යමකු මැරීගොස් මනුෂ්‍ය ලෝකයෙහි උපන්නා නම් ඔහුට පින් ලැබෙන්නේ නැත, බලාපොරොත්තුවක් නැති හෙයිනි. මිනිස් ලොවැ උපන් අප කවුරුන් වත් ගිය ජාතියේ අපේ නෑයෝ කවරහු දැ යි නොදන්නා හෙයින් ඔවුන් ගැන බලාපොරොත්තුවක් නැත.
යමකු තිරිසන් ජාතියෙහි උපන හොත් ඔහුට ද පින් ලැබෙන්නේ නැත. බෝසත් තිරිසනකුට හැර සාමාන්‍ය තිරිසනුන් හට ගිය ජාතිය ගැන තබා මේ ජාතිය ගැන වත් හැඟීමක් නැති හෙයිනි, නරකයෙහි උපන්නහුට ද බලාපොරොත්තුවක් නැති නිසා පින් ලැබෙන්නේ නැත. නානා වීධ ප්‍රේතයන් අතර පරදත්තූපජීවී නම් ප්‍රේත නිකායක් වෙයි. ඔවුහු හැම විට ම පින් බලාපොරොත්තු වෙති. එහෙයින් ඔවුනට නම් නො වරදවා ම ලැබෙයි.
දෙවියන් අතර උපන හොත් බලාපොරොත්තුවෙන් සිටිය හොත් පින් ලබාගත හැකි වෙයි. දෙවියන් අතර උපදින බොහෝ දෙනාට අධිකතර සම්පත් නිසා මේ ලොවත් නෑදෑ හිතවත්තුන් අමතක වෙති. ඉදින් බලාපොරොත්තු වුව හොත් ලබාගත හැකි ය.
මේ කරුණුවලින් පැහැදිළි වන්නේ නො වරදවා ම පින් ලැබෙන තැන ප්‍රේතලෝකය බව යි. මේ නිසා වැදගත් ප්‍රශ්නයක් උපදියි. මියගිය තැනැත්තා කොහේ උපන්නා දැ යි නොදනිතත් පින්පෙත් පමුණුවන්නේ මැරෙන තාක් දෙනා ප්‍රේතයන් වන නිසා ද? පිළිතුර, ‘නැත’ යනු යි. කර්ම විපාකඥානය බුද්ධ ඥානයෙකි. එ හෙයින් පෘථග්ජනයකු ගේ ඊ ළඟ උප්පත්තිය කෙබඳු දැ යි කාට වත් කිව නොහැකි ය. දිවැස් ඇතියකුට වුව ද කිවහැක්කේ උපන්නාට පසු වැ ය. කෙනෙකු ගේ ලබන උප්පත්තිය සිදු කැරෙන ජනක කර්මය කුමක් දැ යි නියම කොට කීමට රහතන් වහන්සේ නමකට වත් නොහැකි ය. ඉදින් යම් අකුශල කර්මයෙක විපාකයෙකින් ප්‍රේතලෝකයෙහි උපත හොත් එයිනුදු මුදවන මහා කරුණාව නිසා උපන් තැන නොදනිතත් පින් දීම සිරිත ය.
තව ද ප්‍රශ්නයෙකි. ඉදින් බලාපොරොත්තු වන තැනැත්තා පේර්ත ලෝකයෙහි නූපන්නා නම් පිනට වන්නේ කුමක් ද? අපතේ යනවා ද? ඊට පිළිතුර, ‘නැත’ යනු යි. තමන් අදහස් කරන තැනැත්තා ප්‍රේත ලෝකයෙහි නැතත් තමන් ගෙන් එබඳු පින්කමක් බලාපොරොත්තුවෙන් ඉන්නා නොයෙක් දෙනා ඒ අතර සිටිය හැකි ය. සමහර විට පෙර ජාතිවල නෑ සබඳකම් ඇතියන් ද සිටිය හැකි ය. බිම්බිසාර රජතුමන් ගේ ඥාති ප්‍රේතයන් කල්ප ගණනක් මුළුල්ලේ පින් බලාපොරොත්තුවෙන් සිටි බව සිහි කළ යුතු ය, එහෙයින් තමන් අදහස් කරන නෑයා, නැත හොත් වෙන නෑයකු හෝ ඒ පින අනුමෝදන් වී සුවපත් වෙනුවා ඇත.
තව ද ප්‍රශ්නයෙකි. තමන් ගේ නෑයා ප්‍රේත ලෝකයෙහි උපන්නා නම් දුන් පින අනුමෝදන් වී සුවපත් වනුවා ඇත. එසේ නම් එක් වරක් පින් දුන්නාම ප්‍රමාණවත් නොවේ ද? නැවැත නැවැතත් පින් දීමේ අදහස කුමක් ද? ඉතා වැදගත් ප්‍රශ්නයෙකි. කෙසේ හෝ ඒ පින නෑයාට පමුණුවා ඔහු සුවපත් කරන අදහසින් එසේ කරති. තමන් ගේ නෑයා ප්‍රේත ලෝකයෙහි උපන්නා, පින් ගන්නට බලාපොරොත්තුවෙන් සිටියා, එහෙත් ඔහු එහි උපන් ජනක කර්මය බලවත් නම්, තව කලක් එහි දුක් විඳීමට සුදුසු වැ උපන්නා නම්, ඔහුට පින් දෙන වෙලාව අමතක වෙයි. එසේ අමතක වුවොත් නැවැත පින් දෙන තුරු ඔහුට එය ලබාගත නොහැකි ය. ඉදින් කර්ම බලත්වය නිසා මුල් වර අමතක වුවොත් දෙවැනි වර හෝ එසේත් නොහැකි වුවොත් තුන් වැනි සතර වැනි වර හෝ පින ලබාගන්නට හැකි වනු සඳහා නැවැත නැවැතත් පින් දෙති.
No comments:
Post a Comment