09 November 2011

මඟසිත

                                                මේ කරුණ සලකා බැලීමට චිත්තක්‍ෂණ හා පුද්ගල යන දෙ කරුණ මනා වැ වටහා ගත යුතු ‍වේ. නාමරූපජීවිතෙන්‍ද්‍රියයා ගේ ප්‍රබන්‍ධය - සමවාය - එකතුව සත්ත්වයා යැ යි කියනු ලැබේ. නාමය විත්තක්‍ෂණයක් පාසා ද රූපය චිත්තක්‍ෂණ 17 ක් පාසා ද වෙනස් වේ. චිත්තයා ගේ වේගයෙහි ප්‍රමාණය දැක්වීමට උපමාක් නැතැ යි කියනු ලැබේ. සාධකයක් හැටියට කියතොන් ඉතා ක්‍ෂණික වැ සිදු වන විදුලිය කෙටීමේ දී එය දෘෂ්ටිපථයට වැටෙන විට චිත්තක්‍ෂණ රාශියක් ගත වී අවසාන ය.
ත්‍රිපිටකයෙහි බොහෝ තැන්වල සදහන් වන සත්තසෙඛ - අට්ඨ අරිය පුග්ගල - දස ආහුනෙය්‍ය යන පුග්ගලයන් ද නුවණින් මැදහත් වැ සලකා බන්න. මඟසිතට අනතුරු වැ පලසිත ලැබෙයි යන න්‍යාය අනුවැ ගත්තොත් සත්තසෙඛයෝ වත් අට්ඨඅරියපුග්ගලයෝ වත් දස ආහුනෙය්‍ය පුග්ගලයෝ වත් නො ලැබෙති. මඟසිත අනතුරු වැ පලසිත ලැබෙන්නාක් මෙන් ම මඟසිත ලැබි පැය - දින - සති - මාස - අවුරුදු ගණන් ගත වී ද පලසිත ලැබෙයි යන න්‍යාය අනුවැ ගත්තොත් සත්තසෙඛයෝ, අට්ඨඅරිය පුග්ගලයෝ හා දසආහුනෙය්‍ය පුග්ගලයෝ ද ලැබෙති.

සත්තසෙඛා

     කතමො ච පුග්ගලො සෙඛො: වත්තාරො මග්ගසමඞ්ගිනො තයො ඵලසමඞ්ගිනො පුග්ගලා සෙඛා, අරහා අසෙඛො - කවර පුද්ගලයෙක් ශෛක්‍ෂ වේ ද යත්: මාර්‍ගස්ථ පුද්ගලයෝ සතර දෙන යැ ඵලස්ථ පුද්ගලයෝ ති දෙන යැ යන මොවුහු ශෛක්‍ෂයෝ යැ. අරහත් තෙමේ අශෛක්‍ෂ යැ[11] යන මෙහි මග්ගසම්ඞ්ගී සතර දෙනා චිත්තක්‍ෂණ වශයෙන් නො වැ පුද්ගලයන් වශයෙන් බව මනා වැ පැහැදිළි ය.

අට්ඨපුරිසපුග්ගලා

     ත්‍රිපිටකයෙහි අර්යසඞ්ඝයා ගේ ගුණ හැම තැන ම පැවැසෙන්නේ මෙ සේ ය: සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායටිපන්නො භගවතො සාවකසඞ්ඝො,  සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්‍යො, පාහුනෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ඡලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
     භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාකසඞ්ඝ තෙමේ සුපටිපන්න යැ, උජුපටිපන්න යැ, ඤායපටිපන්න යැ, සාමීචිපටිපන්න යැ. යම් මේ පුරිසයුග සතරෙක් වේ ද පුරිසපුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවකසංඝ තෙමේ ආහුනෙය්‍ය යැ, පාහුනෙය්‍ය යැ, දක්ඛිණෙය්‍ය යැ, අඤ්ජලිකරණීය යැ, ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර යැ.
මෙහි සදහන් අට්ඨපුරිසපුග්ගලා = පුරිසපුග්ගලයෝ අට දෙනෙක යන්න ත්‍රිපිටක පාලියෙහි විස්තර වන්නේ මෙ සේ ය:
(ග්‍රන්‍ථ මහත්ත්වය සලකා සිංහල තෙරුම පමණක් පහත දැක්වේ)
මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙත්, පාහුනෙය්‍ය වෙත්, දක්ඛිණෙය්‍ය වෙත්, අඤ්ජලිකරණීය වෙත්. කවර අට දෙනෙක යත්:
සොතාපන්න ය, සෝවාන් ඵල පසක් කිරීම පිළිපන්නේ ය. සකදාගාමී ය, සකදාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමි ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීම පිළිපන්නේ යි. මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති -පෙ- ලොකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර වෙති.[12]
පුග්ගලපඤ්ඤත්තියෙහි අට්ඨක නිද්දෙසයෙහි අට්ඨපුරිසපුග්ගලයන් විස්තර කරන්නේ මෙ සේ ය:
ඔවුනතුරෙහි චතුර්විධ මාර්ගයෙන් යුක්ත වු චතුර්විධ ඵලයෙන් යුක්ත වු පුද්ගලයෝ කවර හ යත්:
සොතාපන්න යැ, සොතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, සකදාගාමී යැ, සකදාගාමිඵලය සාක්‍ෂත් කරනු පිණිස පිළිපන්නේ යැ, අනාගාමී යැ, අනාගාමිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, අර්හත් යැ, අර්හත්ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ යන මොහු චතුර්විධ මාර්ගයෙන් යුක්ත වු චතුර්විධ ඵලයෙන් යුක්ත වූ පුද්ගලයෝ යි.[13]
     දක්ඛිණාවිභඞ්ග සූත්‍රයෙහි විස්තර කරන තුදුස් පෞද්ගලිකදාන අතුරෙන් දාන අටක් මෙ සේ ය:
අර්හත් තථාගත ශ්‍රාවකයා විෂයයෙහි දන් දෙයි, රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයා විෂ‍යයෙහි දන් දෙයි , ආනාගාමී හට දන් දෙයි, අනාගාමීපල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, සෙද ගැමි හට දන් දෙයි, සෙදගැමිපල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, සෝවාන්හු කෙරෙහි දන් දෙයි, සෝවාන්පල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි.[14]
තෙවළා දහමෙහි මාර්‍ගස්ථයා හා ඵලස්ථයා දෙ දෙනකු හැටියට ඉතා පැහැදිළි වැ ප්‍රකාශකොට තිබිය දී ඇතැම් අර්‍ථකථාචාර්යයන් වහන්සේ අට්ඨපුරිසපුග්ගල යන්න විග්‍රහ නො කොට ම අර්‍ථකථා විවරණය කැරැ ඇත. මෙ සේ වීමට හේතුව මහාඅට්ඨකථාචරිය බුද්ධඝොස මාහිමියන් වහන්සේ මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ යී ගත් තීරණය විය හැකි ය. එහෙත් අර්‍ථකථාචාර්ය ධම්මපාල මාහිමියන් වහන්සේ ත්‍රිපිටක පාලියට අනුකූල වැ අට්ඨපුරිසපුග්ගලා යන්න විස්තර කෙළේ මෙ සේ ය: අට්ඨපුරිසපුග්ගලාති පුරිසපුග්ගලවසෙන එකො පඨමමග්ගට්ඨො එකො පඨමඵලට්ඨොති ඉමිනා නයෙන අට්ඨපුරිසපුග්ගලා -  අට්ඨපුරිසපුග්ගලා යනු පුරිසපුග්ගල වශයෙන් ප්‍රථම මාර්ගස්ථයා එකෙකි, ප්‍රථම ඵලස්ථයා එකෙකි. මේ නයින් පුරිසපුග්ගලයෝ අට දෙනෙකි.[15]
අකාලික යන්නෙහි තේරුම මගසිතට අනතුරු වැ පලසිත පහළ විම පමණක් නම් සෝවන් සෙදගැමි අනගැමි රහත් යන පලයන් පසක් කරනු සදහා පිළිපන්නාවුන් කෙරෙහි දන් දෙන්නේ කෙ සේ ද? බුදුරජණන් වහන්සේ ගේ මේ දේශනාව හා අටුවා විවරණය නො සැසැ‍ඳේ ම ය.

දස ආහුනෙය්‍යා පුග්ගලා

     මහණෙනි, මේ පුද්ගලයෝ දස දෙන ආහුනාර්හ ද ප්‍රාහුනාර්හ ද දක්‍ෂිණාර්හ ද අඤ්ජලිකරණාර්හ ද ලොකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍ර ද වෙත්. කවර දස දෙනෙක යත්: තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධය හ, ප්‍රත්‍යෙක බුද්ධය හ, උභතොභාග විමුක්ත ය, ප්‍රඥා විමුක්ත ය, කායසාක්‍ෂි ය, දෘෂ්ටිප්‍රාප්ත ය, ශ්‍රද්ධාවිමුක්ත ය, ධර්‍මානුසාරී ය, ශ්‍රද්ධානුසාරී ය, ගොත්‍රභූ යි.[16]
     මෙයින් ධර්‍මානුසාරී ශ්‍රද්ධානුසාරී යන ‍දෙදෙනා කවරහු දැ යි මෙහි ලා සලකා බැයිල යුතු වේ.
ධම්මානුසාරී: ධම්මොති පඤ්ඤා, පඤ්ඤාපුබ්බඞ්ගමං මග්ගං භාවෙතීති අත්‍ථො. සද්ධානුසාරිම්හිපි එසෙව නයො. උභොපෙතෙ සොතාපත්තිමග්ගට්ඨායෙව. ධම්මානුසාරී සද්ධානුසාරී දෙ දෙනා ම මාර්‍ගස්ථයන් බව පැහැදිළි ය.[17]
     කතමො ච පුග්ගලො ධම්මානුසාරී: යස්ස පුගග්ලස්ස සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පඤ්ඤින්‍ද්‍රියං අධිමත්තං හොති පඤ්ඤාවාහී පඤ්ඤාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුගග්ලො ධම්මානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුගග්ලො ධම්මානුසාරී. ඵලෙ ඨිතො දිට්ඨිප්පත්තො.
කතමො ච පුග්ගලො සද්ධානුසාරී: යස්ස පුගග්ලස්ස සොතාපත්ති ඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස සද්ධින්‍ද්‍රියං අධිමත්තං හොති සද්ධාවාහී සද්ධාපුබ්බඞ්ගමං අරියමග්ගං භාවෙති. අයං වුච්චති පුගග්ලො සද්ධානුසාරී. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුගග්ලො සද්ධානුසාරී. ඵලෙ ඨිතො සද්ධාවිමුත්තො.
කවර පුද්ගලයෙක් ධම්මානුසාරී වේ ද යත්: සොතාපත්ති ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හු ගේ ප්‍රඥෙන්‍ද්‍රියය බලවත් වේ ද. ප්‍රඥව එළවන සුලු ප්‍රඥා පූර්‍වංගම වූ ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල ධර්‍මානුසාරි යැ යි කියනු ලැබේ. සෝවාන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ධර්‍මානුසාරී වෙයි. ඵලයෙහි සිටියේ දෘෂ්ටිප්‍රාප්ත යි.
කවර පුද්ගලයෙක් ශ්‍රද්ධානුසාරි වේ ද යත්: සොතාපත්තිඵලය සාක්ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක් හු ගේ ශ්‍රද්ධෙන්‍ද්‍රියය බලවත් වේ ද ශ්‍රද්ධාව ඵළවන සුලු වූ ශ්‍රද්ධා පූර්‍වංගම වු ආර්‍ය්‍යමාර්ගය වඩා ද මේ පුද්ගල තෙමේ ශ්‍රද්ධානුසාරී යැ යි කියනු ලැබේ. සෝවාන්පලය පසක් කරනු පිණිස පිළිපන් පුදගල තෙමේ ශ්‍රද්ධානුසාරී වෙයි. ඵලයෙහි සිටියේ ශ්‍රද්ධාවිමුක්ත යි.[18]
     මහණෙනි, ඇස අනිත්‍ය ය, පෙරළෙන සුලු ය, වෙනස් වන සුලු ය. කන නැහැය දිව කය මන ද එ සේ ම ය.
මහණෙනි. යමෙක් මේ ධර්‍මයන් මෙ සේ අදහයි ද, ශ්‍රද්ධාවෙන් මිදීමක් ලබයි ද, ආර්‍ය්‍යමාර්ගයට පැමිණියේ සත්පුරුෂ භූමියට පැමිණියේ පෘථග්ජනභූමිය ඉක්මවා සිටියේ, නිරය තිරච්ජානයොනිය ප්‍රේතවිෂය යන තන්හි උපදනට සුදුසු කර්‍ම කිරීමට අභව්‍ය වේ. සෝවාන්පලය සාක්‍ෂාත් නො කොට කාලක්‍රියා කිරීමට ද අභව්‍ය වේ.[19] ධර්‍මානුසාරී පුද්ගලයා ගැන ද මෙ සේ ම දෙශනා කොට ඇත.

ඨිතකප්පී

     කවර පුද්ගයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම්, කල්පය තමාත් දැවෙන වේලාව වේ නම්, යම් තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සා‍ක්‍ෂාත් නො කෙරෙහි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිත කල්පී යැයි කියනු ලැබේ. මාර්ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.[20]
අර්‍ථකථාචාර්යයන් වහන්සේ ස්ථිතකල්පී පුද්ගලයා ගැන දීර්‍ඝ විස්තරයක් කොට ඇත. මඟසිතට අනතුරු වැ පලසිත ලැබේ යන්න පමණක් පිළිගත්තොත් මේ බුද්ධවචනයට සිදු වන්නේ කුමක් දැ යි නුවණින් සලකා බලන්නේ මැනැවි.

චතුර්විධ පුදගලයෝ

ධර්‍මය අවබෝධ කරන ආකාර වශයෙන් පුද්ගලයෝ සතර දෙනෙකි.
1.    උද්ඝටිතඥ = දහම් පදයක් කනෙහි වැටුණු කෙණෙහි ම නිවන් පසක් කරන්නාහු ය. සැරියුත් මහරහතන් වහන්සේ වැනි අය වෙති.
2.    විපචිතඥ = දහම් පදයක් විස්තර කළ කෙණෙහි නිවන් පසක් කරන්නාහු ය. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැනි අය වෙති.
3.    නෙය්‍ය = ධර්‍මය ඉගැනීමෙන් හා පිළිපැදීමෙන් ද පසු වැ එ ම ජාතියෙහි ම නිවන් පසක් කරන්නාහු ය. චක්බුපාල මහරහතන් වහන්සේ වැනි අය වෙති
4.    පදපරම = ධර්‍මය මනා වැ ඇසුවත් මනා වැ පිළපැද්දත් එ ම ජාතියෙහි ම නිවන් පසක් නොකරන්නාහු ය. සච්චක පඬිතුමා වැනි අය වෙති.
උද්ඝටිතඥ හා විපචිතඥයෝ ධර්‍මය අසා නිවන් පසක් කන්නාහු වෙති. නෙය්‍ය හා පදපරමයෝ ධර්‍මය අසා මාර්ගය වඩා නිවන් පසක් කරන්නාහු වෙති. ධර්‍මය අසා සතරමඟ සතරපල පිළිවෙළින් රහත් වන්න වුනට මඟසිතට අනතුරු වැ පලසිත ලැබි ඇත. මාර්ගය වඩා නිවන් පසක් කරන්නවුන් ගෙන් සමහරුනට මඟසිතට අනතුරු වැ පලසිත ලැබි ඇත. සමහරුනට මඟසිත ලබා පැය - දින - සති - මාස - අවුරුදු ගණන් ගත වී පලසිත ලැබි ඇත. එ සේ නොවන්න ආර්යපුද්ගයෝ අට දෙනෙක් ලැබෙන්නේ නැත.

න්‍යායානුකූල වැ සිතීම

න්‍යායානුකුල වැ සිතීමට මහාපදෙස දෙසනා ඉදිරිය ගත යුතු ය. මුල් තැන බුද්ධවචනයට ය, දෙ වැනි තැන අටුවාවනට ය, තෙ වැනි තැන ටීකාවනට ය, සිවු වැනි තැන සංග්‍රහ ග්‍රන්‍ථයනට ය. බුද්ධවචනය අනුවැ මඟසිතට අනතුරු වැ පලසිත ලැබිය හැක්කාක් මෙන් ම මඟසිත ලැබී පැය - දින - සති - මාස - අවුරුදු ගණන් ගත වී ද පලසිත ලැබිය හැකි ය. බුද්ධඝොෂාචාර්යපාදයන් වහන්සේ ගේ මතය අනු වැ මගසිතට අනතුරු වැ පලසිත ලැබිය යුතු ම ය. එහෙත් එය පිළිගත්තොත් ආර්යපුද්ගලයන් අට දෙනෙක් ලැබෙන්නේ නැත. එය බුද්ධවචනය හා සැසැ‍ඳෙන්නේත් නැත. එ හෙයින් අවුරුදු දහස් ගණනක් පාරම්පරික වැ ගෙනාවේ යැ යි බුද්ධඝොෂාචාර්යපාදයන් වහන්සේ ගේ මතයෙහි ම එල්බ සිටින්නේ නැති වැ බුද්ධවචනය හා සසඳා බලන්නේ මැනැවි.

ත්‍රිපිටක ධර්‍මකෝෂය - 1 වෙළුම 2 කලබ
[10] දීඝනිකාය ii. (බුද්ධජයන්ති මු.) 192 පි.
[11] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 268 පි.
[12] අංගුත්තරනිකාය v. (බුද්ධජයන්ති මු.) 254 පි.
[13] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 404 පි.
[14] මජ්‍ඣිමනිකාය (බුද්ධජයන්ති මු.) 522 පි.
[15] ඉතිවුත්තකට්ඨකථා (හේවාවිතාරණ මු.) 224 පි.
[16] අංගුත්තරනිකාය (බුද්ධජයන්ති මු.) 42 පි.
[17] අංගුත්තරනිකායට්ඨකථා (හේවාවිතාරණ මු.) 699 පි.
[18] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 270, 272 පි.
[19] සංයුත්තනිකායට්ඨකථා ii. (හේවාවිතාරණ මු.) 252 පි.
[20] පුග්ගලපඤ්ඤත්ති (බුද්ධජයන්ති මු.) 268 පි.
පඤ්චප්පකරණට්ඨකථා (හේවාවිතාරණ මු.) 28 පි.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි