19 October 2011

පිරිතේ බල මහිමය 3


දිගාසිරි ලැබීම

පෙර එක්තරා බමුණකුට පුතෙක් සිටියේ ය. තම මිත්‍ර තාපසයකු දකින්නට මේ අත දරුවාත් රැගෙන ගිය බමුණාට දැනගන්නට ලැබුණේ කුඩා දරුවා සතියකින් මැරෙන බව ය. එය වළක්වා ගන්නට ක්‍රමයක් ඇසූ විට බුදුරජාණන් වහන්සේ ගෙන් අසා දැන ගන්නැයි තාපසයා කීවේ ය. බමුණා දරුවාත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගියේ ය. දරුවා ගේ මරණය සිදුවිය හැකි බව දැනගත් බමුණා එයින් මුදවා ගැනීමට මඟක් තිබේ දැයි ඇසුවේ ය. උන්වහන්සේ ගෙදර මණ්ඩපයක් තනා භික්‍ෂූන් වැඩම කරවා සතියක් පිරිත් දේශනා කරන්නට නියම කළ සේක. බමුණා වහා ම ගොස් මණ්ඩපය ආදී කටයුතු පිළියෙල කළේ ය. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් පිටත් කළහ. භික්‍ෂූන් වහන්සේ ගොස් පිරිත් දේශනාව නො නවත්වා ම පැවැත්වූහ. සත්වැනි දින බුදුරජාණන් වහන්සේ ද වැඩම කළහ. පිරිත් අවසාන වී අටවැනි දින උදේ දරුවා ලවා බුදුරජාණන් වහන්සේ වැන්දවූ අවස්ථා‍ෙව්හි දී උන්වහන්සේ දීඝායුකො හොතු යි වදාළ සේක. එයින් දිගාසිරි ලැබ අවුරුදු එකසිය විස්සක් ජීවත් ව සිටියේ ය.
මේ කුමාරයා උපන්නේ ද අවුරුදු එකසිය විස්සක් ජීවත් වන්නට කර්ම ශක්තිය අ‍ැති ව ය. එහෙත් ඔහු විසින් සසර දී කරන ලද අකුසල කර්ම බලයෙන් යකකුට බිලිවී ජීවිතයට අනතුරක් වීම මෙදිනට එළඹ තුබුණේ ය. පිරිතෙහි බලයෙනුත් බුද්ධානුභාවයෙනුත් පිරිත් ඇසීමට පැමිණි මහේශාක්‍ය දෙවියන්ගේ බලයෙනුත් යක්‍ෂයාට ඉදිරියට එන්නට නො හැකි වීම නිසා ඒ බලවත් කර්මය මඟ හැරී ගියේ ය. එයින් උපතින් ලැබූ සම්පූර්ණ ආයුෂ විඳින්නට පුළුවන් විය.
මෙහි දී ශක්‍රයාගේ පුවත පිළිබඳ ප්‍රශ්නයක් පැන නගී. ශක්‍රයා ආයුෂ ගෙවීම නිසා බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැන්දේ ය. උන්වහන්සේ දීඝායුකො හොතු යි වදාරනුවාත් සමඟ ම ශක්‍රයා මැරී නැවැතත් ශක්‍රාත්මභාවයක් ලැබුවේ ය. එය ක්‍ෂණයකින් සිදුවූවක් නිසා අන්‍යයනට නො පෙනුණත් මැරී ඉපදීමක් විනා ගෙවී ගිය ආයුෂ අන් ලෙසකින් දික්වීමක් සිදු නො වේ.

පිරිතෙන් නීරෝගී භාවය ලැබෙන්නේ කෙසේ ද?

පිරිත් දේශනාකරන භික්‍ෂූන් වහන්සේ හැම සූත්‍රයක් පාසා එතෙන සච්චවජ්ජෙන සබ්බරොගො විනස්සතු මේ සත්‍ය වචනයෙන් සියලු රෝග වැනසේවා යි ප්‍රාර්ථනා කෙරෙති. සාමාන්‍ය අයට වඩා භාවිත සිත් ඇති සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා කරුණාවෙන් හා මෛත්‍රියෙන් කරන ප්‍රාර්ථනාවෙහි ලොකු බලයක් පවතී. බොරු නො කියන විහිලු නො කරන පිරිසක් කෙනෙකු මැදි කරගෙන පිස්සා පිස්සා යි බොහෝ වේලාවක් කීවොත් නො වරදවා ම පිස්සු වැටෙන්නට පිළිවන. එසේ ම සත්‍ය වූ ධර්මය ප්‍රකාශ කොට නීරෝග වේවා! නීරෝග වේවා! යි ගුණවත් පිරිසක් විසින් සත්‍ය ක්‍රියා කරන විට නීරෝග වීම පුදුමයක් නො‍ ‍ෙව්. නීරෝගී වන්නට තමන්ගේ සිත තුළ තිබෙන විශ්වාසය හා බලාපොරොත්තුව ද ඊට ආධාර වෙයි. පිරිත් අසා සිටින විට මුලින් සඳහන් කළ පරිදි පහළ වන්නේ කුසල් සිත් ය, පිරිසිදු සිත් ය. ඒ කුසල් සිත්වල බලයෙන් පෙර සසර කරන ලද නිරෝග සම්පත් සැලැසිය හැකි කර්මයනට විපාක දීමට මඟ පෑදෙයි. ඒ හිත පිරිසිදුවීම නිසා ලේ පිරිසිදු වෙයි. එයින් බෙහෙත් ඇඟට අල්ලයි. ඉක්මනින් ගුණ ලැබෙයි. ඒ හේතුවෙන් ලෙඩ සුව වෙයි. නීරෝගී වෙයි.
බුදුරජාණන් වහන්සේ අසනීප වූ අවස්ථාවෙහි පිරිත් කියවා ගත්හ. එයින් උන්වහන්සේ ලොවට ආදර්ශයක් දුන් සේක. ඒ නිසා එදා පටන් අද වන තුරුත් බෞද්ධ පින්වතුන් අසනීප වූ අවස්ථාවෙහි දී පිරිත් කියවා ගැනීම සිරිතක් වශයෙන් ම පවත්වාගෙන එනු ලැබේ.
පිරිතෙහි ද වචන ශක්තිය ඉතා උසස් ලෙස පිහිටා ඇත්තේ ය. නොතේරෙන බසකින් කියද්දීත් පිරිත් ඇසීමට මෙතරම් ප්‍රිය වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ හොඳ සිතින් හොඳ දෙයක් අරමුණු කොට හොඳ දේ සංග්‍රහ කොට හොඳ හැටියට අකුරු යොදා ප්‍රකාශ කළ නිසා ම ය.
මහජනයා නා නා උත්සව සඳහා එක්රැස් වෙති. එබඳු අවස්ථාවල දී පැමිණ සිටියවුන්ගේ මූණු දෙස කල්පනාවෙන් බලන්න. හිතේ ස්වභාවය මූණෙන් පෙනෙයි යන ප්‍රස්ථා පිරුළ අනුව ඒ ඒ අයගේ ඇතුළත, කෙබදුදැයි මූණුවලින් දැනගත හැකිවෙයි. ඉතා ඉහළ ප්‍රීති උත්සවයකට පැමිණිවුන් අතර ද හැමදෙනා ම එක ලෙස සතුටු වන්නාහු නො වෙති. ඉතා ඉහළින් සතුටු වන්නාවුන් අතර ද නියම ප්‍රමෝදයක් නැත. කටපුරා සිනා සී සතුට පෙන්වන්නට උස්සහ දරති. එහෙත් ඔවුන්ගේ හිත පුරා රාග - ද්වේෂ - මෝහ - මද - මාන - ඊර්ෂ්‍යාදී කෙලෙසිලි නිසා නියම සතුටක් සැනසිල්ලක නැත. ඒ අතරට පැමිණි කෙනෙකුට ද කට පුරා හිනා සතුටක් හැර හිත පුරා නියම සතුටක් ඇතිකර ගත නො හැකි ය. පිරිතක් අසන්නට පැමිණි පිරිසක් දෙස ද කල්පනාවෙන් බලන්න. බොරු හිනා නැත. එහෙත් පිරිස සිටින්නේ කොපමණ සතුටකින් ද? නො සතුටින් සිටිනා කෙනෙකුදු සොයාගත නො හැකි වෙයි. පිරිත කියවාගන්නා බලවත් රෝගියා ද සිටින්නේ ඉමහත් ප්‍රීතියකිනි. මීට හේතුව කවරක් දැයි සලකා බලමු.

බුද්ධ රශ්මි මාලා

බුදුරජාණන් වහන්සේ ආදී උතුමන්ගේ හිසවටා තිබෙන රශ්මි මාලාව ගැන බෞද්ධයෝ හොඳින් දනිති. අතිපණ්ඩිත ඇතැමුන් එය ගැන සැක උපදවතත් නියම උගතුන්හට නම් කිසිදු සැකයක් නැත. අපේ ඇසට පෙනුණත් නො පෙනුණත් හැම දෙනාගේම ශරීරයෙන් රශ්මියක් නිකුත් ‍ෙවන බව විද්‍යාඥයෝ පිළිගනිති. කෙනෙකුගේ රශ්මිය පරීක්ෂා කොට ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්නට ද පිළිවන් බව නවීන විද්‍යාඥයෝ කියති. ධර්මයෙහි සඳහන් සම්මුති සත්‍යය පවා කොතරම් ස්ථිරදැයි මෙයිනුත් තහවුරු වෙයි. ඒ නිසා බුදුරජ‍‍ාණන් වහන්සේගේ රශ්මි මාලාව ගැන විද්‍යාඥයනට පුදුමයක් වන්නට කරුණක් නැත. උන් වහන්සේගේ අතිපවිත්‍ර අදහස් නිසා රශ්මි මාලාව ද ඉතා ප්‍රභාස්වර ය. මේ රශ්මිය ද හිරුරැස් සඳ රැස් මෙන් අන්‍යයන්ගේ කයෙහි ස්පර්ශ වෙයි. පිරිසිදු සිතැත්තා තුළින් නිකුත්වන රශ්මිය ද ඉතා ශාන්තිකර හෙයින් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියාහු ප්‍රීතියෙන් ඔද වැඩුණු සිතැත්තෝ වූහ.
පිරිත් දේශනා කරන සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලාගේ සිත් කරුණා මෛත්‍රියෙන් පිරිලා ය. ඒ අවස්ථාවෙහි දී උන් වහන්සේලාගේ ශරීරයෙන් නිකුත්වන රශ්මිය ද අතිපවිත්‍ර ය, ශාන්තිකර ය. පිරිත් අසා සිටින්නෝ ද පඤ්ච ශීලයෙහි පිහිටා ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් ද යුතුව පිරිත් අසති. එවිට ඔවුන්ගේ ශරීරයෙන් නිකුත් වන්නේ ද ඉතා සංසුන් රශ්මියෙකි. මෙසේ නිකුත්වන රශ්මි ධාර‍ාවෝ අවට හැම තැන ම පැතිරී යෙති. මනුෂ්‍යයන්ගේ ශරීරවල කාවැදී යති. ගෙයි බිත්ති වල පවා හැපී සිටිති. මෙසේ තමන් තුළ හට ගන්නා පිරිසිදු අදහස් නිසාත් බැහැරින් අවුත් තම ශරීරයෙහි හැපී සිටි පවිත්‍ර රශ්මි ධාරාවන් නිසාත් පිරිත් අසන්නට පැමිණෙන හැම දෙනාට ම අපමණ ප්‍රීතියක් ඇතිවෙයි. පිරිත් දේශනා කළ තැන ඒ උපකරණ සියල්ල ම බැහැර කළ පසුත් දින කීපයක් යන තුරු එහි පැමිණි ආගන්තුකයකුට වුව ද අමුතු හැඟීමක් පහළ වෙයි. ඒ අවට පැතිරුණු ශාන්ත රශ්මිය නිසා ඔහු තුළ ද සංසුන් බවක් ඇති වේ. මෙහි ඇති සත්‍යතාව එබඳු අවස්ථාවක දී කල්පනාවෙන් සිටින්නකුට මැනවින් දත හැකි වෙයි.
සිංහල බෞද්‍ධයා  1953.09.26, 1953.10.03, 10, 17 -
අතිපූජ්‍ය මඩිහේ පඤ්‍ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ
ප්‍රඥාප්‍රභා 6

No comments:

මාසය තුල සිත්ගත් ලිපි