01 November 2011

ගිහි පැවිදි සම්බන්‍ධය


                                            මේ පින්වතුන් අහලා ඇති, ගිහි පැවිදි සම්බන්‍ධය හොඳින් පැවැති කාලවල මේ බුද්ධාගම හොඳට බැබළුණා කියන එක. විදේශීන්ගේ පැමිණීම නිසා ගිහි පැවිදි සම්බන්‍ධය ඈත් කරලා දැම්මා. ඒ නිසා තමයි දෙපක්‍ෂය ම ගුණ නුවණින් පිරිහෙන්නට පටන් ගත්තේ. ඒ නිසා ගිහි පැවිදි සම්බන්‍ධය,  නියම ගිහි පැවිදි සම්බන්‍ධය නැවත වරක් ඇති කිරීම හොඳට ම අවශ්‍යයි. ඒ ගිහි පැවිදි සම්බන්‍ධය නිසි විධියට ඇති කළොත්, ඒ නිසා පැවිදි පක්‍ෂයත් ගිහි පක්‍ෂයත් දෙලොවින් ම දියුණු වෙන බව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ඔප්පු කරන්නට පුළුවන්. ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා නියම විධියට ගිහි පැවිදි සම්බන්‍ධය ඇති කිරීමට අපේ ගරු කටයුතු සංඝයා වහන්සේලාත් සමඟ කතාකොට එ‍් ඒ ආරාම ආශ්‍රය කරගෙන දායක සභ‍‍ාවල් පිහිටුවන්නට. එහෙම පිහිටුවීම නිසා ඒ දායක මහත්වරු සංඝයා වහන්සේගේ දුක සැප සොයලා උපස්ථාන කරනවා. සංඝයා වහන්සේ ආදර්ශයෙනුත් උපදේශයෙනුත් දායකයන් නිසි මඟ යොදවනවා. ඒ කාර්යය කෙරෙන කොට ගිහි පැවිදි සම්බන්‍ධය හොඳින් එක්කහු වෙනවා, ඇති වෙනවා, ශාසනයත් දියුණු වෙනවා. ගිහි පැවිදි දෙපක්‍ෂයත් දියුණු වෙනවා.
                                                 මීළඟට, අනිත් කාරණය වශයෙන් සඳහන් කරන්නට තියෙන්නේ, අපි එහෙම වැඩ කරලා, ඊ ළඟට අපේ සංඝයාත් සමඟ සාකච්ඡා කරලා, ඒ සභාවල් වලින් නියෝජිතයන් ලබාගෙන ශාසනාරක්‍ෂක දායක සභා පිහිටුවීමයි. එහෙම වුණා ම නිකායේ හෝ ශාසනයේ හෝ යම්කිසි ප්‍රධාන අවශ්‍ය කාර්යයක් ආවම ඒ කාටත් එකමුතු වෙලා, එක්කහු වෙලා හොඳට වැඩ කරන්ට ශක්තියක් ලැබෙනවා.
         නිකාය පිළිබඳව ඔය කාරණා ටික අපි ඇති කරන්නේ, අර මුලින් කියාපු ගුණ සය දියුණු කිරීමටයි. අපේ නිකායේ ගරු කටයුතු සංඝයා වහන්සේ අතරත් අර කියාපු ගුණ හය දියුණු කරලීමටත්, ඒ වගේ ම ඒ භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන දායක පින්වතුන් අතර ඒ ගුණ හය දියුණු කිරීමටත්. ඒ නිසා නිකාය පිළිබඳ ව අප ඉතා කෙටියෙන් ඒ කාරණා කීපයකුයි මේ පින්වතුන් ඉදිරියේ දී මේ සඳහන් කළේ.
                        ඊ ළඟට, ශාසන ගෞරවයෙන් මා මේ ගිහි පින්වතුන්ගෙන් ඉල්ලීමක් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. දැන්, කලින් ම සඳහන් කළා, අර මුලින් සඳහන් කරපු ගුණ ටික මේ ගිහි පින්වතුන් අතරත් තියෙන්නට ඕනැ. භික්‍ෂූන් වහන්සේලා අතර විතරක් තිබිලා බැහැ මේ ශාසනය බබුළුවන්නට. එ‍් නිසා ඒ ගුණ හය ගිහි පින්වතුන් අතරත් ඇතිකර ගත්තොත්, ඒ ගිහියන් අතර තියෙන්නට ඕනෑ සෑම දෙයක් ම එහි ඇතුළත් වෙලා තියෙන නිසා ගිහි පින්වතුන්ට විශාල ශාන්තියක් සලසා ගන්නට පුළුවන් වෙනවා.
        ඒ නිසා, අපේ භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන්නට ඕනැ. භික්‍ෂූන් ආශ්‍රය නොකිරීම, නෙ‍‍ාදැකීම, ගිහි පින්වතුන්ගේ පිරිහීමට හේතුවක් ය කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ගිහි පින්වතුන් භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන කොට දෙගොල්ලට ම යහපතක් සැලසෙනවා. පෘථග්ජනවූ අප දෙපක්‍ෂය අතර ම යම් යම් අඩුපාඩු හිටින්නට පුළුවන්. එබඳු අවස්ථාවල දී අපේ බුදු රජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නෙ, කරුණාවෙන් ඒවා මතක් කරලා දෙන්නට කියන එකයි. එතකොට එහෙම ආශ්‍රයට වැටුණාම දායක පින්වතුන් අතර යම්කිසි දුර්වලකමක් දැක්කාම භික්‍ෂූන් වහන්සේට එ‍්ක කරුණාවෙන් පෙන්නලා දීලා හද‍ා ගන්නට පුළුවන්. ඒ වගේ ම භික්‍ෂූන් වහන්සේලා අතර හෝ යම්කිසි අඩුවක් දුටුවොත් කරුණාවෙන්, මෛත්‍රියෙන් දායක මහත්වරුන්ට ඒක කියා දෙන්නට පුළුවන්. දැන් තියෙන්නේ ඒකේ අනිත් පැත්ත නොවැ. යම්කිසි විධියකින් භික්‍ෂූන් වහන්සේලාගේ සුළු දෝෂයක් හෝ පෙනුණෙ‍ාත් පත්තරවලට ලියනවා. සඟරාවලට ලියනවා. මහ සභාවල් තියාගෙන කෑගහනවා. එකෙන් ශාසනයට යහපතක් සැලසෙන්නේ නෑ. ශාසනයට විපත්තියක් ඒකෙන් සැලසෙන්නේ. එහෙම කරුණාවෙන්, මෛත්‍රියෙන් ඔවුනොවුන්ගේ වැරදි පෙන්වමින් දෙගොල්ල ම හොඳ සම්බන්‍ධයකින් ක්‍රියා කළොත් ලොකු යහපතක් සලසා ගන්නට පුළුවන්. ඒ නිසා මේ ගිහි පින්වතුන් ඒ ගුණ හය දියුණු කර ගැනීමට භික්‍ෂූන් වහන්සේලා ආශ්‍රය කරන්නටත් ධර්ම සාකච්ඡා කරන්නට, ධර්මාවවාද ලබා ගන්නට, භික්‍ෂූන්ට උපස්ථාන කරන්නට තරයේ ම අධිෂ්ඨාන කර ගන්නට ඕනැ.
                                                                ඒ වගේ ම, මේ බුද්ධ ජයන්තිය යහතින් පැවැත්වීමට නම්, අපි දෙපක්‍ෂය ම දවසින් දවස ම ප්‍රතිපත්ති ගරුක වෙන්නට ඕනැ. ඒ නිසා අප දෙපක්‍ෂයට අයිති ප්‍රතිපත්ති මොනවාද කියලා අපි වෙන් වෙන් වශයෙන් දැනගෙන, අපි දෙපක්‍ෂය ම එයින් දියුණු වන්නට තරයේ ම අධිෂ්ඨාන කර ගත යුතු බව මා ඉතා කරුණාවෙන් මතක් කරනවා.
                               

No comments:

මාසය තුල සිත්ගත් ලිපි