනිච්චානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. දුක්ඛානුපස්සනාවෙනුත් අනත්තානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. ඒ නිසා මෙයින් තමනට ඉතා හොඳින් මැ වැටහෙන අනුපස්සනාව සිතට ගන්න. ඒ අනුව මැ භාවනා කරන්න. මෙසේ භාවනා කරත් කරත් මැ පාරමී ධර්‍මයන් සම්පූර්‍ණවී ඇතොත් ප්‍රථම ඥානදර්‍ශනය වන ස්‍රෝතාපත්ති මාර්‍ග ඥානය උපදනේ ය. අනතුරු වැ ස්‍රෝතාපත්ති ඵලචිත්තය පහළ වෙනුවා ඇත. නැවැතත් පෙරැ සේ ම භාවනා කරන විට සකෘදාගාමි මාර්‍ගචිත්තය හා ඵලචිත්තය ද, අනාගාමි මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද අර්හත් මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද පහළ වෙනුවා ඇත.
No comments:
Post a Comment