01 November 2011

භාවනා 3


ආනාපාන ස්මෘතිය

                 ආනාපානං ආරබ්භ පවත්තා සති, ආනාපානෙ වා සති - ආනාපානසති යනු නිර්‍වචන හෙයින් ආශ්වාස ප්‍රශ්වාසයන් මුල් කොට පැවැති සිහිය හෙවත් ආශ්වාස ප්‍රශ්වාසයෙහි සිහිය ආනාපානස්මෘතිය නම් වේ.
මේ ආන-අපාන හෙවත් ආශ්වාස වචනාර්‍ථයන් පිළිබඳ මත භේදයක් ඇතත් මේ භාවනාවෙහි ආන හෙවත් ආශ්වාසය හුස්ම ඇතුළට ගැනීම ලෙස හා අපාන හෙවත් ප්‍රශ්වාසය හුස්ම පිට කිරීම ලෙස ද දැනැ ගන්නේ මැනැවි.

ආනාපානසතියෙහි ආනිසංස

ආනාපානසතියෙහි ආනිසංස නොයෙක් සූත්‍රවල ඉතා විස්තර වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ය. ඉන් කීපයක් පමණක් මෙහි සඳහන් කරනු ලැබේ.
ඉධ භික්ඛු ආනාපානසතිමනුයුත්තො එකාසනෙ නිසින්නොව සබ්බාසවෙ ඛෙපෙත්වා අරහත්තං පාපුණාති, තථා අසක්කොන්තො මරණකාලෙ සමසීසී හොති, තථා අසක්කොන්තො දෙවලොකෙ නිබ්බත්තිත්වා ධම්මකථික දෙවපුත්තස්ස ධම්මං සුත්වා අරහත්තං පාපුණාති, තතො විරද්ධො අනුප්පන්නෙ බුද්ධෙ පච්චෙකබොධිං සච්ඡිකරොති, තං අසච්ඡිකරොන්තො බුද්ධානං සම්මුඛීභාවෙ බාහිය ථෙරාදයො විය ඛිප්පාභිඤ්ඤො හොති.
- රාහුළෝවාද සුත්තවණ්ණනා
මේ ශාසනයෙහි ආනාපාන සතියෙහි යෙදුණු භික්‍ෂු තෙමේ භාවනාවට හිඳ ගත් ආසනයෙහි ම සියලු කෙලෙසුන් නසා රහත් වෙයි. එසේ නොහැකි වූයේ මරණ කාලයෙහි සමසීසි වෙයි. හෙවත් රහත් වීමත් මරණයත් දෙක ම එක වරට සිදු වීමෙන් පිරිනිවන් පායි. එසේ ද නොහැකි වූයේ දෙව්ලොවැ ඉපිදැ ධර්‍මකථික දෙව්පුතුගෙන් බණ අසා රහත් වෙයි. එය ද වැරදුණේ නම් සම්මා සම්බුදුවරුන් හමුයෙහි බාහිය ථෙරාදීන් මෙන් වහා සත්‍යාවබොධය කරයි.

බුදුවීමට උපකාර වු භාවනාව

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණෙනු සඳහා සාවුරුද්දක් මුළුල්ලෙහි නොයෙක් දුෂ්කර ක්‍රියාවන්හි යෙදුණහ. ඉතා දැඩි ලෙස කයට පීඩා දුන්හ. එයින් ප්‍රයෝජනයක් නොලැබෙන බව වටහාගත් බෝසතාණෝ ඒ දුෂ්කර ක්‍රියා අත්හළහ. පමණට ආහාර ද ගෙනැ කය සතප්පා මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා ආනාපාන සතිය බහුල වශයෙන් වඩන්නට පටන් ගත්හ. ඒ ආනාපානසති භාවනාව ක්‍රමයෙන් දියුණුකොට සව් කෙලෙස් නසා බුදු වූහ. අනතුරු වැ තමන් වහන්සේ ආනාපානසති භාවනා වැඩූ සැටිත් එය කෙලෙසුන් නැසීමට උපකාර වූ සැටිත් ප්‍රකාශ කෙළේ මෙසේ ය:
අහම්පි සුදං භික්ඛවෙ, පුබ්බෙව සම්බොධා අනහිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඉමිනා විහාරෙන බහුලං විහරාමි, තස්ස මය්හං භික්ඛවෙ ඉමිනා විහාරෙන බහුලං විහරතො නෙව කායො කිලමි න චක්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චි.
- සංයුත්ත නිකාය
මහණෙනි, මම ද බුදු වීමට පෙරැ බෝධිසත්ත්ව වූයේ ආනාපානසති විහරණය බහුල කොට විසීමි. එසේ වසන්නා වූ මාගේ කයට ද වේදනා නො වී යැ. ඇසට ද පීඩා නො වී ය. මගේ සිත කෙලෙසුන් ගෙන් ද මි‍දුණේ ය.
තස්මාතිහ භික්ඛවෙ භික්ඛුපි ආකඞ්ඛ්‍යෙ නෙව මෙ කායො කිලමෙය්‍ය න චක්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චෙය්‍ය අයමෙව ආනාපානසති සමාධි සාධුකං මනසිකාතබ්බො.
- සංයුත්ත නිකාය
එහෙයින් මහණෙනි, භික්‍ෂූහු ද, මාගේ කය ක්ලාන්ත නොවන්නේ ය. ඇස් ක්ලාන්ත නොවන්නේ ය. මාගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ ය යි කැමැති වන්නාහු ද, එසේ නම් මේ ආනාපානසති සමාධිය මනා කොට මෙනෙහි කළ යුතු ය.
මෙය ආනාපානසති භාවනා කරන්නවුන් විසින් ඉතා හොඳින් සිතට ගත යුතු කරුණෙකි. භාවනා කරන සමහරුනට නොයෙක් වේදනා පීඩා ඇතිවන බව කියති. ආනාපාන සතිය වඩන විට එසේ වේදනා ඇති වෙතොත් එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙළ ඉක්මවා යෑමෙකින් වූවක් යයි කිව යුතු ය. සමහර විට අටුවාවන්හි ද එබඳු වේදනා ගැන සඳහන් විය හැකි ය. එය එසේ වුවත් අටුවාවට වඩා බුද්ධ වචනයට සැලැකිය යුතු ය. බුද්ධ වචනය අනුව නම් ආනාපානසති භාවනාව දියුණු වන්නට වන්නට ම හිතටත් කයටත් පහසුවක් ම දැනෙනුවා විනා වේදනාවක් නම් ඇති නොවන බව මුලින් සඳහන් දේශනා පාඨයෙන් පැහැදිලි වේ.

තථාගත විහාර

ඉදින් මහණෙනි, අන්‍යතිර්‍ථක පරිව්‍රාජකයන් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වස් කාලය කවර විහරණයක් බහුල කොට විසූ සේක් දැ යි ඇසුව හොත් “ආනාපානසති සමාධිනා ඛො ආවුසො භගවා වස්සාවාසං බහුලං විභාසි” - භාග්‍යවතුන් වහන්සේ වස්කාලය ආනාපානසති සමාධිය බහුල කොට විසූ සේකැ කිව යුතු බව බුදුරජාණන් වහන්සේ ම ප්‍රකාශ කළහ.
“ආනාපානසතිසමාධිං සම්මා වදමානො වදෙය්‍ය අරියවිහාරො ඉතිපි බ්‍රහ්මවිහාරො ඉතිපි තථාගත විහාරො ඉතිපි” - අරියවිහාරය කියාත් බ්‍රහ්මවිහාරය කියාත් තථාගත විහාරය කියාත් කිව යුත්තේ ආනාපාන සති සමාධියට ය යනු එහි භාවය යි.

ඉතා ශාන්ත භාවනාව

අයම්පි ඛො භික්ඛවෙ ආනාපාන සතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.
- සංයුත්ත නිකාය
මහණෙනි, මේ ආනාපානසති සමාධිය වඩන ලද්දේ නැවැත නැවතත් ප්‍රගුණ කරන ලද්දේ ශාන්ත ද එසේ ම ප්‍රණීත ද වෙයි. ස්වභාවයෙන් මිහිරි ද වෙයි. සුඛ විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් අකුශල ධර්‍ම ඇසිල්ලෙකින් අතුරුදහන් වන්නේ ය, සන්සි‍‍‍ඳෙන්නේ යයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
අශුභ කර්‍මස්ථානාදිය ශාන්ත හා ප්‍රණීත ද වන්නේ ප්‍රතිවෙධ වශයෙන් පමණකි. ආරම්මණ වශයෙන් ශාන්ත ද ප්‍රණීත ද නො වෙයි. අශුභාරම්මණය ඉතා පිළිකුල් බැවිනි.
ආනාපානසති සමාධියක් ලැබූවකුට නම් සමාපත්තියට සමවන් ඇසිල්ලෙහි කායික හා චෛතසික සුවය ඇති වෙයි. ධ්‍යාන නැත්තකුට වුව ද මේ භාවනා කරන විට කයටත් සිතටත් සුවයක් පහසුවක් ඇති වේ ම ය. අකුශල ධර්‍මයන් විෂ්කම්භනය නොකළ කෙනකුට වුව ද උපන් උපන් පාපචේතනාවන් මේ භාවනාවෙන් ඒ ඒ ඇසිල්ලෙහි නැති කැරැ ගත හැකි වෙයි.

සිහිය පුරුදු කිරීම

උපට්ඨිතසතිස්සයං ධම්මො නායං ධම්මො මුට්ඨස්සතිස්ස - මේ ධර්‍මය එළඹ සිටි සිහි ඇත්තවුනට ය, සිහි මුළා වූවනට නො වේ” යැයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ. “සතිං ඛ්වාහං භික්ඛවෙ සබ්බත්ථිකං වදාමි” මහණෙනි සිහිය හැම තැන දී මැ උවමනා බව වදාරමි යි ද දේශනා කළහ.
පුනචපරං භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සංඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
- සතිපට්ඨාන සුත්ත
මහණෙනි, නැවැත ද මහණ තෙමේ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද මනා කොට දැන කරන සුලු වූයේ වෙයි. ඉදිරි බැලීමෙහි ද අවට බැලීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. අත්පා හැකිළීමෙහි ද දිගු කිරීමෙහි ද මනා කොට දැනැ කරන සුලු වූයේ වෙයි. සංඝාටිය හා පා සිවුරු දැරීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. අනුභව කිරීමෙහි ද පානය කිරීමෙහි ද කෑමෙහි ද රස විඳීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. මල මූත්‍ර පහ කිරීමෙහි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වෙයි. යන කල්හි ද, සිටින කල්හි ද, හිඳින කල්හි ද, නිදන කල්හි ද, නිදිවරන කල්හි ද, කථාකරන කල්හි ද, නිහඬ වැ සිටින කල්හි ද මනාකොට දැනැ කරන සුලු වූයේ වේ.
හැම ව්‍යඤ්ජනයක් ම රසවත් වීමට ලුණු අවශ්‍ය වන්නාක් මෙන් ම ජීවිතයක් සඵල කැරැ ගැනීමට හැම කථාවක් ක්‍රියාවක් ම හැම ඉරියවුවක් ම සිහි නුවණින් පැවැත්විය යුතු බව මැනැවින් පැහැදිලි වෙයි. හැම දෙනා ම ඉතා උසස් කොට සලකන නුවණට වඩා සිහිය කොතරම් වටී දැයි හැඟැවීමට උගතුන් කියන්නේ නුවණ රාත්තලකට වඩා සිහිය අවුංසයක් අගනා බවය. සිහිය භාවයීතව්‍ය - වැඩිය යුතු, වැවිය යුතු ධර්‍මයෙකි. සිහිය ඉතා ඉහළට ම වඩන සැටි සතිපට්ඨාන සූත්‍රයෙහි හා ආනාපානසති සූත්‍රයෙහි ද මනා කොට ප්‍රකාශිත ය.
මේ ආනාපානසති භාවනාවෙහි මුල් අවස්ථා සිහිය පුරුදු කිරීම් මාත්‍රයෙකි. එහෙයින් කුඩා ළමයකුට වුව ද කළ හැකි ය. නිතර සිහියෙන් කටයුතු කරන්නට පිළිවන් වීම ඉගැනීමටත් ජීවිතය යහපත් ලෙස පැවැත්වීමටත් ඉතා උපකාරයෙකි. එහෙයින් කුඩා ළමයා පටන් මහල්ලා තෙක් සෑම දෙනා ම මේ ආනාපානසති භාවනාව කිරීමට තරයේ ම ඉටාගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන සතිය තරම් ව
ර්‍ණනා කරන ලද එසේ ම විස්තර කරන ලද අන් කිසි භාවනාවක් නැතැයි කිව යුතු ය.
වර්ණනා  කිරීමට හේතු: ආනාපානසතිය අන් හැම සමථ භවනාවකට ම වඩා ශාන්ත ය. ප්‍රණීත ය. කයට ක්ලාන්තයක් නැත. ඇසට පීඩාවක් නැත. හිත ද වහා සංසුන් වෙයි. කෙලෙස් වහා විෂ්කම්භනය වෙයි. අන් හැමට ම වඩා විදර්ශනාවට හැරවීම ද පහසු ය. උන් වහන්සේට බුදුවීමට උපකාර වූයේත් මේ භාවනාව යි. මේ ආදී කරුණු නිසා අතිශයින් වර්ණනා කැරිණැ යි සිතිය යුතු ය.
විස්තර කිරීමට හේතු: බුදුරජාණන් වහන්සේගේ කාලයේත් ඊට පෙරත් පසුවත් මේ ආනාපාන සතිය නොයෙක් ලෙසින් වැඩූවන් සිටිබව ප්‍රකට ය. සමහර යෝගීන් හුස්ම බොහෝ වේලා නවතා ගෙනැ සිටීම ආදී වශයෙන් ඉතා ගොරෝසු ලෙස ආනාපාන සතිය වැඩූ බව ද පෙනෙයි. බුදුරජාණන් වහන්සේ මේ භාවනාව ශාන්ත ප්‍රණීත ලෙස වඩන පිළිවෙළ දේශනා කළාට පසුව ද, පහසු යයි සිතා නොයෙක් වැරදි ක්‍රම භාවිත කළ බව පෙනෙයි.
ආනාපානසතී යස්ස - පරිපුණ්ණා සුභාචිතා
අනුපුබ්බං පරිචිතා
- යථා බුද්ධෙන දෙසිතා
සො
මං ලොකං පහාසෙති - අබ්භා මුත්තොව චන්‍දිමා
- විශුද්‍ධිමාර්‍ගය
ආනාපාන සතිය යමකු විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි පරිපූර්‍ණ වැ පිළිවෙළින් පුරුදු කොට මනාකොට වඩන ලද්දේ ද හෙතෙමේ වලාකුළින් මිදුණු චන්‍ද්‍රයා මෙන් මේ ලෝකය බබුළුවයි.
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා
 ගාථා පදය ගැන හොඳින් සිතා බැලිය යුතු ය. බුද්ධඝොෂ මාහිමියන් වහන්සේගේ කාලයෙහි ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමය ඉක්මවා මේ භාවනාව වැඩූවන් සිටි බව මෙයින් මැනැවින් පැහැදිලි වෙයි. එසේ ම බුදුරජාණන් වහන්සේ දේ
ශනා කළ පිළිවෙලට මේ භාවනාව කිරීමෙන් ම ලෝකය බබුළුවන්නට පිළිවන් වන බව ද පැහැදිලි ය. මෙසේ මේ ආනාපානසති භාවනාව වැරදි ක්‍රමවලින් වැඩූවන් සිටි නිසාත් මතු ද
ඇතිවිය හැකි නිසාත් බහුල වශයෙන් විස්තර කළ සේකැයි සිතිය හැකි ය.
මේ ආනාපානසතිය ගැන නොයෙක් සූත්‍රවල විස්තර වශයෙන් ප්‍රකාශකොට ඇතත් මෙහි සඳහන් කරන්නේ ගිහිගෙවල වාසය කරන්නවුනට වුව ද පුරුදු පුහුණු කළ හැකිවන පරිදි ඉතා සුළු කොටසෙකි. භාවනාව සජ්ඣායන කිරීම වැනි දෙයක් නොවන හෙයින් බොහෝ දෙනාට මේ සුළු කොටස වුව ද මුළු ජීවිත කාලයේ ම පුරුදු කළත් අවසන් කරන්නට නොහැකි වෙනවා ඇත.
ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූල ගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලංකං ආභුජිත්වා,   උජුංකායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සතොව අස්සසති, සතො පස්සසති, දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති, සබ්බකාය පටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවෙදී පස්ස සිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ ආරණ්‍යයකට පැමිණියේ හෝ රුක් මුලකට පැමිණියේ හෝ ශූන්‍යගාරයකට පැමිණියේ හෝ පලක් බැඳැ හිඳැ, උඩුකය කෙළින් පිහිටුවා, සිහිය කමටහන් අරමුණට අභිමුඛ කොට තබා සිහියෙන් ම ආශ්වාස කෙරෙයි, (- හුස්ම ඇතුළට ගනී), සිහියෙන් ප්‍රශ්වාස කෙරෙයි. (- හුස්ම පිට කෙරෙයි) දීර්ඝ වැ ආශ්වාස කරනුයේ දීර්ඝ වැ ආශ්වාස කෙරෙමි යි දනී, දීර්ඝ වැ ප්‍රශ්වාස කරනුයේ දීර්ඝ වැ ප්‍රශ්වස කෙරෙමියි දනී, හ්‍රස්ව වැ ආශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ආශ්වාස කෙරෙමියි දනී, හ්‍රස්ව වැ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව වැ ප්‍රශ්වාස කෙරෙමියි දනී, මුල මැද අග යන සම්පූර්ණ ආශ්වාස කායය පැහැදිලි වැ දන්නා සුලු වූයේ ආශ්වාස කෙරෙමියි හික්මෙයි, මුල මැද අග යන සම්පූර්ණ ප්‍රශ්වාස කායය පැහැදිලි වැ දන්නා සුලු වූයේ ප්‍රශ්වාස කෙරෙමියි හික්මෙයි, ආශ්වාස කායසංස්කාරය පිළිවෙළින් සංසිඳුවමින් ආශ්වාස කෙරෙමියි හික්මෙයි, ප්‍රශ්වාස කාය සංස්කාරය පිළිවෙළින් සංසිඳුවමින් ප්‍රශ්වාස කෙරෙමි යි හික්මෙයි.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි