14 October 2011

තණ්හාව 01

බුදුපියාණන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දේශනා කිරීමේ තේරුම නම් ඉපදීම දුරු කිරීමට ලෝභය ප්‍රහාණය කළයුතු බව ය. තණ්හාව, ආශාව, ආදරය, ප්‍රේමය, කාමය, රාගය, තෘෂ්ණාව යන මේ සියල්ලම ලෝභයේ අනුගාමිකයෝ ය.
එක ධම්මජ භික්ඛවෙ පජහථ අහං වො පටිභොගො
අනාගාමිකාය කතමං එක ධමමං ලොභං භික්ඛවෙ එක ධම්මං

මහණෙනි, මගේ කීමට එකදෙයක් අත්හරින්න. එය අත්හැරියොත් ඔබලා අනාගාමීවන බවට මම පොරොන්දුවෙමි. ඒ එකම දෙය නම් ලෝභකමයි.

ලෝභය කෙතෙක්දුරට සසරට බැඳතබා ගනීද යන්න මෙයින් පැහැදිළිවේ. ලෝභය ප්‍රහාණය කරත හැකි නම් අනාගාමී වීමට තරම් හේතු සම්පත් ඇතිබව බුදුපියාණන් වහන්සේ දේශනා කළසේක.
යස්ස ඡත්තිංසති සොතා
මනාපස්ස වනා භූසා
වාහා වහන්ති දුද්දිට්ඨිං
සංකප්පා රාග නිස්සිතා
           දිය පාරවල් සතිසකින් යුක්තවූ තෘෂ්ණා නදිය යමකුගේ අරමුණුවලට වේගයෙන් ගලා බසීද ඒ තෘෂ්ණා නදියට අයත් රාග නිශ්‍රිතවූ විතර්ක නමැති ජලධාරාවෝ විපරිත (පෙරලුන) බුද්ධිය ඇති එම පුද්ගලයා අපායට ගෙන යයි. මෙම තෘෂ්ණා නදියට සතිස් වැදෑරුම්වූ තෘෂ්ණා සිත් ගලා බසී. එම තෘෂ්ණා සිත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්‍ම යනුවෙන් හය ආකාරයකි. එම හය ආකාරයට කාම තණ්හා භව තණ්හා, විභව තණ්හා යනුවෙන් එක් එක් තෘෂ්ණා සිතකට තුන් ආකාරය බැගින් යෙදේ. එවිට තෘෂ්ණා සිත් (18) දහ අටක් බාහිර වශයෙන් ඇතිවේ.

එමෙන්ම අධ්‍යාත්මික ආයතනයන් වන චක්ඛු,සෝත, ඝාන ජිව්හා, කාය, මන යන ආයතනයන්හි විෂය කොට කාම තණ්හාව විසින් හයෙක්ද, භව තණ්හාව විසින් හයෙක්ද, විභව තණ්හාව විසින් හයෙක්ද යනුවෙන් දහ අටකි. මෙසේවූ සිත් තිස්හයකින් තෘෂ්ණා නදිය පරිපූර්‍ණ වේ.

සවන්ති සබ්බධි සොතා
ලතා උබ්භභිඡ්ඡ තිට්ඨතී
තංව දිස්වා ලතාං ඡාතං
මූලං පඤ්ඤාය ජිදථ

තෘෂ්ණාව නමැති දියපාරවල් සැමතැනම ගලා බසී. මේ තෘෂ්ණාව නමැති වැල් සදොරින්ම මතුවේ. මෙය ප්‍රඥාවෙන් විමසා බලා මුලින්ම විනාශ කරන ලෙස බුදුන්වහන්සේ වදාළ සේක.

සරතානි සිනෙහිතාහිච
සොමනස්සානි භවන්ති ඡන්තුනො
තෙ සාතසිකා සුඛෙසිනො
තෙමේ ජාති ඡරූපගා නරා
රූපාදී අරමුණුවල විසිර පවත්නාවූ තෘෂ්ණාවෙන් තෙත්වූ සත්ත්වයාට සොම්නස් වේදනාවෝ ඇති වෙත්. එම සොම්නස නිසා සිත, කය දෙකට සැප සොයත්.ඔවුහු ඒකාන්තයෙන්ම ජාති ජරා ආදියට පැමිණේ.
තෘෂ්ණාවට වාල්වූ මෙම පුද්ගලයාට තෘෂ්ණාවේ ආදීනව නොපෙනේ. තෘෂ්ණාවෙන් අන්ධවූ ඔහු පංචකාම සම්පත්තිය සැපතක් ලෙස සිතමින් එහිම ඇලී ගැලී අපාගතවන බව බුදුපියාණන් වහන්සේ පහදා දුන් සේක.

තසිණාය පුරක්ඛතා පජා
පරිසප්පන්ති සසෝව බාධිතෝ
සංයොජනසංග සත්තා
දුක්ඛමුපෙන්ති පුනප්පනං චිරාය
තෘෂ්ණාවෙන් වටකරගත් සත්වයෝ මළපුඩුවේ බැඳුණු සාවකු මෙන් බිය වෙති. දශසංයෝජනයෙන් හා රාගාදී සත් සංගවලින් බැඳුනු සත්වයෝ බොහෝ කලක්ම නැවත නැවත දුකට පැමිණෙත්.
තෘෂ්ණාවෙන් බැදුණු පුද්ගලයා 1 සක්කාය දිට්ඨි 2. විචිකිච්ඡා 3. සීලබ්බතපරාමාස 4. කාමරාග 5. පටිඝ 6. රූපරාග 7. අරූපරාග 8. මාන 9. උධධච්ච 10. අවිජ්ජා යන දස සංයෝජනයන්ට බැඳී සසර දික්කර ගනී. එමෙන්ම තෘෂ්ණාවෙන් බැදුණු ඔහු තුළ 1. තණ්හා 2. දිට්ඨි 3. මාන 4. ක්‍රෝධ, 5. අවිජ්ජා 6. ක්ලේස 7. දුශ්චරිත යන සප්ත සංග නිතැතින්ම ඇතිවේ.

තසිණාය පුරක්ඛතා පජා
පරිසප්පන්ති සසෝව බාඨිතො
තස්මා තසිණං විනොදයේ
භික්ඛු ආකංඛේ විරාග මත්තනො

තෘෂ්ණාවෙන් වටකරගත් සත්වයෝ මළපුඩුවේ බැදුණු සාවකු මෙන් බිය වෙති. නිර්වාණය ප්‍රාර්ථනා කරන භික්‍ෂුව තෘෂ්ණාව පහකරන්නේය. තෘෂ්ණාව තිබෙන තුරු එයින් භව තණ්හාව පෝෂණය කෙරේ. සසර දුකින් අත්මිදීමට නම් තෘෂ්ණාව සම්පූර්‍ණයෙන් ප්‍රහාණය කළ යුතුය.
              අතීත කථාව දේශනා කළ බුදුන් වහන්සේ මෙම ඊරිය කකුස බුදුන්වහන්සේගේ සසුන සමයේ කිකිළියක වී ඉපිද සිටිය බවත් එයින් චුතව රජගෙදරක උබ්බරී නම් රජදුවක්ව ඉපිද සිටිය බවත් වදාළ සේක. අසුචිපිඩක උන් පණුවන් රැසක් දැක භාවනාකොට ප්‍රථම ධ්‍යානය ලබා එම ආත්මයෙන් චුතව බඹලොව උපන්නීය. මෙසේ භවයේ සැරිසරමින් විත් මේ ආත්මය ඊරියක වී උපන් බවත් එම පෙරලිය දැක බුදුපියාණන් වහන්සේ සිනාපහළ කළ බවත් වදාළ සේක. භව තෘෂ්ණාවේ දොස් දක්වමින් අනද තෙරුන් වහන්සේ ඇතළු භික්‍ෂුන් වහන්සේලාට බුදුපියාණන් වහන්සේ ඉහත සදහන් ගාථාවලින් ධර්‍මදේශනා කළ සේක.

ඔබ සැමට තෙරුවන් සරණයි.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි