අප ගේ ශාස්තෘන් වහන්සේ වනාහි කෙලෙස් සහිත කෙනෙක් නොවේ. උන්වහන්සේ කෙලෙස් රහිත උතුමෙකි. රහතන් වහන්සේ නමකි (අරහං). එමෙන්ම උන්වහන්සේ අවබෝධ කර ගත්තේ බාහිර දෙවියකු ගෙන් හෝ ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගත් ධර්මයක් නොවේ. උන්වහන්සේට ගුරුවරයෙක් නො සිටියේ ය. අනුන් ගෙන් අසා දැනගත් සුතමය ඤාණයක් උන්වහන්සේට නැත. උන්වහන්සේට තිබුනේ ස්වයම්භූ ඤාණයෙකි. එනම් තමන් ගේ උත්සාහයෙන් ම, යෝනිසෝ මනසිකාරය තුළින් උපදවා ගත් ඤාණයකි.
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට කවර හෝ අවබෝධයක් පිණිස බාහිර සහයෝගයක් අවශ්‍ය වේ. තමා බාහිරින් ලබන සහයෝගය ඔස්සේ චින්තනය මෙහෙයවීම යි ලෝකයේ තිබෙන්නේ. අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ ජීවිතය තුළ සිදු වූයේ ඊට හාත්පසින් ම වෙනස් අතිශයින් ම විස්මිත වූ සිදුවිමකි. එතරම් පුදුම සහගත සිදුවීමක් ලෝකයේ තවමත් සිදු වී නොමැත. ටාජ් මහල්, චීන මහා ප්‍රාකාරය, පීසාහි ඇලවෙන කුළුණ ආදි ය සාමාන්‍ය ජනතාවට පෙනෙන්නේ පුදුම සහගත දේවල් ලෙස ය. ඒවායේ කිසිම පුදුම සහගත දෙයක් නැත. මිනිසුන්ව තළා පෙළා ඔවුන් ගේ ලෙයින් කඳුළින් ඩහදියෙන් ඔවැනි ගොඩනැගිලි ඕනෑ තරම් අනාගතේ දී ත් ගොඩ නැගෙනු ඇත. එවැනි ගොඩනැගිලි දෙස බලා ජීවිතයකට ඇති කර ගත හැකි අවබෝධයක් තිබේ ද? කිසිසේත් නැත.
ලෝකයේ පවතින්නේ එකම එක පුදුම සහගත දෙයකි. එනම් මිනිස් මව් කුසකින් ලොවට බිහි වී මනුෂ්‍යයෙකු ලෙස හැදී වැඩී තමන් ගේ ඒ මිනිස් සිත, බාහිර කෙනෙකු ගේ උපකාරයෙකින් තොරව තමන් ගේ බුද්‍ධිය පමණක් මෙහෙයවා උත්තරීතර තත්වයට පත්වීම ය. ඒ අසිරිමත් අවබෝධය ඇති කර ගත හැකි වූයේ අප ගේ ශාස්තෘන් වහන්සේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පමණි. උන්වහන්සේ අවබෝධ කළ ශ්‍රී සද්ධර්මය තුළ කියැවෙන්නේ මිනිසුන්ගේ ජීවිත ගැන පමණක් නොවේ. ලෝකයේ සියලු දෙවිවරුන්, බ්‍රහ්මයින්, මාරයින්, ප්‍රේතයින්, තිරිසන් සතුන්, නිරිසතුන් ආදී අනන්ත සත්වයින් ගේ ඉරණම සකස් වී ඇති ආකාරය අතිශයින් ම විද්‍යාත්මක න්‍යායන් ඔස්සේ හෙළිදරව් කර දෙයි. උන්වහන්සේ ගේ විස්මිත අවබෝධයට හසු නොවූ ක්‍ෂේත්‍රයක් නැත. උන්වහන්සේ දියුණු කරන ලද්දේ භෞතික උපකරණ තුළින් ලොව දකින ක්‍රම නොවේ. උන්වහන්සේ ගේ විද්‍යාගාරය වූයේ භාවනාව යි. උපකරණය වූයේ දියුණු කරන ලද ප්‍රඥාව යි. ඒ ප්‍රඥාව අඳුර නසාලන සූර්යාලෝකය ද පරදවයි. සූර්යයාගෙන් විහිදෙන එළිය ඉතාමත් සීමාසහිත වේ. හිරු එළියකින් සිතක ක්‍රියාකාරිත්වය දැක්ක නොහැකිය. ලෝකයේ එක් පැත්තකට හිරු එළිය ලැබෙන විට අනිත් පැත්ත අඳුරු ය. එහෙත් අපගේ ශාස්තෘන් වහන්සේ උපදවාගත් ප්‍රඥාලෝකය එවැනි සීමාසහිත දෙයක් නොවේ. එක් නිමේෂයෙකින් උන්වහන්සේ ගේ ප්‍රඥාව ඕනෑම දිසාවකට යොමු කළ හැකි ය. උන්වහන්සේ ලොව ජයගත්තේ ප්‍රඥා මහිමයෙන් ය.
ඒ අසිරිමත් ප්‍රඥා මහිමය, ඒ විස්මිත අවබෝධය කුමක් දැ’යි අපට තේරුම් ගත හැකි වන්නේ උන්වහන්සේ අප වෙත දායාද කළ ශ්‍රී සද්ධර්මය තුළින් ය.
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් පැවිදි බව ලද මිහිඳු මාහිමියන්ට අවුරුදු තුනක් වැනි සුළු කාලයක් තුළ දී අරහත්වයට පත්වීමට හැකි විය. එමෙන් ම ප්‍රථම ධර්මසංගායනාවේ දී මහරහතන් වහන්සේලා ආරක්‍ෂා කර ගත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම - විනය ඒ අයුරින්ම ධාරණය කරගන්නටත් මිහිඳු මහරහතන් වහන්සේ සමත් වූහ. උන්වහන්සේ ලංකාවට වැඩම කළේ අතරින් පතර ඉගෙන ගත් ධර්ම පාඨ කීපයක් මතක තබා ගෙන, ධර්මයේ සැක සහිතව නොවේ. සද්ධර්මය පිළිබඳ ව නිසැක භාවයට පත් ව, පරිපූර්ණ වශයෙන් ධර්ම - විනය දරා ගත් නුවණකුත් සහිතව ය. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන සහිතව ය. එම නිසා ලංකාවේ දී සිංහල ජනතාවට ශ්‍රී සද්ධර්මය මනා ලෙස ඉගැන්වූ උන්වහන්සේ ලාංකික සැදැහැවතුන් පැවිදි කොට ධර්ම - විනය පාළි භාෂාවෙන් ම උගන්වා වදාළ සේක. ඒ ධර්ම - විනය පිළිබඳ අර්ථ විස්තර පමණක් සිංහලෙන් තෝරා දුන් සේක. අටුවා වශයෙන් හඳුන්වන්නේ ඒවා ය. එම අටුවාවල අභ්‍යන්තර විස්තර ලංකාවේ කථාන්දර ද එකතු වෙමින්, යම් යම් මතිමතාන්තර ද එකතු වෙමින් එහෙත් ශාසනික මතයන්ට හානි නොවී ස්වාධීනව වැඩුනි. සිංහලෙන් ලියැවුන ඒ අටුවා ගැන දඹදිවවාසී භික්‍ෂූන්ට දැන ගන්නට ලැබුනි.
ඒ සිංහල අටුවා පාළි භාෂාවට පරිවර්තනය කිරීම පිණිස ය බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩියේ. එසේ නැතිව උන් වහන්සේ සිංහලෙන් තිබුන සූත්‍ර දේශනා පාළි භාෂාවට හැරවූයේ නැත. කොටින් ම ධර්ම - විනය තිබුනේ සිංහලෙන් නො වේ. පාළි භාෂාවෙනි. බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ අතින් පාළි භාෂාවෙන් තිබුන බුද්‍ධ භාෂිත ධර්ම - විනය ට අල්ප මාත්‍ර වෙනසක් වී නැත. මේ බව නො දන්නා නූගත් ගිහි - පැවිදි පින්වතුන් මේ ධර්ම - විනය පවා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ ගේ අතින් වෙනස් වී ඇතැයි කියමින් හෑල්ලුවට ලක් කරති.
වර්තමානයේ ඇතැම් ගිහි - පැවිදි පිරිස් බුද්ධ දේශනාවේ වචන තම තමන්ට රිසි පරිදි අර්ථ වෙනස් කරමින්, තම තමන්ට රිසි පරිදි පද බෙදමින්, කඩමින් බිඳිමින් ධර්මය කණපිට හරව හරවා තෝරනු දක්නට ලැබේ. මෙය බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ඉතාම බරපතළ හානි පමුණුවන දෙයකි. ඒ තුළින් සිදුවන්නේ චතුරාර්ය සත්‍යය සැඟවී යාම ය. නිවන් මග අතුරුදහන් වීම ය. ශ්‍රී සද්ධර්මය විකෘති වීම ය. වාද විවාද හට ගැනීම ය. තම තමන් ගේ හිතුවක්කාර ධර්ම විවරණයන්ට අවනත කර ගත් කණ්ඩායම් බිහි වීම ය. කාලාම සූත්‍රයත් සතර මහාපදේශත් වරදවා ඉදිරිපත් කරගෙන තම තමන් ගේ අභිමතය පරිදි ධර්මය විකෘති කිරීමට ගිය හොත්, ඒ තැනැත්තා හෝ තැනැත්තිය යළි උපදින ජීවිතයක දී ශ්‍රී සද්ධර්මය යාන්තමින් වත් අසන්නට නො ලැබෙන අඳුරු ලෝකයකට ඇද වැටෙනු ඇත.
කිසිදිනක අප අතින් එවැනි අවාසනාවන්ත දෙයක් සිදු නො වීමට වග බලා ගත යුතු ය. එවැනි භයානක තත්වයන්ට හවුල් නො විය යුතු ය.සමහර ගිහි පැවිදි පිරිස් පවසන්නේ අපූරු කථාවන් ය. “ඔපමණ සූත්‍ර දේශනා කුමට ද? එකක් වුනත් ප්‍රමාණවත් නොවේ ද? ඒ කාලයේ ධර්මය දැක්කේ ඔවැනි සූත්‍ර රාශියක් ඉගෙනීමෙන් නො වේ” යයි පවසමින් ධර්මය හැදෑරීම පවා ගරහති. ඒ තුළින් ඔවුන් ගේ ශ්‍රද්‍ධාවේ තරමත්, ඔවුන්ගේ ධර්මඥානයේ තරමත්, බුද්ධ වචන කෙරෙහි ඔවුන්ගේ ආකල්පයත් සිතා ගත හැකිය. එවැනි පුද්ගලයන් ව දුරින් ම දුරු කළ යුතු ය.සමහර ගිහි - පැවිදි පිරිස් අගය කරන්නේ අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය නො වේ. ඔවුනට එය යල් පැන ගිය දෙයකි. ඔවුන් නිතරම අගය කරන්නේ මහායාන සූත්‍රයන් ය. මහායාන සූත්‍ර යනු බුද්ධ වචනයේ මූලික පරමාර්ථයන්ට විරුද්‍ධව, චතුරාර්ය සත්‍යාවබෝධය ප්‍රමාද කරවන, සංසාරයේ භය නැති කරවන, දාර්ශනික යැයි කියා ගන්නා මති මතාන්තරවලින් අලංකාර කරන ලද, වාද විවාදවලින් ම කරුණු මතු කරවන අධර්මයකි. මුල් කාලයේ ශ්‍රී ලාංකික තෙරවරු සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව මහායාන මතයන්ට මෙරටට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. මහායාන මතයන් ගේ මාතෘභූමිය වූ ඉන්‍දියාවට අත් වූ ඉරණම කුමක් ද? පළමුව බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය විකෘති වී ගියේ ය. දෙවනුව වාද විවාද කරමින් ඒ නිවන් මග හීනයානයක් ලෙස ගැරහීම නිසා ජනතාව අතරින් බැහැර වී ගියේ ය. හතු පිපෙනවාටත් වඩා වේගයෙන් ඊනියා බෝසත්වරුන් පහළ විය. නොයෙකුත් ඇදහීම් ඇති විය. බුද්ධ ශාසනය නාම ශේෂෝපගත ව අතුරුදන් වී ගියේ ය. ලංකාවටත් ඒ ඉරණම අයිති වීමට අනාගතයේ ඉඩ තිබේ. ඊට හේතුව මහායාන පොත් පත්, මහායාන සූත්‍ර අගය කරන ඊනියා බෞද්ධ ගිහි - පැවිදි පිරිස් බිහි වී තිබීම ය. ඔවුන් නිතර අගය කරන මහායාන සූත්‍ර තිබේ. එනම් ලංකාවතාර සූත්‍රය, සද්‍ධර්ම පුණ්ඩරීක සූත්‍රය, තථාගත ගුහ්ය සූත්‍රය, ගණ්ඩව්‍යූහ සූත්‍රය, සූරංගම සූත්‍රය, ප්‍රඥාපාරමිතා සූත්‍ර ආදියයි. මේවා දුරින් ම දුරු කළ යුතු ය. මේවා බුද්ධ වචන නො වේ. තථාගත ධර්ම විනය නො වේ. ශාස්තෘ ශාසනය නො වේ. මේවා බෙදන කියන ගිහි පැවිදි පිරිස් දුරින් ම දුරු කළ යුතු ය.
අප ගේ ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය, ඒකාන්තයෙන් ම මනාකොට දේශනා කරන ලද්දේ ම ය (ස්වාක්ඛාතෝ). ඒ ශ්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් සුන්දර ය (ආදි කළ්‍යාණං). මැද වූ සමාධියත් සුන්දර ය (මජ්ඣේ කළ්‍යාණං). අවසානය වූ ප්‍රඥාවත් සුන්දර ය (පරියෝසාන කළ්‍යාණං). ඉතාම පිරිසිදු අර්ථවලින් යුක්ත ය (සාත්ථං). ඉතාම පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයෙන් ද යුක්ත ය (සබ්‍යඤ්ජනං). මුළුමනින්ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ අරහත්වය දක්වා දියුණු කළ හැකි ජීවිතය ගැන කියා දෙයි (කේවල පරිපුණ්ණං, පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති). අන්න ඒ ධර්මය යි ශ්‍රී සද්‍ධර්මය!
ඒ ශ්‍රී සද්‍ධර්මය අප ඉගෙන ගත යුත්තේ වාද විවාද පිණිස නො වේ. තර්ක විතර්ක කරමින් කල් ගෙවන්නට නො වේ. අප ඒ ශ්‍රී සද්ධර්මය ඉගෙන ගත යුත්තේ අවබෝධ කර ගැනීම පිණිස ය. කායික මානසික දුක් දොම්නස්වලින් නිදහස් වීම පිණිසය. යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිසය. සදාකාලික ශාන්තිය උදා කර ගැනීම පිණිස ය.අප කවුරුත් නිතර සජ්ඣායනා කරන රතන සූත්‍රයේ සද්‍ධර්මය ගැන කියවෙන මේ ගාථාව දෙස බලන්න.
“ඛයං විරාගං අමතං පණීතං - යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිංචි - ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්‍ථි හෝතු!”
“ඛයං = රාග ද්වේෂ මෝහ ක්‍ෂය වී යන්නා වූ, විරාගං = සංසාරයේ නො ඇල්ම ඇති කරන්නා වූ, අමතං = අමරණීය වූ, පණීතං = උතුම් වූ, යං = යම් ශ්‍රී සද්‍ධර්මයක්, සමාහිතෝ = සමාහිත සිත් ඇති, සක්‍යමුනි = ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්සේ, අජ්ඣගා = වදාළ සේක් ද, තෙන ධම්මේන සමං = ඒ ශ්‍රී සද්‍ධර්මයට සමාන කළ හැකි, කිංචි = කිසිවක්, න අත්ථි = නොමැත්තේ ය. ඉදම්පි = මෙය ද, ධම්මේ = ශ්‍රී සද්ධර්මය තුළ පවතින, පණීතං රතනං = උතුම් ම මැණිකකි. ඒතේන සච්චේන = මේ සත්‍යානුභාවයෙන්, සුවත්ථි හෝතු = යහපතක් සැලසේවා!”
එමෙන් ම “බුද්ධං සරණං ගච්ඡාමි” කියා “බුදුරජාණන් වහන්සේ සරණ යමි” යනුවෙන් ප්‍රතිඥා දෙන්නේ ඉතිපි සො භගවා... යන උතුම් ගුණවලින් යුතු බුදුරජාණන් වහන්සේ ගැන ය. එවැනි පරමශුද්ධෝත්තම මුනිරජාණන් වහන්සේ නමක් සරණ ගිය පසු ලාභ සත්කාරයක් උදෙසා හෝ, වෙනත් අපේක්‍ෂාවක් උදෙසා හෝ, විවාහ ගණුදෙනුවක් වශයෙන් හෝ සරණ බිඳ ගැනීම නොහොබිනා වැඩකි. එය අප ගේ ජීවිත වලට කිසිසේත් හිත සුව පිණිස පවතින්නක් නොවේ. එය වනාහී රන් රිදී මිණි මුතුවලින් යුතු ආභරණයක් ඉවත ලා කොස් කොළවලින් ගෙතූ මාලයක් කරේ දමා ගත්තා වැනි ක්‍රියාවකි. තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේ ගේ ගුණ කදම්බයෙන් බිඳක් හෝ ඉගෙන ගෙන ඒ සම්බුදු ගුණ මෙනෙහි කරමින් තමන් ලද මේ උතුම් ලාභය ගැන මහත් සන්තෝෂයෙන්, කල් ගෙවිය යුතු ය.
“ධම්මං සරණං ගච්ඡාමි” යනුවෙන් අප සරණ යන්නේ අප ගේ ශාස්තෘන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය පමණි. වෙනත් කිසිම යානයකට අයත් ධර්මයක් හෝ, යන්ත්‍ර මන්ත්‍ර හෝ, වර්තමානයේ ලිත්වල දැක්වෙන හූනන් ඇඟවැටීමේ පලාපල හෝ, රිට්ටාවන් හෝ රාහු කාලය හෝ කේන්දර හෝ වෙනත් අධර්මයන් අපි සරණ නොයමු. උතුම් වූ සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් ගැන කතා කරන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කථා කරන, චතුරාර්ය සත්‍යය, කර්මය, පටිච්චසමුප්පාදය ආදී ආශ්චර්යවත් ධර්මයන් ගැන කථා කරන ශ්‍රී සද්ධර්මය පමණි අපි සරණ යන්නේ. ලෝකයේ අන්‍යාගම්කාර පිරිසට ඒ භාග්‍යය නැත. අසත්‍ය වූ මතවාදයන් සත්‍ය ධර්මයක් ලෙස සිතා ගෙන සිටින ඒ අසරණයින්ට ද මේ උතුම් සරණ ලබා දීමට තරම් අප කාරුණික විය යුතු ය. එය දෙව් මිනිස් ලෝකයාට ම හිතසුව පිණිස පවතී. එම නිසා “ධම්මං සරණං ගච්ඡාමි” කියා ප්‍රතිඥා දුන් අපි වෙන කිසිම බාහිර ධර්මයක් කවර හේතුවක් නිසාවත් සරණ නො යමු. සදහම් කිළිටි කර නො ගනිමු.
එමෙන්ම ශ්‍රාවක සඟ පිරිස ද අප සරණ යන්නේ “සංඝං සරණං ගච්ඡාමි” යයි ප්‍රතිඥා දීමෙනි. ඒ උතුම් සඟ පිරිස ගැන විස්තර “සුපටිපන්නෝ භගවතෝ...” යන ධර්ම පාඨයෙන් ඉගෙන ගත හැකි ය. ඒ උතුම් මහා සංඝරත්නය සමන්විත වන්නේ මාර්ගඵල ලාභී උත්තමයන් වහන්සේලා ගෙනි. ඒ නිසා මාර්ග ඵල නො ලද භික්‍ෂූන් ගේ අඩුපාඩු දුටු විට “අනේ අප සරණ යන්නේ මේ උදවිය නේදැ” යි කිසිසේත් නො සිතිය යුතු ය. ඒ උදවිය අපි සරණ නො යමු. යම් දවසක ඒ ස්වාමීන් වහන්සේලා ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව තුළ වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරත් නම් අපි උන්වහන්සේලාව සරණ යමු. එය අප ගේ පරමාදර්ශය වේ.
මේ සඳහා අපට උපකාරී වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය පිළිබඳ ව අප ගේ ඤාණයයි. ඒ ධර්මඤාණය නිරාකූල ව පැහැදිලි ලෙස ඇති කරගත් විට, සද්ධර්මය කෙරෙහි අප ගේ සැකය අඩුවෙන්ට පටන් ගනී. තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ටිකෙන් ටික ස්ථාවර වන්නට පටන් ගනී. එවිට මේ බුද්ධ ශාසනය තුළ අපගේ ශ්‍රාවකත්වය මුල් බැස ගනී.
එවිට අපට මෙලොව ජීවිතය ගැන ද බිය වෙන්නට කරුණක් නැත. පරලොව ජීවිතය ගැන ද බිය වෙන්නට කරුණක් නැත. ස්ථිර වශයෙන් ම දුක් බිය රහිත ජීවිතයක් මේ ජීවිතයේ දී ම උදාකර ගත හැකි ය. එනිසා ම ය පරලොව ජීවිතය සුගතිගාමී වන්නේ. මේ ධර්ම මාර්ගය ඒ ජීවිතයේ දී ත් දියුණු කරගෙන මේ සංසාර දුක් අවසන් කරගත්, ඒ අමා නිවන් සුව අවබෝධ කරගත් භාග්‍යවන්තයින් බවට අපට පත් විය හැකි ය.
ඒ නිසා අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ විස්මිත අවබෝධයෙන් බිඳක් කියැවෙන පටිච්චසමුප්පාදය හෙවත් සංසාර දුක පිණිස හේතු - ඵල දහම සකස් වන ආකාරය අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ග්‍රන්ථයේ ඇති ධර්ම කරුණු හොඳින් මතක තබා ගන්න. අවබෝධය පිණිස නුවණ මෙහෙයවන්න. ඉබේ අවබෝධ වන තුරු බලා සිටින්න එපා! විශේෂයෙන් අප ගේ උතුම් සදහම් සේවාවට අත හිත දෙන සියලු දෙනාටත්, මේ සදහම් සේවාව අනුමෝදන් වන සියලු දෙනාටත් වහ වහා මේ ශ්‍රී සද්ධර්මය ම අවබෝධ වේවා!
හැම දෙනාට ම තෙරුවන් සරණ වේවා!
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
No comments:
Post a Comment