12 October 2011

ආහාර ප්‍රත්‍යවේක්ෂා කුසළ කර්මය

යමක් ඉපදවීමට හෝ උපන් දෙයක් පවත්වාගැනීමට උපකාර වන දෙය ලෙස අර්ථකථනය කර ඇති
ආහාර ලෙස ධර්මයේ සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක් පමණි.
ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන දෙය සරළව අපි පෙළ
ගස්සන්නෙමු.
*ආහාරවර්ගය -> උපදවන දෙය*
1. කබලිංකාරාහාර -> අපගේ භෞතික ශරීරයේ, හෙවත් රූප කයේ, ඕජාට්ඨමක රූප කලාප උපදවයි, කබලිංකාරාහාර අපගේ උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී වේ.
2. ස්පර්ශාහාර -> පංචේන්ද්‍රියේ හා මනසේ (සළායතනයන්හි) අරමුණු නොගැටුනේ නම් අපට සැප, හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිදු වේදනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන දෙය වේදනාවයි
3. මනෝසංචේතනාහාරය -> අපගේ මීලඟ භවයේ ප්‍රතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම රඳා
පවතී. අප කරන්නේ කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්නේ කරන ක්‍රියාවට සම්බන්ධ
සිතේ අනිවාර්ය ලෙස ඇමිණී ඇති චේතනාවෙනි. මනෝසංචේතනාහාරය උපදවන දෙය (කාම, රූප,
අරූප භවයේ) ප්‍රතිසන්ධියයි.
4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, ප්‍රතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන දෙය නාම-රූපයි අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන කොට නැතිද?, එය තෘෂ්ණාව හේතු කොට නැතිද? එය තෘෂ්ණාව ජාති කොට නැතිද? එය තෘෂ්ණාව ප්‍රභව කොට නැතිද? එහි විවාදයක් නොමැත. අනෙක් ආහාර තුන සම්බන්ධවද එය එසේම බව බුද්ධ වචනයයි.
කෙළෙස් සහිත සත්වයෝ සියල්ල , කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආහාරය වන කබලිංකාරාහාරයෙහි රස තෘෂ්ණාවෙන් ඇලුණාහුද, බැඳුණාහුද වන්නෝය. රස තෘෂ්ණාවෙන්ම ආහාර සොයන්නෝද, රැස් කරන්නෝද, රකින්නෝද, අනුභව කරන්නෝද වන්නෝය. ඒ හේතුවෙන් මස්  ආදිය පිණිස ප්‍රාණඝාතාදී නොයෙක් පව්කම් වන්නෝය.ගොදුරු කරගන්නා මෙන්ම ගොදුරු වන්නාද සසරේම සිරවූ අප වැනිම සත්වයෝයි. එබැවින් ආහාරයේ රස තෘෂ්ණාව, මෙම ආත්ම භාවයේදීම වන මහත් භයටද, දුකටද, ලෙඩ රෝගාදී බොහෝ අනර්ථයන්ටද හේතු වෙයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම හේතු වෙයි. කොටින්
කියන්නේනම් ආහාරයේ රස තෘෂ්ණාවේ ඇලුනෝ සසර දුකේ ගැලුනෝ වෙති.එහෙයින් සසර දුකින්
මිදෙනු කැමතියන් විසින් ආහාරයේ රස තෘෂ්ණාව දුරු කළ යුතුයි.
ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ. නමුත් අපි ඉදිරිපත් කරන්නේ ඊට වඩා බොහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මතක තබාගෙන ඇලීමකින් තොරව, ඕනෑම ආහාරයක් පරිභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ලෙස ධර්මචාරී කවුරුත් දන්නා දෙයයි. ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් තේරුම සළකමින් මෙම වාක්‍ය සිතින් කීමෙන්
ඔබට ආහාරය කොතරම් රසවත් වුවත්, කොතරම් ප්‍රණීත වුවත් ඒ හේතුවෙන් අපාගාමී අකුසල් සිත් වන ලෝභ මූල සිත් ඉපදීමේ ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිවේ. ඔබ මෙම වාක්‍ය නුවනින් මෙනෙහි කරන තාක්, ඔබ කරන්නේ භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම අතරවාරයේ අකුසල් සිත් ඉපදීමේ අවස්ථා නොලැබී යෑම ඊට හේතුවයි. 

*“මා මේ ආහාරය ගන්නේ මල්ලවයන් මෙන් සටන් කිරීමට නොව, ගැමි දරුවන් මෙන් සෙල්ලම් කිරීමට නොව, ශරීරය වර්ණවත් කර ගැනීමට නොව, ශරීරයේ අඩු තැන් පුරවා ගැනීමට නොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන ප්‍රතිපත්ති පිරීමටයි. මාගේ මේ ප්‍රතිපත්ති පිරීමට උපකාරී වන මේ ආහාරය පිළියෙල කිරීමට දායක වූ සියළු දෙනා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා , කෙලවර ආත්ම භාවයේදී, පරම ශාන්ත නිර්වාණය සුවසේ අවබෝධ කර ගනිත්වා!.*
* මේ ආහාරයත් ශරීරයත් යන දෙකම නිරන්තරයෙන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි, බිඳෙමින්, ඉපදෙමින් නිරතුරු අප පෙළන බැවින් දුකයි. කිසිවෙකුගේ කැමැත්තට නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ මේ ආහාරයත් ශරීරයත් ඒකාන්තයෙන්, දුක්ඛ සත්‍ය නම් වන්නේය.*
* ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍ය වන්නේය*
* ආහාරයෙනුත් ශරීරයෙනුත් තොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිරෝධ සත්‍ය නම් වන්නේය*
* ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය, මාර්ග සත්‍ය නම් වන්නේය.*
* මාගේ මේ ආහාර ප්‍රත්‍යවේක්ෂා කුසළ කර්මය බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වේවා!, වාසනා වේවා!!,*
* සාදූ!, සාදූ!!, සාදූ!!! “*

No comments:

මාසය තුල සිත්ගත් ලිපි