27 October 2011

බුදුරජාණන් වහන්සේ නිසා සිදු වූ ලෝක ශාන්තිය


සුවයෙකි බුදු උපත - මුළු තුන්ලෝ සතුන් හට 
ලොවීලොවුතුරු හැම සුව - හැමට මැ ඉන් ලැබෙනුයෙන්
            
                 බුදුරජාණන් වහන්සේ ගේ පහළවීම නිසා ලෝකයට සිදු වූ ශාන්තිය අපමණ ය. ඒ සියල්ල ලියත්හොත් ලිපිය දික්වන බැවින් ඉන් කිහිපයක් ඉතා සැකෙවින් සඳහන් කරනු ලැබේ.

 

නිදහස

                 අද මුළු ලොවැ ම එක සේ පැතිරී පවත්නා අරුම පුදුම අදහස - කථාව නම් නිදහස යි. නිදහස යනු කුමක් දැයි නිසි ලෙස නොදන්නා ඉතා පිටිසර වැසියා පවා නිදහස ගැන කථා කරයි. මේ නිදහස් අදහස ලැබුණේ කොහෙන් ද? සර්‍ව ලොකෝත්තම අපේ බුදුරජාණන් වහන්සේ ගෙන් ය. එහෙත් උන් වහන්සේ ලබා දුන්නේ අද බොහෝ දෙනා බලාපොරොත්තු වන නිදහස නො වේ.
බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙහි මනුෂ්‍යයනට මෙ බඳු නිදහසක් නොතුබුණේ ය. නිදහසේ කථා කරන්නට ක්‍රියා කරන්නට තබා නිදහසේ සිතන්නට වත් ඉඩක් නො වී ය. විශෙෂයෙන් ආගමික නීති රීතිවලින් මිනිසා තිරිසනකු මෙන් බැඳැගෙන තුබුණේ ය. ලෝකය දියුණු යැ යි සිතන මේ විසිවන ශතවර්ෂයේ පවා ඇතැම් ආගම්වල නිදහසේ කථා කරන්නට, දැනගන්නා අදහසින් වත් ආගමයේ සමහර කොටස් පිළිබඳ ප්‍රශ්න කරන්නට අන්‍ය ආගමක පතක් පොතක් බලන්නට අවසර නැත. බුදුරජාණන් වහන්සේ තම සව්වනට ඒ බැමිවලින් මිදී නිදහසේ සිතන්නට ඉඩ දුන්හ. බුද්ධධර්‍මයේ රහස් කොටස් නැති හෙයින් ඕනෑ ම තැනකින් ප්‍රශ්න කරන්නට ඉඩ දුන්හ. එ හෙයින් මනුෂ්‍යයා ගේ චිත්තන ශක්තිය වැඩි දියුණු විය. එහෙත් මෙ කල බොහෝ දෙනා බලාපොරොත්තු වන බාං ළිහා හළ ගොනුන් මෙන් නිදැල්ලේ හැසිරෙන, කථා සහ ක්‍රියා කරන නිදහසක් ප්‍රකාශ නො කළහ. උන් වහන්සේ ප්‍රකාශ කළේ සුදුස්සාට සුදුසු තැන දිය යුතු නිදහස ය. යමකු එය වරදවා පාවිච්චි කරනුවා නම් එය ඔහු ගේ වරද මිස දුන්නහු ගේ වරද නො වේ. නිසි පමණට යෙදීමෙන් මැරෙන්න යන්නවුන් සුවපත් කළ හැකි තරම් අගනා බෙහෙත් නුසුදුසු ලෙස පමණට වඩා යෙදීමෙන් සුවයෙන් සිටින්නවුන් මරන්නට තරම් පොහොසත් වේ. එ සේ වුවොත් එය යෙදුවහු ගේ වරද මිස සොයා දුන්නහු ගේ වරද නො වේ. මෙ සේ සුදුස්සාට සුදුසු තැන සුදුසු පරිදි දිය යුතු නිදහස ලොවට පළමු වරට ප්‍රකාශ කළෝ අපේ බුදුරජාණන් වහන්සේ ය.

 

යාග හෝම

                    ඉටුදෙවියා සතුටු කරන්නට ය, සාර්වකාලික ස්වර්ග රාජ්‍යය ලබන්නට ය කියා අශ්ව මෙධය - අශ්වයන් මරා ලෙයින් හා මසින් ඉටුදෙවියා පිදීම, පුරුෂමෙධය - ක්‍ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ පුරුෂයන් මරා මසින් හා ලෙයින් ඉටුදෙවියා පිදීම ආදි භයානක යාගයන් ගෙන් දඹදිව පිරී පැවැත්තේ ය. මෙ බඳු භයානක යාග හෝමයන් ගෙන් පිරී පැවැති කාලයෙක උපන් මහා කාරුණික වූ බුදු පියාණන් වහන්සේ එය බෞද්ධයන් විසින් නොකට යුතු යැ යි ද හැම දෙනා ම කුරු කුහුඹුවන් දක්වා සැම සතුන් කෙරෙහි සම මෙත් පැතිරවිය යුතු යි ද වදාළහ. මෙ සේ අති භයංකාර යාග හෝම නැවැත්වීමට දම් දෙසා දුප්පත් අසරණ සතුන් හට මහා ශාන්තියක් සලසා වදාළෝත් අපේ බුදුරජාණන් වහන්සේ ම ය.

 

ග්ලානොපස්ථානය

           යො භික්ඛවෙ මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය - යමෙක් මා ගේ අවවාදානුශාසනා පරිදි පිළිපදින්නේ ද හෙතෙමේ ගිලනාට උවැටැන් කරන්නේ ය යන බුදුරජාණන් වහන්සේ ගේ දෙශනාවෙන් බෞද්ධයන් අතර ග්ලානොපස්ථානය උසස් තැනකට පැමිණියේ ය. මෙයින් උන් වහන්සේ අදහස් කෙළේ ගිලන් උවටැන මහඟු පින් කමක් බව ප්‍රකාශ කොට දීම ය.
යථාවාදී තථාකාරී - යම් ලෙසකින් කියන්නේ ද එ ලෙසින් ම කරන්නා වූ බුදුරජාණන් වහන්සේ සියතින් ම ගිලනුනට උපස්ථාන කොට, උපදෙස් දීමෙන් පමණක් නො නැවතී ආදර්‍ශයෙනුදු ලොකයා සුචරිතයෙහි යෙදැවිය යුතු බව දක්වා වදාළහ.
                     පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේ ඉතා දරුණු වූ කුෂ්ඨරොගයෙකින් පෙළෙන්නාහු පිළිකුල් බැවින් හැම දෙනා විසින් ම හරනා ලදු ව හොත් තැනින් නො නැඟිටිය හැකි වැ මහත් දුක සේ සිටියහ. මේ බව දැනැගත් මහාකාරුණිකයන් වහන්සේ එ තැනට වැඩම කොට කටයුතු උපස්ථාන දැනැ උණු පැන් පිළියෙළ කොට අනඳ තෙරුන් ගේ සහාය ඇති වැ තිස්ස තෙරුන් ඇඳපිටින් ඔසවාගෙනැ ගියහ. මුළු ශරීරය ම එක ම වණයක් බවට පෙරැළී තුබුණු තිස්ස තෙරුන් ගේ සිවුරු ඇඟට ම ඇලී තිබිණි. එක ම ප්‍රේමනීය දරුවා නහවන කාරුණික මවක මෙන් මහා කරුණාවෙන් පිරුණු ළයක් ඇති බුදුරජාණන් වහන්සේ තිස්ස තෙරුන් ගේ ඇඟ තෙමා පොඟවා සෙමින් සෙමින් සිවුරු ගලවා සෝදා වියැළෙන්නට තබා රෙදි කැබෙල්ලෙකින් තෙමතෙමා මුළු ශරීරය ම සේදූහ. තිස්ස තෙරණුවෝ මුළුමනින් ම සුවපත් වූහ.
ලෝකයෙහි මෙ බඳු තත්ත්වයෙක කෙනකු මෙ බඳු ක්‍රියාවෙකැ යෙදුණු පළමු වතාව මෙය නිසා බලා සිටි ගිහි පැවදි හැම දෙනා ම මවිත වූහ. හැම දෙනා ගේ ම හිත් කරුණාවෙන් පිරී ගියහ. ශ්‍රද්ධාවෙන් ඇළලී ගියහ. මහාකාරුණික වූ බුදු පියාණන් වහන්සේ මේ ගිලන් උවටැන් කළ තැන ශ්‍රද්ධාවත් උපාසක උපාසිකාවෝ චෛත්‍යයක් ද ගොඩනැංවූහ. ජෙතවනාරාමයෙහි පිහිටි අඩි 24 ½ ක් උස් වූ මේ ග්ලානොපස්ථානචෛත්‍යය අදත් දැක්ක හැකි ය.
                                මේ උතුම් ක්‍රියාව ආදර්ශයට ගත් ගිහි පැවිදි කවුරුත් ග්ලානොපස්ථානයෙහි උනන්දු වූහ. එ කලැ මෙ බඳු ආරොග්‍යශාලා නොතුබුණෙන් කටහැකි හැම ලෙසකින් ම ගිලන් උවටැන කරන්නට පටන් ගත්හ. සැරියුත් තෙරුණුවෝ දිනපතා ම ගිලන් භික්‍ෂූන් කරා ගොස් බණ කීමෙන් සිත ද උපස්ථානයෙන් ගත ද සැනැස්වූහ. අනේපිඬුසිටාණන් සේවකයාට කළ උපස්ථානයෙන් හා විසාඛා මහ උවැසිය අස් වෙළඹකට කළ උපස්ථානයෙන් ද බුද්ධ කාලයේ දී ම ග්ලානොපස්ථානය කොපමණ දියුණු වුණා දැයි සිතා ගත හැකි ය.
                      ප්‍රථම ආරොග්‍ය ශාලාව - “ලෝකයේ පළමුවරට ආරොග්‍යශාලා පිහිටුවීමේ ගෞරවය එකාන්තයෙන් ම බෞද්ධයන් හට හිමිවන්නේ ය” යි කොපල්ස්ටන් බිෂොප් තුමා කී ය. මේ ගෞරවය හිමිවිය යුත්තේ ලොව අසහාය රාජයා වූ ධර්‍මශොකයනට ය. බුදුරජාණන් වහන්සේ ගේ උපදෙශය හා ආදර්ශය මුදුනින් පිළිගත් අශොක රජතුමාණෝ ලොකයෙහි පළමු වරට ආරොග්‍යශාලා පිහිටුවූහ. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පමණක් නො ව ආසියාව ය අප්‍රිකාව ය යුරොප ය යන තුන් මහාද්වීපයන්හි ම මනුෂ්‍යයනට පමණක් නො ව තිරිසනුනට ද ආරොග්‍යශාලා ඇති කළහ.
                       මේ තුන් මහාද්වීපයන්හි ආරොග්‍යශාලා පිහිටුවීම පිළිබඳ ශිලා ලෙඛන හා වෙනත් නොයෙක් පුරාණ වස්තූහු දෙස් කියති. මේ ආරොග්‍ය ශාලා සේවය නිසා ලොකයා හට සැලැසුණු ශාන්තිය අති විශාල ය. මෙය ආදර්ශයට ගත් නොයෙක් දෙනා නොයෙක් පළාත්වලැ ආරොග්‍ය ශාලා පිහිටුවීමටත් ගිලන් උවටැනටත් බොහෝ උනන්දු වූහ.
                    හෙළදිවැ සිටි බෞද්ධ රජවරු ද මේ ආරොග්‍යශාලා සේවය මහඟු පින්කමක් කොට සැලැකූ හෙයින් ලක්දිව ද ගිලන්හල් බහුල විය. “මහාවංශයෙහි තරම් ගිලන්හල් සූතිකාගාර ගැන අන් කවර රටෙක ඉතිහාසයෙකැ වත් සඳහන් නො වේ” යනු උගතුන් ගේ පිළිගැනීම යි. දුටුගැමුණු රජතුමා පමණක් ගිලන්හල් දහ අටක් කරවා තැබීමත් මහා පරාක්‍රමබාහු රජතුමා ගේ පොළොන්නරු ආරොග්‍යශාලාව ලොක ඉතිහාස යෙහි සඳහන් වන හොඳ ම ආරොග්‍යශාලාව ලෙස උගතුන් විසින් පිළිගැනීමත් සිංහල බෞද්ධයන් හට මේ පිළිබඳ උනන්දුවක් ඇති කැරැ ගැනීමට හොඳ ම කරුණෙකි.
     දුටුගැමුණු, බුද්ධදාස, පරාක්‍රමබාහු, ii දප්පුල, iii මිහිඳු, i සේන, ii සේන, iv කසුප් ආදී රජවරු ආරොග්‍යශාලා පිහිටුවීම්, බෙහෙත් සපයා දීම්, නිරන්තර ගිලන් උවටැන ආදි නන් වැදෑරුම් ආරොග්‍යශාලා සේවයන්හි යෙදුණු බව ඉතිහාසයෙහි සඳහන් වේ. බෞද්ධ රාජකුමාරිකාවෝ ද ඉතා පිළිකුල් අවස්ථාවෙහි සිටි ලාදුරු රෝගීනට පවා සියතින් උපස්ථාන කිරීමෙන් බුදුරජාණන් වහන්සේ අනුගමනය කළහ.

 

බෙහෙත් උයන් වැවීම

                                    බුදුරජාණන් වහන්සේ ගේ “සදා පුඤ්ඤප්පවඩ්ඪන” සූත්‍ර දෙශනාව නිසා ධර්‍මශොකාදි බෞද්ධ රජවරු බෙහෙත් පැළෑටි වැවීම ද ආරම්භ කළහ. අශොක රජතුමා අප්‍රිකාදි රටවල නැති බෙහෙත් ලංකා ඉන්දියාදි රටවලින් ගෙනැ ගොස් එහි සිටවූ බවත් ලංකා ඉන්දියාදි රටවල නැති බෙහෙත් ඒ රටවලින් මෙහි ගෙනවුත් සිටවූ බවත් ශිලා ලෙඛනවල සඳහන් වේ. පසුගිය දා ගල්ඔයේ දී සොයාගත් බෙහෙත් උයන සිංහල බෞද්ධ රජුන් ගේ ආරොග්‍යශාලා සේවයෙහි පමණ දක්වන පිළිබිඹුවකි. මෙ සේ ක්‍රමානුකූල බෙහෙත් වැවීම ආරම්භ වීමෙන් ලොවට මහා ශාන්තියක් සලසා වදාළෝත් මා ගේ බුදුරජාණන් වහන්සේ ම ය. 

වහල් වෙළෙඳාම
            බුදුරජාණන් වහන්සේ ගේ කාලයට පෙරත් පසු වත් වහල් වෙළෙඳාම නිසා දුප්පත් සේවකයනට ලැබුණ ගැහැට අපමණ ය. දුප්පත් අසරණ ස්ත්‍රී පුරුෂ ළදරුවන් ද අකරුණාවත් ස්වාමීනට විකුණනු ලදු ව අපමණ කරදර වින්ද බව රජ්ජුමාලාදීන් ගේ පුවත්වලින් හෙළි වෙයි. මෙ සේ අසරණ සේවක සේවිකාවන් විඳින දුක් දුටු මහා කාරුණිකයන් වහන්සේ වහල් වෙළෙඳාම බෞද්ධයන් විසින් නොකටයුතු යැයි සම්පූර්‍ණයෙන් තහනම් කළා පමණක් නො ව දුප්පත් දාස - දාසීනට තමන් ගේ සොහොයුරු - සොහොයුරියනට මෙන් ඉතා ආදරයෙන් සංග්‍රහ කටයුතු යයි ද වදාළහ. මෙ සේ ලොව පළමුවරට වහල් වෙළෙඳාම තහනම් කිරීමෙන් අසරණ සේවකයනට අපමණ ශාන්තියක් සලසා වදාළෝත් මා ගේ බුදුරජාණන් වහන්සේ ම ය.

ස්ත්‍රීන්හට සැලැසූ සෙත

                               පෙර ස්ත්‍රී පක්‍ෂය ද නිදහසක් නැති වැ වහලුනට දෙවැනි නොවන ගැහැට වින්ද පිරිසකි. නොයෙක් නීති රීතීන් ගෙන් බැඳ තැබුවා පමණක් නො ව මහත් කරදරවලට ද පත් කෙරෙමින්, ගෑනු දරුවකු ලැබීම මහත් අභාග්‍යයක් කොට සලකන ලද යුගයක පහළ වූ බුදුරජාණන් වහන්සේ ඒ හැඟීම්වලට විරුද්ධ ව දෙශනා කිරීමෙන් ස්ත්‍රීහු ද විශාල ශාන්තියක් ලැබූහ. එ වකට පැවැති අවහිරයනුත් ඉන් පසු ලැබූ නිදහසත් සැනැසිල්ලත් සසඳා බලන විට අපේ මවු වරු බුදුපියාණන් වෙනුවෙන් දිවි පිදුවත් මඳි යැ යි කිව යුතු තරම් ය. මෙහෙණි සස්න ඇති කිරීමෙන් හා බුද්ධ සාසන දායාදය පුරුෂ පක්‍ෂයට මෙන් ස්ත්‍රී පක්‍ෂයට ද උරුම කැර දීමක් වශයෙන් නොයෙක් තනතුරු දීමෙන් ද ස්ත්‍රී වර්ගයා ගේ දියුණුවට මඟ පාදා දී වදාළෝත් මා ගේ බුදුරජාණන් වහන්සේ ම ය.

 

අත්‍යුත්තම ශිෂ්ටාචාරය

                 ලෝකයා හට අත්‍යුත්තම ශිෂ්ටාචාරයක් දී වදාළෝත් මා ගේ බුදුරජාණන් වහන්සේ ම ය. “මේ දේ කළ යුතු ය” යි බුදුරජාණන් වහන්සේ නියම කළ දේ කිරීම චාරිත්‍ර ශීල නම් වේ. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන කාලයේ ඉන්දියාවේ පැවැතුණේ ජාතික ආගම් ය. ඒ ආගම් හා සම්බන්ධ ව පැවැති චාරිත්‍ර ද ඒ ජාතිකයනට සුදුසු වන ලෙසින් වී ය. එ සේ ම එය ද ඉතා සුළු වශයෙනුත් අඩු පාඩු සහිත වත් වී ය. ඒ බව එ වකට තුබුණු උසස් ම ග්‍රන්ථය වන ඍග්වෙදය පිළිබඳ පර්යෙෂණ කළ පඬිවරුන් ද කියා තිබේ.
         එ හෙයින් බුදුරජාණන් වහන්සේට චාරිත්‍ර වශයෙන් කරුණු රාශියක් ම ප්‍රකාශ කරන්නට සිදු විය. වඳින පුදන සැටි, දන් දෙන සැටි, සිල් රකින සැටි, භාවනා කරන සැටි පමණක් නො ව, යන එන - කන බොන - කථා කරන - සිනා සෙන සැටි පවා දෙශනා කරන්නට සිදු විය. මහාකාරුණික බුදු පියාණන් වහන්සේ ශිෂ්ට සමාජයක් ඇති කිරීමට කොපමණ උත්සාහ දැරුවා දැ යි කිවහොත් අන්‍යයනට කරදර නොවන්නට ශිෂ්ට මහත්මයකු ලෙස කෙළ ගසන සැටි පවා ප්‍රකාශ කළහ.
                               වර්‍තමාන ලොකයෙහි උගතුන් විසින් ඉතා උසස් යැයි සම්මත කැර ගන්නා ලද චාරිත්‍ර විධි වැඩි කොටසක් මැ බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සියයකට පමණ පෙර ප්‍රකාශ කළහ. වර්‍තමාන ලොකයෙහි පාර්ලිමේන්තු රාජයා හැටියට පිළිගන්නා එංගලන්තයේ පාර්ලිමේන්තුව පවා පිළියෙළ වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ සඞ්ඝසභාවට සමාන ව ය යනු යුරෝපීය උගතුන් පවා කියන කථාවෙකි.
            මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණීමෙන් දෙවනපෑතිස් රජතුමා ප්‍රධාන ලක්වැසියෝ බෞද්ධයෝ වූහ. එ වක පටන් ලංකාවේ ද බෞද්ධ චාරිත්‍ර පැතිරෙන්නට විය. ලංකාවාසීන් බෞද්ධ චාරිත්‍රයනට කොතරම් ප්‍රිය කළා දැයි කිවහොත් බොහෝ කලක් පැවැති සිංහල චාරිත්‍ර සම්පූර්‍ණයෙන් ම අමතක කරන ලදි. දැන් නම් සිංහලයනට බෞද්ධ චාරිත්‍රයන්ගෙන් තොර ආචාරධර්‍ම නැතැ යි කිය යුතු තරම් ය. ‘බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ’ යැයි ශ්‍රීමත් රාමනාදන්තුමා කීවේත් ‘බුද්ධාගම යෙන් තොර සිංහලයෙක් නැත, සිංහලයාට බුද්ධාගමයෙන් තොර කිසි වකුත් නැතැ’ යි මැදහත් උගතුන් කියන්නේත් කරුණු හොඳින් විමසා බලා ම ය.
                                                           මේ බෞද්ධ චාරිත්‍ර නිසා සිංහල බෞද්ධයා උගත් ලොකයා ගේ ගෞරවයට භාජන විය. පුරණයෙහි ලංකාවට පැමිණි නා නා තරාතිරම් වල උගත් විදේශිකයෝ සිංහල බෞද්ධයන් ගේ ශීලාචාර පැවතුම් දැකැ පැහැදී ඉතා උසස් කොට වර්‍ණනා කළහ. එ සේ ම ලක්වැසියෝ සිල්වත් ගුණවත් නැණවත් පිරිසක් වැ වාසය කළහ.
                                                            අවුරුදු සිය ගණනකට පෙරැ විදෙශීනට යටත්වීම නිසාත් එ වක පටන් ලැබුණු අබෞද්ධ අධ්‍යාපන ක්‍රම නිසාත් බෞද්ධ චාරිත්‍ර පිරිහෙන්නට පටන් ගත්තේ ය. අද බෞද්ධයා අතිශයින් සංකර වී සිටියි. එය කොතරම් දියුණු වී තිබේ දැ යි කිවහොත් “සිංහලයා තරම් සංකර වූ ජාතියක් ආසියාවේ ම නැතැ” යි ඇතැම් විදෙශිකයෝ කියති. මෙය අපට කොතරම් නින්දාවක් දැයි සිතා බලන්න.
බුදුරජාණන් වහන්සේ විසින් දෙශනා කරන ලද චාරිත්‍ර වෙන් වශයෙන් ගත් කල දහස් ගණනකි. බෞද්ධයන් ගේ වැඳුම් පිදුම් ආදියත් මංගලාවමංගල ආදියත් තමන් අදහන ධර්‍මයට හා තමන් ගේ ශිෂ්ටාචාරයට ගැළැපෙන පරිදි විය යුතු ය.

1956 දී පිළියන්දල වෙසක් දහම් ප්‍රචාරක සමිතිය මඟින් ප්‍රකාශිත “බුදුරජාණන් වහන්සේ” නම් ග්‍රන්ථයෙනි.

No comments:

මාසය තුල සිත්ගත් ලිපි