09 November 2011

උපොසථ නම්

“උද්දෙසෙ පාතිමොක්ඛස්ස පණ්ණත්තියමුපොසථෙ
උපමාසෙ ච අට්ඨංග උපොසථ දිනෙසියා
”

                                  පාළි ‘උපොසථ’ ශබ්දය අර්ථ පසෙක්හි යෙදෙයි. ‘පොහොය’ සඳ උපොසථ යන්නෙන් බිඳුණෙකැ යි කියති.

1.      ‘ආයාමාවුසො කප්පින උපොසථං ගමිස්සාම’ යන ආදි තන්හි තුදුස්වක් පසළොස්වක් දිනයන්හි මහණ මෙහෙණන් ගේ පාමොක් උදෙසීමෙහි ද,
2.      ‘උපොසථො නාම නාගරාජා’ යන ආදි තන්හි ඇත් කුලයකට තැබූ නාමයෙක්හි ද,
3.      ‘සුද්‍ධස්ස වෙ සදා ඵග්ගු සුද්‍ධස්සුපොසථො සදා’ යන ආදි තන්හි උපවාසයෙහි හෙවත් මුළුමනින් ම නිරාහාර වැ හෝ කිරි මී පැණි මිදි යුෂ ආදිය පමණක් ගෙනැ හෝ කල් යවන ව්‍රතයෙහි ද,
4.      ‘එවං අට්ඨංග සමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උප වුත්ථො’ යන ආදි තන්හි පොහොය දා රැක්ක යුතු අෂ්ඨාංග ශීලයෙහි ද,
5.      ‘තදහුපොසථෙ පණ්ණරසෙ’ යන ආදි තන්හි සාමාන්‍ය දවසට වඩා විශේෂ ශීලාදී ගුණයන් ගෙන් පේවී වාසය කරන දිනෙහි දැ යි යන අර්ථ පසෙක්හි උපොසථ ශබ්දය යෙදෙයි.
                                                         
                                                        මේ පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වන්නටත් පෙරැ සම්මත වූවෙකි. ඉතා පෙරැ ආදි කාලයෙහි විසූ ධාර්මික මනුෂ්‍යයෝ සැමදා ම මෙලොවැ කටයුතුවලැ පමණක් නො යෙදී සතියකට වරක් පර ලොවැ ශුභ සිද්ධිය සඳහා ආගමික වතාවත්හි යෙදුණාහ. මෙකලැ මෙන් දින දර්ශන හා ලිත සුලභ නැති එකලැ අහසෙහි සඳ දෙස බලා සතියෙහි ආගමික දිනය හෙවත් පොහොය දැනගත් බව කිව යුතු ය. බුදුරජාණන් වහන්සේ ගේ කාලය වන විට බාහිරක තාපසවරුන් ද පොහොය ආගමික දින හැටියට යොදාගෙන තිබිණ.
                  බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාව පැවැත්වූ තැන් පටන් උන් වහන්සේත් භික්‍ෂූන් වහන්සේත් ධර්ම දේශනා කිරීමත් උපාසක උපාසිකාවන් ධර්මශ්‍රවණය කිරීමත් පන්සල් යෑමත් ආරම්භ විය. එහෙත් එයට වෙනම දිනයක් නො වී ය. එසේ වී නමුත් අන්‍ය තීර්ථකාරාමයන්හි පොහෝ දින ධර්මදේශනාදිය පැවැත්විණ. එයින් ඔවුන් ගේ ගිහි පැවිදි සම්බන්ධය තර විය.
                                                          බිම්බිසාර රජතුමාණෝ ශ්‍රද්ධාවන්ත උපාසක කෙනෙකි; සසුන් දියුණුව කැමැත්තෙකි. අන්‍ය තීර්ථකයන් අතරැ ගිහි පැවිදි සම්බන්ධය තර වන කරුණු වටහාගත් රජතුමාණෝ බෞද්ධයන් අතරැ ද මේ කටයුතු ඇති වීම මැනැවැ යි සිතා බුදුරජාණන් වහන්සේ හමුවන්නට ගොස් කරුණු සැළ කළ හ. කාගේ වුව ද හොඳ යෝජනාවනට ගරු කරන බුදුරජාණන් වහන්සේ, “අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිතුන්ති - මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්‍ෂයෙහි අටවක්හි රැස්වන්නට අනුදනිමි” යි වදාළ හ. මේ පොහෝ දිනවලැ ශ්‍රාවකයන් ආරාමයන්හි රැස්වන්නට පටන් ගත් සැටි ‍යි.
                                                                         බුද්ධ නියමය පරිදි ගිහි පැවිදි දෙපස ම පොහෝ දිනයන්හි රැස් වූ නමුත් ධර්ම දේශනා කිරීමක් නොවී ය. එයින් නොසතුටට පත් වූ ගිහි ජනතාව ධර්මදේශනා නොකිරීම ගැන දොස් නඟන්නට විය. එය දැන ගත් බුදුරජාණන් වහන්සේ, “අනුජානාමි භික්ඛවේ චාතුද්දෙසෙ පණ්ණ රසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්නිපතිත්වා ධම්මං භාසිතුන්ති - මහණෙනි, තුදුස්වක්හි පසළොස්වක්හි පක්ෂයෙහි අටවක්හි රැස්වී දහම් දෙසන්නට අනුදනිමි”යි වදාළහ. මේ ආරාමයන්හි පොහෝ දින ධර්මදේශනා ආරම්භ වූ සැටි යි.
                                   දිනක් විශාඛා මහොපාසිකාව බුදුරජාණන් වහන්සේ හමු වන්නට ගියා ය. පැමිණි කාරණය විමැසූ විට විශාඛා මහෝපාසිකාව ප්‍රකාශ කළේ තමා අද පෙහෙවස් රකින බව ය. ඒ සඳ බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි පෙහෙවස් රැකීම පිළිබඳ දීර්ඝ විස්තරයක් ප්‍රකාශ කළ හ. ත්‍රිවිධ උපොසථයන් දක්වා බෞද්ධයන් ආර්යුපොසථයෙන් හෙවත් රහතන් වහන්සේ අනුගමනය කෙරෙමින් පෙහෙවස් රැකීම මැනැවැ යි දේශනා කළ හ. මේ පොහෝ දිනයන් හි අටසිලින් පෙහෙවීම ආරම්භ වූ සැටි යි.
දිනක් නිහඬ වැ සිටින බුදුරජාණන් වහන්සේට මෙ බඳු අදහසෙක් පහළ වී ය. “මා විසින් භික්‍ෂූනට යම් සිකපද කෙනෙක් පනවන ලද ද, ඒ ඔවුනට පාමොක් උදෙසීම කොට අනුදැන වදාරන්නේ නම් මැනැවි. ඒ පාමොක් උදෙසීම ඔවුනට පෙහෙකම් වන්නේ ය” යනු යි. පසු වැ භික්‍ෂූන් අමතා, “අනුජානාමි භික්ඛවෙ, පාතිමොක්ඛං උද්දිසිතුන්ති - මහණෙනි, පාමොක් උදෙසන්නට අනුදනිමි” යි වදාළ හ. ඇතැම් භික්‍ෂූන් දිනපතා පාමොක් උදෙසන්නට පටන් ගත්තෙන් බුදුරජාණන් වහන්සේ නැවැතත් භික්‍ෂූන් අමතා, “අනුජානාමි භික්ඛවෙ, සකිං පක්ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා පාතිමොක්ඛං උද්දිසතුන්ති - මහණෙනි, පක්‍ෂයකට වරක් තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ පාමොක් උදෙසන්නට අනුදනිමි” යි වදාළ හ. මේ පොහෝ දිනයන්හි පාමොක් උදෙසීම ආරම්භ වූ සැටි යි.

දුවිධ පාතිමොක්ඛුද්දෙස

ඔවාදපාතිමොක්ඛුද්දෙස, ආණාපාතිමොක්ඛුද්දෙස යි පාමොක් උදෙසීම් දෙකකි.

ඔවාදපාතිමොක්ඛුද්දෙස

“සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං”

“ඛන්තී පරමං තපො තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාති සමණො හොති පරං විහෙඨයන්තො
”
“අනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතාච භත්තස්‍මිං පන්‍ථං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං
(ධම්මපද)

බුදුරජාණන් වහන්සේ විසින් පක්‍ෂයකට වරක් මේ ගාථා තුනෙන් කරනු ලබන අවවාදය ‘ඔවාදපාතිමොක්ඛුද්දෙස’ නම් වේ.

ආණාපාතිමොක්ඛුද්දෙස

‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො අජ්ජුපොසථො පණ්ණරසො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උපොසථං කරෙය්‍ය පාතිමොක්ඛං උද්දිසෙය්‍ය’ යන ඤත්ති වාක්‍යය ප්‍රකාශ කොට මුඛ්‍යය දේශනා කිරීමෙන් කරනු ලබන පාමොක් උදෙසීම ‘ආණාපාතිමොක්ඛුද්දෙස නම් වේ.
“ඉමා පන තිස්සො ගාථායො සම්බුද්‍ධානං පාතිමොක්ඛුද්දෙසගාථා හොන්තීති වෙදිතබ්බා. තං බුද්‍ධා එව උද්දිසන්ති, න සාවකා. සුණාතු මෙ භන්තෙ සංඝොති ආදිනා නයෙන වුත්තං ආණාපාතිමොක්ඛං නාම තං සාවකා එව උද්දිසන්ති, න බුද්ධා.”
(විනයාලංකාරය)

සබ්බපාපස්ස අකරණං යන ආදී ගාථා තුන හැම බුදුවරයන් ම පමණක් පාමොක් උදෙසන මේ ගාථාවෝ වෙති. එය ශ්‍රාවකයෝ නො උදෙසති. අණාපාතිමොක්ඛය ශ්‍රාවකයන් වහන්සේ ම පමණක් උදෙසති. එය බුදුවරු නො උදෙසති. විපස්සි බුදුරජාණන් වහන්සේ සත් වසකට වරක් ඔවාද පාතිමොක්ඛුද්දෙසය කළ හ. සිඛී, වෙස්සභූ බුදුරජාණන් වහන්සේලා සවසකට වරෙකි. කකුසඳ, කොනාගමණ බුදුරජාණන් වහන්සේලා වසකට වරෙකි. කස්සප බුදුරජාණන් වහන්සේ සමසකට වරෙකි. ගෙ‍‍ෟතම බුදුරජාණන් වහන්සේ පක්‍ෂයකට වරෙකි.
අපේ බුදුරජාණන් වහන්සේ මුල් විසි වසරෙහි ම පක්‍ෂයකට වරක් අවවාද ප්‍රාතිමුඛ්‍යය උදෙසූ සේක. විසි වැනි වස් පවාරණයෙන් පසු සැවැත් නුවර පූර්වාරාමයෙහි වසන සේක් පුනුරැසි දිනෙකැ ඔවාපාමොක් උදෙසීම සඳහා සඟ මැදට වැඩම කළ සේක. ප්‍රථම යාමය ඉක්මී යත් ම අනඳ මා හිමියෝ, ස්වාමීනි, භික්‍ෂූන් රැස් වැ යාමයක් ගත වී ය. පාමොක් උදෙසන්නට යැ”යි ආරාධනය කළ හ. බුදුරජාණන් වහන්සේ නිහඬ වූ සේක. මැදුම්යම ඉක්මී යත් ම අනඳ හිමියෝ නැවැතත් ආරාධනා කළ හ. බුදුරජාණන් වහන්සේ පෙර සේ ම නිහඬ වූ සේක. පැසිම්යම්හි අනඳ හිමියන් පාමොක් උදෙසීමට නැවැතත් ආරාධනා කළෙන් ‘ආනන්ද, පිරිස අපිරිසිදු යැ’යි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හ.
ඒ සඟ පිරිස් මැද වැඩ සිටි මුගලන් රහත් මාහිමිපාණෝ දිවැසින් එක් එක් පුද්ගලයා දෙස බලන්නාහු අපිරිසිදු තැනැත්තා දැකැ ඔහු වෙතට ගොස් නික්මී යන ලෙසට අණ කළ හ. ඒ දුසිල් මහණ නොගියෙන් දෙ වනු තෙවනු වැ ද කියා නො ගියෙන් මුගලන් මා හිමියෝ ඔහු අතින් අල්ලාගෙනැ ගොස් එළියට දමා දොර අගුළු ලා බුදුරජාණන් වහන්සේට වැඳ පාමොක් උදෙසීමට ආරාධනය කළ හ.
“නදානාහං භික්ඛවෙ ඉතො පරං උපොසථං කරිස්සාමි පාතිමොක්ඛං උද්දිස්සාමි. තුම්හෙවදානි ඉතො පරං උපොසථං කරෙය්‍යාථ, පාතිමොක්ඛං උද්දිසෙය්‍යාථ අට්ඨානමෙතං භික්ඛවේ අනවකාසො යං තථාගතො අපරිසුද්ධාය පරිසාය උපොසථං කරෙය්‍ය පාතිමොක්ඛං උද්දිසෙය්‍ය”
(උදාන පාලි)

“මහණෙනි, මින් පසු මම පොහොය නො කරමි. පාමොක් නො උදෙසමි. මින් පසු තෙපි ම පොහොය කරවු, පාමොක් උදෙසව්. අපිරිසිදු පිරිස් මැදැ තථාගතයන් පොහොය කිරීමත් පාමොක් උදෙසීමත් නො සිදුවන්නෙකි.” එදා පටන් ආණාප්‍රාතිමුඛ්‍යය දේශනා කිරීම ආරම්භ විය.

නවවිධ උපොසථ

1.චාතුද්දසී 2.පණ්ණරසී 3.සාමග්ගි යී දින වශයෙන් උපොසථ තුනෙකි. 4.සඞ්ඝ උපොසථ 5.ගණ උපොසථ 6.පුග්ගල උපොසථ යි කාරක වශයෙන් උපොසථ තුනෙකි 7.සුත්තුද්දෙස උපොසථ 8.පාරිසුද්‍ධි උපොසථ. 9.අධිට්ඨාන උපොසථ යී කර්‍තව්‍ය‍ාකාර වශයෙන් උපොසථ තුනෙකි.
1.    චාතුද්දසී = වර්ෂයෙකැ සෘතු තුනෙකි. එක් එක් සෘතුවෙකැ පොහොය අටෙකි. ඒ ඒ සෘතුවලැ තුන් වැනි පොහොය චාතුද්දසී නම් වේ.
2.    පණ්ණරසී = චාතුද්දසී පොහොය හය හැරැ ඉතිරි පොහොය සියල්ල ම පණ්ණරසී නම් වේ.
3.    සාමග්ගි = භෙද වූ සංඝයා නැවැත සමඟි වූ විට එය තහවුරු වීම සඳහා එ දින ම කරන පොහොය සාමග්ගි නම් වේ.
4.    සඞ්ඝ උපෙ‍ාසථ = උපසපන් සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ එක් වී කරන පොහොය සඞ්ඝ උපොසථ නම් වේ.
5.    ගණ උපොසථ = උපසපන් දෙ නමක් හෝ තෙ නමක් හෝ එක් වී කරන පොහොය ගණ උපොසථ නම් වේ.
6.    පුග්ගල උපොසථ = අන්‍ය එක නමකුදු නොලැබුණු විට හුදෙකලා වැ කරන පොහොය පුග්ගල උපොසථ නම් වේ.
7.    සුත්තුද්දෙස = අවවාද ප්‍රාතිමුඛ්‍යය හෝ ආණාප්‍රාතිමුඛ්‍යය හෝ දේශනා කිරීම සුත්තුද්දෙස නම් වේ.
8.    පාරිසුද්ධි උපොසථ = සීමාවෙක දී තමා ගේ පිරිසිදු බව ප්‍රකාශ කිරීම පාරිසුද්ධි උපොසථ නම් වේ.
9.    අධිට්ඨාන උපෙ‍ාසථ = සීමාවෙක දී හුදෙකලා වැ පොහොය ඉටාගැනීම අධිට්ඨාන උපොසථ නම් වේ.

පොහෝ කරන දිනය

“අනුජානාමි භික්ඛවෙ සකිං පක්ඛස්ස චාතුද්දසෙ වා පණ්ණරසෙ වා පාතිමොක්ඛං උද්දිසිතුන්ති - මහණෙනි, පක්‍ෂයකට වරන් තුදුස්වක්හි හෝ පසළොස්වක්හි හෝ පාමොක් උදෙසන්නට අනුදනිමි” යි වදාළහ.
“අනුජානාමි භික්ඛවේ සීමං සම්මන්තිතුං - මහණෙනි, සීමාව සම්මත කරන්නට අනුදනිමි” යි පොහෝ කරන ස්ථානය නියම කළ හ.
සීමා, බද්‍ධසීමා - අබද්‍ධසීමා යී දෙ කොටසකට බෙදෙයි. කර්‍මවාක්‍ය කියා සම්මත කරන සීමා, බද්‍ධ සීමා නම් වේ.  ඛණ්ඩ සීමා, සමානසංවාස සීමා, අවිප්පවාස සීමා බද්ධ සීමාවෝ වෙති. කර්‍මවාක්‍ය කියා සම්මත නොකරන ලද සීමා අබද්‍ධ සීමා නම් වේ. ගාම සීමා, සත්තබ්භන්තර සීමා උදකුක්ඛෙපසීමා අබද්‍ධසීමාවෝ වෙති.

පාමොක් උදෙසීම

චාතුද්දසී හෝ පණ්ණරසී හෝ සාමග්ගි හෝ පොහෝ කරන දිනයෙක්හි බද්‍ධ හෝ අබද්‍ධ හෝ සිමාවකට රැස් වැ සඞ්ඝයා පාමොක් උදෙසීමට අවස්ථාව සලසා දීම් වශයෙන් කළ යුතු කටයුතු කොටස් තුනකට බෙදෙයි. 1.පුබ්බකරණ - සංඝයා සීමාවට රැස්වන්නට පෙරැ කළ යුතු කර්ම  චතුෂ්කය යි. 2.පුබ්බකිච්ච - සඞ්ඝයා පැමිණි පසු කළ යුතු කර්ම පඤ්චකය යි. 3.පත්තකල්ල - පාමොක් උදෙසීමට කාලය පමුණුවා දීමේ කාරණ චතුෂ්කය යි.

පුබ්බකරණ

“සම්මජ්ජනී පදීපො ච උදකං ආසනෙන ච
උපොසථස්ස එතානි පුබ්බකරණන්ති වුච්චති
”
(පාතිමොක්ඛ)

1.සම්මජ්ජනී - ස්ථවීර භික්‍ෂූහූ විසින් අණ ලද්දකු විසින් සීමාමාලකය හෝ භූමිය හෝ හැමදීම, 2.පදීප - රාත්‍රී කාලයෙක්හි වුව හොත් පහන දැල්වීම, 3.උදක - පැමිණි සංඝයා ගේ ප්‍රයෝජනය පිණිස පානීය හා පරිභොජනීය ජලය සීමාවෙහි තැබීම, 4.ආසන - සංඝයාට වැඩ හිඳීම සඳහා අසුන් පැනවීම යන කටයුතු සතර සංඝයා පැමිණීමට පෙර කළ යුතු බැවින් පුබ්බකරණ යි.

පුබ්බකිච්ච

“ඡන්‍දපාරිසුද්ධි උතුක්ඛානං භික්ඛුගණනා ච ඔවාදො
උපොසථස්ස එතානි පුබ්බකිච්චන්ති වුච්වති
”
(පාතිමොක්ඛ)

1-2.ඡන්ද හා පාරිසුද්ධි - අන් තැනෙකැ පොහෝ කොට පැමිණි භික්‍ෂූන් ගේ ද ගිලනුන් ගේ ද ග්ලානොපස්ථායකයන් ගේ ද කැමැත්ත හා පිරිසිදු බවත් ගෙන ඊම හා පැවැසීම, 3.උතුක්ඛානං - හෙමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් සෘතුවෙන් අසවල් සෘතුව ය, අසුවල් පොහොය යි පැවැසීම, 4.භික්ඛුගණනා - සීමා මාලකයෙහි රැස් වූ භික්‍ෂූන් ගිණීම, 5.ඔව‍ාදො - පොහෝ දිනයෙහි භික්‍ෂුණීනට අෂ්ටගරුධර්‍මයෙන් අනුශාසනා කිරීමට සංඝ සම්මතයෙන් භික්‍ෂු නමක් පත් කිරීම යන කටයුතු පස පොහෝ කිරීමට සංඝයා රැස් වූ පසු, එහෙත් පාමොක් උදෙසීමට පෙරැ කළ යුතු බැවින් පූර්‍වකෘත්‍ය නම් වෙයි.

පත්තකල්ල

“උපොසථො යාවතිකා ච භික්ඛු
කම්මප්පත්තා සභාගාපත්තියො ච
න විජ්ජන්ති වජ්ජනීයා ච පුග්ගලා
තස්මිං න හොන්ති පත්තකල්ලන්ති වුච්චති
”
(පාතිමොක්ඛ)

1.උපොසථො - චාතුද්දසී, පණ්ණරසී, සාමග්ගි යන පොහෝ තුනෙන් එකක් වීම, 2.යාවතිකා ච භික්ඛු කම්මප්පත්තා - විනයකර්‍මය කිරීමට සුදුසු ප්‍රකෘති ස්වභාව ඇති භික්‍ෂූන් යටත් පිරිසෙයින් හතර නමක් වත් පොහෝ කිරීමට පැමිණ අත්පස නෙ‍ා හැරැ සිටීම, 3.සභාගාපත්තියො ච න විජ්ජන්ති - සභාගාපත්ති නොවීම. 4.වජ්ජනීයා ච පුග්ගලා තස්මිං න හොන්ති - වර්ජනීය පුද්ගලයන් අත් පසෙහි නොවීම යන කරණු සතර පාමොක් උදෙසීමට කාලය සුදුසු කොට පමුණුවා දෙනුයෙන් පත්තකල්ල නමි.

ආරාධනා

“න භික්ඛවෙ සඞ්ඝස්ස මජ්ඣෙ අනජ්ඣිට්ඨෙන පාතිමෙක්ඛං උද්දිසිතබ්බං, යො උද්දිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස - මහණෙනි, ආරාධනය නොකරන ලද්දහු විසින් සඟ මැද පාමොක් නෙ‍ා උදෙසිය යුතුය. යමෙක් උදෙසන්නේ වේ නම් දුකුළා ඇවැත් වේ” යි වදාළ බැවින් පාමොක් උදෙසීමට සියලු කටයුතු සම්පූර්ණ වැ තැබුණත් ආරාධනය කරන තුරු පාමොක් උදෙසීම නොකළ හැකි වේ. එහෙයින් “පුබ්බකරණ පුබ්බකිච්චානි සමාපෙත්වා දෙසිතාපත්තිකස්ස සමග්ගස්ස භික්ඛුසඞ්ඝස්ස අනුමතියා පාතිමොක්ඛං උද්දසිතුං ආරාධනං කරොමි - පූර්‍වකරණ පූර්‍වකෘත්‍ය නිමවා දෙසූ ඇවැත් ඇති සමගි භික්‍ෂු සංඝයාගේ අනුමතියෙන් පාමොක් උදෙසන්නට ආරාධනය කෙරෙමි” යි ආරාධනය කළ යුතු වේ.

දෙසනා

“අනුජානාමි භික්ඛවෙ ථෙරාධෙය්‍යං පාතිමොක්ඛං - මහණෙනි, පාමොක් උදෙසීම සංඝස්ථවිරයන් අයත් ය යි අනුදනිමි” යි වදාළ බැවින් පැමිණි සිටි භික්‍ෂූන් අතරෙහි සඞ්ඝස්ථවිරයන් පාමොක් උදෙසීම කළ යුතු ය. ඉදින් සංඝස්ථවිරයන් වහන්සේ අබල දුබල නම්, පාමොක් උදෙසන්නට නෙ‍ා දනිත් නම්, “අනුජානාමි භික්ඛවෙ යො තත්ථ භික්ඛු ව්‍යත්තො පටිබලො තස්සාධෙය්‍යං පාතිමොක්ඛං - මහණෙනි, එහි ව්‍යක්ත ප්‍රතිබල මහණෙක් වේ නම්, පාමොක් උදෙසීම ඔහු අයත් ය යි අනුදනිමි” යි වදාළ බැවින් සඞ්ඝස්ථවිරයන් විසින් ව්‍යක්ත ප්‍රතිබල භික්‍ෂුවකට පාමොක් උදෙසීම නියම කළ යුතු ය.

පාතිමොක්ඛුද්දේස

ප්‍රාතිමුඛ්‍ය අතිවිස්තාර ය, එහෙයින් සම්පූර්ණයෙන් උදෙසීම අපහසු අවස්ථාවන්හි දී සංක්‍ෂිප්ත කිරීම සඳහා නැවැතුම් පසක් දේශනා කොට ඇත. “පඤ්චිමෙ භික්ඛවෙ පාතිමොක්ඛුද්දේසා - මහණෙනි, පාතිමොක්ඛුද්දේසයෝ පසෙකි.”
1.    “නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං - නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය.” මේ පළමු වැනි පාමොක් උදෙසීම වේ.
2.    “නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං - නිදානය උදෙසා, සතර පරිජි උදෙසා, සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය” මේ දෙ වැනි පාමොක් උදෙසීම වේ.
3.    “නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙස උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං - නිදානය උදෙසා සතර පරිජි උදෙසා, තෙළෙස් සඟ වෙසෙස් උදෙසා, සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය.” මේ තෙවැනි පාමොක් උදෙසීම වේ.
4.    “නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝදිසෙසෙ උද්දිසිත්වා ‍ෙව අනියතෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං - නිදානය උදෙසා, සතර පරිජි උදෙසා, තෙළෙස් සඟවෙසෙස් උදෙසා, අනියත දෙක උදෙසා, සෙස්ස ශ්‍රැතියෙන් ඇස්විය යුතු ය.” මේ සිවු වැනි පාමොක් උදෙසීම වේ.
5.    “විත්ථාරෙන පඤ්චමො - විස්තර වශයෙන් පාමොක් උදෙසීම පස් වැනි උදෙසීම වේ. එනම්, මුළු පාතිමොක්ඛය ම උදෙසීම යි.

සංඛිත්තදෙසනා

බුදුරජාණන් වහන්සේ පාමොක් උදෙසීම පිළිබඳ නැවැතුම් පහක් දේශනා කළෙන් ඇතැම් භික්‍ෂූන් තමන් ගේ පහසුව සලකා සැකෙවින් පාමොක් උදෙසීම පටන් ගන්නා ලදි. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ, “න භික්ඛවෙ සඞ්ඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසිතබ්බං, යො උද්දිසෙය්‍ය ආපත්ති දුක්කටස්ස - මහණෙනි, සැකෙවින් පාමොක් නො උදෙසිය යුතු ය. යමෙක් උදෙසන්නේ නම් දුකුළා ඇවැත් වේ” යි වදාරා සැකෙවින් පාමොක් උදෙසීම ප්‍රතික්‍ෂෙප කළ සේක

අන්තරා

බුදුරජාණන් වහන්සේ සැකෙවින් පාමොක් වැළැක්වූයෙන් භික්‍ෂූහු විස්තර වශයෙන් පාමොක් උදෙසීම කළ හ. දිනක් වනවැසි මිනිසුන් ගෙන් බියක් වූයෙන් විස්තර වශයෙන් පාමොක් උදෙසීම නොකළ හැකි විය. එ පවත් දැනගත් බුදුරජාණන් වහන්සේ, “අනුජානාමි භික්ඛවෙ සති අන්තරායෙ සඞ්ඛිත්තෙන පාතිමොක්ඛං උද්දිසිතුං - අනුදනිමි” යි වදාළ හ. අන්තරා දසයෙකි.
1.      රාජන්තරාය - රජුන් ගෙන් වන අන්තරාය,
2.      චොරන්තරාය - සොරුන් ගෙන් වන අන්තරාය,
3.      අග්‍යන්තරාය - ගින්නෙන් වන අන්තරාය,
4.      උදකන්තරාය - ජලයෙන් වන අන්තරාය,
5.      මනුස්සන්තරාය - මිනිසුන් ගෙන් වන අන්තරාය,
6.      අමනුස්සන්තරාය - අමනුෂ්‍යයන් ගෙන් වන අන්තරාය,
7.      වාළාන්තරාය - චණ්ඩ මෘගයන් ගෙන් වන අන්තරාය,
8.      සිරිංසපන්තරාය - සර්පයන් ගෙන් වන අන්තරාය,
9.      ජීවිතන්තරාය - ජීවිතයට වන අන්තරාය,
10.  බ්‍රහ්මචරියන්තරාය - බ්‍රහ්මචර්යයට වන අන්තරාය.
“අනුජානාමි භික්ඛවෙ එවරූපෙසු අන්තරායෙසු සඞ්ඛිත්තෙන පාති මොක්ඛං උද්දිසිතුං, අසති අන්තරායෙ විත්‍ථාරෙන - මහණෙනි, මෙ බඳු අන්තරායක් ඇති කල්හි සැකෙවින් පාමොක් උදෙසන්නට ද අන්තරායක් නැති කල්හි විස්තර වශයෙන් උදෙසන්නට ද අනුදනිමි” යි වදාල බැවින් යටැ කී අන්තරායක් නැති කල්හි සැකෙවින්  පාමොක් උදෙසීම නො වටී.

පුනරුද්දෙස

භික්‍ෂූන් පාමොක් උදෙසන කල්හි අන්‍ය භික්‍ෂූන් පැමිණියොත් පිළිපැදිය යුතු සැටි:
“ඉධ පන භික්ඛවෙ අඤ්ඤතරස්මිං ආවාසෙ තදහුපොසථෙ සම්බහුලා අ‍ාවාසිකා භික්ඛු සන්නිපතන්ති චත්තාරො වා අතිරෙකා වා. තෙ න ජානන්ති අත්ථඤ්ඤෙ ආවාසිකා භික්ඛු අනාගතාති. තෙ ධම්ම සඤ්ඤිනො විනයසඤ්ඤිනො වග්ගා සමග්ගසඤ්ඤිනො උපොසථං කරොන්ති පාතිමොක්ඛං උද්දිසන්ති. තෙහි උද්දිස්සමානෙ පාතිමොක්ඛෙ අථඤ්ඤෙ ආවාසිකා භික්ඛු ආගච්ඡන්ති බහුතරා. තෙහි භික්ඛවෙ භික්ඛුහි පුන පාතිමොක්ඛං උද්දිසිතබ්බං. උද්දෙසකානං අනාපත්ති -
මහණෙනි, මෙහි එක්තරා ආවාසයෙක එ දවස පොහොයෙහි සිවු නමක් හෝ වැඩි ගණනක් හෝ බොහෝ වූ ආවාසික භික්‍ෂූහු රැස් වෙත්. ඒ භික්‍ෂූහූ නොපැමිණි අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු ඇත්තා හ යි නො දනිත්. ඒ ඒ භික්‍ෂූහු ධර්මය යන කල්පනා ඇත්තෝ විනය යන කල්පනා ඇත්තෝ වර්ග වූවාහු සමඟිය යන කල්පනා ඇත්තෝ පොහොය කරත්; පාමොක් උදෙසත්, ඔවුන් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත ඉතා බොහෝ වූ අන්‍ය වූ ආවාසික භික්‍ෂූහු එති. මහණෙනි, ඒ භික්‍ෂූන් විසින් නැවැත පාමොක් උදෙසිය යුතු ය. උදෙසුවනට ඇවැත් නො වේ.
ඉදින් පාමොක් උදෙසනු ලබන කල්හි නැවැත පැමිණ භික්‍ෂු සංඛ්‍යාව පාමොක් උදෙසන සංඛ්‍යාව හා සම සම නම්, “උද්දිට්ඨං සුඋද්දිට්ඨං අවසෙසං සොතබ්බං උද්දෙසකානං අනාපත්ති - උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ, සෙස්ස ඇසිය යුතු ය. උදෙසුවනට ඇවැත් නො වේ”යි ඉදින් නැවැත පැමිණි පිරිස අඩු නම්. “උදෙසන ලද්ද මනා කොට උදෙසන ලද්දේ වේ. සෙස්ස ඇසිය යුතු ය. උදෙසුවනට ඇවත් නො වේ” යි වදාළ පරිදි පිළිපැදිය යුතු ය.
ප‍ාමොක් උදෙසා අවසන් වූ කෙණෙහි භික්‍ෂූන් වැඩි පිරිසක් පැමිණි යොත් නැවැත පාමොක් උදසිය යුතු ය. ඉදින් පැමිණි පිරිස සම සම නම් හෝ අඩු නම් හෝ පාමොක් උදෙසුවන් සමීපයෙහි පාරිශුද්ධිය ප්‍රකාශ කළ යුතු ය.
පාමොක් උදෙසා අවසන් වූ කල්හි එහෙත් උදෙසූ පිරිස නො නැඟිටි කල්හි වැඩි පිරිසක් පැමිණියොත් නැවැත පාමොක් දෙසිය යුතු ය. ඉදින් පැමිණි පිරිස සම සම නම් හෝ අඩු නම් හෝ පාමොක් උදෙසුවන් සමීප යෙහි පාරිශුද්ධිය ප්‍රකාශ කළ යුතු ය.
පාමොක් උදෙසා අවසන් වී පිරිස අඩක් හෝ සම්පූර්ණයෙන් හේ නැඟිටි කල්හි වැඩි පිරිසක් පැමිණියොත් නැවැත පාමොක් දෙසිය යුතු ය. ඉදින් පැමිණි පිරිස සම සම නම් හෝ අඩු නම් හෝ පාමොක් උදෙසුවන් සමීපයෙහි පාරිශුද්ධිය ප්‍රකාශ කළ යුතු ය‍.

මෙහි එන උධෘත පාඨ මහාවග්ග පාළි බුද්ධජයන්ති මුද්‍රණයෙනි.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි