සමාධි නිමිති
තමා කරන භාවනාව දියුණු වත් මැ උග්ග්‍රහ නිමිති ප්‍රතිභාග නිමිති පහළ වන්නේ ය. ඒ ඒ භාවනාවට අයිති නිමිති එකිනෙකට වෙනස් වෙයි. ආනාපාන සති භාවනාවෙහි නිමිති ද සැම දෙනාට මැ එක සමාන වැ පහළ නො වෙයි. සංඥා නානත්වය නිසා නානා විධ වැ වැටහෙයි. ආනාපාන සතිය වඩන්නහු විසින් පහළවන නිමිති සඳහන් කැරැ තිබෙන්නේ මෙසේ ය: කිසිවකුට සුවපහස් උපදවමින් හිඹුල් පුළුන් පෙඳ සේ ද, කපු පුළුන් පෙඳ සේ ද, වාත ධාරා සේ ද වැටහේ යනු සමහර ආචාර්‍යවරයන්ගේ මත ය. අටුවාවෙහි ආ විනිශ්චය මෙසේ ය: කිසිවෙකුට මේ නිමිති තරු රූ සේ ද, මිණිගුලි සේ ද, මුතුගුලි සේ ද වැටහෙයි. කිසිවකුට රළු පහසේ ඇති වැ කපු ඇට සේද, දඬුහර හිඳි සේ ද වැටහෙයි. කිසිවකුට දික් හවඩි හූ සේ ද, මල්දම් සේ ද, දුම්සිළු සේ ද වැටහෙයි. කිසිවකුට පළල් මකුළු හූ සේ ද, වලා පහල සේ ද, නෙළුම් මල් සේ ද, රියසක් සේ ද, සඳ මඬුළු සේ ද, හිරු මඬුලු සේ ද වැටහෙයි.
මේ විස්තරයෙන් පැහැදිලි වන්නේ ආනාපානසතිය වඩන්නහුට පහළවන නිමිති සාමාන්‍යයෙන් ගෝලාකාර වැ පුළුන් පෙඳක් - වලා රොදක් - දුම් රොදක් සේ ය යනුයි. සමහරුනට නොයෙක් විකාර රූප පෙනෙන බව ද දැනැ ගන්නට ලැබෙයි. ආනාපාන සතිය වඩන්නකුට විකාර රූපයක් තබා බුද්ධ රූපයක් පෙනුණත් එය භාවනාව වරදවා වැඩීමෙකින් සිදුවූවෙකැයි කිව යුතු ය. බුද්ධානුස්මෘතිය වඩන කෙනෙකුට බුද්ධරූපයක් පෙනුණොත් එය සතුටට කාරණයකි.
ආනාපානසතිය වඩන්නහුට පහළ වන නිමිති දැන ගැනීම පිණිස නිමිති විස්තරය මෙහි සඳහන් කෙළේ වී නමුත් භාවනා කරන්නා විසින් තමා නිමිති ගැන නො සිතිය යුතු ය. කථා නො කළ යුතු ය. නිමිති ගැන නිතර නිතර මැ සිතීම, කථා කිරීම හා ප්‍රශ්න කිරීම නිසා ඔහු තුළ නිමිති ලබා ගැනීමේ අදහස බලපවත්වන්නට වෙයි. එයින් නොයෙක් විකාර දේ පෙනෙන්ට පටන් ගනී. මේ නිමිති දැකීම කොතරම් විකාරයක් විහිළුවක් වී තිබේ දැයි දැක්වීමට එක්තරා සිද්ධියක් සඳහන් කරන්නට සිත් විය.
වර්‍තමාන සමාජයෙහි සෑහෙන තත්ත්වයෙකැ සිටින මහතෙක් තමාට පහළ වූ නිමිති ගැන සඳහන් කෙරෙමින් තමා භාවනා කැරැ ගෙනැ යන විට නිර්‍වාණධාතුවේ දොර ඇරෙන්නාක් මෙන් පෙනුණේ යයි මහත් සතුටින් ප්‍රකාශ කෙළේ ය. එය භාවනාව පිළිබඳ උසස් දියුණුවක් ය යන හැඟීම ඒ මහත්මා තුළ කොතරම් මුල් බැසැ ගෙනැ තිබුණා දැයි කිවහොත් ඒ දර්‍ශනය වූ නිමිත්ත භාවනාව පිළිබඳ සම්පූර්‍ණ නොමඟැ යෑමක් යයි වටහා දෙන්නට ගත් උත්සාහය නිශ්ඵල වී ය.
සමාධි උපක්ලේශයෝ
“කතමෙ අට්ඨාරස උපක්කිලෙසා උප්පජ්ජන්ති” - කෙසේ මේ අට්ඨාරස උපකලේශයෝ උපදිද්ද? යනුවෙන් පටිසම්භිදාමග්ගයෙහි දේශනා කළ සමාධියට බාධක කරුණු අටළොස අතුරෙන් මුල් හය පමණක් මෙහි සඳහන් කරනු ලැබේ.
1. අස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො අජ්ඣත්තං වික්ඛෙපගතං චිත්තං සමාධිස්ස පරිපත්ථො - අශ්විසයාගේ මුල මැද අග වශයෙන් සිහියෙන් අනුවැ යන්නා වූ පුද්ගලයාගේ ඇතුළත විසිරැ යන්නා වූ සිත සමාධියට බාධකයෙකි.
2. පස්සාසාදිමජ්ඣපරියොසානං සතියා අනුගච්ඡතො බහිද්ධා වික්ඛෙපගතං චිත්තං සමාධිස්ස පරිපත්ථො - ප්‍රශ්වාසයාගේ මුල මැද අග වශයෙන් සිහියෙන් අනුවැ යන්නා වූ පුද්ගලයාගේ පිටත විසිරැ යන්නා වූ සිත සමාධියට බාධකයෙකි.
3. අස්සාසපටිඞ්ඛනා නිකන්ති තණ්හාචරියා සමාධිස්ස පරිපත්ථො - ආශ්වාසය කැමැති වන ආශාව තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට බාධකයෙකි.
4. පස්සාසපටිඞ්ඛනා නිකන්ති තණ්හාචරියා සමාධිස්ස පරිපත්ථො - ප්‍රශ්වාසය කැමැති වන ආශාව තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට බාධකයෙකි.
5. අස්සාසෙනාභිතුන්නස්ස පස්සාසපටිලාභෙ මුචඡනා සමාධිස්ස පරිපත්ථො - ආශ්වාසයෙහි වෙහෙසට පත්වූවහුගේ ප්‍රශ්වාසයෙහි ඇලීම සමාධියට බාධකයෙකි.
6. පස්සාසෙනාභිතුන්නස්ස අස්සාසපටිලාභෙ මුච්ඡනා සමාධිස්ස පරිපත්ථො - ප්‍රශ්වාසයෙහි වෙහෙසට පත්වූවහුගේ ආශ්වාසයෙහි ඇලීම සමාධියට බාධකයෙකි.
මෙහි ආශ්වාසයාගේ මුල නාසිකාග්‍රය යි, මැද හෘදය යි, අග නාභිය යි, ප්‍රශ්වාසයාගේ මුල නාභිය යි, මැද හෘදය යි, අග නාසිකාග්‍රය යි යනු පුරාණයෙහි පටන් තුබුණු පිළිගැනීමෙකි. ආනාපාන සතිය වඩන්නෝ යටැ කී ලෙස මුල මැද අග දනිමින් භාවනා කළහ. එය බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කරන ලද බව මුල දී ද සඳහන් කැරැ ඇත.
මුල මැද අග වශයෙන් අරමුණු අනුවැ යෑමෙන් සිත වික්‍ෂේප වෙනුවා නම්, සිත එකඟ කිරීමට බාධකයක් වෙනුවා නම් සතර සතිපට්ඨානයන් එකවර වඩනුවා යයි කියමින් නොයෙක් අරමුණු අනු වැ යෑම කොතරම් විකාරයක් ද යනු වටහා ගැනීම අපහසු නො වෙනුවා ඇත.
අරමුණෙන් අරමුණු මාරු කෙරෙමින් භාවනා කිරීමක් බුද්ධාගමයෙහි නූගන්වන බවත් එය සිතෙහි එකඟ බවට බාධකයක් බවත් මැනැවින් පැහැදිලි ය. සමහරු භාවනා කරන විට වෙව්ලීම් - ගැස්සීම් - පැද්දීම් හා දැඟැලීම් ද නොයෙක් විදියේ ශාරීරික වේදනා ඇති වන්නේ ද භාවනාවේ උසස් දියුණුවකින් යයි ඇතැමුන් කියතත් ඒවා බුදුරජාණන් වහන්සේ විසින් බැහැර කරන ලදී. අරමුණෙන් අරමුණ මාරු කිරීම නම් වූ මිථ්‍යා භාවනාවන්ගෙන් ඇති වන්නේ විකාර ප්‍රතිඵල බවත් නුවණැති කවර කෙනකුට වුද සිතා ගත හැකි ය.
විදර්‍ශනාවට හැරවීම
ආනාපාන සතිය ඒ ඒ අවස්ථා වශයෙන් වඩන අයුරු පැහැදිලි කැරැ දී ඇත. එලෙසින් භාවනා කළ යෝගාවචරයා ගේ සිත සතර වැනි අවස්ථාවෙහි දී අතිශයින් සංසුන් වෙයි. පෙරැ කරන ලද පිනැත්තකු නම් නොවරදවා මැ ධ්‍යාන ලබනුවා ඇත. එසේ සමාහිත වූ යෝගාවචරයා විසින් තමා ගේ භාවනාව විදර්‍ශනාවට හැරැවිය යුතු ය.
“පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස” - මේ ධර්‍මය නුවණැත්තවුනට ය, නුවණ නැත්තවුනට නො වේ” යි බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශය මේ අවස්ථාව වන විට අතිශයින් මැ පැහැදිලි වෙයි. අනිච්චං දුක්ඛං අනත්තා යි දහස් වරක් කීවත් මේ මේ නිසා අන්ත්‍ය යැ දුක් යැ අනාත්ම යැ යි දහස් වරක් ඉගැන්නුවත් මනා වූ ධර්‍මඥානයක් නැත්තකුට නම් විදර්‍ශනා ඥානයක් ලබා ගැනීම ලෙහෙසි නොවනුවා ඇත. විදර්‍ශනා භාවනා කිරීමට අඩු මැ ගණනේ, පඤ්චස්කන්ධය මේ මේ කාරණයෙන් අනිත්‍ය යැ, මේ මේ කාරණයෙන් දුක් යැ, මේ මේ කාරණයෙන් අනාත්ම යැ යි අවබෝධ කැරැ ගැනීමට තරම් වූ හෝ ධර්‍මඥානයක් තිබිය යුතු ය.
විදර්‍ශනා වැඩීමට අතිශයන් උපකාර වන සප්ත විශුද්ධීන් හා එය තේරුම් කැරැ දීමට දැක්වූ රථවිනීත උපමාව ද සැකෙවින් හෝ දැනැ ගැනීම ඉතා අවශ්‍ය ය. කොසොල් රජතුමා ඉතා ඉක්මන් කටයුත්තක් සඳහා සැවැත්පුර සිට සාකේත නගරයට යන්නට උවමනා කරයි. එක මැ රියෙකින් යන්නට ගියොත් අශ්වයනට ඇතිවන වෙහෙසින් ගමන ප්‍රමාද වෙයි. එහෙයින් ගමන කොටස් සතකට බෙදා අශ්වරථ සතක් පිළියෙළ කරයි. එයින් ගමන් කරන පිළිවෙළ රථවිනීත සූත්‍රයෙහි සඳහන් කැරැ තිබෙන්නේ මෙසේ ය:
සෙය්‍යථාපි ආවුසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සාවත්ථියං පටිවසන්තස්ස සාකෙතෙ කිඤ්චිදෙව අච්චායිකං කරණීයං උප්පජ්ජෙය්‍ය, තස්ස අන්තරා ච සාවත්ථියං අන්තරා ච සාකෙතං සත්ත රථවිනීතානි උපට්ඨපෙය්‍යුං, අථ ඛො ආවුසො රාජා පසෙනදී කොසලො සාවත්ථියා නික්ඛමිත්වා අන්තෙපුරද්වාරා පඨමං රථවිනීතං අභිරුහෙය්‍ය, පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණෙය්‍ය, පඨමං රථවීනීතං විස්සජ්ජෙය්‍ය, දුතියං රථවිනීතං අභිරුහෙය්‍ය. දුතියෙන රථවිනීතෙන තතියං රථවිනීතං පාපුණෙය්‍ය, දුතියං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, තතියං රථවිනීතං අභිරුහෙය්‍ය, තතියෙන රථවිනීතෙන චතුත්ථං රථවිනීතං පාපුණෙය්‍ය, තතියං රථවිනීතං විස්සජ්ජෙය්‍ය. චතුත්ථං රථවානීතං අභිරුහෙය්‍ය, චතුත්ථෙන රථවිනීථෙන පඤ්චමං රථවිනීතං පාපුණෙය්‍ය, චතුත්ථං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, පඤ්චමං රථවිනීතං අභිරුහෙය්‍ය, පඤ්චමෙන රථවිනීතෙන ඡට්ඨං රථවිනීතං පාපුණෙය්‍ය, පඤ්චමං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, ඡට්ඨං රථවිනීතං අභිරුහෙය්‍ය, ඡට්ඨෙන රථවිනීතෙන සත්තමං රථවිනීතං පාපුණෙය්‍ය, ඡට්ඨං රථවිනීතං විස්සජ්ජෙය්‍ය, සත්තමං රථවිනීතං අභිරුහෙය්‍ය, සත්තමෙන රථවිනීතෙන සාකෙතං අනුපාපුණෙය්‍ය.
ඇවැත්නි, යම් සේ සැවැත්පුරැ වෙසෙන පසේනදි කොසොල් මහරජ හට සාකේත නගරයෙහි යම් කිසි ඉක්මන් කටයුත්තෙක් උපදනේ ද ඔහුට සැවැත්පුර අතරත් සාකේතය අතරත් විනීත අශ්වයන් යෙදූ රිය සතක් පිළියෙළ කොට තබන්නහු ද, ඇවැත්නි එකල්හි කොසොල් රජ තෙමේ සැවැත්පුරෙන් නික්ම ඇතුළුපුර දොරින් පළමු රියට නැඟෙයි, පළමු රියෙන් දෙ වැනි රිය වෙතට පැමිණෙයි, පළමු රිය අත්හරියි, දෙ වැනි රියට නැඟෙයි, දෙ වැනි රියෙන් තෙ වැනි රිය වෙතට පැමිණෙයි, දෙ වැනි රිය අත්හරියි, තෙ වැනි රියට නැඟෙයි, තෙ වැනි රියෙන් සිවුවැනි රිය වෙතට පැමිණෙයි, තෙවැනි රිය අත්හරියි, සිවු වැනි රියට නැඟෙයි, සිවු වැනි රියෙන් පස් වැනි රිය වෙතට පැමිණෙයි, සිවු වැනි රිය අත්හරියි, පස් වැනි රියට නැඟෙයි, පස් වැනි රියෙන් සවැනි රිය වෙතට පැමිණෙයි, පස් වැනි රිය අත් හරියි, සවැනි රියට නැඟෙයි, සවැනි රියෙන් සත්වැනි රිය වෙතට පැමිණෙයි, ස වැනි රිය අත්හරියි, සත් වැනි රියට නැඟෙයි, සත් වැනි රියෙන් සාකේතයට පැමිණෙයි.
මෙසේ උපමාව දක්වා අනතුරු වැ උපමේයය දක්වා තිබෙන්නේ මෙලෙසිනි.
එවමෙව ඛො ආවුසො සීලවිසුද්ධි යාවදෙව චිත්ත විසුද්ධත්ථා. චිත්තවිසුද්ධි යාවදෙව දිට්ඨිවිසුද්ධත්ථා, දිට්ඨි විසුද්ධි යාවදෙව කඞ්ඛාවිතරණ විසුද්ධත්ථා. කඞඛාවිතරණ විසුද්ධි යාවදෙව මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධත්ථා, මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි යාවදෙව පටිපදාඤාණ දස්සනවිසුද්ධත්ථා. පටිපදාඤාණදස්සන විසුද්ධි යාවදෙව ඤාණදස්සනවිසුද්ධත්ථා, ඤාණදස්සනවිසුද්ධි යාවදෙව අනුපාදා පරිනිබ්බාණත්ථා.
ඇවැත්නි, එපරිද්දෙන් මැ සීලවිසුද්ධිය චිත්තවිසුද්ධි නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. දිට්ඨිවිසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. කංඛාවිතරණ විසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නම් වූ ප්‍රයෝජනට වෙයි. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධි නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි. පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධි නම් වූ ප්‍රයෝජනය දක්වා වෙයි, ඤාණදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිබ්බාණ නම් වූ ප්‍රයෝජනය දක්වා වේ.
මේ උපමාවෙනුත් උපමේයයෙනුත් පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් මේ සප්ත විශුද්ධීන් පිළිවෙළින් වඩනුවා විනා, එහෙන් මෙහෙන් නො වැඩිය හැකි බවයි. පළමු රථයෙන් දෙ වැනි රථය තෙක් යයි. පළමු රථය අත්හරියි, දෙ වැනි රථයට නැඟෙයි. දෙවැනි රථයෙන් තුන් වැනි රථය තෙක් යයි යන උපමාවෙන් පළමු රථයෙන් යා යුතු කොටස පළමු රථයෙන් මැ නො ගොස් දෙවැනි රථයට නො නැඟිය හැකි බවත් දෙ වැනි රථයෙන් යා යුතු කොටස දෙ වැනි රථයෙන් මැ නො ගොස් තෙ වැනි රථයට නො නැඟිය හැකි බවත් ඉතිරි කොටස් ද එසේ මැ බවත් මැනැවින් මැ පැහැදිලි වෙයි. එසේ මැ සීලවිසුද්ධිය නැති වැ චිත්තවිසුද්ධියට නො පැමිණිය හැකි බවත්, චිත්තවිසුද්ධිය නැති වැ දිට්ඨි විසුද්ධියට නො පැමිණිය හැකි බවත් ඉතිරි විසුද්ධීන් පිළිබඳ වැ ද එසේ මැ බවත් ඉතා හොඳින් මැ වැටහෙනුවා ඇත. මීළඟට කැරෙනුයේ සප්ත විශුද්ධීන් පිළිබඳ කෙටි හැඳින්වීමකි.
No comments:
Post a Comment