19 November 2011

බුදුනු අයිතිවාසිකම් වළලනු එපා

පොහොය පාළි උපෝසථ යන්නෙන් බිඳුණු ශබ්දයෙකි. උපොසථ ශබ්දය අර්ථ පසෙක් හි වැටේ.
1.      තදහු පොසථෙ පණ්ණරසෙ යන ආදි තන්හි සාමාන්‍ය දවසට වඩා විශෙෂ ශීලාදි ගුණයන් ගෙන පේවී වාසය කරන දිනයෙහි ද,
2.      ආයාමාවුසො කප්පින, උපොසථං ගමිස්සාම යන ආදි තන්හි තුදුස්වක් පසළොස්වක් දිනයන්හි මහණ මෙහෙණන් ගේ පාමොක් උදෙසීමෙහි ද,
3.      එවං අට්ඨඞ්‍ගසමන්නාගතො ඛො විසාඛෙ උපොසථො උපවුත්‍ථො යන ආදි තන්හි පෝයදා රැක්ක යුතු අෂ්ටාඞ්ග ශීලයෙහි ද,
4.      සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා ආදි තන්හි උපවාසයෙහි හෙවත් මුළුමනින් මැ නිරාහාර වැ හෝ කිරි මී පැණි මිදි යුෂ ආදිය පමණක් හෝ ගෙනැ කල් යවන ව්‍රතයෙහි ද,
5.      උපොසථො නාම නාගරාජා යන ආදි තන්හි කුලයකට තැබූ නාමයෙක්හි දැ යි යන අර්ථ පසෙක්හි උපොසථ ශබ්දය යෙදෙයි.
මෙයින් පළමු අර්ථත්‍රයය අනු වැ බෞද්ධයන් විසින් පාළි උපොසථ ශබ්දයෙහි, සිංහල පොහො සදෙහි තේරුම් උගත යුතු ය. හතර වැනි අර්ථය බාහිරක තාපසවරුන් ගේ ව්‍රතයෙක්හි ද පස් වැනි අර්ථය නාමමාත්‍රයෙහි ද වැටෙන බව සැලැකිය යුතු ය.
මේ පෝය දවස බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වන්නටත් පෙර සම්මත වූවෙකි. ඉතා පෙර - ආදිකාලයෙහි වුසූ ධාර්මික මනුෂ්‍යයෝ සැමදා මැ මෙ ලොවැ කටයුතුවල පමණක් නො යෙදී සතියකට වරක් පරලොව සුභසිද්ධිය සඳහා ආගමික වතාවත්හි යෙදුණා හ. මෙ කලැ මෙන් දින දර්ශන හා ලිත් සුලභ නැති එ කල අහසෙහි සඳ දෙස බලා සතියෙහි ආගමික දිනය හෙවත් පොහොය දැනගත් බව කිව යුතු ය. බුදුජාණන් වහන්සේ ගේ කාලය වන විට බාහිරක තාපසවරු ද පොහොය ආගමික දින හැටියට යොදාගෙනැ තිබිණි
දිනක් බුදුරජාණන් වහන්සේ වෙතට ගිය බිම්බිසාර රජතුමා ස්වාමීනි, අන්‍ය තීර්ථායතනයන්හි පොහොදා ආගමික වතාවත්හි යෙදීම සිරිතක් වැ පවතී. එය ගිහි පැවිදි සම්බන්‍ධයටත් දෙ පක්‍ෂයේ මැ යහපතටත් උපකාර වී ඇත. එ හෙයින් බුදුරජාණන් වහන්සේ බෞද්ධයනට ද පෝහෝ දිනයන්හි ආගමි වතාවත් අනුදැනැ වදාළොත් මැනැවැ යි දැන්වී ය. නිවැරදි සම්මතලවලට හා චාරිත්‍රවලට විරුද්ධ නො වූ බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි ආරාමයන්හි රැස් වන්නට නියම කළ සේක. මේ පොහෝ දිනයන්හි පන්සල්වලැ ආගමික වතාවත් පටන්ගත් සැටි යි.
අන්‍ය තාපසවරුන් ගේ ආරාමයන්හි පොහෝ දිනවලැ ධර්‍මදේශනා කිරීම සිරිතක් වැ පැවතියේ වී නමුත් බෞද්ධ ආරාමවලැ එ බඳු වැඩ පිළිවෙලක් නො වී ය. පොහෝ දිනයන්හි ධර්‍මදේශනා කිරීමෙන් ගිහි පැවිදි සම්බන්‍ධයත් දෙ පක්‍ෂයට මැ සැලැසෙන යහපතත් ගැන සැලැකූ බෞද්ධයෝ බෞද්ධාරාමයන්හි ධර්‍මදේශනා නොපැවැත්වීම ගැන දොස් කියන්නට වූ හ. මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි ධර්‍මදේශනා කරන්නට ය යි අනුදැන වදාළ හ. මේ පොහෝ දිනයන්හි  පන්සල්වලැ ධර්‍මදේශනා ආරම්හ වූ සැටි යි .
පොහෝ දිනයෙකැ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩ වෙසෙද්දී විශාඛා මහොපාසිකාවන් සාමාන්‍යයෙන් පැමිණෙන වෙලාවන්හි නො වැ මද්දහනෙහි ආරාමයට පැමිණියෙන් මේ මද්දහ‍නයෙහි කුමක් නිසා පැමිණියේ දැ යි බුදුරජාණන් වහන්සේ විශාඛාවන් ගෙන් ඇසූ හ. ස්වාමීනි, මම අද පෙහෙවස් සමාදන් වැ සිටිමි යි විශාඛාවෝ කීහ. එ විට බුදුරජාණන් වහන්සේ පොහෝ දිනයන්හි අෂ්ටාංග ශීලයෙන් පෙහෙවීම පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කළ හ. ත්‍රිවිධ උපෝෂථයන් පැහැදිළි කොට බෞද්ධයන් විසින් ආර්යුපොෂථයෙන් හෙවත් අෂ්ටාංගශීලයෙන් රහතන් වහන්සේ අනුගමනය කෙරෙමින් පෙහෙ වී ආරක්‍ෂා කළ යුතු සැටි ද ප්‍රකාශ කළ හ. සෝවාන් වූ විශාඛා මහෝපාසිකාදීන් ආවේණික ප්‍රතිපත්ති වශයෙන් මෙ සේ අටසිලෙන් පෙහෙ වී වුසුව ද සාමාන්‍ය බෞද්ධයන් අතර පොහොය දිනයන්හි සිල් සමාදන්වීම ගැන වැඩි උනන්දුවක් තුබුණු බවට ලකුණක් නැත. එහෙත් මේ දේශනාවෙන් පසු බෞද්ධ ජනතාව පොහෝ දිනයන්හි සිල් සමාදන් වැ විසීමට උනන්දු වී යැ යි කිව හැකි ය. මේ පොහෝ දිනයන්හි සිල් සමාදන් වීම ආරම්හ වූ සැටි යි.
තවද පොහෝ දිනයන්හි රැස් වන භික්‍ෂූන් වහන්සේ විසින් පාමොක් උදෙසීම කළ යුතු යයි පොහො පවුරුණු විනය කර්ම ද පොහො දිනයට මැ නියම කළ බුදුරජාණන් වහන්සේ මාසයකට යෙදෙන පොහොය හතරෙන් මෙ කලැ ව්‍යවහාරයට පැමිණ තිබෙන පුර පසළොස්වක්, මාසේ පොහොය යන ප්‍රධාන පෙ‍ාහොය පමණක් විනය කර්ම සඳහා වෙන් කළ හ. පසළොස්වක තුදුස්වක වශයෙන් එය ගණන් කොට ගන්නා සැටි ද දේශනා කළ හ. එයිනුදු වස් විසිම ද පවාරණය ද පුර පසළොස්වකට සම්බන්‍ධ කොට දේශනා කිරීම බෞද්ධයන් අතර පුර පසළොස්වක උසස් කොට සැලැකීමට හේතුවක් විය. මේ, බුදුරජාණන් වහන්සේ විසින් මැ පොහෝ දින විශේෂ ආගමික දින හැටියට සම්මත කරන ලද ආකාරය යි.
මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට ලංකාවාසීනට බුද්ධ ධර්මය මෙන් මැ බෞද්ධ චාරිත්‍ර ද ඉගැන්වූ හ. එ හෙයින් පොහොය දින ලංකාවේ ද ආගමික දින හැටියට සම්මත විය. සිංහල රජ දරුවන් ආදි බෞද්ධයන් පොහෝ දිනයන්හි අනෙක් කටයුතුවලින් බැහැර වැ ආගමික වතාවත්හි යෙදුණ බව ඉතිහාසයෙන් පෙනෙන්නට ඇත. පොහොය දින වෙලහෙළෙඳාම් කරනවුනට දඬුවම් පවා නියම කොට තුබුණු බව ශිලාලෙඛනයන් ගෙන් පෙනෙයි. බුදුරජාණන් වහන්සේ ගේ නියමයෙන් ආරම්භ වූ පොහෝ දිනයන්හි බාහිර කටයුතුවලින් නිවාඩු ගෙනැ ආගමික වතාවත්හි යෙදීම ලංකාවේ ද අවුරුදු දෙ දහසකටත් වැඩි කාලයක් නො කඩවා පැවැති බව කිව යුතු ය.
තව ද බුද්ධ ධර්මයෙහි නොයෙක් තන්හි පොහොය දින අන් කටයුතු හැරදමා ආගමික වතාවත්හි යෙදිය යුතු සැටි මනා වැ පැහැදිළි කොට ඇත. බෞද්ධයන් සිල් සමාදන් වී‍ම් ආදි ආගමික කටයුතුවලැ යෙදෙන සැටි දෙවියන් ඉතා සැලැකිල්ලෙන් බලාසිටින්නේ පොහො දිනයන්හි බව අඞ්ගුත්තර නිකායේ සූත්‍රයෙකැ සඳහන් වෙයි. මෙ සේ පොහෝ දින ආගමික දින හැටියටත් එ හෙයින් ම රැකීරක්‍ෂා වෙළෙඳාම් ආදි කටයුතු වලින් බැහැර වැ සිටින නිවාඩු දවස හැටියටත් බුදුරජාණන් වහන්සේ ගේ නියමය පරිදි ම පැවැතෙන බව නුවණැති කාටත් වැටැහෙනුවා ඇත. මේ කරුණු නිසා යි බෞද්ධයනට පොහොය දවස වැදගත් වූයේත් ආගමික කටයුතුවල යෙදීමට නිවාඩු ඉල්ලන්නේත්. පෙහොය දින නිවාඩුවට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති බව අබ මල් රේණුවක තරම් වත් මොළයක් ඇති කෙනෙකුට අවබෝධ කැරගැනීම අපහසු වෙතොත් ඔහු කොහේ නැවැත්විය යුත්තකු විය යුතු ද?
පොහොය දින නිවාඩුව පිළිබඳ මෙ තරම් පැහැදිළි වැ තිබිය දී අපේ රටෙහි ඇතැම් අතිපණ්ඩිතයන්, ඇතැම් මෝඩයන්, ඇතැම් ගැහැණුන් පවා බුදු  බණ තමනට වුවමනා පරිදි හරවාගන්නට සූදානම් වන බව පෙනේ. බුද්ධ ධර්මයෙහි දිනයෙන් උස් වන පින්කම් නැත. දිනයෙන් පිරිසුදු වන සිල් නැත. එහෙත් සිල් සමාදන් වීමට දින නියමයක් නැතැ යි සිතීම වැරදි ය. ඇතැම් අය වරද්දා අල්ලාගෙනැ තිබෙන බණ පදය මෙය යි. සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා (පිරිසුදු කතා ක්‍රියා ඇත්තාට සැමදා පුවපල් ගුණේ නැකත යි. පිරිසුදු කතා ක්‍රියා ඇත්තාට සැමදා ම පොහොය යි) යනු යි. මෙය දේශනා කළේ සුන්දරික පරිබ්‍රජකයාට ය. ඔහු පිරිසුදු වීම ගැන නෙ‍ායෙක් මිථ්‍යාදෘෂ්ටි ඇති වැ සිටි කෙනෙකි. ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි හරණය සදහා දේශනා කරන ලද ධර්‍මපාඨයක් අල්ලාගෙනැ සිල් සමාදන් වීමට පොහොය දවස අවශ්‍ය නැති හැටියට තර්ක කිරීම නුවණට සුදුසු නො වේ.
ලංකාවෙහි අවුරුදු දෙ දහසකටත් අධික කාලයක් තුබුණු පොහොය නිවාඩුව නැති කළේ 1770 වැන්නෙහි පෝක් නම් වූ ඕලන්ද ආණ්ඩුකාරයා විසිනි. මෙ සේ පොහොය නිවාඩුව වෙනස් කොට ඉරිදා නිවාඩුව ඇති කළේ වී නමුත් බොහෝ කාලයක් බෞද්ධයන් තුළ මුල් බැසගෙනැ තුබුණු නිවාඩුව ජනතාවගේ හිත්වලින් අස් කරන්නට ඉතා අපහසු විය. එහෙත් 1817 වැන්නෙහි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් තව ද පනතක් ඇති කොට දඬුවම් ද නියම කොට පෙහොය නිවාඩුව වෙනස් කරන ලදි.
බෞද්ධයන් ගේ සාධරණ ඉල්ලීම මෙය යි. නිදහස් රටක් වැ තුබුණු ලංකාව විදේශීන් විසින් බලයෙන් යටත් කැරගන්නා ලදි. එහෙත් ලංකාව දැන් නැවැතත් නිදහස් රාජ්‍යයෙකි. කලින් නිදහස් ලංකාවෙහි බෞද්ධයන් සතු වැ තුබුණු ඒ සාධාරණ අයිතිවාසිකම් නැවැත ලබාදෙන ලෙස ඉල්ලමු. ඒ අතර මැ පොහොය නිවාඩුව හින්දු භක්තිකයනට ද සාධාරණ බව කිව යුතු ය. එ සේ නම් ලංකාවේ ජනගණයෙන් සියයට අසූ හතරක් පමණ වූ හින්දු බෞද්ධ දෙ පක්‍ෂයට මැ මෙය සාධාරණ යි. බෞද්ධයන් ගේ මේ සාධාරණ ඉල්ලීමත් සමග මැ අන්‍ය ලබ්ධිකයන් ගේ සාධාරණ අයිතිවාසිකම්වලට බාධාවක් නොවන පරිදි කටයුතු කිරීමට කරුණු දැක්වීම බෞද්ධයන් ගේ තව ද සාධාරණ ලක්‍ෂණයෙකි.
පින්වත් අගමැතිනියෙනි, ඇමැතිවරුනි, දැන් නැඟීඑන බෞද්ධ ප්‍රබෝධය මහා බ්‍රහ්මයාට වත් නවත්වන්නට බැරි ය. පසළොස්වක් පොහොය පමණක් දී දැන් බෞද්ධයා රවටන්නත් බැරිය. මෙය ප්‍රමාද කිරීම අපට ඉවසා ඉන්නත් බැරි ය. එහෙයින් පොහොය නිවාඩු ඉල්ලා කරදර නොකරත් බැරිය. මෙය අපටත් මහ කරදරයෙකි. ඔබතුමන්ලාටත් මහ වදයෙකි. මෙය සිංහල බෞද්ධ රටක් බව ඔබතුමන්ලාටත් අමතක නොවෙනවා ඇත. මේ රටෙහි ජනගහණයෙන් සියයට හැත්තෑවක් පමණ බෞද්ධයන් බව ඔබතුමන්ලාට අමතක වන්නට ද ඉඩක් නැත. ඔබ තුමන්ලා පාලන බලයට පත් කිරීමට ඡන්දය දුන්නේත් ඉදිරියටත් දෙතොත් දෙන්නේත් සියයට අනූනමයක් පමණ සිංහල බෞද්ධයන් මැ බව අමතක කරන්න එපා . පොහොය නිවාඩු කිරීම පාර්ලිමේන්තුවේ දී සම්මත යෝජනාවවක් බව අමතක කන්නත් එපා.
පොහොය නිවාඩුව කිරීමේ යම් යම් අපහසුකම් ඇතොත් ඒවා නිරා කරණය කැරගන්නට හැම උපදේශයක් මැ දෙන්නට සූදානම් වැ සිටිමු. රජයට ආර්ථික පීඩාව තදින් මැ පවතින බව අපි දනිමු. රජයට සතයෙකිනුදු පාඩුවක් නොවන්න මාර්ගය කියාදෙන්නට පිළිවන. මේ අවස්ථාවෙහි දී මහදැනමුත්තා ගේ උපදෙශය වැනි උපදෙස් දෙන අය ඉන්නට පිළිවන. බෙල්ල කැඩී යා හැකි උපදෙස් දෙන බොරු හිතවතුන්ගෙන් පරිස්සම් වන්න. මේ වරත් මේ වැඩේ වැරැද්දුවොත් කාගෙන් බේරුණත් ශාසනාරක්‍ෂක දෙවියන් ගෙන් නම් බේරෙන්නට ලැබෙන්නේ නැති බව කරුණාවෙන් හිතට ගන්න.
දිනමිණ  1964.09.22

17 November 2011

අප කොතැනද? - 02


                                                     හාවංශය ආදී වංශ කථාවන්හි සිංහල ජාතියේ ආරම්භය විජය රජතුමා ගෙන් වී යයි කියතත් හැම ඉතිහාසඥයකු ම එය පිළිගන්නේ නැත. ඇතැමුන් සිංහලයා ගේ මුල රාවණා රජු තෙක් ඈතට ගෙන යන්නේ ද කරුණු ඇති වැ ය. ආරම්භය කාගෙන් කවදා සිදු වුවත් සිංහලයා ආර්ය වංශයට අයත් මනුෂ්‍ය ජාතියෙකි. මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්නට පෙරැ ද සිංහලයා සෑහෙන තරම් දියුණු ප්‍රෙ‍ෟඪ ජාතියක් හැටියට වැජඹුණු බව පණ්ඩුකාභය රජතුමා ආදීන් ගේ පුවත්වලින් පැහැදිළි වෙයි. සිංහලයා බෞද්ධ වූවාට පසු එවකට ලොවැ කිසි ම ජාතියකට දෙවැනි නොවන තරම් දියුණුවකට පත්වී ය. සිංහලයාට විශිෂ්ට ආගමක්, භාෂාවක්, කලාවක්, ඉතිහාසයක්, සංස්කෘතියක් හා ශිෂ්ටාචාරයක් ද ඇත. සිංහලයා ආගමට සේවය කෙළේ ය; භාෂාවට සේවයක් කෙළේ ය; ජාතියට සේවය කෙළේ ය‍.
                                                                               සිංහලයා ගේ ආගමික සේවාව විශිෂ්ට ය. සිංහලයා බුද්ධාගමය පිළිගත්තේ මහාපරිත්‍යාගයෙකිනි. එනම් තමන් එතෙක් කල් අදහාගෙන ආ ආගම හා ආචාර ධර්ම ස්වල්ප වශයෙන් වත් මිශ්‍ර නොකොට ඉතා පිරිසුදු වැ ය. සිංහලයා ආගමට කළ සේවාව අනුරාධපුර පොළොන්නරු ආදි ප්‍රදේශයනට ගිය කෙනෙකුට වහා ම අවබෝධ වනු ඇත. බුද්ධ ධර්මය පහළ වූයේ භාරතයෙහි ය. එහෙත් එය ආරක්‍ෂා වූයේ ලංකාවෙහි ය. කට පාඩමින් ගෙනා බුද්ධ ධර්මය බැමිණිටියා සාය කාලයෙහි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට වළගම්බා රජු ගේ උපකාරයෙන් ග්‍රන්ථාරූඪ කළෙ‍ා‍් සිංහල භික්‍ෂූන් වහන්සේ ය. අටුවා, ටීකා, අනුටීකා සකස් වූයේ ද සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමීත්වයෙනි. පාලිය භාෂාවක් හැටියට ඉගෙනීමට උවමනා නිඝණ්ඩු, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර ආදී සියල්ල ම සම්පාදනය වූයේ සිංහල භික්‍ෂූන් වහන්සේ ගේ පුරෝගාමිත්වයෙන් ම ය. මේ කරුණු නිසා බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම හා පාලි භාෂාව වර්ධනය කිරීම පිළිබඳ වැ මුළු ලෝකවාසී බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිංහලයා තමා ගේ යයි කිව යුතු කලාව, සාහිත්‍ය, භාෂාව, ආදි හැම දෙයක් ම බුද්ධාගමයෙන් පෝෂණය කැරැගත්තේ ය. සිංහලයාට බුද්ධාගමයෙන් වෙන් වූ කිසිවක් නැතැ යි කිව යුතු තත්ත්වයකට පැමිණියේ ය. බුද්ධාගමය නැතිදාට සිංහල ජාතියක් නැත්තට ම නැතැයි ශ්‍රීමත් රාමනාදන් තුමා කීවේ ද එහෙයින් ම ය.
                               සිංහලයාගේ භාෂා සේවාව ද විශිෂ්ට ය. පුරාණ ලංකා‍ෙව් අද ‍ෙමන් ඉ‍ෙගනී‍ෙම් පහසුක‍ම් ‍ෙනාවී ය. එ‍ෙහත් උගතුන් ගෙන් අඩුවක් නොවී ය. සිංහල සාහිත්‍ය දෙස බලන්න. හතුරන් විසින් වාර ගණනකට ගිනි තබා ඉතිරි වී තිබෙන පොත් ටික වුවත් කොපමණ වටිනවා ද? මේ ගත්කරුවන් අතර භික්‍ෂූන් වහන්සේ පමණක් නොවැ රජවරු ද වූහ. අද රජවරුනට කරන්නට වැඩ නැත. එදා රජවරුනට නිකම් ඉන්නට ඉඩ නැත. ඒ තරම් කටයුතු ය. ඒ දහසක් කටයුතු මධ්‍යයෙහි දී සිංහල රජවරුන් විසින් පවා ‍ලියන ලද පොත් දෙස බැලූ විට සිංහලයා ගේ භාෂා සේවාව මැනැවින් වැටැහෙනවා ඇත. මේ තරම් වටිනා පොත් ලියූ රජවරු සිංහලයන් අතර හැරැ අන් ජාතීන් අතර ඇද්දැ යි නොදනිමි.
                                                           ජාතීන්ගේ ආරක්‍ෂාව සඳහා ලක්‍ෂ ගණනින් දිවි පිදූ සිංහලයෝ ජාතික සංවර්ධනය ද ඉතා ඉහළින් ම සිදු කළ හ. සිංහලයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැන යි. අහසින් වැටෙන හැම වතුර බිඳක් ම මහජනයා ගේ ශුභ සිද්ධිය සඳහා යොදවනවා යැ යි ඇතැම් රජවරුන් කී කීම වැනි උදාර කියුම් ලෝක ඉතිහාසයෙන් සොයා ගැනීම එතරම් පහසු නොවනු ඇත. ඔවුහු උද‍ාර ලෙස කීවාක් මෙන් ම උදාර ලෙසට ක්‍රියාවෙහි ද යෙදුණෝ ය. අපේ මුතුන් මිත්තන් විසින් කරවන ලද වැව් ගණන තිස් දහස ඉක්මවා ගොස් තිබෙන්නේ එහෙයිනි. කෝටි පහකට නොඅඩු ජන සංඛ්‍යාවක් හොඳට කා බී අතිරේක ආහාර පිටරට යැවූ බව වාර්තා ගත වී ඇත්තේ ද එහෙයිනි.
                                                               සිංහලයා විසින් රෙදි කර්මාන්තය ද හොඳින් දියුණුකැරැ තුබුණු බව නොයෙක් වාර්තා කියයි. විශේෂයෙන් කාශ්මීර රටෙහි රජ බිසෝවරුන් ඇන්දේ ලංකාවේ වියන රෙදි යයි කාශ්මීර ඉතිහාසය වන රාජතරංගනියෙහි සඳහන් වේ. මහාවංශයෙහි තරම් ගිලන් හල් සූතිකාගාර ගැන සඳහන් වන අන් ඉතිහාසයක් නැතැ යි උගත්තු කියති. පොළොන්නරු මහාරෝග්‍යශාලාව තරම් උසස් ගිලන් හලක් එවකට ලොවැ කොහි වත් තුබුණේ නැත යනු උගතුන් ගේ පිළිගැනීම යි. වාරිමාර්ග ඉන්ජිනේරු ශිල්පය පිළිබඳ එවකට සිංහලයා පරදවන්නට සමත්හු ලොව නොවූහයි කියති. මේවා සිංහලයා කෙබඳු දැයි වටහාගැනීමට බින්දු මාත්‍ර සාධක ය. මේ කරුණු නිසා සිංහලයා විශ්ව කීර්තියට පත් වූ බව නොයෙක් දෙස් විදෙස් වාර්තාවලින් පැහැදිළි වේ.
                                               ලංකාව සිංහලයන් ගේ රට යි. මෙහි නෙ‍ායෙක් ජාතීන් අ‍ැතත් මහා ජාතිය සිංහල යි. එහෙත් සිංහලයා මහාජාතිය වී ඇත්තේ ජනගහනයෙන් පමණි. අනෙක් හැම කරුණෙකින් ම සිංහලයා දුර්වල කොටසක් වී ඇත. එයට ප්‍රධාන හේතුව සිංහලයාගේ අලසකම, අදූරදර්ශී භාවය හා අසමඟිය යි. අප්‍රධාන හේතුව විදේශීන් ගේ පාලන කාලයන්හි මහ ජාතිය වන සිංහලයා දුර්වල කරන්නට උපක්‍රම යෙදීම යි.
             සිංහලයා දුර්වල කොට තැබීමට යෙදූ උපක්‍රමවලින් ප්‍රධාන දෙකක් පමණක් සඳහන් කරන්නෙමි. කෙනෙකුට දියුණු වන්නට හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතු ය. එහෙත් සිංහලයාට විශේෂයෙන් සිංහල බෞද්ධයාට උසස් අධ්‍යාපනය ලබන මං අවුරා තිබිණි. උසස් අධ්‍යාපනයක් ලබන්නට උසස් අධ්‍යාපනායතන එනම්, පළමු වැනි ශ්‍රේණියේ පාසල් තිබිය යුතු ය. ලංකාවට නිදහස ලැබී කාලයක් යන තුරු ම පළමු වැනි ශ්‍රේණියේ පාසල් තුබුණේ හැට පහක් ය. එයින් තිස් දෙකක් තුබුණේ යාපනය දිස්ත්‍රික්කයේ ය. යාපනය හැර මුළු ලංකාවට ම තුබුණේ තිස් තුනකි. දැන් පළමු වැනි ශ්‍රේණියේ පාසල් වැඩි වී ඇතත් තවමත් ලංකාවේ උතුරු කෙළවරෙහි යාපනේ දිස්ත්‍රික්කයේ සියයට අනූනමයක් අසිංහල ළමයිනට උසස් අධ්‍යාපනයක් ලබන්නට පළමු වැනි ශ්‍රේණියේ පාසල් තිස් තුනක් ඇතත් ලංකාවේ දකුණු කෙළවරෙහි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට අනූ නමයක් සිංහල ළමයිනට උසස් අධ්‍යාපනයක් ලබන්නට පළමු වැනි ශ්‍රේණියේ එක ද පාසලක් වත් නැත.
                             ශිෂ්‍යයනට අධ්‍යාපනය හොඳින් දිය හැක්කේ පුහුණු ගුරුවරුනට ය. අභ්‍යාස විද්‍යාලය අතිනුත් සිංහලයාට බලවත් අසාධාරණයක් කැරැ තිබිණි. 1958 පමණ වන විට ද සිංහල මාධ්‍යයෙන් උගන්වන ගුරුවරුන් පනස් තුන් දහස් ගණනක් සිටි අතර දෙමළ මාධ්‍යයෙන් උගන්වන ගුරුවරු දහතුන් දහස් ගණනක් ගණනක් සිටිය හ. ඒ දහතුන් දාහට පුහුණු වන්නට අභ්‍යාස විද්‍යාලය අටක් තුබුණු අතර සිංහල මාධ්‍යයෙන් උගන්වන පනස් තුන් දහසක් ගුරුවරුනට පුහුණු වන්නට අභ්‍යාස විද්‍යාලය තුබුණේ නවයෙකි. සිංහලයන් දූරදර්ශී වැ සමඟියෙන් කටයුතු කළා නම් මේවා නිසි පරිදි යොදාගන්නට තිබිණි. මේ කරුණු නිසා රජයේ හා පෞද්ගලික ආයතනයන්හි ද උසස් තනතුරක දක්නට ලැබුණේ අසිංහලයෙක් ම ය. සිංහලයෙක් වී නම් හෙද අබෞද්ධයෙක් ම ය.
                                උපකෘත පාසල් රජයට ගැනීමෙන් පසු මේ තත්ත්වය තරමකට වෙනස් වී ඇත. එහෙයින් සිංහලයන් ගේ අසමඟිය නිසා විශේෂයෙන් පක්‍ෂ දේශපාලන භේදය නිසා සිංහලයා තව තවත් පිරිහෙන ලකුණු පහළ වී ඇත. දැනට රැකීරක්‍ෂා නැතියවුන් ගේ සංඛ්‍යාව අති විශාල ය. එයින් සියයට අනූපහක් පමණ සිංහලයන් විය යුතු ය. දුප්පත් ජනතාව ගෙන් සියයට අනූවක් පමණ සිංහලයෝ ය. සිංහලයාගේ මේ දුප්පත්කම අසරණකම තව තවත් උග්‍ර වන ලකුණු යි පෙනෙන්නට ලැබෙන්නේ. කවුරු කවුරුත් සිංහලයාගේ කර පිටින් රජකම් කරන්නට සූදානම් වෙති.
                                                                                                   ඉන්දියානුවනට පුරවැසිකම දෙන්නට පටන් ගත් කාලය පටන් මේ වන තුරු පුරවැසිකම් දී ඇත්තේ එක් ලක්‍ෂ පනස්දහසකට පමණ ය. එ තරම් සුළු ගණනකට ඡන්ද බලය තිබිය දී උඩරට කඳුකරයේ එක ද ආසනයක් ඉන්දියානු කම්කරු නායකයනට හිස නමන්නේ නැති වැ සිංහලයකුට දිනාගත නොහැකි ය. තව අවුරුදු කිහිපයෙකින් ඡන්ද බලය ඇති ඉන්දියානුවන් ගේ සංඛ්‍යාව ලක්‍ෂ පහක් පමණ විය හැකි ය. එවිට සිංහලයාගේ තත්ත්වය කෙබඳු වේද? මැතිවරණයක් පැමිණි විට සිංහලයාගේ භේද නිසා සිංහල දෙන්නකු තුන්දෙනකු තරඟයට ඉදිරිපත් වනු ඇත. ඔය අතරට ඉන්දියානුවකු ඉදිරිපත් වී ජය ගන්නටත් පිළිවන.
                                                                         මීට ප්‍රථම එබඳු වාරයක් තුබුණු බව අමතක කරන්න එපා. එසේ ඉන්දියානුවකු ඉදිරිපත් නූණොත් දිනන්නට පිළිවන් වන්නේ ඉන්දියානු කම්කරු නායකයනට වැඳ වැටුණු කෙනෙකුට ය. ඉන්දියානු කම්කරු නායකයන් මහ ආඩම්බරයෙන් සිටිනු ඇත. ඡන්දාපේක්‍ෂක සිංහලයා දෙකට තුනට නැමී ඇඹැරි - ඇඹරී ඔහු වෙත ළඟා වනු ඇත. ඔහු එක වරට ම පෝඩා පෝ කියා නොඑළවන්නට පිළිවන. එහෙත් යක්‍ෂයන් ගේ ප්‍රේතයන් ගේ හෝ ඡන්දය ලබාගෙන දිනන්නට බලාපොරොත්තු වන සිංහලයාට ඉන්දියානු කම්කරු නායකයන් ගේ දස පනතට ම යටත් වන්නට සිදුවනු ඒකාන්ත යි.
               සිංහලයන් පක්‍ෂ භේද අමතක කොට සමඟි වැ එක සිංහලයකු ඉදිරිපත් කළොත් සිංහ විලාසයෙන් ජය ගන්නට පිළිවන.සිංහලයන් සමඟි නොවුව හොත් නුදුරු අනාගතයෙහි උඩරට සිටින සිංහලයන් සුන් වනු ඇත. පහත රට සිටින සිංහලයනට පාත්තයා කියා බැණ - බැණ ඉන්දියානු ද්‍රවිඩයනට පාත් වෙල‍ා ඉන්නට සිදුවනු නිසැක ය.මුළු මහත් සිංහල ජනතාවට සිදු වන විපත ඊ ළඟට සිතා බලන්න. උඩ රට කඳුකරයේ ආසන ටිකක් අසිංහලයනට ගියොත් පාර්ලිමේන්තුවේ ආසන එක සිය පනස් පහෙන් පනස් පහක් පමණ අසිංහලයන් සතු වනු ඇත. සිංහලයන් බෙදී තරග කොට ඉතිරි ආසන සීයෙන් පනහකට ටිකක් අඩු වැඩි ගණනක් එක් එක් හවුල් පක්‍ෂය විසින් දිනාගනු ඇත. ඉතින් වැඩි ගණනක් දිනූ සිංහල හවුල් පක්‍ෂය රජ වන්නට අසිංහලයන් ගේ සහාය පතනු ඇත. එදාට අසිංහලයන් කේශර සිංහන් බඳු වනු ඇත. එදාට අසිංහලයන් ගේ සහාය ඉල්ලන සිංහලයනට එකසිය දස පනතක් ඉදිරිපත් කරනු ඇත. බලයට කැමැති සිංහලයා එයට යටත් වී රජකමට පත්වනු ඇත. ඉතින් සිදු වන්නේ කුමක් ද? අවුරුදු පහෙන් පහට සිංහලයන් ගේ අයිතිවාසිකම් අසිංහලයනට විකුණා කෑම යි. සිංහලයන් ගේ අසමඟිය නිසා ඒ තත්ත්වය පැමිණෙන්නට හොඳට ම ඉඩ ඇත. ඉදින් එසේ කළොත් ඔවුන් මැරී අපායට යනව‍ා ඇත. මෙහෙ‍් ජීවත් වන සිංහලයන් අපායක මෙන් වෙසෙනුවා ඇත. එවිට මුළු සිංහල ජාතිය ම අපායේ ය. මේ කාරණා පක්‍ෂ භේදයෙන් තොර වැ මධ්‍යස්ථ වැ නුවණින් සලකා බලන්නේ මැනවි. දැනට සිංහලයා ආර්ථික ආදී හැම අංශයෙකින් ම දුර්වල වී ජනගහනයෙන් පමණක් මහාජාතිය වශයෙන් පෙනී සිටී. එහෙත් පවුල් සංවිධානය නම් වූ අදූරදර්ශී වැඩ පිළිවෙල නිසා අනාගතයෙහි දී සුළු ජාතියක් නැත් නම් සම ජාතියක් වන්නට  ද පිළිවන. අසිංහලයන් ඔවුන් ගේ ජනගහනය වැඩි කරන අතර කල්ලතෝනින් වශයෙන් පැමිණෙන දහස් ගණන් ලක්‍ෂ ගණන් අසිංහලයන් මේ රටෙහි පදිංචි වෙති. සිංහලයෝ ජනගහනය අඩු කෙරෙති. මේ ක්‍රමය දිගට ගෙන ගියොත් අවුරුදු දෙතුන් සියයක දී සිංහල ජාතියේ අනාගතය කෙබඳු වේ ද? ඉදින් සිංහලයන් සමඟි නොවුවොත් අනාගතය අඳුරු යි, අඳුරුයි, අඳුරුයි. සිංහලයෙනි, සමඟි වන්න, සමඟි වන්න.

ශ්‍රී ලංකාදීප 1966.10.28

අප කොතැනද? - 01

                    කාලයට වටිනා ලිපිපෙලක් ඔබවෙත ලබාදෙන්න සිතුන මෙම ලිපි ඉතා පරණ ලිපිපෙලක් වන අතර නුතනයේ සිටින්නවුන්ට මනාව ගැලපෙන තැන්ද ඇත,කෙසෙය් වෙතත් අප සමාජය හැඩගැසී තිබෙනුයේ මෙය අහවල් පුද්ගලයා කලයුතුය කියාය එම නිසාවෙන් පිඩාවට පත්වන අහිංසක මිනිසුන් අප්‍රමාණය,රැකියා ලබාදෙන්නට ලේකන ගතකිරීම්වලට ඇතුලත් කරන්නට රැකියා ලබන්නා විරුද්ද පක්ෂිකයකුනම් ඔහුට රැකියාව ලබානොදීමට තරම් අමානුෂික තත්වයක් ඇත,රැකියාව දෙන්නෙ නම් ඔහුගෙ මුළු සංහතියම එම පක්ෂය වෙනුවෙන් කැප විය යුතුය,බහුතරයක් සිදුවන්නෙ පළමු තත්වයමය,එසේ ම පක්ෂවල බලපෑම් වලට ලක්නොවුන සිවිල් වැසියන් සිටිනුයේ ඉතා සුළු ප්‍රමානයකි,සමහරුන් පක්ෂවල අතකොලු වනතරමට බලය අසීමිතය මීට අදාල චරිත ඔබට සිහිගන්වෙනු ඇත,මෙම ලිපි පෙළ තුල කිසියම් වූ පණිවිඩයක් ඇත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් කරන ලද්දකි, 

                                         සිංහල භාෂාව ඉපැරණි ය. පැරැණි තරමට ම ප්‍රාණවත් ය, පොහොසත් ය. මෙකලැ වාග් විද්‍යාඥයන් කියන උසස් භාෂ ලක්‍ෂණයන් සිංහල භාෂාවෙහි නොඅඩුවැ ඇත.බුද්ධ ධර්මය ඉතා ගැඹුරු දර්ශනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අදහස් එලෙසින් ම ප්‍රකාශ කිරීම මෙකලැ දියුණු වැ තිබෙන ඇතැම් භාෂාවනටත් දුෂ්කර කාර්යයක් වී ඇත. එහෙත් මෙයට අවුරුදු දෙදහසකට පෙර ද සිංහල භාෂාවට ඒ හැකියාට නොඅඩුවැ ම තිබිණි. සම්පූර්ණ ත්‍රිපිටකය පාළියත් සමඟ හෙළ බසින් හදාරන්නට පිළිවන්කම තුබුණා පමණක් නොවැ, අටුවා සියල්ල ම ද හෙළ බසින් ලියැවී තිබිණ. ඉතා ගැඹුරු දර්ශනයක් ඇති දහමෙක අදහස් පැහැදිළි වැ ප්‍රකාශ කළ හැකි භාෂාවෙකින් රටෙකැ පාලන කටයුතු ගෙනැ යෑම දුෂ්කර කාර්යයෙක් නොවේ. එහෙයින් සිංහලයා රාජ්‍ය භාෂාව කිරීමට පැය විසි හතරෙකින්වත් පමා වීමක් වුවමන‍ා නොකෙරෙයි. එහෙත් රාජ්‍ය භාෂා පනත සම්මත වී අවුරුදු දහයක් ගත වී ඇතත් තව ම සිංහලය රාජ්‍ය භාෂාව වී ඇත්තේ ප්‍රකාශවලින් පමණ ය. නීති රීති සම්මත කිරීම තව ම පමා වී ඇති බැවින් නීත්‍යනුකූල වැ ලංකාව පුරා භාවිතා වන එකම රාජ්‍ය භාෂාව දෙමළ යයි කිව හැකි ය. කාගෙ ක‍ාගේත් මේ කටයුතු තමන් තමන් ගත් පක්‍ෂය හා ඒ මඟින් ලබාගත් බලය තර කැරැගන්නට විනා ජාතියට හෝ භාෂාවට හෝ හිතවත් වැ යයි සිතන්නට තරම් ලකුණු තවම දක්නට නැත.
                                                         යම් කිසි රටෙකැ ඉගැන්වීම කළ යුත්තේ ස්වභාෂා මාධ්‍යයෙන් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ලංකාවෙහි අධ්‍යාපන මාධ්‍යය ස්වභාෂා විය යුතු යයි යෝජනා කෙළේ නිදහස ලැබෙන්නටත් පෙරැ ඉංගිරිසීන් විසිනි. එහෙත් මෙයින් සිංහල බෞද්ධයා නැඟී ඒවිය යන බියෙන් හා ඊර්ෂ්‍යාවෙන් උන්මාදයට පත් බෞද්ධ විරෝධී පිරිස එයට විරුද්ධ වූහ. කෙසේ හෝ දැන් ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය දීම ඉතා වැදගත් ක්‍රියාවෙකි.
                                                            අසිංහල අබෞද්ධයෝ දූරදර්ශී වූ බැවින් තම දරුවනට ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන අතර ඉංග්‍රීසි භාෂාව අත් නොහැරියා පමණක් නොවැ, පෙ‍‍ෟද්ගලිකව වැත් සංවිධානාත්මක වැත් ඉංග්‍රීසි වඩ වඩාත් ඉගැන්වූ හ. සිංහල බෞද්ධයෝ අදූරදර්ශී වූ බැවින් හා සීමාන්තික වැ කල්පනා කිරීමෙන් ද ඉංග්‍රීසි නැති වැ බැරි ද, ඉංග්‍රීසි නැති වැ දොස්තරවරුන් ඉංජිනේරුවන් විද්‍යඥයන් වන සැටි පෙන්වන්නම් කියකියා බොරු දොඩවදොඩවා ඉංග්‍රිරිසිය ටිකෙන් ටික අත් හැරිය හ. මෙයින් සිදුවූයේ සිංහල බෞද්ධයා අන්ත ප්‍රපාතයට වැටීම යි. මේ කරුණ නුවණින් සලකා බලන්න.
මතු සඳහන් වන කොටස්වලැ දැනට ද සිංහල බෞද්ධයා සිටින්නේ ඉතා ස්වල්ප වශයෙනි. ඉදිරි අනාගතයෙහි විදේශීය තානාපති සේවාවනට සිංහල බෞද්ධයකු තේරෙන්නේ නැත. වෙනස් කමකට නෙ‍ාවැ ඉංගිරිසි නොදන්නා හෙයිනි. ඉංගිරිසි නොදැනැ ගොස් එහි පොල්ගාන්න ද? විදේශීය ශිෂ්‍යත්ව ලැබෙන්නේ නැත. උසස් දොස්තර මහත්මයකු වන්නට ලැබෙන්නේත් නැත. සිංහල බසින් ඉගෙනැ එම්. බී. බී. එස්. විභාගයෙන් සමර්ථ වන්නට නම් පිළිවන් වේවි. එහෙත් අවරදිග රටවලැ හතු පිපෙන්නාක් මෙන් කරනු ලබන සොයාගැනීම් වත් අලුත් බෙහෙත් හා අලුත් පිළියම් ක්‍රම වත් දැනැගන්නට ලැබෙන්නේ නැත‍. එකී පොත් සිංහලයට පෙරළා අවසාන වන විට ඊට වඩා අලුත් ක්‍රම සොය‍ා ඒවා කුණු කූඩෙට දමා අවසාන ය. අනෙක් අය හොඳින් ඉංගිරිසිත් ඉගෙනැ අලුත් සොය‍ාගැනීම් එදින එදින මැ දැනගෙන බෙහෙත් කරන අතර අනාගතේ දී සිංහල දොස්තර මහත්වරුනට කරන්න සිදු වන්නේ අවරදිග රටවල කුණු කූඩෙට දමන බෙහෙත් ය. මුදල් තිබෙන අය අනෙක් දොස්තර මහත්වරුන් ළඟට ගොස් අලුත් බෙහෙත් හා පිළියම් ලබා ගනිති. ලංකාවේ ධනයෙන් තව කොටසක් අසිංහල දොස්තරවරුන් අතට යයි. සිංහල දොස්තර මහතා කුණු කූඩෙට දමාපු බෙහෙත් දී ලබා ගන්නේත් දුප්පතාගේ තුට්ටු දෙකයි. සිංහල දොස්තර මහතාට ආර්ථික වාසියකුත් නැත. දුප්පත් සිංහල ලෙඩා ගේ ලෙඩ හොඳ වන්නේත් නැත. දුප්පත් සිංහලයා මැරී වඳවී යන්නත් පිළිවන. දැන් සිටින විශේෂඥ දොස්තර මහත්වරුන් ඉගෙන ගන්නා කාලයෙහි අධ්‍යාපනය දුන්නේ ඉංගිරිසි බසිනි. එසේ ද වුවත් විශේෂඥ දොස්තර මහත්වරුන් අතර සිංහලයන්, සිංහල බෞද්ධයන් කී දෙනෙකුන් සිටිනවාදැ යි සිතා බලන්න. එය එසේ නම් අනාගතය කෙබඳු වේද?
                                                            සිංහල මාධ්‍යයෙන් ඉගෙන නීති විභාගයෙන් සමර්ථ වන්නට පිළිවන. එහෙත් උසස් නීතිවේදියකු නම් වන්නට ලැබෙන්නේ නැත. නීති ග්‍රන්ථ හා විශේෂ නඩු තීන්දු පළවී තිබෙන්නේ ඉංගිරිසියෙන් හෙයිනි. දැනට ද අලුත්කඩේ උසාවියට ගිය කෙනෙකුට දක්නට ලැබෙන්නේ සියයට අසූවක් පමණ අසිංහල මුහුණු ය. ලොකු නඩුවල දී සිංහලයා වැරැදිකාරයා කොට හිරේ යවන්නටත් අසිංහලයා නිවැරදිකාරයා කොට හිරෙන් බේරන්නටත් කතා කරන්නෝ අසිංහලයෝ ම ය.
                                                                     දැන් තත්ත්වයත් මෙහෙම නම් සිංහලෙන් නීතිය ඉගෙනැ නීතිවේදීන් වූ දාට සිංහලයාගේ තත්ත්වය කෙබඳු වේද? ඉංජිනේරු විද්‍යාව හා නවීන විද්‍යාවත් සිංහලයෙන් ඉගෙනැ උපාධිධරයන් වන්නට පිළිවන. එහෙත් ඒ පිළිබඳ විශාරදයන් වන්නට ලැබෙන්නේ නැත. කාර්මික ආයතනවල ද ඉඩ ඇහිරෙනු ඇත. ලොකු වෙළඳ ආයතන සියයට අනූවක් පමණ අසිංහල අබෞද්ධයන් අතේ ය. සිංහලයාට ඒ තැන්වල ඉඩ ලැබෙන්නේ ද නැත. දැන් විශ්වවිද්‍යාලයයෙහි ස්වභාෂායෙන් උගන්වන්නේ වී නමුත් ලංකා සමාජ සේවා විද්‍යාලයයෙහි අධ්‍යාපනය දෙනු ලබන්නේ ඉංගිරිසියෙන‍් බව සැළ යි. දැනුත් සිංහල බෞද්ධයා කොන් කැරැ ඇති ඒ විද්‍යාලයයට අනාගතයේ දී සිංහලයකුට ඇතුළු වන්නට ලැබෙන්නේ නැත. අසිංහල අබෞද්ධයනට ඉංගිරිසි දැනුම පමණක් නො වැ කාර්මික හා සාමාන්‍ය රැකී රක්‍ෂා පුහුණුවට ද ස්ථාන ඇත. සිංහලයාට එබඳු ස්ථානත් නැත. යම් කිසි රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට එන විට අසිංහල අබෞද්ධයන් පුහුණුවක් ලබා එන අතර සිංහලයා නිකම් ම ගෙදර සිට පැමිණෙයි. වැඩි සුදුසු කම් හා පුහුණුවක් ඇති අසිංහල අබෞද්ධයාට රැකියාව ලැබන අතර සිංහලයා ගමන් වියදම සඳහා ණයට ගත් මුදල ගෙවන්නේ කෙසේ දැ යි සුසුම් හෙළමින් ආපසු ගෙදර යයි.
                                                                      මේ කරුණ ලියන විට ඔය එන්නේ නැවැතත් ඉංගිරිසියට තැන දෙන්නැයි වරදවා සිතන්නත් එපා. අහිංසක සිංහලයා මුළා කරවන්නත් එපා. අධ්‍යාපනය ස්වභාෂාවෙන් කරන අතර අප ජීවත් වන්නේ විසි වැනි ශත වර්ෂයේ ලෝකයෙකැ යි සිතා වත් ඉංගිරිසි හොඳට ම උගන්වන්නට පිළියෙළ කරන්න. අප ඔය දෙමළගේ භාෂාව ඉගෙන ගන්නේ නැත. එයින් සිදුවන්නේ දැන් තිබෙන තත්ත්වය අනුවැ උතුරු නැගෙනහිර පළාතකට රැකියාවක් වශයෙන් වත් යන්නට නොලැබීම යි.
ළමා කාලයෙහි භාෂා ඉගෙනීම ඉතා පහසු ය. පාසලේ දී භාෂා තුන හතරක් උගන්වන රටවල් ඇත. එහෙයින් සිංහල ළමයිනට සිංහල හා ඉංගිරිසි පමණක් නොවැ දෙමළ ද ඉගැන්වීම වරදක් නොවේ. බුද්ධ ධර්මය අනුවැ විවිධ භාෂා ඥාණය රහත් වන ජාතියෙහි සිවුපිළිසිඹියා  නුවණ ලැබීමට ද උපකාර වෙයි. එය කෙසේ වෙතත් දැන් තිබෙන තත්ත්වය අනුවැ සිංහලයන් සෑහෙන සංඛ්‍යාවක් වත් දෙමළ ඉගෙන ගත්තේ නැත්නම් උතුරු නැගෙනහිර පළාත් නිකම් ම දෙමළ අයට වෙන් වෙනවා ඇත. ඔවුන් බලාපොරොත්තු වන පෙඩරල් රාජ්‍යය ඉබේ ම ලැබෙනවා ඇත.
                            මේ කරුණු හොඳින් නුවණින් සලකා බලන විට අනාගතයේ දී සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර උසස් දොස්තර කෙනෙකු උසස් නීති වේදියකු උසස් ඉංජිනේරුවකු උසස් විද්‍යාධරයකු පහළ වන්නට ඉඩක් නැති බව පැහැදිළි වැ වැටැහෙනවා ඇත. එසේ ම උසස් කාර්මිකයකු රජයේ හෝ අන් සංස්ථාවක හෝ මාණ්ඩලික නිලධරයකු වන්නට ඉඩ නොලැබෙනු ඇත. ජාතියට භාෂාවට වඩා පක්‍ෂය දෙස බලා, ගන්නා ලද ක්‍රියා මාර්ග නිසා ගුරුවෘත්තිය හැර සාමාන්‍ය රැකියාවන් අතරෙනුත් අනාගතයේ දී සිංහලයනට ලැබෙන්නේ සියයට විසි පහක් පමණ ය. ඒ දෙපළාතේ සේවයට එක ද සිංහලයකුත් උවමනා නැත.
                               ලංකාවේ අනෙක් පළාත්වලැ සිටින ද්‍රවිඩයන්ගේ කටයුතු දෙමළ බසින් ම කළ යුතු වැ ඇත. සිංහලයන් දෙමළ ඉගෙනැ ගන්නේ නැති නිසා ඒ සේවය සඳහා දෙමළ සේවකයෝ උවමනා වෙති. කන්ද උඩරට ඌව - සබරගමු යන පළාත්වලැ ද්‍රවිඩයන් සිටින ප්‍රමාණය අනුවැ සමහර විට සියයට හතළිහක් පණහක් පමණ දෙමළ සේවකයන් උවමනා විය හැකි ය. කොළඹට නම් සියය‍ට පණහකට වැඩිගණනක් දෙමළ සේවකයන් උවමනා වනු නොඅනුමාන යි. වවුනියාවෙන් ඉහළට සිංහලයනට බිම් අඟලක් වත් නැතැ යි කීම සත්‍ය ද? එය සත්‍ය වුවත් අසත්‍ය වුවත් ද්‍රවිඩයනට ලංකාව පුරා ම ඉඩ කඩම් දේපල ඇති බව නම් සත්‍යයෙකි. ගාල්ල මාතර වැනි ද්‍රවිඩයන් අඩු පළාත්වලැ ද ඉන්නා අයගේ කටයුතු දෙමළ බසින් ම කළ යුතු වැ ඇත. ලංකාවේ එබඳු පළාත් රාශියෙකි. ඒ පළාත්වලැ සිටින ද්‍රවිඩයනට සේවය කිරීම සඳහා දෙමළ සේවකයන් සියයට විස්ස තිහ ගණනේ උවමනා විය හැකි ය. මෙසේ ගණන් හදා බලන්න. ලංකාවේ රැකියාවන් සියයට විසි පහකුත් සිංහලයාට නොලැබෙන්න පිළිවන. මේ ගැන දෙමළ සහෝදරයනට ස්වල්ප වශයෙන් හෝ දොස් කිව යුතු නොවේ. අනුන් ගේ රටකට අවුත් ගුටි බැට කාගෙනැ, වද හිංසා පීඩා විඳ‍ෙගනැ, එසේ ම ඒ සියල්ල ඉවසාගෙනැ, දූරදර්ශී වැ බුද්ධිය මෙහෙයව‍ා, ටිකෙන් ටික රට අල්ලාගෙනැ, අනාගතයේදී රටේ සම්පූර්ණ බලය අල්ලාගැනීමේ මාර්ගයෙකැ ගමන් කරන දෙමළ සහෝදරයනට වැඩේ වැරදි වුවත් කරන පිළිවෙල ගැන ප්‍රශංසා කට යුතු ය.

16 November 2011

බෞද්‍ධ පවුල් ජීවිතය


                         බෞද්ධයන් වෙසෙන ගෙදර බෞද්ධ ගෙදර නම් වේ. මෙහි බෞද්ධ ය යි කීවේ නමින් නො ව ක්‍රියාවෙන් හා ගුණයෙන් හා බෞද්ධ වූවනට ය. බෞද්ධ නාමයක් තුබුණු පමණින් හෝ බෞද්ධ කුලගෙයක උපන් හැදුණු වැඩුණු පමණින් හෝ බෞද්ධ දෙමවුපියන් ගේ දරුවකු වූ පමණින් හෝ කෙනෙක් බෞද්ධ නො වෙති. බෞද්ධ ගෙයක උපන් පමණින් බෞද්ධයා යැ යි කියනුවා නම් බෞද්ධ ගෙවල උපදින තිරිසන් සත්නට ද, “බෞද්ධ බල්ලෝ - බෞද්ධ බළල්ලු” ය යි කිව යුතු නො වේ ද? බෞද්ධ ගෙදරක හැදුණු වැඩුණු පමණින් හෝ බෞද්ධයා යැ යි කියනුවා නම් බෞද්ධ ගෙවල හැදෙන වැඩෙන ගස් වැල් ආදියට ද, “බෞද්ධ වම්බොටු - බෞද්ධ මිරිස්” ය යි කිව යුතු නො වේ ද? එය එ සේ නොකියනුවා නම් යටැ කී කරුණු අනුව පමණක් කෙනකුට බෞද්ධයා යැ යි කියන්නේ කෙසේ ද? එය කිසිසේත් සුදුසු නැත. එ හෙයින් බෞද්ධයා යැ යි කිව යුත්තේ බෞද්ධ ප්‍රතිපත්ති ඇත්තාට ම ය. තෙරුවන් සරණ ගිය බෞද්ධයකුට අඩු ම ගණනේ පන්සිල් හා ශ්‍රද්ධා - ශීල - ශ්‍රැත - ත්‍යාගාදි ගුණයන් වත් තිබිය යුතු ය. එ බඳු බෞද්ධ ප්‍රතිපත්තීන් ගෙන් යුක්ත තැනැත්තන් වාසය කරන ගෙදර ම බෞද්ධ ගෙදර වේ.
මෙ සේ තම නිවෙස බෞද්ධ නිවසක්, වාසනාවන්ත ගෙදරක් කර ගැනීමට ගෙදරක සිටිනා සෑම දෙනා ම ආධාර විය යුතු ය. ඊට ප්‍රධාන වගකිය යුත්තේ අඹුසැමි දෙදෙනා වන බැවින් ඒ දෙදෙනා මුල් කැර ගෙන බුදුරජාණන් වහන්සේ සියලු පවුල් සතරකට බෙදා දැක් වූ හ.

පවුල් සතර

මරණින් මතු ලැබෙන අපාය හා දිව්‍යලෝකය ගැන ආගමයෙහි උගන්වා තිබේ. එහෙත් එය සමහර සමයවල උගන්වන අපාය සහ දිව්‍යලෝකය මෙන් සාර්‍වකාලික - සදහට ම නොවෙනස් ව - එක සේ පවත්නේ නො වේ. සියලු සංස්කාර ධර්‍මයන් අනිත්‍ය බැවින් එය ද කලෙක දී නැති වී යයි.
බුද්ධධර්‍මයේ හැටියට තම ගෙදර ම අපාය හෝ දිව්‍යලෝකය හෝ කැර ගත හැකි ය. සත්මහල් ප්‍රාසාදයෙක වුව ද ඉන්නා පිරිස තුළ ගුණ ධර්‍මයක්, ඔවුනොවුනට ප්‍රේමයක් හෝ සමඟියක් හෝ නැත් නම් ඒ ගෙදර අපායෙකි, හෙවත් නියම සැපතක් නැති තැනෙකි. අතුපැලෙක වුව ද ඉන්නා පිරිස ගුණදහමින් යුක්ත නම්, ඔවුනොවුන් ප්‍රේමයෙන් හා සමගියෙන් සම්පූර්‍ණ නම් ඒ පැල ඒකාන්තයෙන් ම දිව්‍යලෝකයෙකි, හෙවත් හිතට සැප ඇති තැනෙකි.
“සුද්ධිඅසුද්ධි පච්චත්තං
නාඤ්ඤො අඤ්ඤං විසොධයෙ.”
(ධම්මපදය)
“පිරිසුදු අපිරිසිදු
බව් තම තමා වෙත මැ යැ

අනෙකෙක් අනෙක් කෙනකුන්
පිරිසුදු කළ නො හේ මැ යැ”
“අත්තනා කුරුතෙ ලක්ඛිං
අලක්ඛිං කුරුත’ත්තනා
න හි ලක්ඛිං අලක්ඛිං වා
අඤ්ඤො අඤ්ඤස්ස කාරකො”
(සිරිකාළකණ්ණි ජාතකය)
“තම හට සිරි නොසිරි
කැරැ ගන්නේ තෙමේ මැ යැ
අනෙකෙක් අන් එකකු හට
සිරි හෝ නොසිරි නො කෙරේ.”
යන මේ ධර්‍මන්‍යායයන් අනුව තම නිවෙස අපාය හෝ දිව්‍යලෝකය හෝ කැර ගන්නේ තමන් - ගෙදර සිටිනවුන් විසින් ම ය. බැහැර සිටියකුට එය නම් නොකට හැකි ම ය.
බුද්ධධර්‍මය අනුව අප ජීවත් වන්නේ හෙවත් අපේ ජීවිතය පවත්නේ එක මොහොතෙක ම ය. අතීත ක්‍ෂණයන්හිත් නො ව අනාගත ක්‍ෂණයන්හිත් නො ව දැන් පවත්නා - වර්‍තමාන ක්‍ෂණයෙහි ය. අතීත ක්‍ෂණ ගත වී ඉවර හෙයිනුත් අනාගත ක්‍ෂණ ගැන විශ්වාසයක් තැබිය නොහැකි හෙයිනුත් ඒකාන්ත බලාපොරොත්තුවක් තැබිය හැක්කේ වර්‍තමාන ක්‍ෂණය ගැන පමණ ය. එ සේ ම අතීත ජාති ගැන දැන් සිතීමෙන් වැඩක් නැත. මතු ජාතියක් ඇත ද එය සැපවත් කැර ගැනීමට පින් කට යුතු වුව ද, එය කවර ආකාරයෙකින් වේ දැ යි කිව නොහැකි හෙයින් නුවණැත්තන් විසින්, මේ ලැබූ ජාතිය තරම් වාසනාවන්ත උපතක් සමහර විට නිවන් දකින තුරු නො ලැබිය හැකි ය යි සිතා ජීවිතය ම සර්‍වප්‍රකාරයෙන් සාර්ථක කැර ගන්නට උත්සාහ දැරිය යුතු ය.
එ සේ නම් ගිය ජාති ගියාවේ. එන ජාති ආවාවේ. මතු ජාතියෙහි ස්වර්ගය ලැබුණොත් ලැබුණාවේ. එය ස්ථිර නැති නිසා බුදුරජාණන් වහන්සේ දෙශනා කළ අයුරින් පිළිපැදැ තම නිවෙස ම දිව්‍යලෝකයක් කැර ගත යුතු ය. පහත සඳහන් පවුල් සතර විස්තර කරන තැන යෙදූ මළ මිනිය යන අර්ථය ඇති ‘ඡව’ ශබ්දයට තේරුම් ගැනීමේ පහසුව සඳහා ප්‍රේත ශබ්දය අර්ථ වශයෙන් යොදන බව සැලැකිය යුතු ය.

1.    ප්‍රේතයකු ප්‍රේතියක හා වෙසෙන පවුල

උභො ච හොන්ති දුස්සීලා - කදරියා පරාභාසකා
තෙ හොන්ති ජානිපතයො - ඡවා මංවාසමාගතා
යම් පවුලෙක භාර්යාව, ස්වාමිපුරුෂයා යන දෙදෙනා ම දුශ්ශීලයෝ ද හෙවත් තමනට අයත් පන්සිල් ආදි සිල් නැත්තෝ ද, තද මසුරෝ ද, නිතර ඔවුනොවුන් බැණ ගන්නා ස්වභාවය ඇත්තෝ ද, එ සේ ම ගුණවතුන් - සිල්වතුන් බැණ වදිද් ද, එ සේ වූ අඹුසැමියෝ ගුණ මළවුන් බැවින් මළ තැනැත්තෝ ය, එක් ව වාසය කරන ප්‍රේතයකු ප්‍රේතියක වැන්නෝ ය. මේ ලෝකයෙහි සිටින අවාසනාවන්ත ම පවුල ය. ධනසම්පත් ආදිය නොඅඩු ව ඇතත් මෙ බඳු අඹු සැමියනට නම් නියම සැපතක් නැත. පිටතට නොපෙනෙන්නට ඉතා අමාරුවෙන් වසාගෙන සිටිතත් ඔවුන් ගේ හිත් නම් දුකෙන් පිරිලා ය.

2.    ප්‍රේතයකු දෙව්දුවක හා වෙසෙන පවුල

සාමිකො හොති දුස්සීලො - කදරියො පරිභාසකො
භරියා සිලවතී හොති - වදඤ්ඤු වීතමච්ඡරා
සා පි දෙවී සංවසති - ඡවෙන පතිනා සහ
යම් පවුලෙක ස්වාමිපුරුෂයා දුශ්ශීල ද, තද මසුරු ද, නිතර කිපී බණින ස්වභාවය ඇත්තේ ද, එහෙත් භාර්යාව තමනට අයිති ශීලයෙන් සිල්වත් ද, දුප්පත් අසරණයන් ගේ වචන දැනැ ඒ ඒ අවස්ථාවෙහි දෙනසුලු වේ ද, මසුරු ගති යට පත් කොට ඇත්තී ද, එය ගුණවත් බැවින් දෙව් දුවක වූ භාර්යාවක සමඟ නිර්ගුණ ප්‍රේතයෙක් වෙසේ යැ යි කිව යුතු පවුල වේ. මේ පවුල ද ඒ තරම් වාසනාවන්ත නැත.

3.    දෙවියකු ප්‍රේතියක හා වෙසෙන පවුල

සාමිකො සීලවා හොති - වදඤ්ඤු වීතමච්ඡරො
භරියා හොති දුස්සීලා - කදරියා පරිභාසිකා
සා පි ඡවා සංවසති - දෙවන පතිනා සහ
යම් පවුලෙක ස්වාමිපුරුෂයා තමනට අයත් ශීලාදි ගුණයෙන් යුක්ත ද, දිය යුතු තැන දීමට පුරුදු ද, මසුරු කම් යටපත් කොට වෙසේ ද, ඒ තැන ම භාර්යාව දුශ්ශීල ද, දිය යුතු තැන නොදෙනසුලු වේ ද, නිතර කිපී ස්වාමියා හා වෙනත් නොයෙක් දෙනා හෙළා තළා කතා කරනසුලු වේ ද එ බඳු වූවන් වෙසෙන තැන ගුණවත් බැවින් දෙවියකු බඳු වූ ස්වාමිපුරුෂයකු හා නිර්ගුණ භාර්යාවක වූ ප්‍රේතියක වෙසෙන පවුල වේ. මේ පවුල ද එ තරම් වාසනාවන්ත නො වේ.

4.    දෙවියකු දෙව්දුවක හා වෙසෙන පවුල

උභො සද්ධා වදඤ්ඤූ ච - සඤ්ඤතා ධම්මජීවිනො
තෙ හොන්ති ජානිපතයො - අඤ්ඤමඤ්ඤං පියංවදා
යම් පවුලෙක අඹුසැමි දෙදෙනා සැදැහැ ඇත්තෝ ද, දිය යුතු තැන දීමට පුරුදු ද, ශීලාදි ගුණයන් ගෙන් යුක්ත බැවින් තැන්පත් ව වෙසෙත් ද, කොතෙක් ලාභ ලැබිය හැකි වුවත් අයුතු මාර්ග අත් හැරැ දැහැමින් ජීවත් වෙත් ද ඒ අඹුසැමියෝ ඔවුනොවුනට ප්‍රිය මනාප කතා ඇත්තෝ ය. මෙය ගුණයෙන් උසස් වූ දෙවියකු හා දෙව්දුවක වෙසෙන පවුල වේ. මේ පවුල ඉතා වාසනාවන්ත ය. මෙ බඳු අඹු සැමියෝ කයට මෙන් හිතට ද සැප ඇති ව වසන්නෝ වෙති.


ආදර්‍ශවත් පවුලක්

                         බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි දඹදිව භග්ග නම් රට සුංසුමාර ගිරියෙහි ගුණවත් ආදර්ශවත් අඹුසැමි යුවළක් වුසූහ. මේ දෙදෙනාට නකුල නම් පුතෙක් වි ය.  එ හෙයින් ඒ දෙදෙනා නකුලපිතා (නකුල ගේ පියා)නකුලමාතා (නකුල ගේ මව) නමින් ප්‍රකට වූහ. මේ දෙදෙනා තරුණ කාලයේ දී ම බුදු රදුන් ගේ බණ අසා සෝවාන් වූහ. දෙදෙනා ම ශ්‍රද්ධා ශීලාදි ගුණයන් ගෙන් යුක්තයහ. ඔවුනොවුනට ප්‍රියයහ, මනාපයහ.
දිනක් මේ දෙදෙනා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැඳැ එකත් පසෙක සිට නකුලපිතා මෙ සේ කි ය
: ‘ස්වාමීනි, මේ නකුලමාතාව හා මා එක් ව වාසයට පැමිණියේ ඉතා තුරුණු වියෙහි දී ය. එ දා පටන් මේ වන තුරු අපේ කිසි ම අමනාපයක් නො වී ය. මෙ තෙක් කලකට මා නරක සිතිවිල්ලක් වත් ඇති කර ගත්තේ නැත, අන් ස්ත්‍රියක දෙස නුසුදුසු බැල්මෙකින් බැලුවේ වත් නැත, එ බඳු තැන නරක ක්‍රියා ගැන කවර කතා ද? මෙ සේ හෙයින් මම මේ ජාතියේ පමණක් නො ව මතු ජාතීන්හි ද මේ නකුලමාතාව හා එක් ව වාසයට කැමැති වෙමි’. එ විට නකුලමාතාව ද ‘ස්වාමීනි, ඉතා තුරුණු වියෙහි දී එක් ව වාසයට පැමිණි අපේ කිසි විටෙක වත් අසමගියක් අමනාපයක් නො වී ය. මෙ තෙක් කලකට මා ද නරක සිතිවිල්ලක් වත් ඇති කැර ගත්තේ නැත. වැරදි බැල්මෙකින් පරපුරුෂයකු දෙස බැලුවේ වත් නැත. එ බඳු තැන නරක ක්‍රියා ගැන කවර කතා ද? මෙ සේ හෙයින් මම ද මේ ජාතියේ පමණක් නො ‍ව මතු ජාතීන්හි ද මේ නකුලපිතා හා එක් ව වාසයට කැමති වෙමි’ යි කීවා ය.
බුදුරජාණන් වහන්සේ ද දෙදෙනාට ම ප්‍රශංසා කොට හොඳ අඹුසැමි යුවළක් වෙතොත් මේ නකුලපිතා හා නකුලමාතාව මෙන් වාසය කට යුතු ය යි වදාරා මේ දෙදෙන ආදර්ශයට ගත යුතු පවුල ලෙස ද වදාළහ. තවත් දිනක් නකුල පියා ලෙඩ වී ඉතා දුර්‍වල අසාධ්‍ය තත්ත්වයට පැමිණි අවස්ථාවෙහි ගුණවත් නකුල මව ගුණවත් ස්වාමිපුරුෂයා වෙතට ගොස් තමන් ගුණ කියමින් සිත සනස්වමින් සතුටු කරවමින් හිමියා ගේ හිතට ශක්තිය දෙන්නට වූවා. එ සේ ලැබූ මානසික බලය නිසා නකුල පියා සුවපත් වී ය. ඊට පසු දිනෙක බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් මේ පුවත සැළ කොට එ කී ගුණ තම භාර්යාව වෙත ඇද්දැ යි නකුල පියා ඇසී ය. බුදුරජාණන් වහන්සේ ද, “එ සේ ය, ඊටත් වඩා ගුණ ඇත්තේ යැ” යි ප්‍රකාශ කළහ.
යට කී ලෙස පවුල් සතරෙහි ලක්‍ෂණ ප්‍රකාෂ කළ බුදුරජාණන් වහන්සේ සතරවනු ව කී යහපත් පවුලට මෙ ලොව හා පරලොව වශයෙන් ලැබෙන අනුසස් ද දෙශනා කළහ.
අත්‍ථා සම්පචුරා හොන්ති - ඵාසත්ථං උපජායති
අමිත්තා දුම්මනා හොන්ති - උභින්නං සමසීලිනං,
ඉධ ධම්මං චරිත්‍වාන - සමසීලබ්බතා උභො
නන්‍දිනො දෙවලොකස්මිං - මොදන්ති කාමකාමි නො.
(අංගුත්තර - චතුක්ක නිපාතය)
සතරවනු ව කී හොඳ ම පවුලක් ව වාසය කරන අඹු සැමි දෙදෙනාට අර්ථයෝ (දියුණුව - ධනය) බොහෝ වෙත්. සම වූ සිල් - පැවැතුම් ඇති ඔවුනට ගෙදර පහසුවෙන්, ප්‍රේමයෙන් හා සමඟියෙන් විසිය හැකි වේ. ඔවුන් ගේ යහපත් පැවැත්ම නිසා සතුරනට නපුරක් - විපතක් නොකළ හැකි වේ. එ හෙයින් සතුරෝ නොසතුටු සිත් ඇත්තෝ වෙත්. සමාන වූ ශීලව්‍රත ඇති ඒ අඹුසැමි දෙදෙනා මෙ ලොව ධර්‍මයෙන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කොට මරණින් මතු දිව්‍යලෝකයෙහි තමන් කැමැති කැමැති සම්පත් විඳිමින් සතුටු වන්නාහ.

නන්දිය නම් වෙ‍ළෙඳ මහතා

පූර්‍වයෙහි ශ්‍රී ලඞ්කාද්‍විපයෙහි නන්දිය නම් වෙළෙඳ මහතෙක් වී ය. ඔහු තෙරුවන් සරණ ගිය ගුණවත් සිල්වත් උපාසක මහතෙකි. ඔහු හා ගෘහබන්ධනයට ඇතුළත් වූ සුරූපී තරුණ කාන්තාව රූපසෞන්දර්යයෙන් මෙන් ම ගුණ සපුවෙන් ද නොඅඩු වූවා. මෙ සේ දෙදෙනා දැහැමින් සෙමෙන් හා ගුණදහමින් යුතු ව වෙසෙන අතර ස්වාමිපුත්‍රයාට වෙළෙඳාම සඳහා බැහැරට යන්නට සිදු වී ය. හේ සියලු කටයුතු සම්පාදනය කොට තබා දියයුතු අවවාද ද දී නැව් නැගී පිටරට ගියේ ය. හොඳ ගුණවත් භාර්යාවෝ තම ස්වාමියා රටින් බැහැර ගියේ ද තමන් ගේ බ්‍රහ්මචර්යය වත් අනෙක් යහපත් පැවැතුම් වත් වෙනස් කැර නො ගනිති. මේ වෙළෙඳ භර්යාව ද හිමියා බැහැරට ගොස් තුන් අවුරුද්දක් ගත වූයේ නමුදු තම ගුණවත් බවේ මඳකුදු අඩුවක් ඇති කැර නොගත්තී ය.
එ කල්හි වුසූ රජතුමා සිව නම් අමාත්‍යයකුට මේ වෙළෙඳ භාර්යාව වාසය කරන පළාත පාලනය කිරීමට පැවැරී ය. ඔහු ඒ නගරයට පැමිණෙන උත්සවයෙහි දී මුළු නුවර ම අලඞ්කාර කොට සරසා එහි ස්ත්‍රී පුරුෂයෝ ද ඇඳ පැළැඳ සැරසී සිටියහ. ස්වභාවයෙන් රූමත් වෙළෙඳ භාර්යාව අලඞ්කාර ඇඳුම් පැළැඳුම් නිසා පුහුදුන් පුරුෂයන් මුළා කරවන තරම් වූවා. සිව නම් අමාත්‍යයා ද නුවර සිරි බලමින් වීථි සංචාරය කරන අතර රූමත් වෙළෙඳ භාර්යාව දැක කාමයෙන් අන්ධ ව ඇය භාර්යාව කැර ගන්නට සිතී ය. තම නිවෙසට ගිය ඇමැතියා වෙළෙඳ භාර්යාව ගේ ස්විමිපුරුෂයා රටින් බැහැර ගොස් සිටින බව දැනැ දුත ස්ත්‍රියක අත පඬුරු ද සමඟ තම අදහස් ද කියා එවී ය.
මේ ගුණවත් වෙළෙඳ භාර්යාව පඬුරු ද ආපසු හරවා ආගම හොඳින් දැනැ ඉගෙන සිටි හෙයින් ධර්‍මයෙහි සඳහන් වන පරිදි කාමයන් ගේ ආදීනව නන් ලෙසින් කියා ඇරියේ මෙ සේ ය:
“කායො’යං කුණපෙ ජාතො - කුණපො කුණපෙ රතො
ඉන්‍දජාලකරූපො’ව - බාලානම’භිපත්‍ථිතො.
අමෙජ්ඣපොත්‍ථකො චායං - චින්තිතො බාලනන්‍දිතො
ද්‍වත්තිංසවිධ කොට්ඨාසො - කෙසලොමාදිකො අයං.”
මේ ශරීරය මුතු මැණික් ආදි වටිනා දැයෙන් නිමියේ නො වේ. සුචිපවිත්‍ර තැනෙක උපන්නේත් නො වේ. මවු කුස නමැති අපවිත්‍ර ස්ථානයෙහි පණුවකු මෙන් උපන්නේ ය. මෙ සේ උපන්නා වූ මුළා වූ පුරුෂයෝ තමාටත් වඩා මාතුගාම නමැති කුණපයෙහි ඇලුම් කරන්නෝ ය. ඉන්ද්‍රජාලයෙහි පෙනී ගිය රූපයක් වැනි මේ අස්ථිර අසාර කය අඥානයෝ ශුභ දෙයෙකැ යි ප්‍රාර්ථනා කෙරෙති. මේ ශරීරය කෙස් ලොම් ආදි දෙතිස් කුණපයෙකින් යුක්ත හෙයින් ඇතුළේ අසුචි පුරවා පිටත සිතියම් කළ රූපයක් වැනි ය. එහෙත් අඥානයෝ මීට ප්‍රිය කෙරෙති.
මෙ සේ කියා යැවුයේ වී නමුත් කාමයෙන් ආතුර ව සිටි අඥාන ඇමැතියා දෙවනු තෙවනු ව ද වඩ වඩාත් පඬුරු දී දුත ස්ත්‍රිය එවී ය. නුවණැති ගුණවත් වෙළෙඳ භාර්යාව ඊට ද පිළිතුරු යවන්නී:
“දුග්ගන්‍ධො අසුචී කායො - කුණපො උක්කරූපමො
නින්‍දිතො චක්ඛුභූතෙහි - කායො බාලාභිනන්‍දිතො.
අල්ලචම්ම පටිච්ඡන්නො - නවද්‍වාරො මහාවණො
සමන්තතො පග්ඝරති - අසුචී පූතිගන්‍ධියො.
ආගන්තුකෙන කායො’යං - අලංකාරෙන මණ්ඩිතො
රාගන්‍ධකත චක්ඛූනං - සුභරූපංව දිස්සති.”
මේ ශරීරය ඉතා දුර්‍ගන්ධ ය, අපවිත්‍ර ය, පණුවන් වැහෙන කුණපයක් වැනි ය, කුණුකසළ ගොඩක් ද වැන්න. නුවණැතියන් විසින් නින්දා කරන ලද්දා වූ මේ කය මෝඩයනට නම් සන්තෝෂ උපදවන්නේ ය. දෙතිස් කුණප කොටසින් ගහන ව තෙත් ගතිය ඇති සමකින් වසන ලද ඇස්, කන, නාසාදි නව දොර නමැති මහා වණ මුඛවලින් දුර්‍ගන්ධ අසුචි වහනය වන්නේ ය. මේ ශරීරය බාහිර අලඞ්කාරයන් ගෙන් සරසන ලද්දේ අඥාන සත්ත්වයනට යහපත් රූපයක් මෙන් පෙනෙන්නේ ය. මේ ආදි නන් අයුරින් කාමයන් ගේ ආදීනව කියා තම හිමියා මිහි පිට සිටින තුරු අන් හිමියකු ප්‍රාර්ථනා නොකරන බව ද කියා යැවී ය. කාමයෙන් අන්ධ වූ අමාත්‍යයා වෙළෙඳ පුත්‍රයා මරා හෝ ඇය භාර්යා කර ගන්නට සිතා අහිංසක වෙළෙඳ ප්‍රත්‍රයා මැරීමට උපායක් සිතී ය.
මේ මූඪ අසත්පුරුෂ අමාත්‍යයා එ බඳු ම දුෂ්ට මන්ත්‍රකාරයන් ගේ ද ආධාර ලැබ අමුසොහොනකට ගොස් මන්ත්‍ර ජප කොට නන්දිය නම් වෙළෙඳ පුත්‍රයා මරනු සඳහා යකකු පිටත් කොට යැවී ය. මේ වේලාවෙහි වෙළෙඳ මහතා නැව් නැගී ආපසු එමින් සිටියේ ය. යක්‍ෂයා ද මන්ත්‍ර බලයෙන් හා ඍද්ධ්‍යනුභාවයෙන් ද ක්‍ෂණයෙකින් ගොස් නැවට ගොඩ වී ය. මෙය දුටු නැවේ සියලු දෙනා ම බියෙන් කෑගාන්නට වූහ. එ විට නන්දිය නම් වෙළෙඳ පුත්‍රයා ඉදිරියට පැමිණ කෑගෑමෙන් වැඩක් නැත, තුනුරුවන් සරණ යන්නැ යි කී ය. මරණ බියෙන් බියපත් ව සිටි සියලු දෙනා ම "බුද්ධං සරණං ගච්ඡාමි - ධම්මං සරණං ගච්ඡාමි - සඞ්ඝං සරණං ගච්ඡාමි” යි කියන්නට වන්හ. බුද්ධ යන නාමය ඇසෙත් ම යකාට එ තැන සිට ගත නොහැකි වී ය. ක්‍ෂණයකින් යක්‍ෂයා ආපසු හැරී අමුසොහොනට ගියේ ය. යකැදුරෝ නැවැතත් මන්ත්‍ර ජප කොට යකා පිටත් කළහ. එ විට ද නැවේ සිටියෝ තෙරුවන් සරණ යන්නට වූහ. ඒ වර ද යකා ආපසු පැන දිව්වේ ය. තෙවන වර ද එ සේ ම වී ය. කාමයෙන් අන්ධ වූ අසත්පුරුෂ අමත්‍යයා ද තමා ගේ අභිමතාර්ථය සිදු කැර ගැනීමට වෙළෙඳ පුත්‍රයා මරා එන තුරු සොහොනෙහි ම නැවැතී සිටියේ ය. යකැදුරෝ සිවු වන වර ද යකා පිටත් කොට යැවූහ. යකා නැවට ඇතුළු වෙනුවත් සමඟ ම එහි සිටියෝ තෙරුවන් සරණ යන්නට වූහ. බුද්ධ යන වචනය ඇසෙත් ම යකාගේ හිස පැළෙන තරම් වේදනා ඇති වී ය. එයින් කොපාවිෂ්ට වූ යක්‍ෂයා ක්‍ෂණයකින් අවුත් අමාත්‍යයා හා යකැදුරුන් ද මරා දැම්මේ ය.
නිවැරැදි යහපත් වෙළෙඳ පුත්‍රයා ගේ ජීවිතයට හා ගුණවත් වෙළෙඳ භාර්යාව ගේ බ්‍රහ්මචර්යයට ද අනතුරු කරන්නට සූදානම් වූ අමාත්‍යයාට හා ඊට ආධාර වූ යකැදුරනට ජීවිතක්‍ෂයට පත් වන්නට සිදු විය. ගුණවත් අඹුසැමි දෙදෙනා ධර්‍මය විසින් රැක ගනු ලැබ ජීවිතාන්තය තෙක් යහතින් වාසය කොට කම් වූ පරිදි මිය පරලෝ ගියෝ ය.
යම් කිසි පවුලෙක අඹුසැමි දෙදෙනා ගුණ දහමින් යුතු ව සතුටින් හා නුවණින් ද, ප්‍රේමයෙන් හා සමඟියෙන් ද වාසය කරත්හොත් ඔවුනට මෙහි දී ම දිව්‍යලොකයෙක මෙන් වාසය කරන්නට ලැබෙනුවා පමණක් නො ව, හතුරනට ද කිසි අනතුරක් නොකට හැකි වේ. ධර්‍මචාරී වන ඔවුහු නිතර ම ධර්‍මය විසින් ම රැකෙනු ලැබෙති.
මෙ තැන් සිට තම නිවෙස හොඳ බෞද්ධ ගෙදරක් කර ගැනීමට - තමන් නියම බෞද්ධයන් වීමට ඒ ඒ අය තුළ තිබිය යුතු ගුණ, කළ යුතු යුතුකම් ආදිය විස්තර කරනු ලැබේ. එ සේ ම නියම බෞද්ධයන් විසින් ධන සැපැයිය යුතු අයුරු හා වියදම් කටයුතු අයුරු ද ගිහි ගෙදර වාසය කටයුතු ආකාරය ආදිය ද ඉතා සැකෙවින් සඳහන් කරනු ලැබේ.


හොඳ පුරුෂයා හා හොඳ ස්ත්‍රිය

චාතුම්මහාරාජිකය තාවතිංසය යන දෙදෙව් ලොවට අධිපති ශක්‍රදෙවේන්ද්‍රයා නිතර ම උයන් සිරි දකිනු සඳහා යයි. එ සේ ම එහි යෑමට පිටත් වන්නට පෙර සියලු දිශාවන් වැඳීම ද සිරිත ය. දිනක් එ සේ වඳිනු දුටු මාතලී දිව්‍ය පුත්‍රයා, “දෙවෙන්ද්‍රය, වෙදත්‍රය හදාරන්නා වූ සියලු මනුෂ්‍යයෝ ද, ක්‍ෂත්‍රියයෝ ද, සතර වරම් මහරජහු ද, අනෙකුත් දෙවියෝ ද ඔබ වහන්සේ වඳිති. මේ ඔබ වහන්සේ වඳින්නේ කවරකුට දැ?’ යි ඇසී ය. එ විට ශක්‍ර දෙවෙන්ද්‍රයා තමන් වඳින පිරිස සඳහන් කෙරෙමින් මෙ සේ කී ය.
යෙ ගහට්ඨා පුඤ්ඤකරා - සීලවන්තො උපාසකා
ධම්මෙන දාරං පොසෙන්ති - තෙ නමස්සාමි මාතලි
(සංයුත්ත - සක්කනමස්සන සූත්‍රය)
1. පින් කරන්නා වූ,  2. සිල්වත් වූ,  3. උපාසක ගුණයන්හි පිහිටියා වූ,  4.  දැහැමින් අඹුදරුවන් රකින්නා වූ යම් ගිහි කෙනෙක් වෙත් ද මාතලිය, මම ඔවුන් වඳිමි යි යන මේ ශක්‍රදෙවෙන්ද්‍රයා ගේ කියමනෙන් ගුණ නුවණින් යුතු ව ගිහිගෙයි වාසය කරන්නා වූ හොඳ පුරුෂයා හට ශක්‍රාදි දෙවියන් පවා වඳින බව මැනැවින් පැහැදිලි වේ. මෙහි සඳහන් වූ සතර ගුණය බෞද්ධ වූ කවර ගිහියකුට වුව ද ඇති කැර ගැනීම අපහසු නො වේ.
  1. පින් නම්: සිත කිලිටි කරන්නා වූ රාගාදීනට ප්‍රතිපක්‍ෂ වූ ප්‍රඥාදි ශොභන ධර්‍මයන් හා එක් ව යෙදුණා වූ උපනුපන් තන්හි ඉෂ්ට විපාක ගෙන දෙන ස්වභාවය ඇති චෙතනාවෝ (=සිතිවිලි) යි. මෙ කී පින්, දාන - ශීල - භාවනා වශයෙන් තුන් වැදෑරුම් කොට ද , දාන ය - ශීල ය - භාවනා ය - පින් දීම ය - පින් අනුමොදන් වීම ය - වතාවත් කිරීම ය -  වැඩි හිටියන් පිදීම ය - බණ දෙසීම ය - බණ ඇසීම ය - දෘෂ්ටිය ඍජු කිරීම ය යි දස වැදෑරුම් ලෙස ද,ඇතැම් ආචාර්යවරු,
1 දන් 2 සිල් 3 භාවනා
4. පින් දෙනු 5 අනුමෝදනා
6 බණ’සනු 7 දේසනා
8. පිදිය යුත්තන් පුදනු සමනා
9. කරනු ද වතාවත්
10. පින්කරු ගුණ වැනීමත්
11. සරණ 12 සිහි වීමත්
දොළොස් පින් දැන කවර යහපත්
(කාව්‍යශේඛරය)
යනුයෙන් දොළොස් වැදෑරුම් කොට ද දැන්වූහ.
  1. සිල්වත් බව නම්: පඤ්ච දුශ්චරිතයන් ගෙන් මිඳීම හා සතුන් මැරීම සොරකම් කිරීම - කාමයෙහි වරදවා හැසිරීම - බොරු කීම - කේලාම් කීම - රළු බස් බිණීම - හිස් වදන් දෙඩීම - වැරැදි ජීවිකාව යන මෙයින් වැළැකෙන ආජීවාෂ්ටමක ශීලයෙන් යුක්ත වීම යි. කාමයෙහි වරදවා හැසිරීමෙහි මද්‍යපානය ද ඇතුළත් වේ.
  2.  උපාසකයා නම්: “බුද්ධං සරණං ගතො හොති - ධම්මං සරණං ගතො හොති - සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො මහානාම උපාසකො හොති” යි මහානාම සූත්‍රයෙහි වදාළ පරිදි බුදුන් දහම් සඟුන් සරණ ගිය තැනැත් තේ ය. ශ්‍රද්ධා - ශීල - ශ්‍රැත - ත්‍යාගාදී ගුණයන්හි පිහිටීම නියම උපාසක ලක්‍ෂණය වේ.
  3. දැහැමි අඹු දරු පෝෂණය නම්: දැහැමින් සපයා ගත් වස්තුවෙන් කටයුතු සංග්‍රහ ඒ ඒ අවස්ථාවෙහි දී නො පිරිහෙළා කෙරෙමින් සැප පහසු ද සලසා දෙමින් පිනට දහමට ද මඟ යොදා දෙමින් භාර්යාව කෙරෙහි හොඳ පියකු - සොහොයුරකු - යහ‍ළුවකු මෙන් පවතිමින් සතර සංග්‍රහ වස්තුවෙන් ද සංග්‍රහ කෙරෙමින් භාර්‍ය්‍යාව දූ පුතුන් පෝෂණය කිරීම යි.
මෙ කී ගුණ ඇති තැනැත්තාට දෙවියන් ගෙන් පවා වැඳුම් ලැබෙනුවා පමණක් නො ව, තමන් ගේ අඹුදරුවන් සමඟ ප්‍රේමයෙන් හා සමඟියෙනුත් සුවයෙන් හා සතුටුනුත් වාසය කරන්නට හැකි වෙයි. ඒ නිසා ම සැම පුරුෂයකු විසින් ම මෙ කී ගුණ තමන් තුළ ඇති කැර ගන්නටත් වැඩිදියුණු කැර ගන්නටත් උත්සාහ දැරිය යුතු ය.
ඉතා පුරාණයෙහි සුරුචි නම් රජ කෙනෙක් වූහ. එතුමා ගේ අගමෙහෙසිය ඉතා සිල්වත් ය, ගුණවත් ය. මේ බව දත් ශක්‍රදෙවෙන්ද්‍රයා මෙහෙසිය ගේ ගුණ ලොවට ද ප්‍රකට කොට ගුණදහම් පිරීමෙහි ලෝකයා ද උනන්දු කරවනු සඳහා මිනිස් ලොවට එන්නට සිතා ගති.
දිනක් සුරුචි රජහු ගේ බිසවුන් උයනෙහි සිටින විට ශක්‍රදෙවෙන්ද්‍රයා ඍෂියකු ගේ වේශයෙන් එ තැනට පැමිණ කථා කෙරෙමින් සිට, දේවිය විසින් ‘ඔබ කවරෙක් දැ’ යි අසන ලදු ව තමන් ශක්‍රදෙවෙන්ද්‍රයා බව සඳහන් කොට මෙ සේ ද කී ය:
ඉත්‍ථියො ජීව ලොකස්මිං - යා හොන්ති සමචාරිණී
මෙධාවිනී සීලවතී - සස්සුදෙවා පතිබ්බතා
තාදිසාය සුමෙධාය - සුචිකම්මාය නාරියා
දෙවා දස්සනමායන්ති - මානුසියා අමානුසා
(සුරුචී ජාතිකය)
 1 සම ව හැසිරෙන්නා වූ, 2 නුවණැත්තා වූ, 3 සිල්වත් වූ, 4 නැන්දා හා මාමා දෙවියන් කොට සලකන්නා වූ, 5 පතිව්‍රතා ධර්‍මයෙන් යුක්ත වූ, යම් ස්ත්‍රීහු මේ ලෝකයෙහි වෙත් ද මනා නුවණැති පිරිසිදු ක්‍රියා ඇති මනුෂ්‍ය වූ එ බඳු ස්ත්‍රීන් දැකීමට මනුෂ්‍ය නො වූ දෙවියෝ ද පැමිණෙති.
ගුණ නුවණැති හොඳ භාර්යාවන් දැකීමට දෙවියන් කැමති බවත්, අපේ ඇසට නො පෙනුණත් එ බඳු ගුණවත් ස්ත්‍රීන් දැකීමට - ගරු කිරීමට ශක්‍රාදි දෙවියන් පවා පැමිණෙන බවත් මෙයින් මැනැවින් පැහැදිලි වේ. යටැ කී පස් ගුණය බෞද්ධ වූ හැම ස්ත්‍රියක විසින් ම පිරිය හැකි, පිරිය යුතු ගුණයෝ වෙති.
  1. සම ව හැසිරීම නම්: මනා - යහපත් - හැසිරීම යි. සම පැවැත්ම ය, විෂම පැවැත්ම යැ යි මෙ ලොව මිනිසුන් ගේ පැවැතුම් දෙකකි. ඉන් සම පැවැත්ම නම් තමන් ගේ කථාවෙන් හා ක්‍රියාවෙන් හා ලෝකයාට කරදර හිරිහැර නොවන සේ හැසිරීම යි. විෂම පැවැත්ම නම් තමන් ගේ කථා සහ ක්‍රියා ලෝකයාට කරදර හිංසා පීඩා වන සේ පැවැත්වීම යි. මෙය මෙ තැන දී හොඳ ස්ත්‍රියක ගේ ගුණයක් ලෙස සඳහන් වුව ද ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාටත් සාධාරණ වූ ගුණයෙකි. යමකු තමන් ගේ කථා සහ ක්‍රියා අන්‍යයනට කරදර නොවන සේ පවත්වනුවා නම් එය ජන සමාජයට කරන ලොකු සේවයෙකි. සුචරිතයෙක පිහිටීම නිසා තමනට කුසල් ද රැස් වෙයි.
  2. නැණවත් බව ද පුරුෂ පක්‍ෂයට මෙන් ස්ත්‍රී පක්‍ෂයට ද තිබිය යුතු ය. එ සේ ම නිවැරැදි ශිල්පශාස්ත්‍ර විෂයයෙහි උගත්කම ද බහුශ්‍රැතභාවය ද තිබිය යුතු ම ය.
‘අප්පස්සුතා’යං පුරිසො
බලිවද්දො’ව ජීරති
මංසානි තස්ස වඩ්ඪන්ති
පඤ්ඤා තස්ස න වඩ්ඪති
(ධම්මපදය)
‘ඇසුපිරු තැන් නැතියෙ
ගොනකු මෙන් ජරපත් වේ
ඔහු ඇඟ මස් මතු වැඩේ
නුවණෙක් නම් නො ම වැඩේ’
බහුශ්‍රැත භාවය පමණක් නො ව නුවණ ද තිබිය යුතු ය. i ආයකෞශල්‍යඥානය = දියුණුවෙහි දක්‍ෂ නුවණ හෙවත් මේ මේ දේ කිරීමෙන්, මෙ සේ හැසිරීමෙන් දෙලොව දියුණුව සැලැසේ යී දන්නා නුවණ ය, ii අපායකෞශල්‍යඥානය = පිරිහීම පිළිබඳ දක්‍ෂ නුවණ හෙවත් මේ මේ දේ කිරීමෙන්, මෙ සේ හැසිරීමෙන් දෙලොවින් ම පිරිහීම සැලැසේ යී දන්නා නුවණ ය, iii උපායකෞශල්‍යඥානය = ස්ථානොචිත ප්‍රඥාව ය යන මේ ඥානයන් ගෙන් ද යුක්ත විය යුතු ය.
  1. සිල්වත් බව නම්: හොඳ පුරුෂයා ගේ ගුණ කී තැනැ ප්‍රකාශ වූ පරිදි පඤ්ච දුශ්චරිතයන් ගෙන් වැළැකීම හා ආජීවාෂ්ටමක ශීලයෙන් සම්පූර්‍ණ වීම යි.
  2. නැන්දා හා මාමා දෙවියන් කොට සැලැකීම: ආවාහ විවාහයෙන් ලැබෙන නැන්දාට පාළියෙන් ‘සස්සු’ යනු ද සකුයෙන් ‘ස්වශ්‍රැ’ යනු ද මාමාට ‘සසුර’ ‘ශ්වශූර’ යනු ද ව්‍යවහාර වේ. එ කී නැන්දා සහ මාමා දෙවියන් කොට සැලැකීම ද හොඳ භාර්‍ය්‍යාවක ගේ ගුණය වේ.
  3. පතිව්‍රතා ධර්‍මය නම්: ස්වපුරුෂ සන්තුෂ්ටියෙන් යුක්ත ව තම හිමියා දෙවියකු ලෙස සලකමින් සිතින් වත් තම ස්වාමි පුරුෂයා ඉක්මවා නොසිතන, සිහිනෙන් වත් අන් පුරුෂයන් නොපතන උතුම් ගුණය යි.
ලෝකයා ගේ සැලැකීම නා නා හේතූන් නිසා වෙයි. ඇතැම්හු කුලයට ද ඇතැම්හු ධනයට ද ඇතැම්හු උගත් කමට ද ඇතැම්හු ගුණවත් කමට ද සලකති. මින් කුලයට සැලැකීම දැන් ලොව නැතැ යි කිව යුතු තරමට අඩු වී ගොස් තිබේ. කෙනකු උසස් වන්නේ කුලයෙන් නො ව ක්‍රියාවෙන් බව බුදුරජාණන් වහන්සේ ද වදාළහ.
ලෝකයා අතර ධනවතාට සැලැකීමක් ඇතත් එය තාවකාලික ය. ගනුදෙනු කරන අවස්ථාවෙහි දී ඉදිරියෙහි දී පමණක් ලැබෙන ඒ සැලැකීම පිටත දී නො ලැබෙයි. ධනවතාට පිටත දී බොහෝ සෙයින් ලැබෙනුයේ නින්දා අපහාස ආදිය යි.
උගතාට දක්වන සැලැකිල්ල ධනවතාට දක්වන සැලැකිල්ලට වඩා ස්ථිර ය. උගතා ගේ අගය දන්නෝ ද උගත්තු ම ය. උගත්තු ලොව සුලබ නො වෙති. එ හෙයින් උගතාට සලකන පිරිස සඞ්ඛ්‍යා වශයෙන් ටික ය. එහෙත් එය බොහෝ දුරට ම ස්ථිර ය. ඉදිරියේ මෙන් පිටත දී ද ඔහුට සැලැකිලි ලැබේ.
ගුණවතාට සැලැකීම හැමදා ම එක සේ ම සිදු වෙයි. බොහෝ විට කල් යත් යත් සැලැකීම අධික ද වෙයි. පසුගිය කාලයෙහි සැරියුත් - මුගලන් දෙදෙනා වහන්සේ ගේ ධාතූන් හට දැක්වූ සැලැකිල්ලෙන් එය මැනැවින් පැහැදිලි වෙයි. ධාතූන් ය යි මහජනයා වැන්දේ පිදුවේ උන් වහන්සේලා ගේ ශරීරය දැවූ ස්ථානයෙන් ගත් දිරාගිය ඇට කැබලි වලට ය. සොහොන් බිම්හි දී ඊට වඩා ලොකු නොදිරුණු ඇට කැබැලි දක්නට ලැබෙතුදු ඒවා වඳින්නට තබා පයින් ස්පර්‍ශ කරන්නට වත් කිසිවෙක් කැමැති නො වේ. එහෙත් යටැ කී ධාතූන් වහන්සේලාට විසිපන්ලක්‍ෂයකටත් අධික ජනකායක් වැන්දහ, පිදුවහ. මේ වැඳීම කෙළේ උන් වහන්සේලා ගේ කුලවත්කමට ද? ධනවත්කමටද? නැතහොත් උගත් කමට ද? නැත. ගුණවත් කමට ම ය. මෙ සේ උගත් - නූගත් - දුප්පත් - පොහොසත් - උසස් ය යි සම්මත කවුරුන් වුව ද හැම දෙනා විසින් ම හැම තැන දී හැම විට ම එක සේ වඳිනු ලැබෙන්නේ පුදනු ලැබෙන්නේ ගුණවත්කම නිසා ම ය. එ හෙයින් හැම දියුණුවට ම වඩා ගුණදහමින් දියුණුව උසස් බව සැලැකිය යුතු ය.
බුද්ධ ධර්‍මය ගැන නියම තතු නොදන්නාහු බුද්ධාගමයෙහි උගන්වන්නේ මරණින් මතු ලබන සුගතිමාර්ගය පමණක් ය යි සිතති. එය මහ මුළාවෙකි. බුද්ධධර්‍මයෙහි මරණින් මතු ලබන සුගතිමාර්‍ගයත්, සසර සියලු දුක් ගෙවා ලබන මොක්‍ෂ මාර්‍ගයත් හරිහැටි ප්‍රකාශ කොට ඇත්තාක් මෙන් ම මනුෂ්‍යයකු ගේ මෙ ලොව යහපතට හේතුවන හැම කරුණක් ද ප්‍රකාශ වෙයි. බොහෝ දෙනා ඉතා සුළු කොට සලකන ගේ දොර පිරිසිදු කිරීම, වැසිකිළි කිස කිරීම ආදි දේ පවා වැදගත් මහත්මයකු ලෙස නිවැරැදි ලෙස කරන අයුරු මැනැවින් විස්තර කොට ඇත්තේ ය. මෙ සේ මහාජනයා  සදාචාරසම්පන්න කරනු සඳහා බුදුරජාණන් වහන්සේ දෙශනා කළ ආචාර නීති සමූහය අති විශාල ය.
බෞද්ධයන් ගේ උසස් ම බලාපොරොත්තුව වන නිවන් සුව ලබනා සැටිත් ඉතා සාමාන්‍ය දේ හැටියට සැලැකෙන කන බොන යන එන සැටිත් හොඳින් විස්තර වී ඇත්තේ නම් මෙදෑතුරෙහි වූ සව්සතුන් ගේ යහපතට හේතු වන අන් කරුණු ගැන කවර කතා ද?


මවුපියෝ

තම දරුවන් අයහපතින් මුදා යහපතෙහි යොදා ආරක්‍ෂා කොට ප්‍රේමයෙන් හදා වඩන්නෝ මවුපියෝ නම් වෙති.
බ්‍රහ්මාති මාතාපිතරො - පුබ්බාචරියාති වුච්චරෙ
ආහුණෙය්‍යා ච පුත්තානං - පජාය අනුකම්පකා
(අඞ්ගුත්තර - තික නිපාත)
මවුපියෝ බ්‍රහ්මයෝ ය, ශ්‍රෙෂ්ඨයෝ ය, මුල් ගුරුවරයෝ ය, දරුවන් විසින් ගෞරවයෙන් පිදිය යුත්තෝ ය, දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝ ය යි කියනු ලැබෙති.
බ්‍රහ්මයා සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රි ය - කරුණා ය - මුදිතා ය - උපෙක්‍ෂා ය යන උතුම් පැවැතුම් සතරෙන් යුතු ව වාසය කරයි. මවු පියෝ ද මේ සතර ගුණයෙන් යුක්ත හෙයින් බ්‍රහ්මයෝ = ශ්‍රෙෂ්ඨයෝ වෙති.
මවුකුස වන් පුත්‍රයා නිදුක් නීරෝග ව කවරදා දකිමුදෝ යි නිතර ම මෙත් සිත පතුරුවති. දරුවනට ස්වල්ප වූ ද දුකක් කරදරයක් ඇති වූ විට මවුපියන් ගේ ළය කම්පා වෙයි. ඒ දුකින් මුදවන කරුණා සිත පහළ වෙයි. මවුපියෝ වුව ද අන්‍යයන් ගේ දියුණුව කැමැත්තෝ ම නො වෙති. ඊර්ෂ්‍යා නොකරන්නෝ ද නො වෙති. එහෙත් තම දරුවන් ගේ දියුණුවෙහි නම් ඊර්ෂ්‍යා නො කෙරෙති. තව තවත් දියුණු වේ වා යි මුදු සිතින් ම බලති, පතති. එ හෙයින් මවුපියන් තුළ දරුවන් කෙරෙහි මුදිතා ගුණය ද නොඅඩු ව ම පවතී. මවුපියෝ තම දරුවන් ආවාහ විවාහාදියෙන් බැහැරට ගිය ද මුළුවනින් ම ඔවුන් අත් නො හැර උපෙක්‍ෂක ව = මධ්‍යස්ථ ව සැප දුක් සොයා බලති. මෙ කී ගුණ සතර නිසා = ශ්‍රෙෂ්ඨ පැවැතුම් සතර නිසා මවුපියෝ බ්‍රහ්ම නමුදු වෙති.
කෙනකුට ආචාර්යවරයෝ බොහෝ දෙනෙක් වෙති. ඉන් හැමට පළමු ආචාර්යවරයෝ නම් දෙමවුපියෝ ය. ශිල්ප ශාස්ත්‍රාචාර්යවරු කලින් කල වරින් වර වෙනස් වෙති. එහෙත් පූර්‍වාචාර්යවරයෝ මරණින් විනා අතරෙහි නම් වෙනස් නො වෙති. ශිල්පශාස්ත්‍රාචාර්යයන් ගේ ඉගැන්වීම් නැති ව ද ලොව සිටිය හැකි වුවත් පූර්‍වාචාර්යයන් ගේ ඉගැන්වීම් කොටස නැති ව නම් ලොව ශිෂ්ට මනුෂ්‍යයකු ලෙස වාසය කළ නොහැකි ය. එ හෙයින් සෑම දෙනා විසින් ම අවශ්‍යයෙන් ම දත යුතු යන - එන - කන - බොන - කතා කරන සැටි ආදිය ඉගැන්වෙන්නේ පූර්‍වාචාර්ය වූ මවුපියන් විසින් ම ය.
මවුපියෝ පිදිය යුත්තෝ ද වෙති. ආහුණෙය්‍ය යන්න බුදුරජාණන් වහන්සේ විසින් රහත් ගුණයක් ලෙස ද යොදන ලද ගුණ පදයෙකි.
සැදැහැවතුන් ගේ පින් නමැති බිත්තර වැපිරීමට ඉතා වටිනා පින් කුඹුරු හතරක් ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළහ. 1. බුදුරජාණන් වහන්සේ, 2. රහතන් වහන්සේ, 3. මෑණියන් වහන්සේ, 4. පියාණන් වහන්සේ යනු යි. මවුපියනට උපස්ථාන කිරීම බුදුරජුනට රහත් උතුමනට කරන උපස්ථානයක් හා සමාන ම පින්කමක් බව මැනැවින් පැහැදිලි වේ.
මවුපියෝ දරුවන් කෙරෙහි අනුකම්පා කරන්නෝ ද වෙති. දරුවන් කෙරෙහි මවුපියන් තුළ ඇති කරුණාව දයාව නො කිය හැකි තරම් ය. දරුවන් ගේ යහපත සඳහා තම ජීවිතය වුව ද පුදන්නට කැමැති වෙති.
සීවලී මහරහතන් වහන්සේ ගේ මෑණියන් වන සුප්පාවාසා දරුවා කුසින් දරමින් සත්වසකටත් වැඩි කාලයක් දුක් වින්ද බව සඳහන් වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ සුප්පාවාසා අමතා, “කෙසේ ද ඔබඳු දුකක් විඳ තවත් දරුවන් ලබන්නට කැමැති දැ” යි ඇසූහ. එ විට සුප්පාවාසා, “අනේ ස්වාමීනි! මෙහෙම දුක් විඳ එක දරුවකු නො ව දරුවන් සත් දෙනකු වුවත් ලබන්නට කැමැති” යි ප්‍රකාශ කළා ය. මේ එක කරුණෙන් ම මවුවරුන් දරුවන් කෙරෙහි කොපමණ ප්‍රේම කරනවා දැයි පැහැදිලි වේ. දරුවන් කෙරෙහි පියවරුන් තුළ ඇති කරුණාව කොපමණ ද යන්න බිම්බිසාර රජු ගේ කතා පුවතින් පැහැදිලි වේ.

හොඳ මවුපියන් ගේ බලාපොරොත්තුව

අතිජාතං අනුජාතං - පුත්තමිච්ඡන්ති පණ්ඩිතා
අවජාතං න ඉච්ඡන්ති - සො හොති කුලගන්‍ධකො
(ඉතිවුත්තකය)
මෙ ලොව හා පරලොව ද දියුණුව බලාපොරොත්තු වන පණ්ඩිත මවුපියෝ, දරුවන් වශයෙන් තමනට වඩා ගුණ නුවණැති අතිජාත පුත්‍රයා ද, තමන් හා සම වූ ගුණ නුවණැති අනුජාත පුත්‍රයා ද කැමැති වෙති. කුලය - පරපුර වනසන්නා වූ, තමනට වඩා අඩු ගුණ නුවණැති අවජාත පුත්‍රයා නම් කැමැති නො වෙති.
මෙ සේ උසස් බලාපොරොත්තුවක් නැති ව කවර ආකාරයෙක හෝ දරුවන් ලැබීම පමණක් කැමැති වන මවුපියෝ නිර්ගුණයෝ ය. රටට - ජාතියට හා ආගමට අහිතයෝ ය. එ බඳු මව දරුවනට හා ජන සමාජයට හැතිරියක මෙන් ද, පියා හතුරකු මෙන් ද උගත් ලෝවැස්සෝ සලකති.
නියම මවුපියන් වන්නට බලාපොරොත්තු වන්නවුන් විසින් කල් ඇති ව ම, ආවාහ විවාහ වන විට ම තමන් බැ‍ඳෙන බැරෑරුම් කටයුත්ත ගැන, කල්පාන්තය තෙක් පවත්නා පරපුරෙක ආදිකර්තෲන් වීමේ වග කීම ගැන හොඳින් සිතා බැලිය යුතු ය. මෙ කල මෙ බඳු උදාර හැඟීමකින් යුතු ව මවුපියන් වන්නෝ ඉතා දුලබ වෙති. ඉන්ද්‍රියයන් පිණවීම ම පරමාර්ථ කැර ගෙන ආවාහ විවාහ වන්නවුන් බහුල වීමෙන් ජනගහනය වැඩි වෙතත්, රටට - ජාතියට - ආගමට වැඩ ඇති දරුවන් වැඩි වන බවක් නො පෙනේ.

මවුපියන් ගේ නියම සේවය

ගුණ නුවණැති දරුවන් තැනීමට වඩා මහාජන සේවයක්, රටට - ජාතියට හා ආගමට කරන හිතවත් බවක් තවත් නැතැයි මවුපියන් විසින් නිතර සිහියේ තබාගත යුතු ය. දරුවන් තැනීම මවුපියන් කරනුවා විනා සේවයකයන් ලවා කරන්නක් නොවන බව ද මතක තබා ගත යුතු ය. නිසි ලෙස දරුවන් තැනීමේ කාරිය පසෙක තබා නම ප්‍රසිද්ධ කර ගැනීමේ අදහසින් හෝ වෙනත් නොමනා පුහු අදහසින් හෝ මහ රැස්වීම් තබා පුහු ඝෝෂා කිරීමෙන් නම් කිසි විටෙකත් රටට ජාතියට හා ආගමට උපකාරයක් සිදු නොවන්නේ ම ය. එ පමණක් නො ව සමාජය දූෂණය වීමට ද හේතු වන බව දස දෙසින් ලැබෙන වාර්‍තාවලින් පැහැදිලි වේ.

මවුපියන් ගේ යුතුකම්

යුතුකම් නම් කරන්නට බැඳුණු ක්‍රියා යි. නො කර ම බැරි ක්‍රියා යි. මවුපියන් විසින් දරුවන් කෙරෙහි පැවැත්විය යුතු යුතුකම් මහා රාශියක් වුවත්, ඒ සියල්ල ම මෙහි විස්තර කරන්නට නො ගොස්, බුදුරජාණන් වහන්සේ ගිහි විනයේ දී වදාළ යුතුකම් පහ පමණක් සඳහන් කරනු ලැබේ.
“පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසෙන්ති” යි වදාළ පරිදි දරුවන් පවින් - අයහපතින් මුදවා, යහපතෙහි යෙදවීම මවුපියන් ගේ මුල් ම යුතුකම වේ. දරුවකු මවු කුසේ පිළිසිඳ ගත් දා පටන් ම මේ කටයුත්තෙහි යෙදිය යුතු ය. මව ගේ ශරීරය - ආහාරය අනුව දරුවාගේ කය වැඩෙන්නාක් මෙන්, මව ගේ අදහස් අනුව දරුවා ගේ ද අදහස් වැඩේ. එ හෙයින් හොඳ වීම හෝ නරක වීම හෝ පිළිබඳ ප්‍රධාන වගකිය යුත්තා මව ය. පියා ද මව ගේ ශරීර වර්ධනයට පොෂ්‍යාහාර සපයා දෙන්නාක් මෙන්, හොඳ අදහස් වැඩි දියුණු වනු සඳහා මව ගේ හිත නරක් නොවන සේ නිතර ම ගුණ නුවණින් යුතු ව වාසය කළ යුතු ය.
ශ්‍රද්ධාවත් බොධිරාජ කුමාර මාතාවෝ තම කුසෙහි දරුවකු පිළිසිඳ ගත් බව දත් කෙණෙහි බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැඳ, “යො මෙ අයං භන්තෙ කුච්ඡිගතො කුමාරකො වා කුමාරිකා වා සො භගවන්තං සරණං ගච්ඡති ධම්මං ච භික්ඛු සංඝං ච” යන ආදීන් “ස්වාමීනි, මාගේ කුසෙහි කුමරෙක් හෝ වේවා කුමරියක් හෝ වේවා ඔහු හෝ ඇය හෝ බුදුන්, දහම්, සඟුන් සරණ යයි කියා කුස හොත් කල ම දරුවා තෙරුවන් සරණගත කළහ. එයින් තෙරුවන් බෙලෙන් දරුවා ආරක්‍ෂා වෙනුවා පමණක් නොව, අනාගතයෙහි උදාර පුරුෂයකු වීමට ද ආධාර වන්නේ ය.
දරුවා උපන් පසු ද ආදර්ශයෙන් හා උපදෙශයෙන් ද, අයහපතින් මුදා යහපතෙහි යෙදවිය යුතු ය. කුඩා දරුවන් ගේ සිරිත ආදර්‍ශ ගැනීම ය, දුටු දේ අනුව කිරීම හා ඇසූ දේ අනුව කීම ය. එ හෙයින් මවුපියෝ ඉතා කල්පනාවෙන් කතා කළ යුතු ය, ක්‍රියා කළ යුතු ය. යම් කිසි මවක් දරුවා කුසේ සිටින කාලයේ රාග
, දොෂ, මොහාදිය බහුල ව වාසය කළා නම් දරුවා ද, සහජයෙන් ම රාග, දොෂ මොහාදිය බහුලයෙක් වන්නේ ය, එ සේ ම මව හොඳ අදහස්වලින් යුතු ව වාසය කළා නම් දරුවා ද උදාර අදහස් ඇත්තෙක් වන්නේ ය. උපන් පසු ද මවුපියෝ නිතර කලකෝලාහල අසමගිකම්වලින් යුක්ත ව වෙසෙත් නම් දරුවා ද එ බඳු ම වෙයි. යම් කිසි මවුපිය කෙනෙක් යහපත් පැවැත්මෙන් හා කතාවෙන් ද, ශ්‍රද්ධා ශීලාදි ගුණයන් ගෙන් ද යුතු ව වාසය කෙරෙත් නම් ඔවුන් නිසා ඇති වන දරුවෝ ද රටට - ජාතියට හා ආගමට වැඩ ඇත්තෝ ම වෙති. දරුවනට නම් තබන විට ද මෙ තෙක් කල් බොහෝ දෙනා උසස් කොට සැලැකූ යුරෝපීය නම් අත් හැර අපේ ශිෂ්ටාචාරය අනුව ආරිය සිංහල නමක් ම තබන්නට සිතට ගන්නේ නම් මැනැවි.
ඇතැම් මවුපියෝ තමන් මත්පැන් බොමින් - දුම් පානය කෙරෙමින් - සූදුවෙහි යෙදෙමින් - චිත්‍රපටි දර්‍ශනයෙහි ලොල් වෙමින් දූ දරුවන් ඒ දෙයින් මුදවන්නට උත්සහා දරති. එ සේ ම තමන් සිල් නො රකිමින් - දවසකට වරක් වත් බුදුන් නො වඳිමින් - ගුණ දහම් නො පුරමින් දරුවන් ලවා ඒ සියල්ල කරවන්නට වෑයම් කෙරෙති. එහෙත් එය නම් නො කට හැක්කක් බව පැහැදිලි ව ම පෙනේ. තමන් මත්පැන් පීම් ආදි දුසිරිත්හි නො යෙදෙතොත් දරුවෝ ද එ බඳු ම වෙති. ඉදින්, නරක ආශ්‍රයෙන් එ බඳු දුසිරිතක යෙදුණත් එයින් දරුවා මුදවා ගැනීම සඳහා අවවාද කිරීමට පිළිවන්කම ලැබෙයි. බොහෝ දෙමවුපියනට දරුවන් අයහපතින් මුදා ගන්නට බැරි වන්නේ තමන් තුළ පවත්නා දුසිරිත් නිසා ම ය. යම් කිසි මවුපිය කෙනකුන් තමන් දවසකට වරක් වත් බුදුන් වැඳීම් ආදි යහපතෙහි යෙදෙතොත් ඔවුනට දරුවන් ඒ ම‍‍ඟෙහි යෙදවීමට විශෙෂ උත්සාහයක් ගන්නට උවමනා නැත. එ හෙයින් තම දරුවන් හොඳින් හදා වඩා ගන්නට කැමැති වන මවුපියන් විසින් පළමු ව හොඳ ආදර්‍ශයෙන් හා දෙවනු ව උපදෙශයෙන් ද පූර්වාචාර්යයන් විය යුතු ය.
සුදුසු කාලයෙහි ශිල්පශාස්ත්‍රයන් ඉගැන්වීම ද මවුපියන් ගේ යුතු කමෙකි.
දෙගුරුන් විසින් තම - දරුවනට දෙන නොමඳ දන නම්
වියතුන් සබා මැද - ඉන්ට ඉදිරි ව සිල්ප දෙනු මැ යි.
(ලෝකෝපකාරය)
අකුරු උගන්වන විට ද ආගම පෙරදැරි ව ම කට යුතු ය. ආගම දැනුමෙන් තොර උගත්කම තමනට හා ලොකයට අනර්ථ පිණිස පවතින හෙයිනි. ටික කලකට පෙර ලක්දිවට පැමිණි භාරත පුත්‍ර ඒ. එස්. ආර්. රාඝවාචාර්ය තුමා කී වටිනා කීම බෞද්ධ මවුපියන් නිතර ම සිහියේ තබා ගත යුතු ය. “ශ්‍රී ලංකාවාසී දෙමවුපියවරුනි, යුෂ්මතුන්ලා ගේ දරුවන් ශීලයෙන් පිරිහී උතුම් බුද්ධාගම අත්හැර මේ ලෝකයෙහි රජ වුවත් වැඩක් නැත” යන අවවාදය ඉතා වටනේ ම ය.
      භාෂාශාස්ත්‍ර උගන්වන විට ද පළමු ව ස්වභාෂාව ද, දෙවනු ව උපයොග = රක්‍ෂාවට උවමනා කරන (මෙ කල නම් ඉංගිලිසි) භාෂාව ද ඉගැන් විය යුතු ය. පිළිවන්කම ඇතොත් සාමන්ත භාෂා ද = තමනට අවට සිටින වුන් ගේ (සිංහලය නම් දෙමළ හා හින්දි) භාෂා ද, ඉන් වැඩිය හැකි නම් ඥාතිභාෂා ද = සිංහල භාෂාවට නෑහුරුකම් ඇති පාලි - සංස්කෘත ආදි භාෂා ද, ඉනුත් වැඩිය හැකි නම් භාෂාන්තර ද ඉගැන්විය යුතු ය.
කවර භාෂාවක් ඉගෙන ගත්තත් තමන් සිංහල බව නිතර ම සිත තබා ගත යුතු ය. එ සේ වන්නට නම් තම ආචාර ධර්‍මයනට පටහැනි නොවන ලෙස ම හැම උගැන්මක් ම කට යුතු ය. මෙ කල ඉංගිලිසි ඉගෙන ගන්නවුන් බොහෝ දෙනෙකුන් වැනැසෙන්නේ තමන් සිංහල බව අමතක කොට සංකර වෙස් ගන්නට යෑමෙනි. ඒ නිසා මවුපියන් ගේ යුතුකම මුල සිට ම නිසි විදියට පැවැත්විය යුතු ය.
සුදුසු කාලය පැමිණි විට දරුවනට ආවාහ විවාහ කර දීම ද මවුපියන් ගේ යුතුකමකි. පෙරදිග චාරිත්‍රානුකූල ව සුදුසු ස්වාමිපුරුෂයන් හෝ භාර්යාවන් හෝ සොයා දීම මවුපියන් විසින් කට යුතු ය. ස්වයංවරය හෙවත් තමන් ම සුදුස්සා තෝරා ගැනීමක් ද ස්වල්ප වශයෙන් පැවැත්තේ ය. එහෙත් එය දෙමවුපියන් විසින් පමුණුවා දෙන සුදුස්සන් ගෙන් කෙනකු තෝරා ගැනීම මිස මෙ කල බහුල වේගෙන යන හිතුවක්කාර බන්ධන නො වේ. ඉන්ද්‍රිය දමනයක් නැති රාගයෙන් මත් වූ තරුණයකුට හෝ තරුණියකට හෝ තමනට සුදුසු භාර්යාව හෝ ස්වාමියා හෝ සොයා ගැනීම පහසු නො වේ. එ හෙයින් ම මෙ කල බහුල වේගන එන හිතුවක්කාර බන්ධන වැඩි කල් නො යවා හිතුවක්කාර ම වී යයි. පෙර අප රට නොතිබුණු දික්කසාද (මෙය සිංහල වචනයක් නම් කොට කසාද විය යුතු ය.) වැඩි වීමේ ප්‍රධාන හේතුවත් එය ම ය. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අනුව ආවාහ විවාහ බන්ධන මරණයෙන් විනා අන් ලෙසකින් අතර මඟ දී කැඩිය හැක්කක් නො වේ. එ හෙයින් දරුවනට ආවාහ විවාහ කර දෙන මවුපියන් විසින් වස්තුව පමණක් ම නො බලා ඔවුනට ජීවිතාන්තය තෙක් යහතින් සිටිය හැකි වන පරිදි ඔවුනොවුනට සම වන වයස, ගති සිරිත්, ගුණ නුවණ හා අදහස් ද ඉතා සැලැකිල්ලෙන් විමසා බැලිය යුතු ය.
      සුදුසු කල්හි දරුවනට දේපල පවරා දීම ද මවුපියන් ගේ යුතුකමෙකි. දෙමවුපියන් ගේ අභාවයෙන් දරුවනට ලැබෙන වස්තුව දෙනු ලබන්නක් නො ව උරුමයට අයිති වන්නකි. මෙ තැන දී බුදුරජාණන් වහන්සේ වදාළේ මැරෙන තුරු සිටින්නේ නැති ව දරුවන් ගේ දියුණුවට උවමනා අවස්ථාව නො වරදවා සුදුසු පරිදි දීම ද මවුපියන් ගේ යුතුකමක් බව ය.


පුත්‍රයෝ

මවුපියන් ගේ හිත සතුටින් හා ප්‍රෙමයෙන් පුරවන්නෝ දරුවෝ ය, පුත්‍රයෝ ය. එ සේ නො ව මවුපියන් ගේ හිතට දුක් කරදර දෙන්නෝ දරුවෝ නො ව, මරුවෝ ය.
අතිජාත - අනුජාත - අවජාත වශයෙන් තුන් වැදෑරුම් වූ දරුවන් ගෙන් අතිජාත විය නොහැකි නම් අනුජාත වත් වන්නට හැම දරුවකු ම උත්සාහ ගත යුතු ය.
“මවු පියනට අඩු ගුණ පුත්                          අවජාත
ඔවු නට සමගුණ ඇතියේ                          අනුජාත
ඔවු නුදු ඉකුත් ගුණවත් පුත්                       අතිජාත
කිවු මුනිවරු වෙසෙසා මේ                       තුන්ජාත
මෙයින් අතිජාත පුත් රුවනක්                      වන්න
තදින් සිතට ගෙන වීරිය                          කරපන්න
එයින් මවුපියොත් නෑයොත්                 සලකන්න
පටන් ගනිති නුඹ මුඳුනෙන්                 පිළිගන්න”
(බෞද්ධ ළමයා)

හොඳ පුතා හා දුව

ඔවාදකාරී භතපොසී - කුලවංසං අහාපයං
සද්ධො සීලෙන සම්පන්නො - පුත්තො හොති පසංසියො.
(අංගුත්තර - පංචක නිපාතය)
මවුපිය ගුරුවර වැඩි සිටියන් ගේ අවවාද අනුව ක්‍රියා කරන්නා වූ, කුඩා කල තමන් පෝෂණය කළ දෙමවුපියන් පෝෂණය කරන්නා වූ, නුසුදුසු කතාවලින් හා ක්‍රියාවලින් කුලවංශය නො පිරිහෙළන්නා වූ හෙවත් කුල සිරිත් කඩ නොකරන්නා වූ, ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ පුත්‍රයා ඉතා ප්‍රශංසා කටයුත්තේ වේ. හොඳ ම පුතා වේ. එ බඳු දුව ඉතා ප්‍රශංසා කටයුත්තී වේ. (මෙහි පුත්ත යන ශබ්දය ද දූ පුතුන් දෙපිරිසට ම පොදු බව සැලැකිය යුතු ය.)

දරුවන් ගේ යුතුකම්

තස්මාහි නෙ නමස්සෙය්‍ය - සක්කරෙය්‍යාථ පණ්ඩිතො
අන්නෙන අථ පානෙන - වත්‍ථෙන සයනෙන ච
උච්ඡාදනෙන නහාපනෙන - පාදානං ධොවනෙන ව
තාය නං පරිචරියාය - මාතාපිතුසු පණ්ඩිතා
ඉධෙව නං පසංසන්ති - පෙච්ච සග්ගෙ පමොදති.
(අංගුත්තර - තික නිපාතය)
බුදුරජාණන් වහන්සේ මවුපියන් ගේ ගුණ විස්තර කොට හොඳ දරුවන් විසින් මවුපියන් කෙරෙහි පිළිපැදිය යුතු අයුරු ද වදාළහ. මවු පියන් වැන්ද යුතු ය. ආහාරාදියෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් හා සෙනාසනයෙන් ද, සුවඳ දෑ ඇඟ ඇතිල්ලීමෙන් හා නැහැවීමෙන් ද ඒ ඒ අවස්ථාවෙහි පා සේදීමෙන් හා තෙල් ඇල්ලීමෙන් ද සත්කාර කට යුතු ය. එ සේ කරන ගුණවත් දරුවනට මෙ ලොව දී ම නුවණැත්තෝ ප්‍රශංසා කෙරෙති. එ බඳු දරුවෝ මින් සැවැ දෙව්ලොව ඉපිද විපාක සුවයෙන් අධිකතර සතුටට පැමිණෙත්.
මවුපියන් වැඳීම ද පෙර සිට පැවැති යහපත් බෞද්ධ චාරිත්‍රයෙකි. පෙර රජවරු ආදි මහොත්තමයෝ පවා මවුපියන් වැඳීම ඉතා ආදරයෙන් කළහ. අග්බෝ ආදි බෞද්ධ රජවරුන් මවුපියන් වැන්දේ ‍චෛත්‍යයක් ප්‍රදක්‍ෂිණා කරන්නාක් මෙන් ප්‍රදක්‍ෂිණා කෙරෙමින් ය.
පෙර සිටි අයියා කෙනකුන් තම මල්ලී මෑණියන් කෙරෙහි නොනිසි ලෙස පැවැති විටක අම්මාට වඳින්නට කී ආකාරයෙන් එ වකට පැවැති බෞද්ධ ශිෂ්ටාචාරය කෙබඳු දැයි පැහැදිලි වේ.
“මල්ලියේ ඔහොම නො කරන් අපෙ                        අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප                                    දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අප                              දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන්                                       අම්මාට”
මෙ කල සමහරු දෙමවුපියන් වැඳීම උවමනා නැතැ යි සිතති. ඇතැම් මවුපියෝ පවා වැඳුම් වළක්වති. එය නො මැනැවි. කුඩා කල පටන් මවුපියන් වඳිමින් පුදමින් ගරු කෙරෙමින් කීකරු ව හැදෙන දරුවා ලොකු වුව ද ඒ හොඳ ගති නොකඩ ව පුරුදු කරයි. මවුපියන් හිත් නො පෙළයි. එයින් මවුපියෝ ද සැනසිල්ලේ වෙසෙති. එ හෙයින් හොඳ බෞද්ධ දරුවන් දවසකට දෙවරක් නොහැකි නම් වරක් වත් නො වරදවා ම මවුපියන් වැන්ද යුතු ය. එ සේ ම ඉතා ආදරයෙන් මවුපියනට උපස්ථාන කට යුතු ය.

 


බෞද්ධ ගෙදර පොතිනි.
මෙහි මුල් කොටස් තුන 1954 දී ‘සිංහල බෞද්ධයා’ පත්‍රයෙහි ද පළ විය.

මාසය තුල සිත්ගත් ලිපි