ශමථ භාවනා කෙතෙක් ද?
දශකසිණ යැ, දශඅශුභ යැ, දශානුස්මෘති යැ, සතර අප්‍රාමාණ්‍ය යැ, එක ම සංඥාව යැ, චතුධාතු ව්‍යවස්ථාපන යැ, සතර ආරුප්‍යයෝ යැයි කොටස් සතරක් ඇති සතළිස් කර්‍මස්ථානයෝ ශමථ භාවනාවෝ නම් වෙති.
විදර්‍ශනා භාවනා කෙතෙක් ද?
භාවනා වශයෙන් එකෙකි. බලන ආකාර වශයෙන් අනිත්‍ය ලක්‍ෂණ යැ, දුඃඛ ලක්‍ෂණ යැ, අනාත්ම ලක්‍ෂණ යැයි තුනෙකි. ත්‍රිලක්‍ෂණ භාවනා යනු ද මීට ම නමෙකි.
ශමථ විදර්‍ශනා යන දෙ වැදෑරුම් භාවනා අතුරෙන් කෙලෙසුන් ප්‍රහීණ කිරීම විදර්‍ශනාවෙන් සිදු වුව ද ශමථ භාවනාව ඉතා අවශ්‍ය ම ය.
“තෙනහි ත්‍වං වච්ඡ, ද්වෙ ධම්මා උත්තරිං භාවෙහි සමථං ච විපස්සනං ච" - එහෙයින් වච්ඡ, ඔබ ශමථ විදර්‍ශනා යන ධර්‍ම දෙක මත්තෙහි වඩන්නේ මැනැවි, “තස්සිමෙ ද්වෙ ධම්මා යුගනද්‍ධා වත්තන්ති සමථො ච විපස්සනා ච” - මේ ශමථ විදර්‍ශනා ධර්‍ම දෙක යුගනද්‍ධ වැ පවතී. “ද්වෙමෙ භික්ඛවෙ ධම්මා විජ්ජාභාගියා, කතමෙ ද්වෙ? සමථො ච විපස්සනා ච” - මහණෙනි, අවිද්‍යාව නැති කොට විද්‍යාව - නුවණ ඇති කරන ධර්‍ම දෙකෙකි. එනම් ශමථ හා විදර්‍ශනා යනු යි. මේ හැම ප්‍රකාශයෙකින් මැ පැහැදිලි වන්නේ මෝක්‍ෂය ලැබීම මේ ධර්‍ම දෙකින් එකකින් පමණක් නොකළ හැකි බවත් මෝක්‍ෂය ලැබීමට ශමථ විදර්‍ශනා දෙක මැ එකසේ උපකාර වන බවත් ය.
විශුද්ධිමාර්‍ගය - නිවන් මග, සීල සමාධි පඤ්ඤා යන ගුණකඳු තුනෙන් යුක්ත වෙයි. මෙහි සමාධි යන්නෙන් ප්‍රකාශ වන්නේ ශමථය මැයි. බුදුරජාණන් වහන්සේ ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි සම්මාසමාධි පැහැදිලි කරන්නේ ධ්‍යාන හතර යනුවෙනි. ඒ මෙසේ ය.
“තත්ථ කතමො සම්මාසමාධි? ඉධ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීති සුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති - දුතියජ්ඣානං - පෙ - තතියජ්ඣානං - පෙ - චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති සම්මාසමාධි.”
ලෝකෝත්තර සිත්හි එකවර පහළ වන චිත්තාංග අටෙන් සම්මා සමාධිය එකෙකි. මේ අංග අටෙන් එකකුදු අඩුවෙන් මාර්‍ගචිත්තයන් පහළ විය නොහැකි ය. බුදුරජාණන් වහන්සේ සම්මාසමාධිය විස්තර කළ ආකාරය ගැන සලකා බලන විට ධ්‍යාන නැති වැ මාර්‍ගඵල ලැබිය නොහැකි ය. එහෙයින් අට්ඨ කථාවන්හි එන ශුෂ්ක විදර්‍ශක නම්, ධ්‍යාන නැත්තා නො වැ ධ්‍යානලාභී අභිඥා හා සිවු පිළිසිඹියා නැත්තා යයි ගැනීම වඩා සුදුසු ය. ධ්‍යාන ඇතත් අභිඥා නැත් නම් අහසින් යෑම ආදිය නොකළ හැකි හෙයිනි. මේ ගැන ධර්‍මධරයෝ සිතා බලත් වා!
1 comment:
great work. thanks.
Post a Comment